Sunday, June 3, 2012

රාවණාගේ අශෝක උයන

0

රාවණාගේ අශෝක උයන

රාමා, සීතා, රාවණා සහ හනුමාන් සොයා ඉතිහාසයට ගිය ගමනක් - 4

රාවණා රජගේ ඖෂධ උද්‍යානය, මල් උද්‍යානය මෙන්ම වනෝද්‍යානය ද මෙරට පැවතිනැයි ද, මෙරට විවිධ ප්‍රදේශවලින් ඒ පිළිබඳ තොරතුරු ලැබෙතැයි ද ජනප්‍රවාදයේ පවතී. ඇත්තෙන්ම මේ උයන් පැවති ස්ථානය ස්ථිර වශයෙන්ම දන්නා කිසිවෙකුත් නැත. මේ පිළිබඳ පවතින මත සියල්ලම මනඞකල්පිතය. එසේනම් මෙරට කුමන ස්ථානයක මේවා පවතින්නට ඇද්ද?

අශෝක ගස්
නුවරඑළිය, හග්ගල මල්වත්ත හෙවත් හග්ගල උද්භිද උද්‍යානය බවට පත්වූයේ රාවණාගේ ඖෂධ උද්‍යානය බවට පළවෙන මත අනන්තය. රජ කෙනෙකුගේ ඖෂධ උද්‍යානය හග්ගල මල්වත්ත තරම් කුඩා එකක් වන්නට බැරිය. හග්ගල මල්වත්ත යනු පැය තුන-හතරක් ඇතුළත සංචාරය කොට නරඹා අවසන් කළ හැකි තැනකි. 

එහෙත් දුරාතීතයේ දී හග්ගල මල්වත්ත සතුව පැවති භූමිභාගය අති විශාල විණැයි ද, වර්තමානයේ දී ඉන් විශාල ප්‍රමාණයක් ජනාවාස බවට පත්වී ඇතැයි ද කියනු ලැබේ. හග්ගල මල්වත්ත වටේටම පවතින ජනාවාස හේතුවෙන් මෙම ප්‍රකාශයේ සත්‍යයක් ඇතැයි සිතිය හැකිය.
රාවණා රජුගේ මල් උද්‍යානය සමන්විතව තිබී ඇත්තේ අශෝක වර්ගයේ මල් ගස්වලිනි. රාවණාගේ අශෝක මල් උයන යයි කියන්නේ එබැවිනි. අශෝක මල් මහරත්මල් නමින් ද හඳුන්වනු ලැබේ. මාතලේ, මහනුවර හා නුවරඑළිය ඇතුළත් මධ්‍යම පළාතේ පුෂ්පය වූයේ ද මහරත්මලයි. එය එසේ වූයේ මහරත්මල මධ්‍යම පළාතේ අනන්‍යතාව පළකරන නිසා වන්නට බැරිද? මෙම රචනයේ දී මහරත්මල වෙනුවට අශෝකමල යන නාමය භාවිත කිරීමට කැමැත්තෙමි.

දුරාතීතයේ එනම් ක්‍රිස්තු පූර්ව යුගයටත් එහා යුගයේ මෙරට අශෝක මල් උයනක් පැවතියා නම් එහි නටබුන් වර්තමානයේ දී වුවද නොපවතින්නට හේතුවක් නැත. රාවණා රජු ඇතුළු යක්ෂ ගෝත්‍රික රජවරුන් මෙරට පාලනය කළ අවධිය තෙත්‍රා යුගය නමින් හඳුන්වනු ලැබේ. රාවණා බදුල්ල අගනගරය කරගෙන රට පාලනය කළ බව ද, ඔහුගේ දුර්ගම නගරය නුවරඑළිය වී යයි ද ප්‍රකටව ඇති තවත් මතයකි. එසේ නම් රාවණා සතු වන, ඔසු, මල් උයන් ආදිය ඒ ආශ්‍රිත ප්‍රදේශයේම පැවතියා වන්නට නොහැකිද?

