-->

Sunday, May 27, 2012

දීර්ඝායු වරය ලද හනුමාන්

0

දීර්ඝායු වරය ලද හනුමාන්

රාමා, සීතා, රාවණා සහ හනුමාන් සොයා ඉතිහාසයට ගිය ගමනක් - 3


අංජනම් එළි හෝ අඳුන බලා කියන සාස්තර හෝ අනාවැකි ඔබ පිළිගන්නවා ද? ඒවා මෙරට ජන සංස්කෘතියේ අංගය. අඳුන භාවිතයට පැමිණි කාල වකවානුව පිළිබඳ නිශ්චිත තොරතුරක් දිය නොහැකි වුවත් මේතාක්ම එය මෙරට පවතින බව අත්දැකීමෙන්ම අපි දනිමු.
හනුමාන්
අඳුනේ ප්‍රථමයෙන්ම පෙනී සිටින්නේ “හනුමාන්” ය. අඳුනෙන් අපේක්ෂිත සියලු අපේක්ෂා ඉටුකර දෙන්නේ හනුමාන් ය. නැති වූ යමක් සොයා දෙන්නැයි ඉල්ලු විට හනුමාන් එය සෙවීමට ගස්, ගල් පීරාගෙන ගමන් කරයි. විදේශයක සිටින අයකු පිළිබඳ තොරතුරක් අඳුනෙන් බලාපොරොත්තු වූ විට හනුමාන් සැණින් එම රටට ඇතුළුව පුද්ගලයා වෙත අදෘශ්‍යමානව ගොස් ඔහුගේ සියලු තොරතුරු අනාවරණය කරයි. අසනීපයකට බෙහෙත් කියයි. මෙකී - නොකී අරමුණු රැසක් අඳුනෙන් ඉටුකර දෙන්නේ හනුමාන්ගේ පිහිටෙනි.

හනුමාන් යනු වානරයෙකි. වඳුරු ගෝත්‍රයට අයත් සතෙකි. හනුමාන් ප්‍රථමයෙන්ම අපේ රටේ සංස්කෘතියට එක්වන්නේ මීට වසර පන්දහසකටත් වැඩි දුරාතීතයක් සහිත තෙත්‍රා යුගයේදීය. දඹදිව අයෝධ්‍යා පුරවරයේ විසු හනුමාන් එදා ලංකාවට ආවේ රාවණා රජු පැහැරගෙන විත් සඟවා තැබු රූමත් සීතා දේවිය සොයා ගැනීමට ය. සීතා යනු දඹදිව රාම රජුගේ භාර්යාවයි. ඇය සොයා ගැනීමේ අවශ්‍යතාව ඇත්තේ රාමටය. සොයා ගැනීමේ කාර්යය පවරන්නේ හනුමාන්ටය.
හනුමාන් මෙරට අස්සක් මුල්ලක් නෑර සොයා බලා නැති තැන අශෝක මල් වනයට ඇතුළුව එහි ගල් ගුහාවක සඟවා සිටි සීතා දේවිය සොයා ගනී. දේශදේශාන්තරයක සිට පැමිණි හනුමාන් මෙරට වනාන්තරයක සඟවා තැබු සීතා දේවිය, සොයා ගන්නට සමත් වෙයි. වර්තමානයේදී පවා අඳුනෙන් ඔබට තොරතුරු අනාවරණය කරන්නේ මේ හනුමාන්ම ද? නැතිනම් දුරාතීතයේ විසු හනුමාත්, අඳුනෙන් පෙනෙන හනුමාත් අතර ඇති සම්බන්ධතාව කුමක් ද?

වායුට දාව අඤ්ජනා (අංජනා) නමැති වානරියගේ කුසෙහි හනුමාන් උපන්නේය. උපන් දිනම වික්‍රමයක් කිරීමට හනුමාන් සමත් වෙයි. ඔහුට සූර්යයා දිස්වන්නේ ඉදුණු පලතුරු ගෙඩියක් ලෙසිනි. එය කඩා ගන්නට සිතා මවගේ ඇකයේ සිට යොදුන් සියයක් අහසට පැන නැංගේය. කුඩා කාලයේ මව ළඟ නැති විටෙක කුසගින්නෙන් පෙළුණු හනුමාන් ඉදුණු පලතුරකියි සිතා සූර්යයා ගිලින්නාට සූදානම් වූ බව රාමායණයේ සඳහන් වෙයි.

