-->

Sunday, June 24, 2012

රාවණාගේ ලංකාපුරය කුඩා රාවණා, මහා රාවණා කොටු ද?

0

රාවණාගේ ලංකාපුරය කුඩා රාවණා, මහා රාවණා කොටු ද?



රාම, සීතා, රාවණා සහ හනුමාන් පිළිබඳ අප මෙතෙක් ඉදිරිපත් කළේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් සොයා ගනු ලැබු තොරතුරු සම්භාරයකි. එසේම ඇල්ල - වැල්ලවාය මාර්ගය අද්දර පැවති තොරතුරු ද අනාවරණය කළෙමු. අවිස්සාවේල්ල ආශි‍්‍රතව පැවති තොරතුරු ද ඉදිරිපත් කිරීමට හැකි විය. මෙම ස්ථාන එකිනෙකට සෑහෙන දුරින් පිහිටියා වුවද රාම - රාවණා - සීතා සහ හනුමාන් පිළිබඳ කතා පුවතේ්දී එම සියලුම ප්‍රදේශ එකම කලාපයක් සේ සැලකිය හැකිය.

මධ්‍යම කඳුකරයේ උස් බිම් හා ඒවා අද්දර තිබු පහත් බිම් ආශි‍්‍රතව පැවති තොරතුරු ලෙසින් පැවසීම උචිතය. ඒ අනුසාරයෙන් අපි රාවණාගේ අශෝක උයන පැවතියේ ද, රාවණා සීතා දේවිය සඟවා තැබුවේ ද, රාම - රාවණා යුද්ධය පැවතියේ ද මධ්‍යම කඳුකරයේ උස්බිම් ආශි‍්‍රතව බව ජනප්‍රවාද ආශ්‍රයෙන් සනාථ කිරීමට උත්සාහ කළෙමු. ග්‍රාම නාම, ස්ථාන නාම, ද්‍රව්‍ය නාම ආදිය අපි මෙහිදී උපයෝගී කර ගතිමු.

එම තොරතුරු ආශි‍්‍රතව මෙරට පැරණිම රාජධානිය වූ කුවේරගේ, රාවණාගේ සහ විභීෂණගේ “ලංකාපුරය” මධ්‍යම කඳුකරයේ පැවති බවට අනුමාන කළ හැකි විය. ලංකාපුරය යනු අප රටේ පැරණිතම රාජධානියයි. ඒ පිළිබඳ තොරතුරු සියල්ල අප්‍රකටය. අලිඛිතය. ලංකාපුරය යනු සම්පූර්ණ රටම ද, නැතිනම් ඉන් කොටසක් ද යන්න පවා සිතා ගත නොහැකිය.

එහෙත් ඉහත සඳහන් ස්ථාන ආශි‍්‍රතව කළ සොයා බැලීම්වලදී අනාවරණය වූයේ “ලංකාපුරය” පිහිටියේ මධ්‍යම කඳුකරය ආශි‍්‍රතව බවයි. ඒ බව අනාවරණය කර ගැනීමට ඉවහල් වූයේ ජනප්‍රවාදගත සිදුවීම් පමණි. රාවණා - සීතා ප්‍රවාදය සම්බන්ධ ඓතිහාසික සාක්ෂි කිසිවක් කිසිම තැනකින් අනාවරණය නොවීය.

එපමණකින්ම ලංකාපුරය මධ්‍යම කඳුකරය ආශි‍්‍රතවම පැවතියා යයි නිගමනයකට ඒමට ද අපට නොහැකිය. එසේ වන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල නගරය ආශි‍්‍රතව ඇති රූමස්සල කඳු වැටියත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට ආශි‍්‍රතව පවතින මහා රාවණා කොටුව සහ කුඩා රාවණා කොටුව ආශි‍්‍රතවත් රාම - සීතා - රාවණා සහ හනුමාන් පිළිබඳ ගෙතුණු ජනප්‍රවාද බොහොමයක් ද පවතින හෙයිනි.
මෙරට රුහුණු පුරවරයේ ආර්යය ජනාවාස ඇතිවීමට පෙර ප්‍රාග් ඓතිහාසික යුගයේ එනම් මීට වසර හාරදහසකට, පන්දහසකට පෙර යක්ෂ ගෝත්‍රිකයන් විසු බව සඳහන් වේ. යක්ෂ ගෝත්‍රිකයන්ගේ ප්‍රබලතම අධිපති වූයේ රාවණා රජුය. ඔහුගේ අගනුවර හැඳින්වුණේ ‘ලංකාපුරය’ නමිනි. ලංකාපුරය නිර්මාණය කළේ රාවණා රජුගේ රාජකීය ගෘහ නිර්මාණ ශිල්පියා වූ විශ්වකර්මය දකුණු මුහුදේ වෙරළාසන්නව ලංකාපුරය ගොඩනැඟු බව සඳහන් වේ.

රාම සහ රාවණා අතර ඇති වූ යුද්ධයෙන් රාවණා මියගිය පසු ලංකාපුරය මුහුදේ ගිලී විනාශයට පත් වූ බව කියනු ලැබේ. රාවණාගේ මෙම ලංකාපුරය නමැති රාජධානිය ලංකාවේ ගිනිකොන දිග වෙරළ ආශි‍්‍රතව පිහිටි මහා රාවණා සහ කුඩා රාවණා කොටු විය හැකි යයි කියනු ලැබේ. මේවා හිරිගල් පර ලෙසින් හැඳින්වේ.

මෙම හිරිගල් පර හම්බන්තොට දිස්ත්‍රික්කයේ කිරින්ද - පොත්තන අතර මුහුදු තීරයට සමාන්තරව සැතපුම් ගණනාවක් දිගට සාගරයේ විහිදී තිබේ. මහා රාවණා කොටුව කිරින්දේ සිට කිලෝ මීටර් 15 1/2 ක් දුරින් ද, කුඩා රාවණා කොටුව කිරින්දේ සිට කි. මීටර් 47 1/2 ක් දුරින් ද මුහුදේ පිහිටා ඇත.

මේවා ගොඩබිමේ විහිදීමක් ලෙස සලකන අතර වැලි ගල්වලින් නිර්මාණය වී ඇත. ඒ මත දීර්ඝ කාලයක් කොරල් ගොඩගැසීම නිසා කොරල්පර ලෙසින් දිස් වේ.

මහා රාවණා කොටුවේ මුහුදින් මතුව ඇති කොටස සැතපුම් හයක් පමණ දිග වුවත් තවත් සැතපුම් අටක පමණ කොටසක් මුහුදු ජලයට යට වී පවතී. කුඩා රාවණා කොටුව සැතපුම් 25 ක් පමණ දිගට විහිදී ඇති අතර මෙහි වැඩි කොටසක් මුහුදින් යට වී පවතී. ගොඩබිමට පෙනෙන්නේ මේවා මුහුදෙන් මතුව පවතින ගල් පර්වත දෙකක් ලෙසිනි.

කලක් ගොඩබිම් ලෙසින් පැවති මහා රාවණා කොටුව හා කුඩා රාවණා කොටුව මුහුදු ඛාදනයට ලක්ව මුහුදු ජලයට යට වී ඇත. ලක් ඉතිහාසයේ ඉතා පැරණිම රාජධානිය වූ ලංකාපුරය පිහිටියේ මෙම මහා රාවණා කොටුව හා කුඩා රාවණා කොටුව මත බවට පළවෙන මත අනන්තය.
කුඩා රාවණා කොටුවත් මහා රාවණා කොටුවත් මහා සාගරයෙන් මතුවී, ඉලිප්පී සිටින ගල්පර දෙකක්. මේ ස්ථාන දෙක වර්තමානයේදී බොහෝ දුරට ප්‍රකටව පවතින්නේ නෞකාවලට ගමන් මාර්ගය දක්වන ප්‍රදීපාගාර දෙකක් මේ ස්ථානයේ පිහිටා තිබීම නිසා. එහෙම වුණත් ජනප්‍රවාද ගත සිද්ධි අනුව මෙම ස්ථානයන්හි ඉතිහාසය ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා දිව යනව.

