-->

Sunday, May 13, 2012

සීතා (හිරු) එළිය දුටු සීතා එළිය

2

 

සීතා (හිරු) එළිය දුටු සීතා එළිය

රාමා, සීතා, රාවණා සහ හනුමාන් සොයා ඉතිහාසයට ගිය ගමනක්

සීතාඑළියේ සීතා කෝවිල
මෙය රාවණ පුරාවෘත්තයට අදාළ ලංකාවේ ඓතිහාසික ස්ථාන පිළිබඳව ලියැවෙන ලිපි පෙළක පළමුවැන්නයි. පළමු ලිපියෙන් අවධානය යොමු කරන්නෙ සීතා එළිය පිළිබඳවය.
සීතාඑළිය ගම කරුණු කීපයක් අතින්ම අතිශය වැදගත්කමක් උසුලයි. එය නුවරඑළියට කිලෝ මීටර් 7 ක් නුදුරින් බදුල්ල මාර්ගයේ දී හමුවන ගොවි ගම්මානයකි. එය මීට වසර පන්දහස් ගණනකට පෙරාතුව රාම - රාවණා යුද්ධය නිසා ප්‍රකට වූ ගම කි. එනම් අබුද්ධෝත්පොද කාලයේ සිදුවූ සිදුවීමකට සම්බන්ධය. ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී ගත වී ඇත්තේ වසර 2600 කි. ඊටත් වසර 2400 කට පෙර සිදුවූවකි රාම - රාවණා මහා සංග්‍රාමය.
“සීතා” සහ “එළිය” යන වචන දෙකේ එකතුවෙන් “සීතාඑළිය” නම සෑදී ඇත. සීතා යනු රාමගේ බිරිඳ වූ රූමත් සීතා දේවියයි. ඇය “එළිය” දුටු ප්‍රදේශය “සීතාඑළිය” විය. රාම, ලක්ෂමණ (රාමගේ සොහොයුරු) සහ සීතා දේවිය එවකට වනවාසී ජීවිත ගත කරමින් සිටියහ. පදිංචි ගෘහයෙන් බැහැරව ඈත දුර ප්‍රදේශයකට ගොස් වනාන්තරගතව කුටියක් තනාගෙන භාවනානුයෝගීව දොළොස් වසරක් වාසය කිරීම වනවාසී ජීවිතය යනුවෙන් හැඳින්වෙයි.

එවකට ලංකාව පාලනය කළේ යක්ෂ ගෝත්‍රික රාවණා රජුය. රාවණා බදුල්ල අග නගරය ද, නුවරඑළිය දුර්ගම නගරය ද කරගෙන රට පාලනය කළේය. ඔහුගේ නැගණිය වන සුර්පනකා රූමත් සීතා පිළිබඳ පුවත රාවණාට අනාවරණය කරයි. සුර්පනකාගේ වර්ණයෙන් නිර්මාණය වූ රූමත් සීතා තමාගේ මෙහෙසියක කර ගත යුතු යයි රාවණා සිතයි.
දඬු මොනර යන්ත්‍රයේ නැගී රාමගේ කුටියට යන රාවණා සීතාගේ රූපශ්‍රීයෙන් වශී වෙයි. එවේලෙහි රාම හෝ ලක්ෂමණ කුටියෙහි නැත. ලද අවසරයෙන් රාවණා සීතා පැහැරගෙන දඬු මොනරයේ නැගී ලංකා පුරයට විත් ඇය අශෝක වනයේ අඳුරු ගල් ගුහාවක් තුළ සිරගත කොට තබයි. දිගු කලක් අඳුරේ විසීමේ හේතුවෙන් සීතාට ඇස් රෝගයක් වැළඳෙයි. එය සුවපත් කරන්නට නම් ඇය හිරු එළිය වදින තැනකට ගෙන යා යුතු විය. එසේ ගෙන ආ ස්ථානය සීතාඑළිය නමින් ප්‍රකට විය.
හග්ගල කන්ද
පුරාණයේ ඌවේ සිට කොත්මලේ දක්වා අඩි පාරක් විහිදී තිබුණේ මෙම ස්ථානය හරහාය. හාත්පස පෙදෙස වනාන්තරගතය. මෙමඟෙහි කලාතුරකින් හෝ යන එන්නන්ට මෙම ස්ථානයේ දී ආශ්චර්යයවත්, අද්භූත සිදුවීම්වලට මුහුණ පෑමට සිදුවිය. මෙතැන හාස්කම් සහිත තැනකියි සිතූ ඔවුහු එහි වූ ගසක් මුල ගලක් තබා, ඒ මත පහනක් දල්වා, පුද සත්කාර පවත්වා ගමන් - බිමන් යාමට ඊමට පුරුදු වූහ. පසු කලදී මෙහි කුඩා කෝවිලක් ඉදි විය. වන්දනාමාන කෙරෙන පිරිස් වැඩිවෙත්ම එහි වැඩි දියුණු කළ කෝවිලක් ඉදිවූ අතර සීතාඑළිය සීතා අම්මාන් කෝවිල නමින් හඳුන්වන්නේ එයයි. මෙතැන පසුකොට යන - එන රියැදුරෝ වාහනය නවත්වා පඬුරු පුදා ආශීර්වාද ලබාගෙන යාම අද ද පුරුද්දක් ලෙස කරති. සීතාඑළිය ගම වඩාත් ප්‍රචලිතව ඇත්තේ මෙම කෝවිල නිසාවෙනි.