නැති වූ සීතා සොයා දීම සඳහා රාමගේ දූත මෙහෙවරේ යෙදුණ හනුමාන් දඹදිව සිට ලංකා පුරයට එන්නේ සාගරය හරහා එක පිම්මක් පැනීමෙනි. සුවිශාල සිරුරකට හිමිකම් කියන හනුමාන් රහසිගතව සැඟ වී යාමේ පහසුව තකා සිය සිරුර කුඩා කර ගනී. එසේනම් විශ්වකර්ම මැවීම් කර ගැනීමේ හැකියාවෙන් ද ඔහු යුක්ත විය. සීතා සඟවා සිටි තැනට එන හනුමාන් තම පිට මත වාඩි වෙන්නැයි සීතාට කියයි. ලංකා පුරයේ සිට දඹදිව අයෝධ්‍යාවට එක පිම්මෙන්ම පැනීමට සමත් බව හනුමාන් කියයි. කුඩා සිරුරක් සහිත හනුමාන්ට එම දක්ෂතාව ඇද්දයි සීතාට සැක සිතෙයි. එවර හනුමාන් සිය සිරුර පර්වතයක් සේ විශාල කර ගනී. ලංකා පුරය ගලවා හිස මත තබාගෙන යාමට වුවද හැකි බව හනුමාන් පවසයි.
හනුමාන් දඹදිව සිට ඔසු උයනක් උසුලාගෙන එන අයුරු
සීතා කියන්නේ එලෙසින් පැන යාම නිවටකමක් ලෙසයි. රාමගේ බලපරාක්‍රමය රාවණාට පෙන්විය යුතු බවත් යුද්ධ කොට රාවණා මරා දැමිය යුතු බවත් ඒ සඳහා රාමත් ඔහුගේ සොහොයුරු ලක්ෂමණත් කැඳවාගෙන එන ලෙසත් සීතා හනුමාන්ට පවසයි. එවන් දූත මෙහෙවරක යෙදෙන හනුමාන්ට රාවණා රකුස් රජුගෙන් හෝ එම හමුදාවෙන් අනතුරක් සිදු වේ යයි සිතා වරයක් ද දෙයි. “මා පතිවෘත්තා බල මහිමය දිවි හිමියෙන් සුරකින බව සත්‍යයක් නම් හනුමාන්ට ගින්නෙන්, ජලයෙන් හෝ ආයුධයකින් හානියක් සිදු නොවේවා” යන්නයි.

අනතුරුව අශෝක වනය විනාශ කරන හනුමාන් සීතා සිටි තැන පමණක් සුරැකිව තබයි. මෙම විනාශය දකින රාවණාගේ රකුස් හමුදා හනුමාන් අල්ලා ගැනීමට උත්සාහ කරති. හනුමාන් ඔවුන්ට උද්‍යානයේ ගස් ගලවමින් පහර දෙයි.

හනුමාන්ගේ පිළිරුව
කෙසේ වුවත් රකුස් හමුදාවට හනුමාන් පරාජය වෙයි. රකුසෝ හනුමාන් රාවණා රජු වෙත ගෙන යාමට සැරසෙති. හනුමාන්ගේ ශරීරයේ විශාලත්වය යොදුන් හැත්තෑවකි. හනුමාන් ඔසොවා ගැනීමට හෝ ඔහුගේ ලෝමයකට හානි කිරීමටවත් රකුසෝ අපොහොසත් වෙති. එවර ඔවුන්ට පහසු වනු පිණිස හනුමාන් නැවත සිය ශරීරය කුඩා කර ගනී.
රාජ සභාවට ගෙන ගිය හනුමාන්ට රාවණා රජු මරණ දඬුවම නියම කරයි. එහෙත් ඊට රාවණාගේ බාල සොහොයුරු විභීෂණ විරුද්ධ වෙයි. එවර හනුමාන්ට නියම කරන දඬුවම වන්නේ උගේ වලිගයට ගිනි ලැවීමයි. හනුමාන්ගේ වලිගය කොතරම් විශාල වීද යත් ඔහුගේ වලිගය ඔතන්නට මුළු ලංකා පුරයේම තිබුණ වස්ත්‍ර සොයා ගෙනෙයි. වලිගය සොළොස් යොදුනක් දිගය. ඊට තෙල් වක්කොට ගිනි තබයි. ගින්නෙන් වළකිනු සඳහා හනුමාන් නැවත සිරුර කුඩා කර ගනී. එහෙත් ලංකා පුරයේ තිබෙන සෑම නිවෙසකම වහලයට පනින හනුමාන් ඒ සියලුම නිවාස දවා අළු කර දමයි.

