-->

Thursday, November 26, 2009

හත්වන සියවස ඔපවත් කළ හර්ෂවර්ධන හා හියුංසෑන්

0


හත්වන සියවස ඔපවත් කළ හර්ෂවර්ධන හා හියුංසෑන්

හර්ෂවර්ධන යනු ක්‍රි. වර්ෂ හත්වැනි සියවසේදී ඉන්දියාවේ විශාල භූමි භාගයක්‌ පාලනය කළ ඉන්දීය ඉතිහාසයේ බිහි වූ අවසන් බෞද්ධ අධිරාජයා ය. හියුංසෑන් ද ක්‍රි. වර්ෂ හත්වෙනි සියවසේ දී දිවි ගෙවූ මානව ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටතම දේශාටකයන් අතරත් කැපී පෙනෙන චීන ජාතික බෞද්ධ භික්‌ෂුවකි.

ඉන්දීය ඉතිහාසයේ හින්දු පුනර්ජීවන යුගය ලෙසින් සැලකෙන ගුප්ත රාජවංශයේ අවසන් පුරුකක්‌ වූ බාලාදිත්‍යයගෙන් පසුව ගුප්ත රාජවංශයේ බිඳ වැටීම සිදු විය. ඉන්දීය භූමියේ දකුණු කොටසේ පුලකේෂින් අධිරාජයා "චාලුක්‍ය අධිරාජ්‍යය" පිහිටුවනුයේ ද එම පසුබිම තුළය.

වර්තමානයේ ප්‍රකට කර්මාන්ත පුරයක්‌ වන කෝන්පුරය ආසන්නයේ පිහිටා තිබෙන කුඩා නගරයක්‌ වන කනෞඡ් ක්‍රි. වර්ෂ හයවැනි හත්වැනි සියවස්‌ කාලවලදී සුවිශාල රාජධානියක්‌ වශයෙන් කනෞඡ් ක්‍රි. වර්ෂ හයවැනි හත්වැනි සියවස්‌ කාලවලදී සුවිශාල රාජධානියක්‌ වශයෙන් කනෞඡ් පුරය කීර්තියක්‌ ඉසිලුවේය. එය වඩාත්ම ප්‍රකට වූයේ කීර්තිමත් කවීන්, විශිෂ්ට චිත්‍ර ශිල්පීන්, සුවිශේෂ දර්ශනවාදීන්ගෙන් එම රාජධානිය සමලංකෘතවීම කරණ කොටගෙනය. ඒ වන විට කෝන්පුරය නිර්මාණය වී නොතිබුණි. "කනෞඡ්" යනුවෙන් වර්තමානයෙහි හැඳින්වූවත්, අතීතයේ එය හැඳින්වූවේ "කන්‍යාකබිජ" හෙවත් කුදු කන්‍යාව යන අර්ථයෙනි. පුරාවෘත්තයේ නැතහොත් ජන සම්මත කතාවේ එන ආකාරයට කෝපාවිෂ්ට වූ කිසියම් සෘෂිවරයෙක්‌ මහ රජෙකුගේ දූ කුමරියන් සිය දෙනකුට ශාප කොට මෙම ස්‌ථානයේ දී "කුදු" බවට පත් කොට ඇත. ඉන්පසු මෙම කුදු කුමරියන් විසූ පුරය "කන්‍යා කුබිජ" බවට පත්ව තිබේ.

එහෙත් වර්තමානයේ දී එම නගරයට කෙටියෙන් "කනෞඡ්" යෑයි වැහැරීමට පෙළඹී තිබේ. කනෞඡ් හී මහ රජු හා හන් ආක්‍රමණිකයන් අතර පැවැති සටනේ දී ජයග්‍රහණ පෙනි පෙනී තිබියදී මහ රජු මරණයට පත්වීම නිසා යුද්ධයෙන් පරාජයට පත්ව ඇත.

එසේ මහරජු මරණයට පත්කළ හන්වරු රාජදේවිය වූ රාජ

ශ්‍රී සිරකාරියක කළහ. එවිට රාජ ශ්‍රී ගේ සහෝදර රාජවර්ධන ඇයව නිදහස්‌ කර ගැනීම උදෙසා හන්වරුන් සමග සටන් වැදුණි. එම සටනේදී හන්වරුන් අතින් රාජවර්ධන රජුත් මරණයට පත්විය. ඉන්පසුව රාජවර්ධනගේ බාල සොහොයුරු හර්ෂවර්ධනයන් සිය වැඩිමහලු සොයුරිය වූ රාජ ශ්‍රී සොයා පිටත් වී හන්වරුන් ගෙන් මිදී වනගතව අපා දුක්‌ විඳිමින් සිටි සොයුරිය සොයා ගැනීමට සමත් විනි.