අශෝක හෙවත් මහරත්මල් වර්තමානයේ දී ද දක්නට ලැබේ. විසිතුරු මලින් පිරි රුක් විශේෂයකි. මධ්‍යම කඳුකරයේ ද මුදුන්ම ස්ථානවල, විශේෂයෙන්ම මුහුදු මට්ටමේ සිට අඩි 5000ට ඉහළින් පිහිටි භූමිවල දැනට ද තැනින් තැන අශෝක ගස් පවතිනු දැකිය හැකිය. නුවරඑළිය, සීතාඑළිය, හාවාඑළිය, සඳතැන්න, හග්ගල, කඳපොල, මීපිළිමාන, අඹේවෙල, පට්ටිපොළ, හෝර්ටන්තැන්න යනාදී ප්‍රදේශවල අශෝක ගස් පවතිනු දැකිය හැකිය. එසේනම් මේ සුවිශාල ප්‍රදේශය රාවණාගේ අශෝක උයන පිහිටි ප්‍රදේශයම යයි නිගමනයකට එළඹිය නොහැකිද?

දුම්රියෙන් යද්දී නාවලපිටිය – බදුල්ල අතර දී මඟ දෙපස අශෝක ගස් තිබෙනු දර්ශනය වේ. රම්බොඩ හරහා නුවරඑළිය පාරේ ගමන් ගන්නා විට ද අශෝක ගස් තිබෙනු පෙනේ. ගැවසි කඳු බෑවුම්වල ඇති පතන බිම්හි හෝපලු වැනි මල් ඇති ගස් විශේෂයක් ඇති බවද, මේවා බොහෝ සෙයින් වැවෙන්නේ නුවරඑළිය, බණ්ඩාරවෙල හා බදුල්ල යන නගරවලට ඇතුළත් වූ ත්‍රිකෝණාකාර බිම් කොටසේ බවද 1948 දී රචිත ‘ද පීපල් ඔෆ් සිලෝන්’ නමැති ග්‍රන්ථයේ සඳහන්ව ඇත. මෙහි හෝපලු නමින් හැඳින්වෙන්නේ අශෝක මල්ම විය නොහැකිද?
1818 ඌව - වෙල්ලස්ස කැරැල්ල හේතුවෙන් මෙරට සිදුව තිබූ ව්‍යසන ගැන සොයා බලමින් දේශ සංචාරයක යෙදුණ දොස්තර ජෝන් ඩේවි රචනා කළ “ලංකාවේ අභ්‍යන්තරය එහි ජනතාව හා ඒ දිවයිනේ චාරිකා” (ඩේවි දුටු ලංකාව) නමැති ග්‍රන්ථයේ ලා අශෝක මල් පිළිබඳ ප්‍රමාණවත් විස්තරයක් සඳහන්ව ඇත. ඔහු නුවරඑළිය ප්‍රදේශයේ ස්වභාව සෞන්දර්යය වින්දනය කරමින් අශෝක ගස් ගැන මෙසේ සඳහන් කොට ඇත.

”අශෝක වැනි මල් සහිත ගස් විශේෂයක් ඇති මිටි ලඳු කැලයෙන් ගැවසුණ අති විෂම භූමි භාගයක් මත ගමන් කළෙමු.... කිකිළියාමාන නම් එළිමහන් භූමියකට පෙරවරු 10ට පැමිණියෙමු. ...අශෝක ගණයට අයත් ගස් ප්‍රධාන වශයෙන් ඇති වනයෙන් වටවී තිබුණි. මේ වර්ගයට අයත් හුදකලා ගස්ද අතන - මෙතන දක්නට ලැබුණේය ... අපි විශාල අනාවරණ ප්‍රදේශයකට පැමිණියෙමු. මෙහි දර්ශනය සිත්ගන්නා තරමටම අලුත් ද විය. මඟපෙන්වන්නෝ එය නුවරඑළිය පතන යයි හැඳින්වූහ. ... තනි ගස් ගොන්නවල් වශයෙන් සිට අතන, මෙතන පිහිටි විශාල හුදකලා අශෝක ගස් හා එක්වී අතිදර්ශනීය පෙනුමක් පහළ කොට චිත්තකාන්ත භූමි දර්ශනයක් නිපදවීමට සහාය වේ.”

අශෝක මලක්
ඉංග්‍රීසීන් රචිත ග්‍රන්ථවල නුවරඑළිය හා ඒ අවට උස් බිම්වල තිබූ අශෝක ගස් ගැන විග්‍රහ කර ඇත්නම්, අදත් මේ ප්‍රදේශවල අතන-මෙතන හුදකලා අශෝක ගස් දක්නට ඇත්නම් රාවණාගේ අශෝක වනය පැවතියේ නුවරඑළිය හා ඒ ආශ්‍රිත ප්‍රදේශයේ බව සනාථ කරන්නට තවත් සාක්ෂි අවශ්‍ය වේද? මෙරට පහත් බිම් ප්‍රදේශ කිසිවකින් අශෝක ගස් වාර්තා නොවේ.

