-->

Wednesday, May 1, 2013

රාවණා රජු වේරම්බ වාතයේ සැඟවූයේ චන්ද්‍රිකාද?

3


රාවණා රජු වේරම්බ වාතයේ සැඟවූයේ චන්ද්‍රිකාද?


එක් කලක මහාභාරතය සහ භගවත් ගීතාව ඉන්දියාවේ පූජනීයත්වයට පත් වීර කාව්‍යයන් දෙකක් ලෙස සලකනු ලැබිණි. එහෙත් අද වනවිට එම ග‍්‍රන්ථ වීර කාව්‍යයක් නොව ඉන්දියාවේ සැබෑ ඉතිහාසය වන බවට ඔප්පු වී හමාරය. ඊට පදනම වැටණේ වසර ගණනක් තිස්සේ සිදු කළ පුරාවෘත්ත අධ්‍යයනයයි. මහාභාරතය භගවත් ගීතාව මිත්‍යාවක් ලෙසින් බැහැර කිරීම පසෙකලා එහි සඳහන් කෙරෙන ස්ථාන සැබෑ ලෙසම කොහේ හෝ ස්ථාන ගතවී ඇත්දැයි යන්න එකින් එක ගෙන අධ්‍යයනය කළේය.

බොම්බායෙන් සැතපුම් 200ක් පමණ උතුරින් කුම්බේ බොක්කේ මුහුදු යට සැඟවී තිබූ ජනස්ථාන් නගරය සොයාගැනීමට සාගර දුෂණ කොමිසමට හැකිවූයේ එලෙසය. එය වැඩිදුරටත් ගවේෂණය හරහා එය රාමායණයේ සඳහන් වන රාවණ රජුගේ සොහොයුරන් වූ ඛර හා දුෂණ විසින් පාලනය කළ දණ්ඩ කාරණය බව සොයා ගත්තේය. එහි උපරැජිනය වූයේ කුම්භාණිය. මෙහි ප‍්‍රධාන නගරය ජනස්ථානය ලෙසත් හඳුනාගන්නට ලැබිණි. මේ සොයාගැනීමත් සමගම ඉන්දියානු වීර කාව්‍ය අධ්‍යයනය ඇරඹුණු අතර මහාභාරතයේ මෙන්ම රාමායණයේ සඳහන් බොහෝ නගර මේ ඔස්සේ මතු කරගත හැකි විය. ජනස්ථාන් නගරය කාල නිර්ණය කිරීමේදී එය වසර 10000කට වඩා පැරැණි බව සොයාගැනීමත් සමගම ඉන්දීය ඉතිහාසය වසර අටදහසකින් පමණ ඈතට දිව ගියේය. දණ්ඩ කාරණය රාවණ රජුගේ සොහොයුරා පාලනය කළ නගරය බව ඉන්දියානුවන් පිළිගනිද්දී තවමත් අප සමාජය රාවණ පිළිනොගන්නේ මන්දැයි ගැටලූවක්, ඉතිහාසය දිගුකර ගැනීමක් හෝ වෙනස් කරගැනීමක් අපට අවශ්‍ය නැත. එහෙත් විද්‍යාවෙන් හෝ පුරාවිද්‍යාවෙන් සනාත නොවූ පලියට ඒවා මිත්‍යාවන් හෝ අසත්‍ය ලෙස බැහැර කළ නොහැකිය. යටත් විජිත සමයේ ලංකා පොළොව තුළ සැඟවී තිබූ අතිවිශාල ප‍්‍රමාණයක් පුරාවස්තු නැව් පිටින් හිරු නොබසින අධිරාජ්‍යය වෙත ඇදී ගිය බවට  ඕනෑ තරම් සාධක ඇත. පුරාාවිද්‍යා දෙපාර්තමේන්තුව පිහිටි වූයේ කුමක් අරබයාද යන්න ඉංගී‍්‍රසි ජාතික බෙල් පිළිබඳ අධ්‍යයනය කළවිට කරුණු අවබෝධ කරගත හැකිය. බොහෝ දෙනෙක් රාවණ පිළිබඳ කරුණු බැහැර කරනා පදනමේ සිට බැලූ කල එසේනම් යන්ත‍්‍ර මන්ත‍්‍ර ක‍්‍රම මෙන්ම බලි යාග ක‍්‍රම සියල්ල ඉවත දැමීමටත් සිදු වේ. මක්නිසාද යත් ඒ කිසිවක් විද්‍යාවට හසුනොවන නිසාය.