මේ ආකාරයට සිය සොහොයුරිය සොයා ගැනීමෙන් පසුව, සිය පරපුරේ අභිමානය ගොඩ නැගීම උදෙසා සතුරු බලවේගවලට එරෙහිව සටන ඇරැඹීමටත් හර්ෂවර්ධන කුමරු පෙළඹුණි. ඒ අනුව ඉතාමත් කෙටි කාලයක්‌ තුළදී සමස්‌ත උතුරු ඉන්දියාව ම යටත් කර ගැනීමට හර්ෂවර්ධන සමත්වීම සුවිශේෂ සිද්ධියකි. උපතින්ම බෞද්ධයකු වූ හර්ෂවර්ධන රජු, ගුප්ත පාලන සමයේ බිඳ දමා තිබූ බෞද්ධ සිද්ධස්‌ථාන නැවත පිළිසකර කරමින් බුදුදහමට පුනර්ජීවනයක්‌ ලබාදීමට දැඩි උත්සාහයක නිරත විණි.

දකුණෙන් වින්ධ්‍යා කඳුවැටිය දක්‌වා සිය රාජධානිය පුළුල් කළ හර්ෂයන්ට දකුණේ පුලකේශින් ගේ චාලුක්‍ය රාජධානිය ජය ගැනීමට නොහැකි විය. කනෞඡ් පුරය හර්ෂවර්ධනයන්ගේ රාජධානිය බවට පත්විය. කවියකු මෙන්ම නාට්‍ය රචකයකු ද වූ හර්ෂවර්ධනයන් සිය රාජධානිය කවීන්ගෙන් හා චිත්‍ර ශිල්පීන්ගෙන් බැබලවීමට කටයුතු කළේය. ඔහුගේ බෞද්ධකමත්, ඉහත කී කවීන් හා චිත්‍ර ශිල්පීන්ට නිසි තැනදී කටයුතු කිරීමත් මත කනෞඡ් පුරය ලෝක ප්‍රකට විය.

බමුණන් ගිල ගනිමින් තිබූ බුදු දහම නැවත ඔසොවා තැබීමට පියවර ගත් හර්ෂවර්ධනයන් ගේ සමයේ දීම තවත් ඓතිහාසික සිද්ධියක්‌ සිදු විණි. කීර්තිමත් දේශාටකයකු වූ චීන ජාතික බෞද්ධයකු ද වූ හියුංසෑන් ඉන්දියාවට පැමිණීම එම සුවිශේෂ සිද්ධිය යි.

හියුංසෑන් ගේ චාරිකා වෘත්තාන්තවල ඉන්දියාව පිළිබඳවත් ඉන්දියාවට පැමිණෙද්දී පසුකර පැමිණි මධ්‍යම ආසියානු රටවල් ගැනත් දීර්ඝ විස්‌තර ඇතුළත්ව තිබේ. භක්‌තිමත් බෞද්ධයකු වූ හියුංසෑන්ගේ අරමුණ වූයේ බෞද්ධ සිද්ධස්‌ථාන වැඳ පුදා ගැනීම හා හැකි තරම් බෞද්ධ පොත් පත් එකතු කර ගැනීමය. ගෝබී කාන්තාරය ඔස්‌සේ පා ගමනකින් පැමිණි හියුංසෑන් තුමා ටාෂ්ඛාන්, සමරඛාන්, බාල්ක්‌, ඛෝටාන් හා යාඛාන් ආදී නගරවලටත් ලංකාවටත් පැමිණියේය. ඔහුගේ දේශාටන වාර්තාව වූ කලී තමා සංචාරය කළ රට රාජධානියන්හිදී දක්‌නට ලැබුණ දේ පිළිබඳ විශ්මයජනක වූත්, චමත්කාර ජනකවූත් තොරතුරු සමුච්චයකි. බුදුරජාණන් වහන්සේ හා බෝධිසත්ව වරුන් පිළිබඳව ඔහු අසා ඇති සෘද්ධි ප්‍රාතිහාර්යමය පුරාවෘත්ත හියුංසෑන් විස්‌තර කර ඇත්තේ විශිෂ්ට අන්දමිනි.

