Wednesday, June 30, 2010

රූමස්සල

0

 

රූබර රූමස්සල

මාර්ග අංක දෙක දරන ගාලුපාර ගාල්ල නගරය පසුකරමින් ඉදිරියට ඇදෙයි. සියල්ල සෝදා හරින්නට මෙන් දියඹේ සිට වේගවත්ව ඇදෙන සයුරු රළ විවිධ මිනිස් ක්‍රියාකාරකම් නිසා කිලිටු වූ වෙරළතලය සෝදා පිරිසිදු කරමින් තමන්ගේ ගමනාන්තය එහි සනිටුහන් කර යළි සයුර වෙතම දිව යයි. කිසිඳු කඩතොළුවක්, පියවර සටහනක් රහිත වෙරළ තලයක් මැවේ. 

තවත් විටෙක වේගයෙන් ඇදී එන සයුරු රළ පහරක් වෙරළ ඛාදනය වලකන්නට යොදා ඇති ගල් කුට්ටිවල වැදී සොඳුරු දසුනක් මවමින් ඉහළ නඟින්නේ අහස් තලයේ සුදු පැහැ පුළුන් වලා සමඟ මුහුවන්නට යත්න දරන සෙයකිනි. අතොරක් නැතිව සිදුවන මේ ක්‍රියාදාමයන් එසේ ම සිදුවද්දී අප ගමන්ගත් රථය ගාලු පාර දිගේ වේගයෙන් ඉදිරියට ඇදේ. පාරේ වම් පස ගාල්ල සිමෙන්ති කර්මාන්ත ශාලාවයි.
අපගේ ගමනාන්තය සොයා ගැනීමේ මූලික පෙරමඟ සලකුණකි එය. මාර්ගය අසල ම විශාල දැන්වීම් පුවරුවකි. “රූමස්සල කන්ද හා බොනවිස්ටා කොරල්පරය රැකගනිමු” එම දැන්වීම් පුවරුවේ එසේ සඳහන් වේ. අපගේ ගමනාන්තය එසේ අප විසින් රැකගත යුතු සොබාදහමේ අපූරුතම දායාදයක් වූ රූමස්සල කන්ද හා ඒ ආශ්‍රිත පරිසර පද්ධතියයි.

පුවරුව අසලින් දකුණට ඇති කඳුකර මාවත අපව රැගෙන යන්නේ රූමස්සල ගිරි සිරස වෙත ය. එහි නැරඹුම් ස්ථාන බොහෝ ගණනකි. ඒ අතර ඉපැරැණි වෙහෙර විහාර, සුවිසල් බුද්ධ ප්‍රතිමා හා පැරැණි යුගයට අයත් කුලුණු වැනි මිනිසා විසින් ගොඩ නගන ලද අපූරු නිමැවුම් මෙන් ම සොබාදහම විසින් ගොඩනගන ලද විශ්මිත නිමැවුම් ද වෙයි.

රූමස්සල කන්දෙහි අතීත කථාව රාම රාවණා යුගය තෙක් දිවයන අතීතයකට උරුමකම් කියන බව නොරහසකි. රාම රාවණ රජවරුන් අතර ඇති වූ මහා යුද්ධයේ දී තුවාල ලද සේනාවට සුවය ලබා දීම සඳහා එවකට සිට සෘෂිවරයෙක් හිමාලය කන්දෙන් යම් ඖෂධ වර්ගයක් රැගෙන එන ලෙස සෙන්පති හනුමාට දන්වා ඇත. එම කටයුත්ත සඳහා ඉන්දියාවට ගිය හනූමාට අදාළ ඖෂධ පැළෑටිය අමතක විය. 

එබැවින් හේ හිමාලය කන්දෙන් කොටසක් ලංකාවට ගෙන ආවේය. එහි දී ඉන් එක් කොටසක් උණවටුන ප්‍රදේශයේ දී හනුමාගෙන් ගිලි හී උණවටුන කන්ද හටගත් බවත් ඉතිරි කොටස රූමස්සල කන්ද බවත් පුරාවත්වල සඳහන් වෙයි. එම පුරාවත් සිහියට නගන්නටම නිර්මාණය කරන ලද විශාල හනුමා ප්‍රතිමාවක් ගිරි හිසෙහි ඇති බෞද්ධ විහාරයේ දක්නට ලැබේ. එහි දක්නට ඇත්තේ හනුමා නැමැති වානරයා එක් අතකින් යගදාවක් ද අනෙක් අතින් කඳුවැටිය ද ගෙන සිටින අයුරු යි.

අදාළ වෘත්තාන්තයට අනුව පෙනී යන්නේ මෙම රූමස්සල කන්ද ද මහානුභාව සම්පන්න හෙළ ඖෂධවලින් පරිපූර්ණ විය යුතු බවයි. නමුත් අද වන විට නම් මෙම ගිරි හිස තුරුලතාවන්ට කිසිඳු නීතිමය හවුහරණක් නැති සේය. ගිරි හිසෙහි බොහෝ ප්‍රදේශ මිනිස් ජනාවාස බවට පත් වී ඇත. එහි හරිත වර්ණයට දෙස් දෙන්නේ වනජ පැළෑටි නොව ගෘහාලංකරණයට ළවන ලද පැලෑටි ය. ඒ කෙසේ වෙතත් කඳු බෑවුම් ආශ්‍රිතව තවමත් වෙරළබඩ වනාන්තර ගණයට අයත් තුරුලතා දැකිය හැකි ය.
රූමස්සල හිසට කිරීටය බඳු වූ විසල් සෑ රදුන් සිව්දෙස් ලෝකයාටම දම් සක් පතුරුවයි. තවත් පසෙක ඇති විසි එක් රියන් බුද්ධ ප්‍රතිමාව ද ශ්වෙත වර්ණයෙන් යුතුව ඈත දියඹ දෙස බලා ගෙන සමවත් සුවයෙන් කල් ගෙවයි.

