Sunday, July 1, 2012

‘දඬුමොනරය’ ධාවනය කළ ගුවන් පථය බිංගන්තලාව ද?

1

රාමා, සීතා, රාවණා සහ හනුමාන් සොයා ඉතිහාසයට ගිය ගමනක් - 8

‘දඬුමොනරය’ ධාවනය කළ ගුවන් පථය බිංගන්තලාව ද?

 
රාවණාගේ ලංකාපුරය ලක්දිව ගිනිකොණ දිග පිහිටි මහා රාවණා සහ කුඩා රාවණා කොටු විය හැකි යයි ද, එසේ නැතහොත් එය පිහිටියේ නුවරඑළිය, බදුල්ල හා ඒ ආශි‍්‍රත ප්‍රදේශවල විය හැකි යයි ද අපි මීට ඉහතින් පැවසීමු. මේ සියල්ලම ජනකතා, ජනප්‍රවාද හා ජනවහරේ එන තොරතුරු ආශි‍්‍රතව අනාවරණය කළ ඒවාය.
මේ අතර රාවණාගේ බලකොටුව පිහිටියේ නුවරඑළිය දිස්ත්‍රික්කයේම වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හරස්බැද්ද ප්‍රදේශයේ පිහිටි කඳු මුදුනක් වන දරපනාහෙළ බවට ලද තොරතුරක් මත පසුගිය දිනෙක එහි යාමට ද මට හැකි විය.

රාගල හරස්බැද්ද හරහා වලපනේ මාර්ගයේ කිලෝමීටර් 70, 71 හා 72 කණු පිහිටි ස්ථානවල සිට කඳු මුදුනට නැඟීමට තැනුණු අඩි පාරවල් මෙන්ම තරමක් සංවර්ධනය වූ පාරවල් ද කීපයක්ම ඇත. මෙම මාර්ග දිගේ දරපනාහෙළ ගමට යාම ද දැඩි වෙහෙසකරය. හිණිමඟක් දිගේ ඉහළට නැඟ යන ආකාරයෙන් කන්ද නැඟගෙන යාමට සිදු වේ. ඒ තරමටම එය ඉතා දැඩි බෑවුමකි.

ඉතා වියළි රළු කාලගුණයක් පැවතිය ද පදිංචිකරුවන්ගේ අප්‍රතිහත ධෛර්යය පදනම් කරගෙන සංවර්ධනය කර ගත් ගමක් ලෙස දරපනාහෙළ හඳුන්වා දිය හැකිය. කඳු බෑවුම්, ප්‍රපාත හරහා වගා බිම් ඉදිකරගෙන ඇති ආකාරය අපූරුය.

මා ගියේ දරපනාහෙළ ගමේ විහාරස්ථානය වෙතය. “ශ්‍රී රාවණ පබ්බත විහාරය” නම් වූ එය ඉතා කුඩා ප්‍රමාණයේ එකකි. විහාරාධිපති ධුරය හොබවන්නේ තරුණ භික්ෂුන් වහන්සේ නමක වූ ශාස්ත්‍රපති පූජ්‍ය තඹලගොල්ලෑවේ ධම්මික හිමියන්ය. උන්වහන්සේ ඓතිහාසික පර්යේෂණ කෙරෙහි දක්වන උනන්දුව පැසසිය යුතුය.

“මහත්තය හොයාගෙන ආපු කාරණේට අදාළ තොරතුරු නම් බොහොමයක්ම මෙහේ තියෙනව. ඒත් අපි ඒ තොරතුරු කිසිම කෙනෙකුට දෙන්නෙ නෑ. අපි මේව රැකබලාගෙන ඉන්නෙ බොහොම පරෙස්සමට. නිතරම මේව විනාශ කරල දමන්ඩ පිරිසක් බලාගෙන ඉන්නවා” විහාරාධිපති හිමියෝ කීහ.

උන්වහන්සේ විහාරස්ථානයට පිටස්තරින් පැමිණෙන අය දෙස බලන්නේ සැකමුසුවය. ඔවුන් සැමකෙකුම පාහේ විමසන්නේ මෙහි තැන්පත් නිධන් පිළිබඳවත් ඒවා පවතින්නේ කුමන ස්ථානවල ද යන්නත් වන බැවිනි. එසේම තැනින් තැන හාරා වටිනා පුරාවස්තු විශාල ප්‍රමාණයක් විනාශ කොට ඇති බව ද උන්වහන්සේ කීහ.

