-->

Thursday, November 26, 2009

හත්වන සියවස ඔපවත් කළ හර්ෂවර්ධන හා හියුංසෑන්

0


හත්වන සියවස ඔපවත් කළ හර්ෂවර්ධන හා හියුංසෑන්

හර්ෂවර්ධන යනු ක්‍රි. වර්ෂ හත්වැනි සියවසේදී ඉන්දියාවේ විශාල භූමි භාගයක්‌ පාලනය කළ ඉන්දීය ඉතිහාසයේ බිහි වූ අවසන් බෞද්ධ අධිරාජයා ය. හියුංසෑන් ද ක්‍රි. වර්ෂ හත්වෙනි සියවසේ දී දිවි ගෙවූ මානව ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටතම දේශාටකයන් අතරත් කැපී පෙනෙන චීන ජාතික බෞද්ධ භික්‌ෂුවකි.

ඉන්දීය ඉතිහාසයේ හින්දු පුනර්ජීවන යුගය ලෙසින් සැලකෙන ගුප්ත රාජවංශයේ අවසන් පුරුකක්‌ වූ බාලාදිත්‍යයගෙන් පසුව ගුප්ත රාජවංශයේ බිඳ වැටීම සිදු විය. ඉන්දීය භූමියේ දකුණු කොටසේ පුලකේෂින් අධිරාජයා "චාලුක්‍ය අධිරාජ්‍යය" පිහිටුවනුයේ ද එම පසුබිම තුළය.

වර්තමානයේ ප්‍රකට කර්මාන්ත පුරයක්‌ වන කෝන්පුරය ආසන්නයේ පිහිටා තිබෙන කුඩා නගරයක්‌ වන කනෞඡ් ක්‍රි. වර්ෂ හයවැනි හත්වැනි සියවස්‌ කාලවලදී සුවිශාල රාජධානියක්‌ වශයෙන් කනෞඡ් ක්‍රි. වර්ෂ හයවැනි හත්වැනි සියවස්‌ කාලවලදී සුවිශාල රාජධානියක්‌ වශයෙන් කනෞඡ් පුරය කීර්තියක්‌ ඉසිලුවේය. එය වඩාත්ම ප්‍රකට වූයේ කීර්තිමත් කවීන්, විශිෂ්ට චිත්‍ර ශිල්පීන්, සුවිශේෂ දර්ශනවාදීන්ගෙන් එම රාජධානිය සමලංකෘතවීම කරණ කොටගෙනය. ඒ වන විට කෝන්පුරය නිර්මාණය වී නොතිබුණි. "කනෞඡ්" යනුවෙන් වර්තමානයෙහි හැඳින්වූවත්, අතීතයේ එය හැඳින්වූවේ "කන්‍යාකබිජ" හෙවත් කුදු කන්‍යාව යන අර්ථයෙනි. පුරාවෘත්තයේ නැතහොත් ජන සම්මත කතාවේ එන ආකාරයට කෝපාවිෂ්ට වූ කිසියම් සෘෂිවරයෙක්‌ මහ රජෙකුගේ දූ කුමරියන් සිය දෙනකුට ශාප කොට මෙම ස්‌ථානයේ දී "කුදු" බවට පත් කොට ඇත. ඉන්පසු මෙම කුදු කුමරියන් විසූ පුරය "කන්‍යා කුබිජ" බවට පත්ව තිබේ.

එහෙත් වර්තමානයේ දී එම නගරයට කෙටියෙන් "කනෞඡ්" යෑයි වැහැරීමට පෙළඹී තිබේ. කනෞඡ් හී මහ රජු හා හන් ආක්‍රමණිකයන් අතර පැවැති සටනේ දී ජයග්‍රහණ පෙනි පෙනී තිබියදී මහ රජු මරණයට පත්වීම නිසා යුද්ධයෙන් පරාජයට පත්ව ඇත.

එසේ මහරජු මරණයට පත්කළ හන්වරු රාජදේවිය වූ රාජ

ශ්‍රී සිරකාරියක කළහ. එවිට රාජ ශ්‍රී ගේ සහෝදර රාජවර්ධන ඇයව නිදහස්‌ කර ගැනීම උදෙසා හන්වරුන් සමග සටන් වැදුණි. එම සටනේදී හන්වරුන් අතින් රාජවර්ධන රජුත් මරණයට පත්විය. ඉන්පසුව රාජවර්ධනගේ බාල සොහොයුරු හර්ෂවර්ධනයන් සිය වැඩිමහලු සොයුරිය වූ රාජ ශ්‍රී සොයා පිටත් වී හන්වරුන් ගෙන් මිදී වනගතව අපා දුක්‌ විඳිමින් සිටි සොයුරිය සොයා ගැනීමට සමත් විනි.

මේ ආකාරයට සිය සොහොයුරිය සොයා ගැනීමෙන් පසුව, සිය පරපුරේ අභිමානය ගොඩ නැගීම උදෙසා සතුරු බලවේගවලට එරෙහිව සටන ඇරැඹීමටත් හර්ෂවර්ධන කුමරු පෙළඹුණි. ඒ අනුව ඉතාමත් කෙටි කාලයක්‌ තුළදී සමස්‌ත උතුරු ඉන්දියාව ම යටත් කර ගැනීමට හර්ෂවර්ධන සමත්වීම සුවිශේෂ සිද්ධියකි. උපතින්ම බෞද්ධයකු වූ හර්ෂවර්ධන රජු, ගුප්ත පාලන සමයේ බිඳ දමා තිබූ බෞද්ධ සිද්ධස්‌ථාන නැවත පිළිසකර කරමින් බුදුදහමට පුනර්ජීවනයක්‌ ලබාදීමට දැඩි උත්සාහයක නිරත විණි.

දකුණෙන් වින්ධ්‍යා කඳුවැටිය දක්‌වා සිය රාජධානිය පුළුල් කළ හර්ෂයන්ට දකුණේ පුලකේශින් ගේ චාලුක්‍ය රාජධානිය ජය ගැනීමට නොහැකි විය. කනෞඡ් පුරය හර්ෂවර්ධනයන්ගේ රාජධානිය බවට පත්විය. කවියකු මෙන්ම නාට්‍ය රචකයකු ද වූ හර්ෂවර්ධනයන් සිය රාජධානිය කවීන්ගෙන් හා චිත්‍ර ශිල්පීන්ගෙන් බැබලවීමට කටයුතු කළේය. ඔහුගේ බෞද්ධකමත්, ඉහත කී කවීන් හා චිත්‍ර ශිල්පීන්ට නිසි තැනදී කටයුතු කිරීමත් මත කනෞඡ් පුරය ලෝක ප්‍රකට විය.

බමුණන් ගිල ගනිමින් තිබූ බුදු දහම නැවත ඔසොවා තැබීමට පියවර ගත් හර්ෂවර්ධනයන් ගේ සමයේ දීම තවත් ඓතිහාසික සිද්ධියක්‌ සිදු විණි. කීර්තිමත් දේශාටකයකු වූ චීන ජාතික බෞද්ධයකු ද වූ හියුංසෑන් ඉන්දියාවට පැමිණීම එම සුවිශේෂ සිද්ධිය යි.

හියුංසෑන් ගේ චාරිකා වෘත්තාන්තවල ඉන්දියාව පිළිබඳවත් ඉන්දියාවට පැමිණෙද්දී පසුකර පැමිණි මධ්‍යම ආසියානු රටවල් ගැනත් දීර්ඝ විස්‌තර ඇතුළත්ව තිබේ. භක්‌තිමත් බෞද්ධයකු වූ හියුංසෑන්ගේ අරමුණ වූයේ බෞද්ධ සිද්ධස්‌ථාන වැඳ පුදා ගැනීම හා හැකි තරම් බෞද්ධ පොත් පත් එකතු කර ගැනීමය. ගෝබී කාන්තාරය ඔස්‌සේ පා ගමනකින් පැමිණි හියුංසෑන් තුමා ටාෂ්ඛාන්, සමරඛාන්, බාල්ක්‌, ඛෝටාන් හා යාඛාන් ආදී නගරවලටත් ලංකාවටත් පැමිණියේය. ඔහුගේ දේශාටන වාර්තාව වූ කලී තමා සංචාරය කළ රට රාජධානියන්හිදී දක්‌නට ලැබුණ දේ පිළිබඳ විශ්මයජනක වූත්, චමත්කාර ජනකවූත් තොරතුරු සමුච්චයකි. බුදුරජාණන් වහන්සේ හා බෝධිසත්ව වරුන් පිළිබඳව ඔහු අසා ඇති සෘද්ධි ප්‍රාතිහාර්යමය පුරාවෘත්ත හියුංසෑන් විස්‌තර කර ඇත්තේ විශිෂ්ට අන්දමිනි.

