-->

Wednesday, June 30, 2010

රූමස්සල

0

 

රූබර රූමස්සල

මාර්ග අංක දෙක දරන ගාලුපාර ගාල්ල නගරය පසුකරමින් ඉදිරියට ඇදෙයි. සියල්ල සෝදා හරින්නට මෙන් දියඹේ සිට වේගවත්ව ඇදෙන සයුරු රළ විවිධ මිනිස් ක්‍රියාකාරකම් නිසා කිලිටු වූ වෙරළතලය සෝදා පිරිසිදු කරමින් තමන්ගේ ගමනාන්තය එහි සනිටුහන් කර යළි සයුර වෙතම දිව යයි. කිසිඳු කඩතොළුවක්, පියවර සටහනක් රහිත වෙරළ තලයක් මැවේ. 

තවත් විටෙක වේගයෙන් ඇදී එන සයුරු රළ පහරක් වෙරළ ඛාදනය වලකන්නට යොදා ඇති ගල් කුට්ටිවල වැදී සොඳුරු දසුනක් මවමින් ඉහළ නඟින්නේ අහස් තලයේ සුදු පැහැ පුළුන් වලා සමඟ මුහුවන්නට යත්න දරන සෙයකිනි. අතොරක් නැතිව සිදුවන මේ ක්‍රියාදාමයන් එසේ ම සිදුවද්දී අප ගමන්ගත් රථය ගාලු පාර දිගේ වේගයෙන් ඉදිරියට ඇදේ. පාරේ වම් පස ගාල්ල සිමෙන්ති කර්මාන්ත ශාලාවයි.
අපගේ ගමනාන්තය සොයා ගැනීමේ මූලික පෙරමඟ සලකුණකි එය. මාර්ගය අසල ම විශාල දැන්වීම් පුවරුවකි. “රූමස්සල කන්ද හා බොනවිස්ටා කොරල්පරය රැකගනිමු” එම දැන්වීම් පුවරුවේ එසේ සඳහන් වේ. අපගේ ගමනාන්තය එසේ අප විසින් රැකගත යුතු සොබාදහමේ අපූරුතම දායාදයක් වූ රූමස්සල කන්ද හා ඒ ආශ්‍රිත පරිසර පද්ධතියයි.

පුවරුව අසලින් දකුණට ඇති කඳුකර මාවත අපව රැගෙන යන්නේ රූමස්සල ගිරි සිරස වෙත ය. එහි නැරඹුම් ස්ථාන බොහෝ ගණනකි. ඒ අතර ඉපැරැණි වෙහෙර විහාර, සුවිසල් බුද්ධ ප්‍රතිමා හා පැරැණි යුගයට අයත් කුලුණු වැනි මිනිසා විසින් ගොඩ නගන ලද අපූරු නිමැවුම් මෙන් ම සොබාදහම විසින් ගොඩනගන ලද විශ්මිත නිමැවුම් ද වෙයි.

රූමස්සල කන්දෙහි අතීත කථාව රාම රාවණා යුගය තෙක් දිවයන අතීතයකට උරුමකම් කියන බව නොරහසකි. රාම රාවණ රජවරුන් අතර ඇති වූ මහා යුද්ධයේ දී තුවාල ලද සේනාවට සුවය ලබා දීම සඳහා එවකට සිට සෘෂිවරයෙක් හිමාලය කන්දෙන් යම් ඖෂධ වර්ගයක් රැගෙන එන ලෙස සෙන්පති හනුමාට දන්වා ඇත. එම කටයුත්ත සඳහා ඉන්දියාවට ගිය හනූමාට අදාළ ඖෂධ පැළෑටිය අමතක විය. 

එබැවින් හේ හිමාලය කන්දෙන් කොටසක් ලංකාවට ගෙන ආවේය. එහි දී ඉන් එක් කොටසක් උණවටුන ප්‍රදේශයේ දී හනුමාගෙන් ගිලි හී උණවටුන කන්ද හටගත් බවත් ඉතිරි කොටස රූමස්සල කන්ද බවත් පුරාවත්වල සඳහන් වෙයි. එම පුරාවත් සිහියට නගන්නටම නිර්මාණය කරන ලද විශාල හනුමා ප්‍රතිමාවක් ගිරි හිසෙහි ඇති බෞද්ධ විහාරයේ දක්නට ලැබේ. එහි දක්නට ඇත්තේ හනුමා නැමැති වානරයා එක් අතකින් යගදාවක් ද අනෙක් අතින් කඳුවැටිය ද ගෙන සිටින අයුරු යි.

