-->

Sunday, July 15, 2012

රාම-රාවණා සිදුවීමට අදාළ ඔසු උයන්

1

රාමා, සීතා, රාවණා සහ හනුමාන් සොයා ඉතිහාසයට ගිය ගමනක් - 9

රාම-රාවණා සිදුවීමට අදාළ ඔසු උයන්

 
රාම - රාවණා යුද්ධයේ දී රාවණාගේ බිහිසුණු හී පහරවල් වැදී යුදබිම මැරී වැටුණු රාම - ලක්ෂමණ හා ඔවුන්ගේ වානර හමුදාවෙන් කොටසක් ද සුවපත් කරනු වස් හනුමාන් දඹදිවට ගොස් ගෙන ආ ඖෂධ වනාන්තරය ගැන මීට පෙර ද සඳහන් කොට ඇත. ඉන් කොටසක් මහ පොළව මතට කඩා වැටී සෑදුණු ඖෂධ වනාන්තරය ගාල්ලේ රූමස්සල කන්ද යයි මීට ඉහතින් අපි සඳහන් කළෙමු.

රිටිගල
මෙම ඖෂධ වනාන්තරය පිළිබඳ පළවන මත ගණනාවක්ම පවතී. ඉන් එක ජනකතාවකින් කියවෙන්නේ රාවණා රජු සඟවා තැබු සීතා දේවිය සොයා ගැනීමේ කාර්යය පැවරුණේ හනුමාන්ට සහ ලක්ෂමණට බවයි. මෙම කාර්යයේ දී ලක්ෂමණට තුවාල විය. එම තුවාල සුවපත් කරන්නට හනුමාන් හිමාලය කන්දෙන් ඖෂධ වනාන්තරයක් ඔසොවාගෙන ආවේය. තුවාලවලට අවශ්‍ය බෙහෙත් සපයාගෙන බෙහෙත් කන්ද මෙරට ස්ථාන තුනක පිහිටුවන්නට යෙදුණි. එම ස්ථාන තුන වර්තමානයේ දී හැඳින්වෙන්නේ රිටිගල, රූමස්සල සහ දොළුකන්ද යනාදී වශයෙනි.
රිටිගල, රූමස්සල, සහ දොළුකන්ද යනුවෙන් හැඳින්වෙන්නේ දුර්ලභ ගණයේ ඖෂධ වර්ග සහිත පැරණි වනාන්තර තුනකි. මින් රිටිගල අනුරාධපුර පෙදෙසේ පිහිටියේය. අක්කර 3777 ක විශාලත්වයකින් යුත් රිටිගල වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වෙයි.
ඇත්ත වශයෙන්ම රිටිගල දැනට ද දුර්ලභ ගණයේ ඖෂධ වර්ගවලින් ගහණ වන පියසකි. එහි අරුළු, බුළු, නෙල්ලි, බිංකොහොඹ, කොතලහිඹුටු, කොහොඹ, ගම්මාලු, රණවරා, මහහැඩයා, පටිධතු, වල්නවහංදි, වේලන්ගිරිය, වනරාජ, සැවැන්දරා, සහ තවත් බොහෝ ඖෂධ වර්ග පිරී පවතී. ඖෂධ වර්ගවලින්ම පිරුණු වන පියසක් නිසාම “රිටිගලත් හරියට හනුමාන් ගෙනා ඖෂධ වනාන්තරය වගේ” යයි ආප්තෝපදේශයක් සෑදුණා ද විය හැකිය. දොළුගල යනු ද මෙවන්ම වූ වන පියසකි.

මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි ලග්ගල හෙවත් ලකේගල ද රාවණා පුවත හා ඈඳුණු ග්‍රාම නාමයකි. රාම - රාවණා යුද්ධයට පෙර වකවානුවේදී ලග්ගල යනු ඉතා උස් වූ කන්දකි. වර්තමානයේ දී පවතිනවාට වඩා ඉතා උස් වූ කන්දක් විය. එකල ලග්ගල හැඳින්වුණේ ලකේගල නමිනි. රාවණා රජතුමා සිය රාජධානිය පිහිටුවාගෙන තිබුණේ ලකේගල මුදුනේය.
රාවණා රජු පැහැරගෙන ආ සීතා දේවිය සඟවා තැබුවේ ලකේගල මුදුනේය. අශෝක වනය, ගල් ගුහා පද්ධතියක් ආදිය ද මෙම ගල් පව්ව මුදුනේ පැවති බව කියනු ලැබේ. සීතා සොයා මෙහි පැමිණි රාම කුමරු රාවණා රජු සමඟ පුරා දොළොස් අවුරුද්දක් යුද්ධ කළ බව කියනු ලැබේ. රාමට සිය ප්‍රතිමල්ලවයා පරාජය කරන්නට එතරම් කාලයක් ගතවීමෙන් පෙනී යන්නේ රාවණා රජුට ද ප්‍රබල යුද ශක්තියක් පැවති බවයි.
ලකේගලට සැතපුම් විසි හතරක් ඊසාන දිගින් යුදඟනා පිටිය නමින් ව්‍යවහාර කරන ස්ථානයක් තිබේ. 

ලක්ගල (ලකේගල)
යුදඟනා පිටියට ආසන්නව දුනුවිල නමින් හැඳින්වෙන තැනක් ද විය. එහිදි රාවණා රජු රැඳී සිටින ලකේගල සුනුවිසුනු කර දැමීම සඳහා රාම සැරයක් යවන්නැයි විභීෂණ රාම කුමරුට උපදෙස් දුන්නේය. විභීෂණ යනු රාවණා රජුගේ බාල සොහොයුරාය. සිය අයියා වන රාවණා රජුගේ දුෂ්ට ක්‍රියා ඉදිරියේ විභීෂණ ද රාමගේ පැත්ත ගතේය.

එම උපදෙස් මත ක්‍රියාත්මක වූ රාම ලකේගලට සිය දුන්නෙන් හී සැරයක් යැව්වේය. හී සරය වැදුණු ලකේගල මුදුන් කොටස කැඩී සුනුවිසුනු විය. එසේ නොවන්නට ලකේගල අද පෙනෙනවාට වඩා බොහෝ උස්ව පැවතුණි. හී සරය යැවීම සඳහා රාම දුන්න ඇදීමේ දී දුන්නේ කොන වැදී වළක් හෑරුණි. පසුකල දුනුවිල නමින් ව්‍යවහාර වූයේ එම වළයි. වැසි කාලයට දැන ද එහි වතුර පිරේ.
කේගල කන්ද සුනුවිසුනු කළ රාම එහි සඟවා සිටි සීතා දේවිය ලබාගත් බව ද සඳහන් වේ.

රාම - රාවණා යුද්ධය පැවතුණේ මාතලේ පෙදෙසේම පිහිටි දැනට රණමුරේ නමින් හැඳින්වෙන ස්ථානයේ දී බව ද පළවන මතයක් තිබේ. රණ යනු යුද්ධය යන අරුත් දෙයි. මුරේ යනු වාරයයි. රණමුරේට ඔබ්බෙන් පිහිටි හල්මිණිය ගමේ කයිකාවල නමින් ප්‍රකට ස්ථානයක් පවතී. කයිකාවල පුරාණයේ පැවති මුරපොළකි. ඊට නුදුරුව රාවණා රජුගේ බලකොටුව පැවති බව ද කියනු ලැබේ.