මෙම කෝවිල පිළිබඳ පබැඳුණ කතා ගණනාවකි. හනුමාන් දේවත්වයෙන් යුතුව වැඩ සිටින්නේ මෙම කෝවිලෙහි බවට ද මතයකි. මල් තටුවක් තබා අඳුන බලන වේලෙහි හනුමාන් පිටත්ව එන්නේ මෙම කෝවිලේ සිට බව කියනු ලැබේ. කෝවිල අවට දේවතා එළි ගමන් කරනු දුටුවන් ද ඇත.

පුරාණයේ කුඩා කෝවිලක්ව තිබියදී මෙහි අරුම - පුදුම දේ ද සිදු වී ඇත. තමා සිතන - පතන දෙය එලෙසින්ම ඉටු වන්නේදැයි මෙතැනට පැමිණිමෙන් දැන ගත හැකි වීලු. කෝවිල් භූමියේ ගල් තලාව මත ගල් වළක් තිබුණි. එහි ජලය ද පිරී තිබුණි. තමන් සිතන - පතන දේ ඉටු වන්නේ ද - නැද්ද යන්න දැන ගැනීමට සිදුකොට ඇත්තේ ගල් වළට මල් දැමීමයි. දමන මල් ඒ අසලින් ගලා ගිය සීතා ඇළෙන් මතු වූවොත් ඉන් කියවෙන්නේ අරමුණ සාර්ථකව ඉටුවන බවයි. මල් මතු නොවීම අපේක්ෂා භංගත්වයට හේතු වේ. මෙම කරුණ අත්දුටු බොහෝ දෙනෙක් සීතාඑළියේ තවමත් වාසය කරති.

සීතාඑළියේ පොළව කෙටීමේ දී හමුවන පාෂාණිභූත වූ බත් ගුලි විශේෂයක් ගැන ඇතැම්මු කියති. ගම්මුන් මේවා හඳුන්වන්නේ සීතා ගුලි හෝ සීතා කැට ලෙසය. ඒවා ගල් මෙන් තදය. බඩේ රුදාව වැනි අසනීපවලට අත් බෙහෙතක් ලෙස සීතා ගුලි භාවිතයට ගැනුණි. සීතා ගුලි ගලගා බොන්නට දීමෙන් බඩේ රුදාවන් සුවපත් වන බව ඔවුන්ගේ මතයයි. මෙය ද අත්දුටුවෝ සිටිති.

හනුමාන් පිළිරුව
සීතා කැට, සීතා ගුලි නමින් හඳුන්වන්නේ මොනවා ද?
සඟවා තැබු සීතාට රාවණා කන්නට දී ඇත්තේ කිරිබත් ය. රාමගෙන් වෙන්ව වසන්නට සිදුවීමෙන් පි‍්‍රය විප්‍රයෝගයෙන් පෙළුණු සීතා ආහාර වර්ජනය කළාය. ඇය කිරිබත් දසත විසිකර දැමුවාය. පාෂාණීභූත වී වර්තමානයේ පවා පොළව කෙටීමේ දී හමුවන්නේ මෙම කිරිබත් ගුලිය. ප්‍රදේශවාසීහු ඒවා සීතා කැට හෝ සීතා ගුලි ලෙසින් හඳුන්වති.
පුරාණයේ වූ අශෝක මල් වනයේ ශේෂ වූ අශෝක ගස් වර්තමානයේ දී පවා සීතාඑළිය ප්‍රදේශයේ ද, අවට ප්‍රදේශවල ද අතන - මෙතන තිබෙනු දක්නට ලැබේ. මෙය ශීඝ්‍රයෙන් වඳවීගෙන යන ගස් විශේෂයකි. රතු පැහැති අලංකාර මල් පොකුරක් සහිත රළු කොළවලින් යුත් අශෝක ගස ඇඹුරුණු අතු - පතරින් යුක්තය.
අනූව දශකයේ පමණ රාම - රාවණා සහ සීතා ප්‍රවාදය සනාථ කරන ආකාරයේ සාධකයක් සීතාඑළියේ ඉඩමකින් හමු වී ඇත. ඉඩම අයිතිකරු එහි වළක් කපන්නට තීරණය කළේ වත්තේ වගාවන්ට දැමීම සඳහා වතුර ලබා ගැනීමටය. වළ අඩි 8 - 10 ප්‍රමාණයේ ගැඹුරැතිය. හතරැස්ව කැපු ළිඳේ එක් බිත්තියකින් හනුමාන්ගේ පිළිරුවක් මතු විය. එය බිත්තිය පුරාවටම මතුවූවකි. පිළිරුව කිසියම් පාෂාණයකින් නිර්මාණය වී තිබු බව දුටුවෝ කියති.