යක්ෂ ගෝත්‍රික රාවණා රජුගේ ලංකාපුරය නමැති බලවත් රාජධානී නගරය පිහිටියේ මේ ස්ථාන ආශි‍්‍රතව බවයි පැවසෙන්නෙ. රාවණාගෙ රාජධානියෙ නටබුන් බොහොමයක් මේ ස්ථානවල ජලයට යට වී පවතිනව. ලංකාපුරය වටේට රාවණා රජු පිත්තල භාවිතයෙන් ඉදිකළ පවුරු හතක් තිබිල තියෙනව. පවුරු හත ඉදිකළේ ලංකාපුරයෙ ආරක්ෂාවට. හිරු නඟින - බහින වෙලාවට අහස රන්වන් පැහැයෙන් බබළන්නෙ මේ පිත්තල පවුරු හතේ වදින සූර්ය රශ්මියෙ ප්‍රභාවය නිසා කියලයි කියන්නෙ.

ඉතා බලසම්පන්න රජෙකු වූ රාමටත් මේ පවුරු හත කඩල සුනුවිසුනු කරල දමන්න බැරි වුණා. නමුත් මේ පවුරු හත මුහුදේ ගිලී සැඟවුණා. එහෙම වුණේ රාවණා සිදුකළ පාපි ක්‍රියාවට දෙවියන් ලබාදුන් දඬුවමක් විදිහට බවයි විශ්වාසය. මේ විදිහට මුහුදේ ගිලී ගිය ලංකාපුරයේ වටිනා ප්‍රාසාද විසි පහකට වැඩි ප්‍රමාණයක් තිබුණලු. ඒ වගෙම මංමාවත් පන්ලක්ෂයක් පමණක් තිබුණලු. මේ නටබුන් සියල්ලම විනාශ නොවී අදත් මුහුද තුළ පවතින බවයි “විශ්වාසය.” ඇතැමෙකුගේ අදහස එපරිදිය.

මහා රාවණා ගල් පරය සහ කුඩා රාවණා ගල් පරය පිහිටා ඇත්තේ ජාත්‍යන්තර මුහුදු ගමන් මාර්ගයක් ආසන්නයෙහිය. එබැවින් දිනපතා මෙම මාර්ගය දිගේ නෞකා විශාල වශයෙන් ගමන් කරනු ලැබේ. දුරාතීතයේ සිට මේ ගල් පරවල වැදී විනාශයට පත් නෞකාවන්ගේ සංඛ්‍යාව අනන්තය. ඒ සියල්ල මුහුදේ ගිලී ගැඹුරු මුහුදේ පතුලේ තැන්පත්ව ඇති බව විශ්වාස කරනු ලැබේ. එසේ හෙයින් රන් - රිදී - මුතු - මැණික් ආදි වටිනා දේ බොහොමයක් රාවණා කොටු ආසන්න ගැඹුරු මුහුදේ පතුලේ තැන්පත්ව ඇතැයි කියනු ලැබේ.

මහා රාවණා කොටුව හා කුඩා රාවණා කොටුව යනු රාවණාගේ රාජධානිය නම් එහි නටබුන් බොහොමයක් මෙම ස්ථානයේ මුහුදට යටව පවතින බව විශ්වාස කළ හැකිය. ගොඩනැඟිලි, පවුරු, මාළිගා ආදි වශයෙන් තිබිය යුතු කිසිවක් පිළිබඳ මෙතෙක් අනාවරණය කර ගත් තොරතුරු කිසිවක් නොමැත. ගැඹුරු මුහුද නිසා මේවා ගවේෂණයට බාධා වී ඇති බව සිතිය හැකිය.

මෙම ස්ථානය රාවණා රජුගේ ලංකාපුරය වී නම් එහි අශෝක වනයක්, ගල් ගුහා, ආදිය ද තිබුණා විය හැකිය. රාවණා පැහැරගෙන ආ සීතා සඟවා තැබුවේත් රාම - රාවණා යුද්ධය පැවතියේත් මෙහිම විය යුතුය. මෙම ස්ථානය සමග රාවණා නාමය සම්බන්ධ වූයේ රාවණාගේ සම්බන්ධයක් මෙහි පැවති නිසා විය නොහැකි ද?

ගාල්ල නගරාශි‍්‍රත මුහුදු වෙරළ කේන්ද්‍ර කර ගනිමින් පිහිටි රූමස්සල කඳුවැටිය හා ඒ පිළිබඳ පවතින ජනප්‍රවාද රාවණාගේ රාජධානිය පිහිටියේ මහා රාවණා කොටුව හා කුඩා රාවණා කොටුව ආශි‍්‍රතව බව සනාථ කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි සපයයි ද?

රාම - රාවණා ප්‍රවාදය සම්බන්ධයෙන් තවත් ස්ථාන කීපයක් ආශ්‍රයෙන් ප්‍රචලිතව ඇති මත කීපයක් ද අනාවරණය කිරීමට කැමැත්තෙමි.
වලපනේ රූපඟ ගම පිහිටි නීල ගරුඬ පාෂාණය පිළිබඳ තොරතුරු අනාවරණය කරමින් අප මීට ඉහත දී කියා සිටියේ සීතා දේවිය අසනීප වූ කල එය සුවපත් කරන්නට හනුමාන් දඹදිව සිට ගෙන ආ ඖෂධ ගලේ ඉතිරිය ලියලා වැඩී එම ගල් පර්වතය තැනුණු බවයි. එහෙත් නීල ගරුඬ පාෂාණය යනු මහා බ්‍රහ්මයා ප්‍රථමයෙන්ම මහ පොළව මතට පිවිසීමේ දී පය ගැසු ස්ථානය බව පැවසේ. ප්‍රබල හින්දුහු මෙම මතය පිළි ගනිති.
වලපනේ ප්‍රදේශයේ හරස්බැද්ද ග්‍රාමය එනමින් ප්‍රකට වූයේ රාම - රාවණා යුද්ධය පවතින අවස්ථාවේදී ජීවිතාරක්ෂාව සඳහා ගවයන් ගාල්කොට තැබු ස්ථානය වූ නිසාවෙනි. හරක් බැද්ද උච්චාරණයේ පහසුවට පසුකල හරස්බැද්ද නම් විය.

වලපනේ රාගලට ආසන්නව රාවණා රුව තැන්පත් කොට ඉදි කළ විහාරස්ථානයක් “ශ්‍රී රාවණා පබ්බත විහාරය” නමින් හැඳින්වෙයි. රාවණා ආ ගල රාගල නම් විය. මෙම ප්‍රදේශයේ ගල් දොරටු තුනක් සහිත ප්‍රබල බලකොටුවක් පැවති බවට මතයක් තිබේ.

බදුල්ල නගරය රාවණා රජුගේ රාජධානි අග නගරය බව ප්‍රකට මතයකි. බදුල්ල අග නගරය කරගෙන රාවණා රට පාලනය කළ බව පැවසේ. නගරයට ආසන්න දුරකින් පිහිටි දුන්හිඳ දිය ඇල්ල ආශි‍්‍රත කන්දේ ගල් ගුහාවක් පවතින අතර රාවණා එහි ද සීතා සඟවා තැබු බව තවත් මතයකි.
රාවණා යනු ස්වදේශික රජෙකි. අති බලසම්පන්න රජෙකි. මිනිසුන් දස දෙනෙකුගේ බලය සහිත රාවණා රණශූරයෙකි. වෛද්‍ය වරයෙකි. විද්‍යාඥයෙකි. ගුවනින් ගමන් යා හැකි රිය අධිපතියෙකි. රාම - රාවණා යුද්ධයේ එක් අවස්ථාවකදී රාමගේ ප්‍රබල ප්‍රහාර හමුවේ රාමත් ඔහුගේ සොහොයුරු ලක්ෂමණත් වානර හමුදාවෙන් විශාල පිරිසකුත් මියගිය බව ද පැවසේ.

