ගුවන් යානයක ආකෘතියක් සීතා එළියෙන් හමුවෙයි
රාමා, සීතා, රාවණා සහ හනුමාන් සොයා ඉතිහාසයට ගිය ගමනක් - 5

රාවණා රජුගේ ඔසු උයන පිහිටියේ දැනට හග්ගල උද්භිද උද්‍යානය පවතින තැන බැව් කියනු
ලැබේ. එය පිහිටියේ ද සීතාඑළියට නුදුරිනි. සීතාඑළිය සහ හග්ගල පසුබිම් කරගත් හග්ගල
කන්ද රාම – රාවණා සහ සීතා ප්‍රවාදය පිළිබඳ රහස් ගොන්නක් සඟවාගෙන නිසොල්මනේ සිටී.
හග්ගල දැඩි ස්වභාව රක්ෂිතයක් වන්නට පෙර එම කඳු මුදුනට නැඟි ගැමියෝ සිටිති. ඔවුන්ගේ
අත්දැකීම් අසන විට මවිතය උපදවයි.
හග්ගල කන්ද පුරා ගල්ගුහා පවතී. ගලින් කළ පඩි පෙළවල් පවතී. මුදුනේ ගල් තලාවක දිය
පොකුණක් පවතී. ගල් ආසන, ගල් තලාව දිගේ විහිදුණු කරත්ත පාරක සලකුණු ආදිය පවතී. හග්ගල
කන්ද මුදුනේ වූ තුරුලතාවල ද දකින්නට ලැබෙන්නේ අමුතුම වෙනසකි. වෙනත් කිසිදු
ප්‍රදේශයකදී දක්නට නොලැබෙන තුරුලතා හග්ගල කඳු මුදුනේ දී දැකගත හැකිය.
එහි පවතින ගස්වල ප්‍රධාන ස්වභාවය නම් ඒවා කුරු ස්වභාවයක් ඉසිලීමයි. අවුරුදු දෙතුන්
සියය පැරණි ගස් පවා උසින් අඩි 3-4 නො ඉක්මවයි. වනාන්තරය මැද සිටගත් විට තුරුලතා
උස්වන්නේ මිනිසුන්ගේ ඉඟ පෙදෙසට පමණි. එහෙත් ඒවායේ කඳන් සුවිශාලය. ගස්වල විශාල අතු
ප්‍රමාණයක් පවතී. ඒවා ද කෙළින් නොවැවී ඇඹරුණු ස්වරූපයකින් පවතී. ගසක ස්වරූපය
දිගහැරි කුඩයක් සේ වෙයි. මේ අතර නමින් හඳුනා ගත නොහැකි ගස් වර්ග ගණන සුවිශාලය.
වැඩිපුරම ඇත්තේ අශෝක ගස්ය. සීතා පේර නමින් හඳුන්වන රසැති පලතුරු ගස් වර්ගයක් පවතී.
ඒවා ද වැවෙන්නේ පඳුරු සහිතවය. මංමුලාවැල් නමින් වැල් වර්ගයක් ද එහි තිබේ. ඒවා
පෑගුණු විට මඟ වරදී. පාර සොයාගත නොහැකිව මංමුලා වේ. සැඟවූ සීතා සොයා එන රාමගේ
හමුදාව අතරමං කරවනු පිණිස රාවණා විසින් මංමුලාවැල් වවන ලද බවට මතයක් පවතී.

මේ අසිරිමත් සීතාඑළිය සහ එය ඉම කොට ගත් හග්ගල කන්ද පිළිබඳ තොරතුරු ස්වල්පයක් පමණි.
දැනට ජීවතුන් අතර නැති සීතාඑළියේ රංජිත් මහතා පෙර විටෙක හග්ගල කන්දේ අද්භූත දේ
පිළිබඳ බොහෝ විස්තර මා හා පවසා ඇත.

