රාමා, සීතා, රාවණා සහ හනුමාන් සොයා ඉතිහාසයට ගිය ගමනක් - 2
සීතා දේවී
දිවුරුම් දුන්
දිවුරුම්පොළ
කාන්තාවක පතිව්‍රතා ධර්මය දිවිහිමියෙන්ම ආරක්ෂා කිරීම හෙවත් පතිවත සුරැකීම මොනතරම්
බලගතු බලවේගයක් දැයි රාම - සීතා ප්‍රබන්ධය ආශ්‍රයෙන් අපට දැනගත හැකිය. පතිවත යනු
තුට්ටුවක් වත් වටිනා දෙයක් නොවන තරමට නොසලකා හැර ඇති මෙවන් යුගයක සීතා දේවිය කාන්තා
ජීවිතයට උගන්වන්නේ අමරණීය වූ පාඩමකි.
පතිව්‍රතා දහමට අසීමිත, අනම්‍ය හා අද්විතීය වූ බලයක් තිබේ. එබැවින් සෑම අම්මා
කෙනෙකුම වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම නියම අම්මා කෙනෙක් නොවන්නේ ය.
සිය දිවි පරදුවට තබා පතිවත සුරැකි සීතා දේවිය වරෙක හනුමාන්ට අනඟි වරයක් දුන්නාය.
එනම් රාම- රාවණා යුද්ධය පවතින අතරතුර ගින්නෙන්, ජලයෙන් හෝ වෙනත් කිසිදු
උපද්‍රවයකින් හනුමාන්ගේ ජීවිතයට අනතුරක් නොවේවා යන්නයි. එය එලෙසින්ම ඉෂ්ට විය. රාම
– රාවණා යුද්ධය ජය ගැනීමෙහි ලා රාමට පුරෝගාමී සහාය ලැබුණේ හනුමාන්ගෙනි. සීතා දේවිය
ඔහුට එවන් වරයක් දුන්නේ ද ඒ නිසාමය.
රාම – රාවණා යුද්ධය අතිශයින්ම දරුණු විය. දෙපැත්තෙහිම මියගියවුන්ගේ ගණන ගණන් ගත
හැක්කේ කෝටි ගණනිනි. රාම මෙන්ම ප්‍රතිමල්ලවයා වූ රාවණා ද කරට කර සිටීම යුද්ධය
මෙතරම් දරුණු වීමට හේතු විය. විශාල විනාශයකින් පසු රාවණා මරා දැමූ රාම යුද්ධයෙන් ජය
ගත්තේය. අනතුරුව රාම සහ සොහොයුරු ලක්ෂමණ දෙදෙනා රාවණා මියයාමෙන් හිස් වූ ලංකා
රාජ්‍යයේ සිංහාසනයට විභීෂණ නමැති රාවණාගේ සහෝදරයා ඔටුනු පලඳවා පත් කළේය.
සීතා දේවිය ඒ වනතුරු ද කාලය ගත කළේ අශෝක වනයෙහි රාවණාගේ ආරක්ෂක හමුදා මැද්දේය. දැඩි
ශෝකයට පත්ව කඳුළු වගුරුවමින් ඇය කාලය ගතකළාය. ඇය ඇඳ සිටියේ කිළිටි වූ වැරහැලි
වස්ත්‍රය. අලංකාරව තිබූ කේශකලාපය හැඩපලු ගෙතී තිබුණි. ආහාර වර්ජනය කළ නිසා කෙසඟව
රූපය අවලක්ෂණව ඇය කාලය ගත කළාය.
රාම-රාවණා යුද්ධයේ එක් අවස්ථාවකදී රාවණාගේ බලගතු ප්‍රහාරයන්ගෙන් යුද බිම මැරී වැටුණ
රාම ලක්ෂමණ දෙදෙනාට නැවත ජීවත්වීමට වරම් දුන් මහා වීරයාණන් වූ හනුමාන් අශෝක වනයට
ගියේය. ගොස් රාම විසින් රාවණා මරණයට පත් කරනු ලැබූ බව සීතා දේවියට සැළ කළාය. සීතාගේ
සතුට නිම් හිම් නැති විය. ඇය එවේලෙහි සිටි ස්වරූපයෙන්ම රාම හමුවීමට යාමට සූදානම්
වූවාය.
