-->

Friday, November 29, 2013

බුදු රදුන් ලංකාවට වැඩම කළ බවට ඇති පුරාවිද්‍යාත්මක සාක්ෂි

0

බුදු රදුන් ලංකාවට වැඩම කළ බවට ඇති පුරාවිද්‍යාත්මක සාක්ෂි

ශ්‍රී ලංකාවාසී බෞද්ධයන් මෙන්ම සමස්ත ලෝකවාසී බෞද්ධයෝද සම්බුද්ධත්ව ජයන්ති වර්ෂය විවිධ ආමිස ප්‍රතිපත්ති පූජා ඔස්සේ සැමරීමට කටයුතු කළහ. සිද්ධාර්ථ ගෞතමයෝ වසර හයක් දුෂ්කර ක්‍රියාකොට ඉන් පසුව මධ්‍යම ප්‍රතිපදාව ඔස්සේ නුවණ මෙහෙයවා වයස අවුරුදු 35දී උතුම් වූ සම්බුද්ධත්වයට පත් වූහ. පාලි ත්‍රිපිටක සාහිත්‍යයට අනුව එතැන් පටන් වසර හතළිස් පහක් පුරා දෙව් මිනිසුන්ගේ හිතසුව පිණිස ගම්, නියම්ගම්, නගර කරා වඩිමින් රජ, මැති, ඇමැති, සිටු පොහොසත්, දුප්පත් භේද නොතකා සැමට පොදුවේ සත්‍යය දේශනා කළහ. සමස්ත ලෝකයම වඩාත් ප්‍රායෝගිකව ග්‍රහණය කර ගනුයේ මේ අසම - සම බුද්ධ රත්නයටම පමණක් ආවේණික වූ අපරිමිත කරුණාව, දයාව හා මෛත්‍රියයි. මෙසේ ධර්ම දේශනා කළ වර්ෂ 45ත්, බුද්ධ පරිනිර්වාණය සිදුවී ගත වූ වර්ෂ 2555ත් එක්කොට 2600 සම්බුද්ධත්ව ජයන්තිය සැමරීමට බෞද්ධයෝ කටයුතු කළහ.

ශ්‍රී ලංකාව බහුතර බෞද්ධ ජනතාවක් වාසය කරන රටක් වශයෙන් මෙන්ම බුදු දහම අනිවාර්යයෙන් රාජ්‍ය ආගම බවට පත්කර ගෙන සිටින රටක් වශයෙන්ද මෙරට පාලකයා නිතැතින්ම පාරිශුද්ධ බෞද්ධයකු විය යුතු යැයි දැඩිව සලකන දිවයිනක් වශයෙන්ද සම්බුද්ධත්ව ජයන්තිය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරනු දක්නට ලැබිණි. එසේම මෙරට පුරාණ වංසකතා පවසන පරිදි බුදුන් ශ්‍රී ලංකාද්වීපයට තෙවරක්ම වැඩම කර තිබේ. උගතුන් අතර ඒ පිළිබඳව විවිධ මතිමතාන්තර පැවතුණද මුළුමහත් ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව බුදුන් ශ්‍රී ලංකාවට වැඩි බව ප්‍රකාශ කෙරෙන වංසකතාගත තොරතුරු තරයේම විශ්වාස කරති, අදහති. මෙබඳු අවස්ථාවක "බුදුන්ගේ ලංකා ගමනයන්" පිළිබඳව ඓතිහාසික මූලාශ්‍රයන්වල එන තොරතුරු මඳක් කෙටියෙන් වුවද සිහිපත්කර විමර්ශනයට බඳුන් කිරීම කාටත් ප්‍රයෝජනවත් වනු ඇත. ඉහත හඳුන්වා දෙන ලද ආකාරයට "බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමන" පිළිබඳව අධ්‍යයනය කිරීමේදී අපට භාවිතයට ගත හැකිව පවතිනුයේ ශිලාලිපි, වාස්තුවිද්‍යා අවශේෂ යනාදී පුරාවිද්‍යා මූලාශ්‍රවලට වඩා පාලි සාහිත්‍ය මූලාශ්‍රයන්ය. ක්‍රිස්තු වර්ෂ 4 වැනි සියවසෙන් මෙපිටට අයත් එම කෘති අතරට මහාවංසය, දීපවංසය, සමන්තපාසාදිකාව නම් වූ විනය පිටකයේ අටුවා ග්‍රන්ථය, පූජාවලිය හා සද්ධර්මාලංකාරය යනාදිය ඇතුළත් වේ. මේවායේ "බුදුන්ගේ ලංකාගමන" පිළිබඳව වඩාත් වර්ණනාත්මක, සවිස්තරාත්මක වාර්තාකරණයක් දක්නට ලැබේ. බුදු හිමියන්ගේ ලංකාගමන පිළිබඳව සඳහන් එම සාහිත්‍ය මූලාශ්‍රයාගත තොරතුරුවලට පමණක් සීමාවී සාම්ප්‍රදායික තීරයක් ඔස්සේ උක්ත මාතෘකාව සාකච්ඡා කරනවාට වඩා විචාරශීලී මාවතක් ඔස්සේ එය විමර්ශනය කිරීම යෝග්‍යය.

සාහිත්‍ය මූලාශ්‍රවලට අනුව බුදුරජාණන් වහන්සේ අප රටට තුන් වරක්ම වැඩම කර තිබේ. ක්‍රිස්තුපූර්ව 6-5 ශතවර්ෂවල මෙරට විසූ යක්‍ෂ හා නාග යන ගෝත්‍රික පිරිස් එම පැමිණීම්වලට හේතු වී තිබේ. මෙබඳු සාකච්ඡාවකදී උන්වහන්සේ මෙරටට පැමිණි අවධිය වන විට මෙහි ක්‍රියාත්මක ඓතිහාසික සමාජ ආර්ථික තත්ත්වයන් ගැන අවධානය යොමු කිරීම ඉතාම වැදගත්ය. මේ සඳහා මෙහිදී පුරාවිද්‍යාත්මක කැණීම් හා න්‍යාය, ක්‍රමවේද භාවිත කරනු ලැබෙයි.