අවසානයේ හනුමාන් වලිගයේ ගින්න නිවා ගන්නේ වලිගය මුඛයට රුවා ගැනීමෙනි. එයින් ඔහුගේ මුඛය පිළිස්සෙයි. වඳුරන්ගේ මුහුණේ පිළිස්සුණු ආකාරයේ අඳුරු දුර්වර්ණයක් පිහිටන්නට වූයේ එතැන් සිටය.
අයෝධ්‍යාවට යන හනුමාන් රාම, ලක්ෂමණ සහ සුවිශාල වානර හමුදාවක් රැගෙන නැවත ලංකා පුරයට පැමිණෙයි. රාම - රාවණා යුද්ධයෙන් රාමගේ පක්ෂයට බෙහෙවින්ම හානි සිදුවෙයි. එම පිරිස් යුද පිටියේ මැරී වැටෙති. මෙයින් රාමගේ දූත ජම්බුවාන් “මහා වීර හනුමාන්”ට විපතක් වී ඇද්දයි විමසයි.

“හනුමාන් ජීවත්ව සිටියොත් අප සියලු දෙනාගේ ජීවත්වීමේ භාග්‍යය දුරු නොවේ. ඔහු අපට අවශ්‍ය ඖෂධ වර්ග ගෙනැවිත් ප්‍රතිකාර කළ කල්හි අපට ජීවත්වීමේ භාග්‍යය නැවත උදා වෙයි.” ජම්බුවාන් හනුමාන් ගැන කියන්නේ එලෙසිනි. මියගියවුන්ට යළි ජීවය ලබාදී අමරණීය කරවීමේ බලය සහිත ඖෂධ ගැන හනුමාන්ට උපදෙස් දෙන්නේ ජම්බුවාන්ය. ඒ ඖෂධ ද රැය පහන් වන්නට කලියෙන් ගෙනා යුතුය.
රම්බොඩ හනුමාන් කෝවිල
ඒ අනුව එක පිම්මෙන් හිමාලයට යන හනුමාන් එහි සෂ්‍යා සහ කෛලාස නමැති පර්වත දෙක මැද පිහිටි ඖෂධ පර්වතයට පිවිසෙයි. ඔහු ගෙන යා යුත්තේ විශල්‍යකරණී මෘත සංජීවනකී, අස්ති සංඤ්චාරිනී, සුවර්ණ කරිණී යන මහෞෂධ සතරය. බෙහෙත් වර්ග වෙන්ව හඳුනා ගන්නට හනුමාන් අපොහොසත් වෙයි. 

එහෙත් ඖෂධ පිස එන සුවඳවත් සුළඟ ආග්‍රාණය වීම නිසා හනුමාන්ගේ බලය සිය ගුණයකින් වැඩි වෙයි. හනුමාන් කරන්නේ ඖෂධ සහිත මුළු පර්වතයම ගලවා හිස මත තබාගෙන ලංකාපුරයට එක පිම්මෙන් පැන ඒමයි. එම බෙහෙත් ඖෂධ බලයෙන් රාමගේ අනතුරට පත් හමුදා සියල්ලෝම යළි ප්‍රාණය ලබති. හනුමාන් බෙහෙත් පර්වතය නැවතත් ගෙන ගොස් තිබු තැනම පිහිටුවා එයි.

හනුමාන් මහා බ්‍රහ්මයාගෙන් හා දෙවියන්ගෙන් බොහෝ බලසම්පන්න වර ලැබු අයෙකි. සුර්යය දේවතාවාගෙන් නොයෙක් ශාස්ත්‍ර හදාළේය. රාම රජු මියයන මොහොතේ හනුමාන්ට දීර්ඝායු වරය ද පුද කළේය. රාම, රාවණාට විරුද්ධව සිදුකළ යුද්ධයෙන් ජයගත හැකි වූයේ හනුමාන්ගේ බල පරාක්‍රමය නිසාවෙනි. හනුමාන් වානරයකු වුණද මහා දෙවිවරුන්ටත් නැති මහා බලගතු බලයක් ඔහු සතු විය.
හනුමාන් යනු කවරෙක්දැයි ඉහත කළ විස්තරයෙන් අවබෝධ කර ගත හැකිය. හනුමාන් වෙනුවෙන් කෝවිලක් මහනුවර - නුවරඑළිය මාර්ගයේ තවලම්තැන්නට නුදුරුව ඉදි වී ඇත. “රම්බොඩ ශ්‍රී භක්ත හනුමාන් ටෙම්පල්” යනු එහි නාමයයි.

 
සිරිසේන දේවපි‍්‍රය 


 

No Response to "දීර්ඝායු වරය ලද හනුමාන්"

Post a Comment

අදහස් සහ උදහස්