-->

Sunday, August 19, 2012

රාවණා යනු කවරෙක්ද?

4

රාවණා යනු කවරෙක්ද?

 

ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වන්නට වසර දෙදහස් පන්සියයකටත් වැඩි දුරාතීත කාලයකදී අප රට පාලනය කළ යක්ෂ ගෝත්‍රික රජු වූයේ රාවණාය. එම අවධිය තෙත්‍රා යුගය ලෙසින් හැඳින්වුණු අතර කාලය වසර දොළොස් ලක්ෂ අනූහය දහසක් පමණ වේ.
රාවණා රජුට පෙර මෙරට පාලනය කළේ රාවණා රජුගේම වැඩිමහල් සහෝදරයා වූ කුවේරය. කුවේර මෙරට පාලනය කළ අවධියේ සිට විජය රජතුමාගේ පාලනය තෙක් තොරතුරු සියල්ල අලිඛිතය. එම වකවානුවේ තොරතුරු අපට දැනගත හැක්කේ පුරාවෘත්ත, ජනප්‍රවාද ආදී ජන සාහිත්‍යය ඇසුරිනි.

කුවේර, රාවණා සහ විභීෂණ නමැති සහෝදරයන් තිදෙනා විශ්‍රාවස්ගේ පළමු වන භාර්යාවගේ දරුවෝ ය. පියාගේ ඇවෑමෙන් මෙම දරුවන් තිදෙනාට අත්වන්නට තිබූ යසශ්වෛර්යය ප්‍රමාණ කළ නොහැකි විය. විශ්‍රාවස්ගේ දෙවන භාර්යාව ද කෛකසී මෙම හේතුවෙන් කුවේර, රාවණා සහ විභීෂණ කෙරෙහි දැඩි ඊර්ෂ්‍යාවෙන් වෙළුණාය.
කෛකසීට අවශ්‍ය වූයේ එම යසස්වෛර්යය සිය කුසින් බිහිවූ දරුවන්ට උරුම කර දෙන්නටය. මේ ගැන සිතා උපායක් කල්පනා කළ කෛකසී ඔවුන් කඨෝර වූ තපසට පිටත් කර යවා ඒ අතර රාජ්‍යය සිය දරුවන්ට උරුම කරවා දෙන්නට උපායක් යෙදුවාය. එම උපායට විශ්‍රාවස් රැවටුණේය.

රාවණාට උපතින්ම හිස් දහයක්, නෙත් විස්සක් සහ අත් විස්සක් ද විය. එබැවින් රාවණා ‘දශානන’ යයි ද ‘දසිස්’ යයි ද නම් ලැබුවේය. එහෙත් විද්වතුන් පවසන්නේ රාවණාට හිස් දහයක් තිබූ කතාව නොවේ. ශක්තිවන්ත පුද්ගලයන් දස දෙනෙකුගේ හෙවත් උසස් වර්ගයේ හස්තියෙකුට ඇති ශක්තියට සමාන ශක්තියක් තිබූ බවය.
උග්‍ර තවුස් දම් රැකීමේ හේතුවෙන් මහා බ්‍රහ්මයා කුවේර, රාවණා සහ විභීෂණ කෙරෙහි තදින්ම පැහැදුණේය. ඒ හේතුවෙන්ම කැමැති වරයක් ඉල්වන්නැයි රාවණාට දැනුම් දුන්නේය.

එවිට රාවණා ඉල්ලා සිටියේ අමරණීයව විසීමට හෙවත් කිසි කලෙකත් නොමැරී ජීවත්ව සිටීමට හැකි වරයකි. මහා බ්‍රහ්මයා ඊට එකඟ නොවීය. එවිට රාවණා මිනිසුන්, වානරයන් ආදී සාමාන්‍ය අයගෙන් නොව දේව, අසුර ආදී මහා බලසම්පන්නයන් අතින් නොමැරී සිටීමටත් පරාජය නොලබන්නටත් වරයක් ඉල්ලුවේය. එය ‘අජෙය’ වරයකි. ඊට මහා බ්‍රහ්මයා එකඟ විය.

මේ වන විට ලංකාව පාලනය කළේ කුවේරය. වහාම ලංකාවට ගිය රාවණා කුවේරයා සිංහාසනයෙන් නෙරපා දමා ලංකා රාජ්‍යයත් කුවේර සතු පුෂ්පක රථයත් (දඬුමොනර යන්ත්‍රය) පැහැරගෙන ලංකාධිපති බවට පත්විය.

මය නමැති යක්ෂ ගෝත්‍රිකයාගේ දියණිය වූ මන්දෝදරී කුමරිය සරණපාවා ගත් රාවණාට මේඝනාද, අක්ෂය යනාදී වශයෙන් පුතුන් රැසක්ම සිටි බව කියනු ලැබේ.