රාවණා දඹදිව සිට පැහැරගෙන ආ සීතා සඟවා තැබුවේ අශෝක මල් උයනේ බව ද, සීතා සොයා පැමිණි හනුමාන් සහිත පිරිස දිවයිනේ සතර දිග් භාගයේම සොයා බලා නුදුටු තැන, සීතා සොයා අශෝක මල් උයනට පිවිසි බවද ‘රාමායනය’ විස්තර කොට ඇත.

රාමායණය විග්‍රහ කරන අශෝක වනය නුවරඑළිය ආශ්‍රිතව පිහිටි අශෝක වනයම නම් එකල ගසින් ගස එකට ගැටී රුක්ගොමුව මලින් පිරී පැවති අශෝක වනය අද අතන-මෙතන කලාතුරකින් පමණක් දක්නට ලැබෙන අශෝක ගසින් හිඟ ප්‍රදේශයක් බවට පත්ව ඇත්තේ මන්දැයි කුකුසක් උපදිනු ඇත. ’රාමායනය’ ම කියන පරිදි හනුමාන් අශෝක වනයෙහි සීතා දෙස බලමින්ම මධ්‍යම රාත්‍රිය ගත කළ අතර හනුමාන් උයනේ වූ ගස් පෙරළා බිම දමා උයන විනාශ කළේය. අශෝක වනය විනාශ කරන්නට වූ හනුමාන් අල්වා රාවණා රජු උගේ වලිගයට ගිනි තබන ලදී.” යන ප්‍රකාශවලින් ඇඟවෙන්නේ හනුමාන් විසින්ම අශෝක වනය විනාශ කර දමන ලද බවයි. එම විනාශය නිසා අශෝක ගස් වඳවී ඒවා යළි බෝවීම වැළකුණා වන්නට බැරිද?

අශෝක යනු අපගේ අත්දැකීමේ හැටියට ඉතා ඉක්මනින් ලියලා වැඩෙන ගස් වර්ගයක් නොවේ. එහි වර්ධනය ඉතා සෙමින්ය. ගස අඟල් හතරක් පහක් උස යන්නට අවුරුදු දහය – පහළොව අතර කාලයක් වත් ගතවෙයි. දැනට අශෝක පැළ යායක් පවතිනුයේ හෝටන්තැන්නේ පමණි. ඒවා තවමත් කුඩා පැළෑටිය. දුරාතීතයේ විනාශයට පත් අශෝක වනය කාලයාගේ ඇවෑමෙන් ලියලා වැඩෙන ආකාරයක් මින් පළ නොකරන්නේද?

මලින් පිරි අශෝක ගස්
ඒ ඇරත් අශෝක යනු ප්‍රබල ඖෂධයකි. ආදායම් උපයා ගැනීමේ මඟක් ලෙසින් අශෝක ගස් කපා පොතු අලෙවි කර ගත්තා ද විය හැකිය. දැනට මෙම ගස කැපීම, ප්‍රවාහණය ආදිය දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස නීතිගත කොට තිබේ.
රාවණා විසින් සීතාට කන්නට දෙන ලද කිරිබත්, කෝපත්ව සිටි ඇය දසත විසි කළ බව ද, ඒවා පාෂාණිභූත වූ බව ද, ඒවා කැට වශයෙන් දැනට ද පොළව කොටන විට හමුවන අතර මෙම ‘සීතා ගුලි’, ‘සීතා කැට’ හෝ ‘සීතා අග්ගලා’ ගලගා බොන්නට දීමෙන් බඩේ රුදා සුවපත් වන බවට විශ්වාසයක් පවතින බවද, මෙය අත්දුටු අය ද නුවරඑළිය පෙදෙසේ වසති. අශෝක වනයේ අඳුරු ගල්ගුහා තුළ සඟවා තැබීමේ හේතුවෙන් සීතාට ඇස් රෝගයක් වැලඳුණ අතර එය සුවපත් කරන්නට හිරුඑළිය ස්පර්ශ කරවීම සඳහා ඇය රැගෙන ආ එළිමහන පසු කල සීතාඑළිය නමින් ප්‍රකට වූ බවද, එම ස්ථානයේ වර්තමානයේ දී සීතා කෝවිල ඉදිවී ඇතැයි ද ජනප්‍රවාදයේ පවතී.