වසර ගණනාවක්‌ ඉන්දියාවේ ගතකළ මොහු වැඩි කාලයක්‌ වාසය කළේ පාඨලී පුත්‍ර නගරය ආසන්නව පිහිටි නාලන්දා විශ්වවිද්‍යාලයෙහිය. මහා සංඝාරාමයකින් හා මහා සරසවියකින් සමලංකෘත වූ නාලන්දා විශ්වවිද්‍යාලයෙහි එසමයේ අභ්‍යන්තර ශිෂ්‍යයන් වශයෙන් ගිහි පැවිදි දසදහසක්‌ දෙනා ශාස්‌ත්‍රොaද්ග්‍රහණය කළහ. බ්‍රාහ්මණයන්ගේ ඥන ක්‌ෂේත්‍රය හැටියට ප්‍රකට වූ බරණැස හා තරගයට මෙන් බෞද්ධ ශාස්‌ත්‍රාලෝකය විහිද වූයේ මේ නාලන්දා සරසවිය යි.

හියුංසෑන් ඉන්දියාවට පැමිණියේ ක්‍රි.වර්ෂ 629 දීය. චීනයේ සිට මෙම චාරිකාව අරඹන විට ඔහුගේ වයස අවුරුදු 26 කි. ඔහු පිළිබඳව චීන වාර්තාවල සඳහන් වන ආකාරය මෙසේය.

"ඔහුගේ වර්ණය පැහැපත් ය. දෙනෙත් දීප්තිමත් ය. බැල්ම රළු වුවද මහේශාක්‍ය ය. ඔහුගේ සෑම අංග ලක්‍ෂණයක්‌ ම සුන්දර විය. දීප්තිමත් විය. පෘථිවියේ ඇති මහා සමුද්‍රය ලෙසින් ඔහුගේ පෙනුම ප්‍රතාපවත් විය. ජල මධ්‍යයෙන් මතුවී හිස ඔසවා සිටින නෙළුම් මලක්‌ මෙන් හෙතෙම පිරිසිදු විය. පැහැපත් විය."

එවක චීන අධිරාජයාගේ තහනම පවා නොතකමින් මෙම වීරයා ස්‌වකීය අභීත චාරිකාව ඇරැඹුවේ භික්‌ෂුන් වහන්සේ කෙනෙකුගේ කසාය චීවරයෙන් පමණක්‌ සැරසී, හුදකලාවමය. ජීවිත තර්ජනය නොතකා ගෝබි මරු කතර තරණය කළ හෙතෙම කාන්තාරය මධ්‍යයේ පිහිටි ටර්ෆාන් නමැති රාජධානියේ මඳ කලක්‌ ගතකර තිබේ. කාන්තාරය මැද පිහිටි මේ රාජධානිය සංස්‌කෘතිය පිළිබඳ අරුම පුදුම ක්‌ෂේම භූමියක්‌ විය. වර්තමානයේ මළ භූමියක්‌ බවට පත්ව ඇති මෙම භූමිය හියුංසෑන් පැමිණෙන විට විශිෂ්ට සංස්‌කෘතියකින් පණ ගැසී තිබූ අයුරු ඔහුගේ දේශාටන වාර්තා මගින් අනාවරණය වී ඇත.

ටර්ෆාන් රාජධානියෙන් නික්‌මී හියුංසෑන් ඊළඟට පැමිණියේ මධ්‍යම ආසියාවේ "ක්‍රච" නගරය වෙතය. අති දක්‌ෂ සංගීතඥයන් නිසාත්, රූමත් පුරඟනන් නිසාත් එම පුරවරය ප්‍රසිද්ධියට පත්ව තිබිණි. එහි සංස්‌කෘතියත්, වෙළෙඳ කටයුතුත් අයිරානයෙන් උරුම වූ ඒවා විය. එහි භාවිතා වූ භාෂාව සංස්‌කෘත, ලතින්, පුරාණ පර්සියානු භාෂාව හා සෙල්ටික්‌ භාෂාවලට නෑකම් කියන්නක්‌ විය. එය වූ කලී විශ්මයජනක සංයෝජනයකි.

මේ ආකාරයට දේශයෙන් දේශය පසුකොට තුර්කියට පැමිණි හියුංසෑන්ට මධ්‍යම ආසියාවේ විශාල කොටසක්‌ යටත් කොට ගෙන සිටි මහාඛාන් අධිරාජයා නමැති ඉතා බලවත් බෞද්ධ රජෙකු දැක ගැනීමට ලැබී තිබේ. ඉන් අනතුරුව සමර්ඛාන්, බල්ක්‌ පසුකොට කාබුල් නිම්නය ඔස්‌ස්‌ කාශ්මීරය හරහා ඉන්දියාවට පැමිණීමට හියුංසෑන් සමත් ව තිබේ.