වසර ගණනාවක්‌ ඉන්දියාවේ ගතකළ මොහු වැඩි කාලයක්‌ වාසය කළේ පාඨලී පුත්‍ර නගරය ආසන්නව පිහිටි නාලන්දා විශ්වවිද්‍යාලයෙහිය. මහා සංඝාරාමයකින් හා මහා සරසවියකින් සමලංකෘත වූ නාලන්දා විශ්වවිද්‍යාලයෙහි එසමයේ අභ්‍යන්තර ශිෂ්‍යයන් වශයෙන් ගිහි පැවිදි දසදහසක්‌ දෙනා ශාස්‌ත්‍රොaද්ග්‍රහණය කළහ. බ්‍රාහ්මණයන්ගේ ඥන ක්‌ෂේත්‍රය හැටියට ප්‍රකට වූ බරණැස හා තරගයට මෙන් බෞද්ධ ශාස්‌ත්‍රාලෝකය විහිද වූයේ මේ නාලන්දා සරසවිය යි.

හියුංසෑන් ඉන්දියාවට පැමිණියේ ක්‍රි.වර්ෂ 629 දීය. චීනයේ සිට මෙම චාරිකාව අරඹන විට ඔහුගේ වයස අවුරුදු 26 කි. ඔහු පිළිබඳව චීන වාර්තාවල සඳහන් වන ආකාරය මෙසේය.

"ඔහුගේ වර්ණය පැහැපත් ය. දෙනෙත් දීප්තිමත් ය. බැල්ම රළු වුවද මහේශාක්‍ය ය. ඔහුගේ සෑම අංග ලක්‍ෂණයක්‌ ම සුන්දර විය. දීප්තිමත් විය. පෘථිවියේ ඇති මහා සමුද්‍රය ලෙසින් ඔහුගේ පෙනුම ප්‍රතාපවත් විය. ජල මධ්‍යයෙන් මතුවී හිස ඔසවා සිටින නෙළුම් මලක්‌ මෙන් හෙතෙම පිරිසිදු විය. පැහැපත් විය."

එවක චීන අධිරාජයාගේ තහනම පවා නොතකමින් මෙම වීරයා ස්‌වකීය අභීත චාරිකාව ඇරැඹුවේ භික්‌ෂුන් වහන්සේ කෙනෙකුගේ කසාය චීවරයෙන් පමණක්‌ සැරසී, හුදකලාවමය. ජීවිත තර්ජනය නොතකා ගෝබි මරු කතර තරණය කළ හෙතෙම කාන්තාරය මධ්‍යයේ පිහිටි ටර්ෆාන් නමැති රාජධානියේ මඳ කලක්‌ ගතකර තිබේ. කාන්තාරය මැද පිහිටි මේ රාජධානිය සංස්‌කෘතිය පිළිබඳ අරුම පුදුම ක්‌ෂේම භූමියක්‌ විය. වර්තමානයේ මළ භූමියක්‌ බවට පත්ව ඇති මෙම භූමිය හියුංසෑන් පැමිණෙන විට විශිෂ්ට සංස්‌කෘතියකින් පණ ගැසී තිබූ අයුරු ඔහුගේ දේශාටන වාර්තා මගින් අනාවරණය වී ඇත.

ටර්ෆාන් රාජධානියෙන් නික්‌මී හියුංසෑන් ඊළඟට පැමිණියේ මධ්‍යම ආසියාවේ "ක්‍රච" නගරය වෙතය. අති දක්‌ෂ සංගීතඥයන් නිසාත්, රූමත් පුරඟනන් නිසාත් එම පුරවරය ප්‍රසිද්ධියට පත්ව තිබිණි. එහි සංස්‌කෘතියත්, වෙළෙඳ කටයුතුත් අයිරානයෙන් උරුම වූ ඒවා විය. එහි භාවිතා වූ භාෂාව සංස්‌කෘත, ලතින්, පුරාණ පර්සියානු භාෂාව හා සෙල්ටික්‌ භාෂාවලට නෑකම් කියන්නක්‌ විය. එය වූ කලී විශ්මයජනක සංයෝජනයකි.

මේ ආකාරයට දේශයෙන් දේශය පසුකොට තුර්කියට පැමිණි හියුංසෑන්ට මධ්‍යම ආසියාවේ විශාල කොටසක්‌ යටත් කොට ගෙන සිටි මහාඛාන් අධිරාජයා නමැති ඉතා බලවත් බෞද්ධ රජෙකු දැක ගැනීමට ලැබී තිබේ. ඉන් අනතුරුව සමර්ඛාන්, බල්ක්‌ පසුකොට කාබුල් නිම්නය ඔස්‌ස්‌ කාශ්මීරය හරහා ඉන්දියාවට පැමිණීමට හියුංසෑන් සමත් ව තිබේ.

මේ කාලයේ චීනය පාලනය කළේ ටෑං රාජවංශය යි. සී - ඇන් - ෂු නගරය අග නගරය කොටගෙන බැබලුණු චීන අධිරාජ්‍යය ශාස්‌ත්‍රයේ හා කලාවේ මධ්‍යස්‌ථානය විය. එසමයේ ලෝක සභ්‍යත්වයේ මුදුන් මල්කඩ බවට පත්වී සිටියේද චීනයයි. හියුංසෑන් පැමිණියේ මෙතරම් උසස්‌ සභ්‍යත්වයක්‌ උරුම කරගත් භූමියක සිටය. ඔහු සංචාරය කළ සෑම රාජධානියක්‌ ම සිය මව්බිම හා සස¹ වාර්තා සටහන් තැබීමට හෙතෙම පෙළඹීමත් කැපී පෙනෙන කාරණයකි. ඉන්දියාවේ තත්ත්වය පිළිබඳව ඔහු බැසගත් නිගමන අගනා බව අමුවෙන් කිව යුතු නොවේ. ඉන්දියානු ජනතාවත්, පරිපාලන ක්‍රම පිළිබඳවත් ඔහු බෙහෙවින් වර්ණනා කර ඇත්තේ මෙසේය.

"ඉන්දියානු ජනතාව සැහැල්ලු සිතුම් පැතුම් ඇති වුවද සෘජු හා ගරු කටයුතු අය බව කිව යුතුය. මුදල් කටයුතුවලදී ඔවුන්ගේ කිසිම කපටිකමක්‌ නැත. යුක්‌ති ධර්මය හෙවත් අධිකරණ කටයුතුවලදී ඔව්හු ඉතා ඉවසිලිවන්ත ය. චරිතයෙන් ඔව්හු කපටි කෛරාටික හෝ මිත්‍රෙද්‍රdaහී නොවෙති. දිව්රුම් හා ප්‍රතිඥ ඉටු කිරීමේ දී අතිශයින් විශ්වාසවන්ත ය. රාජ්‍ය පරිපාලනයෙහිදී අකුටිල වූ මේ ජනතාව සාමාන්‍ය හැසිරීමෙහි දී මහාත්ම ගති හා සුන්දර ගුණ ප්‍රදර්ශනය කරති. අපරාධකාරයන් හා කැරැළිකරුවන් ගැන කිව යුත්තේ ඔවුන් ගණනින් ඉතා සුළු බවයි. කරදර ඇති වෙතත් ඇති වන්නේ අතරින් පතරය."

"රාජ්‍ය පරිපාලනය කාරුණික ප්‍රතිපත්ති මත පිහිටා ඇති බැවින් විධායක යන්ත්‍රය ක්‍රියාත්මක කිරීම ඉතා පහසුය. ජනතාවගේ බලයෙන් වහල් මෙහෙවරක්‌ ගැනීමක්‌ නැත. අයබදු සාධාරණය. පුද්ගලයන් වශයෙන් ඔවුන් රජයට කළ යුතු මෙහෙය මධ්‍යස්‌ථය. ලෞකික වශයෙන් ඔව්හු සාමයෙන් හා සමාදානයෙන් පසුවෙති. ජීවිකාව සඳහා ගොවිතැන් කරති. රජයේ ඉඩම් වගා කරන ගොවියෝ අස්‌වැන්නෙන් හයෙන් එකක්‌ අය බදු වශයෙන් ගෙවති. වෙළෙඳ ජනයා එති. යති. වෙළෙ¹මෙහි යෙදෙති."

හියුංසෑන් ඉන්දියාව තරණය කළ සමයේ එහි අධ්‍යාපනය ක්‍රමවත්ව සංවිධානය වී තිබුණි. එම අධ්‍යාපන ක්‍රමයට අනුව හෝඩි පොත ඉගෙනගත් දරුවා හෝ දැරිය වයස හතේ දී පංචවිධ ශාස්‌ත්‍ර ඉගෙනීම අරැඹිය යුතු විය. මේ කාලයේ ඉන්දියාවේ ශාස්‌ත්‍ර යනුවෙන් භාවිතා වනුයේ පිරිසිදු වශයෙන්ම ආගමික විෂයයන් ය. එහෙත් අතීතයේ දී ශාස්‌ත්‍ර යන්නෙන් අදහස්‌ වූයේ ඥන වර්ධනයට ඉවහල් වූ විවිධ ශාස්‌ත්‍රයි. එසමයේ උගන්වන ලද පංච ශාස්‌ත්‍ර මේවාය.

i ව්‍යාකරණය

ii විද්‍යා හා කලා ශිල්ප

iii වෛද්‍ය ශාස්‌ත්‍රය

iv තර්ක ශාස්‌ත්‍රය

v දර්ශනවාදය

මේ ශාස්‌ත්‍ර ඉගැන්වීම් විශ්වවිද්‍යාල මගින් කෙරුණු අතර සාමාන්‍ය වශයෙන් වයස (30) තිහ වන විට මේ පංචවිධ ශාස්‌ත්‍රය පිළිබඳ සම්පූර්ණ අධ්‍යාපනය අවසන් වෙයි. ජනතාව අතුරින් බොහෝ දෙනෙක්‌ මේ තත්ත්වය දක්‌වා උගත්හයි සිතිය නොහැකිය. එසේ වුවත් අධ්‍යාපනය භාරව සිටියේ භික්‌ෂුන් වහන්සේ බැවිනුත්, උන්වහන්සේ සුලබව විසූ බැවිනුත් මූලික අධ්‍යාපනය රට මුළුල්ලේ ම පැතිරී පැවැති බව අවිවාදිතය.