අදාළ වෘත්තාන්තයට අනුව පෙනී යන්නේ මෙම රූමස්සල කන්ද ද මහානුභාව සම්පන්න හෙළ ඖෂධවලින් පරිපූර්ණ විය යුතු බවයි. නමුත් අද වන විට නම් මෙම ගිරි හිස තුරුලතාවන්ට කිසිඳු නීතිමය හවුහරණක් නැති සේය. ගිරි හිසෙහි බොහෝ ප්‍රදේශ මිනිස් ජනාවාස බවට පත් වී ඇත. එහි හරිත වර්ණයට දෙස් දෙන්නේ වනජ පැළෑටි නොව ගෘහාලංකරණයට ළවන ලද පැලෑටි ය. ඒ කෙසේ වෙතත් කඳු බෑවුම් ආශ්‍රිතව තවමත් වෙරළබඩ වනාන්තර ගණයට අයත් තුරුලතා දැකිය හැකි ය.
රූමස්සල හිසට කිරීටය බඳු වූ විසල් සෑ රදුන් සිව්දෙස් ලෝකයාටම දම් සක් පතුරුවයි. තවත් පසෙක ඇති විසි එක් රියන් බුද්ධ ප්‍රතිමාව ද ශ්වෙත වර්ණයෙන් යුතුව ඈත දියඹ දෙස බලා ගෙන සමවත් සුවයෙන් කල් ගෙවයි.

රූමස්සල වෙරළ තීරය නම් වචනයේ පරිසමාප්තයෙන් ම සුන්දරත්වයෙන් අග තැන්පත් ය. වැටකෙයා ආදී නොයෙකුත් වෙරළ ශාකවලින් හරිත වර්ණ වූ වෙරළබඩ වනාන්තර ය, කපරාදු කරන ලද බිත්තියක් තරමටත් වඩා සිනිඳු වෙරළ හා ඊට ඔබ්බෙන් ඇති නිල්වන් සයුරු තීරය ද ඒ දෙක යා කරන කිරිපැහැ පෙණ පිඬුඳ ඒ සුන්දරත්වයට නොමදව තම දායකත්වය සපයයි.

වනාන්තරයකින් වට වූ වෙරළ තීරයෙහි හුදෙකලාව ද චමත්කාරජනකය . නිදහස් ය. විදේශිකයින් පිරිසක් සයුරු දියෙහි කිමිදෙමින් විනෝද වෙති. අප ද නිම්හිම් නැති සතුටිනි. ඒ තවත් මොහොතකින් අපි ද කරදියෙන් අපේ සිරුරු සන්තර්පනය කරගන්නා බැවිනි. සයුරු දියමත පනින හිරු කිරණ එයින් පරාවර්තනය වන්නේ සයුර ම එකම රිදී තැටියක් බවට පත් කරවමිනි. ඈත ක්ෂිතිජයේ නැවක් දිසේ.
ඇඳුම් උනා දැමූ අපි රැල්ල ගසන මානයට ගොස් වැල්ලේ හිඳ ගතිමු. සුදු පෙණ පිඬු පෙරටු කරගත් කරදිය තවත් මොහොතකින් අප ගත තෙමා හලේ අපගේ දාහය මදින් මද නිවීම අරඹමිණි.
අපි කරදිය වින්දෙමු. ඔබ මොබ පිහිනා ගියෙමු. කොතරම් වෙලා පිහිනුව ද පාදයේ කෙන්ඩ පෙරළෙන්නේ නැත.

රූමස්සල ගැන කථා කරන විට බොනවිස්ටා කොරල් පරය ගැන කථා කරන්නට අත්‍යාවශ්‍ය ම ය. කොරල් පර වනාහී සයුර යට තැනුණු වීදුරු මාලිගාවක් වැන්න. එය ද සොබා දහමේ අනන්තවත් මැවුම්වලින් එකකි. පොලිප් නැමැති කුඩා මුහුදු ජීවීන් වෙසෙසක් විසින් නිර්මාණය කරන සැකිලි එක් වීමෙන් තැනෙන මෙම කොරල් පරවල කථාවත්, කොරල් පර තරම් ම සුන්දර ය. නෙත් පිනවන කොරල් පරයක් තැනීම සඳහා ඉතා මෘදු විනිවිද පෙනෙන කුඩා පොලිප් ජීවීන් දස දහස් ගණනක් දායක වේ.
මුහුදු ජලයේ ඔබ මොබ සැරිසරන මෙම ජිවීන් තද මතුපිටක් සහිත ස්ථානයක් මුණ ගැසුණු විට එහි ඇලී ඉනික්බිතිව වේගයෙන් සැකිලි නිර්මාණය අරඹයි. 