රාවණා සීතා පැහැරගෙන ආවේ ඇගේ රූපශි‍්‍රයට වශී වීමෙනැයි රාමායනය විග්‍රහ කරයි. එහෙත් තවත් මතයකින් කියවෙන්නේ රාවණාගේ නැගණිය වූ සුපර්ණකාට රාමගෙන් සිදු වූ හිරිහැරයකට පළිගැනීම සඳහා රාම සොයා ඔහුගේ මැඳුරට ගිය බවත් එවේලෙහි රාම මැඳුරේ නොසිටි හෙයින් සීතා දේවිය පැහැරගෙන ආ බවත් ය.
කෙසේමුත් සීතා දේවියගේ පේ‍්‍රමය බලෙන් පැහැර ගැනීමට කටයුතු නොකළ රාවණා පරමාදර්ශී රජෙකි. සිය වාසභූමියෙන් බොහෝ දුරස්ථර ප්‍රදේශයකට ගෙනැවිත් යක්ෂ ගෝත්‍රික හමුදා භාරයේ තැබු සීතාගේ පේ‍්‍රමය බලෙන් දිනන්නට හැකියාව තිබුණත් රාවණා එසේ නොකිරීමෙන් ඔහු සිය මහත්මා ගතිය මොනවට ප්‍රකට කළේය.
 

Sunday, June 17, 2012

බෙහෙත් ගැල්වූ රාවණාගේ දේහය මහතුඩුගල ගල් පර්වතයක

0

රාමා, සීතා, රාවණා සහ හනුමාන් සොයා ඉතිහාසයට ගිය ගමනක් - 6

බෙහෙත් ගැල්වූ රාවණාගේ දේහය මහතුඩුගල ගල් පර්වතයක

 
රාම, සීතා සහ රාවණා හා සම්බන්ධ සියලු ජනප්‍රවාදවලම පාහේ සඳහන් වන්නේ රාවණා සීතා පැහැරගෙන ආවේ ලංකාවට බවත් බිහිසුණු රාම - රාවණා යුද්ධය සිදුවූයේ ලංකාවේදීම බවත්ය. සීතා සඟවා තැබු ස්ථානය හා රාම - රාවණා යුද්ධය පැවති ස්ථානය පිළිබඳ කිසිඳු එකඟතාවයක් නොමැත.

හනුමාන් ලංකාපුරයේ වූ සියලු නිවෙස්වල පියසි මතට පනිමින් ඒවා දවා අළු කළ බවත් එම ගින්නේ ආලෝකය පතිත වූ පෙදෙස නුවරඑළිය නමින් ව්‍යවහාරප්‍රාප්ත වූ බවත් බොහෝ ජනප්‍රවාදවලින් කියවේ. නුවරඑළිය හා ඒ ආසන්න ප්‍රදේශවල පස් කළු පැහැ ගැන්වී ඇති අතර එසේ වූයේ හනුමාන් ගැසු ගින්නෙන් මුළු ප්‍රදේශයම පිළිස්සී ගිය බැවිනියි පැවසේ.

කෙසේ වුවද සීතා සහ සතුරු රාවණා පිළිබඳ සිද්ධිය නුවරඑළිය ප්‍රදේශයට පමණක් සීමා කරන්නට ඇතැම් ජනකතා සූදානම් නැත. මෙරට නන් දෙසින් මේ පිළිබඳ අසන්නට ලැබෙන කතා පුවත් අනන්තය; අප්‍රමාණය.

මෙහිදී ලංකාපුරය නමින් හැඳින්වුණේ රට ද නැත්නම් ලංකාවේ එක්තරා ප්‍රදේශයක් ද යන්න පිළිබඳව ද එකඟතාවයක් නොමැත. මෙම ප්‍රවාදය දිගහැරෙන්නේ මෙරට යක්ෂ ගෝත්‍රිකයන් පාලනය කළ යුගයේදීය. පළමුවෙන්ම යක්ෂ ගෝත්‍රික කුවේර රජ පිළිබඳ තොරතුරු අනාවරණය වෙයි. ඔහු ලංකාපුරය පාලනය කළේ බදුල්ල
අග නගරය කරගෙනය.

මහා බ්‍රහ්මයාගෙන් ඉතා බලසම්පන්න වරම් රැසක් ලබන රාවණා කුවේරගේ වැඩිමහල් සොහොයුරාය. බලසම්පන්නකමින් මත්වන රාවණා සිය සොහොයුරු කුවේර මරා දමා රාජ්‍යය සහ දඬුමොනර යන්ත්‍රය පැහැරගෙන බදුල්ල අග නගරය කරගෙනම ලංකාපුරය පාලනය කරයි.
රාවණා සීතා පැහැරගෙන එන්නේ මේ අතරතුරය. දඹදිව සිට බොහෝ දුරින් පිහිටි ලංකාපුරය නම් වූ යක්ෂ ගෝත්‍රික රාජ්‍යයේ සිරකාරියක වූ සීතාගේ පේ‍්‍රමය බලහත්කාරයෙන් දිනා ගන්නට රාවණා කිසිදු අවස්ථාවක උත්සාහ නොකළේය. මෙම සිද්ධිය අනාවරණය කරන්නේ රාවණා පරමාදර්ශී රජෙකු වූ බවයි.

යක්ෂ ගෝත්‍රික තුන්වන රජු විභීෂණය. රාමගේ ප්‍රහාරයෙන් රාවණා යුදබිම මියෑදුණ පසු රාම විසින්ම ලංකා රාජ්‍යය විභීෂණට පවරනු ලබයි. විභීෂණ යනු කුවේරගේ බාල සොහොයුරාය. එබැවින් රාවණාගේ ද මල්ලීය. විභීෂණ ලංකාපුරය පාලනය කරන්නේ කැලණිය අගනුවර කරගෙනය.

මෙම කුවේර, රාවණා සහ විභීෂණ යන යක්ෂ ගෝත්‍රික රජුන් තිදෙනා මෙරට පාලනය කළ යුගය පදනම් කරගෙන “ඉන්දියාවේ සිට සීතා පැහැරගෙන ආ දස හිස් ඇති යක්ෂාධිපති රාවණාගේ වාසභූමිය ලංකාව වූවා මිස ඊට පෙර මෙම දිවයින මනුෂ්‍ය වාසයක්ව පැවති බවට කිසිදු සාධකයක් නැතැයි ‘ලංකා ජනතාව‘ නමින් කෘතියක් සම්පාදනය කළ ආචාර්ය නන්දදේව විජේසේකර මහතා සඳහන් කර ඇත. 

නුවරඑළිය දිස්ත්‍රික්කයේ එක් අන්තයක පිහිටි මතුරට ප්‍රදේශයේ ඇති “සීතාව“ නමැති පැරණි ග්‍රාමය එනම ලද්දේ රාවණා එහි ද සීතා සඟවා තැබු බැවිනි යි කියනු ලැබේ. ඉතා දුෂ්කර කඳු මුදුනක් වූ සීතාව ගමට නුදුරින් උමඟක කටක් මතුව පවතින අතර එම උමඟ නුවරඑළියේ කඳපොළ ග්‍රාමය තෙක් විහිදී ඇතැයි කියනු ලැබේ.

කොත්මලේ පිහිටි රාවණාගොඩ ග්‍රාමය එනම ලද්දේ රාවණා සැඟවී සිටි ස්ථානයක් යයි විශ්වාස කරන බැවිනි. රාවණාගොඩ ද කඳුවලින් වට වූ දුෂ්කර, දුර්ගම ග්‍රාමයකි. එහි ද රාවණා ඇල්ල නමින් කුඩා දිය දහරක් පවතී.

