Sunday, May 27, 2012

දීර්ඝායු වරය ලද හනුමාන්

0

දීර්ඝායු වරය ලද හනුමාන්

රාමා, සීතා, රාවණා සහ හනුමාන් සොයා ඉතිහාසයට ගිය ගමනක් - 3


අංජනම් එළි හෝ අඳුන බලා කියන සාස්තර හෝ අනාවැකි ඔබ පිළිගන්නවා ද? ඒවා මෙරට ජන සංස්කෘතියේ අංගය. අඳුන භාවිතයට පැමිණි කාල වකවානුව පිළිබඳ නිශ්චිත තොරතුරක් දිය නොහැකි වුවත් මේතාක්ම එය මෙරට පවතින බව අත්දැකීමෙන්ම අපි දනිමු.
හනුමාන්
අඳුනේ ප්‍රථමයෙන්ම පෙනී සිටින්නේ “හනුමාන්” ය. අඳුනෙන් අපේක්ෂිත සියලු අපේක්ෂා ඉටුකර දෙන්නේ හනුමාන් ය. නැති වූ යමක් සොයා දෙන්නැයි ඉල්ලු විට හනුමාන් එය සෙවීමට ගස්, ගල් පීරාගෙන ගමන් කරයි. විදේශයක සිටින අයකු පිළිබඳ තොරතුරක් අඳුනෙන් බලාපොරොත්තු වූ විට හනුමාන් සැණින් එම රටට ඇතුළුව පුද්ගලයා වෙත අදෘශ්‍යමානව ගොස් ඔහුගේ සියලු තොරතුරු අනාවරණය කරයි. අසනීපයකට බෙහෙත් කියයි. මෙකී - නොකී අරමුණු රැසක් අඳුනෙන් ඉටුකර දෙන්නේ හනුමාන්ගේ පිහිටෙනි.

හනුමාන් යනු වානරයෙකි. වඳුරු ගෝත්‍රයට අයත් සතෙකි. හනුමාන් ප්‍රථමයෙන්ම අපේ රටේ සංස්කෘතියට එක්වන්නේ මීට වසර පන්දහසකටත් වැඩි දුරාතීතයක් සහිත තෙත්‍රා යුගයේදීය. දඹදිව අයෝධ්‍යා පුරවරයේ විසු හනුමාන් එදා ලංකාවට ආවේ රාවණා රජු පැහැරගෙන විත් සඟවා තැබු රූමත් සීතා දේවිය සොයා ගැනීමට ය. සීතා යනු දඹදිව රාම රජුගේ භාර්යාවයි. ඇය සොයා ගැනීමේ අවශ්‍යතාව ඇත්තේ රාමටය. සොයා ගැනීමේ කාර්යය පවරන්නේ හනුමාන්ටය.
හනුමාන් මෙරට අස්සක් මුල්ලක් නෑර සොයා බලා නැති තැන අශෝක මල් වනයට ඇතුළුව එහි ගල් ගුහාවක සඟවා සිටි සීතා දේවිය සොයා ගනී. දේශදේශාන්තරයක සිට පැමිණි හනුමාන් මෙරට වනාන්තරයක සඟවා තැබු සීතා දේවිය, සොයා ගන්නට සමත් වෙයි. වර්තමානයේදී පවා අඳුනෙන් ඔබට තොරතුරු අනාවරණය කරන්නේ මේ හනුමාන්ම ද? නැතිනම් දුරාතීතයේ විසු හනුමාත්, අඳුනෙන් පෙනෙන හනුමාත් අතර ඇති සම්බන්ධතාව කුමක් ද?

වායුට දාව අඤ්ජනා (අංජනා) නමැති වානරියගේ කුසෙහි හනුමාන් උපන්නේය. උපන් දිනම වික්‍රමයක් කිරීමට හනුමාන් සමත් වෙයි. ඔහුට සූර්යයා දිස්වන්නේ ඉදුණු පලතුරු ගෙඩියක් ලෙසිනි. එය කඩා ගන්නට සිතා මවගේ ඇකයේ සිට යොදුන් සියයක් අහසට පැන නැංගේය. කුඩා කාලයේ මව ළඟ නැති විටෙක කුසගින්නෙන් පෙළුණු හනුමාන් ඉදුණු පලතුරකියි සිතා සූර්යයා ගිලින්නාට සූදානම් වූ බව රාමායණයේ සඳහන් වෙයි.