මීට අවුරුදු කීපයකට පෙර සීතාඑළිය ප්‍රදේශයේ ළිඳක් කැණීමේ දී එහි ඉවුරක හනුමාන්ගේ සුවිශාල රූපයක් මතු වූ බව ද, එය සියැසින්ම දුටුවෝ ද සිටිති. ප්‍රශ්න ගණනාවක් හේතුවෙන් එම ළිඳ වසා දැමුණු අතර ඉන්පසුව එහි පදිංචිකරුවන්ට එහි විසිය නොහැකි තත්ත්වයක් උද්ගත වූ බවද කියනු ලැබේ. රාවණාගේ මළසිරුර නරක් නොවන පරිදි බෙහෙත් ගල්වා වලපනේ මහකුඩුගල පර්වතයේ ගල්ගුහාවක තැන්පත් කර ඇතැයි ද මතයක් පවතී. මහකුඩුගල ඇත්තේ ද නුවරඑළියට නුදුරු පෙදෙසකය.

නිරාහාරව විසීමේ හේතුවෙන් සීතාට බඩේ රුදාවක් වැලඳුණ අතර එය සුවපත් කරන්නට හනුමාන් දඹදිව සිට ගෙන ආ ඖෂධ ගලේ ඉතිරි කැබෙල්ල ලියලා වැඩී වලපනේ නීල ගරුඬ ගල තැනුණ බවට මතයක් පවතී. එය ද විවිධ රෝගාබාධ රැසකට ප්‍රත්‍යක්ෂ ඖෂධයකි.
1999 වසරේ ජනවාරි මස 06 දින ඇතුළුව තවත් කීප දිනක්ම මුළු ලොව වසන හින්දු බැතිමතුන් විශාල පිරිසක් සීතාඑළියට රැස්ව එහිදී රාම පූජා පැවැත්වූ අතර ඔවුන් හග්ගල, සීතාඑළිය, හග්ගල කඳුවැටිය ආදියට වැඳ නමස්කාර කළේ අප්‍රමාණ භක්තියකින් යුක්තවය. අශෝක ගස ද ඔවුන්ගේ වන්දනාමානයට ලක් විය. රාම පූජා සීතාඑළියේ දී පැවැත්වූයේ රාවණා පැහැරගෙන ආ සීතා සිය පතිවෘතා ධර්මය ආරක්ෂා කර ගත් සීතාඑළිය ශුද්ධ භූමියක් සේ හින්දුන් සලකන බැවිනි. 

සිය පතිවෘතා බල මහිමය විදහා පෑමට සීතා ගිනි ජාලාවකට පැන්න අතර, ඇගේ සුපිරිසුදු භාවය නිසා ඇය ගින්නෙන් පිළිස්සුණේ නැත. මෙසේ සීතා සුපිරිසුදු බව සනාථ කළ ස්ථානයේ දිව්රුම්වෙල පුරාණ රජ මහා විහාරස්ථානය ඉදිවී ඇත. එය ඇත්තේ ද නුවරඑළියට නුදුරු ප්‍රදේශයකය. හග්ගල කන්දේ ආශ්චර්යවත්, අද්භූත දේ පවතින බව සියැසින් දුටුවෝ සිටිති. ගල්ගුහා, ගල්පඩි පෙළවල්, ගල් ආසන එහි පවතින්නේ යයිද, ඉතා දුර්ලභ ගණයේ ඖෂධ වර්ග එහි පවතින්නේ යයි ද, එහි ඇති ගස්වල උස අඩි 4 – 5 නොඉක්මවන අතර එම ගස් සුවිශාල කඳන් සහිත බවද, ගස් කඳන් ඇඹරුණ ස්වරූපයක් පළකරන්නේ යයි ද දුටුවෝ කියති.
එසේනම් අශෝක වනය පිහිටියේ නුවරඑළිය ආශ්‍රිත ප්‍රදේශයේම බව සනාථ කරන්නට තවත් සාක්ෂි අවශ්‍ය නොවනු ඇත.

සිරිසේන දේවපි‍්‍රය 


No Response to "රාවණාගේ අශෝක උයන"

Post a Comment

අදහස් සහ උදහස්

..