දිග් විජය හෙවත් රාජ්‍යයන් සමඟ යුද්ධ කොට එම රටවල් අල්ලා ගැනීමේ යෙදුණු රාවණා මිහිපිට වූ සියලු රාජ්‍ය අත්පත් කර ගත්තේය. මුළු පොළෝතලයම පාලනය කළ රාවණා සක්විති රජෙකි.
මිහිතලය ජය ගැනීමෙන් නොනැවතුණු රාවණාට දෙව්ලොව ද අල්ලා ගැනීමට සිත් විය. මෙම අරමුණ ඇතිව සිය පුත් මේඝනාද ද සමඟින් දෙව්ලොවට ගොස් යුදකොට දෙව්ලොව දෙවියන් පරදා දෙවියන්ගේ රජ වූ ඉන්ද්‍රයා ද සිරභාරයට ගන්නට රාවණාට හැකි විය. රාවණාට ‘ඉන්ද්‍රජිත්’ යන නම්බුනාමය ලැබුණේ එබැවිනි.

මිනිස් ලොව, දෙව්ලොව ආදිය ද පාලනය කරන්නා වූ රාවණා බලයෙන් උදම්ව දුරාචාර ක්‍රියාවන්හි යෙදුණු බවත් සුර – අසුර කන්‍යාවන් බලෙන්ම කෙළෙසූ බවත් ‘රාමායනය’ පවසයි. එසේ වුවද, මිනිස් ලොව ද, දෙව් ලොව ද රාවණා දුටු රූපශ්‍රීයෙන් අගතැන්පත්ම කාන්තාව වූ සීතාදේවිය පැහැරගෙන ආ රාවණා ඇයට කිසිදු බලහත්කාරකමක් නොකිරීම හේතුවෙන් ඔහු ස්ත්‍රී දුරාචාර ක්‍රියාවන්හි යෙදුණේය යන රාමායන ප්‍රකාශය අසත්‍යයක් ද විය හැකිය. ඒ හේතුවෙන්ම රාවණා පරමාදර්ශී රජෙකු ද වන්නේය. රාම ඉදිරියේ අග්නි පූජාවට බඳුන් වීමෙන් සීතා සිය පතිවෘත්තා බලමහිමය ද විදහා පෑවාය.

ලංකාධිපති වූ කුවේර බලයෙන් පහකොට රාවණා ලංකා රාජ්‍යය සිය අණසක යටතට ගත්තේ කුවේර අධික සැප සම්පත් විඳිමින් බලය අයුතු ලෙස පරිහරණය කරද්දී ජනතාව අන්ත දුගී දුප්පත් භාවයට පත්වීමේ හේතුවෙනැයි කියනු ලැබේ. රාවණා ලංකා රාජ්‍යය සත් රුවනින් පිරවූ බව කියනු ලැබේ. රාවණා වෛද්‍ය ශාස්ත්‍රයෙහි ද කෙළ පැමිණියෙකි. ලංකාව පුරා ඔහුගේ ඔසු උයන් පැවති අතර රිටිගල, ලග්ගල, හග්ගල, රූමස්සල, දොළුකන්ද යනු ඉන් කීපයක් පමණි. මේවා දුර්ලභ ගණයේ ඖෂධ වර්ගවලින් පිරී පවතී.

රාවණා වෛද්‍ය ශාස්ත්‍රයෙහි කෙළ පැමිණයා සේම වටිනා වෛද්‍ය ග්‍රන්ථ රැසකම කර්තෘවරයා ද වෙයි. නාඩි පරීක්ෂා, අර්ක ප්‍රකාශ, රස රත්නාකරය, උඩ්ඩිස චිකිත්සා, කුමාරි තන්ත්‍රය, ඔඩ්ඩිස චිකිත්සා, වටිකා ප්‍රකරණය යනු ඔහු ලියූ වෛද්‍ය ග්‍රන්ථයන්ගෙන් සමහරකි.
සිය දේවිය වූ මන්දෝදරීගේ දොළදුක් සංසිඳවනු පිණිස ද රාවණා වටිනා වෙද පොතක් ලීවේය. බාල දරුවන්ගේ වෙද පොත නම් වූ එය ‘කුමාර හෘත් චිකිත්සාව‘ නම් වෙයි. එම හේතුවෙන් රාවණා පිරිපුන් මානව දයාවෙන් යුත් පුද්ගලයෙක් ද වෙයි. විවිධ යාග-හෝම සඳහා ගැනීමට දඹදිව බමුණන් බැඳගෙන සිටි සතුන් මුදාහළ රාවණා උපරිම සත්වකරුණාවෙන් යුත් අයෙක් ද විය. රාම-රාවණා යුද්ධය අතරතුර තුවාල වී යුදබිම ඇදවැටුණු රාම – ලක්ෂමණ දෙදෙනාට රාවණා සියතින්ම බෙහෙත් බැන්දේය. ඔහු සංගීත ශාස්ත්‍රයෙහිද කෙළ පැමිණියෙකි.