රාමගෙන් වෙන්ව විසීමේ පි‍්‍රයවිප්‍රයෝගයේ හේතුවෙන් ද සතුරු රාවණා හා එක්වීමට සිදුවීමේ අපි‍්‍රය සම්භෝගයේ හේතුවෙන් ද සීතා දේවිය වැලපුණු ප්‍රදේශය වලපනේ නමින් ව්‍යවහාරප්‍රාප්ත වූ බවට ද මතයක් පවතී. වලපනේ යනු ද නුවරඑළිය දිස්ත්‍රික්කයටම අයත් දුෂ්කර පෙදෙසකි.

වලපනේ ප්‍රදේශයේ රාවණා - සීතා කතාව පදනම් කරගත් තවත් ජනකතා ගණනාවක්ම පවතී. එහි එක් උස් කන්දක් හඳුන්වන්නේ “පහන් තිබු කන්ද” නමිනි. කන්ද මුදුනේ ගල් තලාවක් හාරා සුවිශාල පහන් තැටිල්ලක් සකස් කර ඇති නිසා එනම ව්‍යවහාර විය. එහි දිනපතාම රාත්‍රියට පහන් තිරයක් දල්වා ඇත. එසේ පහන දල්වා ඇත්තේ ඊට පසෙකින් පිහිටි මහකුඩුගල ගල් පර්වතයට ආලෝකය පතිත වනු පිණිසය.
මහකුඩුගල ගල් පර්වතයේ යක්ෂයකු වෙසෙතියි ද, එම යක්ෂයාට ආලෝකය වැටෙනු පිණිස පහන දැල්වූයේ යයි ද ජනප්‍රවාදයේ සඳහන් වේ.

මෙම ජනප්‍රවාදය අඹන්වැල්ලේ ශ්‍රී සිද්ධාර්ථ ධර්මානන්ද මල්වතු පාර්ශ්වයේ හිටපු අනුනායක හිමියන් වලපනේ සම්බන්ධයෙන් ලියා තිබු ඉතිහාස විවරණ අත්පිටපතේ එන සිදුවීම් සනාථ කරතියි සිතේ.
රාවණාගේ දේහය බෙහෙත් ගල්වා නරක් නොවන සේ මහකුඩුගල ගල් පර්වතය තුළ තැන්පත් කර ඇතැයි ද, එය වර්තමානයේ දී පවා පවතින්නේ යයි ද උන්වහන්සේ සඳහන් කොට ඇත. උන්වහන්සේ පර්යේෂණ කණ්ඩායමක් සූදානම් කරගෙන රාවණාගේ දේහය තැන්පත් ගල් ගුහාවට ඇතුළු වී ඇත. එතුළ බොහෝ දුරක් ගමන් කිරීමේ දී තැනිතලා පොළවක අලංකාර පොකුණක් හමු වූ බවත් එය පසුකර යන විට සතර අතට විහිදි උමං මාර්ග හතරක සන්ධිස්ථානයක් හමුවූයේ යයි ද සඳහන් කොට ඇත. වගකිවයුත්තන්ගේ අනුග්‍රහය නොලද නිසා මෙම පර්යේෂණ කටයුත්ත ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි වී ඇත.
ඉහතින් දැක්වූ පරිදි පහන් තිබු කන්දේ පහන දැල්වූයේ යක්ෂ ගෝත්‍රික රාවණාගේ මෘත ශරීරයට ආලෝකය සපයනු පිණිස ද යන්න සැකයකි.
මහකුඩුගල පර්වතය මුදුනේ අලංකාර උයන් වතු, මල් වතු, පලතුරු වතු සහ ඖෂධ වතු ආදිය පවතින්නේ යයි ද, එහි ගොස් ඕනෑම තැනක සැරිසැරිය හැකි යයි ද, පලතුරු වත්තට වැදී පුළුවන් තරම් පලතුරු අනුභව කළ හැකි යයි ද, එහෙත් පලතුරු කඩාගෙන ආපසු එන්නට උත්සාහ කළහොත් ඔවුන් මංමුලා වන බව ද අත්දැකීම් සහිත පැරැන්නෝ පවසති. මේ අතර මෙරට ඉතිහාසයේ යුග පිළිබඳ කතාබහේදී සීතාවක යුගය පිළිබඳව ද තොරතුරු අනාවරණය වේ. 

වර්තමාන අවිස්සාවේල්ල ආශි‍්‍රතව සීතාවක රාජධානිය පිහිටියා වුවද සීතාවකට එනම ලැබුණේ සීතාදේවිය සඟවා තැබු එක් ස්ථානයක් නිසා යයි කියනු ලැබේ. සීතාවක මෙන්ම සීතාවක ගඟ ද පිහිටියේ ඒ ආසන්නවමය.

අවිස්සාවේල්ල ප්‍රසිද්ධ බස් නැවතුම් පොළට නුදුරින් පිහිටි ගල් ලෙනක් පිළිබඳ මතකය අවදි කළ පැරැන්නෙකු කීවේ පැහැරගෙන ආ සීතා දේවිය එම ගල් ලෙනේ ද සඟවා තබා ඇති බවයි. ඊට නුදුරින් ගලන දිය දහරාවේ පීල්ලක් නිර්මාණය වී ඇති අතර සීතා දේවිය ජලස්නානය සඳහා එම දිය පීල්ල භාවිත කළ හෙයින් එය සීතා පීල්ල වූ බව ද ඔහු තවදුරටත් පැවසුවේ ය.

පැහැර ගැනීමට ලක්වූ සීතා දේවිය වරෙක රාමයන් පිළිබඳ මතකය අලුත් කරමින් උපශාන්ත ජීවිතයක් ගත කළ බව ද, තවත් විටෙක සතුරු රාවණා පිළිබඳව උපන් කෝපයෙන් හා ක්‍රෝධයෙන් ඇවිස්සුණු ඇය රෞද්‍ර විලාසයකින් පසු වූ බව ද කියනු ලැබේ. එම උපශාන්ත ගුණය සහ රෞද්‍ර විලාසය වරින්වර සීතා ගඟ ද ප්‍රකට කරන්නේ යයි කියනු ලැබේ.
සීතාවක නාමය තැනුණු ආකාරය පිළිබඳ තවත් අයකු පළ කළ අදහසක් මෙපරිදිය. සීතාවක ගඟේ කනමැදිරියන් වළ සෑදී තිබෙන තැන වංගුවක් ඇති නිසා “වක” සෑදුණ බවත් වංගුව මෙන් ගලා බස්නා ජලය සීතල නිසා “සීත” සෑදුණු බවත් එම පද දෙකේ එකතුවෙන් “සීතාවක” නාමය සෑදුණු බවත් ය.

දකුණු ප්‍රදේශයේ ගාල්ල නගරය ආශි‍්‍රතව පිහිටි රූමස්සල කන්ද සහ හම්බන්තොට ආසන්නව ගිණිකොන දිග මුහුදු තීරයේ පිහිටි මහා රාවණා කොටුව සහ කුඩා රාවණා කොටුව අනාවරණය කරන්නේ රාම - සීතා සහ රාවණා කතා පුවත පිළිබඳ වූ තවත් පැතිකඩකි.
මතුරට “සීතාව“ ගම රාවණා - සීතා ප්‍රවාදය නිසා ප්‍රසිද්ධියට පත්වූවා සේම එම සිද්ධිය පිළිබඳ පැරණි ඓතිහාසික ග්‍රන්ථයක් ලෙස ප්‍රකට අතිපූජ්‍ය ලබුගම ලංකානන්ද මාහිමිපාණන් වහන්සේ සංස්කරණය කළ “මන්දාරම් පුර පුවත” පොතේ ද ඇතුළත් කොට තිබීමෙන් පෙනී යන්නේ සීතාව ගම එක්තරා ආකාරයක වැදගත්කමක් පෙන්නුම් කරන බවයි. එම ග්‍රන්ථය සම්පූර්ණයෙන්ම පද්‍යයෙන් රචනා වූවකි.
එහි ඇතැම් පද්‍යයක මතුරට “සීතා මුදුන”, “සීතා කන්ද” සහ “සීතාගිරි” යන ස්ථාන පිළිබඳ සඳහන් වෙයි. 