පසුගිය කාලයේදී ලංකාව තුළ හෙළ ඉතිහාසයට සම්බන්ධ බොහෝ තොරතුරු අනාවරණය කරගැනීමට හැකි විය. මීට පෙරදී අප පෙන්වාදුන් ස්ථානවලින්ම ඒ කියූ පරිදිම උමං මතුවිය. අප රාවණ යුගයේ ජල තාක්‍ෂණය යන ලිපිය තුළ සිතියම් ගතකර දැක්වූ අයුරින් ම උමා ඔය ව්‍යාපෘතිය තුළ උමං මාර්ග සොයාගැනීමට හැකිවිය. සාදින්නාගල උම`ග තවත් එලෙස හමුවූ උමං මාර්ගයකි. ඉදිරි කාලයේදී සොයා ගනු ඇතැයි කී හෙළයන්ගේ පළිඟු පිරමීඩය ගී‍්‍රන්ලන්තයෙන් සොයාගෙන අවසන්ය. එසේම සකි‍්‍රය මට්ටමේ සක්වළ දොරටුවක් සහිත පිරමීඩයක් රාවණ ශක්තිය හරහා මතුවන බව අපි පැවසුවෙමු. 2012 අග භාගයේදී මෙක්සිකෝවෙන් සොයාගත් දෙවැනි මායා පිරමීඩයෙන් මතු වූ සක්වළ දොරටුව ලොව මෙතෙක් සොයාගත් අද්විතියම සක්වළ දොරටුව බව මේ වනවිට පර්යේෂකයෝ ප‍්‍රකාශ කර හමාරය. එසේනම් මේවා මතුවනුයේ අහම්බයකින් නොවන බව අප තේරුම්ගත යුතුය.

පසුගියදා චීනය තොරතුරු චන්ද්‍රිකාවක් කක්‍ෂගත කළේය. එහි අයිතියක් අපටද ඇති බවට මතයක් ඇත. එහි අයිතිය කෙසේ වෙතත් දැන් අපට නමට හෝ චන්ද්‍රිකාවක් ඇත. චන්ද්‍රිකා තුනක් ති‍්‍රකෝණාකාරව පෘථිවිය වටා කක්‍ෂගත කිරීම හරහා පෘථිවිය තුළ සන්නිවේදන කටයුතු සිදු කළ හැකි බව මුලින්ම ප‍්‍රකාශ කළේ ආතර් සී. ක්ලාක් මහතාය. වර්තමානය වනවිට එය කි‍්‍රයාවට නැගී ඇත. යම් චන්ද්‍රිකාවක් කක්‍ෂගත කළ විට එය ඒකාකාරීව පෘථිවිය වටා භ‍්‍රමණය වීම සිදුවෙයි.