මේ කාලයේ චීනය පාලනය කළේ ටෑං රාජවංශය යි. සී - ඇන් - ෂු නගරය අග නගරය කොටගෙන බැබලුණු චීන අධිරාජ්‍යය ශාස්‌ත්‍රයේ හා කලාවේ මධ්‍යස්‌ථානය විය. එසමයේ ලෝක සභ්‍යත්වයේ මුදුන් මල්කඩ බවට පත්වී සිටියේද චීනයයි. හියුංසෑන් පැමිණියේ මෙතරම් උසස්‌ සභ්‍යත්වයක්‌ උරුම කරගත් භූමියක සිටය. ඔහු සංචාරය කළ සෑම රාජධානියක්‌ ම සිය මව්බිම හා සස¹ වාර්තා සටහන් තැබීමට හෙතෙම පෙළඹීමත් කැපී පෙනෙන කාරණයකි. ඉන්දියාවේ තත්ත්වය පිළිබඳව ඔහු බැසගත් නිගමන අගනා බව අමුවෙන් කිව යුතු නොවේ. ඉන්දියානු ජනතාවත්, පරිපාලන ක්‍රම පිළිබඳවත් ඔහු බෙහෙවින් වර්ණනා කර ඇත්තේ මෙසේය.

"ඉන්දියානු ජනතාව සැහැල්ලු සිතුම් පැතුම් ඇති වුවද සෘජු හා ගරු කටයුතු අය බව කිව යුතුය. මුදල් කටයුතුවලදී ඔවුන්ගේ කිසිම කපටිකමක්‌ නැත. යුක්‌ති ධර්මය හෙවත් අධිකරණ කටයුතුවලදී ඔව්හු ඉතා ඉවසිලිවන්ත ය. චරිතයෙන් ඔව්හු කපටි කෛරාටික හෝ මිත්‍රෙද්‍රdaහී නොවෙති. දිව්රුම් හා ප්‍රතිඥ ඉටු කිරීමේ දී අතිශයින් විශ්වාසවන්ත ය. රාජ්‍ය පරිපාලනයෙහිදී අකුටිල වූ මේ ජනතාව සාමාන්‍ය හැසිරීමෙහි දී මහාත්ම ගති හා සුන්දර ගුණ ප්‍රදර්ශනය කරති. අපරාධකාරයන් හා කැරැළිකරුවන් ගැන කිව යුත්තේ ඔවුන් ගණනින් ඉතා සුළු බවයි. කරදර ඇති වෙතත් ඇති වන්නේ අතරින් පතරය."

"රාජ්‍ය පරිපාලනය කාරුණික ප්‍රතිපත්ති මත පිහිටා ඇති බැවින් විධායක යන්ත්‍රය ක්‍රියාත්මක කිරීම ඉතා පහසුය. ජනතාවගේ බලයෙන් වහල් මෙහෙවරක්‌ ගැනීමක්‌ නැත. අයබදු සාධාරණය. පුද්ගලයන් වශයෙන් ඔවුන් රජයට කළ යුතු මෙහෙය මධ්‍යස්‌ථය. ලෞකික වශයෙන් ඔව්හු සාමයෙන් හා සමාදානයෙන් පසුවෙති. ජීවිකාව සඳහා ගොවිතැන් කරති. රජයේ ඉඩම් වගා කරන ගොවියෝ අස්‌වැන්නෙන් හයෙන් එකක්‌ අය බදු වශයෙන් ගෙවති. වෙළෙඳ ජනයා එති. යති. වෙළෙ¹මෙහි යෙදෙති."