මේවා සීතාව ගමම හෝ ඒ ආසන්න ප්‍රදේශ විය හැකිය.
මන්දාරම් පුර පෙදෙස විනාශ කළ ශිව භක්තික ගිරි තවුසා ඇතුළු පිරිස පරාජය කළ දිවාරත්න, වීරසූරිය සහ හළුවඩන නිලමේ යන අයට ගම්-බිම්, සන්නස් හා රාජකාරි ද පිරිනමමින් පළමුවන විමලධර්මසූරිය රජතුමා “රාවණා කොඩිය” ද ඔවුන්ට පිරිනැමු බව මන්දාරම්පුර පුවත අනාවරණය කරයි. 

කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා මෙරට උපසම්පදාව පිහිටුවීම සඳහා සියම් දේශයෙන් වැඩම කරවු මහා සංඝරත්නය පිළිගැනීම සඳහා විශාල උත්සවයක් සංවිධානය කළ අතර එහිදී පෙරහරේ “රාවණා කොඩිය” පෙරටු කරගෙන හේවාහැටේ සේනාව ගමන් කළ බව ද මන්දාරම්පුර පුවත ග්‍රන්ථයේ සඳහන් වෙයි.

සීතා සහ රාවණා යන නාමය සඳහන් ස්ථාන
නාම, ග්‍රාම නාම, ද්‍රව්‍ය නාම ආදිය ප්‍රකාශ කරන්නේ මතුරට, මන්දාරම්පුර, සහ හේවාහැට වැනි ප්‍රදේශවල ද රාවණා - සීතා ප්‍රවාදයට පාදක වූ සිදුවීම් වූ බව නොවේ ද?


Sunday, June 10, 2012

ගුවන් යානයක ආකෘතියක් සීතා එළියෙන් හමුවෙයි

2

ගුවන් යානයක ආකෘතියක් සීතා එළියෙන් හමුවෙයි


රාමා, සීතා, රාවණා සහ හනුමාන් සොයා ඉතිහාසයට ගිය ගමනක් - 5

 

රාවණා රජුගේ ඔසු උයන පිහිටියේ දැනට හග්ගල උද්භිද උද්‍යානය පවතින තැන බැව් කියනු ලැබේ. එය පිහිටියේ ද සීතාඑළියට නුදුරිනි. සීතාඑළිය සහ හග්ගල පසුබිම් කරගත් හග්ගල කන්ද රාම – රාවණා සහ සීතා ප්‍රවාදය පිළිබඳ රහස් ගොන්නක් සඟවාගෙන නිසොල්මනේ සිටී. හග්ගල දැඩි ස්වභාව රක්ෂිතයක් වන්නට පෙර එම කඳු මුදුනට නැඟි ගැමියෝ සිටිති. ඔවුන්ගේ අත්දැකීම් අසන විට මවිතය උපදවයි.
හග්ගල කන්ද පුරා ගල්ගුහා පවතී. ගලින් කළ පඩි පෙළවල් පවතී. මුදුනේ ගල් තලාවක දිය පොකුණක් පවතී. ගල් ආසන, ගල් තලාව දිගේ විහිදුණු කරත්ත පාරක සලකුණු ආදිය පවතී. හග්ගල කන්ද මුදුනේ වූ තුරුලතාවල ද දකින්නට ලැබෙන්නේ අමුතුම වෙනසකි. වෙනත් කිසිදු ප්‍රදේශයකදී දක්නට නොලැබෙන තුරුලතා හග්ගල කඳු මුදුනේ දී දැකගත හැකිය.

එහි පවතින ගස්වල ප්‍රධාන ස්වභාවය නම් ඒවා කුරු ස්වභාවයක් ඉසිලීමයි. අවුරුදු දෙතුන් සියය පැරණි ගස් පවා උසින් අඩි 3-4 නො ඉක්මවයි. වනාන්තරය මැද සිටගත් විට තුරුලතා උස්වන්නේ මිනිසුන්ගේ ඉඟ පෙදෙසට පමණි. එහෙත් ඒවායේ කඳන් සුවිශාලය. ගස්වල විශාල අතු ප්‍රමාණයක් පවතී. ඒවා ද කෙළින් නොවැවී ඇඹරුණු ස්වරූපයකින් පවතී. ගසක ස්වරූපය දිගහැරි කුඩයක් සේ වෙයි. මේ අතර නමින් හඳුනා ගත නොහැකි ගස් වර්ග ගණන සුවිශාලය.
වැඩිපුරම ඇත්තේ අශෝක ගස්ය. සීතා පේර නමින් හඳුන්වන රසැති පලතුරු ගස් වර්ගයක් පවතී. ඒවා ද වැවෙන්නේ පඳුරු සහිතවය. මංමුලාවැල් නමින් වැල් වර්ගයක් ද එහි තිබේ. ඒවා පෑගුණු විට මඟ වරදී. පාර සොයාගත නොහැකිව මංමුලා වේ. සැඟවූ සීතා සොයා එන රාමගේ හමුදාව අතරමං කරවනු පිණිස රාවණා විසින් මංමුලාවැල් වවන ලද බවට මතයක් පවතී.

එහි පලතුරු වත්තක් පවතින අතර ඇතිතාක් පලතුරු අනුභව කළ හැකිය. එහෙත් ආපසු යනවිට ගෙන යා නොහැකිය. ගෙන යන්නට උත්සාහ කරන්නන්ට විපත් එළඹේ. හග්ගල කන්ද මුදුනේ ඇති එක් මුදුනකට නම් කිසිසේත්ම නැඟීමට නොහැකිය. එහි නැඟීමට උත්සාහ කරන්නෝ ද ලෙඩ වෙති. හග්ගල කන්ද තරණය කරන්නට ගිය බොහෝ පිරිස් ආපසු පැමිණ ඇත්තේ දින කීපයකට පසුවය. ඔවුන්ගේ සිරුරු ඉදිමී තිබුණි. විකාරයෙන් දොඩවමින් සිහි කල්පනාව නැතිව හැසිරෙති. ඔවුන් යථා තත්ත්වයට පත්කොට ගෙන ඇත්තේ යන්ත්‍ර - මන්ත්‍ර, ගුරුකම් කිරීමෙන් අනතුරුවය. හග්ගල කන්ද මුදුනට නැඟි විට ඔවුන් සිහි කල්පනාව නැතිව ඉබාගාතේ යන පිරිසක් බවට පත්වන්නේ මවිතය දනවන පරිද්දෙනි.

මේ අසිරිමත් සීතාඑළිය සහ එය ඉම කොට ගත් හග්ගල කන්ද පිළිබඳ තොරතුරු ස්වල්පයක් පමණි. දැනට ජීවතුන් අතර නැති සීතාඑළියේ රංජිත් මහතා පෙර විටෙක හග්ගල කන්දේ අද්භූත දේ පිළිබඳ බොහෝ විස්තර මා හා පවසා ඇත.
”එතකොට මං පුංචි කොල්ල කාලෙ. ඉන්දියාවෙ හින්දු පූජකවරු කීපදෙනෙක් ආව සීතාඑළියට. මගෙන් ඇහුව හග්ගල කන්දට නඟින්ඩ පාර පෙන්නන්ඩ පුළුවන්ද කියල. මං පාර පෙන්නුව. ටික දුරක් නඟිද්දි එක පූජකයෙක් ගහක කොළ වගයක් කඩල අතේම පොඩි කරල ඉස්ම ටික ගත්ත. ඒකට දැම්ම තඹ සතේ කාසියක්. ඒ කාසිය දියවුණා. ඊට පස්සෙ තවත් ගහකින් කැඩුව කොළ කීපයක්. ඒක කඩල මිරිකලා ඉස්ම අරන් කාසිය දියවුණු වතුරට දැම්ම. ඒ පාර කාසිය ආයෙමත් තිබුණ වගේම අපූරුවට හැදුණ. ඒ ගොල්ල හග්ගල කන්දෙ ගහ කොළට හරියට ගරු සත්කාර කළා. වැඳ නමස්කාර කළා. රංජිත් මහතා හග්ගල කන්ද පිළිබඳ එලෙසින් මා හා කියා තිබේ.