රූමස්සල වෙරළ තීරය නම් වචනයේ පරිසමාප්තයෙන් ම සුන්දරත්වයෙන් අග තැන්පත් ය. වැටකෙයා ආදී නොයෙකුත් වෙරළ ශාකවලින් හරිත වර්ණ වූ වෙරළබඩ වනාන්තර ය, කපරාදු කරන ලද බිත්තියක් තරමටත් වඩා සිනිඳු වෙරළ හා ඊට ඔබ්බෙන් ඇති නිල්වන් සයුරු තීරය ද ඒ දෙක යා කරන කිරිපැහැ පෙණ පිඬුඳ ඒ සුන්දරත්වයට නොමදව තම දායකත්වය සපයයි.

වනාන්තරයකින් වට වූ වෙරළ තීරයෙහි හුදෙකලාව ද චමත්කාරජනකය . නිදහස් ය. විදේශිකයින් පිරිසක් සයුරු දියෙහි කිමිදෙමින් විනෝද වෙති. අප ද නිම්හිම් නැති සතුටිනි. ඒ තවත් මොහොතකින් අපි ද කරදියෙන් අපේ සිරුරු සන්තර්පනය කරගන්නා බැවිනි. සයුරු දියමත පනින හිරු කිරණ එයින් පරාවර්තනය වන්නේ සයුර ම එකම රිදී තැටියක් බවට පත් කරවමිනි. ඈත ක්ෂිතිජයේ නැවක් දිසේ.
ඇඳුම් උනා දැමූ අපි රැල්ල ගසන මානයට ගොස් වැල්ලේ හිඳ ගතිමු. සුදු පෙණ පිඬු පෙරටු කරගත් කරදිය තවත් මොහොතකින් අප ගත තෙමා හලේ අපගේ දාහය මදින් මද නිවීම අරඹමිණි.
අපි කරදිය වින්දෙමු. ඔබ මොබ පිහිනා ගියෙමු. කොතරම් වෙලා පිහිනුව ද පාදයේ කෙන්ඩ පෙරළෙන්නේ නැත.

රූමස්සල ගැන කථා කරන විට බොනවිස්ටා කොරල් පරය ගැන කථා කරන්නට අත්‍යාවශ්‍ය ම ය. කොරල් පර වනාහී සයුර යට තැනුණු වීදුරු මාලිගාවක් වැන්න. එය ද සොබා දහමේ අනන්තවත් මැවුම්වලින් එකකි. පොලිප් නැමැති කුඩා මුහුදු ජීවීන් වෙසෙසක් විසින් නිර්මාණය කරන සැකිලි එක් වීමෙන් තැනෙන මෙම කොරල් පරවල කථාවත්, කොරල් පර තරම් ම සුන්දර ය. නෙත් පිනවන කොරල් පරයක් තැනීම සඳහා ඉතා මෘදු විනිවිද පෙනෙන කුඩා පොලිප් ජීවීන් දස දහස් ගණනක් දායක වේ.
මුහුදු ජලයේ ඔබ මොබ සැරිසරන මෙම ජිවීන් තද මතුපිටක් සහිත ස්ථානයක් මුණ ගැසුණු විට එහි ඇලී ඉනික්බිතිව වේගයෙන් සැකිලි නිර්මාණය අරඹයි. 

කෙමෙන් කෙමෙන් වර්ධනය වී එකට බන්ධ වන මෙම සැකිලි සමූහයක් කොලනියක් හෙවත් ඝනවාසයක් ලෙස හැඳින් වේ. මෙම ජීවීන් ජලයට මුදා හරිනු ලබන බිජුවලින් හටගන්නා ජනිතයන් ද එක් වෙමින් වසර දහස් ගණනක් තුළ මේ කොලනිවලින් අවසන් ප්‍රතිඵලය වන සුන්දර කොරල්පර හටගනී.
ගාලු වෙරළේ අප රැඳී සිටින කුඩා වැල්ල හෙවත් බොනවිස්ටා පරයට අමතරව ලෝක ප්‍රසිද්ධ හික්කඩුව අම්බලන්ගොඩ මාතර තංගල්ල රැකව මහා රාවණා හා කුඩා රාවණා, පාසිකුඩා, කල්කුඩා, නිලාවේලි, කුච්චවේලි, මන්නාරම, කල්පිටිය, ආදී ලෙස දිවයින වටාම වෙරළ තීරවල ද යාපනය හා ඩෙල්ෆ් වැනි තදාසන්න දූපත්වල ද කොරල්පර සුලභව ව්‍යාප්තව තිබුණත් ලෝකයේ බොහෝ වෙරළ තීරයන් කොරල් පර ලබන්නට තරම් වාසනාවන්ත වී නැත.

නිරක්ෂයේ සිට අංශක 30 බැගින් උතුරු හා දකුණු දිශාවන්ට ඇති සීමිත ප්‍රදේශයක් තුළ පමණක් මීටර 50 දක්වා ගැඹුරු ඇති හිරු එළිය වැටෙන ප්‍රදේශවල පමණි. මෙම කොරල් පර දකින්නට හැක්කේ. ශ්‍රී ලංකාවේ වෙරළ කලාපයේ උෂ්ණත්වය ද මීට රුකුලකි. පිහිටීම අනුව කොරල් පර වර්ග කිහිපයකි. එනම් ගැටි පර, බාධක පර හා අතොල පරයි. මේ අතරින් ශ්‍රී ලංකාව අවට වෙරළේ නිරතුරුව දැකිය හැක්කේ ඉතා සෙමෙන් වැඩෙන වෙරළ බඩ කලාපයේ බහුලව පිහිටා ඇති ගැටි පරයි.

වනාන්තර, විල්ලු මෙන්ම කොරල්පර ද ඊටම ආවේණික වූ ජෛව විවිධත්වයකට හිමිකම් කියන පරිසර පද්ධතියක් වන අතර ක්ෂුද්‍ර ජීවීන් හා නොදියුණු ශාක ද කුඩා මුහුදු ජීවීන් ද මේ ඇසුරේ ආහාර හා ආරක්ෂාව ලබයි. එමෙන්ම බෙල්ලන්, කවඩි, ස්පොන්ජි වැනි කුඩා ශාක හා සත්වයන් ද හිරිගල් හා කොරල් පර ආශ්‍රිතව ජීවත් වේ.