දඹදිව අයෝධ්‍යා පුරයේ රාමගේ රූමත් බිරිය සීතා දේවිය බලහත්කාරයෙන් පැහැර ගැනීම හේතුවෙන් රාවණා දුෂ්ට රජෙකැයි ප්‍රකට විය. රාවණා සීතා පැහැර ගත්තේ ඇයගේ රූපශ්‍රීයට වශීවීම නිසා යයි රාමායනය පැවසුවත් සිය නැඟනිය වූ සුර්පනකාට රාමගෙන් සිදු වූ අතවරයක් හේතුවෙන් ඔහුගෙන් පළිගැනීම් වස් ය ඇය පැහැර ගත්තේ.
සුර්පනකා නිතරම මෙන් දඹදිව අයෝධ්‍යාව ආසන්නයේ ගැවසුණාය. ඇය දුටු රාම තුළ ඇය කෙරෙහි පිළිබඳ සිතක් පහළ විය. එහෙත් සුර්පනකාට රාම හා එක්වීමට බාධකය වූයේ සීතාය. සීතා මරා දමන්නට සුර්පනකා උපායක් යෙදුවාය. ඒ දුටු ලක්ෂමණ සිය හීයෙන් සුර්පනකාට විද්දේය. හී පහරින් සුර්පනකාගේ නාසය ද කනක් ද කැපී ගියේය. වැගිරෙන ලේ සහිතව සුර්පනකා මෙම අවනඩුව සිය සොහොයුරාට කීවාය.
මෙයින් කෝපත් වූ රාවණා අයෝධ්‍යාවට ගියේ සීතා පැහැරගෙන එන්නට නොවේ. රාමගෙන් පළිගන්නටය. එහෙත් රාම එහි නොසිටීම හේතුවෙන් රාවණා සීතා පැහැරගෙන ආවේය.
පරමාදර්ශී රජෙකු වූ රාවණාගේ ජීවිතයේ අවසාන වචන කීපය ඔහුගේ දුරදක්නා නුවණ මොනවට ප්‍රකට කරයි. රාමගේ හී පහර වැදී රාවණා යුද බිම ඇද වැටුණේය. එවිට රාම සහ ලක්ෂමණ දෙදෙනාම රාවණා ආසන්නයට ගියහ. ඔවුන් දෙස බැලූ රාවණා මෙසේ ප්‍රකාශ කළේය.
 
කුමාරවරුනි!
යම් කාර්යයක් උතුම් යයි වැටහේද,
එය නොපමාව කළ යුතුය.
යම් කාර්යයක් අලසකමින් අතපසු වන්නේ ද,
එය අවසන් වන්නේ ද නොවෙයි.
එහෙත් අකැමැත්තක් ඇති වුවත්
අසුබ කාරණය නම් අතපසු කළ යුතුමය.

Monday, August 13, 2012

රාවණා අදත් ජීවතුන් අතර

11


රාවණා අදත් ජීවතුන් අතර

රාමා, සීතා රාවණා සහ හනුමාන් සොයා ඉතිහාසයට ගිය ගමනක් -12

රාවණා පිළිරුව
රාවණා රජු යනු අපේ පැරැණිතම මුතුන් මිත්තෙකි. අප රටේ සිංහල ජනතාව පැවතගෙන එන්නේ විජය - කුවේණිය දෙදෙනාගෙන් ද නැතිනම් යක්ෂ ගෝත්‍රික රාවණා රජුගෙන් ද යන්න විමසා බැලිය යුතු ප්‍රශ්නයකි. ඒ තරමටම අපගේ ජීවිත හා රාවණා රජු බැඳී සිටී. රාවණා රජුගේ ගෝත්‍රය යක්ෂ වූවා මිස ස්වරූපය මනුෂ්‍ය ස්වරූපය බව බොහෝ විද්වත්හු ප්‍රකාශ කරති.

රාවණා රාජධානිය පිළිබඳ තොරතුරු ගවේෂණය කොට එය ලංකාවේ පිහිටි බව සනාථ වූ දාට අප පැවැතගෙන එන්නේ රාවණාගෙන් බව අවිවාදයෙන්ම අපට පිළිගැනීමට සිදු වනු ඇත.

දඹදිව අයෝධ්‍යා පුරයේ විසු රාම, ලක්ෂමණ සහ සීතා යනාදීහු මනුෂ්‍යයෝය. එහෙත් යක්ෂ ගෝත්‍රික රාවණා මනුෂ්‍ය වර්ගයක් ලෙසින් පිළිගන්නට ඔවුන් සූදානම් වූයේ නැත. එවකට ලංකාවේ විසු රාවණා හා ඔහුගේ පිරිස් විස්මිත දේ කිරීමෙහි දක්ෂයෝ වූහ. විටෙක ඔවුහු ගුවනින් ගියහ. වාතයෙන්, හිරු එළියෙන් හා සඳ එළියෙන් ක්‍රියාත්මක වන යානාවල නැඟී ගියහ. විටෙක කිසිවකුටවත් නොපෙනී ගියහ. යන්ත්‍ර - මන්ත්‍ර ආදි ගුප්ත බලවේගයන්ගෙන් වැඩ ගත්හ.