ශ්‍රී ලංකාවේ මානව සංස්කෘතික ඉතිහාසය දළ වශයෙන් ප්‍රාගෛතිහාසික, ප්‍රොටෝ ඓතිහාසික හා ඓතිහාසික යුගය වශයෙන් බෙදිය හැකිය. මෙයින් ප්‍රාගෛතිහාසික සමය වසර 1,25,000න් ඇරැඹී ක්‍රිස්තුපූර්ව 1000දී පමණ අවසන් වෙයි. ක්‍රිස්තු පූර්ව 1000 සිට ක්‍රිස්තු පූර්ව 300 දක්වා දළ වශයෙන් හඳුන්වනුයේ ප්‍රොටෝ ඓතිහාසික යුගය වශයෙනි. ක්‍රි.පූ. 300 සිට ඇරැඹෙනුයේ ඓතිහාසික යුගයයි. මේ අතරෙන් බුදුහිමියන් මෙරටට වැඩියා යැයි විශ්වාස කෙරෙනුයේ ක්‍රි.පූ. 1000 - ක්‍රි.පූ. 300 දක්වා වර්ධනය වූ ප්‍රොටෝ ඓතිහාසික සංස්කෘතික සමය තුළදීය. එනම් ක්‍රි.පූ. 6 - 5 ශතවර්ෂවලදීය. බුදුන් වැඩම කළ මෙම අවධිය ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාඥයන් විසින් ප්‍රාථමික යකඩ යුගය, මුල් අයිස් සමය යනාදී නම්වලින්ද හඳුන්වනු ලබයි. ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පුරාවිද්‍යාඥයකු ලෙස විශ්ව සම්භාවනාවට පාත්‍රව සිටින ආචාර්ය ශිරාන් දැරණියගලයන් විසින් අනුරාධපුර ඇතුළුපුර කරන ලද විද්‍යාත්මක පුරාවිද්‍යා ස්ථරීභූත කැණීම් මාලාව පිළිබඳව අවධානය යොමු කිරීම මෙහිදී ඉතා වැදගත් වේ. එම කැණීම් අතර ගෙඩිගේ 1969 (ඒ.ජී. 69) අනුරාධපුර ඩිංගිරිබංඩාගේ වත්ත (ඒ.ඩී.බී. 87) අනුරාධපුර සල්ගහ වත්ත 1987/1988 (ඒ.එස්.ඩබ්ලිව්. 87/88) අනුරාධපුර මහාපාලි දාන ශාලාව 1989 (ඒ.එම්.පී. 89) යන කැණීම් මාලාව බුදුන් වඩින කාල පරිච්ඡේදය වන විට මෙරට පැවැති සමාජ, ආර්ථික ප්‍රවණතා හා සංස්කෘතික ලක්‍ෂණ පිළිබඳව වඩාත් විද්‍යාත්මක මෙන්ම විශ්වසනීය තොරතුරු රාශියක් ඉදිරිපත් කර ඇත. මෙම කැණීම් නව පුරාවිද්‍යාවේ පුනරුදයත් සමඟ සිදු වූ ඒවා මිස සාම්ප්‍රදායික ඉතිහාසකරුවන්ගේ ක්‍රියාදාමයක් නොවන නිසා ඒවායෙන් අනාවරණය වන තොරතුරුද සත්‍ය ඒවා ලෙස පිළිගත හැකිය. ක්‍රිස්තු පූර්ව 1000 - ක්‍රි.පු. 300ත් අතර කාලයේ විසූ මිනිසා ප්‍රාථමික සමාජ තත්ත්වයන්ගෙන් මිදී විධිමත් සංස්කෘතික ප්‍රවාහයකට ප්‍රවේශ වනු ලබන අයුරු පුරාවිද්‍යා පර්යේෂණකයන් විසින් පෙන්වා දෙනු ලැබ ඇත.

බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලංකාවට වඩිනුයේ ක්‍රිස්තුපූර්ව පස්වැනි, හයවැනි ශතවර්ෂවලදීය. එනම් ඉහත කී ප්‍රොටෝ ඉතිහාස කාලපරිච්ඡේදයේදීය. එපමණක් රාම - රාවණා පුවතත්, විජයාගමන නම් වූ උත්තර භාරතීය ජන සංක්‍රමණයත් සිදු වනුයේද මෙම කාලයේදීමය. විජය නමැති උතුරු ඉන්දීය සංක්‍රමණිකයා මෙරටට පැමිණෙන විට මෙහි විසූ ජනයා අතර පැවැති සංස්කෘතික ලක්‍ෂණ ඉතා සිත්ගන්නාසුලු ඒවා විය. එම සංස්කෘතික ලක්‍ෂණ අතර යකඩ ලෝහය ඇතුළු අනෙකුත් ලෝහ භාවිතය, ප්‍රාථමික ජල කළමනාකරණය, සරල කෘෂිකාර්මික කටයුතු, කාලරක්ත, රක්ත හා කාල වර්ණ මැටි බඳුන් නිෂ්පාදනය හා බැඳුණු පිඟන් මැටි කර්මාන්තය, ශාක හා සත්ත්ව ගෘහාශ්‍රිතකරණය, පිලිස්සීමෙන් පසුව මැටි බඳුන්වල කුරුටු ලක්‍ෂණ යෙදීම, පබළු නිෂ්පාදනය සහ මියගියවුන් උදෙසා විශේෂ සුසාන (මෙගලිත්) ඉදිකිරීම යනාදිය ඉතා වැදගත් ලක්‍ෂණ ලෙස හඳුනා ගනු ලැබේ. මේවාටත් වඩා සැලකිය යුතු කරුණක් වනුයේ සුසාන ගල් පියන් මත කොටා ඇති සංකේතවල භාවිතාවයි. ආචාර්ය දැරණියගල අනුරාධපුර ඇතුල් නුවර කළ පුරාවිද්‍යා කැණීම් මඟින් ක්‍රිස්තු පූර්ව 300න් අතීතයට ගමන් කරන අක්‍ෂර සහිත මැටි බඳුන් කැබැලිද සොයා ගත්තේය. එමගින් පෙනී යනුයේ බුදුන් වඩින විට මෙරට විසූ ජනයා කියවා තේරුම් ගත හැකි භාෂාවක් භාවිත කළ බවයි. මෙරට නිශ්චිත දේශපාලනික, ආගමික, සමාජ හා ආර්ථික යන ආයතනවල සැකැස්ම බුදුන් වැඩි කාලය හා සබැඳෙන බව මහාචාර්ය සෙනෙවිරත්නයන්ගේ පර්යේෂණවලින්ද පෙනී යයි. ඉහත සඳහන් කළ සංස්කෘතික ලක්‍ෂණවලින් සමන්විත ජන කණ්ඩායම් ශ්‍රී ලංකාවේ උතුර, උතුරුමැද, පහළ කඳුකර කලාපය, වයඹ, බටහිර හා ගිනිකොන දිග ප්‍රදේශවල ව්‍යාප්තව සිටි බව මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න තවදුරටත් පෙන්වා දී ඇත. එසේ එම ජන කොටස් ඒ ඒ පළාත්වල ව්‍යාප්තව විසුවේ විජය මෙන්ම බුදු හිමිද මෙරටට පැමිණියා යැයි සැලැකෙන කාලය තුළදී වීම සුවිශේෂී කොට සැලැකිය යුතුය.