පුරාණයේ එක්තරා දිනෙක සීතාඑළියේ පිරිසක් එකතුව නිධානයක් ගැනීමට කළ තැතත් පිළිබඳ මතකය රංජිත් මහතා මවෙත අනාවරණය කළේ මෙලෙසිනි.
”සීතාඑළියෙ තිබුණ අංජනම් එළි බලල සාස්තර කියන තැනක් - ගෙදර වත්තෙ දේවාලයක් හෙම හදල ජයටම මේ වැඩේ කළා. හැබැයි කරපු කියපු හැම දෙයක්ම සත්ත වුණා. දෙවියන්ගෙන් ඉල්ලා සිටින කාරණා ඉෂ්ට කරල දෙන්නෙ හනුමන් දෙවියො.

දවසක් දා අඳුන බලන ගුරුන්නාන්සෙ දේවාලෙ පූජාවක් ලැහැස්ති කළා. ඒකට සහභාගි කර ගත්තෙ විශ්වාසවන්තම දෙතුන් දෙනෙක් විතරයි. අපි එතකොට අවුරුදු දොළහෙ – පහළොවෙ කොල්ලො. පූජාවට වුවමනා අඩුම- කුඩුම හෙව්වෙ අපි. හැන්දැවෙ ගුරුන්නාන්සෙ පූජාව පටන් ගත්ත. හොඳට පේවෙලා හෙම මැතිරුව.

පූජාවට තිබ්බ එක බිත්තරේකට වෙනමම මතුරපු ගුරුන්නාන්සෙ ඒක මගෙ අතට දුන්න. පුළුවන් විදිහකින් ඔය බිත්තරය බිඳින්න කියල කිව්ව. අපි උත්සාහ කළා. ඒත් බැරිවුණා. බිත්තරේ හරියට ගල් ගෙඩියක් වාගෙ තදයි. ටික වෙලාවකට පස්සෙ ගුරුන්නාන්සෙ ආවේශ වුණා. ආවේශ වෙලා කිව්ව තමන් හනුමන් කියන දෙවියො කියල. වැඩ වාසය කරන්නෙ සීතාඑළියෙ කෝවිලේ කියලත් කිව්ව. ආවේශ වුණාට පස්සෙ ගුරුන්නාන්සෙ වානරයෙක් නැත්නම් වඳුරෙක් වාගෙම තමයි. පෙනුම මනුස්සයෙකුගෙ වුණාට හැසිරුණේ වඳුරෙක් වාගෙ. විරිත්තනව, පැන පැන යනව, ඇඟ කසන්නෙ හෙම වඳුරෙක් කසනව වාගෙ.

වත්තෙ එක තැනක් පෙන්නල ගුරුන්නාන්සෙ කිව්ව මෙතන වටිනා නිධානයක් තැන්පත් කරල තියෙනව. එතන හාරන්ඩ කියල. අපි උදලු, යකඩ අරන් ඒ රෑම වළ හාරන්ඩ පටන් ගත්ත. ගල් - මුල් හම්බ වුණා. ඒත් නිධානයක් නම් ලැබුණෙ නෑ. අපට තව යටට හාරන්ඩ කිව්ව. යටට හාරද්දි රත්තරන් පොදියක්ම හම්බ වුණා. ගුරුන්නාන්සෙ රත්තරන් පොදිය අරන් දේවාලෙන් තැන්පත් කරල තිබ්බ.

එදා රෑ අපිට කෑම ලැහැස්ති කරල තිබුණ. ගුරුන්නාන්සෙට කෑමට ලැහැස්ති කරල තිබුණෙ පලතුරු වට්ටියක්. ගුරුන්නාන්සෙ ඒ පලතුරු එක එක දෑතින්ම අරගෙන කෑවෙ හරියට වඳුරෙක් කනව වාගෙමයි.
පුරාණෙදි සීතාඑළියෙ තවත් කෙනෙකුට රත්තරනින් හදපු ගුවන් යානයක ආකෘතියක් ලැබිල තියෙනව. නිදන් වළක තිබිල. ඒක රාවණා රජ්ජුරුවන්ගෙ දඬුමොනර යන්තරේ ආකෘතියක් කියල තමයි කියන්නෙ. ඒ අය ඒක විකුණගෙන බොහොම පොහොසත් වුණා.
ඒ කාලෙ සීතාඑළියෙ හිටපු සමහර උදවිය බලා හිටිද්දි හිතන්ඩ බැරි තරම් පෝසත් වුණා. ඒ පෝසත් වුණේ නිදන් ලැබිච්චි අය කියලයි කියන්නෙ. බොහොම දෙනකුට වටිනා මැණික් හෙමත් ලැබුණලු.

සීතාඑළියයි, හග්ගලයි අතරෙ මහපාරෙ එක වංගුවකට කියන්නෙ මැණික් වංගුව කියල. එහෙම කියන්නෙ එතැන මැණික් හම්බවෙන තැනක් නිසාලු. රෑට රෑ වුණාට පස්සෙ කිසිම කෙනෙක් ඒ හරියෙන් තට්ට තනියම නම් ගියෙ නෑ. හොල්මන් අවතාර ඇවිත් බයකරන නිසා. ඒ මණ්ඩියෙ තිබුණෙ වටිනා, පිරිසුදු, අලුත්ම අලුත් මැණික්ලු. හොරෙන් ගෙනියන්ඩ බැරිතරම් විශාල මැණික් හෙමත් තිබුණලු.
ඒ දවස්වල සමහර වතුවල කළු ගල් කැඩුවෙ බැකෝ යන්ත්‍රවලින්. ගෙවල් හදන්ඩ ගල් කඩනවයි කිව්වට කෙරුවෙ වෙන දෙයක්. නිදන් තමයි හාරල ගත්තෙ” රංජිත් මහතා මෙවන් තොරතුරු බොහොමයක්ම මා හා පවසා ඇත.

Sunday, June 3, 2012

රාවණාගේ අශෝක උයන

0

රාවණාගේ අශෝක උයන

රාමා, සීතා, රාවණා සහ හනුමාන් සොයා ඉතිහාසයට ගිය ගමනක් - 4

රාවණා රජගේ ඖෂධ උද්‍යානය, මල් උද්‍යානය මෙන්ම වනෝද්‍යානය ද මෙරට පැවතිනැයි ද, මෙරට විවිධ ප්‍රදේශවලින් ඒ පිළිබඳ තොරතුරු ලැබෙතැයි ද ජනප්‍රවාදයේ පවතී. ඇත්තෙන්ම මේ උයන් පැවති ස්ථානය ස්ථිර වශයෙන්ම දන්නා කිසිවෙකුත් නැත. මේ පිළිබඳ පවතින මත සියල්ලම මනඞකල්පිතය. එසේනම් මෙරට කුමන ස්ථානයක මේවා පවතින්නට ඇද්ද?

අශෝක ගස්
නුවරඑළිය, හග්ගල මල්වත්ත හෙවත් හග්ගල උද්භිද උද්‍යානය බවට පත්වූයේ රාවණාගේ ඖෂධ උද්‍යානය බවට පළවෙන මත අනන්තය. රජ කෙනෙකුගේ ඖෂධ උද්‍යානය හග්ගල මල්වත්ත තරම් කුඩා එකක් වන්නට බැරිය. හග්ගල මල්වත්ත යනු පැය තුන-හතරක් ඇතුළත සංචාරය කොට නරඹා අවසන් කළ හැකි තැනකි. 

