-->

Tuesday, July 12, 2011

හෙළ අසුර අධිරාජ්‍යයේ රාවණ යුගය

1

මම කලින් ලිපියේ අන්තිමට සඳහන් කරලා තිබුණානේ තාරක, සුරපද්ම සහ සිංහමුඛ යන කුමාරවරු තුන්දෙනා රාජධානි තුනක් ගොඩනගාගෙන තම පාලන කටයුතු කරගෙන ගිය බව. මෙම කුමරුවන් අතරින් සුරපද්ම කුමරු යුද්ධයට ඇබ්බැහි වූ පුද්ගලයෙක් බවට පත් වූ අතර ඉවක් බවක් නැතිව යුද්ධ කරන්නට පටන් ගෙන තිබේ. මෙහිදී නැවතත් ඉන්දියාව තුලින් විරුද්ධවාදියෙකු බිහිවන අතර ඉන්දු දේශයේ රජකම් කළ සිව රජුගේ පුත් කදිර කුමරු මෙම විරුද්ධවාදියා වේ. කදිර කුමරු ලක්දිවට පැමිණ සුරපද්ම කුමරු ව මරා දැමීය. මෙසේ සුරපද්ම ව පරාජය කර මරාදැමීමට හේතුව ලෙස සඳහන් වන්නේ ඔහු විසින් සිව රජුගේ තවත් පුත්‍රයෙකු වන ජයන්ත කුමරු ව බලෙන් පැහැරගෙන ඒමයි. අරිසෙන් අහුබුදු ශූරීන් පවසන අන්දමට සිව රජු යනු ඉන්දියානු රජෙක් නොව ඉන්දු දේශයේ රජකම් කළ තවත් හෙළ රජෙක්.

සුරපද්ම කුමරුන් ව මරා දැමීමෙන් පසු කදිර කුමරු ලංකාවේ නතර වී "කදිරගම රාජධානිය" ඇරඹීය. වත්මන් කතරගම යනු මෙම රාජධානිය යි. මේ අතර කදිර කුමරු විසින් තමාටත් පහර දේ යයි සක සිතූ සිංහමුඛ කුමරු ලංකාපුරය හැරදමා පලාගියේය. මේ අනුව ලංකාපුරය අරාජික විය.

අරාජික වූ ලංකාපුරය නැවතත් අත්පත් කරගන්නා ලද්දේ විශ්‍රාවාස් මුනිවරයාගේ පුත්‍රයා වූ කුවේර විසිනි. කුවේර සතුව විශේෂ දඬුමොණර යන්ත්‍රයක් ද වූ අතර එය 'පුෂ්පක රථය' ලෙස හැඳින්විණි. මේ කාලය වන විට හෙළ අධිරජ්‍යයේ පාලන තන්ත්‍රය විවිධ හැලහැප්පීම් වලට බඳුන් වූ බව දක්නට ලැබේ. විවිධාකාරයේ විදේශ ආක්‍රමණ, අරාජික වීම් ආදිය බහුලව දක්නට ලැබිණි. මේ සියල්ලම සිදු වීමට මූලික හේතුව වූයේ ඉවක් බවක් නැතිව යුද්ධ කිරීම සඳහා හෙළ රජවරු පෙළඹීමයි. රාජ්‍යතවය සඳහා රාජකීයයන් අතර ද ගටුම් ඇති විය. ඒ අනුව කුවේර ගේ සහෝදරයෙකු වන රාවණ විසින් කුවේර ව පලවා හැර ලංකාපුරය අත්පත් කරගන්නා ලදී. රාවණ රජුගේ ආගමනයත් සමඟ හෙළ අධිරාජ්‍යය නැවතත් යම් ස්ථාවරත්වයකට පත් විය. මෙහිදී රාවණ රජු විසින් කුවේර හට නැවතත් තනතුරු ප්‍රදානය කරන ලදී. ඒ අනුව කාශ්මීර ප්‍රදේශයේ පාලකයා වශයෙන් කුවේර පත්විය. කෛලාසකූටය යනු කුවේර ගේ මාලිගය වූ අතර අලකාපුරය අගනුවර විණි.

රාවණ රජු නැවතත් ප්‍රබල හෙළ අසුර අධිරාජ්‍යයක් ගොඩනැංවූ අතර එහි කේන්ද්‍රස්ථානය බවට ලංකාපුරය පත්විය. මේ අනුව රාවණ රජු නිතැතින්ම මහා අධිරාජ්‍යයකු බවට පත් විය. හෙතෙම රණකාමියෙකු වුවත් දහැමි රජෙක් වූ අතර සත්ව ඝාතනයට දැඩි ලෙස විරුද්ධ විය. මේ නිසා ඉන්දියානු ඍෂිවරුන්ගේ බිලි පූජා සහිත යාගහෝම කඩාකප්පල් කිරීමට හේ උනන්දු විය. මේ නිසා ඍෂිවරුන් හා රාවණ රජු අතර ප්‍රබල මතගැටුමක් තිබූ බව පෙනේ. 'දණ්ඩකාරණ්‍යය' යනු ඍෂිවරුන් වාසය කළ වනාන්තරයක් වූ අතර එහි සිදුකල යාග හෝම කඩාකප්පල් කිරීම 'ශුර්පනඛා' නම් රාක්ෂස කුමරිය යටතේ සිදුවිය. ශුර්පනඛා යනු රාවණ රජුගේ නැගණිය යි.