ලක්ෂමණගේ රැකවරණයෙහි සිටි සීතා ඔහුටත් නොදැනෙන පරිදි පැහැර ගන්නට රාවණා සමත් වූයේ ඔහු සතුව පැවති ගුප්ත බලවේගයන්හි පිහිටෙනි. මෙවන් විස්මිත දේ කළ හැක්කේ යකුන්ටම මිස මිනිසුන්ට නොවේ යනුවෙන් සිතූ දඹදිව වැසියන් එදා ලක්වැසියන් දෙස බලා ඇත්තේ යක්ෂයන් දෙස බලන ආකාරයෙනි.

රාම - රාවණා යුද්ධයෙන් රාමට ජය ගත හැකි වූයේ ද රාවණාගේම ආයුධ උපක්‍රමශීලීව රාම අතට පත්වීමේ හේතුවෙනි. යුද්ධයේ දී රාවණා මිය නොගිය බවත්, හී පහර වැදුණු රාවණා සිහිමුර්ජා තත්ත්වයට පත්ව අදත් ජීවත්ව සිටින බවත් පුරාවෘත්ත කතාවල සඳහන් වේ. රාවණා මියගියා යයි සිතා එම සිරුර මිහිදන් කොට ඇතත් එය පවතින්නේ සිහිමුර්ජා වී පමණි.

උග්‍ර ලෙස භාවනා වැඩු රාවණා මහා බ්‍රහ්මයාගෙන් අමරණීය වී සිටීමට වරම් ලත් අයෙකි. එම වරම මහා බ්‍රහ්මයා ආපසු උදුරා ගත් බවක් පුරාවෘත්තවල සඳහන් නොවේ. එසේනම් රාවණා මියයන්නේ කෙසේ ද? රම්භා නම් වූ දිව්‍ය අප්සරාවට රාවණා බලහත්කාරකමක් කළ මොහොතේ නලකුවේරයන් ශාප කරන්නේ නැවත වතාවක් කාන්තාවකට අනතුරයක් කළහොත් එකෙණෙහිම රාවණා මරණයට පත්වේවා කියාය. එහෙත් සීතා පැහැරගෙන ආ රාවණා ඇයටවත් අනතුරයක් නොකළේය. එසේනම් රාවණා මිය යන්නට හේතුවක් නැත.

කෙසේමුත් රාම, ලක්ෂමණ ආදීන් රාවණාගේ බලපරාක්‍රමය බලෙන්ම යටපත් කොට ඇත. රාවණාගේ බලය යළි කිසිදා පැන නොනැඟෙන පරිදි වළලා දමා ඇත. මුළු ලෝකයාම රාවණා දුෂ්ටයකු ලෙස දකින්නේ එබැවිනි. රාවණා දුෂ්ටයකු බවට පත්කළ රාම, ලක්ෂමණ දෙදෙනා මුළු ලොව ඉස්මතුව සිටිති. එබැවින් වර්තමානයේ දී පවා පවතින්නේ රාම, ලක්ෂමණ, සීතා සහ ඔවුන් බලවත් කළ හනුමාන්ගේ බලයයි.
එහෙත් කිසිදා සත්‍යය යටපත් කළ නොහැකිය. තාවකාලිකව සත්‍යය යටපත් කළත් කවදා හෝ එය ප්‍රබලාකාරයෙන් ඉස්මතු වෙයි. මේ පිළිබඳ පුරාවෘත්ත ප්‍රකාශ කරන්නේ මෙම යුගය රාවණාගේ බලපරාක්‍රමය ඉස්මතුව විත් ලොවට සර්ව සාධාරණය ඉෂ්ට වන යුගයක් බවයි.

සමාධි බුදු පිළිමය
අන් කවර කලෙකටත් වඩා වර්තමානයේ දී රාවණා රජු පිළිබඳ සොයන්නට, ගවේෂණය කරන්නට බොහෝ දෙනෙක් පෙලඹී සිටිති. රාවණාට සිදුවූයේ කුමක් ද යන ප්‍රශ්නයේ දී අමරණීය වරම් ලද රාවණා දැනට පරනිර්මිත වසවර්ති දිව්‍යලෝකයේ වෙසෙන බව පුරාවෘත්ත කතාවල සඳහන් වේ. පරනිර්මිත වසවර්තියේ වාසය කරන රාවණා නමැති දිව්‍යරාජයා මුළු ලොව දකිමින්, මුළු ලොව සිදුවන අකටයුතු දකිමින්, ලෝකයට සාධාරණය සලසන්නේ කවදාදැයි බලමින් සිටී.

රාවණා රජු පිළිබඳ අසීමිත විශ්වාසයක් ඇති අය කෙරෙහි බැඳී සිටින රාවණා දෙවි ඔවුන් මඟින් ලොවට සෙත, සහනය උදා කරන්නට, සාධාරණය සලසා දෙන්නට උත්සාහයක යෙදී සිටී. රාවණා දෙවියන් වෙනුවෙන් ඉදිවෙන දෙවොල් මඟින් මෙම කටයුත්ත ඉටුවනු ඇති බව පුරාවෘත්ත කතාවන්හි සඳහන් වේ.