එහෙත් දුරාතීතයේ දී හග්ගල මල්වත්ත සතුව පැවති භූමිභාගය අති විශාල විණැයි ද, වර්තමානයේ දී ඉන් විශාල ප්‍රමාණයක් ජනාවාස බවට පත්වී ඇතැයි ද කියනු ලැබේ. හග්ගල මල්වත්ත වටේටම පවතින ජනාවාස හේතුවෙන් මෙම ප්‍රකාශයේ සත්‍යයක් ඇතැයි සිතිය හැකිය.
රාවණා රජුගේ මල් උද්‍යානය සමන්විතව තිබී ඇත්තේ අශෝක වර්ගයේ මල් ගස්වලිනි. රාවණාගේ අශෝක මල් උයන යයි කියන්නේ එබැවිනි. අශෝක මල් මහරත්මල් නමින් ද හඳුන්වනු ලැබේ. මාතලේ, මහනුවර හා නුවරඑළිය ඇතුළත් මධ්‍යම පළාතේ පුෂ්පය වූයේ ද මහරත්මලයි. එය එසේ වූයේ මහරත්මල මධ්‍යම පළාතේ අනන්‍යතාව පළකරන නිසා වන්නට බැරිද? මෙම රචනයේ දී මහරත්මල වෙනුවට අශෝකමල යන නාමය භාවිත කිරීමට කැමැත්තෙමි.

දුරාතීතයේ එනම් ක්‍රිස්තු පූර්ව යුගයටත් එහා යුගයේ මෙරට අශෝක මල් උයනක් පැවතියා නම් එහි නටබුන් වර්තමානයේ දී වුවද නොපවතින්නට හේතුවක් නැත. රාවණා රජු ඇතුළු යක්ෂ ගෝත්‍රික රජවරුන් මෙරට පාලනය කළ අවධිය තෙත්‍රා යුගය නමින් හඳුන්වනු ලැබේ. රාවණා බදුල්ල අගනගරය කරගෙන රට පාලනය කළ බව ද, ඔහුගේ දුර්ගම නගරය නුවරඑළිය වී යයි ද ප්‍රකටව ඇති තවත් මතයකි. එසේ නම් රාවණා සතු වන, ඔසු, මල් උයන් ආදිය ඒ ආශ්‍රිත ප්‍රදේශයේම පැවතියා වන්නට නොහැකිද?

අශෝක හෙවත් මහරත්මල් වර්තමානයේ දී ද දක්නට ලැබේ. විසිතුරු මලින් පිරි රුක් විශේෂයකි. මධ්‍යම කඳුකරයේ ද මුදුන්ම ස්ථානවල, විශේෂයෙන්ම මුහුදු මට්ටමේ සිට අඩි 5000ට ඉහළින් පිහිටි භූමිවල දැනට ද තැනින් තැන අශෝක ගස් පවතිනු දැකිය හැකිය. නුවරඑළිය, සීතාඑළිය, හාවාඑළිය, සඳතැන්න, හග්ගල, කඳපොල, මීපිළිමාන, අඹේවෙල, පට්ටිපොළ, හෝර්ටන්තැන්න යනාදී ප්‍රදේශවල අශෝක ගස් පවතිනු දැකිය හැකිය. එසේනම් මේ සුවිශාල ප්‍රදේශය රාවණාගේ අශෝක උයන පිහිටි ප්‍රදේශයම යයි නිගමනයකට එළඹිය නොහැකිද?

දුම්රියෙන් යද්දී නාවලපිටිය – බදුල්ල අතර දී මඟ දෙපස අශෝක ගස් තිබෙනු දර්ශනය වේ. රම්බොඩ හරහා නුවරඑළිය පාරේ ගමන් ගන්නා විට ද අශෝක ගස් තිබෙනු පෙනේ. ගැවසි කඳු බෑවුම්වල ඇති පතන බිම්හි හෝපලු වැනි මල් ඇති ගස් විශේෂයක් ඇති බවද, මේවා බොහෝ සෙයින් වැවෙන්නේ නුවරඑළිය, බණ්ඩාරවෙල හා බදුල්ල යන නගරවලට ඇතුළත් වූ ත්‍රිකෝණාකාර බිම් කොටසේ බවද 1948 දී රචිත ‘ද පීපල් ඔෆ් සිලෝන්’ නමැති ග්‍රන්ථයේ සඳහන්ව ඇත. මෙහි හෝපලු නමින් හැඳින්වෙන්නේ අශෝක මල්ම විය නොහැකිද?
1818 ඌව - වෙල්ලස්ස කැරැල්ල හේතුවෙන් මෙරට සිදුව තිබූ ව්‍යසන ගැන සොයා බලමින් දේශ සංචාරයක යෙදුණ දොස්තර ජෝන් ඩේවි රචනා කළ “ලංකාවේ අභ්‍යන්තරය එහි ජනතාව හා ඒ දිවයිනේ චාරිකා” (ඩේවි දුටු ලංකාව) නමැති ග්‍රන්ථයේ ලා අශෝක මල් පිළිබඳ ප්‍රමාණවත් විස්තරයක් සඳහන්ව ඇත. ඔහු නුවරඑළිය ප්‍රදේශයේ ස්වභාව සෞන්දර්යය වින්දනය කරමින් අශෝක ගස් ගැන මෙසේ සඳහන් කොට ඇත.

”අශෝක වැනි මල් සහිත ගස් විශේෂයක් ඇති මිටි ලඳු කැලයෙන් ගැවසුණ අති විෂම භූමි භාගයක් මත ගමන් කළෙමු.... කිකිළියාමාන නම් එළිමහන් භූමියකට පෙරවරු 10ට පැමිණියෙමු. ...අශෝක ගණයට අයත් ගස් ප්‍රධාන වශයෙන් ඇති වනයෙන් වටවී තිබුණි. මේ වර්ගයට අයත් හුදකලා ගස්ද අතන - මෙතන දක්නට ලැබුණේය ... අපි විශාල අනාවරණ ප්‍රදේශයකට පැමිණියෙමු. මෙහි දර්ශනය සිත්ගන්නා තරමටම අලුත් ද විය. මඟපෙන්වන්නෝ එය නුවරඑළිය පතන යයි හැඳින්වූහ. ... තනි ගස් ගොන්නවල් වශයෙන් සිට අතන, මෙතන පිහිටි විශාල හුදකලා අශෝක ගස් හා එක්වී අතිදර්ශනීය පෙනුමක් පහළ කොට චිත්තකාන්ත භූමි දර්ශනයක් නිපදවීමට සහාය වේ.”

අශෝක මලක්
ඉංග්‍රීසීන් රචිත ග්‍රන්ථවල නුවරඑළිය හා ඒ අවට උස් බිම්වල තිබූ අශෝක ගස් ගැන විග්‍රහ කර ඇත්නම්, අදත් මේ ප්‍රදේශවල අතන-මෙතන හුදකලා අශෝක ගස් දක්නට ඇත්නම් රාවණාගේ අශෝක වනය පැවතියේ නුවරඑළිය හා ඒ ආශ්‍රිත ප්‍රදේශයේ බව සනාථ කරන්නට තවත් සාක්ෂි අවශ්‍ය වේද? මෙරට පහත් බිම් ප්‍රදේශ කිසිවකින් අශෝක ගස් වාර්තා නොවේ.

රාවණා දඹදිව සිට පැහැරගෙන ආ සීතා සඟවා තැබුවේ අශෝක මල් උයනේ බව ද, සීතා සොයා පැමිණි හනුමාන් සහිත පිරිස දිවයිනේ සතර දිග් භාගයේම සොයා බලා නුදුටු තැන, සීතා සොයා අශෝක මල් උයනට පිවිසි බවද ‘රාමායනය’ විස්තර කොට ඇත.