පිළිරුව ගැන ආරංචි ලැබුවෝ දසතින්ම එහි ඇදී ආහ. ඇතැම්හු වළට පඬුරු පිදූහ. වත්පිළිවෙත් කළහ. එහෙත් ඉඩම අයිතිකරුට සිදුවූයේ විශාල විනාශයකි. පැමිණියවුන් වත්තේ ඇවිදීම හේතුවෙන් වගා විනාශ විය. ඔහු වළ වසා දැම්මේය. මෙම වළ නැවත විවෘත කොට එහි පුරාවිද්‍යාත්මක ගවේෂණයක් සිදුකළ යුතු යයි වගකිව යුතු ආයතනවලට දැනුම් දෙනු කැමැත්තෙමි.

ඉන්දියාවේ සිට පැමිණි පොහොසත් හින්දුහු මෙම ඉඩම මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් පැමිණියහ. ඔවුන්ගේ අරමුණ වූයේ එහි හනුමාන් කෝවිලක් ඉදි කිරීමයි. එහෙත් ඉඩම විකිණිම හිමිකරු ප්‍රතික්ෂේප කළේය. මාස කීපයක ඇවෑමෙන් ඉඩම පාළුවට යන්නට විය. එහි සිදු කළ වගා කිසිවක් සාර්ථක වූයේ නැත. ඔහුගේ දේපළ නැති භංගස්ථාන විය. අවසානයේ අන්ත දිළිඳු තත්ත්වයකට පත් වූ ඔහු ඉඩම අන් අයෙකුට විකුණා දමා ප්‍රදේශය අතහැර ගියේය. අලුත පදිංචි වූ අයට ද ඉඩමෙන් ප්‍රතිඵලයක් නොවීය. එබැවින් ඉඩම කෙටි කලකදී කීප දෙනෙකු අතට මාරු විය.

සීතාඑළිය ප්‍රදේශය මැණික් උල්පතකි. ඉතා අනඟි වටිනා නවමු මැණික් සීතාඑළිය පොළවෙන් ලැබුණි. ඇතැම්මු හිටිඅඩියේ පොහොසත් වූහ. එසේ වූයේ මැණික් ලැබීමේ හේතුවෙනැයි කියනු ලැබේ. සීතාඑළිය ආසන්නයේ මහාමාර්ගයේ එක් වංගුවක් හැඳින්වෙන්නේ ද මැණික් වංගුව කියාය. මැණික් වංගුවට පහළ ප්‍රපාතයේ ගල් ගුහාවක් ඇතැයි ද, එහි චීවරධාරියෙකු විසුවේ යයි ද, එම ස්ථානයේ මැණික් ගැරුවේ යයි ද ප්‍රදේශවාසීහු කියති. අද ද රක්ෂිත ආශි‍්‍රතව හොරෙන් මැණික් ගරන්නන් බහුලය.

සීතාඑළිය ගමේ තැනින් තැන ගල් ගුහා තිබුණු බව ද ඒවා කඩා බිඳ දමා හෝ වසා දමා විනාශයට පත්කොට ඇතැයි ද ගම්මු පවසති. සීතා දිය නෑ දිය පිහිල්ල ගම ඉහත්තාවේ කැලයේ ඇති බවට ද මතයකි.
පින්බිමක් වූ සීතාඑළියේ සැඟවුණු නිදන් පිළිබඳව ද ගෙතුණු කතා අනන්තය. බොහෝ දෙනෙකුට නිදන්වලින් වස්තුව ලැබී ඇත. රත්තරන් කාසි, රත්තරන් සුර, රත්තරනින් කළ දඬු මොනර යන්ත්‍රයේ ආකෘතියක් ද ඒ අතර වී යයි ඇතැම්හු පවසති. ලද නිදන් පිළිබඳ අනාවරණය කරන්නට ගම්මුන් දක්වන්නේ බියකි. ඊට හේතුව නිදන් ලද්දවුන්ගෙන් තමනට කරදර එළඹිය හැකි බැවිනැයි ඔවුහු පවසති.


සිරිසේන දේවපි‍්‍රය 

උපුටා ගැනීම - http://www.silumina.lk/2012/05/13/_art.asp?fn=av12051311
  

    

2 Response to සීතා (හිරු) එළිය දුටු සීතා එළිය

Anonymous
July 24, 2012 at 3:23 AM

අගනා පෝස්ටුවක්! මම ඔය කියන තැනට ගිහිනුත් තියනවා.. :)

December 26, 2016 at 12:50 PM

මෙහි සදහන් වන අයුරින් සීතාව රැගෙන ආවේ තමන්ට පාවා ගැනීමටද නැතහොත් සුපර්ණිකාට සිදුවූ අවමානයට පලිගැනීමට දැයි සොයා බලන මෙන් ආරාධනා කරනවා.

Post a Comment

අදහස් සහ උදහස්