මීට වසර ගණනකට ඈත අතීතයේ ලියැවුණු රාමායණයේ මෙයට සමාන සිදුවීමක් දැකගත හැකිවෙයි. එහි සඳහන් වන ආකාරයට රාවණ රජුගේ බලගතුම අවි තුනක් වේරම්බ වාතයේ සඟවා පැවති අතර අවශ්‍ය අවස්ථාවන් වලදී පමණක් හිමාලයේ මුදුනට ගොස් එම අවි ලබාගත් බව එහි සඳහන් වෙයි. රාමායණය කෙමෙන් කෙමෙන් සත්‍යයක් වන තැනට තොරතුරු මතු කරගෙන ඇත්නම් මෙහිදි සත්‍යයක් පැවතිය යුතුය. වේරම්බ වාතය විද්‍යාත්මක පදනමක් සහිතව සොයාගනු ලබන්නේ 1941දීය. පෘථිවි මට්ටමේ සිට අඩි 25000-30000 උසකින් පෘථිවිය වටා ගමන් කරනා ශක්ති ධාරාවකි. ගුවන් යානා භාෂාවේදී මෙය ජෙට් ස්ටී‍්‍රම් (Jet Stream) ලෙස හඳුන්වනු ලබයි. මෙම වායු ධාරාව තුළ දී එක් පසෙකට ගමන් කිරීමේදී යානයට දෙගුණයක වේගයක් ලැබෙන අතර අනෙක් පසට ගමන් කිරීමේදී එහි වේගය අඩකින් අඩුවීම සිදුවෙයි. පහළ කක්‍ෂ මට්ටම ලෙස හැඳින්වෙන්නේ ද මෙයයි.

රාමායණය තුළ වේරම්බ වාතයේ සැඟවූ රාවණ රජුගේ ආයුධ තුනක් පිළිබඳ කතා කිරීමට හේතුව පැහැදිලිය. යුද්ධයක බලගතුම අවිය වනුයේ තොරතුරුය. ඇමෙරිකාව ලෝකය පුරා සියලූ රටවල තොරතුරු ගන්නේ චන්ද්‍රිකා හරහාය.
රාමායණ කතුවරයාට මෙය අවියක් ලෙසින් සිතන්නට පැහැදිලි හේතුද ඇත. වේරම්බ වාතය යනු පහළම කක්ෂයයි. එනම් මෙහි ස්ථානගත කළ චන්ද්‍රිකා තුනක් හරහා තොරතුරු ලබා ගැනීමේ ක‍්‍රමවේදයක් රාවණ රජු භාවිත කළේ යැයි කීම පදනම් විරහිත කතාවක් නොවේ. යුද්ධයක් ජයගැනීමට මෙන්ම ලෝකයම ජනාවාස කළ හෙළයන්ගේ ප‍්‍රධානම අවිය වන්නට ඇත්තේ මෙයයි. මෙය බහුතරයකට විහිළුවක් සේ සිතෙනන්ට පුළුවන. එහෙත් පසුගිය කාලයේ ගිලීගිය නැවකින් සොයාගත් වසර දෙදහසකටත් වඩා පැරැණි පරිගණකයක් සේ හඳුනාගත් ඇන්ටිකතිරියා මැෂිම විහිළුවකැයි කිසිවකුට හෝ පැවසිය නොහැකිය. එය නූතන විද්‍යාවෙන් ද පිළිගෙන හමාරය. කඩාවැටුණු පිට සක්වළ යානාවක තිබූ පරිගණකයක් සේ යම් මත ඉදිරිපත් වුවත් විද්‍යාඥයන් විසින් ඇන්ටිකතිරියා මැෂිමේ ආකෘතියක් නිර්මාණය කිරීමත් සමග අදින් වසර දහස් ගණනකට පෙර පැවති පරිගණක තාක්‍ෂණ ක‍්‍රමවේදයක් පිළිබඳ නැවත සිතන්නට අවස්ථාව විවර කළේය. බටහිර විද්වතුන් ලංකාවට මෙන්ම ඉන්දියාවට පැමිණ හදාරන ලද්දේ රාවණ ඉතිහාසයයි. ඔවුහු හෙළ දැනුම බටහිරට ගෙන ගොස් තමන්ගේ සොයා ගැනීම් ලෙස ලෝකයට හෙළි කළහ. 