නිමක් නැතිව රළ නඟන වෙරළට මීටර 50ක් පමණ ඔබ්බෙන් සුදු පැහැති ඉපිලුම් පෙළක් දක්නට ලැබේ. වෙරළේ සිට ඊට ඇති දුර එක් එක් තැන්වල වෙනස් ය. ඒ අනාරක්ෂිත මුහුදු කලාපයන් සටහන් කරන රේඛා බව ගමන් සඟයෙකුගෙන් දැනගතිමි. ඉන් ඔබ්බට පිහිනා යෑම් අනතුරු සහිත ය. නමුත් දේශීය සංචාරකයෙක් එම සීමාව ඉක්මවයි.

වෙරළෙ හි මුහුදු ලිහිණියෙකු හෝ වෙනත් කුඩා පක්ෂියෙකු හැරෙන්නට අලි කොටි වලසුන් නැති බව කිවයුතු නැත. විදේශිකයෙක් ඉතා නවීන කැමරාවකින් පත්‍රයක වසා සිටින කෘමියෙකු සටහන් කර ගනු පෙනේ. 

මිහිමත මුලින් ම ජීවය බිහිවන්නේ සාගරයේ ය. ඉන්පසු කෙමෙන් කෙමෙන් මෙම ජීවය සාගරය අබිබවා ගොඩබිම දක්වා ද පැතිරෙන්නට පටන් ගනී. ජීවය සාගරයේ සිට කෙමෙන් කෙමෙන් ගොඩබිමට පැමිණෙයි. එයින් උභය ජීවීන් හට ගනී. එමෙන් ම සයුර හැරදා ගොඩබිමට ගමන් කරන්නට වෙර දරා අසාර්ථක වූ තවත් බොහොමයක් දෙනා මෙම දියගොඩ මංසන්දියේ නැවතී සිටී.

ගොළුබෙල්ලන්, කාවාටියන්, ඉකිරියන් මෙන් ම තවත් කරදිය ශාක ද මෙසේ වෙරළේ දැකිය හැකි ය. මොවුන් බොහොමයක් වෙරළේ ගල්පර වලට සදහටම ඇලී සිටිති. සිදු කරන්නේ ඉතා සියුම් චලන පමණි. සිරුර පුරාම කටු පුරවාගත් ඉකිරියන් තරමක් භයානක ය. ඒ උන්ගේ කටු සිරුරේ ඇනීම සුබදායක නොවන බැවිනි. එමෙන් ම ගොළුබෙල්ලන් වැනි තවත් සතුන් ද මෙසේ වසති. 

සයුරු රළ පහරක් මේ ගල්පර වසාගෙන පැතිරී යළිත් ඒවා ජලයෙන් නිරාවරණය වූ වහා නිරීක්ෂණය කළ හොත් මෙම බෙල්ලන් ගේ කවඩ ගල් පතුරෙන් මඳක් එසවී ඇති බව දැකිය හැකි ය. යලිත් ඒවා ගල් පෘෂ්ඨයට ඇලේ. යළි රළ පහරක දී මෙම කවඩ ලිහිල් වේ. මෙය නිරන්තරයෙන් ම සිදු වේ. සයුරු රළ ගෙන එන්නේ තම ඇකයේ වෙසෙන් දරුවන්ට අහරය. බෙල්ලන් ඉකිරියන් මේ කරන්නේ සයුරු දිය මගින් කුඩා කුඩා ප්ලවාංග ආදී ආහාර ලබාගැනීමයි.

එසේ ම කකුළුවන්ද වෙරළේ දී දැකිය හැකි සුලභ ජීවීන් ය. ඉතා හොඳින් නිරීක්ෂණය කර හොත් එකිනෙකාට වෙනස් කකුළු වර්ග බොහෝ හඳුනා ගැනීම අපහසු නැත.

වෙරළේ ඔබ මොබ දිවයන උන් ඉතා ක්‍රියාශීලී ය. තවත් තැනකදී ගොළුබෙල්ලකු වේගයෙන් ඇවිදයනවා ඔබට දකින්නට පිළිවන. නමුත් සාමාන්‍යයෙන් ගොළුබෙල්ලකු වේගවත් වන්නේ ද, ඇවිදින්නේ ද නැත. හොඳින් නිරීක්ෂණය කර හොත් ඔබට මේ වෙනස හඳුනාගත හැකි ය. ඒ තාපස කකුළුවා ය. සයුරෙන් ගොඩබිමට සංක්‍රමණය වීම නම් සොබා දහමේ ප්‍රබල සංසිද්ධියට දායක වූවෙකි. 

මෙම තාපස කුළුවාත්, වෙරළේ දී නොයෙකුත් අතුරු ආන්තරාවලින් බේරී සිටීමට ඌ අපූරු උපායක් සොයා ගනී. ඒ මියගිය ගොළුබෙල්ලෙකු ගේ කවඩයකි. කකුළුවා ගොළුබෙලි කටුව තුළට රිංගා ගෙන ඉන් ආරක්ෂාව ලබයි. ගමන් කරන විට ගොළුබෙලි කටුව ද රැගෙන යන ඌ අනතුරක ඉව වැටුණු සැනින් කටුව තුළටට රිංගාගනී. 

එය සියුම්ව නිරීක්ෂණය කළ හොත් ගොළුබෙලි කටුව තුළට රිංගාගත් කකුළුවා එහි සිදුර තමාගේ එක් අතකින් වසාගෙන කිසිඳු උපද්‍රවයකට භාජනය නොවී සිටින අයුරු අපූරුවට දැක ගත හැකිය. සොබා දහමේ අපූරු නිමැවුම් එපිරිදි ය. සමහර විට ඒවා සියුම් ය. සමහර විට සංකීර්ණ ය. ඒ කෙසේ වෙතත් සොබා දහම් අම්මා තම ඇකයේ රැඳී සිටින දරුවන්ට හැකි උපරිම අයුරින් ආරක්ෂාව හා ආදරය ලබා දීමට උත්සාහ කර තිබේ.