රාමායණය විග්‍රහ කරන අශෝක වනය නුවරඑළිය ආශ්‍රිතව පිහිටි අශෝක වනයම නම් එකල ගසින් ගස එකට ගැටී රුක්ගොමුව මලින් පිරී පැවති අශෝක වනය අද අතන-මෙතන කලාතුරකින් පමණක් දක්නට ලැබෙන අශෝක ගසින් හිඟ ප්‍රදේශයක් බවට පත්ව ඇත්තේ මන්දැයි කුකුසක් උපදිනු ඇත. ’රාමායනය’ ම කියන පරිදි හනුමාන් අශෝක වනයෙහි සීතා දෙස බලමින්ම මධ්‍යම රාත්‍රිය ගත කළ අතර හනුමාන් උයනේ වූ ගස් පෙරළා බිම දමා උයන විනාශ කළේය. අශෝක වනය විනාශ කරන්නට වූ හනුමාන් අල්වා රාවණා රජු උගේ වලිගයට ගිනි තබන ලදී.” යන ප්‍රකාශවලින් ඇඟවෙන්නේ හනුමාන් විසින්ම අශෝක වනය විනාශ කර දමන ලද බවයි. එම විනාශය නිසා අශෝක ගස් වඳවී ඒවා යළි බෝවීම වැළකුණා වන්නට බැරිද?

අශෝක යනු අපගේ අත්දැකීමේ හැටියට ඉතා ඉක්මනින් ලියලා වැඩෙන ගස් වර්ගයක් නොවේ. එහි වර්ධනය ඉතා සෙමින්ය. ගස අඟල් හතරක් පහක් උස යන්නට අවුරුදු දහය – පහළොව අතර කාලයක් වත් ගතවෙයි. දැනට අශෝක පැළ යායක් පවතිනුයේ හෝටන්තැන්නේ පමණි. ඒවා තවමත් කුඩා පැළෑටිය. දුරාතීතයේ විනාශයට පත් අශෝක වනය කාලයාගේ ඇවෑමෙන් ලියලා වැඩෙන ආකාරයක් මින් පළ නොකරන්නේද?

මලින් පිරි අශෝක ගස්
ඒ ඇරත් අශෝක යනු ප්‍රබල ඖෂධයකි. ආදායම් උපයා ගැනීමේ මඟක් ලෙසින් අශෝක ගස් කපා පොතු අලෙවි කර ගත්තා ද විය හැකිය. දැනට මෙම ගස කැපීම, ප්‍රවාහණය ආදිය දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස නීතිගත කොට තිබේ.
රාවණා විසින් සීතාට කන්නට දෙන ලද කිරිබත්, කෝපත්ව සිටි ඇය දසත විසි කළ බව ද, ඒවා පාෂාණිභූත වූ බව ද, ඒවා කැට වශයෙන් දැනට ද පොළව කොටන විට හමුවන අතර මෙම ‘සීතා ගුලි’, ‘සීතා කැට’ හෝ ‘සීතා අග්ගලා’ ගලගා බොන්නට දීමෙන් බඩේ රුදා සුවපත් වන බවට විශ්වාසයක් පවතින බවද, මෙය අත්දුටු අය ද නුවරඑළිය පෙදෙසේ වසති. අශෝක වනයේ අඳුරු ගල්ගුහා තුළ සඟවා තැබීමේ හේතුවෙන් සීතාට ඇස් රෝගයක් වැලඳුණ අතර එය සුවපත් කරන්නට හිරුඑළිය ස්පර්ශ කරවීම සඳහා ඇය රැගෙන ආ එළිමහන පසු කල සීතාඑළිය නමින් ප්‍රකට වූ බවද, එම ස්ථානයේ වර්තමානයේ දී සීතා කෝවිල ඉදිවී ඇතැයි ද ජනප්‍රවාදයේ පවතී.

මීට අවුරුදු කීපයකට පෙර සීතාඑළිය ප්‍රදේශයේ ළිඳක් කැණීමේ දී එහි ඉවුරක හනුමාන්ගේ සුවිශාල රූපයක් මතු වූ බව ද, එය සියැසින්ම දුටුවෝ ද සිටිති. ප්‍රශ්න ගණනාවක් හේතුවෙන් එම ළිඳ වසා දැමුණු අතර ඉන්පසුව එහි පදිංචිකරුවන්ට එහි විසිය නොහැකි තත්ත්වයක් උද්ගත වූ බවද කියනු ලැබේ. රාවණාගේ මළසිරුර නරක් නොවන පරිදි බෙහෙත් ගල්වා වලපනේ මහකුඩුගල පර්වතයේ ගල්ගුහාවක තැන්පත් කර ඇතැයි ද මතයක් පවතී. මහකුඩුගල ඇත්තේ ද නුවරඑළියට නුදුරු පෙදෙසකය.

නිරාහාරව විසීමේ හේතුවෙන් සීතාට බඩේ රුදාවක් වැලඳුණ අතර එය සුවපත් කරන්නට හනුමාන් දඹදිව සිට ගෙන ආ ඖෂධ ගලේ ඉතිරි කැබෙල්ල ලියලා වැඩී වලපනේ නීල ගරුඬ ගල තැනුණ බවට මතයක් පවතී. එය ද විවිධ රෝගාබාධ රැසකට ප්‍රත්‍යක්ෂ ඖෂධයකි.
1999 වසරේ ජනවාරි මස 06 දින ඇතුළුව තවත් කීප දිනක්ම මුළු ලොව වසන හින්දු බැතිමතුන් විශාල පිරිසක් සීතාඑළියට රැස්ව එහිදී රාම පූජා පැවැත්වූ අතර ඔවුන් හග්ගල, සීතාඑළිය, හග්ගල කඳුවැටිය ආදියට වැඳ නමස්කාර කළේ අප්‍රමාණ භක්තියකින් යුක්තවය. අශෝක ගස ද ඔවුන්ගේ වන්දනාමානයට ලක් විය. රාම පූජා සීතාඑළියේ දී පැවැත්වූයේ රාවණා පැහැරගෙන ආ සීතා සිය පතිවෘතා ධර්මය ආරක්ෂා කර ගත් සීතාඑළිය ශුද්ධ භූමියක් සේ හින්දුන් සලකන බැවිනි. 

සිය පතිවෘතා බල මහිමය විදහා පෑමට සීතා ගිනි ජාලාවකට පැන්න අතර, ඇගේ සුපිරිසුදු භාවය නිසා ඇය ගින්නෙන් පිළිස්සුණේ නැත. මෙසේ සීතා සුපිරිසුදු බව සනාථ කළ ස්ථානයේ දිව්රුම්වෙල පුරාණ රජ මහා විහාරස්ථානය ඉදිවී ඇත. එය ඇත්තේ ද නුවරඑළියට නුදුරු ප්‍රදේශයකය. හග්ගල කන්දේ ආශ්චර්යවත්, අද්භූත දේ පවතින බව සියැසින් දුටුවෝ සිටිති. ගල්ගුහා, ගල්පඩි පෙළවල්, ගල් ආසන එහි පවතින්නේ යයිද, ඉතා දුර්ලභ ගණයේ ඖෂධ වර්ග එහි පවතින්නේ යයි ද, එහි ඇති ගස්වල උස අඩි 4 – 5 නොඉක්මවන අතර එම ගස් සුවිශාල කඳන් සහිත බවද, ගස් කඳන් ඇඹරුණ ස්වරූපයක් පළකරන්නේ යයි ද දුටුවෝ කියති.
එසේනම් අශෝක වනය පිහිටියේ නුවරඑළිය ආශ්‍රිත ප්‍රදේශයේම බව සනාථ කරන්නට තවත් සාක්ෂි අවශ්‍ය නොවනු ඇත.

සිරිසේන දේවපි‍්‍රය