රාමායණයේ සඳහන් වන ලෙසට රාවණ රජතුමා වේරම්බ වාතයේ සැඟවූ ආයුධ ගැනීමට හිමාලයේ මුදුනට නැගිය යුතුය. මෙය ඉතා සරල කතාවකි. එහෙත් තාක්ෂණය දන්නා හෙළයන් මෙහි ඇතුළාන්තය ගැන හොඳින් දැන සිටියේය. එවරස්ට් කන්දේ උස අඩි 29029 කි. එනම් හිමාලය හරහා වේරම්බ වාතය වක‍්‍රාකාරව ගලායයි. මෙහිදී ඉතා සියුම් ක‍්‍රමවේදයක් ඔස්සේ චන්ද්‍රකාවක් කක්ෂ ගත කිරීමට හැකියාව පැවතුණි. වේරම්බ වාතය යනු ඒකාකාරීව පෘථිවිය වටා ගමන් කරනා වායු ධාරාවක් බැවින් මෙය නිරන්තරව භ‍්‍රමණය වීම සිදු වෙයි. අප කතා කරනුයේ නූතන විද්‍යාවෙන් ඔප්පු වූ රාමායණයේ සඟවා විස්තර කළ හෙළයන්ගේ දස්කම් ගැනය. පසුගිය දා චීනය චන්ද්‍රිකාවක් ගුවන්ගත කිරීමත් සමගම ගුවන්යානා තාක්ෂණය පිළිබඳ ඇති වූ උණුසුම් කතාබහ තවමත් කිසිවකුටත් අමතක නැත. එහෙත් එහිදී අවශ්‍ය වන්නේ අපේ රට තුළ නිපදවූ  චන්ද්‍රිකාවක් තනන්නට අපේම වුවමනා දැනුම එක්කාසු කරගෙන එවන් නිර්මාණයක් කිරීමය. ඒ අවශ්‍යතාව සහිත යුගය එළැඹ ඇත. මන්ද හෙළයන්ගේ යුගය උදාවී ඇති බැවින.

- කාංචන මනමේන්ද්‍ර

 උපුටා ගැනීම - http://lankacnews.com/sinhala/main-news/93620/

ඉතිහාසයේ වළලා දැමූ මහා යුග පුරුෂයකුගේ හෘදසාක්ෂ්‍ය – රාවණාගේ පුනරාගමනය

0

ඉතිහාසයේ වළලා දැමූ මහා යුග පුරුෂයකුගේ හෘදසාක්ෂ්‍ය – රාවණාගේ පුනරාගමනය

ලංකේෂ්වර රාවණයන් පිළිබඳ කතිකාවතක් නැවත සමාජය පුරා මතුවී තිබේ. එම කතන්දරවල සත්‍ය අසත්‍යතාවය සොයන්නට අපි උත්සාහ නොකරන්නේ එසේ හෝ රාවණ පිළිබඳ නැවත කියවාබැලීමක් සිදුවිය යුතුම නිසාය. අතීතයේ වැළලී තිබූ ශ්‍රේෂ්ට මිනිසකුගේ මළසිරුර යළිත් ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණයක් කිරීමට අපි උත්සාහ දරමු. එයට හේතුව මෙම මරණය අභිරහසක් වූ නිසා පමණක් නොව ශ්‍රේෂ්ට ජාතියක අභිමානය එමගින් යළිත් ලෝකයට හඬගා පවසන හෙයිනි. අදින් වසර 6000කට පමණ පෙර මෙරට විසූ මෙම ශ්‍රේෂ්ට මිනිසා නමින් මහා රාවණ ය. රාවණගේ යුගය පිළිබඳව මෙරට ලිඛිත ඉතිහාසයේ වැඩි යමක් සඳහන්ව නැතත් ඉන්දියානු ඉතිහාසයේ ඔහු පිළිබඳව දීර්ඝ විස්තරයක් කිරීමට තරම් වාල්මිකී කරුණාවන්ත වීම එක්තරා භාග්‍යයකි. එහෙත් වාල්මිකී විසින් ලියන ලද රාමායනයේ රාවණ ඉදිරියේ කළු පැල්ලමක් තබන්නට ඔහු උත්සාහ දරා ඇත්තේ ඇතැම් විට එවකට ඉන්දියානු පාලකයන්ගේ බලපෑම නිසා වන්නට ඇත. එනිසාම රාවණගේ සැබෑ කතන්තරය කුමක් දැයි අද වනවිට බොහෝදෙනකු ගවේෂණය කිරීමට උත්සාහ දැරීම යහපත් ප්‍රවණතාවයකි.