Wednesday, June 23, 2010

වාල්මිකීගේ රාමායණය ඉතිහාස විරෝධී ග්‍රන්ථයකි

1

2010 පෙබරවාරි 24 දින මහාචාර්ය වික්‍රමතුංග මහතා දිවයින බදාදා අතිරේකයට යොමු කළ "රාවණ අධිරාජ්‍යයේ ඔටුන්න හිමි කුමාරයා" සිරස්‌තලය යටතේ පළකළ ලිපියේ කරුණු ගෙන හැර දැක්‌වූ වාල්මිකීගේ රාමායණය මූලාශ්‍ර කරගෙන රචිත ලිපියේ අඩංගු කරුණු ශ්‍රී ලංකා විරෝධී ග්‍රන්ථයක්‌ මූලාශ්‍ර කරගෙන රචනා වී ඇති බව එතුමාට නොවැටහුනද, එහි අඩංගු කරුණු මෙරට ඉතිහාසයට සෘජු බලපෑම් එල්ල කරනු ලබන ප්‍රබලම ශ්‍රී ලංකා විරෝධී ග්‍රන්ථයක්‌ බව කිව යුතුය.

වාල්මිකීගේ රාමායණය ඉන්දියාවට ප්‍රධාන මූල ග්‍රන්ථයක්‌ වුවාට ශ්‍රී ලංකාවේ බෞද්ධ, මුස්‌ලිම්, ක්‍රිස්‌තියානි ජාතීන්ගේ පිළිගැනීමට ලක්‌වූ ග්‍රන්ථයක්‌ නොවේ. එය මෙරට ඉතිහාසය සොයා ගැනීමට මූල ග්‍රන්ථයක්‌ ලෙස කිසි විටෙකත් භාවිතයට නොගනී. මන්දයත් එය ශ්‍රී ලංකා විරෝධි ග්‍රන්ථයක්‌ බැවිනි. 


එබැවින් එහි පරිච්ඡේද කිහිපයක අඩංගු කරුණු ගෙනහැර දක්‌වමින් ශ්‍රී ලංකාවේ පාලකයකු ලෙස කටයුතු කළ රාවණ රජු ගේ ඉතිහාසය මතු කිරීමට උත්සාහ දැරීම මෙරට ඉතිහාසයට සිදු කරන්නා වූ බලවත් ෙද්‍ර`හීකමකි. ලොවපුරා තායිලන්ත, රාමායණය, වාල්මිකීගේ රාමායණය, දෙමළ රාමායණය ආශ්‍රිත කොට ගෙන ග්‍රන්ථ රචනා වී ඇත. කාලිදාසයන්ගේ ජානකීහරණයට ද මූලාශ්‍ර කොට ගෙන ඇත්තේ වාල්මිකීගේ රාමායණයයි. 

ප්‍රථමයෙන් මෙම වාල්මිකීගේ රාමායණය කුමක්‌ දැයි හඳුනාගත යුතුය. මුල් අවස්‌ථාවේ ග්‍රන්ථයක්‌ ලෙස නොපැවති මෙය සංස්‌කෘතික ශ්ලෝක 24000 කින් සැකසී තිබුණි. සමස්‌ත රාමායණයට අනුව වාල්මිකී යනු සොර දෙටුවෙකි. ඔහු වනාන්තරයේ මං පහරමින් සිට පසුව සෘෂිවරයෙක්‌ බවට පත්විය. මෙය වාල්මිකී නම් සොරදෙටුවා රාජ වරප්‍රසාද ලබා ගැනීමට රාම නම් අසත්පුරුෂයාගේ ස්‌වකීය බිරිඳ වන සීතා එළවා දැමීමෙන් පසු ඇය තම අසපුවේ තබාගෙන ඊතණ ගසකින් සීතාවට ඕපපාතිකව දරුවකු පහළ කර දෙයි. 

මෙවැනි ප්‍රකාශ, මනස්‌ගාත, මනෝවිකාර බව ලොව ඕනෑම බුද්ධිමතකු පිළිගනී. රාමායණයට අනුව එම දරුවන් දෙදෙනා ලව, කුස නම් වේ. මින් එක්‌ දරුවෙක්‌ වාල්මිකීගේ බව ඊතණ ගසකින් සීතාවට දරුවකු ලබාදීමෙන් තහවුරු වී ඇත. ස්‌ත්‍රියක්‌ වෙත පුරුෂාධිපත්‍ය පැතිරවීම ඉන්දියානු සම්ප්‍රදායකි. එය හෙළයට වලංගු නැත. ඔවුන් සමාජ විරෝධී සති පූජා පැවැත්වූ මිලෙච්ඡ ජන කොට්‌ඨාසයකි. ලක්‌දිව හෙළ කාන්තාව කිසි විටෙකත් තම සැමියා මියගිය පසු ගිනිමැලයට ඇද දමා ඇති බවට කිසිදු සාධක හෙළ ඉතිහාසයේ නොමැත. එබැවින් වික්‍රමතුංග මහාචාර්යවරයා රාවණා රජුගේ පුත් ඉන්ද්‍රජිත් නම් තැනැත්තෙකුගේ බිරිඳ සැමියාගේ වියෝවෙන් පසු ගිනිමැලයට පැන්නේ කුමන පරිච්ඡේදයේ දැයි හෝ සංස්‌කෘතික ශ්ලෝක පාඨයක්‌ රාමායණ තුළින්ම පෙන්වන ලෙස ඉල්ලා සිටිමි.

