-->

Saturday, June 12, 2010

වසර දෙදහක් පැරැණි නැවක නටඹුන් හමුවෙයි

0


සිංහල රාජාවලියේ තරළමිණ ලෙස සැලැකෙන මහා විජයබාහු නරේන්ද්‍රයාණන් භාවිතා කළ දකුණේ වරාය ගැන අපි නොයෙක් කරුණු අසා ඇත්තෙමු. මහරජු මෙරට ව්‍යාප්ත ව තිබුණු සොළී බලයට එරෙහිව විදේශ සම්බන්ධතා පැවැත්වීම සඳහා යොදාගෙන තිබුණේ මේ මාගම වරායයි. මන්නාරමට කිට්ටුව ‘මාන්තායි’ නම් වරායෙන් සොළීන් රටට ඇතුළු වෙද්දී අපේ සේනාධිපතියෝ වෙළෙඳ සම්බන්ධතා පවත්වා බුරුමය, මලයාසියාව වැනි රටවලට යාමට මෙම වරාය යොදා ගත්හ. මහාචාර්ය මැන්දිස් රෝහණධීරයන්ගේ මතයට අනුව එම මාගම් පුරයේ වරාය ගොඩවායයි.

මේ ගොඩවාය මුහුදු ප‍්‍රදේශය පිළිබඳ කරුණු ගවේෂණය එනිසා ම වැදගත් ය. අම්බලන්තොටට නුදුරු කොඩවාය මුහුදු ප‍්‍රදේශය අතිශයින් ම සොඳුරු ය. පුරාණ වරායක ශේෂ වු ඇතැම් නටඹුන් මේ පෙදෙස පුරාම පැතිර ඇත්තේ ය.

ගොඩවාය ධීවර සමූපකාර සමිතියේ සභාපති හේරත් මුදියන්සේලාගේ රංජිත් මහතා දැන් මා අභිමුඛ ව සිටී.

”මේ පෙදෙස පළමුවැනි සියවසේ පටන් තිබුණු වරායක්. මෙහි නැව් දෙකක් ගිලී තිබෙන සලකුණු අපේ කිමිදුම්කරුවනට පෙනී ගොස් තිබෙනවා. විශේෂයෙන් පොකිරිස්සන් අල්ලන්නට මුහුදේ කිමිදෙන අයට හමුවු බොහෝ දේ තිබෙනවා. පුරා විද්‍යා සමුද්‍ර අංශයේ නිලධාරින් මෙහිදි කළ කැණීම් කටයුතුවලින් මෙගතිලික යුගයට අයත් ගල්වංගෙඩි, වළං පමණක් නොවෙයි ගලින් කරන ලද විවිධ උපකරණ බොහොමයක් හමුවුණා. මෙතැනට මුහුදු මට්ටමට උඩින් පිහිටි ගෝඨපබ්බන රජ මහා විහාරයේ සෙල්ලිපිවලින් පවා මෙහි තිබුණු වරාය ගැන හැඟවෙනවා. අනෙක මෙහි ‘සිලිකන්’ නමැති වටිනා වැලි වර්ගය හමුවෙලා අපි සුරක්‍ෂිතව තබා ගත්තා. එපමණක් නොවෙයි වටිනාම තනි පිත්තල පෙට්ටි ගණනාවක් හමුවුණා. මේක ස්වභාවික පිහිටි වරායක්.

ඔහුගේ මේ කතාවට සවන් දී සිටි මට අපේ නාවික ගමනාගමන පද්ධතිය කෙතරම් ඉතිහාසයකට උරුමකම් කියන්නේ ද යන්න නැවතත් සිහිපත් විය.


ගොඩවාය ධීවර සමිති සභාපති රංජිත්

එදා සඟමිත් තෙරණිය ශි‍්‍ර මහා බෝධි අංකුරය රැගෙන මෙරට වැඩම කරවන ලද්දේ උඳුවප් පොහෝ දිනක ය. එතුමිය නැවකින් ලක්දිවට වැඩමවන ලද බව මහාවංසයේ දහ නව වැනි පරිච්ඡේදයේ 04 – 22 ගාථාවලින් තවදුරටත් ස්ඵුට කරයි. එවැනි වංසකතා මූලාශ‍්‍ර අනුව පැරැණි ලංකාව සම්බන්ධ දියුණු නාවික ගමනාගමන පද්ධතියක් තිබුණු බවට ඓතිහාසික සාධක කොතෙකුත් සොයා ගත හැකිය. එහෙත් ඊට අදාළ පුරාවිද්‍යාත්මක සාක්කි තිබුණේ ම නැත.