සැබැවින්ම රාවණ යනු විශ්වීය මෙන්ම විශ්මීය මිනිසකු යැයි අපට සිතෙන්නේ ඔහු ඉන්දියාවේ කොටසක් හා සමස්ත ලංකාවම පාලනය කළ නිසා පමණක් නොව ඔහු සතුව තිබූ අධිතාක්ෂණික ක්‍රමවේදයන් පිළිබඳ ඥානය නිසාය. මින් වසර 6000කට පෙර ගුවන්යානා නිපදවිය හැකි තාක්ෂණයක් හා අදහාගත නොහැකි තරම් පුදුම සහගත වූ වෛද්‍ය විද්‍යාවක් මෙරට තිබූ බව වාල්මිකී විසින් පළමුවරට ලොවට හෙළිකරයි. එහෙත් රාම-රාවණා යුද්ධයේදී එම රහස් සියල්ල වැළලී ගිය ආකාරයත් ඔහු රාමායනය මගින් පෙන්වාදෙයි. සැබැවින්ම රාවණ යනු ලෝකයේ පහලවූ බලසම්පන්නම පුද්ගලයකු බව එම සාක්ෂ්‍යවලින් පැහැදිලි නොවන්නේද? අප මේ උත්සාහ දරන්නේ අපගේම ඉතිහාසයේ වැළලීගිය මහා යුගපුරුෂයකුගේ සැබෑ තොරතුරු අනාවරණය කිරීමටය. ඒ අප මෙතෙක් අසා තිබූ රාමායනයේ පවතින සාවද්‍ය ප්‍රකාශන නිවැරදි කිරීමට මේ හොඳම කාලය වන නිසාය.

ලංකා රාජ්‍යය ගොඩනැගුවේ රාවණ නොවේය. එය ගොඩනැගුවේ ඔහුගේ ආදීතම මුතුන්මිත්තන් විසිනි. ඔවුන් අතරින් සූර්යපුත්‍ර, සූර්යපුත්‍රගේ පුත් ධර්මරාජ, ඔහුගේ පුත් හේතිරාක්ෂස, ඔහුගේ පුත් විද්‍යුත්කේෂ, ඔහුගේ පුත් සුකේෂ හා සුකේෂගේ පුත් සුමාලි ප්‍රධානතම වේ. සුමාලි යනු රාවණගේ මුත්තණුවන්ය. සුමාලිගේ පුත්‍රයා පුලත්‍ය ඍෂිවරයාණන් වූ අතර, ඔහුගේ පුත්‍රයා වූයේ විශ්‍රාවාස මුනිවරයා නැතහොත් රාවණගේ පියාණන්ය. රාවණ උපන්නේ ලංකාවේ නොව ඉන්දියාවේ නර්මදා නදිය අසබඩ ප්‍රදේශයකය. සුමාලි මුත්තණුවන් විසින් ඉතා දියුණු රාජ්‍යයක් බවට පත්කර තිබූ ලංකා රාජ්‍ය නැතහොත් මිණිමිහි දේශය ඒ වනවිට පාලනය කරනු ලැබුවේ වෛශ්‍රවන නම් රජකු විසිනි. කූඨ උපක්‍රමයක් මගින් ලංකා රාජ්‍යය තමන් යටතට ගත් වෛශ්‍රවන එහි සැබෑ උරුමක්කරුවන්ගෙන් උදුරා‍ගෙන තිබිණි. භාරතය පුරා පැතිරී තිබූ සත්ත්ව බිලිපූජා හා බමුණන්ගේ හිංසාවාදී ආගමික පිළිවෙත්වලට විරුද්ධව යමින් සුමාලි විසින් කරන ලද යුද්ධයේදී බමුණන් පළවාහැරීමට සුමාලිට හැකිවුවත් විෂ්ණු නමැති පාලකයා විසින් සුමාලි පරාජයට පත්කර ලංකා රාජ්‍යය වෛශ්‍රවනට පවරාදෙනු ලැබීය. 