රාවණා රජු පිළිබඳ අවංක චේතනාවෙන් යුතුව තොරතුරු ගවේෂණය කර රාවණා බලය පිළිබඳ අචල විශ්වාසයක් ඇතිව කටයුතු කරන ගවේෂකයන් කීප දෙනකුටම රාවණා රුව සිහිනෙන් හෝ වෙනත් බලවේග මඟින් දැක ගැනීමට හැකි වී ඇත. රාවණා රුව පිහිටුවමින් රාවණා වෙනුවෙන් දෙවොල් ඉදිකොට මනා ලෙස වත් පිළිවෙත් ඉටු කිරීම මඟින් රාවණා බලය රටේ පිහිටුවිය හැකි බව එම ගවේෂකයන්ට දැනගැනීමට ලැබී ඇත.

ඒ අනුව රාවණා රුව පිහිටුවමින් ඉදිවූ ප්‍රථම දෙවොල වලපනේ දරපනාහෙල ශ්‍රී රාවණා පබ්බත මහා විහාරයේ පිහිටියාය. රාවණා බලකොටුව ආශි‍්‍රතව පිහිටුවා ඇති මෙම විහාරය රාවණාගේ උරුමය ආරක්ෂා කිරීම සඳහා කැපවී සිටින ආකාරය එහි ගිය මට දැක ගත හැකි විය. එපමණකුදු නොවේ. එම ගමේ වසන සෑම සියලු වැඩිහිටියෙක්ම රාවණාගේ උරුමය මැනවින් රැකීමට ඇප - කැපවී සිටී.

ගමට අමුත්තකු පැමිණි විගසින් ඔහු ආවේ කුමට ද? ඔහුගේ අවශ්‍යතාව කුමක් ද? කරන්නේ කුමක් ද? යන්නේ කුමන ස්ථානවලට ද යනාදී වශයෙන් රහසිගතව සොයා බලා, ඔහුගේ පැමිණිම සැකමුසු වී නම් ඔහු ගමෙන් පිටමන් කරවීමට ද මෙම ගමේ වැසියෝ පසුබට නොවෙති. මක්නිසාද යත් පිටස්තරින් පැමිණි බොහෝ අය මෙම පෙදෙසේ පොළව පෙරළමින්, යමක් සොයමින් රාවණාගේ උරුමය විනාශ කරන්නට කටයුතු කිරීමේ හේතුවෙනි.

රාවණා රුව තැන්පත් කරමින් මෙරට දෙවැනි දෙවොල ඉදිවී ඇත්තේ කුරුණෑගල රම්බඩගල්ල, මොනරාගල විහාරස්ථානයේය. මෙම විහාරස්ථානය පිහිටි ගම රම්බඩගල්ල සහ මොනරාගල යන දෙනමින්ම හැඳින්වේ. එම ග්‍රාම නාමය පවා අපට රාවණා පිළිබඳ කිසියම් ඉඟියක් දෙයි. රම්බොඩය යන්නෙන් අදහස් වන්නේ රත්තරන් ආයුධය යන්නයි. රත්තරනින් නිම කළ ආයුධ සම්භාරයක් තැන්පත් කොට ඇති ස්ථානය රම්බඩගල්ල නමින් හැඳින්වෙයි.

මොනරා ආ(පැමිණි) ගල මොනරාගල විය. මෙහිදී දඬු මොනර යන්ත්‍රය පැමිණීමේ හේතුවෙන් ද, මොනර පිහාටුවක සටහනක් ගල්තලාවේ කොට තිබීමේ හේතුවෙන් ද මොනරාගල ග්‍රාම නාමය සකස් වී ඇත. කුරුණෑගලට යාබද වාරියපොළ ශ්‍රී සුමංගල විහාරස්ථානය පිහිටි ගල්තලාවේ දඬුමොනර යන්ත්‍රය නවතා තබා ඇති බව මීට ඉහත දී අපි කීවෙමු.

මේ දිනවල රම්බඩගල්ල - මොනරාගල විහාරස්ථානයේ බෞද්ධාගමට අදාළව සුවිශේෂී කටයුත්තක් ඉටුවෙමින් පවතී. එනම් ලෝකයේ විශාලතම ශෛලමය සමාධි බුදු පිළිමය නෙළීමයි. අති දක්ෂ ගල් වඩුවන් අතින් එම කර්තව්‍යය ඉටුවෙමින් පවතී.

ශෛලමය සමාධි බුදු පිළිමයේ උස අඩි 67.5 ක් වන අතර එහි හිටි උස අඩි 108 කි. මීට පෙර මෙරට තැනුණු අවුකන බුදු පිළිමයේ උස අඩි 38.10 ක් වන අතර පොළොන්නරුවේ ශෛලමය පිළිමයේ උස අඩි 22 ක් පමණි.
මෙවන් ශුද්ධ වූ පුද බිමක රාවණා රුව පිහිටුවමින් දෙවොලක් ඉදි කරන්නට කටයුතු සම්පාදනය වීමෙන් බුදු පිළිමය නෙළීමේ කටයුත්තට මහඟු ආශීර්වාදයක් උදාවන බව ද කිව යුතුය.
“යගු කෞරාණ මන්ථක ශ්‍රී රාවණ විමානය” යනු දෙවොලේ නමයි. රම්බඩගල්ලට ඉදිරියෙන් වූ පර්වතය රාවණාගේ ප්‍රබල සෙන්පතියකු වූ මකර සෙන්පතියාගේ වාසභවනයයි. මකර සෙන්පතියා එම කන්දේ වසමින් රම්බඩගල්ලට රැකවරණය සලසයි.