එවිට ලක් රජයේ අලුතින් රාජ පදප්‍රාප්ත වූ විභීෂණ (විභීෂණ යනු රාවණාගේ බාල
සොහොයුරාය. ඔහු රාවණාගේ දුෂ්ට ක්‍රියා අනුමත නොකළා පමණක් නොව රාවණාට විරුද්ධව රාමට
සහයෝගය ද දැක්වූයේ ය) රජුගේ දේවිය වූ සුරමා රැජන සීතා හමුවට පැමිණියාය. ඇය සීතා
දේවිය ස්නානය කරවා සුන්දර වූ වස්ත්‍රාභරණයෙන් සරසවා, මනමෝහනීය රූසපුවෙන් යුක්තව සිය
වල්ලභයා වූ රාම වෙත යැව්වාය. සීතාගේ සතුට නිම්-හිම් නැත.
එහෙත් එලෙසින් සැරසී ආ පමණින් ඇය පිළිගැනීමට රාම සූදානම් නැත. සීතාදේවිය දිගුකලක්ම
ගත කළේ රාක්ෂසයන්ගේ පුරවරයේ ඔවුන්ගේ තාඩන – පීඩන මැදය. ඇයගේ පතිවතට රකුසන්ගෙන්
කැළලක් සිදුවී ඇත්නම් ඇය යළි භාරගන්නට රාම සූදානම් නැත. ඔහු ලෝකාපවාදයෙන් ද මිදිය
යුතුය. එබැවින් ඔහු කළේ අග්නි පරීක්ෂණයෙන් පතිව්‍රතා දහම සුරැකි බව සහතික කරන්නැයි
සීතාට අණ කිරීමයි.
ගින්නට පනින කවුරුන් වුවද එම ගින්නෙන් දැවී පිළිස්සී මිය යන බව පුදුමයක් නොවේ.
එහෙත් පතිව්‍රතා බලමහිමය අසාමාන්‍ය -අද්විතීය බලවේගයකි. සීතා අග්නි පරීක්ෂණයට එකඟ
වන්නේ එක හිතින්ය. ලක්ෂමණ කුමරු අති විශාල පිරිසක් මැද්දේ බිහිසුණු ගිනි ජාලාවක්
සූදානම් කරයි. ගිනිදැල් බුර බුරා පැනනඟී.
සීතා දේවිය ඉතින් මා දිවිහිමියෙන්ම පතිව්‍රතා දහම සුරැකි භාර්යාවක වී නම් මේ
ගින්නෙන් නොදැවේවා! පතිදහම සිඳලූ දුරාචාරිණියක වී නම් මේ ගින්නෙන් පිළිස්සී මා
අළුගොඩක් බවට පත්වේවා යයි යන අධිෂ්ඨානයෙන් යුතුව ගිනිගොඩ මැදට පැන සත් වතාවක් එහි ඒ
මේ අත ඇවිද්දාය. ඇගේ සිරුරේ එක රෝමයකුදු ගින්නෙන් නොපිළිස්සුණේය.
රාම මෙන්ම ඔහුගේ පාර්ශ්වයේ පිරිස් ද සීතා සුපිරිසුදු පතිනියකයි පිළිගත්තේ අනතුරුවය.
මේ ආකාරයෙන් සීතා දේවිය දිවුරුම් දුන් ස්ථානය පිළිබඳව මත කීපයක්ම අනාවරණය වේ.