ප්‍රයාගතිර්ථයේ පැවැති "කුම්භමේලා" නම් මහා උත්සවය පිළිබඳ චමත්කාරජනක විස්‌තරයක්‌ හියුංසෑන් ගේ පොතෙහි සඳහන් කෙරේ. වසර 1300 කට පෙර හියුංසෑන් එම හින්දු සැණකෙළිය නරඹන විටදීත් එය

පැරැණි උත්සවයකි. වෛදික යුගයේ සිට පැවැත ආ සිරිතකි.

හර්ෂවර්ධන රජු බෞද්ධයකු වුවත්, මේ හින්දු සැණකෙළිය නැරැඹීමට ගිය ආකාරය හියුංසෑන් විස්‌තර කරයි. කුම්භමේලා උත්සවයට පැමිණෙන ලෙසට සමස්‌ත භාරත ජනතාවටම හර්ෂවර්ධන අධිරාජයා ඇරැයුම් කර තිබේ. මේ උත්සව සමයේ දී ඊට සහභාගි වන සමස්‌ත ජනතාවටම ආගන්තුක සත්කාර ලබාදීම හර්ෂවර්ධන රජු විසින් සිදු කිරීම තවත් සුවිශේෂතම සිද්ධියකි.

මේ ආකාරයට වසර 05 කට වරක්‌ පැවැත්වෙන කුම්භමේලා සැණකෙළියට සහභාගී වන ලක්‌ෂ සංඛ්‍යාත ජනතාවකට ආහාර ඉඳුම් හිටුම් ඇතුළු ආගන්තුක සත්කාර කිරීමට අතිරේකව, හර්ෂවර්ධන රජු සිය භාණ්‌ඩාගාරයේ තිබූ අතිරික්‌ත රත්රන්, මැණික්‌ හා පටපිළි ජනතාව අතර බෙදාදීමත් සිරිතක්‌ව තිබූ බව හියුංසෑන් සිය, වාර්තාවන්හි සඳහන් කරයි. අතිශය භක්‌තිමත් බෞද්ධ රජකු වූ හර්ෂවර්ධනයන් ස්‌වකීය අධිරාජ්‍යය තුළ ආහාර පිණිස සතුන් මැරීම නීතියෙන් තහනම් කොට තිබී ඇත. එසමයෙහි භාරතයේ පැවැති උතුම් සිරිතක්‌ වූයේ උගතුන්, වියතුන් හා සිල්වතුන් කෙරෙහි මහරජු විසින් හා මහ සෙන්පතිවරුන් විසින් දක්‌වන ලද දැඩි ගෞරවය යි. මේ ආකාරයට තිරශ්චීන බල පුළුවන්කාරකමට හෝ වත් පොහොසත්කමට හෝ නොව උගත්කමටත්, යහපත් බවටත් මුල්ම ගෞරවය පිදීමේ සිරිත ඉන්දියාව හා චීනය විසින් ලොවට උගන්වන ලද බවත් හියුංසෑන්ගේ වාර්තා පෙන්වා දෙයි.

මේ ආකාරයට වසර ගණනාවක්‌ ඉන්දියාවේ සැරිසැරූ දේශාටන හියුංසෑන්තුමා උත්තර කඳුවැටිය තරණය කරමින් සිය රට බලා ගිය බවත් ඔහුගේ වාර්තා මගින් අනාවරණය වී තිබේ. මධ්‍යම ආසියාව පුරා පැවැති බෞද්ධ විහාරාරාම ගැනත් මොහු සඳහන් කරයි. පර්සියාව, ඉරාකය හෙවත් මෙසපොතේමියාව, මොසුල් පසුකොට සිරියාවේ දේශසීමා දක්‌වා වූ දේශ දේශාන්තරයන් හි බෞද්ධ විහාරාරාම පැවැති බව මොහු කියා ඇත්තේ මෙසේය.

"උගත්කම ගැන එතරම් තැකීමක්‌ නැති ඔව්හු මුළුමහත් කාලයම කලා ශිල්පයට කැප කරති. අසල්වැසි රටවල ජනතාව මේ කලා කෘති අතිශයින් අගය කරති."

ක්‍රි. වර්ෂ 606 දී රාජ්‍යවර්ධන රජුගේ බාල සොහොයුරු වූ හර්ෂවර්ධනයෝ තනේශ්වාරය, කනෞජය යන දෙරාජධානියේ රජකමට පත්වූහ. මෙම වර්ෂයේ පටන් හර්ෂ වර්ෂය ඇරැඹිණි. ග්‍රහවර්මන් රජුගේ මරණයෙන් හිස්‌වූ කනෞජ සිංහාසනය මෞඛරී රාජධානියේ ඇමැතිවරුන්ගේ අයෑදුම පරිදි බිසවුන් ඇයගේ හිමියන් සතු රාජධානිය පාලනය කිරීම උදෙසා හර්ෂවර්ධනයන් හා එක්‌වූ බවට චීන මූලාශ්‍ර සඳහන් කරයි. මුලදී හර්ෂයෝ රාජපුත්‍ර යන ආරූඪ නාමයෙන් පෙනී සිටි අතර පරිපූර්ණ රාජ්‍යත්වය හඟවන නම් ගත්තේ ක්‍රි. වර්ෂ 612 දීය. ග්‍රහවර්මන් රජුගේ සහෝදර වූ ද මෞඛරී ඔටුන්නට නීත්‍යනුකූල ලෙස උරුමකම් පෑවා වූද අධිරාජ්‍ය නාමයෙන් පවා ගත්තා වූද අවන්තිවර්මන් රජුගේ විරුද්ධත්වය මෙසේ නියම රාජ නාමය ගැනීම පමා කිරීමට හේතු වූ බවට විශ්වාස කෙරේ. හර්ෂයෝ, සිය අගනුවර කන්‍යාකුබිජ හෙවත් කනෞජය නගරයට ස්‌ථාන මාරුකොට එය උතුරු ඉන්දියාවේ දේශපාලන මධ්‍යස්‌ථානය බවට පත්කළහ.

හර්ෂයන් යටතේ කන්‍යා කුබිජ හෙවත් කනෞජය උතුරු ඉන්දියාවේ ප්‍රධාන නගරය වූයෙන් පාටලීපුත්‍රයේ කීර්තිය ද ඉක්‌මවිය. හියුංසෑන් වාර්තාවන්ට අනුව මෙම නගරය දිගින් සැතපුම් 05 ක්‌ ද, පළලින් එක්‌ සැතපුමක්‌ද තරම් සුවිශාල නුවරක්‌ විය. එහි අලංකාර බෞද්ධ විහාර සියයක්‌ පමණද, හින්දු දේවාල 200 ක්‌ පමණද තිබූ බවත් එම වාර්තා පෙන්වා දෙයි.

හියුංසෑන් වාර්තාවන්ට අනුව කනෞජයේ විශාල සම්මේලනයක්‌ පැවැත්විණි. හියුංසෑන් හා භාස්‌කරවටන් යන දෙදෙනා ගංගා නදී දක්‌ෂිණ තීරයේ පිහිටි කඳවුරින් නික්‌ම රැස්‌වෙනා තැනට පැමිණි කල හර්ෂවර්ධන රාජයාණෝ රාජ කුමාරයනුත්, භික්‌ෂුනුත් විසින් පිළිගන්නා ලදහ. ඇතකු පිට රන් මුවා බුදු පිළිම වහන්සේ නමක්‌ වැඩම කරවාගෙන ගිය පෙරහැරකින් සම්මේලනයේ කටයුතු ඇරැඹි පෙරහැර නිමාවීමෙන් පසුව පිළිම වහන්සේ ඉදිරිපිට බුද්ධ පූජාවක්‌ පවත්වා මහා දානයක්‌ද දුන්හ. ඊළඟට සභාවේ කටයුතු ඇරැඹුණෙත් යුයේං - ටිසාං වන්දනාකාර තෙමේ මහායාන නිකායට අයත් දහම් දෙසීම සිදු කළහ.