රාවණ රජුගේ පිළිරුව
සුහද කතාබහේදී මා කෙරෙහි පැහැදුණු ධම්මික හිමියෝ රාවණා පුවතට අදාළ බොහෝ තොරතුරු මට කීහ. ප්‍රථමයෙන්ම විහාරය තුළ ඇති වටිනා ලෝහයෙන් තැනු පිළිම කීපයක් දැකීමට හැකි විය. ඒ අතර රාවණා, රාවණා රජුගේ සීයා ලෙස සැලකෙන පුලස්ති සෘෂිවරයා, කුම්භකරණ, ඉන්ද්‍රයින් මෙන්ම අවලෝකිතේස්වර බෝධි සත්ත්ව පිළිමය ආදිය ද විය. ඒ සැමෙකක්ම වටිනා ලෝහයෙන් ඉදිකර තිබුණි.

“මහත්තය ඇවිත් ඉන්නෙ රාවණා රජ්ජුරුවන්ගෙ බලකොටුවට. මේ අඩවියේ තමයි රාවණගෙ බලකොටුව තිබිල තියෙන්නෙ. ඒ බව ඔප්පු කරන්ඩ ඕනෑතරම් ඓතිහාසික සාක්ෂි මෙහේ තියෙනව. මහත්තය වටාපිටාවේ පරිසරය දිහාවෙ බලන්ඩකො” ධම්මික හිමියෝ කීහ.

දළ බෑවුම් සහිත කන්දේ මුදුන සුවිශාල ගල් පර්වතයකි. ගල් පව්වේ පාමුල දරපනාහෙළ ගම පිහිටා ඇත. මේ ගම පුරාමත් ගල් පර්වතය පුරාමත් පවතින්නේ රාවණාගේ රාජධානියේ නෂ්ටාවශේෂය.
විහාරස්ථානය ඉදිරියෙන් වූ විශාල වැවක නටබුන් පෙන්වූ ධම්මික හිමියෝ එය රාවණා රජු ඉදිකරවූ වැවක් බවත් වැව් බැම්බ කඩා බිඳ දමා එය ජනාවාසයක් කරගෙන අති බවත් කීහ. දැනට විහාරස්ථානයේ සිට ගමට මාර්ගය තැනී ඇත්තේ මෙම වැවේ බැම්ම මතිනි. පිහිටි භූමි ලක්ෂණ අනුව අපූර්වතම වැවක් එහි පවතින්නට ඇතැයි සිතා ගත හැකිය.

“රාවණා රජ්ජුරුවන්ගෙ බලකොටුවෙ දිය අගල තිබුණේ මෙතන. මීට අවුරුදු හැටකට ඉස්සර වෙලත් මේ දිය අගල වතුරෙන් පිරිල තිබුණ. දැන් තමයි ඔය කඩල බිඳල දමල තියෙන්නෙ” වයසක අම්මා කෙනෙක් මා හා කීවාය.

ධම්මික හිමියෝ දරපනාහෙළ ගමේ එක් අන්තයකට මා කැටුව ගියහ. පුදුමයකි. මේ වනාන්තර බිමේ ගල්කුළුවල නටබුන් කීපයකි. විහාරාධිපතීන් වහන්සේ පැවසු ආකාරයට එය මුර මඩුවකි. රාවණා රජුගේ බලකොටුව ආරක්ෂා කිරීම සඳහා ඉදිකළ මුර මඩුවලින් එකක් බව උන්වහන්සේගේ අදහසයි.

“මේ වාගෙ මුරමඩු මේ ගල් පව්ව වටේටම තියෙනව. මේවයින් සමහරක් කුලුනු ගලවගෙන ගිහින් මිනිස්සු ගෙවල් හදාගෙනත් ඉන්නව. මේ ගල් කණු හතර ආරක්ෂා කරන්නෙ අපි මහත්තයො” ගැමියෙක් මා හා කීවේය.

ඉදිරිපසින් වූ ගල් කණු දෙක උස්ව ද, පිටුපසින් වූ ගල් කණු දෙක මිටිව ද සකසා ඇත. ඒ අනුව වහල තනි පලේට තනා තිබු බව සිතාගත හැකිය. එතුළ ගලින් කළ ආසනයක් ද වල් බිහිවෙමින් පවතී. මේ ගල්කණු ඔපමට්ටම් කළ ඒවා නොවේ. ඉතා ප්‍රාථමික යුගයක භාවිත ගල්කණුය.
ඉන් එහාට කැලෑව තුළ ගල් ගුහා, චෛත්‍යයක නටබුන් ආදිය ඇතැයි ද, ඒවා වළගම්බා රාජ්‍ය සමයට අයත් ඒවා විය හැකි යයි ද විහාරාධිපති හිමියෝ කීහ.