එවකට භාරතය යනු ලොව ‍දූෂිතම රාජ්‍යයන්ගෙන් එකක් බව මෙහිදී අපට මනාව සනාථවේ. රාවණගේ පරපුර යනු අතිශය අවිහිංසාවාදී හා සියලු සත්වයන්ගේ සුභසිද්ධිය උදෙසා දැවැන්ත අරගල කරන ලද පරපුරක් බව ඉතිහාසය සාක්ෂ්‍ය දරයි. එහෙත් එම ඉතිහාසය විකෘති කරමින් රාමායනය ලියන ලද වාල්මිකී, බ්‍රාහ්මණයන්ගේ අවශ්‍යතාවය සපුරාලීම සඳහා රාවණගේ පරපුර රාක්ෂසයින් ලෙස හැඳින්වීම කෙතරම් සාවද්‍ය දැයි අපට සිතේ. කෙසේ වුවද මිණිමිහි දේශයේ නැතහොත් ලංකාවේ සැබෑ උරුමය සියතට ගත් රාවණා ඊට වසර ගණනාවකට පසුව ලංකා රාජ්‍යය යටත් කොටගෙන ලංකාවේ රජු බවට පත්වන්නේ සියලු ශිල්ප ශාස්ත්‍රයන්ගේ කෙළපැමිණියකු ලෙසය. ඔහු වෛශ්‍රවනට අභයදානය දී ඉන්දියාවට පිටුවහල් කරන්නේ සිරකරුවකු ලෙස නොව ඉන්දියාවේ තම පියාට අයත්ව තිබූ ප්‍රදේශයක භාරකාරත්වයටද පත්කරමිනි.

රාවණා ලංකා රාජ්‍යයේ අගරජු බවට පත්වන්නේ තනි පුද්ගලයකු ලෙස නොව ඔහුගේ සහෝදර සහෝදරියන්ද එහි භාරකාරත්වයට පත්කර ගනිමිනි. ඔහුගේ සහෝදරයන් වූ කුම්භකර්ණ, බර, දූෂණ, විභීෂණ යන අයට මෙන්ම රාවණාගේ නැගණිය වූ සුපර්ණකා කුමාරියටද රාජ්‍යයේ ඉහළ තනතුරු හිමිවිය. සුපර්ණකා යනු එකල සමස්ත ඉන්දියාවේම සිටි අභිරූමතියකි. රාවණාගේ හා සුපර්ණකාගේ බැඳීමට සමාන සහෝදර බැඳීමක් වෙනත් පුරාවෘත්තවලින් සොයාගැනීමට අපහසුය. රාවණා රාජ්‍යය කරද්දී සුපර්ණකා ඔහුගේ උපදේශිකාව වූවා පමණක් නොව මුලසිටම ඇගේ ක්‍රියාකලාපය පරම අවිහිංසාවාදී වූ බව රාජ්‍යයේ ඇතැම් ගැටළු නිරාකරණයේදී ගත් පියවර මගින් අපට මනාව පසක්වේ. රාජ්‍ය පාලනයේදී රාවණ විසින් ගනුලැබූ වැරදි සහගත තීරණයක්ද වේ. එනම් විභීෂණට යුවරාජ තනතුර ලබාදීමය. විභීෂණ යනු කුඩාකල සිටම රාවණට ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය නියෝජනය කළ පුද්ගලයකු බව දැනදැනත් තම සහෝදරකම සලකා රාවණා විසින් ඔහුට යුවරාජ තනතුර ලබාදෙන්නේ මතුවන විපත දැනද, නැතිනම් නොදැනද යන්න මෙහිදී පැහැදිලි නොවේ.