වාල්මිකීගේ රාමායණය ලෝක සාමයට තර්ජනාත්මක ග්‍රන්ථයකි. මෙම ග්‍රන්ථය ඉන්දියානු ජන සමාජයට බමුණන් විසින් ඒත්තු ගැන්වීම තුළින් ඔවුන්ගේම අසල්වැසි ශ්‍රී ලංකාව ආක්‍රමණය කිරීමට ඉන්දියානු ජන සමාජය පොළෙඹවයි. මේ සඳහා ඔවුන් ආගමික විගඩමක්‌ ද රාමායණය තුළින්ම ගොඩනගාගෙන ඇත. එනම් දුසේරා නම් ආගමික පූජාවක්‌ මගින් වාර්ෂිකව රාවණා, ඉJද්‍රජිත්, කුඹුක්‌කන් යන චරිත පුළුස්‌සා දමමින් විකෘති මානසික තෘප්තියක්‌ අද දක්‌වාම කරනු ලබයි. ඔවුහු මෑතක්‌ වන තුරුම විවාහක බිරිඳ ගිනි මැලයට දමා සති පුජාව පවත්වති.

වාල්මිකීගේ රාමායණය අනුව නම් වාල්මිකී නැමැත්තා ද විකෘති මානසික තත්ත්වයකින් හෙබි අයකු බව එම ග්‍රන්ථය මනා ලෙස අධ්‍යයනය කරන ධර්මිෂ්ඨයකුට වටහා ගත හැක. බුදු දහමට අනුව වාල්මිකීගේ රාමායණයේ එන රාම, ලක්‍ෂ්මන නම් දෙපළට දිට්‌ඨ ධම්ම වේදනීය කර්මය ඵල දී ඇත. එනම් මානසික ආතතියෙන් හා රෝගයන්ගෙන් පෙළුණු රාම ලක්‍ෂ්මණ සයුරු ගංගාවට පැන සියදිවි නසා ගෙන ඇත. සීතා කඳු මුදුනින් පැන සියදිවි නසා ගෙන ඇත. 


නමුත් වාල්මිකී නම් සොර දෙටුවා මොවුන් දේවත්වයට පත්කර සමාජගත මතවාදයක්‌ ස්‌ථාවර ගොඩනගා ඇත. භේද භින්න වී සියදිවි නසාගත් අඹුසැමි යුවළක්‌ දේවත්වයෙන් විවාහයේ සංකේතයක්‌ ලෙස වන්දනාවට පත්කර ගනී. (රාම සීතා කතා පුවත)

අධර්මයේ ජය, ධර්මයේ ජය ලෙස රාමායණය සඡ්ජායනා කරමින් දරුවන්ගේ මනසට කාවද්දයි. වාල්මිකීගේ රාමායණය හදාරන්නන්ට සමාජයට දිය හැක්‌කේ මෙවැනි අධ්‍යාපන ක්‍රමයකි. නමුත් ලෝක පූජිත රාවණා රජු පිළිබඳව විද්‍යාත්මක පර්යේෂණයේ යෙදුණු දේශප්‍රේමී උගතුන් රාවණා රජු පිළිබඳව රාමායණය තුළින් කරුණු ගෙනහැර දක්‌වා නොමැත. 


අපවත් වී වදාළ රාජකීය පණ්‌ඩිත කිරිඇල්ලේ C¹ණවිමල හිමි, ආරියදාස සෙනෙවිරත්න සූරීන්, ගුණපාල මලලසේකර සූරීන් නොමැති යුගයක මේ පිළිබඳව විද්‍යාත්මක ගවේෂණයක යෙදුණු ආරිසෙන් අහුබුදු, ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර, රාජකීය පණ්‌ඩිත මානෑවේ විමලරතන හිමි, ආචාර්ය ජලිත අමරසිංහ වැනි උගතුන් විසින් හරවත් ග්‍රන්ථ හා ලිපි මගින් රාමායණයේ ඇති ලංකා විරෝධි බව පුලපුලා පැවසුවද, මේ ගැන අවබෝධයක්‌ නොතිබීම ජාතියේම අවාසනාවකි. 

රාමායණය කරපින්නාගත් ඉන්දියානු ජාතිවාදීන් රන් දෙවොලක්‌ බිඳ මහා විනාශයක්‌ කර ගැනීමෙන් පසු, අවසානයේ හමුවූයේ බෞද්ධ නටබුන් පමණි. එබැවින් රන් දෙවොලද අනාගතයේ බුදු මැදුරක්‌ වනු නොඅනුමානය. රාමායනයේ ඉගැන්වීම් ලංකා ඉන්දියා මිත්‍රත්වය පලුදු කිරීමේ කුහක මතවාදයකි. රාවණා ඉතිහාසය ගවේශණය කිරීමට අප්‍රමාණ සාධක මෙරට පවතී. එබැවින් හෙළ සංස්‌කෘතිය, ජනශ්‍රැතිය, දේශීය වෙදකම හා බෞද්ධ සූත්‍ර අනුව රාවණා හා ඔහුගේ පරපුර උතුම් ගුණාංග සහිත ජාතියකි.

01. රාවණා යනු වෛද්‍ය ශිරෝමණී වෛද්‍යවරයෙකි. රාජකීය පණ්‌ඩිත කිරිඇල්ලේ Cඳාණවිමල හිමියන්ට අනුව - දේශීය වෛද්‍ය ශබ්දකෝෂයේ පෙරවදන

02. හින්දු දර්ශනයේ ශිව සෘෂිවරයා සිහිවීමට ශිවස්‌ත්‍රෝත්‍රය රචනා කළ පාලකයෙකි. (නමුත් ශිව දෙවියන් උදෙසා මෙම ශිව ස්‌ත්‍රෝත්‍රය සඡ්ජායනා කරන ද්‍රවිඩ, හින්දු බැතිමතුන් රාවණයන්ට හා හෙළයන්ට විරුද්ධවීම කෙතරම් අවාසනාවක්‌ද?)