හියුංසෑන් ඉන්දියාව තරණය කළ සමයේ එහි අධ්‍යාපනය ක්‍රමවත්ව සංවිධානය වී තිබුණි. එම අධ්‍යාපන ක්‍රමයට අනුව හෝඩි පොත ඉගෙනගත් දරුවා හෝ දැරිය වයස හතේ දී පංචවිධ ශාස්‌ත්‍ර ඉගෙනීම අරැඹිය යුතු විය. මේ කාලයේ ඉන්දියාවේ ශාස්‌ත්‍ර යනුවෙන් භාවිතා වනුයේ පිරිසිදු වශයෙන්ම ආගමික විෂයයන් ය. එහෙත් අතීතයේ දී ශාස්‌ත්‍ර යන්නෙන් අදහස්‌ වූයේ ඥන වර්ධනයට ඉවහල් වූ විවිධ ශාස්‌ත්‍රයි. එසමයේ උගන්වන ලද පංච ශාස්‌ත්‍ර මේවාය.

i ව්‍යාකරණය

ii විද්‍යා හා කලා ශිල්ප

iii වෛද්‍ය ශාස්‌ත්‍රය

iv තර්ක ශාස්‌ත්‍රය

v දර්ශනවාදය

මේ ශාස්‌ත්‍ර ඉගැන්වීම් විශ්වවිද්‍යාල මගින් කෙරුණු අතර සාමාන්‍ය වශයෙන් වයස (30) තිහ වන විට මේ පංචවිධ ශාස්‌ත්‍රය පිළිබඳ සම්පූර්ණ අධ්‍යාපනය අවසන් වෙයි. ජනතාව අතුරින් බොහෝ දෙනෙක්‌ මේ තත්ත්වය දක්‌වා උගත්හයි සිතිය නොහැකිය. එසේ වුවත් අධ්‍යාපනය භාරව සිටියේ භික්‌ෂුන් වහන්සේ බැවිනුත්, උන්වහන්සේ සුලබව විසූ බැවිනුත් මූලික අධ්‍යාපනය රට මුළුල්ලේ ම පැතිරී පැවැති බව අවිවාදිතය.

ප්‍රයාගතිර්ථයේ පැවැති "කුම්භමේලා" නම් මහා උත්සවය පිළිබඳ චමත්කාරජනක විස්‌තරයක්‌ හියුංසෑන් ගේ පොතෙහි සඳහන් කෙරේ. වසර 1300 කට පෙර හියුංසෑන් එම හින්දු සැණකෙළිය නරඹන විටදීත් එය

පැරැණි උත්සවයකි. වෛදික යුගයේ සිට පැවැත ආ සිරිතකි.

හර්ෂවර්ධන රජු බෞද්ධයකු වුවත්, මේ හින්දු සැණකෙළිය නැරැඹීමට ගිය ආකාරය හියුංසෑන් විස්‌තර කරයි. කුම්භමේලා උත්සවයට පැමිණෙන ලෙසට සමස්‌ත භාරත ජනතාවටම හර්ෂවර්ධන අධිරාජයා ඇරැයුම් කර තිබේ. මේ උත්සව සමයේ දී ඊට සහභාගි වන සමස්‌ත ජනතාවටම ආගන්තුක සත්කාර ලබාදීම හර්ෂවර්ධන රජු විසින් සිදු කිරීම තවත් සුවිශේෂතම සිද්ධියකි.

මේ ආකාරයට වසර 05 කට වරක්‌ පැවැත්වෙන කුම්භමේලා සැණකෙළියට සහභාගී වන ලක්‌ෂ සංඛ්‍යාත ජනතාවකට ආහාර ඉඳුම් හිටුම් ඇතුළු ආගන්තුක සත්කාර කිරීමට අතිරේකව, හර්ෂවර්ධන රජු සිය භාණ්‌ඩාගාරයේ තිබූ අතිරික්‌ත රත්රන්, මැණික්‌ හා පටපිළි ජනතාව අතර බෙදාදීමත් සිරිතක්‌ව තිබූ බව හියුංසෑන් සිය, වාර්තාවන්හි සඳහන් කරයි. අතිශය භක්‌තිමත් බෞද්ධ රජකු වූ හර්ෂවර්ධනයන් ස්‌වකීය අධිරාජ්‍යය තුළ ආහාර පිණිස සතුන් මැරීම නීතියෙන් තහනම් කොට තිබී ඇත. එසමයෙහි භාරතයේ පැවැති උතුම් සිරිතක්‌ වූයේ උගතුන්, වියතුන් හා සිල්වතුන් කෙරෙහි මහරජු විසින් හා මහ සෙන්පතිවරුන් විසින් දක්‌වන ලද දැඩි ගෞරවය යි. මේ ආකාරයට තිරශ්චීන බල පුළුවන්කාරකමට හෝ වත් පොහොසත්කමට හෝ නොව උගත්කමටත්, යහපත් බවටත් මුල්ම ගෞරවය පිදීමේ සිරිත ඉන්දියාව හා චීනය විසින් ලොවට උගන්වන ලද බවත් හියුංසෑන්ගේ වාර්තා පෙන්වා දෙයි.