මහාවංසය මෙන්ම අනෙකුත් සාහිත්‍ය මූලාශ්‍රයන් පෙන්වා දෙනුයේ උක්ත විද්‍යාත්මක තොරතුරුවල හාත්පසින් වෙනස් වූ සාවද්‍ය තොරතුරු සමුදායකි. ඒ මෙරට මහ ජනතාවගේ ඇවැතුම් පැවැතුම් ගැනය. එම වංසකතා පවසන පරිදි බුදුන් වහන්සේ මෙරටට වඩින විට මෙම දිවයිනෙහි වාසය කොට ඇත්තේ චණ්ඩ, රෞද්‍ර, දුර්දාන්ත, අශිෂ්ට ජන පිරිස්ය. නමුත් එය කිසිසේත් පිළිගත හැකි පුවතක් නොවේ. බුදුන් විසින් දමනය කරනු ලැබුවේත් විජය විසින් මරා දමනු ලැබුවේත් මෙරට එකල විසූ ශිෂ්ට ලක්ෂණවලින් සමන්විත පිරිසක් බව නූතන විද්‍යාත්මක පුරාවිද්‍යා කැණීම්වලින් ලද දත්ත මගින් පැහැදිලි වන්නකි. වංසකතාකරු මෙරට ජනයා ඉතා භයංකර පිරිසක් ලෙස හඳුන්වා දී එබඳු කර්කශ පැවැතුම් ඇති පිරිසක් පවා දමනය කරන්නට බුදුන් සමත්වීම වර්ණනා කොට උන්වහන්සේ කෙරේ ගෞරවය වඩාත් වර්ධනය කිරීම අපේක්‍ෂා කළා විය හැකිය. එසේ නැතහොත් විජය නමැති ඉන්දියාවෙන් පිටුවහල් කළ පුද්ගලයා උසස් කොට දේශීය ජනයා පහත් කිරීම අපේක්‍ෂා කළා විය හැකිය. මෙම වංසකතා රචනා කරන ලද්දේ නික්ලේෂී මහරහත් උතුමන් විසින් නොව කෙලෙස් සහිත පෘථග්ජන භික්‍ෂුන් විසින් බව මෙහිදී සැලකිලිමත් විය යුතුය. ඒවායේ ඇතැම් තොරතුරු සතර අගතියෙන් තොර නොවනුයේ එම නිසාය. මේ අනුව බුදුන් මෙරටට වඩින විට වංසකතාකරු පවසනවාට වඩා විශිෂ්ට සිරිත් විරිත්වලින් යුත් ජන පිරිස් මෙහි විසූ බව පිළිගැනීමට සිදුවනුයේ මානව වංස පුරාවිද්‍යාව, සමාජ පුරාවිද්‍යාව, පුරා උද්භිද විද්‍යාව, පුරා සත්ත්ව විද්‍යාව වැනි නව පුරාවිද්‍යා ප්‍රවේශ ඔස්සේ කරුණු රැසක් විධිමත්ව වාර්තා වී ඇති නිසාය.

ඉහත සාකච්ඡා කරන ලද්දේ බුදු රජාණන් වහන්සේ මෙහි වැඩම කළ කාල පරිච්ඡේදය වන විට මෙරට පැවැති සමාජ - සංස්කෘතික පසුබිම පිළිබඳවය. බුදුරදුන්ගේ ලංකා ගමන පිළිබඳව කෙරෙන මෙබඳු සාකච්ඡාවකදී සමකාලීන සමාජ තත්ත්ව පිළිබඳව සුළු හෝ අවබෝධයක් ලබා ගැනීම අත්‍යවශ්‍යය. මුලින් සඳහන් කළ පරිදි මීළඟට පාලි පොත්පත්වල එන බුදුන් වැඩි ස්ථාන පිළිබඳව අපගේ අවධානය යොමු කෙරෙනු ඇත. ඒ අනුව බුදුරජාණන් වහන්සේ පළමුවරට ලක්දිවට වැඩම කරවා ඇත්තේ දුරුතු මස පුර පසළොස්වක් පොහොය දිනකදී බව මහාවංසය පවසයි. නමුත් දීපවංසයෙහි දුරුතු මසකදී වැඩම වූ බව සඳහන් නොවන අතර උක්ත යක්‍ෂ ගෝත්‍රික දමනයට ලංකාවට වැඩි බව නම් කියැවේ. බුද්ධඝෝෂ අටුවාචාරීන් විනය පිටකයට ලියන ලද අට්ඨ කතාව වන සමන්ත පාසාදිකාවේ බුදුන් පළමු වරට යක්‍ෂයන් දමනය කිරීමටත් දෙවැනි වර චූලෝදර මහෝදර නාග දමනයටත් තුන්වැනි වර මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයෙන් පන්සියයක් භික්‍ෂූන් සමඟ වැඩමවා රුවන්වැලි සෑය, ථූපාරාමය, ශ්‍රී මහා බෝධිය, මුතියංගණ සෑය, දීඝවාපි චෛත්‍යය පිහිටි ස්ථානවල නිරෝධ සමාප්තියට සමවැද වැඩහුන් බව සඳහන් වේ. සමන්ගිර මත ශ්‍රී පාද ලාංඡනය පිහිටුවීමෙන් අනතුරුව එම පර්වත පාදයේ දිවා විහරණයකොට ඉන් අනතුරුව දීඝවාපි වැඩි බවද වංසකතාවේ සඳහන් වේ.

පළමුවැනි ලංකා ගමනයේදී බුදුන් වහන්සේ දැනට මහියංගණය නමින් ප්‍රසිද්ධ ව්‍යවහාරයේ පවතින පෙදෙසෙහි මහවැලි නදී තෙර රැස්ව සිටි යුද්ධාභිමුඛ යක්‍ෂ ගෝත්‍රිකයන් දමනය කොට ඔවුන් ගිරි දිවයිනෙහි පදිංචි කරවූ බව කියැවේ. එහිදී උන්වහන්සේ ධර්මය දේශනා කළේ දෙවියන්ට මිස යක්‍ෂ ගෝත්‍රිකයන්ට නොවේ. සමන්ගිර වැසි මහා සුමන සෝවාන් ඵලයට පත්වනුයේ මෙහිදීය. ඔහුගේ ඉල්ලීම පරිදි බුදුන් විසින් දෙන ලද කේශ ධාතු තැන්පත් කොට බුදුහිමි වැඩසිටි ස්ථානයේ සත් රියනක් උස සෑයක් කරවීය. පසු කලෙක බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි සරභූ නම් තෙර නමක් ග්‍රීවා ධාතුව (උගුරු ඇටය) රැගෙනවිත් මෙම සෑයෙහි තැන්පත් කර එය ‍දාළොස් රියන් කර බඳවා ඇත. ඉන් පසුව දේවානම්පියතිස්ස රජුගේ සොහොයුරෙකු වූ චූලාභය මෙම දෙවැනි චෛත්‍යයද විශාල කොට තිස් රියනක් උසට බැඳ ඇත. ඊටත් පසු කලෙක දුටුගැමුණු කුමරු මෙම පෙදෙසෙහි පිහිටුවා තිබුණු එළාර බලකොටු බිඳ ජයගෙන මෙකී චෛත්‍ය අසූරියන් කොට බඳවා තිබෙන බව මහාවංශය පවසයි. වර්තමානයේ මහියංගණ සෑය නමින් හඳුන්වනුයේ මෙම චෛත්‍යයයි.