කෙසේ වුවත් මෙම යාගහෝම කඩාකප්පල් කිරීමේ ක්‍රියාවලිය නිසා හෙළ අධිරාජ්‍යයේ බිඳ වැටීම ආරම්භ විය. මෙම ක්‍රියාව නිසා ඍෂිවරුන්ගේ උපදෙස් අනුව පාලන කටයුතු කළ ඉන්දියානු රජවරු රාවණ රජුට එරෙහිව අවි එසවීය. දශරථ රජු විසින් තම පුත්‍ර රාමචන්ද්‍ර ව දණ්ඩකාරණ්‍යයට එවන්නේත් රාවණ රජුගේ බලය බිඳලීම සඳහායි. මෙහිදී රාමචන්ද්‍ර විසින් ශුර්පනඛා ප්‍රමුඛ රාක්ෂස සේනාවට ප්‍රහාර එල්ල කල අතර ඊට ප්‍රතිඋත්තර සැපයීමක් ලෙස රාවණ රජු විසින් රාමචන්ද්‍රගේ බිරිඳ වන සීතාව පැහැරගෙන එනු ලැබීය. ඉන්පසු රාමචන්ද්‍ර විසින් ලංකාපුරයට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කළ අතර අනපේක්ෂිත ලෙස රාවණ රජු එම යුද්ධය පරාජය විය.
රාම විසින් ලංකාපුරය ආක්‍රමණය කිරීමට පෙර රාවණ රජු තවත් එක යුදමය පරාජයක් ලබා තිබුණේ ය.

ඒ දකුණු ඇමෙරිකාව ප්‍රදේශයේ පිහිටි පාතාල දේශය ආක්‍රමණය කිරීමට ගොස් ලැබූ පරාජයයි. පාතාල දේශය ද කලක් හෙළ අධිරාජ්‍යයේ කොටසක් ව තිබූ නමුත් පාලන තන්ත්‍රයේ පැවති අර්බුදකාරී වාතාවරණය නිසා එය හෙළ පාලනයෙන් මිදී ස්වාධීනව කටයුතු කරන තත්වයකට පත්ව තිබිණි. පාතාලය යලිත් හෙළයට ඈඳා ගැනීම සඳහා රාවණ රජු විසින් සටනක් දියත් කලද එය පරාජය වී ඇත. මෙහිදී රාවණ රජු වෙනුවෙන් සටන් මෙහෙයවා ඇත්තේ ශුර්පනඛා කුමරිය ගේ සැමියා වන විද්‍යුත් කුමරු විසිනි.

කෙසේ වුවත් පාතාල දේශය සමඟ කළ සටනින් ලැබූ පරාජය හෙළ අසුර අධිරාජ්‍යයේ පැවැත්මට බලපෑමක් එල්ල නොකලත් රාමචන්ද්‍ර සමඟ තිබූ සටනින් ලැබූ පරාජය හෙළ අධිරාජ්‍යය බිඳවැටීමටත් හෙළ ඉතිහාසයේ ගමන් මඟ වෙනස් කිරීමටත් හේතු විය. මෙම සටනින් රාවණ රජු පරාජය වීමට බලපෑ ප්‍රධානතම හේතුව වූයේ විභීෂණ කුමරු විසින් රාජ්‍යලෝභයෙන් යුතුව සිදු කළ මහා පාවාදීමයි. එම පාවාදීම නොවන්නට රාම ට කිසිදිනෙක ජයගන්නට නොහැකි වන අතර ලංකා ඉතිහාසය ද මීට වඩා බොහෝ වෙනස් මුහුණුවරක් ගනු ඇත.

රාවණ රජුගෙන් පසුව ද හෙළ රජවරුන් රාජ්‍යත්වයට පත් වුවත් එම රජවරු ප්‍රබල තත්වයකට පත් වී නැති බව ඉතිහාසය දෙස බැලීමේදී පෙනී යයි. මෙයට හේතුව වශයෙන් මට පෙනී යන්නේ විභීෂණ ගේ පාවාදීමෙන් පසුව ඉන්දියානු පාලකයින් ලංකාව කෙරෙහි වඩා අවධානයක් යොමු කර එහි ප්‍රබල රාජ්‍ය පාලනයක් ගොඩනැගීමට තිබූ ඉඩකඩ අවුරා තිබීමයි. රාවණ රජුගේ මරණින් පසුව ලංකාපුරය මුහුදේ ගිලී ගිය බව ද ඉතිහාසයේ සඳහන් වේ. මහා පාවාදීමකින් පසුව මේ ආකාරයෙන් හෙළ අසුර අධිරාජ්‍යය ක්‍රමයෙන් පරිහානියට පත් විය.


උපුටා ගැනීම - http://sellipiya.blogspot.com/2010/02/blog-post.html

1 Response to හෙළ අසුර අධිරාජ්‍යයේ රාවණ යුගය

March 6, 2012 at 12:53 PM

මේ ඉතිහාසය ප්‍රචලිත කිරීමට නවතම ආකාරයෙන් පොත් පත් සහ රුප සටහන් අඩංගු වාර්තා වැඩසටහනක් කරන්නන..!

Post a Comment

අදහස් සහ උදහස්