-->

Tuesday, July 12, 2011

හෙළ ඉතිහාසයේ ප්‍රෞඪත්වය - 1

0

ඇත්තටම අපි අපේ රටේ ඉතිහාසය කියලා ඉගෙනගන්නේ නිවැරදිම ඉතිහාසය නෙවෙයි. 'මහාවංශය' නම්වන එතරම් නිරවද්‍යතාවයකින් යුක්ත නොවූ ඉතිහාස ග්‍රන්ථය පාදක කරගෙන 'එච්.ඩබ්ලිව්. කොඩ්‍රින්ටන්' නමැති ඉංග්‍රීසි ජාතිකයා විසින් 1912 දී ලියපු ඉතිහාසය තමයි තාමත් අපේ රටේ නිවැරදි ඉතිහාසය විදිහට පිළිගන්නේ. ඒත් මේ පුද්ගලයා අපේ රටේ ඉතිහාසය ගැන ලියනකොට අතීත හෙළ රජ දරුවන් විසින් කරවපු සෙල්ලිපි ආදී බොහොමයක් ඓතිහාසික සාක්ෂි හිතාමතාම හෝ නොදැනුවත්වම හෝ මගහැරලා තියෙනවා. අපේ රටේ විතරක් නෙවෙයි ඉන්දියාවේ ඉතිහාසයත් මුලින්ම ලියලා තියෙන්නේ ඉංග්‍රීසි ජාතිකයෝ තමයි. ඒ රටේ ඉතිහාසයත් අපේ වගේම විකෘති කරලා තමයි මුලින්ම ලියලා තියෙන්නේ. ඒත් පසුකාලීනව ඉන්දියානුවන්, තමන් විසින්ම තමන්ගේ ඉතිහාසය ලියාගැනීමේ ක්‍රියාමාර්ගයක් අරගෙන තියෙනවා. ඒ අනුව ඉන්දියානුවන්ට පුළුවන් වෙලා තියෙනවා සුද්දෝ හදපු වැරදි ඉතිහාසය අත්හැරලා නිවැරදි ඉතිහාසය යලිත් ගොඩනගන්නට. දැන් ඉන්දියාවේ උගන්වන්නේ ඒ නිවැරදි ඉතිහාසයයි.

ඒත් අවාසනාවකට වගේ තාමත් අපේ රටේ උගන්වන්නේ අර කොඩ්‍රින්ටන් විසින් ලියනු ලැබූ වැරදි ඉතිහාසයමයි. ඉතිහාසය සම්බන්ධව කොච්චර මහාචාර්යවරු අපේ රටේ හිටියත් ඒ අයගෙන් හුඟදෙනෙකුට අපේ ඉතිහාසය නිවැරදි කරන්න අදහසක් පහළ වෙලා නැහැ. වෙන එකක් තියා මහාචාර්ය පරණවිතානයනුත් කරලා තියෙන්නේ කොඩ්‍රින්ටන්ගේ ඉතිහාසය තහවුරු කරන්න පුළුවන්තරම් උත්සාහ කරපු එකයි. ඒ නිසා එතුමා සමහර සෙල්ලිපි සිංහලයට පරිවර්තනය කරනකොට වැරදියට තමයි පරිවර්තනය කරලා තියෙන්නේ. ඉතින් එතුමාව ගුරු තනතුරේ තබාගනිමින් කටයුතු කරන අදකාලේ බොහෝ විද්වතුනුත් උත්සාහ ගන්නේ නිවැරදි දේ සොයා යන්නට නොව 'කොඩ්‍රින්ටන්-පරණවිතාන ගුරු කුලය' ආරක්ෂා කරන්නටයි.

හැබැයි නිවැරදි හෙළ ඉතිහාසය හෙළිදරවු කරන්න උත්සාහ ගන්න පරපුරකුත් දැන් දැන් ගොඩනැගෙමින් පවතිනවා. 'ආචාර්ය සූරිය ගුණසේකර' සහ 'ජයරත්න පතිරආරච්චි' කියන්නේ මේ පරපුර ගොඩනඟන්න පුරෝගාමී වූ විද්වතුන් දෙදෙනෙක්. මම මේ ලිපි පෙළ ලියන්න පාදක කර ගන්නෙත් එතුමන්ලා විසින් සම්පාදනය කරපු පතපොතයි. ඉතින් මේ ලිපි පෙළෙන් මං බලාපොරොත්තු වෙන්නේ එතුමන්ලා විසින් හෙලිදරවු කරගත් නිවැරදි හෙළ ඉතිහාසය පිළිබඳව ඔයාලවත් දැනුවත් කරන්නයි.