නැති වූ සීතා සොයා දීම සඳහා රාමගේ දූත මෙහෙවරේ යෙදුණ හනුමාන් දඹදිව සිට ලංකා පුරයට එන්නේ සාගරය හරහා එක පිම්මක් පැනීමෙනි. සුවිශාල සිරුරකට හිමිකම් කියන හනුමාන් රහසිගතව සැඟ වී යාමේ පහසුව තකා සිය සිරුර කුඩා කර ගනී. එසේනම් විශ්වකර්ම මැවීම් කර ගැනීමේ හැකියාවෙන් ද ඔහු යුක්ත විය. සීතා සඟවා සිටි තැනට එන හනුමාන් තම පිට මත වාඩි වෙන්නැයි සීතාට කියයි. ලංකා පුරයේ සිට දඹදිව අයෝධ්‍යාවට එක පිම්මෙන්ම පැනීමට සමත් බව හනුමාන් කියයි. කුඩා සිරුරක් සහිත හනුමාන්ට එම දක්ෂතාව ඇද්දයි සීතාට සැක සිතෙයි. එවර හනුමාන් සිය සිරුර පර්වතයක් සේ විශාල කර ගනී. ලංකා පුරය ගලවා හිස මත තබාගෙන යාමට වුවද හැකි බව හනුමාන් පවසයි.
හනුමාන් දඹදිව සිට ඔසු උයනක් උසුලාගෙන එන අයුරු
සීතා කියන්නේ එලෙසින් පැන යාම නිවටකමක් ලෙසයි. රාමගේ බලපරාක්‍රමය රාවණාට පෙන්විය යුතු බවත් යුද්ධ කොට රාවණා මරා දැමිය යුතු බවත් ඒ සඳහා රාමත් ඔහුගේ සොහොයුරු ලක්ෂමණත් කැඳවාගෙන එන ලෙසත් සීතා හනුමාන්ට පවසයි. එවන් දූත මෙහෙවරක යෙදෙන හනුමාන්ට රාවණා රකුස් රජුගෙන් හෝ එම හමුදාවෙන් අනතුරක් සිදු වේ යයි සිතා වරයක් ද දෙයි. “මා පතිවෘත්තා බල මහිමය දිවි හිමියෙන් සුරකින බව සත්‍යයක් නම් හනුමාන්ට ගින්නෙන්, ජලයෙන් හෝ ආයුධයකින් හානියක් සිදු නොවේවා” යන්නයි.

අනතුරුව අශෝක වනය විනාශ කරන හනුමාන් සීතා සිටි තැන පමණක් සුරැකිව තබයි. මෙම විනාශය දකින රාවණාගේ රකුස් හමුදා හනුමාන් අල්ලා ගැනීමට උත්සාහ කරති. හනුමාන් ඔවුන්ට උද්‍යානයේ ගස් ගලවමින් පහර දෙයි.

හනුමාන්ගේ පිළිරුව
කෙසේ වුවත් රකුස් හමුදාවට හනුමාන් පරාජය වෙයි. රකුසෝ හනුමාන් රාවණා රජු වෙත ගෙන යාමට සැරසෙති. හනුමාන්ගේ ශරීරයේ විශාලත්වය යොදුන් හැත්තෑවකි. හනුමාන් ඔසොවා ගැනීමට හෝ ඔහුගේ ලෝමයකට හානි කිරීමටවත් රකුසෝ අපොහොසත් වෙති. එවර ඔවුන්ට පහසු වනු පිණිස හනුමාන් නැවත සිය ශරීරය කුඩා කර ගනී.
රාජ සභාවට ගෙන ගිය හනුමාන්ට රාවණා රජු මරණ දඬුවම නියම කරයි. එහෙත් ඊට රාවණාගේ බාල සොහොයුරු විභීෂණ විරුද්ධ වෙයි. එවර හනුමාන්ට නියම කරන දඬුවම වන්නේ උගේ වලිගයට ගිනි ලැවීමයි. හනුමාන්ගේ වලිගය කොතරම් විශාල වීද යත් ඔහුගේ වලිගය ඔතන්නට මුළු ලංකා පුරයේම තිබුණ වස්ත්‍ර සොයා ගෙනෙයි. වලිගය සොළොස් යොදුනක් දිගය. ඊට තෙල් වක්කොට ගිනි තබයි. ගින්නෙන් වළකිනු සඳහා හනුමාන් නැවත සිරුර කුඩා කර ගනී. එහෙත් ලංකා පුරයේ තිබෙන සෑම නිවෙසකම වහලයට පනින හනුමාන් ඒ සියලුම නිවාස දවා අළු කර දමයි.

අවසානයේ හනුමාන් වලිගයේ ගින්න නිවා ගන්නේ වලිගය මුඛයට රුවා ගැනීමෙනි. එයින් ඔහුගේ මුඛය පිළිස්සෙයි. වඳුරන්ගේ මුහුණේ පිළිස්සුණු ආකාරයේ අඳුරු දුර්වර්ණයක් පිහිටන්නට වූයේ එතැන් සිටය.
අයෝධ්‍යාවට යන හනුමාන් රාම, ලක්ෂමණ සහ සුවිශාල වානර හමුදාවක් රැගෙන නැවත ලංකා පුරයට පැමිණෙයි. රාම - රාවණා යුද්ධයෙන් රාමගේ පක්ෂයට බෙහෙවින්ම හානි සිදුවෙයි. එම පිරිස් යුද පිටියේ මැරී වැටෙති. මෙයින් රාමගේ දූත ජම්බුවාන් “මහා වීර හනුමාන්”ට විපතක් වී ඇද්දයි විමසයි.