කෙසේ වුවද රාවණ ලංකාපුරය ලෝකයේ ශ්‍රේෂ්ටතම රාජ්‍යය බවට පත්කර පරම අවිහිංසාවාදය පතුරවමින් මෙතෙක් කිසිවකට සමකළ නොහැකිවූ අධිතාක්ෂණික මෙවලම් නිෂ්පාදනය කරමින්, නොයෙකුත් විද්‍යාවන් පිළිබඳ පොතපත ලියමින් රාජ්‍ය පාලනය ගෙනයයි. යාගහෝම කරමින් බිලිපූජා පවත්වමින් තම පැවැත්ම සකස් කරගෙන සිටි ඉන්දියාවේ බමුණන් රාවණගේ නීතිරීති නිසා තවදුරටත් එම කටයුතු සිදුකරගත නොහැකිව රාවණ කෙරෙහි වෛර බඳිමින් ඔහු විනාශ කිරීමට නොයෙකුත් කූඨ උපක්‍රම ක්‍රියාත්මක කිරීමට පටන්ගන්නේ මෙම අවධියේදීය. භාරතයේ දශරථ රජුගේ පුත්‍රයන් දෙදෙනා වන රාම හා ලක්ෂ්මණ මේ කටයුත්ත සඳහා ඔහුන් යොදාගනු ලබයි. වනවාසයට ගොස් සිටින රාම හා ඔහුගේ බිරිඳ සීතා මෙන්ම ලක්ෂ්මණද දැන හෝ නොදැන බමුණන්ගේ මෙම උපක්‍රමවලට හසුවෙති. රාම යනු මහා උතුමෙක් ලෙස රාමයනයේ සඳහන් වුවද, ඔහු ස්ත්‍රීන් කෙරෙහි ලොල්වූ පුද්ගලයකු බව අපට පෙනෙන්නේ රාවණගේ නැගණිය වන සුපර්ණකා කුමරිය මහවනයේදී රාමාට මුණගැසීමත් සමඟය. සුපර්ණකා දුටු පමණින් රාම ඇයට වශී වී සීතාද අමතක කර දමන්නට තරම් නින්දිත වේ. එහෙත් මෙය නොඉවසන ලක්ෂ්මණ බමුණන්ගේ ඉගැන්වීම් මත සුපර්ණකාගේ කන් හා නාසය කපා දමන්නට තරම් සැහැසි වේ. ගැහැනියකගේ කන් හා නාසය කපා දමන්නට තරම් පහත් හා අධම වූ මිනිසුන් දේවත්වයෙන් පුදන්නට තරම් ඉතිහාසය වැරදී ගියේ කෙසේ දැයි අපට නම් සිතාගත නොහැකිය. කෙසේ වුවද අවසානයේ දස වසරක් තරම් දීර්ඝ වූ මහා යුද්ධයක ආරම්භය සනිටුහන් වන්නේ එසේය. සුපර්ණකාගේ සිදුවීමට රාමගෙන් පළිගැනීමක් ලෙස රාවණා විසින් පුෂ්පක යානයෙන් සීතා රැගෙන ලංකාවටපැමිණෙයි. එහෙත් ඇය සිරකාරියක ලෙස සිරකර තැබීමට රාවණා  කිසිම විටකදී උත්සාහ නොකරයි. සිරගෙයක් වෙනුවට අශෝක උයනේ මනරම් නිවසක් සාදවා සීතාව එහි රඳවා තබන රාවණා, රාමාත් සමඟ යුදවැදීමට කිසිදු උත්සාහයක් නොදරයි.