මේ ආකාරයට වසර ගණනාවක්‌ ඉන්දියාවේ සැරිසැරූ දේශාටන හියුංසෑන්තුමා උත්තර කඳුවැටිය තරණය කරමින් සිය රට බලා ගිය බවත් ඔහුගේ වාර්තා මගින් අනාවරණය වී තිබේ. මධ්‍යම ආසියාව පුරා පැවැති බෞද්ධ විහාරාරාම ගැනත් මොහු සඳහන් කරයි. පර්සියාව, ඉරාකය හෙවත් මෙසපොතේමියාව, මොසුල් පසුකොට සිරියාවේ දේශසීමා දක්‌වා වූ දේශ දේශාන්තරයන් හි බෞද්ධ විහාරාරාම පැවැති බව මොහු කියා ඇත්තේ මෙසේය.

"උගත්කම ගැන එතරම් තැකීමක්‌ නැති ඔව්හු මුළුමහත් කාලයම කලා ශිල්පයට කැප කරති. අසල්වැසි රටවල ජනතාව මේ කලා කෘති අතිශයින් අගය කරති."

ක්‍රි. වර්ෂ 606 දී රාජ්‍යවර්ධන රජුගේ බාල සොහොයුරු වූ හර්ෂවර්ධනයෝ තනේශ්වාරය, කනෞජය යන දෙරාජධානියේ රජකමට පත්වූහ. මෙම වර්ෂයේ පටන් හර්ෂ වර්ෂය ඇරැඹිණි. ග්‍රහවර්මන් රජුගේ මරණයෙන් හිස්‌වූ කනෞජ සිංහාසනය මෞඛරී රාජධානියේ ඇමැතිවරුන්ගේ අයෑදුම පරිදි බිසවුන් ඇයගේ හිමියන් සතු රාජධානිය පාලනය කිරීම උදෙසා හර්ෂවර්ධනයන් හා එක්‌වූ බවට චීන මූලාශ්‍ර සඳහන් කරයි. මුලදී හර්ෂයෝ රාජපුත්‍ර යන ආරූඪ නාමයෙන් පෙනී සිටි අතර පරිපූර්ණ රාජ්‍යත්වය හඟවන නම් ගත්තේ ක්‍රි. වර්ෂ 612 දීය. ග්‍රහවර්මන් රජුගේ සහෝදර වූ ද මෞඛරී ඔටුන්නට නීත්‍යනුකූල ලෙස උරුමකම් පෑවා වූද අධිරාජ්‍ය නාමයෙන් පවා ගත්තා වූද අවන්තිවර්මන් රජුගේ විරුද්ධත්වය මෙසේ නියම රාජ නාමය ගැනීම පමා කිරීමට හේතු වූ බවට විශ්වාස කෙරේ. හර්ෂයෝ, සිය අගනුවර කන්‍යාකුබිජ හෙවත් කනෞජය නගරයට ස්‌ථාන මාරුකොට එය උතුරු ඉන්දියාවේ දේශපාලන මධ්‍යස්‌ථානය බවට පත්කළහ.

හර්ෂයන් යටතේ කන්‍යා කුබිජ හෙවත් කනෞජය උතුරු ඉන්දියාවේ ප්‍රධාන නගරය වූයෙන් පාටලීපුත්‍රයේ කීර්තිය ද ඉක්‌මවිය. හියුංසෑන් වාර්තාවන්ට අනුව මෙම නගරය දිගින් සැතපුම් 05 ක්‌ ද, පළලින් එක්‌ සැතපුමක්‌ද තරම් සුවිශාල නුවරක්‌ විය. එහි අලංකාර බෞද්ධ විහාර සියයක්‌ පමණද, හින්දු දේවාල 200 ක්‌ පමණද තිබූ බවත් එම වාර්තා පෙන්වා දෙයි.