“හනුමාන් ජීවත්ව සිටියොත් අප සියලු දෙනාගේ ජීවත්වීමේ භාග්‍යය දුරු නොවේ. ඔහු අපට අවශ්‍ය ඖෂධ වර්ග ගෙනැවිත් ප්‍රතිකාර කළ කල්හි අපට ජීවත්වීමේ භාග්‍යය නැවත උදා වෙයි.” ජම්බුවාන් හනුමාන් ගැන කියන්නේ එලෙසිනි. මියගියවුන්ට යළි ජීවය ලබාදී අමරණීය කරවීමේ බලය සහිත ඖෂධ ගැන හනුමාන්ට උපදෙස් දෙන්නේ ජම්බුවාන්ය. ඒ ඖෂධ ද රැය පහන් වන්නට කලියෙන් ගෙනා යුතුය.
රම්බොඩ හනුමාන් කෝවිල
ඒ අනුව එක පිම්මෙන් හිමාලයට යන හනුමාන් එහි සෂ්‍යා සහ කෛලාස නමැති පර්වත දෙක මැද පිහිටි ඖෂධ පර්වතයට පිවිසෙයි. ඔහු ගෙන යා යුත්තේ විශල්‍යකරණී මෘත සංජීවනකී, අස්ති සංඤ්චාරිනී, සුවර්ණ කරිණී යන මහෞෂධ සතරය. බෙහෙත් වර්ග වෙන්ව හඳුනා ගන්නට හනුමාන් අපොහොසත් වෙයි. 

එහෙත් ඖෂධ පිස එන සුවඳවත් සුළඟ ආග්‍රාණය වීම නිසා හනුමාන්ගේ බලය සිය ගුණයකින් වැඩි වෙයි. හනුමාන් කරන්නේ ඖෂධ සහිත මුළු පර්වතයම ගලවා හිස මත තබාගෙන ලංකාපුරයට එක පිම්මෙන් පැන ඒමයි. එම බෙහෙත් ඖෂධ බලයෙන් රාමගේ අනතුරට පත් හමුදා සියල්ලෝම යළි ප්‍රාණය ලබති. හනුමාන් බෙහෙත් පර්වතය නැවතත් ගෙන ගොස් තිබු තැනම පිහිටුවා එයි.

හනුමාන් මහා බ්‍රහ්මයාගෙන් හා දෙවියන්ගෙන් බොහෝ බලසම්පන්න වර ලැබු අයෙකි. සුර්යය දේවතාවාගෙන් නොයෙක් ශාස්ත්‍ර හදාළේය. රාම රජු මියයන මොහොතේ හනුමාන්ට දීර්ඝායු වරය ද පුද කළේය. රාම, රාවණාට විරුද්ධව සිදුකළ යුද්ධයෙන් ජයගත හැකි වූයේ හනුමාන්ගේ බල පරාක්‍රමය නිසාවෙනි. හනුමාන් වානරයකු වුණද මහා දෙවිවරුන්ටත් නැති මහා බලගතු බලයක් ඔහු සතු විය.
හනුමාන් යනු කවරෙක්දැයි ඉහත කළ විස්තරයෙන් අවබෝධ කර ගත හැකිය. හනුමාන් වෙනුවෙන් කෝවිලක් මහනුවර - නුවරඑළිය මාර්ගයේ තවලම්තැන්නට නුදුරුව ඉදි වී ඇත. “රම්බොඩ ශ්‍රී භක්ත හනුමාන් ටෙම්පල්” යනු එහි නාමයයි.

 
සිරිසේන දේවපි‍්‍රය 


 

Sunday, May 20, 2012

සීතා දේවී දිවුරුම් දුන් දිවුරුම්පොළ

0

 


රාමා, සීතා, රාවණා සහ හනුමාන් සොයා ඉතිහාසයට ගිය ගමනක් - 2

සීතා දේවී දිවුරුම් දුන් දිවුරුම්පොළ

සීතා දේවිය දිවුරුම් දුන් තැන ඉදිවූ චෛත්‍යය
කාන්තාවක පතිව්‍රතා ධර්මය දිවිහිමියෙන්ම ආරක්ෂා කිරීම හෙවත් පතිවත සුරැකීම මොනතරම් බලගතු බලවේගයක් දැයි රාම - සීතා ප්‍රබන්ධය ආශ්‍රයෙන් අපට දැනගත හැකිය. පතිවත යනු තුට්ටුවක් වත් වටිනා දෙයක් නොවන තරමට නොසලකා හැර ඇති මෙවන් යුගයක සීතා දේවිය කාන්තා ජීවිතයට උගන්වන්නේ අමරණීය වූ පාඩමකි.
පතිව්‍රතා දහමට අසීමිත, අනම්‍ය හා අද්විතීය වූ බලයක් තිබේ. එබැවින් සෑම අම්මා කෙනෙකුම වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම නියම අම්මා කෙනෙක් නොවන්නේ ය.