මෙරට වංසකතාවලින් යක්‍ෂ ගෝත්‍රිකයන්ට අමතරව දේව ගෝත්‍රිකයන් පිළිබඳව ද ඉඟි ලැබී තිබේ. යක්‍ෂයන් පලවා හළ බුදුන් කෙරෙන් ධර්මය ශ්‍රවණය කළ දේව සමූහයා එකල වඩාත් ශිෂ්ටව විසූ ජන ප්‍රධානීන් ලෙස සිතීමට වංසකතා වාර්තා අප පොලඹවයි. (ඒ පිළිබඳව තවදුරටත් සිතීමට පාඨකයාට ඉඩ ලබා දෙමු.) බුදුරජාණන් වහන්සේ දෙවැනිවරට මෙරටට වඩිනුයේ නාග ගෝත්‍රික ජන කණ්ඩායම් මුල්කරගෙනය. ඒ බුද්ධත්වයෙන් පස්වැනි වර්ෂයේදීය. එම වර්ෂයේ බක් මස අමාවක් දින නාගදීපයට වැඩමවා මාණික්‍යමය පුටුවක් උදෙසා චූලෝදර හා මහෝදර යන මාමා හා බෑනා අතර ඇතිවූ මතභේදය දුරු කර සමගි කරවූ බව වංසකතාව පවසයි. මොවුන් දෙදෙනාම නාග ගෝත්‍රිකයන්ය. මහාචාර්ය පරණවිතාන මෙම චූලෝදර හා මහෝදර යන නාම දෙක ඉන්දීය මහාභාරත මහා කාව්‍යයේ එන කුණ්ඩෝදර හා මහෝදර යන දෙදෙනාම ලෙස ගිණිය හැකි බව පවසයි. මෙම සාහිත්‍යය මූලාශ්‍රයවල එන නාග ගෝත්‍රිකයන් බටහිර වෙරළ තීරය ඔස්සේ ඇති තැනිතලා භූමියෙහි කෘෂිකාර්මික කටයුතු කරමින් සිටි තාවකාලික නිවාස සහිත පිරිසක් බවත් යක්‍ෂ ගෝත්‍රිකයන් කඳුකරයේ ගංගා නිම්න ආශ්‍රිතව පිහිටි ගුහා හා විවෘත භූමි භාගවල විසූ පිරිසක් බවත් ආචාර්ය නන්දදේව විජේසේකර පවසයි. මේ පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පුරාවිද්‍යාඥයා වන ආචාර්ය ශිරාන් දැරණියගල පවසනුයේ වංසකතාවේ එන නාග ගෝත්‍රික ජනයා ශ්‍රී ලංකාවේ ප්‍රොටෝ ඓතිහාසික යුගයේ විසූ මිනිසුන් යැයි අනුමාන කළ හැකි බවයි. ප්‍රොටෝ ඓතිහාසික යුගය යනු බුදුන් වැඩමවූ කාලයයි. මෙකල නාගයෝ දෙවර්ගයක් මෙරට විසූහ. පර්වතවාසී හා සමුද්‍රවාසී නාග ගෝත්‍රිකයන් යනු එම දෙපිරිසයි. යටකී මිණි පළඟ අයත්ව සිටියේ පර්වතවාසී චූලෝදර නා රජු වන අතර ඒ සඳහා සටන් වැදීමට ඉදිරිපත්ව සිටියේ සමුද්‍රවාසී මහෝදරය. සැබැවින්ම මෙම සමුද්‍රවාසී හා පර්වතවාසී යන වචන දෙකෙන් පැවැසෙනුයේ මුහුදු පතුලේ හෝ විමානවල ජීවත්වන සැබෑ ස්වරූපයේ නාගයන් නොව පර්වත සහිත කඳුකර ප්‍රදේශවල හා සමුද්‍රාසන්න වෙරළබඩ තීරයේ විසූවන් ලෙස සිතීම සාධාරණය.

"නාග" යන වචනය සහිත සෙල්ලිපි රැසක් ශ්‍රී ලංකාවෙන් අනාවරණය වී ඇති අතර ඔවුන් මැණික් වැනි වටිනා ඛනිජ වර්ගවල හිමිකරුවන් ලෙස එම ශිලාලේඛනවල හඳුන්වා දී තිබීම විශේෂයෙන්ම සැලකිය යුත්තක් බව ආචාර්ය පියතිස්ස සේනානායක පවසයි. මෙම දෙවැනි ලංකාගමනය පිළිබඳව වන ප්‍රවෘත්තිය වැදගත් ඉඟි කීපයක් අපට ලබාදෙයි. ඒ සමකාලීන ලංකා සමාජය හා ඔවුන්ගේ විඥානමය සංවර්ධන පිළිබඳවයි. මෙම නාගයෝ (ගෝත්‍රිකයෝ) බුදුරුව දුටු පමණින්ම තුටු පහටු වෙති. බණද අසති. අසා පැහැදී ගැටුමට හේතුව වූ මිණි පළඟ ද බුදුන්ටම පුදති. දානයක්ද දෙති. එපමණක් නොව මහාවංසය පවසන පරිදි "නාගයෝ" දෙපිරිසම පංචසීලයද සමාදන් වූහ. බුදුන් දුටු විගසින් සතුටට පත්වීමටත්, බණ අසා පැහැදී දන් දීමටත් තරම් මොවුන් ශිෂ්ට වූයේ කවර ආභාසයකින්ද යන්න නොවිමසා බැරිය. මොවුන් වෙළෙදාම සමඟ (දේශීය - විදේශීය) දැඩි සබඳතා තිබුණු පිරිසක් බවත් ඊට පෙර බුදුන් ගැන අසා දැන සිටි පිරිසක් බවත් පැහැදිලිව පෙනෙන කාරණයකි. එසේ නොමැතිව වංසකතාව පවසන පරිදි නාගයන් පංචශීලය සමාදන් වනුයේ කුමන හැදියාවක් මතද? බුදුන් වහන්සේගේ තුන්වැනි ලංකාගමනයට පදනම වැටෙනුයේද මෙම දෙවැනි ගමනේදීමය. යට කී මිණි පළඟ යුද්ධයට මහෝදර නා රජුගේ මලණුවන් වූ මණිඅක්ඛිත නාරජුද පැමිණ සිටියේය. ඔහු කැලණි ප්‍රදේශවාසියෙකි. මෙම පුද්ගලයා නැවත ලංකාවට වඩින ලෙස බුදුන්ට ආරාධනා කොට තිබේ.