මහනුවරට අයත් අංකුඹුර පෙදෙසේ රාම කොටුවක් පිහිටි අතර රාවණාට විරුද්ධව යුද්ධ කිරීම සඳහා රාම කඳවුරු බැඳ ගත්තේ එහිය. අංකුඹුර පෙදෙසේ ‘රාම කොටුව‘ නමින් ගමක් ද වෙයි. අංකුඹුර, රම්බඩගල්ල අතර ප්‍රදේශයේ රාම - රාවණා යුද්ධය පැවති බව විශ්වාස කෙරේ. රාවණාගේ පුත් ඉන්ද්‍රජිත්ගේ බලපරාක්‍රමය හේතුවෙන් එම සටන ජය ගන්නට රාවණාට හැකි විය.

යුද්ධයේ දී යුද බිම මැරී වැටුණු වානරයන්ගේ බෙලි හෙවත් බොටු (රම්, බොටු, ගොඩ) බලන්නට ඉන්ද්‍රජිත් රාවණාට ඇරැයුම් කළේය. රාවණා මෙම බොටු ගොඩ දෙස බැලුවේ විහාරස්ථාන භූමියේ ගල්තලාව මත සිටය. 

මෙම අරුතින් ද රම්බොටුගල්ල නාමය ඇති වී පසුව එය රම්බඩගල්ල ලෙසින් ව්‍යවහාරයට පත් වූ බව ද කියනු ලැබේ.

(තව කොටසක් ලබන සතියේ)

Tuesday, August 7, 2012

රාම රාවණා කතාව

2

‘රාම රාවණා කතාව’ ගරීයස්ගෙන් පොතක්

 

ප්‍රකට සිනමා ලේඛක හා විචාරකයකු වූ චන්දන සිල්වාගේ සොහොයුරු ගරීයස් සුරනිමල තෙන්නකෝන් මුදලිගේ ලියූ ’රාම- රාවණා කතාවක්’ ග්‍රන්ථය මරදානේ සූරිය ප්‍රකාශනයක් ලෙස පසුගියදා එළිදුටුවේය.

රාවණාගේ ගුවන් පථය මත ඉදිවූ රජ මහා විහාරස්ථානය

2

රාවණාගේ ගුවන් පථය මත ඉදිවූ රජ මහා විහාරස්ථානය

රාමා, සීතා රාවණා සහ හනුමාන් සොයා ඉතිහාසයට ගිය ගමනක් - 11
දහනව වැනි සියවසේ ජීවත්ව සිටි ලියනාඩෝ ඩා වින්චි ලෝකයේ ප්‍රථමයෙන්ම ගුවන් යානයක ආකෘතියක් හෙවත් සැලසුමක් සකස් කළ බව ද ලෝකයේ ප්‍රථම ගුවන් යානය නිෂ්පාදනය කළේ රයිට් සහෝදරයන් බව ද අපි අසා ඇත්තෙමු.

ඊට පෙර යුගයේ ගුවන් යානා භාවිත කළ බවට තොරතුරු කිසිවක්ම හමු නොවේ. එසේ තොරතුරු හමු නොවුණ ද නැතිනම් හමු වූ තොරතුරු සම්භාරය සඟවා තබා ගුවන් යානය නිපදවීමේ ගෞරවය අපරදිග රටවල් හිමිකර ගත්තා ද යන්න විමසා බැලිය යුතුය.
ඉතිහාස තොරතුරුවලට හසු නොවන දුරාතීතයේ හෙවත් ප්‍රාග් ඓතිහාසික යුගයේ පෙරදිග රටවල භාවිත වූ ගුවන්යානා වර්ග ගණනාවක් ගැනම තොරතුරු අනාවරණය වේ. ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වන්නටත් වසර 2500කට පෙර කාලයේ පෙරදිග රටවල භාවිත වූ ගුවන් යානා පැවති බවද, අපරදිග රටවල් එම ගුවන් යානා පිළිබඳ මැනවින් අධ්‍යයනය කොට ඒ අනුසාරයෙන් නූතන ගුවන් යානය නිපද වූ බව ද ඇතැමුන් ගේ මතයයි.