සිය දිවි පරදුවට තබා පතිවත සුරැකි සීතා දේවිය වරෙක හනුමාන්ට අනඟි වරයක් දුන්නාය. එනම් රාම- රාවණා යුද්ධය පවතින අතරතුර ගින්නෙන්, ජලයෙන් හෝ වෙනත් කිසිදු උපද්‍රවයකින් හනුමාන්ගේ ජීවිතයට අනතුරක් නොවේවා යන්නයි. එය එලෙසින්ම ඉෂ්ට විය. රාම – රාවණා යුද්ධය ජය ගැනීමෙහි ලා රාමට පුරෝගාමී සහාය ලැබුණේ හනුමාන්ගෙනි. සීතා දේවිය ඔහුට එවන් වරයක් දුන්නේ ද ඒ නිසාමය.
රාම – රාවණා යුද්ධය අතිශයින්ම දරුණු විය. දෙපැත්තෙහිම මියගියවුන්ගේ ගණන ගණන් ගත හැක්කේ කෝටි ගණනිනි. රාම මෙන්ම ප්‍රතිමල්ලවයා වූ රාවණා ද කරට කර සිටීම යුද්ධය මෙතරම් දරුණු වීමට හේතු විය. විශාල විනාශයකින් පසු රාවණා මරා දැමූ රාම යුද්ධයෙන් ජය ගත්තේය. අනතුරුව රාම සහ සොහොයුරු ලක්ෂමණ දෙදෙනා රාවණා මියයාමෙන් හිස් වූ ලංකා රාජ්‍යයේ සිංහාසනයට විභීෂණ නමැති රාවණාගේ සහෝදරයා ඔටුනු පලඳවා පත් කළේය.
සීතා දේවිය ඒ වනතුරු ද කාලය ගත කළේ අශෝක වනයෙහි රාවණාගේ ආරක්ෂක හමුදා මැද්දේය. දැඩි ශෝකයට පත්ව කඳුළු වගුරුවමින් ඇය කාලය ගතකළාය. ඇය ඇඳ සිටියේ කිළිටි වූ වැරහැලි වස්ත්‍රය. අලංකාරව තිබූ කේශකලාපය හැඩපලු ගෙතී තිබුණි. ආහාර වර්ජනය කළ නිසා කෙසඟව රූපය අවලක්ෂණව ඇය කාලය ගත කළාය.

රාම-රාවණා යුද්ධයේ එක් අවස්ථාවකදී රාවණාගේ බලගතු ප්‍රහාරයන්ගෙන් යුද බිම මැරී වැටුණ රාම ලක්ෂමණ දෙදෙනාට නැවත ජීවත්වීමට වරම් දුන් මහා වීරයාණන් වූ හනුමාන් අශෝක වනයට ගියේය. ගොස් රාම විසින් රාවණා මරණයට පත් කරනු ලැබූ බව සීතා දේවියට සැළ කළාය. සීතාගේ සතුට නිම් හිම් නැති විය. ඇය එවේලෙහි සිටි ස්වරූපයෙන්ම රාම හමුවීමට යාමට සූදානම් වූවාය.

දිවුරුම්පොළ විහාරස්ථානය
එවිට ලක් රජයේ අලුතින් රාජ පදප්‍රාප්ත වූ විභීෂණ (විභීෂණ යනු රාවණාගේ බාල සොහොයුරාය. ඔහු රාවණාගේ දුෂ්ට ක්‍රියා අනුමත නොකළා පමණක් නොව රාවණාට විරුද්ධව රාමට සහයෝගය ද දැක්වූයේ ය) රජුගේ දේවිය වූ සුරමා රැජන සීතා හමුවට පැමිණියාය. ඇය සීතා දේවිය ස්නානය කරවා සුන්දර වූ වස්ත්‍රාභරණයෙන් සරසවා, මනමෝහනීය රූසපුවෙන් යුක්තව සිය වල්ලභයා වූ රාම වෙත යැව්වාය. සීතාගේ සතුට නිම්-හිම් නැත.
එහෙත් එලෙසින් සැරසී ආ පමණින් ඇය පිළිගැනීමට රාම සූදානම් නැත. සීතාදේවිය දිගුකලක්ම ගත කළේ රාක්ෂසයන්ගේ පුරවරයේ ඔවුන්ගේ තාඩන – පීඩන මැදය. ඇයගේ පතිවතට රකුසන්ගෙන් කැළලක් සිදුවී ඇත්නම් ඇය යළි භාරගන්නට රාම සූදානම් නැත. ඔහු ලෝකාපවාදයෙන් ද මිදිය යුතුය. එබැවින් ඔහු කළේ අග්නි පරීක්ෂණයෙන් පතිව්‍රතා දහම සුරැකි බව සහතික කරන්නැයි සීතාට අණ කිරීමයි.