උක්ත නාගදීපාගමනය සිදු වූයේ බුද්ධත්වයෙන් පස්වැනි වර්ෂයේදීය. එම ගමනේ අවුරුදු තුනකට පසුව මණිඅක්ඛිත නාරජු බුදුන් වෙත එළැඹ භික්‍ෂු සංඝයා සහිතවම කල්‍යාණි පුරවරයට වඩින ලෙස ආරාධනා කළේය. ඒ අනුව පසු දිනම එනම් බුද්ධත්වයෙන් අටවැනි වර්ෂය පූරණය වන දින හෙවත් වෙසක් පුර පසළොස්වක පෝය දිනෙන් කැලණියට වඩමවා තිබේ. මෙම කැලණිය නූතන කොළඹ සමීපයේ පිහිටියා වූ භූමිභාගය නොවන බවත් රුහුණේ රාජ්‍යයක් වූ එය ගිනිකොන දිග ලංකාවේ පිහිටා තිබුණු බවත් මහාචාර්ය පරණවිතාන පවසා තිබේ. තවදුරටත් ඒ පිළිබඳව අදහස් දක්වන මහාචාර්ය පරණවිතාන පෙන්වා දෙනුයේ ලංකාවේ නැගෙනහිර පළාතේ "මණ්ඩලගල" නම් ස්ථානයේ පූර්ව බ්‍රාහ්මී ශිලා ලිපියක් හමුවුනු බවයි.

උපුටා ගැනීම - http://mawbima.lk/55-16436-news-detail.html




දළදා වහන්සේ සහ ශ්‍රී මහා බෝධිය වැඩ සිටි ඉසුරුමණියේ සැඟවුණු කතාව

0


දළදා වහන්සේ සහ ශ්‍රී මහා බෝධිය වැඩ සිටි ඉසුරුමණියේ සැඟවුණු කතාව

ඉසුරුමුණිය ආර්ය ශිෂ්ටාචාරය සතුව පැවැති පූර්ව ඇදහිලි හා විශ්වාසයන්ගේ කේන්ද්‍රස්ථානය බවට පත්වූයේ කිතුවසරට පෙර තෙවැනි සියවස ආරම්භයේ සිටය.

බ්‍රාහ්මණික පූජකවරුන්ගේ මෙහෙය වීමෙන් සිදුවූ මෙම ආගමික පැවැතුම් ඉන්දීය ආභාසයෙන් පෝෂණය වී පැවැතිණ. සාංක්‍රමණික ජීවිතය තුළින් දිවයිනට දයාද කරන ලද කෘෂිකාර්මික පැවැත්ම සමාජයීය සිරිත් විරිත් ඇතුළු සාරධර්ම මෙන්ම ඇදහිලි හා විශ්වාසයන්ද වෙනසකට පත්වූයේ වරින් වර සිදුවූ ආගමනිකයන් රැගෙන ආ ආකල්පයන් තුළිනි. පැරැණි ආර්ය ජනජීවිතය පිළිබඳව අනුරාධපුරයේ කරන ලද පුරාවිද්‍යාත්මක ගවේෂණයන්ගෙන්ද මේ බව සනාථ කරන තොරතුරු හෙළිදරවු කරගෙන තිබේ. ඉන්දියාවේ ගංගා නම් ගඟ බඩ නිම්නයේ ක්‍රිස්තු පූර්ව යුගයට අයත් ආර්ය ජන ජීවිතය පිළිබඳව කරන ලද ගවේෂණයන්ගෙන් ලද තොරතුරු මේ හා සැසඳෙන බව පුරාවිද්‍යා ශිරාන් දැරණියගල මහතා සඳහන් කර තිබේ.

පූර්ව ආර්ය ජන ජීවිතය තුළ මතුවූ ගැටලු සහගත වූ තැන් විස¼දා ගැනීමේ මඟ මතු වන්නේ බුද්ධිය දැනුම අත්දැකීම් හා සහජ හැකියාවන් ඇදහිලි හා විශ්වාසයන් ඔස්සේය. මේ සඳහා භෞතික පැවැත්ම හා චර්යාත්මක පැවැත්ම උපකාර විය. නියඟ ඉඩෝරය දුර්භික්‍ෂ මඟ හැරීම සඳහා සුදුසු කාලයේදී වැස්සද දූ පුතුන් ලබාදීමද ගව මහීෂාදීන් හා පලදාවන් ලබාදීම හා කෙත්වතු සරුසාර කරවා ගැනීමද මෙහිලා විශේෂිත විය. මෙම අපේක්‍ෂා සඳහා විසඳුම් මාර්ග වශයෙන් සලකනු ලැබූයේ ඇදහිලි හා විශ්වාස කරා යොමු වීමයි. වේද ආගමික පැවැතුම් මෙහිලා මූලිකත්වය දැරීය. අග්නි, සෝම, වරුණ හා සූර්ය වැනි දෙවිවරුන් පිදීම ආරම්භ වූයේ අපේක්‍ෂා ඉටුකර ගැනීමේ පරමාර්ථයෙනි. මෙම පිළිවෙත් ඉටුකිරීම බ්‍රාහ්මණික පූජකවරුන්ගේ මෙහෙය වීමෙන් සිදු කෙරුණි. ඉසුරුමුණිය පූර්වයේදී අනුරාධ ග්‍රාමයේ පොදු ජන ජීවිතය හා බැඳී පවතින්නේ මෙම පදනම තුළිනි.

වේද යුගයේ ඇදහූ වරුණ වැනි දෙවිවරුන් පශ්චාත් වෛදික යුගයේ පසුබාමින් වරුණ දෙවියන් හින්දු ආගමික අරමුණු ඔස්සේ ඊශ්වර දෙවියන් බවට පත්වූ බව සඳහන් වේ. බ්‍රාහ්මණික පූජකවරුන්ගේ මෙහෙය වීමෙන් අර්ජුන විෂ්ණු හා ස්කන්ධ වැනි දෙවිවරුන් පෙරමුණ ගෙන තිබිණි.