ගංගා යමුණා යන දෙ නදියේ පාරිශුද්ධ වූ දෙමෝදර පිහිටි ප්‍රයාගයේ (අහලබාද්හී) හර්ෂයෝ පස්‌ වසරකට වරක්‌ ඉතා සංසුන් උළෙලක්‌ (කුම්භමේලා උළෙල) පැවැත්වීමට පුරුදුව සිටියහ. කනෞජයේ සම්මේලනය නිමා වූ පසු හර්ෂයෝ ප්‍රයාගයේ පැවැත්වුණු සවැනි පංච වාර්ෂික උළෙල නරඹනු සඳහා හියුංසෑන්ටත් ඇරැයුම් කළහ. දින හැත්තෑ පහක්‌ (75) මුළුල්ලේ පැවැති මෙම උළෙලට සහභාගී වනු පිණිස ඉන්දියාවේ නොයෙක්‌ දෙසින් රාජ කුමාරවරු බොහෝ පැමිණියහ. තාවකාලික වශයෙන් ඉදිකළ විහාරයකට පළමුවැනි දවසේ බුදුන්ගේ පිළිමයක්‌ වැඩම කරවා අගනා වටිනා බොහෝ දේ සැදැහැ සිතින් පූජා කළහ. දෙවැනි. තෙවැනි දිනවල දී ඉරු දෙවියන්ගේත්, සිව දෙවියන්ගේත්. පිළිම වැඩම කරවා පුදන ලදී. එහෙත් මේ දෙ දිනේ පිදූ දෑ පළමු වනදා පිදූ දෑ තරම් අගනා නොවීය. සිව් වෙනි දිනයේදී දස දහසක්‌ (10,000) බෞද්ධ භික්‌ෂුන් උදෙසා සිව්පසය දෙවිණි. ඊළඟ විසි දිනය තුළ බමුණන්ට දන්දීම සිදු කෙරිණි.

ඊළඟ දස දිනය ජෛනයනටත්, අන්‍ය නිකායවාදීනටත් දන් දීමෙන් ගත කෙරිණි. තවත් දින දහයක්‌ තුළදී යාචකයනට දන් දීම සිදු කෙරුණු අතර, ඊළඟ මාසය තුළ දුගියනටත්, අනාථ දරුවන්ටත්, අසරණයන්ටත් දන්දීම සිදු කෙරිණි. මේ ආකාරයට දන් දෙන අතර ගෙවී ගිය වසර පහක (05) කාලය තුළ රැස්‌ කළ ධනය නිමා වීමත් සුවිශේෂ කාරණයකි. පිනට දීමත්, පර වැඩ කැමැත්තත් පිළිබඳ මෙබඳු ආදර්ශයකට සමානයෙක්‌ ඉන්දීය ඉතිහාසයේ පවා කිසි කලෙක නොවී යයි "ඉන්දීය ඉතිහාසය" ග්‍රන්ථයේ කතුවරුන් වන නරේන්ද්‍ර කෘෂ්ණ සිංහ හා අනිල් චන්ද්‍ර බැනර්ජි සඳහන් කරයි.

හර්ෂයන්ගේ මුතුන් මිත්තෝ ඉරු දෙවියන් ඇදහූවෝ වූහ. හර්ෂයන් ද මුල් කාලයේ දී ශිව භක්‌තිකයකු ව සිට සිය බෞද්ධ සොහොයුරිය වූ රාජ්‍ය

ශ්‍රී බිසවගේ මඟපෙන්වීම මත බෞද්ධයකු බවට පත් වූ බවට සිංහ හා බැනර්ජි ආචාර්යවරු විශ්වාසය පළකරති.

හර්ෂයන්ගේ සාහිත්‍යය ක්‍රියාමාර්ග අතර වඩාත් කැපී පෙනෙන කාරණය වනුයේ රජය සතු බිමේ ආදායමින් සතරින් කොටසක්‌ උගතුන්ටත්, ගත් කතුවරුන්ටත් තෑගි දීමනා පිණිස වෙන් කිරීමය. බෞද්ධ අධ්‍යාපනය පිළිබඳ ලෝක ප්‍රසිද්ධ මධ්‍යස්‌ථානයක්‌ වූ නාලන්දාවට හර්ෂයෝ සුවිශාල ධන පරිත්‍යාග සිදු කළහ.

නාලන්දා විශ්වවිද්‍යාලය පිළිබඳ හියුංසෑන්ගේ විග්‍රහය තුළ මෙසේද දැක්‌වේ

"බෞද්ධ, බ්‍රාහ්මණික යන දෙකොටසට අයත් ආගමික සාහිත්‍ය ඇතුළු නොයෙක්‌ විෂයයන් උගන්නා ශිෂ්‍යයෝ දසදහසක්‌ (10,000) දෙනෙක්‌ එහි ශිල්ප හැදෑරූහ. රාජ පරපුරු කිහිපයකම ශ්‍රද්ධාව, ලැගුම්හල්. දෙසුම්හල් යන දෙවගින් යුතු ශිෂ්ටාලංකාර ගොඩනැඟිලි වලින් සමලංකෘත කිරීමට පමණක්‌ නොව ගුරු ගෝල දෙවගින් යුත් මේ සුවිශාල ජනකායට අවශ්‍ය දෑ සැපයීමට ද හේතුවිය. ගම් සියයක පමණ ආදායම මේ සඳහා වියදම් කෙරිණි.

"නාලන්දාවේ ගුරුවරු ඉහළතම හැකියාවෙනුත්, දක්‌ෂකමිනුත් යුක්‌තෝ වූහ. මුළු විදුහල් පරිසරයම බුද්ධිමත් උෙද්‍යාaගයකින් බරව පැවැතිණි."

හර්ෂයෝ තමනුත් නම් දැරූ කවියකු නිසාම දෝ ගත්කරුවනට විශේෂ අනුග්‍රහයක්‌ දැක්‌වූහ. ඔහුගේ රාජ සභාව ආලෝකමත් කිරීමට "හර්ෂ චරිතයේ" ත් කාදම්බරියේත්, කතුවරයාණන් වූ බාණභට්‌ටයන් විශේෂයෙන් හේතු විය. හර්ෂයෝත් "ප්‍රියදර්ශිකා, රත්නාවලී, නාගානන්ද" යන සුප්‍රකට දෘෂ්‍ය කාව්‍යයන් තුන රචනය කළහ.

මේ ආකාරයට බුදු දහමට, අධ්‍යාපනයට, සාහිත්‍ය ක්‌ෂේත්‍රයට, සෙසු ආගම්වලටත්, භාරත සමාජය ආලෝකමත් කිරීමටත් අනූපමේය මෙහෙවරක්‌ ඉටුකළ හර්ෂවර්ධන අධිරාජයා ක්‍රි. වර්ෂ 646 - 647 අතරතුර දී කිසිවෙකු නොසිටීම මත අර්ජුන නමැති ඇමැතිවරයකු අත්පත් කරගත් බවත් ඉන්දීය ඉතිහාසය පෙන්වා දෙයි.

මේ අනුව හර්ෂවර්ධන අධිරාජයාගේත්, ප්‍රකට දේශාටක හියුංසෑන්ගේත් සබඳතාවය බුදු දහමටත්, ඉන්දීය සංස්‌කෘතියටත්, අධ්‍යාපනයට සේම පුළුල් වශයෙන් ඉන්දීය ජන සමාජයටත් සිදු කළ යහපත් බලපෑම සුළුපටු නොවේ. ඇතැම් ඉතිහාසඥයන්ට අනුව හියුංසෑන් සහ බාණභට්‌ටයන් ඔවුන් තුළ හර්ෂවර්ධනයන් කෙරෙහි භක්‌තිය, මිත්‍රත්වය පාදක කරගෙන අධිරාජයාට පක්‌ෂපාතීව ඔහුගේ යුගය පිළිබඳ සටහන් තබා ඇති බවයි.

ඌවතැන්නේ සුමන හිමි

උපුටා ගැනීම

Monday, November 16, 2009

රාවණාගේ වැඩිමහල් සොයුරු වෛශ්‍රවණ

0
රාවණාගේ වැඩිමහල් සොයුරු වෛශ්‍රවණ
 
ලංකාද්වීපයෙහි පාලන තන්ත්‍රයේ සිටිමින් රටට කළ සේවාව අධි සම්භාවනාවට පාත්‍ර කරනුවස්‌ දේවත්වාරෝපිත ඓතිහාසික චරිත අතුරින් බුදුදහම ව්‍යාප්ත වීමෙන් අනතුරුව රට කරවූ මහසෙන්, වලගම්බා වැනි රජවරු මුල් තැනක්‌ ගනියි. බුද්ධකාලයට පෙරසිටම විධිමත් පැහැදිලි කාල නිර්ණයක්‌ කර නොගත් යුගයේ සිටි රාජ්‍යතාන්ත්‍රිකයන් කීප දෙනකු ද මෙරට පුරාණෝක්‌ති ඇසුරේ දැකිය හැක. 