ගින්නට පනින කවුරුන් වුවද එම ගින්නෙන් දැවී පිළිස්සී මිය යන බව පුදුමයක් නොවේ. එහෙත් පතිව්‍රතා බලමහිමය අසාමාන්‍ය -අද්විතීය බලවේගයකි. සීතා අග්නි පරීක්ෂණයට එකඟ වන්නේ එක හිතින්ය. ලක්ෂමණ කුමරු අති විශාල පිරිසක් මැද්දේ බිහිසුණු ගිනි ජාලාවක් සූදානම් කරයි. ගිනිදැල් බුර බුරා පැනනඟී.
ආර්.ඇම්.ජයතිලක මහතා විස්තර සපයමින්
සීතා දේවිය ඉතින් මා දිවිහිමියෙන්ම පතිව්‍රතා දහම සුරැකි භාර්යාවක වී නම් මේ ගින්නෙන් නොදැවේවා! පතිදහම සිඳලූ දුරාචාරිණියක වී නම් මේ ගින්නෙන් පිළිස්සී මා අළුගොඩක් බවට පත්වේවා යයි යන අධිෂ්ඨානයෙන් යුතුව ගිනිගොඩ මැදට පැන සත් වතාවක් එහි ඒ මේ අත ඇවිද්දාය. ඇගේ සිරුරේ එක රෝමයකුදු ගින්නෙන් නොපිළිස්සුණේය.

රාම මෙන්ම ඔහුගේ පාර්ශ්වයේ පිරිස් ද සීතා සුපිරිසුදු පතිනියකයි පිළිගත්තේ අනතුරුවය. මේ ආකාරයෙන් සීතා දේවිය දිවුරුම් දුන් ස්ථානය පිළිබඳව මත කීපයක්ම අනාවරණය වේ. එකකින් කියන්නේ ඇය දිවුරුම් දුන්නේ මුහුදු වෙරළෙහි ගැසූ ගිනි ගොඩකදී බවයි. අනිත් මතය නම් සීතාඑළියට කිලෝ මීටර් කීපයක් නුදුරින් නුවරඑළිය – වැලිමඩ මාර්ගයේ පිහිටි දිවුරුම්පොළ දී ඇය දිවුරුම් දුන් බවයි – එහි ඇය දිවුරුම් දුන් තැන දිවුරුම්වෙල පුරාණ රජ මහා විහාරය ඉදිවී ඇත. කලක් දිවුරුම්පොළ පුරාණ රජ මහා විහාරය නමින් හැඳින්වුණ මෙම සිද්ධස්ථානය දැන් දිවුරුම්වෙල නමින් හැඳින්වෙයි.

එහි ඓතිහාසිකත්වය හා බැඳුණ ජනකතා කීපයක් දායක සභාවේ ආර්.ඇම්.ජයතිලක මහතා මා හමුවේ අනාවරණය කළේ මෙලෙසිනි.
විහාර භූමියට පිවිසෙන තැන ඉදිවූ චෛත්‍යය
”අර ඈතින් පෙනෙන කඳු වැටියට කියන්නෙ ස්ත්‍රීපුර කන්ද කියල. ස්ත්‍රීපුර කන්දෙ සුප්‍රසිද්ධ ගල් ගුහාවක් තියෙනව. රාවණා රජ්ජුරුවො දඹදිව සිට පැහැරගෙන ආපු සීතා දේවිය හංගලා තිබ්බෙ ඔය ගල්ගුහාවෙ ඇතුළේ. ගල් ගුහාවෙ ඉඳල උමං මාර්ග තුනක් තියෙනව.
එකක් නුවරඑළියෙ සීතාඑළියට. එකක් බණ්ඩාරවෙල දෝවෙ පන්සලට. අනික ඇල්ල- වැල්ලවාය පාරෙ රාවණා දිය ඇල්ලට”
මේ දිවුරුම්පොළ පන්සලේ ඉඳලා බැලූතෙක් මානෙ පෙනෙන ගම්මානයක් තියෙනව. ‘රාම ලංකාගම’ කියල තමයි කියන්නෙ. මෙතන ඉඳන් කිලෝ මීටර් භාගයක් ඇති නැති තරම්. සීතා සොයාගෙන දඹදිව හිටන් ආපු රාම රජ්ජුරුවො ගොඩබැස්සයි කියන්නෙ ඔය ගමට. ඒකලු ඒ ගම රාම ලංකාගම වුණේ” ජයතිලක මහතා මා සමඟ කීවේය.
සීතා දේවිය විශාල ගිනි ජාලාවකට පැන පතිව්‍රතා බලමහිමය විදහා පෑ තැන පෙන්වන්නට ද ජයතිලක මහතා මා කැටුව ගියේය.
”මේ බෝධිය බොහොම පැරණි එකක්. බෝධිය මුල මේ පුංචි චෛත්‍යය ඉදිකරල තියෙන්නෙ සීතා දේවිය ගින්නට පැනල දිවුරපු තැන කියල තමයි කියන්නෙ” තවදුරටත් ජයගිලක මහතා කීවේය.
දිවුරුම්වෙල රජ මහා විහාරයේ දෙහිවින්නේ අත්ථදස්සී හිමියන් වැඩ විසූ කාලයේ සුවිශේෂී සිදුවීමක් පිළිබඳව ද ජයතිලක මහතා සිය මතකය අවදි කළේය.