ආර්යයන් ඉන්දීය දේශයට සංක්‍රමණය වීමේදී ඇතිවූ අනාර්ය සටන්කාමී උද්දාමයන් පරාජයට පත් කරන ලද මෙම යුද අධිපතීන්ට ප්‍රණාමය හිමිවූයේ මෙම පරිවර්තනයෙනි. මෙසේ ඇතිවූ ආගමික වෙනස්වීම් දිවයිනට ළඟා වූයේ බ්‍රාහ්මණික පූජකවරුන්ගේ ආගමනයන් තුළිනි.

ඉසුරුමුණිය බ්‍රාහ්මණික පූජකවරුන්ගේ මෙහෙය වීමෙන් සිද්ධස්ථානයක් බවට පත්වූයේ එහි පිහිටීම ආගමික පරිසරය සඳහා මනාව ගැළපුණු හෙයිනි. උස්වූ ශෛලමය පර්වතයන් මෙන්ම ඇතුළට නෙරාගිය ස්වාභාවික ගුහාවන්ද ජලයෙන් පිරීගිය පොකුණුද නිශ්චල පරිසරයද ඉන්දීය ආගමික ආශ්‍රමයන්ගේ හැඩරුව ගත් හෙයින් ඔවුන්ගේ සිතුම් පැතුම්වලට අනුබද්ධිත වන්නට ඇත.

පළමුවැනි සියවසේ ලියැවුණු ශිලා ලේඛනයක ඉසුරුමුණිය යන්න සඳහන්ව ඇත්තේ "ඉස්සර මණ" යන නාමයෙනි. මහා වංස කතුවරයා මෙම වදන ව්‍යක්ත පාලි භාෂාවට පෙරළුයේ "ඉස්සර සමණ" යනුවෙනි. මහාචාර්ය පරණවිතානයන් මෙම පෙරළිය මුල්වදනේ අර්ථය වියැකී යෑමට හේතුවූ බව පෙන්වාදී තිබේ. පෙර වදනේ සඳහන්ව ඇත්තේ ඉස්සරමණ යන්නයි. එයින් කියැවෙනුයේ මෙම සිද්ධස්ථානය ඊශ්වර දෙවියන්ගේ නාමයට කැපවූ බවයි.

දේවානම් පියතිස්ස රාජ්‍ය සමයේදී මිහිඳු මහ රහතන්වහන්සේ ලංකාවට වැඩම වූ බව වංස කතාවල සඳහන් වේ. එතුමන් දේශනා කළ දහමින් සිත් පහදවා ගත් රාජකීය පවුල් මෙන්ම රටවැසියන්ද සැදැහැති බෞද්ධයන් බවට පත් වූ බව මහා වංසය මෙන්ම දීපවංසයද සඳහන් කර තිබේ. අනුරාධපුරයේ වැසියන් තමන් මෙතෙක් ඇදහූ ආගමික විශ්වාසයන් කෙරෙන් බැහැර වූයේ ඉසුරුමුණියද බෞද්ධ විහාරාරාමයක් බවට පත්කර ගැනිණි. ශ්‍රී මහා බෝධීන්වහන්සේ අනුරාධපුරයට වැඩමවීමේදී ඉසුරුමුණියේ වඩා හිඳුවා පුදසත්කාර කළේ එකල පිළිගත් බෞද්ධ විහාරාය ඉසුරුමුණිය වූ හෙයිනි.

එහෙයින් ශ්‍රී මහා බෝධීන්වහන්සේගේ අංකුරයක් ඉසුරුමුණියේ රෝපණය කිරීමට හේතු වාසනා ලැබීය. ජේතවනාරාම ශිලා ලේඛනයට අනුව පංච මහා විහාරයන්ට අයත්වූ ඉසුරුමුණිය, මහාවිහාරය, ථූපාරාමය, චේතිය විහාරය සහ වෙස්සගිරිය ථෙරවාදී බුදුදහමට අනුව ප්‍රධාන ආගමික මධ්‍යස්ථාන වශයෙන් පිළිගෙන තිබිණි. ඉසුරුමුණිය යන්න ශිලා ලේඛනයේ සඳහන්ව ඇත්තේ ඉස්සර සමණ විහාරය වශයෙනි. මහසෙන් රාජ්‍ය සමයට අයත්වුණු සේ සැලැකෙන මෙම ලේඛනය විස්තර කර ඇත්තේ පංච මහා විහාර පාලනය කළ යුතු බවයි. පැවැති මතභේදකාරී තත්ත්වය හේතු කොටගෙන සිරි දළදා සමිඳුන් අනුරාධපුරයට වැඩමවීමේදී කිත්සිරි මෙවන් රජතුමාට ප්‍රථමයෙන් ඉසුරුමුණියේ වඩා හිඳුවා පුදසත්කාර පැවැත්වූයේ පැවැති තත්ත්වය සමනය කිරීමට වන්නට පුළුවන. විශේෂයෙන්ම මේ සඳහා සුදුසුම ස්ථානය ඉසුරුමුණිය වූයේ එම සිද්ධස්ථානය අනුරාධපුරයේ පැරැණිතම බෞද්ධමය විහාරාරාමය වූ හෙයිනි.

ගුප්ත අධිරාජ්‍ය බලයට පත්වූයේ මෞර්ය අධිරාජ්‍යයේ ඇවෑමෙනි. ඉන්දීය දේශයේ එතෙක් යටපත්ව පැවැති හින්දු ආගමික පැවැතුම් ඇදහිලි හා විශ්වාසයන් යළි ජීවය ලැබුවේ, උද්දාමයට පත්වූයේ බ්‍රාහ්මණික විද්වතුන්ගේ මැදිහත් වීමෙනි. අලහබාද් ප්‍රශස්තියට අනුව ලංකාවද ගුප්ත අධිරාජ්‍යයේ ඇල්ම බැල්මට යොමුවී පැවැති බව පැහැදිලි වේ. බුද්ධගයා ශිලාලේඛනයට අනුව ගුප්ත අධිරාජ්‍යය ලංකාව කෙරේ අනුගමනය කර ඇත්තේ සහනශීලී ප්‍රතිපත්තියකි. සමුද්‍ර ගුප්ත අධිරාජ්‍යයා එම ප්‍රතිපත්තියේ පිහිටා ලක්දිවෙන් වන්දනාවේ යන වන්දනාකරුවනට බුද්ධගයාවේ විශ්‍රාම ශාලාවක් ඉදිකර දීමට කාරුණික වී තිබේ.