රාවණා, විභීෂණ හැරුණුකොට වෛශ්‍රවණ යන නාමයද ඒ අතර වේ. විශේෂත්වය නම් බෞද්ධාගමික සංකල්පීය පදනමේ නොවූවද මෙම පුරාතන රජවරු මහසෙන්, වලගම්බා වැනි පසු කාලීනව ගොඩනැඟුණු දේවාත්මයන්ට වඩා තිර භාවයකින් අද දක්‌වාම විවිධ ආගමික සංස්‌කෘතික වටපිටාවන්ගේ ස්‌ථානගත වීමය. පසු කාලීනව බෞද්ධ සාහිත්‍යකරුවන් මෙන්ම ඒ ඒ සංස්‌කෘතීන් ඇසුරෙහි සිටි සාහිත්‍යකරුවන් තම තමන්ගේ ආගමික ලබිධියට මොවුන් ඈ¹ගනිමින් තම පුරාණ ප්‍රබන්ධයන් නිර්මාණය කර තිබෙන ආකාරයක්‌ පෙනී යයි. ඇතැම් රජවරු මෙන්ම දෙවිවරුද බුදුමගෙහි යමින් සෝවාන් ඵල ලැබූ බව ද තවත් අයෙක්‌ හින්දු ආගමෙහි වූ ප්‍රබල ධ්‍යාන ලබා තිබූ බවද මේ අනුව සඳහන් වේ. ඇතැම් දෙවිවරු සෝවාන් ඵල ලබා බුදු දහම වෙනුවෙන් විවිධාකාර සේවාවන්ද ඉටුකර ඇති බව බෞද්ධ සාහිත්‍ය පතපොතෙහි සනිටුහන්ව ඇත. අනෙක්‌ ආගමික සංස්‌කෘතීන් ඇසුරේද එසේමය.

වෛශ්‍රවණ කුවේර හෙවත් විශ්‍රවාන් සෘෂිවරයාගේ පුත්‍රයකු බැවින් විශ්‍රව පුත්‍ර නමින්ද හඳුන්වන වෛශ්‍රවනයෝ දකුණු ආසියාතික ජන සමාජය ශිෂ්ටාචාරගත වීමත් සමගම ක්‍රමයෙන් වර්ධනය වූ බ්‍රහ්ම කුල ඔස්‌සේ සමාජගත වූ ආකාරයක්‌ දක්‌නට තිබේ.


මෙවැනි බොහෝ කරුණු කාරණාවන්හි ඓතිහාසික පදනම සඳහා පාදක වී ඇත්තේ හින්දු දේව සංකල්පය වන බවද මෙරට රාවණා රාජධානියේ කතා පුවතින්ද ෙත්‍රෙවේද ග්‍රන්ථ ගුරුකොට කළ එළි පිවිසි ෂඩ්විධ වේදාංග කෘතිද, කෞටිල්‍ය අර්ථ ශාස්‌ත්‍රය ඇතුළු තවත් බොහෝ ශාස්‌ත්‍ර ග්‍රන්ථද, ධර්ම සූත්‍ර නමින් ව්‍යවහාරයට පැමිණි ග්‍රන්ථයන් ද, මේවා අතර මුඛ්‍යස්‌ථානයක්‌ දිනා ගන්නා මානව ධර්ම ශාස්‌ත්‍රය හෙවත් මනුස්‌මෘති නමැති කෘතියෙන්ද ඒවායේ කර්තෘත්වය සමග ඈ¹ ඇති සෘෂිවර මුණිවර චරිතයන් කේන්ද්‍රීය කොට විකසනය වන භාෂ්‍යය පරපුර පිළිබඳවද සංසන්දනාත්මකව සිතීමේදී වටහා ගැනීමට අපහසු නොවේ.


පුරාණයෙහි ලංකා පුර පාලනය කළ රාවණා රජුගේ වැඩිමහලු සොහොයුරෙකු වන වෛශ්‍රවණයෝ පිළිබඳව විවිධ මතවාදයන් අතර පැරණි බෞද්ධ පාලි ග්‍රන්ථයන්හි, වෛශ්‍රවණ යනු සතරවරම් දෙවියන්ගෙන් කෙනෙකු බවද සඳහන්ය. වසර 90000 ක ආයු කාලයක්‌ සහිත වුවද මරණය නමැති ලෝකධර්මතාවයට යටත් කෙනෙකු බව සඳහන්ය. ලෝකයෙහි උතුරු අර්ධයෙහි ඇති උතුරු කුරු දිවයිනෙහි අධිපති ලෙස පෙනීසිටින බව ප්‍රවාදගතය.


බුත රට්‌ඨෝච ගන්ධබ්බෝ - විරුල්හෝ රක්‌ඛාධිපඃ


විරූපක්‌ඛෝච කුම්භණ්‌ඩෝ - වෛශ්‍රවණෝ යක්‌ඛාධිපඃ


මෙම ශ්ලෝකයෙහි සඳහන් පරිදිම රාවණා රජුගේ සොහොයුරෙකු වූ බැවින්ද බොහෝ දුරට මොහු යක්‍ෂාධිපතියෙකු යෑයි පැරණි ජනයා විශ්වාස කළ බවට නිගමනය කළ හැක.


තවද බුදු දහම වැළඳ සෝවාන් ඵල ලබන්නට පෙර මොහු ඉතාමත් සෞභාග්‍ය සම්පන්න කාමභෝගී ලෞකික දිවියක්‌ ගත කළේ යෑයි ජනශ්‍රැතියෙහි සඳහන් වේ. සියලු කාම සම්පත්තීන්ගෙන්ද යස ඉසුරින් ද ආඪ්‍ය වූ "ආලකමන්දාව" නමැති රාජධානියෙහි අධිපති කුවේර නමින් වාසය කළේද වෛශ්‍රවණයෝයෑයි විශ්වාස කෙරේ.


මෙය ජපානය, ටිබෙටය, තායිලන්තය යන රටවල වැසියන්ගේද විශ්වාසයකි. ජපානයෙහි වාසනාව ළඟාකරදෙන දෙවියන් සත් දෙනගෙන් කෙනකු ලෙස "බිශමන්" හෙවත් වෛශ්‍රවණයෝ නිරූපිතය. තවද යුදයට අධිපති දෙවියකු ලෙසද ජපන් වැසියන් "බිශමන්තන්" සලකනු ලබන්නේ වමත හෙල්ලක්‌ද දකුණතෙහි සෞභාග්‍යය සංකේතවත් වන චූඩාමාණික්‍යයක්‌ සහතව ද දෘෂ්‍යමාන වෙයි.


එලෙසින්ම ටිබෙටයේද වමතින් හෝතම්බුවකු ද දකුණතින් කුඩයක්‌ හෝ සේසතක්‌ද නැතිනම් "ජම්බල" ගෙඩියක්‌ද සහිතව දෘෂ්‍යමාන වන "නම් තො සේ" නමින් හඳුන්වන මොහුගේ අට වැදෑරුම් අවතාරයන් අතුරින් සෞභාග්‍යාරෝපිත පාත්‍රයා හැඳින්වීමට "ජම්බාල" නම භාවිතා වෙයි. ඔහුගේ දකුණතෙහි සෞභාග්‍ය හඟවන පැඟිරි පලතුරක්‌ වන "ජම්බෝල" ගෙඩියක්‌ද සහිතව නිරූපිතය.


මෙවැනි විවිධ සංස්‌කෘතීන් ඇසුරෙහි විවිධ වේශයන්ගෙන් පෙනී සිටින වෛශ්‍රවණයෝ සියලු තන්හි දක්‌වා ඇත්තේ උතුරු දේශයට අධිපතියකු ලෙස වීම විශේෂත්වයකි. ජපානයේදී "සුමෙර" පර්වතයෙහි උතුරු බෑවුමෙහි මොහුගේ රාජ්‍යය පිහිටියේ යෑයි සලකනු ලැබේ. සතර වරම් දේව සංකල්පයෙහි උතුරු දකුණ නැගෙනහිර, බටහිර යන ප්‍රධාන දිශා හතරින් උතුරු දිශාභාරව සිටින්නේ වෛශ්‍රවණයෝ බව පැහැදිලිව පෙනීයයි.


මොහුගේ ආලකමන්දාව පිහිටියේ මිහිමත නම්, එය පිහිටියේ ලංකාවේ වෙස්‌සගිරිය ආශ්‍රිතව දැයි, වෙස්‌සගිරිය ආශ්‍රිතවද වෛශ්‍රවණ රාජධානියක්‌ පිළිබඳ සනිටුහන් වන බැවින් මතභේදයට තුඩුදෙන කරුණකි. කෙසේ වෙතත් ආලකමන්දාව යනු දිව්‍ය විමානයකැයි. පිළිගත් මතයක්‌ද තිබේ. එසේ නම් එය මිහිපිට කොතැනකවත් නොවනු ඇත.


වෛශ්‍රවණයන්ගේ බිරිඳ භූන්දතී ලෙසද, ලතා, සද්දා, පවරා, අචිමති, සුනා නමින් දූවරු 5 දෙනකු සිටි බවද ඉතිහාස ප්‍රවාදයන්හි සඳහන්ය. එරන්දතී නමැති නාග කාන්තාවකගේ සැමියා වන පුන්නක නමැත්තා මොහුගේ මස්‌සිනා බව ඉතිහාසයේ විශේෂයෙන්ම සඳහන් වේ. "නාරි වාහන" නමැති රෝද සහිත මංගල රථයකින් සැරූ බව ඇතැම් තැනක සඳහන් වුවත් කලාකරුවන් විසින් මූර්තිමත් කරන ලද (විශේෂයෙන්ම ටිබෙට්‌ ප්‍රතිමාවන්හිත් සිතුවම් අතරත්) බොහෝ වෛශ්‍රවණ රූහි රථය ලෙස සංකේතවත් කොට ඇත්තේ වේගවත් සිංහ රාජයෙකි.