එසේම රණමුරේ, නාරංගමුව ආසන්නයේ ද මහමුරය නමින් මහ මුර පොළක් පැවති බව විශ්වාසයකි. එදා මහමුරය අද හැඳින්වෙන්නේ මීමුරය හෙවත් මීමුරේ නමිනි. මීමුරේ ආසන්නයේ ද රාවණා කොටුව නමින් හඳුන්වන ස්ථානයක් තිබේ. රාවණා රජුගේ බලකොටුව සහිත රාජධානිය පිහිටි ලග්ගල මුදුන අදත් හැඳින්වෙන්නේ මාළිගාතැන්න නමිනි.

ලග්ගල පල්ලේසිය පත්තුවේ පිහිටි රාවණාගල, රාවණා ඇළ, සීතාගල, සීතාලෙන ආදි ස්ථාන නාම ප්‍රකට කරවන්නේ එම ස්ථාන ආශි‍්‍රතව පැවති රාවණා - සීතා සම්බන්ධය පිළිබඳවයි.

සිංහරාජයේ ඓතිහාසික තොරතුරු සොයාගෙන යාමේදී ඒ සමඟ ද රාවණා - සීතා සිදුවීම සම්බන්ධ වී ඇති අයුරු පෙනේ. වනාන්තරයේ සිංහගල නමින් හඳුන්වන කඳු ශීඛරයේ පාමුල ගල් ගුහාවක් පවතී. එහි සිංහරාජයෙකු ද වාසය කළ බව කියනු ලැබේ. සිංහයා සිංහරාජය පුරා සිය අණසක පතුරුවාගෙන විසු බව කියනු ලැබේ.

සිංහරාජය රාවණා රජුගේ ඖෂධ වනාන්තරය ලෙසින් හඳුන්වන අතර එහි වූ දුර්ලභ ගණයේ ඖෂධ වර්ග ආරක්ෂා කිරීම පැවරී තිබුණේ ඉහත කී සිංහරාජයාටය. මෙහි ඇතුළු වී දුර්ලභ ගණයේ ඖෂධ වර්ග ලබා ගැනීමට සිංහයාගෙන් අවසර ලැබුණේ රාවණා රජුගේ දූතයන්ට පමණක් බව ද කියනු ලැබේ.
සිංහරාජයා සිංහරාජය පුරා පතුරුවාගෙන සිටි අණසකට විරුද්ධ වූ යෝධයෙකු සිටි බව ද ඔහු විශාල ගල්වලින් පහර දී සිංහයා මරා දැමු බව ද කියනු ලැබේ. 

සිංහයා සිටි ගල්ලෙන සිංහ ලෙන ලෙසින් ද, යෝධයා පහර දුන් ගල් එකතු වූ තැන යෝධගල්ගොඩ නමින් වර්තමානයේ දී පවා පවතින බව ද කියනු ලැබේ.

සිංහරාජයේ පවතින ශාක හා ඖෂධ වර්ග අතර වෙනිවැල්, රසකිඳ, රණබෙරලිය, ගල් වෙරළු, බෙරලිය, තිනිය, බටුනා, කීන, හැඩවක, මලබොඩ, දියනා, කිතුල් ආදිය ද වේ. යටිරෝපණයක් ලෙසින් ඉඟුරු කුලයට අත් මඩොල්, අතුකැටිය ආදිය පවතී.

සිංහරාජයේ ඕකිඩ් වර්ග පනහකට වඩා පවතී. වෙසක් මල්, පොසොන් මල්, වනරාජ, ඉරුරාජ, නාරිලතා, නිල් බිනර, සුදු බිනර ආදි දුර්ලභ ගණයේ මල් වර්ග ද පවතී. මාවේවැල්, කුඩා වේවැල් ආදි සියලු ම වේවැල් වර්ග ද පවතී.

1 Response to රාම-රාවණා සිදුවීමට අදාළ ඔසු උයන්

August 10, 2012 at 7:51 PM

රාම රාවන සිදුවීම තුල රාවණාගේ ක්‍රියාකලාපය පිලිබඳ ඔබගේ පෞද්ගලික මතය ප්‍රකාශ කල හැකිද ?

Post a Comment

අදහස් සහ උදහස්