මහාවංශයට අනුව ලංකාව ජනාවාස වී ශිෂ්ටාචාරයක් බවට පත්වන්නේ විජයාගමනයෙන් පසුව බව කියැවුනත් ඊටත් බොහෝ කාලයකට පෙර සිට අප රටේ දියුණු ශිෂ්ටාචාරයක් පැවති බවට ඓතිහාසික සාක්ෂි හමු වී තියෙනවා. බුදු දහමේ පවා සඳහන් වෙනවා පෙර විසූ කකුසඳ, කෝණාගම ආදී බුදුවරුන්ගේ කාලයේදී ලංකාවේ රජකම් කල රජවරු ගැන. ඒ වාගේම ඒ බුදුවරුන්ගේ කාලයේදීත් ලංකාවට බුදුදහම ගෙන ආ බව කියැවෙනවා. කකුසඳ බුදුන් වහන්සේගේ ධර්මය ලංකාවේ තිබුණු බවට සහ ඒ කාලයේදී පවා ලංකාවේ අක්ෂර කලාව පැවති බවට සාක්ෂි 'පොල්පිතිගම' ප්‍රදේශයේ තියෙන ඉපැරණි සෙල්ලිපියකින් අපට දැකගන්න පුලුවන්. මෙහි '....පරුමක කශබහ පුත පරුමක අබයහ ලෙණෙ ශගශ අගත අනගත චතුදිශ නම කකුසඳ දිනෙදනෙ......' යනුවෙන් සඳහන් වෙනවා.

මෙහි කකුසඳ බුදුන්ගේ නම සඳහන් වෙනවා ඔයාලට පේනවා ඇති. බොහෝවිට මේ සෙල්ලිපිය ලියැවෙන්නට ඇත්තේ කකුසඳ බුදුන්ගේ කාලයේ වෙන්නට පුළුවන්. මීට අමතරව ගල්ගමුව ප්‍රදේශයේ තියෙන තවත් සෙල්ලිපියක '....පරුමක ශමුදහ ලෙණෙ කොනගම නම කරපිති අදකරකෙ....' යනුවෙන් සඳහන් වෙනවා. මෙහි 'කොනගම' යනු කෝණාගම බුදුන්වහන්සේ යැයි විශ්වාස කරන්න පුළුවන්. ඒ වාගේම මාදුරුඔය ප්‍රදේශයෙන් හමු වූ සෙල්ලිපියක '....කශබ බුදහ මඩිමතයෙ....' යනුවෙන් සඳහන් වෙනවා. මෙහි 'කශබ බුදහ' යනු කාශ්‍යප බුදුන් වහන්සේ ය. ඒ අනුව මෙතරම් ඈත අතීතයේදි පවා ලියැවුණු සෙල්ලිපි හමුවීමෙන් ලංකාවේ අක්ෂර කලාවට ඉතාමත් දිගු ඉතිහාසයක් තියෙන බව සලකන්නට පුළුවන්. එසේනම් මහාවංශය කියන පරිදි අපේ රටට අක්ෂර කලාව ලැබුණේ මහින්දාගමනයත් සමග ය යන කතාව වැරදි බව ඔප්පු වෙනවා. ඒ වගේම අතීතයේදිත් අපේ රටේ දියුණු අක්ෂර කලාවක් තිබීමෙන් පැහැදිලි වන්නේ ඒ යුගයේදීත් ලංකාවේ දියුණු ශිෂ්ටාචාරයක් තිබුණු බවයි. ඒත් කොඩ්‍රින්ටන් විසින් ඉතිහාසය ලියද්දී මේ සාධක සියල්ලම අතහැර දමා තිබෙනවා.

ශිලා ලිපි වලට අනුව ගෞතම බුදුන් වහන්සේගේ කාලයේදී ලංකාවේ රජකම් කර ඇත්තේ 'පනිත' නම් රජ කෙනෙක්. කුමක් හෝ හේතුවක් නිසා මේ රජතුමා අපේ ඉතිහාස පොත් වලින් ඉවත් වී තිබෙනවා. බොහෝවිට විජය රජතුමාට රාජාවලිය තුල ඉඩක් දීම සඳහා මහාවංශය විසින් මෙසේ කලා වන්නට පුළුවන්. ඒ වාගේම 'සුමන (සමන්)' යනු පනිත රජුගේ භාණ්ඩාගාරික වශයෙන් කටයුතු කළ තැනැත්තා බවද සෙල්ලිපි වල සඳහන් වෙනවා. මේ 'සුමන' යන නාමය සඳහන් සෙල්ලිපි 30 කට වැඩි ප්‍රමාණයක් දැනට හම්බ වෙලා තියෙනවා. මේ අනුව ද විජයාගමනයට පෙර ලංකාවේ දියුණු ශිෂ්ටාචාරයක් තිබුණු බව ඔප්පු වෙනවා.

උපුටා ගැනීම - http://sellipiya.blogspot.com/2009/10/blog-post.html

No Response to "හෙළ ඉතිහාසයේ ප්‍රෞඪත්වය - 1"

Post a Comment

අදහස් සහ උදහස්