03. ලංකාවතාර මහායාන සූත්‍රය අනුව රාවණා බෞද්ධ චක්‍රවර්ති රජෙකි

එබැවින් වාල්මිකීගේ රාමායණය වැනි මනස්‌ගාත, ලංකා විරෝධී ග්‍රන්ථයක්‌ මූලාශ්‍ර කොට නොගෙන රාවණා ඉතිහාසය ගවේශනය කොට, මෙරට හෙළ යුගය ගවේශනය කරන්නේ නම් මැනවි. රාවණා පරපුර අශ්වමේද වැනි සත්ත්ව බිලිපූජා යාග කර්ම කළ බවට මෙරට ඉතිහාසයේ ද කිසිම සාධකයක්‌ නොමැත.

රාම රාවණා කතාව මනඃකල්පිත බව ඇතැම් උගතුන්ගේ මතවාදයකි.

නමුත් ලොව පිළිගත් නාසා ආයතනය, ඉන්දියාවත්, ලංකාවත් අතර ඇති (මන්නාරමත් රාමේෂ්වරමත් අතර ඇති ගල්වැටිය) පාලම වසර 175,000 ට පෙර මිනිසුන් විසින් නොඩනැගූ බවට තහවුරු කිරීම ලංකා ඉතිහාසය උඩුයටිකුරු කරනු ඇත.

ඉන්ද්‍රජිත් බණ්‌ඩාර


 උපුටා ගැනීම - http://www.divaina.com/2010/06/02/badada05.html

Saturday, June 12, 2010

විජයාගමනයට පෙර හෙළ ශිෂ්ඨාචාරය.....

0

විජයාගමනය සිංහලයාගේ ආරම්භය බව පෙන්වීම සදහා බොහෝ දෙනා විවිධ උත්සාහ ගත් අතර විජයා‍ගමනයට පෙර ලංකාවේ ජනාවාස තිබූ බව පිළිගන්නට ඔව්න් අකැමැති පිරිසක් විය. නමුත් එම සියළු මතවාදයන් සත්‍යයෙන් තොර වූවක් බව සනාත වන්නාවූ ප්‍රභල සාධක කිහිපයක් පසුගිය කාළයේ සිදුකෙරුණු පුරාවිද්‍යා කැණීම් තුළින් සොයාගන්නට හැකි වී ඇත.
මෙය අනුරාධපුරයේ ඇතුළුනුවර කරන ලද කැණීම් වලීන් මතුකරගන්නා ලද ප්‍රාග් අනුරාධපුර යුගයට අයත් නටබුන් වන අතර මෙය දැනට පවතින අනුරාධපුර නගරයට අඩි තිහක් පමණ ගැඹුරින් පිහිටා ඇති අතර ක්‍රි:පූර්‍ව 800 ත් 1000 ත් අතර යුගයට අයත් බව සැලකෙන අතර මෙය විශාල වෙළෙද මධ්‍යස්ථානයක නටබුන් බව පුරා විද්‍යාඥයින් සදහන් කරයි.



වසර දෙදහක් පැරැණි නැවක නටඹුන් හමුවෙයි

0


සිංහල රාජාවලියේ තරළමිණ ලෙස සැලැකෙන මහා විජයබාහු නරේන්ද්‍රයාණන් භාවිතා කළ දකුණේ වරාය ගැන අපි නොයෙක් කරුණු අසා ඇත්තෙමු. මහරජු මෙරට ව්‍යාප්ත ව තිබුණු සොළී බලයට එරෙහිව විදේශ සම්බන්ධතා පැවැත්වීම සඳහා යොදාගෙන තිබුණේ මේ මාගම වරායයි. මන්නාරමට කිට්ටුව ‘මාන්තායි’ නම් වරායෙන් සොළීන් රටට ඇතුළු වෙද්දී අපේ සේනාධිපතියෝ වෙළෙඳ සම්බන්ධතා පවත්වා බුරුමය, මලයාසියාව වැනි රටවලට යාමට මෙම වරාය යොදා ගත්හ. මහාචාර්ය මැන්දිස් රෝහණධීරයන්ගේ මතයට අනුව එම මාගම් පුරයේ වරාය ගොඩවායයි.

මේ ගොඩවාය මුහුදු ප‍්‍රදේශය පිළිබඳ කරුණු ගවේෂණය එනිසා ම වැදගත් ය. අම්බලන්තොටට නුදුරු කොඩවාය මුහුදු ප‍්‍රදේශය අතිශයින් ම සොඳුරු ය. පුරාණ වරායක ශේෂ වු ඇතැම් නටඹුන් මේ පෙදෙස පුරාම පැතිර ඇත්තේ ය.

ගොඩවාය ධීවර සමූපකාර සමිතියේ සභාපති හේරත් මුදියන්සේලාගේ රංජිත් මහතා දැන් මා අභිමුඛ ව සිටී.

”මේ පෙදෙස පළමුවැනි සියවසේ පටන් තිබුණු වරායක්. මෙහි නැව් දෙකක් ගිලී තිබෙන සලකුණු අපේ කිමිදුම්කරුවනට පෙනී ගොස් තිබෙනවා. විශේෂයෙන් පොකිරිස්සන් අල්ලන්නට මුහුදේ කිමිදෙන අයට හමුවු බොහෝ දේ තිබෙනවා. පුරා විද්‍යා සමුද්‍ර අංශයේ නිලධාරින් මෙහිදි කළ කැණීම් කටයුතුවලින් මෙගතිලික යුගයට අයත් ගල්වංගෙඩි, වළං පමණක් නොවෙයි ගලින් කරන ලද විවිධ උපකරණ බොහොමයක් හමුවුණා. මෙතැනට මුහුදු මට්ටමට උඩින් පිහිටි ගෝඨපබ්බන රජ මහා විහාරයේ සෙල්ලිපිවලින් පවා මෙහි තිබුණු වරාය ගැන හැඟවෙනවා. අනෙක මෙහි ‘සිලිකන්’ නමැති වටිනා වැලි වර්ගය හමුවෙලා අපි සුරක්‍ෂිතව තබා ගත්තා. එපමණක් නොවෙයි වටිනාම තනි පිත්තල පෙට්ටි ගණනාවක් හමුවුණා. මේක ස්වභාවික පිහිටි වරායක්.