එනමුත් මෑතකදි ගොඩවායේ කරන ලද සමුද්‍ර කැණීම්වලදි අඩුම වශයෙන් වසර 2000 ක් වත් පැරැණි නෞකාවක සුන්බුන් ගැඹුරු මුහුදේ අඩි 130 ක පමණ ස්ථරයකදි හමුවී ඇත. හක්බෙල්ලන් සොයා කිමිදෙන කිමිදුම්කරුවනගෙන් ලද හෝඩුවාවකට අනුව මධ්‍යම සංස්කෘතික අරමුදල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ශී‍්‍ර ලංකා නාවික හමුදාව යන ආයතනවල නිලධාරින්ගේ සැලකිල්ල මේ පිළිබඳ යොමු විණි. එම ගවේෂණවල විශිෂ්ට ප‍්‍රතිඵලයක් ලෙස මුහුදු පත්ලට මතුව තිබු එම නැවේ කොටස් සහ ඒ අවට ප‍්‍රදේශයේ විසිර පැතිර තිබූ කාලරක්ත වර්ණ මැටි බඳුන් හා වර්ණාලිප්ත තැටි විශාල ප‍්‍රමාණයක් හමු විය. එම වර්ණාලිප්ත තැටි අනුරාධපුර යුගයේ විහාරාරාමවල පොළොව වර්ණ ගැන්වීම සඳහා යොදා ගන්නා ලද ඒවා බවත් අනුරාධපුර ජේතවනාරාමයෙන් ලත් වර්ණාලිප්ත ඇතුරුම් ගල් කැබැලිවලින් ඒ බව පැහැදිලි කැරෙන බවත් පුරා විද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායකකියයි.


අසිරිමත් ගොඩවාය මුහුදු තීරය

ඔහු ගේ ගවේෂණය. වඩාත් පුළුල් ලෙස මෙහි ඉතිහාසය පිළිබඳව අපේ මතකය අවදි කරන්නකි. සෙනරත් දිසානායකයන්ගේ මතයට අනුව මේ සමඟ සොයා ගන්නා ලද කාලරත්න මැටි බඳුන් කි‍්‍ර.පූ. 4 පමණ වන පූර්ව ඓතිහාසික හෙවත් මෙගලිතික යුගයට අයත් ඒවා බව නිසැක ලෙස ම හඳුනාගත හැකිය. දැනට මේ රටෙන් කි‍්‍රස්තු පූර්ව හාරසිය පනහ තරම් වන පූර්ව ඓතිහාසික යුගවලට අයත් ඉබ්බන්කටුව වැනි සුසාන භූමිවලින් මෙබඳු කාලරත්න වර්ණ මැටි බඳුන් හමුවී තිබේ. මුහුදු පතුලට මතුවී ඇති මෙම නැවෙහි පෘෂ්ඨයෙහි කොටස් හමුවී ඇත්තේ ගොඩවායේ සිට කිලෝමීටර 4- 5 ක් අතර ඇති මුහුදු ප‍්‍රදේශයේදී ය. ගොඩවායට ඉහළින් ඇති අප රටේ පැරැණිතම බෞද්ධ සිද්ධස්ථානයක් වන ගොඩවාය ගෝඨපබ්බත රජ මහා විහාරය ද මෙහි අතීතයට හිමිකම් පෙන්වන්නකි. මේ නැව් තොටේ ඉතිහාසය කි‍්‍රස්තු වර්ෂ 114-136 දක්වා වන පළමුවන ගජබා යුගය තෙක් දිවෙන්නකි. එසේ වුවත් මෙය ඊටත් එහා ඉතිහාසයකට හිමිකම් කියන බව පැරැන්නෝ පවසති.

ගජබා යුගයට අයත් පශ්චාත් බ‍්‍රාහ්මීය අක්‍ෂරවලින් ලියන ලද ගිරි ලිපි කිහිපයක් ගෝඨපබ්බත විහාරයේ දැනටත් තිබේ. මේ එක ගිරි ලිපියක සඳහන් වන්නේ මේ නැව් තොටින් ලබා ගන්නා බදු විහාරස්ථානයේ සුබ සිද්ධියට යොදවන ලෙසයි. මේ ගජබා රජු ගේ රාජඥාවකි. දැනට ධීවර වරායක් ලෙස පැවතුණත් ගොඩවාය කි‍්‍රස්තු පූර්ව පළමුවැනි සියවසේ අන්තර්ජාතික වෙළෙඳ තොටක් බව මින් නිසැකව ම ඔප්පු වේ.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ සහ එහි මුහුදු පුරා විද්‍යා අංශයේ අධ්‍යක්‍ෂ ආචාර්ය මොහාන් අබේරත්න මහතාප‍්‍රකාශ කර ඇති ආකාරයට මේ පුරා විද්‍යා සාධකවල අතීතය වසර දෙදහස ඉක්ම වන්නකි. දැනට මේ නැවේ මුහුදු පත්ලෙන් උඩට මතු වී තිබෙන කොටස හිරිගල් තට්ටුවකින් වැසී ගොස් ඇතැයි පැවැසේ. නැවේ දැව පෘෂ්ඨය යන්තමින් හෝ හඳුනාගත හැක්කේ එම හිරිගල් තට්ටුව අතරින් බව කියැවේ. ඉදිරියේදී නවීන විද්‍යාව ඇසුරු කොට මේ පෘෂ්ඨය හොඳීන් පාදා ගතහොත් නිසැක ලෙසට නැවේ සැකිල්ල මතු කැර ගත හැකි බව මේ විද්වත්හු පෙන්වා දෙති.