මෞර්ය පාලන සමයේ බුදුසමය කෙරෙන් සිදුවූ ආගමික සිතුම් පැතුම්වල වෙනස්වීම හින්දු ආගමික බ්‍රාහ්මණ විද්වතුන්ගේ මනස මහත් වෙනසකට ලක් කෙරේ. ගුප්ත යුගයේදී මෙම හැඟුම් උද්දාමයට පත්වූයේ නව සංකල්පනාවන්ගෙන් පෝෂණය වීමෙනි. මෙම වෙනස ඉස්මතුකර දැක්වූයේ හින්දු ආගමික සංස්කෘතියට අයත් සිද්ධස්ථාන හා වන්දනා මානවලිනි. දෙවියන්ගේ රූ නිර්මිත වූයේ බහු ශිර්ෂ හා බහු හස්ත දරමින් කමනීය විලාසයෙන් දෙවොල තුළ වැඩවසනා ආකාරයෙනි. ඉන් නිරූපිත වූයේ දෙවියන් ජීවමානව වැඩහිඳිනා බවයි. ස්කන්ධ පුරාණය කුමාර සම්භවය, රාමායණ වැනි ග්‍රන්ථ පහළ වූයේ දේව භක්තිය වැඩි කරවන අන්දමිනි. පර්වතය තුළට කාවදින සේ ගුහාවක් නිර්මාණය කොට ඒ තුළින් බුදුන්වහන්සේ මෙන්ම දේව විශ්වාසයන්ද ඇතුළත් ප්‍රතිමා, විචිත්‍ර චිත්‍රවලින් අලංකරණය වූයේ සිත් පහන් කරවන අන්දමිනි. මේ අනුව යමින් ඇල්ලෝරා, අජන්තා, කාර්ලේ වැනි සිද්ධස්ථාන බිහිවීම ගුප්ත යුගයේ විශේෂත්වය විය.

ගුප්ත අධිරාජ්‍යයේ බලපෑම දිවයින කෙරේ යොමුවුවද බෞද්ධාගමික ප්‍රතිපත්තීන්වල පැවැත්මට ඉන් කිසිදු බාධාවක් ඇති නොවිණි. එහෙත් පූර්වයේ පැවැති ඇදහිලි හා විශ්වාසයන් අනුව හින්දු ආගමික පැවැතුම්ද යළි අවදි වී තිබිණි. ඒ සඳහා හේතුදායක වන්නට ඇත්තේ බ්‍රාහ්මණික ආගමනයන් වන්නට පුළුවන. ව්‍යාප්තව පැවැති බෞද්ධාගමික සංවරශීලී සමාජයීය පැවැත්මට එය බාධාවක් නොවිණි. ඇතිවූ මතභේදකාරී තත්ත්වය මෙන්ම ජන ජීවිතයේ පැවැත්මට අදාළවූ ගැටලු සහගතවූ උග්‍ර ජීවන ප්‍රශ්නවලට සහනදායක පිළිතුරු සෘජුවම ලබා ගැනීම අපහසු විය. එහෙයින් පෙර පැවැති ඇදහිලි හා විශ්වාස ඔස්සේ සහනදායක තත්ත්වය අපේක්‍ෂා කෙරිණි. ගුප්ත යුගයේ පැවැති හින්දු ආගමික පැවැතුම් ගලා ආයේ එම හිඩැස පිරවීම සඳහායි සිතිය හැකිය. සමාජයීය පැවැත්ම වෙනසකට පත්වූයේ දේව ඇදහිලි හා දේවබලය කෙරේ විශ්වාසය දැඩිවීමෙනි. හින්දු ආගමික පැවැතුම් මේ අනුව ක්‍රමයෙන් සමාජගත විය.

ඉසුරුමුණිය වෙතද මෙම පැවැත්මේ සලකුණු ළඟා වී තිබුණද බෞද්ධාගමික පරිසරය ස්ථාවරව පැවැතියේ ථෙරවාදී මහා සංඝයා වහන්සේ ඒ සඳහා පහසුකම් ලබාදීම වළකාලූ හෙයිනි. ඉසුරුමුණිය තුළ දේව ඇදහිලි හා විශ්වාසයන්ට ඉඩපහසු සලසාලූයේ විහාරාරාම පරිසරයෙන් බාහිර ප්‍රදේශය ඇසුරෙනි. පර්වත ප්‍රාන්තයේ එළිමහන් භූමිය මේ සඳහා විශේෂිත විය. ඉසුරුමුණියේ පවත්නා යුගල රූපය දේව ඇදහිලි හා විශ්වාසයන් පිළිබඳව ශේෂවී පවත්නා කෞතුක වටිනාකමින් හෙබි ආගමික නිර්මාණයකි. ගුප්ත කාලීන යුගයට අයත් හතර වැනි හෝ පස්වැනි සියවසට අයත්වූ කෘතියකි.

මෙම රුව පිළිබඳව බොහෝ අදහස් ගෙනහැර පෑ විද්වතුන් පූජනීය ස්ථානයක් බව අමතක කරමින් තම හිත අයාලේ හැරියේ වංස කතාවේ එන ප්‍රේම පුරාණයන් ගෙන හැර පාමිනි. මෙම යුගල රූපය වන්දනීය තත්ත්වයට පත්වූයේ ස්කන්ධ දෙවියන්ගේ හා තේවානි දෙවිදුවගේ රූ වශයෙනි. ඉන්දීය දේශයේ ආර්ය ජනාවාස පිහිටුවා ගැනීමේදී අනාර්යයන් හා හමුවූ සටන්කාමී විරෝධතා මැඬලමින් ජය අත්පත් කර දීමට ස්කන්ධයන් සමත්විණ. ලංකාවේද ආර්ය ජනාවාස පිහිටුවා ගැනීමට හැකියාව ලැබී ඇත්තේ ස්කන්ධයන් යක්‍ෂ රාක්‍ෂ ගෝත්‍රයන් හා සටනේ යෙදීමෙනි.

මෙම ස්වදේශික පිරිස් අසුරයන් වශයෙන්ද සඳහන්වේ. පුරාවෘත්තයකට අනුව දිවයිනේ මෙම සටන් මෙහෙයවා ඇත්තේ තාරක නම් අසුරයෙකි. මෙම සටන කෙළවරවී ඇත්තේ කළුතරෙන් මුහුදට ගලා බස්නා කළු ගංගා මුව‍ෙදාර සමීපයේදී බව පුරාවෘත්තයේ සඳහන් වේ. පුරාවෘත්තයට අනුව කළු ගඟින් උතුරු පෙදෙස දේ ශාස්ත්‍ර නමින් හඳුන්වා තිබූ බව පැහැදිලි වේ. රාම - රාවණ පුවත අනුවද මෙම ප්‍රදේශය විභීෂණයන් සතුවිය. අදද කැලණියේ සිදු කරන විභීෂණ දේව වන්දනය ඒහා බැඳී තිබේ. කළු ගඟෙන් දකුණු ප්‍රදේශය හඳුන්වා ඇත්තේ වේලාපුර නමිනි. එම පෙදෙස ස්කන්ධයන්ගේ සේනාවන්ගේ කඳවුරු භූමිය විය. වේල්යනු ස්කන්ධයන්ගේ සුරතෙහි රැඳි හෙල්ලය හඳුන්වන නාමයයි. හින්දු කතාවන්ට අනුව වේල් යනුවෙන් ස්කන්ධ දේවයන් හඳුන්වා තිබේ.