”ඒ කාලෙ මෙතන නඩුත් විසඳපු තැනක්. විත්ති – පැමිණිලි දෙපැත්තම මෙතෙන්ට ගෙන්නනව. ගෙන්නලා නඩු විභාග කරල වරද කරපු කෙනාට කියනව මේ කළ වැරැද්ද මින්මනත මං ආයෙමත් කරන්නෙ නෑ කියල දිව්රන්ඩ කියල”

දිවුරුම්වෙල හා දිවුරුම් පොළ යන ග්‍රාම නාම ඇතිවීමේ කතා පුවත් ජයතිලක මහතා මා ඉදිරියේ අනාවරණය කළේ එලෙසිනි.

ඡායාරූප හා සටහන - සිරිසේන දේවප්‍රිය 


උපුටා ගැනීම - http://www.silumina.lk/2012/05/20/_art.asp?fn=av12052017

 



Sunday, May 13, 2012

සීතා (හිරු) එළිය දුටු සීතා එළිය

2

 

සීතා (හිරු) එළිය දුටු සීතා එළිය

රාමා, සීතා, රාවණා සහ හනුමාන් සොයා ඉතිහාසයට ගිය ගමනක්

සීතාඑළියේ සීතා කෝවිල
මෙය රාවණ පුරාවෘත්තයට අදාළ ලංකාවේ ඓතිහාසික ස්ථාන පිළිබඳව ලියැවෙන ලිපි පෙළක පළමුවැන්නයි. පළමු ලිපියෙන් අවධානය යොමු කරන්නෙ සීතා එළිය පිළිබඳවය.
සීතාඑළිය ගම කරුණු කීපයක් අතින්ම අතිශය වැදගත්කමක් උසුලයි. එය නුවරඑළියට කිලෝ මීටර් 7 ක් නුදුරින් බදුල්ල මාර්ගයේ දී හමුවන ගොවි ගම්මානයකි. එය මීට වසර පන්දහස් ගණනකට පෙරාතුව රාම - රාවණා යුද්ධය නිසා ප්‍රකට වූ ගම කි. එනම් අබුද්ධෝත්පොද කාලයේ සිදුවූ සිදුවීමකට සම්බන්ධය. ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී ගත වී ඇත්තේ වසර 2600 කි. ඊටත් වසර 2400 කට පෙර සිදුවූවකි රාම - රාවණා මහා සංග්‍රාමය.
“සීතා” සහ “එළිය” යන වචන දෙකේ එකතුවෙන් “සීතාඑළිය” නම සෑදී ඇත. සීතා යනු රාමගේ බිරිඳ වූ රූමත් සීතා දේවියයි. ඇය “එළිය” දුටු ප්‍රදේශය “සීතාඑළිය” විය. රාම, ලක්ෂමණ (රාමගේ සොහොයුරු) සහ සීතා දේවිය එවකට වනවාසී ජීවිත ගත කරමින් සිටියහ. පදිංචි ගෘහයෙන් බැහැරව ඈත දුර ප්‍රදේශයකට ගොස් වනාන්තරගතව කුටියක් තනාගෙන භාවනානුයෝගීව දොළොස් වසරක් වාසය කිරීම වනවාසී ජීවිතය යනුවෙන් හැඳින්වෙයි.

එවකට ලංකාව පාලනය කළේ යක්ෂ ගෝත්‍රික රාවණා රජුය. රාවණා බදුල්ල අග නගරය ද, නුවරඑළිය දුර්ගම නගරය ද කරගෙන රට පාලනය කළේය. ඔහුගේ නැගණිය වන සුර්පනකා රූමත් සීතා පිළිබඳ පුවත රාවණාට අනාවරණය කරයි. සුර්පනකාගේ වර්ණයෙන් නිර්මාණය වූ රූමත් සීතා තමාගේ මෙහෙසියක කර ගත යුතු යයි රාවණා සිතයි.
දඬු මොනර යන්ත්‍රයේ නැගී රාමගේ කුටියට යන රාවණා සීතාගේ රූපශ්‍රීයෙන් වශී වෙයි. එවේලෙහි රාම හෝ ලක්ෂමණ කුටියෙහි නැත. ලද අවසරයෙන් රාවණා සීතා පැහැරගෙන දඬු මොනරයේ නැගී ලංකා පුරයට විත් ඇය අශෝක වනයේ අඳුරු ගල් ගුහාවක් තුළ සිරගත කොට තබයි. දිගු කලක් අඳුරේ විසීමේ හේතුවෙන් සීතාට ඇස් රෝගයක් වැළඳෙයි. එය සුවපත් කරන්නට නම් ඇය හිරු එළිය වදින තැනකට ගෙන යා යුතු විය. එසේ ගෙන ආ ස්ථානය සීතාඑළිය නමින් ප්‍රකට විය.
හග්ගල කන්ද
පුරාණයේ ඌවේ සිට කොත්මලේ දක්වා අඩි පාරක් විහිදී තිබුණේ මෙම ස්ථානය හරහාය. හාත්පස පෙදෙස වනාන්තරගතය. මෙමඟෙහි කලාතුරකින් හෝ යන එන්නන්ට මෙම ස්ථානයේ දී ආශ්චර්යයවත්, අද්භූත සිදුවීම්වලට මුහුණ පෑමට සිදුවිය. මෙතැන හාස්කම් සහිත තැනකියි සිතූ ඔවුහු එහි වූ ගසක් මුල ගලක් තබා, ඒ මත පහනක් දල්වා, පුද සත්කාර පවත්වා ගමන් - බිමන් යාමට ඊමට පුරුදු වූහ. පසු කලදී මෙහි කුඩා කෝවිලක් ඉදි විය. වන්දනාමාන කෙරෙන පිරිස් වැඩිවෙත්ම එහි වැඩි දියුණු කළ කෝවිලක් ඉදිවූ අතර සීතාඑළිය සීතා අම්මාන් කෝවිල නමින් හඳුන්වන්නේ එයයි. මෙතැන පසුකොට යන - එන රියැදුරෝ වාහනය නවත්වා පඬුරු පුදා ආශීර්වාද ලබාගෙන යාම අද ද පුරුද්දක් ලෙස කරති. සීතාඑළිය ගම වඩාත් ප්‍රචලිතව ඇත්තේ මෙම කෝවිල නිසාවෙනි.