ගෝඨපබ්බත විහාර සෙල් ලිපියක කොටසක්

එවැනි විස්කමක් සිදුවුවහොත් එය ආසියානු මහාද්වීපයේ හමුවන පැරැණිම නෞකාව බවට පත්වනු ඇත. කි‍්‍ර.පූ. 400-300 ත් අතර කාලයේ ගොඩවාය නැව් තොටට පැමිණෙමින් තිබියදි හෝ ඉන් පිටත්ව යමින් තිබියදී අනතුරට ලක්ව මුහුදුබත් වු නැවක් වන්නට ඇතැයි ඔව්හු කියති.


ගොඩවාය මුහුදු ප‍්‍රදේශයට තරමක් ඉහළින් යෝජිත හම්බන්තොට වරායේ ඉදිකිරීම්වලදි මුහුද ගැඹුරු කිරීම හා (ර්‍ණභබ ඩ්චඡධභප)නැව් නැවැත්වීමේ වරාය ගොඩවායට කිට්ටුව සැකසෙන බව සමහරු කියති. මේ නිසා මේ පුරා වස්තූන්වලට හානි සිදුවිය හැකිය.

පළමුවන සියවසේ පොලොන්නරුවේ රජ කළ මහා විජයබා, ගජබා ආදී රජුන්ගේ ප‍්‍රධානම නැව් තොට වු ගොඩවාය එදා ඉතාම සශි‍්‍රක වරායක් බව ඉන් ලබන ආදායමෙන් විහාරස්ථානයක් නඩත්තු කිරීමෙන් ම පෙනී යයි.

ගෝඨපබ්බත විහාරය ඉතාම නිස්කලංක පරිසරයකින් හෙබි පින් බිමකි. එහි ගල් කණු 17 ක් පමණ තිබු අතර ඇතැම් සෙල් ලිපි පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් වසා දමා ඇත්තේය. ඒ කිනම් අරුතකින්දැයි අපි නොදන්නෙමු.


හමු වී ඇති ඇතැම් කොටස්

වළං හා මැටි පිත්තල කර්මාන්තය කරගත් ජනතාවක් වෙසුණු මෙබිම කාලයේ විරාමයෙන් ධීවර ගමකට පෙරැළී ඇත්තේයැයි සිතමි. ඉතාම පැරැණි යුගයට අයත් මිනිස් ඇටසැකිල්ලක් පවා මෙපෙදෙසින් මතුව තිබීමෙන් දුරාතීතයේ පවා මෙහි ජනාවාසයක් පිහිටි බවට සාක්ෂ්‍ය මතු කරයි. ගොඩවාය ධීවර සමූපකාර සමිතියේ සභාපති රංජිත් මේ ගවේෂණය අවසානයේ අප සමුගැනීමේදි මෙසේ කීවේය.

”මේ ගොඩවාය අද සම්පූර්ණයෙන්ම ධීවර ගමක්. මෙහි ඇති ගොඩනැගිලි, සියල්ල ඉදිකරගත්තේ ධීවයන්ගේ ආධාරයෙන්. මේ පෞරාණික පිහිටි ස්වභාවික නැව් තොට අපට අපේ අභිමානය හා උරුමය පෙන්වා සිටින තැනක්. මේකේ සමුද්‍ර කැණීම් කටයුතු ඉක්මනින් ඉවර කරලා ආසියාවේ අපේ අතීත නාවික ගමනාගමනය ගැන ලෝකෙට කියන්න කවුරුත් පෙළ ගැහෙන්න ඕනැ. විජයබා රජ්ජුරුවො එදා මේ නැව් තොට විදේශ රටවල සම්බන්ධතා ගොඩනගන්න පාවිච්චි කළා. ගජබා රජ්ජුරුවො මේ නැව්තොට පිළිබඳ රාජඥා නිකුත් කළා. දැඩි ඕනෑකමකින් කියන මේ දේ ඇත්තකි.

මුහුදු පත්ලේ දැනට හමුවී ඇති නෞකාව ගොඩ ගෙන ආසියාතික ලෝකයේ අපේ නාවික ඉතිහාසය හෙළි කර ගන්නට මේ සුදුසු ම කාලයයි.

උපුටා ගැනීම - http://www.silumina.lk/punkalasa/20090111/_art.asp?fn=ar0901114

No Response to "වසර දෙදහක් පැරැණි නැවක නටඹුන් හමුවෙයි"

Post a Comment

අදහස් සහ උදහස්