කෙමෙන් කෙමෙන් වර්ධනය වී එකට බන්ධ වන මෙම සැකිලි සමූහයක් කොලනියක් හෙවත් ඝනවාසයක් ලෙස හැඳින් වේ. මෙම ජීවීන් ජලයට මුදා හරිනු ලබන බිජුවලින් හටගන්නා ජනිතයන් ද එක් වෙමින් වසර දහස් ගණනක් තුළ මේ කොලනිවලින් අවසන් ප්‍රතිඵලය වන සුන්දර කොරල්පර හටගනී.
ගාලු වෙරළේ අප රැඳී සිටින කුඩා වැල්ල හෙවත් බොනවිස්ටා පරයට අමතරව ලෝක ප්‍රසිද්ධ හික්කඩුව අම්බලන්ගොඩ මාතර තංගල්ල රැකව මහා රාවණා හා කුඩා රාවණා, පාසිකුඩා, කල්කුඩා, නිලාවේලි, කුච්චවේලි, මන්නාරම, කල්පිටිය, ආදී ලෙස දිවයින වටාම වෙරළ තීරවල ද යාපනය හා ඩෙල්ෆ් වැනි තදාසන්න දූපත්වල ද කොරල්පර සුලභව ව්‍යාප්තව තිබුණත් ලෝකයේ බොහෝ වෙරළ තීරයන් කොරල් පර ලබන්නට තරම් වාසනාවන්ත වී නැත.

නිරක්ෂයේ සිට අංශක 30 බැගින් උතුරු හා දකුණු දිශාවන්ට ඇති සීමිත ප්‍රදේශයක් තුළ පමණක් මීටර 50 දක්වා ගැඹුරු ඇති හිරු එළිය වැටෙන ප්‍රදේශවල පමණි. මෙම කොරල් පර දකින්නට හැක්කේ. ශ්‍රී ලංකාවේ වෙරළ කලාපයේ උෂ්ණත්වය ද මීට රුකුලකි. පිහිටීම අනුව කොරල් පර වර්ග කිහිපයකි. එනම් ගැටි පර, බාධක පර හා අතොල පරයි. මේ අතරින් ශ්‍රී ලංකාව අවට වෙරළේ නිරතුරුව දැකිය හැක්කේ ඉතා සෙමෙන් වැඩෙන වෙරළ බඩ කලාපයේ බහුලව පිහිටා ඇති ගැටි පරයි.

වනාන්තර, විල්ලු මෙන්ම කොරල්පර ද ඊටම ආවේණික වූ ජෛව විවිධත්වයකට හිමිකම් කියන පරිසර පද්ධතියක් වන අතර ක්ෂුද්‍ර ජීවීන් හා නොදියුණු ශාක ද කුඩා මුහුදු ජීවීන් ද මේ ඇසුරේ ආහාර හා ආරක්ෂාව ලබයි. එමෙන්ම බෙල්ලන්, කවඩි, ස්පොන්ජි වැනි කුඩා ශාක හා සත්වයන් ද හිරිගල් හා කොරල් පර ආශ්‍රිතව ජීවත් වේ.

නිමක් නැතිව රළ නඟන වෙරළට මීටර 50ක් පමණ ඔබ්බෙන් සුදු පැහැති ඉපිලුම් පෙළක් දක්නට ලැබේ. වෙරළේ සිට ඊට ඇති දුර එක් එක් තැන්වල වෙනස් ය. ඒ අනාරක්ෂිත මුහුදු කලාපයන් සටහන් කරන රේඛා බව ගමන් සඟයෙකුගෙන් දැනගතිමි. ඉන් ඔබ්බට පිහිනා යෑම් අනතුරු සහිත ය. නමුත් දේශීය සංචාරකයෙක් එම සීමාව ඉක්මවයි.

වෙරළෙ හි මුහුදු ලිහිණියෙකු හෝ වෙනත් කුඩා පක්ෂියෙකු හැරෙන්නට අලි කොටි වලසුන් නැති බව කිවයුතු නැත. විදේශිකයෙක් ඉතා නවීන කැමරාවකින් පත්‍රයක වසා සිටින කෘමියෙකු සටහන් කර ගනු පෙනේ. 

මිහිමත මුලින් ම ජීවය බිහිවන්නේ සාගරයේ ය. ඉන්පසු කෙමෙන් කෙමෙන් මෙම ජීවය සාගරය අබිබවා ගොඩබිම දක්වා ද පැතිරෙන්නට පටන් ගනී. ජීවය සාගරයේ සිට කෙමෙන් කෙමෙන් ගොඩබිමට පැමිණෙයි. එයින් උභය ජීවීන් හට ගනී. එමෙන් ම සයුර හැරදා ගොඩබිමට ගමන් කරන්නට වෙර දරා අසාර්ථක වූ තවත් බොහොමයක් දෙනා මෙම දියගොඩ මංසන්දියේ නැවතී සිටී.