සාකච්ඡා කර ගැටළුව නිරාකරණය කරගැනීමට රාවණා දරන උත්සාහය අවසානයේදී අසාර්ථකවන්නේ දිගින්දිගටම රාම හා ලක්ෂ්මණ බමුණන් සමඟ එක්වී යුද්ධයකට අරඇඳීම නිසාවෙනි. මෙහිදී විභීෂණ තම සොහොයුරා වන රාවණගේ සියලු යුද රහස් රාමා අතට පත්කොට රාවණ පරදවාලීමට ඔහුගේ උපරිම දායකත්වය රාමාට හිමිකරදෙන්නේ රටත්, ජාතියත් මහා පාවාදීමකට ලක්කරමිනි. දස වසරක යුද්ධයෙන් පසුව රාවණ නම් අසහාය යුගපුරුෂයා, සුපර්ණකා කුමරියට සියලු දේ පවරා දී මිය යයි. රාමාට හෝ ලක්ෂණටද මෙයින් කිසිදු යහපතක් හිමි නොවේ. සීතාව නිදහස් කරගත්තද බමුණන්ගේ‍ කේළාම් අසා රාමා ඇය අත්හැර දමයි. ඒ වනවිට ඇය රාමාගෙන් නිවුන් දරුවන් දෙදෙනකු ලබාසිටියද රාමාට ඒ කිසිවක් වැදගත් නොවේ. අග්නි පරීක්ෂණයේදී ඇගේ නිර්දෝෂීභාවය ලෝකයටම හෙළිවූ බව වාල්මිකීගේ රාමායනයේ සඳහන්ව ඇත.

දස වසරක් ලංකා පුරයේ රඳවාගෙන සිටි සීතාට රාවණගෙන් කිසිදු අන්තරාවක් නොවූ බව සනාථ වීමට එම ප්‍රකාශය ප්‍රමාණවත් නොවේද? එසේ නම් රාවණ යහපත් මිනිසකු නොවේ යැයි ඉතිහාසය තීන්දු කරන්නේ කෙසේද? මෙබඳු බො‍හෝ පරස්පරතා රාමායනය කෘතිය පුරාවටම ඇත. එසේ වන්නේ සත්‍යය සඟවා, හෘද සාක්ෂ්‍යයට පිටුපා, රාමායනය රචනාකර ඇති නිසා බව පැහැදිලිය. කෙසේ වුවද රාමාගේ නොසැලකිල්ලෙන් සීතා හෙළකින් පහලට පැන සියදිවි නසාගන්නා අතර, ලක්ෂ්මණද රාමාගේ පිළිකුල් සහගත ක්‍රියාකලාපය නිසා අයෝධ්‍යවේ සයුර නදියට පැන සියදිවි නසා ගනී. අවසානයේ රාමාද එම නදියටම පැන සියදිවි නසාගත් බව ඉතිහාසයේ සඳහන් වේ. විභීෂණ ලංකාපුරයේ රජ වුවද, ඔහුගේ අවසාන කාලය දක්වා මිනිසුන් ඔහු රජකු ලෙස පිළිනොගත් බව සඳහන් වේ. එහෙත් මරණින් පසු ඔහු රාම මෙන්ම දෙවිකෙනකු වීම උභතෝකෝටිකයකි. යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් මියගිය රාවණ අතීතයේ වැළලී යද්දී රාම හා විභීෂණ අනාගතයටත් පැමිණියේ කෙසේදැයි අපට නම් ගැටළුවකි. එයට සැබෑ හේතුව නම් එකල සිටම අද දක්වාත්, ඉන්දියානු බලපෑමෙන් තොරව මෙරට ජනයාට හුස්ම ගැනීමටවත් නොහැකිවීම නිසා වන්නට ඇතැයි අවසානයේ අපට සිතේ.

- Lankagamdoranews

උපුටා ගැනීම - http://lankacnews.com/sinhala/main-news/93212/