ඔහුගේ මේ කතාවට සවන් දී සිටි මට අපේ නාවික ගමනාගමන පද්ධතිය කෙතරම් ඉතිහාසයකට උරුමකම් කියන්නේ ද යන්න නැවතත් සිහිපත් විය.


ගොඩවාය ධීවර සමිති සභාපති රංජිත්

එදා සඟමිත් තෙරණිය ශි‍්‍ර මහා බෝධි අංකුරය රැගෙන මෙරට වැඩම කරවන ලද්දේ උඳුවප් පොහෝ දිනක ය. එතුමිය නැවකින් ලක්දිවට වැඩමවන ලද බව මහාවංසයේ දහ නව වැනි පරිච්ඡේදයේ 04 – 22 ගාථාවලින් තවදුරටත් ස්ඵුට කරයි. එවැනි වංසකතා මූලාශ‍්‍ර අනුව පැරැණි ලංකාව සම්බන්ධ දියුණු නාවික ගමනාගමන පද්ධතියක් තිබුණු බවට ඓතිහාසික සාධක කොතෙකුත් සොයා ගත හැකිය. එහෙත් ඊට අදාළ පුරාවිද්‍යාත්මක සාක්කි තිබුණේ ම නැත.

එනමුත් මෑතකදි ගොඩවායේ කරන ලද සමුද්‍ර කැණීම්වලදි අඩුම වශයෙන් වසර 2000 ක් වත් පැරැණි නෞකාවක සුන්බුන් ගැඹුරු මුහුදේ අඩි 130 ක පමණ ස්ථරයකදි හමුවී ඇත. හක්බෙල්ලන් සොයා කිමිදෙන කිමිදුම්කරුවනගෙන් ලද හෝඩුවාවකට අනුව මධ්‍යම සංස්කෘතික අරමුදල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ශී‍්‍ර ලංකා නාවික හමුදාව යන ආයතනවල නිලධාරින්ගේ සැලකිල්ල මේ පිළිබඳ යොමු විණි. එම ගවේෂණවල විශිෂ්ට ප‍්‍රතිඵලයක් ලෙස මුහුදු පත්ලට මතුව තිබු එම නැවේ කොටස් සහ ඒ අවට ප‍්‍රදේශයේ විසිර පැතිර තිබූ කාලරක්ත වර්ණ මැටි බඳුන් හා වර්ණාලිප්ත තැටි විශාල ප‍්‍රමාණයක් හමු විය. එම වර්ණාලිප්ත තැටි අනුරාධපුර යුගයේ විහාරාරාමවල පොළොව වර්ණ ගැන්වීම සඳහා යොදා ගන්නා ලද ඒවා බවත් අනුරාධපුර ජේතවනාරාමයෙන් ලත් වර්ණාලිප්ත ඇතුරුම් ගල් කැබැලිවලින් ඒ බව පැහැදිලි කැරෙන බවත් පුරා විද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායකකියයි.


අසිරිමත් ගොඩවාය මුහුදු තීරය

ඔහු ගේ ගවේෂණය. වඩාත් පුළුල් ලෙස මෙහි ඉතිහාසය පිළිබඳව අපේ මතකය අවදි කරන්නකි. සෙනරත් දිසානායකයන්ගේ මතයට අනුව මේ සමඟ සොයා ගන්නා ලද කාලරත්න මැටි බඳුන් කි‍්‍ර.පූ. 4 පමණ වන පූර්ව ඓතිහාසික හෙවත් මෙගලිතික යුගයට අයත් ඒවා බව නිසැක ලෙස ම හඳුනාගත හැකිය. දැනට මේ රටෙන් කි‍්‍රස්තු පූර්ව හාරසිය පනහ තරම් වන පූර්ව ඓතිහාසික යුගවලට අයත් ඉබ්බන්කටුව වැනි සුසාන භූමිවලින් මෙබඳු කාලරත්න වර්ණ මැටි බඳුන් හමුවී තිබේ. මුහුදු පතුලට මතුවී ඇති මෙම නැවෙහි පෘෂ්ඨයෙහි කොටස් හමුවී ඇත්තේ ගොඩවායේ සිට කිලෝමීටර 4- 5 ක් අතර ඇති මුහුදු ප‍්‍රදේශයේදී ය. ගොඩවායට ඉහළින් ඇති අප රටේ පැරැණිතම බෞද්ධ සිද්ධස්ථානයක් වන ගොඩවාය ගෝඨපබ්බත රජ මහා විහාරය ද මෙහි අතීතයට හිමිකම් පෙන්වන්නකි. මේ නැව් තොටේ ඉතිහාසය කි‍්‍රස්තු වර්ෂ 114-136 දක්වා වන පළමුවන ගජබා යුගය තෙක් දිවෙන්නකි. එසේ වුවත් මෙය ඊටත් එහා ඉතිහාසයකට හිමිකම් කියන බව පැරැන්නෝ පවසති.

ගජබා යුගයට අයත් පශ්චාත් බ‍්‍රාහ්මීය අක්‍ෂරවලින් ලියන ලද ගිරි ලිපි කිහිපයක් ගෝඨපබ්බත විහාරයේ දැනටත් තිබේ. මේ එක ගිරි ලිපියක සඳහන් වන්නේ මේ නැව් තොටින් ලබා ගන්නා බදු විහාරස්ථානයේ සුබ සිද්ධියට යොදවන ලෙසයි. මේ ගජබා රජු ගේ රාජඥාවකි. දැනට ධීවර වරායක් ලෙස පැවතුණත් ගොඩවාය කි‍්‍රස්තු පූර්ව පළමුවැනි සියවසේ අන්තර්ජාතික වෙළෙඳ තොටක් බව මින් නිසැකව ම ඔප්පු වේ.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ සහ එහි මුහුදු පුරා විද්‍යා අංශයේ අධ්‍යක්‍ෂ ආචාර්ය මොහාන් අබේරත්න මහතාප‍්‍රකාශ කර ඇති ආකාරයට මේ පුරා විද්‍යා සාධකවල අතීතය වසර දෙදහස ඉක්ම වන්නකි. දැනට මේ නැවේ මුහුදු පත්ලෙන් උඩට මතු වී තිබෙන කොටස හිරිගල් තට්ටුවකින් වැසී ගොස් ඇතැයි පැවැසේ. නැවේ දැව පෘෂ්ඨය යන්තමින් හෝ හඳුනාගත හැක්කේ එම හිරිගල් තට්ටුව අතරින් බව කියැවේ. ඉදිරියේදී නවීන විද්‍යාව ඇසුරු කොට මේ පෘෂ්ඨය හොඳීන් පාදා ගතහොත් නිසැක ලෙසට නැවේ සැකිල්ල මතු කැර ගත හැකි බව මේ විද්වත්හු පෙන්වා දෙති.