මෙනයින් ගත්කල පසු කලෙක කලාකරුවා විසින් වෛශ්‍රවණ දෘෂ්‍යරුවක්‌ සේ උපුටා ගැනීමේදී දක්‌වා ඇති ප්‍රවණතාව අනුව ඇතැම් ප්‍රවාදයන් විවාදයට තුඩුදෙන අයුරක්‌ දක්‌නට ඇත.


මේ පිළිබඳ විමසිලිමත් වීමේදී වෛශ්‍රවණයන්ගේ රාජධානියක්‌ ගැන පුරාණෝත්ති ඉංගිනයන් හැරුණුකොට පැහැදිලි සාධක හමුනොවන අතර එක්‌ එක්‌ රටවල මේ පිළිබඳ ආවේණික විවිධ ප්‍රවාදයන් පවතින බවද පසක්‌ වේ. එහෙත් රාවණා රාජධානිය පිහිටියේ ලංකා පුරයෙහි යෑයි සලකනු ලබන බැවින්ද වෛශ්‍රවණ යනු නෑකමින් රාවණාට සෘජු සබඳතාවක්‌ ඇති චරිතයක්‌ ලෙස සලකනු ලබන බැවින්ද ශ්‍රී ලංකාව හා ඉන්දියාව ඇසුරෙහි ස්‌ථාපිත වූ කතාපුවත් යම් සාධාරණීකරණයකට ලක්‌ වීමට ඉඩකඩ වැඩිය.


එහෙත් මොහුගේ ආයු කාලය මුල් කොට මතුවන ගැටලුව නම් මරණින් මතුත් නැවත සතර වරම් දිව්‍ය රාජයන් අතරම උපදී යෑයි විශ්වාස කරන මොහු ඇත්තටම මියගොස්‌ දැනට සතර වරම් දෙවියන් අතර ඉපදිණි නම් මෙම ඉතිහාසයට වසර 90000 කට එපිට ඉතිහාසයක්‌ ඇති අතර තවමත් එම සෝවාන් ඵල ලැබූ ආත්ම භාවයෙහි සිටියි නම් ඔහුගේ රාජධානිය මේ මිහිපිට යම් තැනක නොවන බවය. එසේත් නොමැතිව ඔහු සාමාන්‍ය ආයු සහිත සාමාන්‍ය බලසම්පන්න පුද්ගලයකු නම් මොහුද මරණින් මතු දේවත්වයක්‌ ආරෝපණය වූ චරිතයක්‌ බවය. එසේ නම් ඔහුගේ ආලකමන්දාව ද පැවතී ඇත්තේ මිහිපිටම බවත් එය කුමන ද්වීපයෙහි කුමන ප්‍රදේශයේ පිහිටියේද යන්නත් ගැටලුවටද මෙහිදී මැදිවේ.


මෙනැයින් රාවණා කතා පුවත සාධනය කර ගන්නට වුවමනා තරම්ම පුරාවිද්‍යාත්මක සාධක මෙම කරුණ සම්බන්ධව ද ඇවැසි වනු ඇත. නො එසේ නම් මෙවන් චරිත සියල්ල පුරාතන සාහිත්‍ය භාෂ්‍ය කරුවන්ගේ අධි විශ්වාසී මනෝ රාජ්‍යයන්හි ගොඩනැඟුණු, ස්‌වප්නරූපී ප්‍රබන්ධයන්හි ජායා මාත්‍ර වන මායා චරිතයන් ගොන්නට එක්‌වනු නොඅනුමානය.


මතු සම්බන්ධයි

ලංකේෂ් කළුපහන


උපුටා ගැනීම - http://www.divaina.com/2009/11/15/siya06.html 



Friday, November 13, 2009

හෙළයාගේ දඬු මොනරය

0

ඔබෙන් කවුරුන් හෝ ගුවන් යානය නිපදවූයේ කවුද? යි ඇසුවහොත් ඔබේ පිළිතුර වන්නේ “රයිට් සහෝදරයෝ” යන්නයි. සමහරවිට ඔබ නිවැරදිය. එයට හේතුව මුළු ලෝකයම පිළිගන්නේ එම පිළිතුර නිසයි. නමුත් මෙහි නියම උරුමකරුවා වන්නේ සිංහල‍ෙයකු බව ඔබ දන්නේ නැත. පරගැති බවෙන් වැසී ඇති හෙළයාගේ චින්තනය මේ නියම උරුමකරු අමතක කොට එහි පේටන්ට් අයිතිය සුද්දාට පවරා බලාසිටී. එසේ වුවද ඔබ අමතක නොකළ යුත්තක් තිබේ. එනම්, සුද්දා කොල අතු අඳින යුගයේ හෙළයා රෙදි වියාගෙන ඇන්ඳ බව. එයට අපේ ඉතිහාසයේ කුවේණියගේ කථා පුවතින් සාක්ෂි සපයයි. ගුවන් යානය සම්බන්ධ කාරණාව ද ඒ ආකාරයේම වේ. මෙයින් පෙනෙන්නේ බටහිර ජාතින්ට පෙර, ශිෂ්ඨාචාර වූ ජාතියක් ලෙස සියවස් ගණනාවක් සිංහලයා ජීවත් වූ බවයි. ගුවන් යානය සම්බන්ධ කාරණාව ද ඒ ආකාරයේම වේ.

ඉන්දියාවේ පුරා වෘතයක් වූ “රාමායණය” කථා පුවතේ සඳහන් වන්නේ රාමාගේ බිරිඳ වන සිතාවන් හෙළයෙකු වූ රාවණා නිරිඳුන් (ක්‍රි.පූ. 2554 – 2517) විසින් ඉන්දියාවෙන් හෙළ දීපයට පැහැරගෙන එන ලද්දේ “පුෂ්පක” නම් ගුවන් යානයෙන් බවයි. මෙය ප්‍රසිද්ධ කථා පුවතකි.

මෙම “පුෂ්පක” නම් ගුවන් යානය “දඬු මොනරය” නමින් ද හඳුන්වනු ලැබීය. එම නම එයට ලැබුණේ මොනරාගේ ආකෘතියෙන් දැවයෙන් නිම කරන ලද බැවිනි.

එසේම ලෝකය පිළිගන්නේ “දඬු මොනරය” නිපදවන ලද්දේ රාවනා බවයි. එහෙත් රාමායණය කියන්නේ ‍රාවණා නිරිඳුගේ සොහොයුරු වූ “වෛශ්‍රවණ” හෙවත් “කුවේර” නරේන්ද්‍රයාට ද “පුෂ්පක” නම් ගුවන් යානයක් තිබූ බවයි. ඔහු “සිව ගිරිය” හෙවත් “සීගිරිය” අග නගරය කොටගෙන රජකම් කල බව ද කියැවේ. එහි තව දුරටත් සඳහන් වෙන්නේ රාවණා රජු විසින් එම යානය පැහැරගෙන පරිහරණය කරඇති බවයි. කෙසේ වෙතත් මේ රජවරුන් දෙදෙ‍නාටම නගර නිර්මාණය සඳහා උපදෙස් ලබාදුන් “විස්කම්” හෙවත් “විශ්ව කර්ම” නමැති මහා මූලාචාරියා ජිවත්වූයේ ද එම යුගයේ ය. විශ්ව කර්ම යනු අතීතයේ මහා විෂ්මිත නිර්මාණ කල පුද්ගලයෙකු බව බොහෝදෙනා දන්නා කරුණකි. ඒ අනුව ඉහත දැක්වූ “දඬු මොනරය” විශ්ව කර්මයාගේ නිර්මාණයක් ද විය හැකිය. කෙසේ වෙතත් මේ රජවරුන් දෙදෙනාම සතුව ගුවන් යානා නිෂ්පාදන තාක්ෂණය තිබෙන්නට ඇතැයි මෙමගින් සිතිය හැකිය.

තවත් ලෙසකින් සඳහන් වන්නේ මෙම “දඬු මොනරය” පිළිබඳ ඉතිහාසය රාවණා රජුගේ යුගයෙනුත් සියවස් විසි පහක් ඈතට දිවයන බවයි.

ශ්‍රී ලංකාවේ “වාරියපොළ” යනු නගරයකි. මෙම නම සන්දිකර බැලුව හොත් වා+රිය+පොළ යනුවෙන් දක්නට ලැබේ. මෙහි “වා” නම් වාතයයි. “රිය” නම් රථයයි. “පොළ” නම් එම රථය නතරකරන ස්ථානයයි. ඒ අනුව “වාතයෙන් ගමන් කරනා රථ නතරකරන ස්ථානය” ලෙස තවදුරටත් එය විග්‍රහ කළ හැකිය. (වාතයෙන් ගමන් කරන්නේ ගුවන් යානායි.) මේ විග්‍රහයට අනුව සිතිය හැක්කේ වර්තමාන වාරියපොළ නගරය අතීතයේ ගුවන් යානා නතර කරන ලද ප්‍රදේශයක් වියහැකි බවයි.