”එතකොට මං පුංචි කොල්ල කාලෙ. ඉන්දියාවෙ හින්දු පූජකවරු කීපදෙනෙක් ආව සීතාඑළියට.
මගෙන් ඇහුව හග්ගල කන්දට නඟින්ඩ පාර පෙන්නන්ඩ පුළුවන්ද කියල. මං පාර පෙන්නුව. ටික
දුරක් නඟිද්දි එක පූජකයෙක් ගහක කොළ වගයක් කඩල අතේම පොඩි කරල ඉස්ම ටික ගත්ත. ඒකට
දැම්ම තඹ සතේ කාසියක්. ඒ කාසිය දියවුණා. ඊට පස්සෙ තවත් ගහකින් කැඩුව කොළ කීපයක්. ඒක
කඩල මිරිකලා ඉස්ම අරන් කාසිය දියවුණු වතුරට දැම්ම. ඒ පාර කාසිය ආයෙමත් තිබුණ වගේම
අපූරුවට හැදුණ. ඒ ගොල්ල හග්ගල කන්දෙ ගහ කොළට හරියට ගරු සත්කාර කළා. වැඳ නමස්කාර
කළා. රංජිත් මහතා හග්ගල කන්ද පිළිබඳ එලෙසින් මා හා කියා තිබේ.
පුරාණයේ එක්තරා දිනෙක සීතාඑළියේ පිරිසක් එකතුව නිධානයක් ගැනීමට කළ තැතත් පිළිබඳ
මතකය රංජිත් මහතා මවෙත අනාවරණය කළේ මෙලෙසිනි.
”සීතාඑළියෙ තිබුණ අංජනම් එළි බලල සාස්තර කියන තැනක් - ගෙදර වත්තෙ දේවාලයක් හෙම හදල
ජයටම මේ වැඩේ කළා. හැබැයි කරපු කියපු හැම දෙයක්ම සත්ත වුණා. දෙවියන්ගෙන් ඉල්ලා
සිටින කාරණා ඉෂ්ට කරල දෙන්නෙ හනුමන් දෙවියො.
දවසක් දා අඳුන බලන ගුරුන්නාන්සෙ දේවාලෙ පූජාවක් ලැහැස්ති කළා. ඒකට සහභාගි කර ගත්තෙ
විශ්වාසවන්තම දෙතුන් දෙනෙක් විතරයි. අපි එතකොට අවුරුදු දොළහෙ – පහළොවෙ කොල්ලො.
පූජාවට වුවමනා අඩුම- කුඩුම හෙව්වෙ අපි. හැන්දැවෙ ගුරුන්නාන්සෙ පූජාව පටන් ගත්ත.
හොඳට පේවෙලා හෙම මැතිරුව.
පූජාවට තිබ්බ එක බිත්තරේකට වෙනමම මතුරපු ගුරුන්නාන්සෙ ඒක මගෙ අතට දුන්න. පුළුවන්
විදිහකින් ඔය බිත්තරය බිඳින්න කියල කිව්ව. අපි උත්සාහ කළා. ඒත් බැරිවුණා. බිත්තරේ
හරියට ගල් ගෙඩියක් වාගෙ තදයි. ටික වෙලාවකට පස්සෙ ගුරුන්නාන්සෙ ආවේශ වුණා. ආවේශ වෙලා
කිව්ව තමන් හනුමන් කියන දෙවියො කියල. වැඩ වාසය කරන්නෙ සීතාඑළියෙ කෝවිලේ කියලත්
කිව්ව. ආවේශ වුණාට පස්සෙ ගුරුන්නාන්සෙ වානරයෙක් නැත්නම් වඳුරෙක් වාගෙම තමයි. පෙනුම
මනුස්සයෙකුගෙ වුණාට හැසිරුණේ වඳුරෙක් වාගෙ. විරිත්තනව, පැන පැන යනව, ඇඟ කසන්නෙ හෙම
වඳුරෙක් කසනව වාගෙ.

එදා රෑ අපිට කෑම ලැහැස්ති කරල තිබුණ. ගුරුන්නාන්සෙට කෑමට ලැහැස්ති කරල තිබුණෙ
පලතුරු වට්ටියක්. ගුරුන්නාන්සෙ ඒ පලතුරු එක එක දෑතින්ම අරගෙන කෑවෙ හරියට වඳුරෙක්
කනව වාගෙමයි.
පුරාණෙදි සීතාඑළියෙ තවත් කෙනෙකුට රත්තරනින් හදපු ගුවන් යානයක ආකෘතියක් ලැබිල
තියෙනව. නිදන් වළක තිබිල. ඒක රාවණා රජ්ජුරුවන්ගෙ දඬුමොනර යන්තරේ ආකෘතියක් කියල තමයි
කියන්නෙ. ඒ අය ඒක විකුණගෙන බොහොම පොහොසත් වුණා.
ඒ කාලෙ සීතාඑළියෙ හිටපු සමහර උදවිය බලා හිටිද්දි හිතන්ඩ බැරි තරම් පෝසත් වුණා. ඒ
පෝසත් වුණේ නිදන් ලැබිච්චි අය කියලයි කියන්නෙ. බොහොම දෙනකුට වටිනා මැණික් හෙමත්
ලැබුණලු.
සීතාඑළියයි, හග්ගලයි අතරෙ මහපාරෙ එක වංගුවකට කියන්නෙ මැණික් වංගුව කියල. එහෙම
කියන්නෙ එතැන මැණික් හම්බවෙන තැනක් නිසාලු. රෑට රෑ වුණාට පස්සෙ කිසිම කෙනෙක් ඒ
හරියෙන් තට්ට තනියම නම් ගියෙ නෑ. හොල්මන් අවතාර ඇවිත් බයකරන නිසා. ඒ මණ්ඩියෙ තිබුණෙ
වටිනා, පිරිසුදු, අලුත්ම අලුත් මැණික්ලු. හොරෙන් ගෙනියන්ඩ බැරිතරම් විශාල මැණික්
හෙමත් තිබුණලු.
ඒ දවස්වල සමහර වතුවල කළු ගල් කැඩුවෙ බැකෝ යන්ත්‍රවලින්. ගෙවල් හදන්ඩ ගල් කඩනවයි
කිව්වට කෙරුවෙ වෙන දෙයක්. නිදන් තමයි හාරල ගත්තෙ” රංජිත් මහතා මෙවන් තොරතුරු
බොහොමයක්ම මා හා පවසා ඇත.
2 Response to ගුවන් යානයක ආකෘතියක් සීතා එළියෙන් හමුවෙයි
ඔය පලතුරු වතුයි ඒව ගෙනියන්න බෑ කියන එකයි නම් මේ පැත්තේ තියන කඳු කීපයක් සම්බන්ධව ත් තියනවා. හැබැයි ඇත්ත නැත්ත නම් දන්නේ නෑ,
ඒවනම් බොරු..
හොදට ගොතල තියනවා.
Post a Comment
අදහස් සහ උදහස්