ගෝඨපබ්බත විහාර සෙල් ලිපියක කොටසක්

එවැනි විස්කමක් සිදුවුවහොත් එය ආසියානු මහාද්වීපයේ හමුවන පැරැණිම නෞකාව බවට පත්වනු ඇත. කි‍්‍ර.පූ. 400-300 ත් අතර කාලයේ ගොඩවාය නැව් තොටට පැමිණෙමින් තිබියදි හෝ ඉන් පිටත්ව යමින් තිබියදී අනතුරට ලක්ව මුහුදුබත් වු නැවක් වන්නට ඇතැයි ඔව්හු කියති.


ගොඩවාය මුහුදු ප‍්‍රදේශයට තරමක් ඉහළින් යෝජිත හම්බන්තොට වරායේ ඉදිකිරීම්වලදි මුහුද ගැඹුරු කිරීම හා (ර්‍ණභබ ඩ්චඡධභප)නැව් නැවැත්වීමේ වරාය ගොඩවායට කිට්ටුව සැකසෙන බව සමහරු කියති. මේ නිසා මේ පුරා වස්තූන්වලට හානි සිදුවිය හැකිය.

පළමුවන සියවසේ පොලොන්නරුවේ රජ කළ මහා විජයබා, ගජබා ආදී රජුන්ගේ ප‍්‍රධානම නැව් තොට වු ගොඩවාය එදා ඉතාම සශි‍්‍රක වරායක් බව ඉන් ලබන ආදායමෙන් විහාරස්ථානයක් නඩත්තු කිරීමෙන් ම පෙනී යයි.

ගෝඨපබ්බත විහාරය ඉතාම නිස්කලංක පරිසරයකින් හෙබි පින් බිමකි. එහි ගල් කණු 17 ක් පමණ තිබු අතර ඇතැම් සෙල් ලිපි පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් වසා දමා ඇත්තේය. ඒ කිනම් අරුතකින්දැයි අපි නොදන්නෙමු.


හමු වී ඇති ඇතැම් කොටස්

වළං හා මැටි පිත්තල කර්මාන්තය කරගත් ජනතාවක් වෙසුණු මෙබිම කාලයේ විරාමයෙන් ධීවර ගමකට පෙරැළී ඇත්තේයැයි සිතමි. ඉතාම පැරැණි යුගයට අයත් මිනිස් ඇටසැකිල්ලක් පවා මෙපෙදෙසින් මතුව තිබීමෙන් දුරාතීතයේ පවා මෙහි ජනාවාසයක් පිහිටි බවට සාක්ෂ්‍ය මතු කරයි. ගොඩවාය ධීවර සමූපකාර සමිතියේ සභාපති රංජිත් මේ ගවේෂණය අවසානයේ අප සමුගැනීමේදි මෙසේ කීවේය.

”මේ ගොඩවාය අද සම්පූර්ණයෙන්ම ධීවර ගමක්. මෙහි ඇති ගොඩනැගිලි, සියල්ල ඉදිකරගත්තේ ධීවයන්ගේ ආධාරයෙන්. මේ පෞරාණික පිහිටි ස්වභාවික නැව් තොට අපට අපේ අභිමානය හා උරුමය පෙන්වා සිටින තැනක්. මේකේ සමුද්‍ර කැණීම් කටයුතු ඉක්මනින් ඉවර කරලා ආසියාවේ අපේ අතීත නාවික ගමනාගමනය ගැන ලෝකෙට කියන්න කවුරුත් පෙළ ගැහෙන්න ඕනැ. විජයබා රජ්ජුරුවො එදා මේ නැව් තොට විදේශ රටවල සම්බන්ධතා ගොඩනගන්න පාවිච්චි කළා. ගජබා රජ්ජුරුවො මේ නැව්තොට පිළිබඳ රාජඥා නිකුත් කළා. දැඩි ඕනෑකමකින් කියන මේ දේ ඇත්තකි.

මුහුදු පත්ලේ දැනට හමුවී ඇති නෞකාව ගොඩ ගෙන ආසියාතික ලෝකයේ අපේ නාවික ඉතිහාසය හෙළි කර ගන්නට මේ සුදුසු ම කාලයයි.

උපුටා ගැනීම - http://www.silumina.lk/punkalasa/20090111/_art.asp?fn=ar0901114

Thursday, June 10, 2010

යක්ක පරපුර - 2

0
ශාස්ත්‍රපති පන්ඩිත් මානාවේ විමලරතන ස්වාමීන්වහන්සේ සමඟ ශ්‍රී රාවණ කණ්ඩායම පැවත්වූ සම්මුඛ සාකච්චාවකි.
රාවණා උරුමය(SriRavana.com) සකස් කරන ලද වාර්ථාමය වැඩසටභන් පෙලක්









වීඩියෝ දර්ශණ වල පුර්ණ අයිතිය ඔවුන් සතුය.


යක්ක පරපුර - 1

0

රාවණා සොහොයුරෝ (RavanaBrothers) සකස් කරන ලද වාර්ථාමය වැඩසටභනක්




වීඩියෝ දර්ශණ වල පුර්ණ අයිතිය ඔවුන් සතුය


..