මෙම කෝවිල පිළිබඳ පබැඳුණ කතා ගණනාවකි. හනුමාන් දේවත්වයෙන් යුතුව වැඩ සිටින්නේ මෙම කෝවිලෙහි බවට ද මතයකි. මල් තටුවක් තබා අඳුන බලන වේලෙහි හනුමාන් පිටත්ව එන්නේ මෙම කෝවිලේ සිට බව කියනු ලැබේ. කෝවිල අවට දේවතා එළි ගමන් කරනු දුටුවන් ද ඇත.

පුරාණයේ කුඩා කෝවිලක්ව තිබියදී මෙහි අරුම - පුදුම දේ ද සිදු වී ඇත. තමා සිතන - පතන දෙය එලෙසින්ම ඉටු වන්නේදැයි මෙතැනට පැමිණිමෙන් දැන ගත හැකි වීලු. කෝවිල් භූමියේ ගල් තලාව මත ගල් වළක් තිබුණි. එහි ජලය ද පිරී තිබුණි. තමන් සිතන - පතන දේ ඉටු වන්නේ ද - නැද්ද යන්න දැන ගැනීමට සිදුකොට ඇත්තේ ගල් වළට මල් දැමීමයි. දමන මල් ඒ අසලින් ගලා ගිය සීතා ඇළෙන් මතු වූවොත් ඉන් කියවෙන්නේ අරමුණ සාර්ථකව ඉටුවන බවයි. මල් මතු නොවීම අපේක්ෂා භංගත්වයට හේතු වේ. මෙම කරුණ අත්දුටු බොහෝ දෙනෙක් සීතාඑළියේ තවමත් වාසය කරති.

සීතාඑළියේ පොළව කෙටීමේ දී හමුවන පාෂාණිභූත වූ බත් ගුලි විශේෂයක් ගැන ඇතැම්මු කියති. ගම්මුන් මේවා හඳුන්වන්නේ සීතා ගුලි හෝ සීතා කැට ලෙසය. ඒවා ගල් මෙන් තදය. බඩේ රුදාව වැනි අසනීපවලට අත් බෙහෙතක් ලෙස සීතා ගුලි භාවිතයට ගැනුණි. සීතා ගුලි ගලගා බොන්නට දීමෙන් බඩේ රුදාවන් සුවපත් වන බව ඔවුන්ගේ මතයයි. මෙය ද අත්දුටුවෝ සිටිති.

හනුමාන් පිළිරුව
සීතා කැට, සීතා ගුලි නමින් හඳුන්වන්නේ මොනවා ද?
සඟවා තැබු සීතාට රාවණා කන්නට දී ඇත්තේ කිරිබත් ය. රාමගෙන් වෙන්ව වසන්නට සිදුවීමෙන් පි‍්‍රය විප්‍රයෝගයෙන් පෙළුණු සීතා ආහාර වර්ජනය කළාය. ඇය කිරිබත් දසත විසිකර දැමුවාය. පාෂාණීභූත වී වර්තමානයේ පවා පොළව කෙටීමේ දී හමුවන්නේ මෙම කිරිබත් ගුලිය. ප්‍රදේශවාසීහු ඒවා සීතා කැට හෝ සීතා ගුලි ලෙසින් හඳුන්වති.
පුරාණයේ වූ අශෝක මල් වනයේ ශේෂ වූ අශෝක ගස් වර්තමානයේ දී පවා සීතාඑළිය ප්‍රදේශයේ ද, අවට ප්‍රදේශවල ද අතන - මෙතන තිබෙනු දක්නට ලැබේ. මෙය ශීඝ්‍රයෙන් වඳවීගෙන යන ගස් විශේෂයකි. රතු පැහැති අලංකාර මල් පොකුරක් සහිත රළු කොළවලින් යුත් අශෝක ගස ඇඹුරුණු අතු - පතරින් යුක්තය.
අනූව දශකයේ පමණ රාම - රාවණා සහ සීතා ප්‍රවාදය සනාථ කරන ආකාරයේ සාධකයක් සීතාඑළියේ ඉඩමකින් හමු වී ඇත. ඉඩම අයිතිකරු එහි වළක් කපන්නට තීරණය කළේ වත්තේ වගාවන්ට දැමීම සඳහා වතුර ලබා ගැනීමටය. වළ අඩි 8 - 10 ප්‍රමාණයේ ගැඹුරැතිය. හතරැස්ව කැපු ළිඳේ එක් බිත්තියකින් හනුමාන්ගේ පිළිරුවක් මතු විය. එය බිත්තිය පුරාවටම මතුවූවකි. පිළිරුව කිසියම් පාෂාණයකින් නිර්මාණය වී තිබු බව දුටුවෝ කියති.