එමෙන්ම ක්‍රි.පු. දෙවන සියවසෙහි දී දකුණු ඉන්දියාවේ සිංහළයින් වාසය කරන ලදැයි සාක්ෂි ඇති “කුවන් කොඩ්” නමින් ‍ෙදමළට හැරවූ “ගුවන් ගොඩ” රාවණා යුගයෙහි ගුවන් යානා නවත්වන ලද ප්‍රදේශයක් වූ බවට තවත් ඉඟියකි.

වර්තමානයේ අනුරාධපුර, පොළොන්නරුව, සීගිරිය වැනි ප්‍රදේශවල දක්නට ලැබෙන ලොවම විශ්මිත කරවන නිර්මාණ දෙස බලන විට ඉහත දැක්වූ විෂ්මිත නිර්මාණය ද හෙළයෙකුගේ අතින් නිමවූ එකක් නොවන බව කෙසේ කිව හැකිද?

කෙසේ වෙතත් මේ පිළිබඳව ඉතිහාසඥයන්ගේ හා පුරාවිද්‍යාඥයන්ගේ අවධානය යෙමුවිය යුතු අතර ඒවා පිළිබඳව විධිමත් පර්යේෂණයන් පැවැත්විය යුතුය.
 
(අරිසෙන් අහුබුදු ශූරීන්ගේ ලිපියක් ඇසුරින්) 

රාවණා දිය ඇල්ල

1



රාවණා දිය ඇල්ල

ඇල්ල වැල්ලවාය මාර්ගයේ සිට නි.මී.4ක් පමණ වැල්ලවාය දෙසට ගමන් කිරිමෙන් මෙම ස්ථානය දැක ගත හැක. මෙම දිය ඇල්ල පිහිටා ඇති ප්‍රදේශය දැනට වනජීවි සංරක්ෂන දෙපාර්තමේන්තුවෙන් සංරක්ෂනය කර ඇත.

මෙය ‍ස් වි‍දස් සංචාරකයින්ගේ ස්වභාසිරිය නැරඹීමට ඇති වැදගත් ස්ථානයකි.

රාවණා ඇල්ල පුරාණ විහාරය


මෙම රාවණා පුරාවෘතිනයට සම්බන්ධ ඓතිගාසික වැදගත් කමකින් යුතු විහාරයකි. II වන වලගම්බා රජතුමා සැඟවී සිටි කාලයේ ඉදිකරණ ලද්දක් බව පැවසේ. මෙම විහාරය අසලම ඉතා ප්‍රසිද්ධ රාවණා ගුහාවද පිහිටි ඇත. මෙම ගුහාව තුල සීතා කුමරිය සඟවා සිටි බව පුරාවෘත්ත වල සඳහන් වේ


රාවණා ගුහාව

රාවණා ගුහාව ක්‍රි.පු. 1940 ගනන්වල කැනීම් කර හිස් කබලක් හමු වී කටුගේ ඇත. අවු 20000 ක් පැරණිය. මළවුන් ඇඳහීමේ ලෙනක් ලෙස සැලකේ. 1980 ගනන්වල කාසි, මේවලං .......ආදිය හමුවී ඇත. ක්‍රි.පු. 1-2 පමණ වේ. මේ පිළිබඳව පුරා විද්‍යා දේපාර්තමෙන්තුවේන් විමසිය හැක.

උපුටාගැනීම - http://www.ds.gov.lk/ds/ella/sinhala/index.php?p=special_attraction

Thursday, November 12, 2009

ඉපැරණි සිවු හෙළය

0

ඈත අතීතයේ, සිවු හෙළය (වර්තමානයේ ශ්‍රී ලංකාව ) විවිධ කුළ වලට අයත් ජන කොටස් බහුල ලෙස ජීවත් වූ රටකි. යාක්ශ, නාඝ, රාක්ෂ සහ අසුර ගෝත්‍ර වල සම්මිශ්‍රණයක් ඔවුනුත් සතු බැවින් ඔවුනුත් සිවුහෙළයේ අපගේම ආදි වාසීන් බව පැහැදිලි වෙයි.



Friday, November 6, 2009

පුලස්ති

0

පුලස්ති


සුප්‍රසිද්ධ රාවණා රජුගේ පියාගේ පියා (සීයා) වන පුලතිසි ඉසිවරයා, ලං‍කාවේ ප්ර්ධාන මුනිවරයන් වන කපිලථ, පුලස්ථ්, නාරද හා අගස්ති යන අයගෙන් ප්‍රධානියා ලෙස සැලකෙයි. පුලතිසි පුරය (පොලොන්නරුව) යනු පුලතිසි ඉසිවරයාගේ පාලන තන්ත්‍රය පිහිටි ප්‍රදේශයයි. අද පොළොන්නරුවේ පිහිටි සුප්‍රසිද්ධ පරාක්‍රම ප්‍රතිමාව පුලතිසි ඉසිවරයාගේ ප්‍රතිමාවයි (මෙම පිළිමය පුලස්ති ඉසිවර හෝ I වන පරාක්‍රමබාහු රජ රජ නිරූපනය කරන බව විද්වත් මතයයි.). අදද එහි ඉහල කොටසේ පුලතිසි යන අකුරු හතර දක්නට ඇත. නාලන්දා ගෙඩිගෙය යනු පුලතිසි ඉසිවරයාගේ සොහොනයි. ඔහු අවුරුදු 102 ක් එනම් අද වර්ෂවලින්නම් අවුරුදු 200ක් පමණ ජීවත් වූ බව සඳහන් වේ. එසේම පුලතිසි ඉසිවරයා විසින් ලංකාවේ සංගීතය ඇති කළ බවට ද මතයක් සංගීත ඉතිහාසය II නැමති ග්‍රන්ථයේ සඳහන් වේ. එසේම "...රාවණගේ සීයා, පුලස්ති, තුන් වේදයේම සමර්ථ ව සිටි බව කියන හෙයින් රාවණාගේ උගත්කම ගැන සැක කළ යුතු නො වෙයි...." යයි එළිදරව්ව - iii නැමති ග්‍රන්ථයේ ද සඳහන් වේ.

දැනට සුප්‍රසිද්ධ පොලොන්නරුවේ පරාක්‍රම ප්‍රතිමාව ලෙස හඳුනාගන්නා මෙම ප්‍රතිමාවේ ඉහළ කෙල‍වරේ පුලතිසි නමින් කොටා ඇති අතර වර්ගපූර්ණිකාව නම් මුද්‍රණය නොකෙරුණ ඉතිහාස පුස්කොල පොතට අනුව මේ පුලතිසි පුරය පාලනය කරන ලද පුලස්ති ඉසිවරයාගේ ප්‍රතිමාවයි

වෛද්‍ය ශාස්ත්‍රය

ග්‍රීසියේ ඇති ‘පවුලතිත්’ නම් වෛද්‍ය ශාස්ත්‍රය ඔවුන්ට පුලතිසි ඉසිවරයා ගෙන් ලද්දකි. මාලිගාවිල ආශ්‍රිතව මෙතුමා විසින් නිර්මාණය කරන ලද ඇස්රෝහලක් තිබී ඇත.
හිමාලයේ තිබූ වෛද්‍ය සමුළුවට ලංකාවෙන් පුලතිසි ඉසිවරයා ගිය බව සඳහන් වේ. ඒ බව "...ලංකාවෙහි විසූ අති පුරාණ ශාස්ත්රශඥයෙක් වූ පුලස්ති ඍෂිහු වරක සංහිතාවෙහි සඳහන් හිමාලයෙහි පවත්වන ලද මහා වෛද්යු සම්මෙලනයට පවා ගියහ..." ආදි වශයෙන් පවුලේ වෙද පොත නැමති ග්‍රන්ථයෙහි ඩී. සි. ජයසේකර මහතා ප්‍රකාශ කරයි.

දන්වන්තරී නම් පුද්ගලයා ආයුර්වේද ක්‍රමය ඇති කළ කෙනා වන අතර ඔහුව සිගිරියට ගෙන්වා අපේ වෛද්‍ය ක්ර්මය පුලතිසි ඉසිවරයා විසින් උගන්වා ඇත. ඔහුට පුලතිසි ඉසිවරයා ‘සෙන්හලිකා’ නම් කුරුඳු වර්ගයක් දී ඇති අතර අදටත් සීගිරියේ හා හිමාලයේ මෙම ශාකය දක්නට ඇත. සීගිරියේ රාම කැලේ මෙම ගසඅදටත් ඇත.


ජ්‍යෝතිෂය

ජ්‍යෝතිෂයේ මූලික සිද්ධාන්ත හතරෙන් දෙකක් වන සූර්ය සිද්ධාන්තය හා පවුලප්තය සිද්ධාන්තය පුලතිසි ඉසිවරයා නිර්මාණය කළ ඒවා ය.

හෙළ නැකත් කලාව

හෙළ නැකත් කලාව නිර්මාණ මෙතුමා විසින් සිදු කළ අතර එහි කොටස් පහත පරිදිය.