ප්‍රාග් ඓතිහාසික යුගයේ (තෙත්‍රා යුගයේ) විසූ යක්ෂ ගෝත්‍රික රජෙකු වූ කුවේරට ගුවනින් ගමන් යා හැකි රථයක් පැවැති අතර එය දඬු මොනර යන්ත්‍රය, පුෂ්පක රථය යනාදී නම්වලින් හැඳින් වූ බව කියනු ලැබේ.
මහා බ්‍රහ්මයාගෙන් ප්‍රබල වරය ලද රාවණා කුවේර බලයෙන් පහකොට පලවාහැර ඔහු සතු ලංකා රාජ්‍යය මෙන්ම පුෂ්පක රථය ද පැහැර ගත්තේය. කුවේර සතු ගුවන් යානය පැහැර ගත් රාවණා රජු එය ධාවනය කිරීමේ තාක්ෂණය නොදැන සිටියා නම් එම රථයෙන් ඔහුට ප්‍රයෝජනයක් අත්වන්නේ නැත. පුෂ්පක රථය ධාවනය කිරීමේ තාක්ෂණය දැන සිටි රාවණා එහි රියැදුරු ලෙස යොදා ගත්තේ වායු ය.
දඹදිව අයෝධ්‍යා පුරයේ විසූ සීතා දේවිය පැහැරගෙන ඒමට රාවණා භාවිතා කළේ ද පුෂ්පක නමැති ගුවන් යානයයි. රාම – රාවණා යුද්ධයේ බොහෝ අවස්ථාවන්හිදී ද රාවණා සිය ගුවන් යානය ඒ සඳහා උපයෝගී කර ගත්තේය. රාවණා පරාජය කළ රාම, රාවණාගේ ගුවන් යානය පැහැරගෙන සීතා, ලක්ෂ්මණ ආදීන් ද එහි නංවාගෙන දඹදිව බලා පිටත්ව ගියේය.

එතැන් සිට පුෂ්පක ගුවන්යානය භාවිත වූයේ දඹදිවය. මෙම ගුවන් යානය පිළිබඳ රාවය ලොව පුරා ප්‍රචලිත වූ අතර බටහිර ජාතීන් එහි තාක්ෂණය ඉගෙනගෙන ඒ අනුසාරයෙන් නූතන ගුවන් යානය නිපදවූ බවට ද මත පළ වේ.

තුන්ලොව ජයගත් සක්විති රජෙකු වූ රාවණා ගුවන් යානය පිළිබඳ තාක්ෂණය මැනවින් දැන සිටි අතර ඔහුගේ කාලයේ දී වායුවෙන්, හිරු එළියෙන් මෙන්ම සඳ එළියෙන් ද ධාවනය කර වූ ගුවන්යානා භාවිත කළ අතර ගුවන් යානා හසුරුවීම, ගුවන්ගතකිරීම, ගුවනේ සිට බිමට බෑම ආදිය සඳහා ගුවන් තොටුපොළ භාවිත කළ බව ද කියනු ලැබේ. රාවණාගේ එවන් ගුවන් තොටුපොළ විසි හතරකට වැඩි ප්‍රමාණයක් ලක්දිව පුරා පැවැති බව ද කියනු ලැබේ.

සීගිරිය ගල් පව්ව මුදුනේ වූ මාලිගා නිර්මාණය කළේ යක්ෂ ගෝත්‍රික කුවේර බව ද කුවේරගේ රාජධානිය පැවතියේ සීගිරියේ බවට ද මත පළවේ. එවන් උස් වූ, පුළුල් වූ ගල් පව්වක් මුදුනේ සිය මාලිගා සංකීර්ණය සාදන්නට හේතුව ඔහු ගමන් – බිමන් සඳහා පුෂ්පක රථය භාවිත කිරීමම විය හැකිය.

නමින් කුවේර වුවද ලංකාධිපති වූ කුවේර සියලු සැප සම්පත් විඳිද්දී, රටවැසියා අන්ත දිළිඳු තත්ත්වයට පත්වූ බවද හෙවත් මහජන සුබසෙත නොසැලසූ බව ද ඊට එරෙහි වූ රාවණා ලංකා රාජ්‍යය තමන් සතු කර ගත් බව ද කියනු ලැබේ. අනතුරුව රට සමෘද්ධිමත් කරවූ රාවණා රජු රට සත් රුවනින් බැබළවූ බව ද කියනු ලැබේ. ලංකාවාසී ජනතාව ආහාර අනුභව කළේ ද රත්තරන් භාජනවල බව ද කියනු ලැබේ.

රාවණාගේ එක් ගුවන් තොටුපොළක් වලපනේ ප්‍රදේශයේ පවතින බිංගන්තලාව ලෙසින් හඳුනා ගනිමු. එය හරස්බැද්ද ගමට ඉහළින් පිහිටි දරපනාහෙළ කන්දේ එහා පැත්තයි. පුළුල් තැනිතලාවක් සහිත වේදිකාවක් වන් භූ®මිභාගයක තැනිතලාවේ සිට භූමිය කෙමෙන් උස්වන අතර ගුවන්යානය තැනිතලාවේ සිට ධාවනය කරගෙන විත් කඳු මුදුනෙන් ගුවනට නංවන්නට ඇතැයි ගැමියෝ පවසති. දැනට බිංගන්තලාව ජනාවාසයකි.