එකකින් කියන්නේ ඇය දිවුරුම් දුන්නේ මුහුදු වෙරළෙහි ගැසූ ගිනි ගොඩකදී බවයි. අනිත්
මතය නම් සීතාඑළියට කිලෝ මීටර් කීපයක් නුදුරින් නුවරඑළිය – වැලිමඩ මාර්ගයේ පිහිටි
දිවුරුම්පොළ දී ඇය දිවුරුම් දුන් බවයි – එහි ඇය දිවුරුම් දුන් තැන දිවුරුම්වෙල
පුරාණ රජ මහා විහාරය ඉදිවී ඇත. කලක් දිවුරුම්පොළ පුරාණ රජ මහා විහාරය නමින්
හැඳින්වුණ මෙම සිද්ධස්ථානය දැන් දිවුරුම්වෙල නමින් හැඳින්වෙයි.
එහි ඓතිහාසිකත්වය හා බැඳුණ ජනකතා කීපයක් දායක සභාවේ ආර්.ඇම්.ජයතිලක මහතා මා හමුවේ
අනාවරණය කළේ මෙලෙසිනි.
”අර ඈතින් පෙනෙන කඳු වැටියට කියන්නෙ ස්ත්‍රීපුර කන්ද කියල. ස්ත්‍රීපුර කන්දෙ
සුප්‍රසිද්ධ ගල් ගුහාවක් තියෙනව. රාවණා රජ්ජුරුවො දඹදිව සිට පැහැරගෙන ආපු සීතා
දේවිය හංගලා තිබ්බෙ ඔය ගල්ගුහාවෙ ඇතුළේ. ගල් ගුහාවෙ ඉඳල උමං මාර්ග තුනක් තියෙනව.
එකක් නුවරඑළියෙ සීතාඑළියට. එකක් බණ්ඩාරවෙල දෝවෙ පන්සලට. අනික ඇල්ල- වැල්ලවාය පාරෙ
රාවණා දිය ඇල්ලට”
මේ දිවුරුම්පොළ පන්සලේ ඉඳලා බැලූතෙක් මානෙ පෙනෙන ගම්මානයක් තියෙනව. ‘රාම ලංකාගම’
කියල තමයි කියන්නෙ. මෙතන ඉඳන් කිලෝ මීටර් භාගයක් ඇති නැති තරම්. සීතා සොයාගෙන දඹදිව
හිටන් ආපු රාම රජ්ජුරුවො ගොඩබැස්සයි කියන්නෙ ඔය ගමට. ඒකලු ඒ ගම රාම ලංකාගම වුණේ”
ජයතිලක මහතා මා සමඟ කීවේය.
සීතා දේවිය විශාල ගිනි ජාලාවකට පැන පතිව්‍රතා බලමහිමය විදහා පෑ තැන පෙන්වන්නට ද
ජයතිලක මහතා මා කැටුව ගියේය.
”මේ බෝධිය බොහොම පැරණි එකක්. බෝධිය මුල මේ පුංචි චෛත්‍යය ඉදිකරල තියෙන්නෙ සීතා
දේවිය ගින්නට පැනල දිවුරපු තැන කියල තමයි කියන්නෙ” තවදුරටත් ජයගිලක මහතා කීවේය.
දිවුරුම්වෙල රජ මහා විහාරයේ දෙහිවින්නේ අත්ථදස්සී හිමියන් වැඩ විසූ කාලයේ සුවිශේෂී
සිදුවීමක් පිළිබඳව ද ජයතිලක මහතා සිය මතකය අවදි කළේය.
”ඒ කාලෙ මෙතන නඩුත් විසඳපු තැනක්. විත්ති – පැමිණිලි දෙපැත්තම මෙතෙන්ට ගෙන්නනව.
ගෙන්නලා නඩු විභාග කරල වරද කරපු කෙනාට කියනව මේ කළ වැරැද්ද මින්මනත මං ආයෙමත්
කරන්නෙ නෑ කියල දිව්රන්ඩ කියල”
දිවුරුම්වෙල හා දිවුරුම් පොළ යන ග්‍රාම නාම ඇතිවීමේ කතා පුවත් ජයතිලක මහතා මා
ඉදිරියේ අනාවරණය කළේ එලෙසිනි.
No Response to "සීතා දේවී දිවුරුම් දුන් දිවුරුම්පොළ"
Post a Comment
අදහස් සහ උදහස්