ගොළුබෙල්ලන්, කාවාටියන්, ඉකිරියන් මෙන් ම තවත් කරදිය ශාක ද මෙසේ වෙරළේ දැකිය හැකි ය. මොවුන් බොහොමයක් වෙරළේ ගල්පර වලට සදහටම ඇලී සිටිති. සිදු කරන්නේ ඉතා සියුම් චලන පමණි. සිරුර පුරාම කටු පුරවාගත් ඉකිරියන් තරමක් භයානක ය. ඒ උන්ගේ කටු සිරුරේ ඇනීම සුබදායක නොවන බැවිනි. එමෙන් ම ගොළුබෙල්ලන් වැනි තවත් සතුන් ද මෙසේ වසති. 

සයුරු රළ පහරක් මේ ගල්පර වසාගෙන පැතිරී යළිත් ඒවා ජලයෙන් නිරාවරණය වූ වහා නිරීක්ෂණය කළ හොත් මෙම බෙල්ලන් ගේ කවඩ ගල් පතුරෙන් මඳක් එසවී ඇති බව දැකිය හැකි ය. යලිත් ඒවා ගල් පෘෂ්ඨයට ඇලේ. යළි රළ පහරක දී මෙම කවඩ ලිහිල් වේ. මෙය නිරන්තරයෙන් ම සිදු වේ. සයුරු රළ ගෙන එන්නේ තම ඇකයේ වෙසෙන් දරුවන්ට අහරය. බෙල්ලන් ඉකිරියන් මේ කරන්නේ සයුරු දිය මගින් කුඩා කුඩා ප්ලවාංග ආදී ආහාර ලබාගැනීමයි.

එසේ ම කකුළුවන්ද වෙරළේ දී දැකිය හැකි සුලභ ජීවීන් ය. ඉතා හොඳින් නිරීක්ෂණය කර හොත් එකිනෙකාට වෙනස් කකුළු වර්ග බොහෝ හඳුනා ගැනීම අපහසු නැත.

වෙරළේ ඔබ මොබ දිවයන උන් ඉතා ක්‍රියාශීලී ය. තවත් තැනකදී ගොළුබෙල්ලකු වේගයෙන් ඇවිදයනවා ඔබට දකින්නට පිළිවන. නමුත් සාමාන්‍යයෙන් ගොළුබෙල්ලකු වේගවත් වන්නේ ද, ඇවිදින්නේ ද නැත. හොඳින් නිරීක්ෂණය කර හොත් ඔබට මේ වෙනස හඳුනාගත හැකි ය. ඒ තාපස කකුළුවා ය. සයුරෙන් ගොඩබිමට සංක්‍රමණය වීම නම් සොබා දහමේ ප්‍රබල සංසිද්ධියට දායක වූවෙකි. 

මෙම තාපස කුළුවාත්, වෙරළේ දී නොයෙකුත් අතුරු ආන්තරාවලින් බේරී සිටීමට ඌ අපූරු උපායක් සොයා ගනී. ඒ මියගිය ගොළුබෙල්ලෙකු ගේ කවඩයකි. කකුළුවා ගොළුබෙලි කටුව තුළට රිංගා ගෙන ඉන් ආරක්ෂාව ලබයි. ගමන් කරන විට ගොළුබෙලි කටුව ද රැගෙන යන ඌ අනතුරක ඉව වැටුණු සැනින් කටුව තුළටට රිංගාගනී. 

එය සියුම්ව නිරීක්ෂණය කළ හොත් ගොළුබෙලි කටුව තුළට රිංගාගත් කකුළුවා එහි සිදුර තමාගේ එක් අතකින් වසාගෙන කිසිඳු උපද්‍රවයකට භාජනය නොවී සිටින අයුරු අපූරුවට දැක ගත හැකිය. සොබා දහමේ අපූරු නිමැවුම් එපිරිදි ය. සමහර විට ඒවා සියුම් ය. සමහර විට සංකීර්ණ ය. ඒ කෙසේ වෙතත් සොබා දහම් අම්මා තම ඇකයේ රැඳී සිටින දරුවන්ට හැකි උපරිම අයුරින් ආරක්ෂාව හා ආදරය ලබා දීමට උත්සාහ කර තිබේ.

No Response to "රූමස්සල"

Post a Comment

අදහස් සහ උදහස්