හියුංසෑන් වාර්තාවන්ට අනුව කනෞජයේ විශාල සම්මේලනයක්‌ පැවැත්විණි. හියුංසෑන් හා භාස්‌කරවටන් යන දෙදෙනා ගංගා නදී දක්‌ෂිණ තීරයේ පිහිටි කඳවුරින් නික්‌ම රැස්‌වෙනා තැනට පැමිණි කල හර්ෂවර්ධන රාජයාණෝ රාජ කුමාරයනුත්, භික්‌ෂුනුත් විසින් පිළිගන්නා ලදහ. ඇතකු පිට රන් මුවා බුදු පිළිම වහන්සේ නමක්‌ වැඩම කරවාගෙන ගිය පෙරහැරකින් සම්මේලනයේ කටයුතු ඇරැඹි පෙරහැර නිමාවීමෙන් පසුව පිළිම වහන්සේ ඉදිරිපිට බුද්ධ පූජාවක්‌ පවත්වා මහා දානයක්‌ද දුන්හ. ඊළඟට සභාවේ කටයුතු ඇරැඹුණෙත් යුයේං - ටිසාං වන්දනාකාර තෙමේ මහායාන නිකායට අයත් දහම් දෙසීම සිදු කළහ.

ගංගා යමුණා යන දෙ නදියේ පාරිශුද්ධ වූ දෙමෝදර පිහිටි ප්‍රයාගයේ (අහලබාද්හී) හර්ෂයෝ පස්‌ වසරකට වරක්‌ ඉතා සංසුන් උළෙලක්‌ (කුම්භමේලා උළෙල) පැවැත්වීමට පුරුදුව සිටියහ. කනෞජයේ සම්මේලනය නිමා වූ පසු හර්ෂයෝ ප්‍රයාගයේ පැවැත්වුණු සවැනි පංච වාර්ෂික උළෙල නරඹනු සඳහා හියුංසෑන්ටත් ඇරැයුම් කළහ. දින හැත්තෑ පහක්‌ (75) මුළුල්ලේ පැවැති මෙම උළෙලට සහභාගී වනු පිණිස ඉන්දියාවේ නොයෙක්‌ දෙසින් රාජ කුමාරවරු බොහෝ පැමිණියහ. තාවකාලික වශයෙන් ඉදිකළ විහාරයකට පළමුවැනි දවසේ බුදුන්ගේ පිළිමයක්‌ වැඩම කරවා අගනා වටිනා බොහෝ දේ සැදැහැ සිතින් පූජා කළහ. දෙවැනි. තෙවැනි දිනවල දී ඉරු දෙවියන්ගේත්, සිව දෙවියන්ගේත්. පිළිම වැඩම කරවා පුදන ලදී. එහෙත් මේ දෙ දිනේ පිදූ දෑ පළමු වනදා පිදූ දෑ තරම් අගනා නොවීය. සිව් වෙනි දිනයේදී දස දහසක්‌ (10,000) බෞද්ධ භික්‌ෂුන් උදෙසා සිව්පසය දෙවිණි. ඊළඟ විසි දිනය තුළ බමුණන්ට දන්දීම සිදු කෙරිණි.

ඊළඟ දස දිනය ජෛනයනටත්, අන්‍ය නිකායවාදීනටත් දන් දීමෙන් ගත කෙරිණි. තවත් දින දහයක්‌ තුළදී යාචකයනට දන් දීම සිදු කෙරුණු අතර, ඊළඟ මාසය තුළ දුගියනටත්, අනාථ දරුවන්ටත්, අසරණයන්ටත් දන්දීම සිදු කෙරිණි. මේ ආකාරයට දන් දෙන අතර ගෙවී ගිය වසර පහක (05) කාලය තුළ රැස්‌ කළ ධනය නිමා වීමත් සුවිශේෂ කාරණයකි. පිනට දීමත්, පර වැඩ කැමැත්තත් පිළිබඳ මෙබඳු ආදර්ශයකට සමානයෙක්‌ ඉන්දීය ඉතිහාසයේ පවා කිසි කලෙක නොවී යයි "ඉන්දීය ඉතිහාසය" ග්‍රන්ථයේ කතුවරුන් වන නරේන්ද්‍ර කෘෂ්ණ සිංහ හා අනිල් චන්ද්‍ර බැනර්ජි සඳහන් කරයි.

හර්ෂයන්ගේ මුතුන් මිත්තෝ ඉරු දෙවියන් ඇදහූවෝ වූහ. හර්ෂයන් ද මුල් කාලයේ දී ශිව භක්‌තිකයකු ව සිට සිය බෞද්ධ සොහොයුරිය වූ රාජ්‍ය

ශ්‍රී බිසවගේ මඟපෙන්වීම මත බෞද්ධයකු බවට පත් වූ බවට සිංහ හා බැනර්ජි ආචාර්යවරු විශ්වාසය පළකරති.