“අපි රාවණා බලකොටුවට අයිති දේවල් ආරක්ෂා කරන්නෙ නාගයෙක් මැණිකක් රකින්න වගේ. මමවත් ගමේ කිසි කෙනෙක්වත් මෙතන තොරතුරු කිසි දෙයක් කිසිම කෙනකුට කියන්නෙ නෑ. ඒව ආරංචි වුණහම සමහරු ඇවිත් මෙහේ තැනින් තැන හාරනව නිදන් ගන්ඩ. මෙහේ තියෙන නටබුන්, පිළිම ආදී කිසිම දෙයක් මිල කරන්ඩ බෑ. ඒවයෙ තියෙන්නෙ ඓතිහාසික වටිනාකමක් විතරයි. ඒ බව නොදැන ඓතිහාසික සාක්ෂි විනාශ කරනව“ විහාරාධිපති හිමියෝ කීහ.

උන්වහන්සේ ප්‍රකාශ කරන ආකාරයට ගම ඉහත්තාවේ ඇති සුවිශාල ගල් පව්වේ අමුතු ආකාරයේ පැලීම්, කඩතොලුවීම් දක්නට ලැබේ. එසේ වී ඇත්තේ රාම - රාවණා යුද්ධයේ දී විදි හී පහරවල් වැදීමෙනි. ගල් පව්වේ එහා පැත්ත විශාල තැනිතලාවකි. එය බිංගන්තලාව නමින් හැඳින්වේ. එය රාවණා රජු දඩුමොනර යන්ත්‍රය ගුවන් ගත කිරීමට භාවිත කළ ගුවන් පථයයි.

ගුවන් පථය උඩු ගුවනේ දුරදීම දර්ශනය වීම සඳහා ගල් කුට්ටියක් මත දියමන්තියක් සවිකොට තිබුණි. 

දියමන්තිය දැනට නැතත් එය සවිකළ ගල් කුට්ටිය තිබේ. ගල් පව්වේ පසෙකින් උමං කටකි. ඒ අනුව කිව හැක්කේ ගල් පව්ව තුළ උමඟක් හෝ භූගත මාළිගාවක් පවතින බවයි. එම උමඟ ආශි‍්‍රතව රාවණා රජු පිළිබඳ තොරතුරු ගොන්නක් පවතී.


ගල් පර්වතය ආශි‍්‍රතව රාවණාගේ මෘත දේහය, තැන්පත් සොහොන තවමත් පවතී. එය පවතින්නේ විශාල ගල් අල්ලා ඉදිකළ ගල් කොටුවක් තුළයි. එය විශාල ගල් ලෑල්ලකින් වසා තිබේ. එය උපක්‍රමශීලී වැස්මකි. කිසිවෙකු සොහොන බිඳීමට තැත් කළහොත් ගල් පියන පෙරළී ඔවුන් සියලු දෙනා ඊට යට වී විනාශ වනු පිණිස එසේ සකසා ඇත. සොහොන පවතින්නේ පොළව මතුපිට ඉදිකර ඇති පෙට්ටියකය.

පසුගිය දිනෙක රාවණා සොහොනට හෙණයක් පුපුරා ඇත. ඉන් සොහොනට කිසිදු හානියක් සිදු වී නැතත් සොහොන තුළ යකඩ වැනි අකුණු ඇදගන්නා සුලු ලෝහයක් තිබිය හැකි යයි විශ්වාස කරනු ලැබේ.
ප්‍රදේශය පුරා ගල් කණු, ගල් ප්‍රාකාර, ගල් බිත්ති, ගල් පොකුණු, වළං කටු ආදි නටබුන් බොහොමයක් පවතී. ඒ කිසිවක් නිශ්චිතව අනාවරණය කරන්නට කිසිවෙකුත් සූදානම් නැත. මක්නිසාද යත් ඒවා නටබුන්වල ආරක්ෂාව පිණිස රැක ගත යුතු රහස් සේ ගම්මු සිතති. කෙසේ මුත් එහි පවතින්නේ රාවණා රජුගේ බලකොටුවම බව ගැමියෝ තරයේ විශ්වාස කරති.

