-->

Friday, November 13, 2009

හෙළයාගේ දඬු මොනරය

0

ඔබෙන් කවුරුන් හෝ ගුවන් යානය නිපදවූයේ කවුද? යි ඇසුවහොත් ඔබේ පිළිතුර වන්නේ “රයිට් සහෝදරයෝ” යන්නයි. සමහරවිට ඔබ නිවැරදිය. එයට හේතුව මුළු ලෝකයම පිළිගන්නේ එම පිළිතුර නිසයි. නමුත් මෙහි නියම උරුමකරුවා වන්නේ සිංහල‍ෙයකු බව ඔබ දන්නේ නැත. පරගැති බවෙන් වැසී ඇති හෙළයාගේ චින්තනය මේ නියම උරුමකරු අමතක කොට එහි පේටන්ට් අයිතිය සුද්දාට පවරා බලාසිටී. එසේ වුවද ඔබ අමතක නොකළ යුත්තක් තිබේ. එනම්, සුද්දා කොල අතු අඳින යුගයේ හෙළයා රෙදි වියාගෙන ඇන්ඳ බව. එයට අපේ ඉතිහාසයේ කුවේණියගේ කථා පුවතින් සාක්ෂි සපයයි. ගුවන් යානය සම්බන්ධ කාරණාව ද ඒ ආකාරයේම වේ. මෙයින් පෙනෙන්නේ බටහිර ජාතින්ට පෙර, ශිෂ්ඨාචාර වූ ජාතියක් ලෙස සියවස් ගණනාවක් සිංහලයා ජීවත් වූ බවයි. ගුවන් යානය සම්බන්ධ කාරණාව ද ඒ ආකාරයේම වේ.

ඉන්දියාවේ පුරා වෘතයක් වූ “රාමායණය” කථා පුවතේ සඳහන් වන්නේ රාමාගේ බිරිඳ වන සිතාවන් හෙළයෙකු වූ රාවණා නිරිඳුන් (ක්‍රි.පූ. 2554 – 2517) විසින් ඉන්දියාවෙන් හෙළ දීපයට පැහැරගෙන එන ලද්දේ “පුෂ්පක” නම් ගුවන් යානයෙන් බවයි. මෙය ප්‍රසිද්ධ කථා පුවතකි.

මෙම “පුෂ්පක” නම් ගුවන් යානය “දඬු මොනරය” නමින් ද හඳුන්වනු ලැබීය. එම නම එයට ලැබුණේ මොනරාගේ ආකෘතියෙන් දැවයෙන් නිම කරන ලද බැවිනි.

එසේම ලෝකය පිළිගන්නේ “දඬු මොනරය” නිපදවන ලද්දේ රාවනා බවයි. එහෙත් රාමායණය කියන්නේ ‍රාවණා නිරිඳුගේ සොහොයුරු වූ “වෛශ්‍රවණ” හෙවත් “කුවේර” නරේන්ද්‍රයාට ද “පුෂ්පක” නම් ගුවන් යානයක් තිබූ බවයි. ඔහු “සිව ගිරිය” හෙවත් “සීගිරිය” අග නගරය කොටගෙන රජකම් කල බව ද කියැවේ. එහි තව දුරටත් සඳහන් වෙන්නේ රාවණා රජු විසින් එම යානය පැහැරගෙන පරිහරණය කරඇති බවයි. කෙසේ වෙතත් මේ රජවරුන් දෙදෙ‍නාටම නගර නිර්මාණය සඳහා උපදෙස් ලබාදුන් “විස්කම්” හෙවත් “විශ්ව කර්ම” නමැති මහා මූලාචාරියා ජිවත්වූයේ ද එම යුගයේ ය. විශ්ව කර්ම යනු අතීතයේ මහා විෂ්මිත නිර්මාණ කල පුද්ගලයෙකු බව බොහෝදෙනා දන්නා කරුණකි. ඒ අනුව ඉහත දැක්වූ “දඬු මොනරය” විශ්ව කර්මයාගේ නිර්මාණයක් ද විය හැකිය. කෙසේ වෙතත් මේ රජවරුන් දෙදෙනාම සතුව ගුවන් යානා නිෂ්පාදන තාක්ෂණය තිබෙන්නට ඇතැයි මෙමගින් සිතිය හැකිය.

තවත් ලෙසකින් සඳහන් වන්නේ මෙම “දඬු මොනරය” පිළිබඳ ඉතිහාසය රාවණා රජුගේ යුගයෙනුත් සියවස් විසි පහක් ඈතට දිවයන බවයි.

ශ්‍රී ලංකාවේ “වාරියපොළ” යනු නගරයකි. මෙම නම සන්දිකර බැලුව හොත් වා+රිය+පොළ යනුවෙන් දක්නට ලැබේ. මෙහි “වා” නම් වාතයයි. “රිය” නම් රථයයි. “පොළ” නම් එම රථය නතරකරන ස්ථානයයි. ඒ අනුව “වාතයෙන් ගමන් කරනා රථ නතරකරන ස්ථානය” ලෙස තවදුරටත් එය විග්‍රහ කළ හැකිය. (වාතයෙන් ගමන් කරන්නේ ගුවන් යානායි.) මේ විග්‍රහයට අනුව සිතිය හැක්කේ වර්තමාන වාරියපොළ නගරය අතීතයේ ගුවන් යානා නතර කරන ලද ප්‍රදේශයක් වියහැකි බවයි.

එමෙන්ම ක්‍රි.පු. දෙවන සියවසෙහි දී දකුණු ඉන්දියාවේ සිංහළයින් වාසය කරන ලදැයි සාක්ෂි ඇති “කුවන් කොඩ්” නමින් ‍ෙදමළට හැරවූ “ගුවන් ගොඩ” රාවණා යුගයෙහි ගුවන් යානා නවත්වන ලද ප්‍රදේශයක් වූ බවට තවත් ඉඟියකි.

වර්තමානයේ අනුරාධපුර, පොළොන්නරුව, සීගිරිය වැනි ප්‍රදේශවල දක්නට ලැබෙන ලොවම විශ්මිත කරවන නිර්මාණ දෙස බලන විට ඉහත දැක්වූ විෂ්මිත නිර්මාණය ද හෙළයෙකුගේ අතින් නිමවූ එකක් නොවන බව කෙසේ කිව හැකිද?

කෙසේ වෙතත් මේ පිළිබඳව ඉතිහාසඥයන්ගේ හා පුරාවිද්‍යාඥයන්ගේ අවධානය යෙමුවිය යුතු අතර ඒවා පිළිබඳව විධිමත් පර්යේෂණයන් පැවැත්විය යුතුය.
 
(අරිසෙන් අහුබුදු ශූරීන්ගේ ලිපියක් ඇසුරින්) 

No Response to "හෙළයාගේ දඬු මොනරය"

Post a Comment

අදහස් සහ උදහස්

..