කුරණෑගල පුත්තලම මාර්ගයේ වාරියපොළ නගරයට නුදුරින් පිහිටි වාරියපොළ ශ්‍රී සුමංගල පිරිවෙන සහිත රජ මහා විහාරස්ථානය පිහිටි භූමි භාගය ද රාවණා ගේ ගුවන් පථයකට කදිම සාක්ෂියක් සපයයි. මෙම විහාරස්ථානය සම්පූර්ණයෙන්ම පාහේ සෑදී ඇත්තේ ඉතා විශාලව පැතිරී පවතින ගල්තලාවක් මතය. ගල්තලාව සමතලාවට පිහිටා ඇත.
මෙම ගල්තලාව මත අනෙකුත් විහාරාංග අතරට දැනට සක්මන් ඉරියව්වෙන් පවතින ලොව විශාලතම හිටි බුදු පිළිමය ඉදිවෙමින් පවතී. මෙහි ඉදිකිරීම් කටයුතු දැනට ද සිදුවෙමින් පවතී.

වාරියපොළ ශ්‍රී සුමංගල රජමහා විහාරස්ථානය අප රටේ ස්වාධීනත්වය දිනා ගැනීමෙහිලා ද අනගි මෙහෙයක් ඉටු කළ බව අපි දනිමු.
1815 මාර්තු මස 02 දින අස්සන් කරන්නට යෙදුණ උඩරට ගිවිසුමට අදාළව ඉංග්‍රීසින් මහනුවර මගුල් මඩුවේ දී ඉංග්‍රීසි ධජය ඔසොවද්දී අභීතව ඉදිරිපත් වූ ශ්‍රී සුමංගල හිමියන් ඉංග්‍රීසි ධජය පහත හෙළා පයින් පාගා සිංහල දේශයේ කොඩිය එසවීමට තරම් එඩිතර වූ බව අපි දනිමු.

වාරියපොළ ග්‍රාම නාමය වා, රිය, පොළ යනුවෙන් වචන තුනකට කඩා විග්‍රහ කළ හැකිව තිබේ. ‘වා’ යනුවෙන් හැඳින්වෙන්නේ වාතයයි. හෙවත් සුළඟයි. ‘රිය’ යනු රථයයි. ‘පොළ යන්නෙන් වාතය මඟින් ධාවනය කරවීමට සකස් කර තිබූ ගුවන්යානය වෙනුවෙන් සකස් කළ ගුවන් රථ ධාවන පථය අදහස් වෙයි. මින් තවදුරටත් සනාථ වන්නේ ගුවන් රථ ගුවනට නැග්ගවීමටත් ගුවනේ සිට බැස්සවීමටත් භාවිත වූ ගුවන් තොටුපොළක් මෙම ස්ථානයෙහි පැවති බවයි.

එසේම ඉංග්‍රීසි පාලන යුගයේ දී තිබූ සිතියම්වල වාරියපොළ හඳුන්වා දී තිබුණේ ගුවන් තොටුපොළක් (Air Port)  ලෙසිනි.
සිය නැගණිය වූ සුර්පණකාට රාමගෙන් සිදු වූ හිරිහැරය ගැන අසා කෝප වූ රාවණා රජු රාමගෙන් පළිගැනීම සඳහා ලංකාපුරයේ වූ සිය බලකොටුවේ සිට දඹදිව අයෝධ්‍යාව බලා පිටත්ව ගියේ පුෂ්පක නමැති ගුවන් රථයෙනි. එසේ යාමේදී ගුවන් රථය මඳකට වාරියපොළ ගුවන් තොටුපොළට බැස්සවූ බව පුරාවෘත්තවල සඳහන් වේ.

පිරිත් පොතේ විහාර අස්නේ සඳහන් මඩබටවිට හා දොරවක යන රජ මහා විහාරස්ථාන පිහිටි භූමි භාග දෙක ද රාවණා රජුගේ ගුවන් තොටුපොළ දෙකක් ලෙසින් පැවැති බව පුරාවිද්‍යා ගවේෂක ජයරත්න පතිරආරච්චි මහතා සිය ග්‍රන්ථයක සඳහන් කොට ඇත. දන්ඕවිට අසල පිහිටි මඩබඩවිට දහට ගල්ලෙන් සහිත රජමහා විහාරස්ථානයකි. එහි පැවති ගුවන් තොටුපොළ සැතපුම් තුනක් පමණ දිග් වූ බව ද සඳහන් ව ඇත. වරකාපොළ ප්‍රදේශයේ දොරවක යනු ද මීට වසර 7500කට පෙර පැවති පැරණි ගුවන් තොටුපොළක් බව ජයරත්න පතිරආරච්චි මහතා සඳහන් කොට ඇත.

තවදුරටත් මේ පිළිබඳ විස්තර සඳහන් කරන ඔහු රාවණා රජුගේ ගුවන් රථ රියැදුරු අගිනිදූත නම් වූ බව ද සඳහන් කරයි.
 
තව කොටසක් ලබන සතියේ

..