* සප්ත යෝගය - ඉන්ද්රෝ ගුරුළුව, පංච පක්ෂිය, යම කාලය, උඩු මරණය, දින මුර්තුව, ඊසකය, ශිවා ලිඛිතය
* උමා ජ්යො‍තිෂය
* හෝරා වග
* සුදර්ශන වක්ර ය
* සෙත් වග
* වාස්තු වග
* උමා පද්ම හා උමා ගුරුළුව

මේ අතර ස්ත්‍රී ජාතික චන්ද්‍රිකා නම් ග්‍රන්ථය පුලතිසි ප්‍රමුඛ ඉසිවරු හතරදෙනෙක් විසින් නිමවන ලද බව පැවසේ.

උපුටා ගැනීම


අපට අහිමි වූ විශ්වීය ඥාණය: සක්වල චක්‍රය

1


තිසා වැව් කණ්ඩියට පහළින්ද, වෙස්සගිරි පර්වත සමූහයේ උතුරු පෙදෙසට වන්නට ඉසුරුමුණි පර්වතයට පසුව හමුවන රන්මසු උයන සිංහලයින් වන අපට ඉතා වටිනා පුරාවිද්‍යාත්මක ස්ථානයකි. එයට හේතු කිහිපයක් ඇත. රන්මසු උයන තුලින් අපගේ ආදි මුතුන් මිත්තන්ගේ නිර්මාණාත්මක කෞෂල්‍යය ද, විශිෂ්ඨ තාක්‍ෂණික දැනුම ද, පරිසරය සමඟ තිබූ ඵෙන්ද්‍රීය බැඳීම ද, එකළ තිබූ සෞභාග්‍යය ද විදහා දැක්වේ. රන්මසු උයනට මෙන්ම අනුරාධපුරයේ නැරඹීමට බොහෝ දේ ඇතත් බොහෝ දෙනා එහි යන්නේ විනෝදය පිණිසය.













රජ කුමාරවරු ජල ක්‍රීඩා කළ රන්මසු උයනේ සම්පූර්ණයෙන්ම ගලින් නිම කළ පොකුණු 2 ක් ඇත. තිසා වැව් කණ්ඩිය යටින් නල යොදා වැවේ රළ පහරේ පීඩනයෙන් මෙම පොකුණු පිරවීමටත්, ජල මල් ආදිය ක්‍රියා කරවීමටත් තරම් අපේ මුතුන් මිත්තන් සතුව විශිෂ්ඨ තාක්‍ෂණික ඥාණයක් තිබී ඇත. සුවපහසුව සඳහා තැනූ කුටි වලින්ද අලංකාර කැටයමින් ද යුතු මේ පොකුණු සම්පූර්ණයෙන් ම එකිනෙකට සූක්‍ෂම ලෙස පිරිද්දූ ගලින් සාදා ඇත.


කෙසේ වෙතත් රන්මසු උයනට යන බොහෝ දෙනෙකුට මඟහැරෙන, අපගේ මුතුන් මිත්තන් පිළිබඳ තවත් වැදගත් තොරතුක් සපයන පර්වත මුහුණතක ඇති ‛‛සක්වල චක්‍රය’’ ඔබ දැක තිබේද?

















මෙහි දැක්වෙන්නේ එම ‛‛සක්වල චක්‍රයේ’’ රූප සටහනකි. මෙය දැනට සක්වල චක්‍රය ලෙස හැඳින්වුවත් අතීතයේ දී එය හැඳින්වූයේ හා භාවිතා වූයේ කෙලෙස කුමක් සඳහා දැයි තවමත් නිශ්චිත නිගමනයකට එළැඹී නොමැත. මෙය යම් ආකාරයක තාක්‍ෂණික මෙවලමක් හෝ එවැනි මෙවලමක නෂ්ටාවශේෂයක් හෝ විය හැකි බව විද්වත් මතයයි. එමෙන්ම මෙහි භාවිතාව පිළිබඳව ඥාණය අප අතුරින් තුරන් වී බොහො කල්ය.

මෙය අඩි 6 ක විශ්කම්භයකින් යුතුය. මධ්‍යයේ සමකේන්‍ද්‍රික චක්‍ර 7 කින් ද, එය වටා සිරස් හා තිරස් රේඛා වලින් බෙඳුනු චතුරස්‍රාකාර කොටස් අතර ඇති විවිධ සංකේත (බොහෝමයක් සිරස් හා තිරස් රේඛා 2 කින් බෙදුනු වෘත්තයන්ය.) රාශියකින් ද, මේ සියල්ල වටවූ පරිධියේ පිහිටි සාගර ජීවීන්ගේ රූ සටහන් සහිත වළල්ලකින් ද සමන්විත වේ. සිරස් රේඛා මගින් චක්‍රය සමමිතික ලෙස ප්‍රධාන තීරු 10කට බෙදා ඇත.

එච්.සී.පී. බෙල් මහතා ට අනුව මෙය බුදු දහමේ විග්‍රහ කෙරෙන සක්වළ (විශ්වය) පිළිබඳ සරළ රූ සටහනක් හෝ පෘථිවියේ සිතියමකි. මෙය පිහිටි ගල් පර්වතය සණ්‍යාසියෙකුගේ ගල්ලෙනක් බව ඔහුගේ මතයයි. (1901 පුරාවිද්‍යා දෙපාර්තමේන්තු වාර්ෂික වාර්තාව) නමුත් රාජකීයයන්ගේ භාවිතය සඳහා ඉදි වූ රන්මසු උයනේ සණ්‍යාසීන් සිටින්නට ඇතැයි සිතීම දුෂ්කරය.

මේ පිළිබඳව අදහස් දක්වන ඇතැම් විද්වතුන් පවසන්නේ මෙයින් ජීවයේ ආධ්‍යාත්මික පරිණාමය විදහා දැක්වෙන බවය. පරිධියේ ජීවයේ ප්‍රාථමික අවධියද, මධ්‍යයේ ඇති සමකේන්‍ද්‍රීය චක්‍ර මඟින් ආධ්‍යාත්මික සංවර්ධනයේ උපරිමයට ගොස් නිවන කරා යොමු වීම ද දැක්වෙන බවයි. මෙය ඩාවින්ගේ පරිණාමවාදී සංකල්පය අනුව සිතා ආධ්‍යාත්මික සංවර්ධනය පැහැදිළි කිරීමට ගත් උත්සාහයකි.

තවත් අය පවසන්නේ මෙයට අනුරාධපුර යුගයටත් එපිට ඉතිහාසයක් ඇති බවයි. එය රාවණ යුගයේ නිර්මාණයක් බවද පැවසේ.

ඇතැම් විද්වතුන් පවසන්නේ මෙම ස්ථානයේ සිට අපගේ ආදි මුතුන් මිත්තන් බැබිලෝනියාව හා ඊජීප්තුව සමඟ පණිවිඩ හුවමාරු කරගත් බවයි. එනම් එය එකළ තිබූ සන්නිවේදන උපකරණයක් හෝ එවැන්නක නෂ්ටාවශේෂයක් බවයි. බැබිලෝනියාවේ හා ඊජීප්තුවේ ද මෙයට සමාන රූසටහන් සහිත ස්ථාන දෙකක් ඇති බවත්, විශේෂයෙන්ම බැබිලෝනියාවේ ඇති එම රූසටහන සමඟ ලංකාවේ හා ඊජීප්තුවේ එය පිහිටි ස්ථාන දෙක පිළිබඳ සඳහන් කර ඇති බවත් පැවසේ. මෙම මතය සනාථ වන තවත් සලකුණු කිහිපයක් මෙම ස්ථානයේම ඇත. මෙම සක්වල චක්‍රය ඉදිරිපිට සමතලව පිහිටී පර්වතය මත, සක්වල චක්‍රයට මුහුණ ලා වාඩිවිය හැකි ලෙස ගලේ කෙටූ ආසන 4ක් ඇත. එයින් පෙනී යන්නේ පුද්ගලයින් 4 දෙනෙකුට එකවර හෝ තනි තනිව මෙය භාවිතා කළ හැකි වූ බවයි. (මෙම ආසන 4 නොසලකාහැර ඉහත අනෙකුත් මත ඉදිරිපත් කර ඇති බව පෙනේ.)

එය එසේ නම් දියුණු යැයි කියනා ලෝකයක වල්මත් වූ සිංහලයින් වන අප අද ජීවත් වන්නේ අපේ මුතුන් මිත්තන්ට වඩා බොහෝ පිටුපසිනි.












සක්වල චක්‍රයේ පිහිටීම හා එය ඉදිරිපස ඇති ආසන හතර අනුව එය භාවිතා කරන්නට ඇත්තේ මෙසේ විය හැකිය. ගල් මත කෙටූ මෙම චක්‍රය හා ආසන හතර හැරුණු විට වෙනත් ද්‍රව්‍ය වලින් සෑදූ (ගඩොල්, ලී වැනි) මේ ආශ්‍රිතව පැවති අංගෝපාංග ඇතැම් විට විනාශ වන්නට ඇත.

උපුටා ගැනීම - http://asipatha.blogspot.com/2007/11/blog-post_15.html


..