හර්ෂයන්ගේ සාහිත්‍යය ක්‍රියාමාර්ග අතර වඩාත් කැපී පෙනෙන කාරණය වනුයේ රජය සතු බිමේ ආදායමින් සතරින් කොටසක්‌ උගතුන්ටත්, ගත් කතුවරුන්ටත් තෑගි දීමනා පිණිස වෙන් කිරීමය. බෞද්ධ අධ්‍යාපනය පිළිබඳ ලෝක ප්‍රසිද්ධ මධ්‍යස්‌ථානයක්‌ වූ නාලන්දාවට හර්ෂයෝ සුවිශාල ධන පරිත්‍යාග සිදු කළහ.

නාලන්දා විශ්වවිද්‍යාලය පිළිබඳ හියුංසෑන්ගේ විග්‍රහය තුළ මෙසේද දැක්‌වේ

"බෞද්ධ, බ්‍රාහ්මණික යන දෙකොටසට අයත් ආගමික සාහිත්‍ය ඇතුළු නොයෙක්‌ විෂයයන් උගන්නා ශිෂ්‍යයෝ දසදහසක්‌ (10,000) දෙනෙක්‌ එහි ශිල්ප හැදෑරූහ. රාජ පරපුරු කිහිපයකම ශ්‍රද්ධාව, ලැගුම්හල්. දෙසුම්හල් යන දෙවගින් යුතු ශිෂ්ටාලංකාර ගොඩනැඟිලි වලින් සමලංකෘත කිරීමට පමණක්‌ නොව ගුරු ගෝල දෙවගින් යුත් මේ සුවිශාල ජනකායට අවශ්‍ය දෑ සැපයීමට ද හේතුවිය. ගම් සියයක පමණ ආදායම මේ සඳහා වියදම් කෙරිණි.

"නාලන්දාවේ ගුරුවරු ඉහළතම හැකියාවෙනුත්, දක්‌ෂකමිනුත් යුක්‌තෝ වූහ. මුළු විදුහල් පරිසරයම බුද්ධිමත් උෙද්‍යාaගයකින් බරව පැවැතිණි."

හර්ෂයෝ තමනුත් නම් දැරූ කවියකු නිසාම දෝ ගත්කරුවනට විශේෂ අනුග්‍රහයක්‌ දැක්‌වූහ. ඔහුගේ රාජ සභාව ආලෝකමත් කිරීමට "හර්ෂ චරිතයේ" ත් කාදම්බරියේත්, කතුවරයාණන් වූ බාණභට්‌ටයන් විශේෂයෙන් හේතු විය. හර්ෂයෝත් "ප්‍රියදර්ශිකා, රත්නාවලී, නාගානන්ද" යන සුප්‍රකට දෘෂ්‍ය කාව්‍යයන් තුන රචනය කළහ.

මේ ආකාරයට බුදු දහමට, අධ්‍යාපනයට, සාහිත්‍ය ක්‌ෂේත්‍රයට, සෙසු ආගම්වලටත්, භාරත සමාජය ආලෝකමත් කිරීමටත් අනූපමේය මෙහෙවරක්‌ ඉටුකළ හර්ෂවර්ධන අධිරාජයා ක්‍රි. වර්ෂ 646 - 647 අතරතුර දී කිසිවෙකු නොසිටීම මත අර්ජුන නමැති ඇමැතිවරයකු අත්පත් කරගත් බවත් ඉන්දීය ඉතිහාසය පෙන්වා දෙයි.

මේ අනුව හර්ෂවර්ධන අධිරාජයාගේත්, ප්‍රකට දේශාටක හියුංසෑන්ගේත් සබඳතාවය බුදු දහමටත්, ඉන්දීය සංස්‌කෘතියටත්, අධ්‍යාපනයට සේම පුළුල් වශයෙන් ඉන්දීය ජන සමාජයටත් සිදු කළ යහපත් බලපෑම සුළුපටු නොවේ. ඇතැම් ඉතිහාසඥයන්ට අනුව හියුංසෑන් සහ බාණභට්‌ටයන් ඔවුන් තුළ හර්ෂවර්ධනයන් කෙරෙහි භක්‌තිය, මිත්‍රත්වය පාදක කරගෙන අධිරාජයාට පක්‌ෂපාතීව ඔහුගේ යුගය පිළිබඳ සටහන් තබා ඇති බවයි.

ඌවතැන්නේ සුමන හිමි

උපුටා ගැනීම

No Response to "හත්වන සියවස ඔපවත් කළ හර්ෂවර්ධන හා හියුංසෑන්"

Post a Comment

අදහස් සහ උදහස්

..