දරපනාහෙළ ආදී රාවණාගේ බලකොටුව පවත්නා ස්ථානය හාත්පස අවට ප්‍රදේශය ගැන අවධානය යොමු කරද්දී ඊට කිට්ටුවෙන්ම ඇති මතුරට සීතාව ගම එනමින් ප්‍රචලිත වූයේ රාවණා සීතා දේවිය සඟවා තැබු තැනක් වන හෙයිනි. දරපනාහෙළට පහළින් ඇති හරස්බැද්ද එනම ලද්දේ රාමගේ වානර හමුදාවේ පැමිණීම වළකාලීමට රාවණාගේ හමුදා සේනා හරස් කළ ස්ථානය වූ බැවිනි. රාගල නගරය එනම ලද්දේ රාවණා - ආ - ගල නිසාවෙනි.

එසේම මන්දාරම් නුවර පිහිටියේ ද මීට නුදුරෙනි. “මන්දාරම් පුර පුවත” නමැති ඓතිහාසික කාව්‍ය ග්‍රන්ථයෙහි මන්දාරම් පුරය හා රාවණා අතර වූ සම්බන්ධය මැනවින් විග්‍රහ කොට ඇත. එහි ඇති කාව්‍ය ගණනාවකින්ම සීතා මුදුන, සීතා කන්ද, සීතා ගිරි නමින් හැඳින්වූයේ මතුරට සීතාව ගම ද නැතිනම් දරපනාහෙළ මුදුනේ ගල්පව්ව දැයි විමසා බැලිය යුතුය. එසේම රටේ පැවති යුදමය අවස්ථාවන්හිදී මේ ප්‍රදේශයේ සෙනෙවියන් ඊට සහභාගි වී ඇත්තේ රාවණා කොඩිය පෙරටු කරගෙනය. උත්සව, පෙරහර ආදියට මොවුන් ගියේ ද රාවණා කොඩිය පෙරමුණෙහි තබාගෙනය.

මීට වසර කීපයකට පෙර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් පැමිණ සමීක්ෂණයක් පවත්වා ගල් ලෙන් කීපයක් හඳුනාගෙන ඒවා අංක කොට ගොස් ඇත ද ඒ පිළිබඳ නිශ්චිත නිගමනයක් මෙතෙක් දී නොමැත. රාවණා බලකොටුවට පසෙකින් වළගම්බා රජුගේ ඉදිකිරීම්වල නටබුන් පවතින බව ද ගැමියෝ පවසති.

මෙම ලිපිය කියවා කිසිවෙකුත් දරපනාහෙළ කන්ද නැඟ රාවණාගේ බලකොටුව නැරැඹීමට නොයා යුතුය. තවමත් වනාන්තර ගතව පවතින දේ මා අනාවරණය කළේ විහාරාධිපති හිමියන් හා ගැමියන් පැවසූ ආකාරයෙනි. ඔවුන් සියලු දෙනා මගෙන් ඉල්ලීමක් කළේ රාවණා බලකොටුවේ තොරතුරු කිසිවක් ප්‍රචලිත කිරීමට කටයුතු නොකරන ලෙසයි. කලින් එසේ ප්‍රචලිත වූ කීප විටෙකම පිටින් ආ පිරිස් මෙහි තැන තැන හාරමින් ප්‍රදේශයේ කළ විනාශය පිළිබඳ ගම්මු මට තොරතුරු කීහ.
ඉදිරියේදී රාවණා බලකොටුවේ සියලු විස්තර අනාවරණය කිරීමට හැකි වනු ඇතැයි ද විශ්වාසයක් පවතී. 


1 Response to ‘දඬුමොනරය’ ධාවනය කළ ගුවන් පථය බිංගන්තලාව ද?

September 19, 2012 at 11:09 PM

ඔබ පවසන දෙය මට ව්ස්වසයි මා සොයුර මන්ද මමද රාවණා වංශික බව විස්වාස කරන කෙනෙකි සොයුර සිවු හෙළය නැවත නැගී සිටිනු දැකීම මාගේ එකම අරමුනයි නුබ පවසනා ගම්මානය අදට සේම මතු දවස උදා වන තුරු රැකේවා මම බ්ලොග් කලාවට අදුනිකයෙක්මි අහම්බෙන් නුබේ ලිපි නෙත ගැටුණු මා එම සෑම ලිපියක්ම එකතු කලෙමි හැකිනමි සොයුර නුබව හදුනා ගැනීමට මා කැමතිය නුබ කරන්නාවූ සේවය සිවු හෙළයට කියා නිම කල නොහැකි වනු ඇත ජය ශ්‍රී රාවණා

Post a Comment

අදහස් සහ උදහස්

..