පිළිරුව ගැන ආරංචි ලැබුවෝ දසතින්ම එහි ඇදී ආහ. ඇතැම්හු වළට පඬුරු පිදූහ. වත්පිළිවෙත් කළහ. එහෙත් ඉඩම අයිතිකරුට සිදුවූයේ විශාල විනාශයකි. පැමිණියවුන් වත්තේ ඇවිදීම හේතුවෙන් වගා විනාශ විය. ඔහු වළ වසා දැම්මේය. මෙම වළ නැවත විවෘත කොට එහි පුරාවිද්‍යාත්මක ගවේෂණයක් සිදුකළ යුතු යයි වගකිව යුතු ආයතනවලට දැනුම් දෙනු කැමැත්තෙමි.

ඉන්දියාවේ සිට පැමිණි පොහොසත් හින්දුහු මෙම ඉඩම මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් පැමිණියහ. ඔවුන්ගේ අරමුණ වූයේ එහි හනුමාන් කෝවිලක් ඉදි කිරීමයි. එහෙත් ඉඩම විකිණිම හිමිකරු ප්‍රතික්ෂේප කළේය. මාස කීපයක ඇවෑමෙන් ඉඩම පාළුවට යන්නට විය. එහි සිදු කළ වගා කිසිවක් සාර්ථක වූයේ නැත. ඔහුගේ දේපළ නැති භංගස්ථාන විය. අවසානයේ අන්ත දිළිඳු තත්ත්වයකට පත් වූ ඔහු ඉඩම අන් අයෙකුට විකුණා දමා ප්‍රදේශය අතහැර ගියේය. අලුත පදිංචි වූ අයට ද ඉඩමෙන් ප්‍රතිඵලයක් නොවීය. එබැවින් ඉඩම කෙටි කලකදී කීප දෙනෙකු අතට මාරු විය.

සීතාඑළිය ප්‍රදේශය මැණික් උල්පතකි. ඉතා අනඟි වටිනා නවමු මැණික් සීතාඑළිය පොළවෙන් ලැබුණි. ඇතැම්මු හිටිඅඩියේ පොහොසත් වූහ. එසේ වූයේ මැණික් ලැබීමේ හේතුවෙනැයි කියනු ලැබේ. සීතාඑළිය ආසන්නයේ මහාමාර්ගයේ එක් වංගුවක් හැඳින්වෙන්නේ ද මැණික් වංගුව කියාය. මැණික් වංගුවට පහළ ප්‍රපාතයේ ගල් ගුහාවක් ඇතැයි ද, එහි චීවරධාරියෙකු විසුවේ යයි ද, එම ස්ථානයේ මැණික් ගැරුවේ යයි ද ප්‍රදේශවාසීහු කියති. අද ද රක්ෂිත ආශි‍්‍රතව හොරෙන් මැණික් ගරන්නන් බහුලය.

සීතාඑළිය ගමේ තැනින් තැන ගල් ගුහා තිබුණු බව ද ඒවා කඩා බිඳ දමා හෝ වසා දමා විනාශයට පත්කොට ඇතැයි ද ගම්මු පවසති. සීතා දිය නෑ දිය පිහිල්ල ගම ඉහත්තාවේ කැලයේ ඇති බවට ද මතයකි.
පින්බිමක් වූ සීතාඑළියේ සැඟවුණු නිදන් පිළිබඳව ද ගෙතුණු කතා අනන්තය. බොහෝ දෙනෙකුට නිදන්වලින් වස්තුව ලැබී ඇත. රත්තරන් කාසි, රත්තරන් සුර, රත්තරනින් කළ දඬු මොනර යන්ත්‍රයේ ආකෘතියක් ද ඒ අතර වී යයි ඇතැම්හු පවසති. ලද නිදන් පිළිබඳ අනාවරණය කරන්නට ගම්මුන් දක්වන්නේ බියකි. ඊට හේතුව නිදන් ලද්දවුන්ගෙන් තමනට කරදර එළඹිය හැකි බැවිනැයි ඔවුහු පවසති.


සිරිසේන දේවපි‍්‍රය 

උපුටා ගැනීම - http://www.silumina.lk/2012/05/13/_art.asp?fn=av12051311
  

    

..