ස්කන්ධයන් යුද්ධ අධිපති දෙවියෙකි. හේ කඩවසම් සිරුරකින් පිරිපුන් බව පැහැදිලි කරනු ලැබ ඇත්තේ තාරුණ්‍යය විදහා පාමිනි. පැලඳි ආභරණ දිව්‍යමය අධිපතියකුගේ ස්වරූපය මවාපායි. කංචුකය අසිපත දරන බව නිරූපණය කර තිබේ. මුහුණේ පළවන සෞම්‍ය ගුණය යුක්තිය හා සාධාරණත්වය අපේක්‍ෂිත බවට සලකුණකි. පසුපසින් දිස්වන ගිනිසිළු සහිත චක්‍රාවලිය දෙවිඳුන් සතු ආධ්‍යත්මික බලය නිර්මාණ ශිල්පියා දුටු අන්දම පැහැදිලි කර තිබේ. එය ඉසුරුමුණියේ යුගල රූපයෙහි පුරුෂ රුව ස්කන්ධ දෙවියන්ගේ බව පැහැදිලි කරන ස්ථාවර දැක්මකි. ස්කන්ධ පුරාණය කුමාර සම්භවය යන හින්දු ආගමික ග්‍රන්ථවල දැක්වෙන ආධ්‍යාත්මික බලය මනාව නිරූපණය කිරීමකි.

යුගල රූපය තුළින් නිර්මාණය වී ඇති තේවානි දෙව්දුව බෙහෙවින් අජන්තා ගුහා නිර්මාණයන් තුළ අන්තර්ගත කාන්තා දේවරූපයන් හා සමානුරූප වේ. හැඳි පැලඳි ආභරණද එම සම්ප්‍රදායටම අනුකූල වේ. ගුප්ත යුගයේ දේවතා රූ නිර්මාණය වී ඇත්තේ තම ප්‍රියාම්බිකාවන්ද සමීප සිටින බව පැහැදිලි කරමිනි. සම්ප්‍රදායානුකූලව එකල පැතැලි තලයන්හි රූ නිරූපණය කිරීම නිර්මාණශීලී ක්‍රමවේදයකි. ගුප්ත කාලීන පැවැත්ම අනුව එම යුගයේදී ස්කන්ධ දෙවියන් පිදීමද අනුගතව පැවතිණ.
උතුරු ඉන්දියාවෙන් බිහිවූ අධිරාජ්‍ය සංකල්පය ගිලිහීයත්ම සමස්ත ඉන්දියාව තුළ කුඩා කුඩා රාජ්‍යයන් බිහිවූයේ ප්‍රදේශයන් මායිම් කර ගනිමිනි. මෙම පැවැත්ම අනුව දකුණු ඉන්දියාව තුළද ක්‍රියාත්මක වූයේ ඒ හා සමරූපී වූ ප්‍රතිපත්තියකි.

දකුණු ඉන්දියාවේ පල්ලව රාජ්‍ය මෙම ප්‍රතිපත්තියේ ප්‍රමුඛස්ථානය ගෙන තිබිණි. අවට පිහිටි සෙසු ප්‍රදේශ තම අණසකට යටපත් කරගත් පල්ලව රාජ්‍යය ආර්ථිකමය අතින් මෙන්ම ආගමික සංස්කෘතික පැවැත්ම අතින්ද සෙස්සන් අභිභවාලීය. මෙහි අපූර්වත්වය පිළිබිඹු වූයේ ශෛලමය නිර්මාණයන් තුළිනි. කාංචිපුරය වැනි නගරවල ඉදිවූ දේවාලය මෙම නිර්මාණ ක්‍රමයේ විශිෂ්ටත්වය හෙබවීය. නරසිංහවර්මන් රජුගේ අනුග්‍රහයෙන් බිහිවූ මෙම නිර්මාණ පල්ලවයන්ගේ විශිෂ්ටත්වය කියාපාන නිර්මාණයන් බවට පත්ව තිබේ.

ලක්දිවද මෙම පල්ලව ආභාසයේ වරම ලද්දේ මානවම්ම රාජ සමයේ ඇතිවූ දේශපාලන සහසබඳතාවන් තුළිනි. ඉසුරුමුණියේ පවත්නා මේ යුගයට අයත් නිර්මාණ මෙම සබඳතාවන් වඩාත් තහවුරු කෙරේ. ක්‍රිස්තු පූර්ව යුගයේ සිට පැවැති හින්දු ආගමික පැවැතුම් ඔස්සේ මෙම පල්ලව ආභාසය ඉසුරුමුණියේ ජනිත වූවායි සිතිය හැකිය. හත්වැනි සියවස පාදක කොට පැවැති මෙම පැවැත්ම ජනතාවගේ අවශ්‍යතාවයන් අනුව ඉසුරුමුණියේ පවතින්නට ඇත. අශ්ව හිස සහිත ප්‍රතාපවත් පුරුෂයාගේ රුව පල්ලව සම්ප්‍රදායට අයත් නිර්මාණයක් ලෙස මහාචාර්ය පරණවිතානයන් හඳුනා ගෙන තිබේ. මහාචාර්යතුමා පර්ජන්‍ය දෙවියන් බවට අදහස් කරන මෙම රුව තවත් විටෙක කපිල මුනිවරයාගේ බවට අදහස් කරයි. හේ අශ්ව හිසින් නිර්මාණය වී ඇත්තේ අග්නි දෙවියන් බවට මතයක් ගෙන හැර පාමිනි. කෙසේ වුවද මෙම රූ ඉසුරුමුණියේ පැවැති ආර්යයන්ගේ පූර්ව ඇදහිලි හා සබඳතා දක්වන බව පැහැදිලි වේ.

අනුරාධපුර යුගයේ විසූ ජනතාව මුහුණ පෑ දැඩි දුෂ්කරතාවක් වී ඇත්තේ වර්ෂාව හිඟකමයි. මේ සඳහා ඉතා දැඩි විශ්වාසයක් තබා ගනිමින් වර්ෂාව පතා දෙවියන්ට කන්නලව් කරන්නට බාර හාර වන්නට ඇත.

මේ අතර අනුරාධපුර වැසියන් පාරම්පරික පැවැතුම් ඔස්සේ ස්කන්ධ දෙවියන්ටද උපහාර දක්වා වැස්ස ලබාදෙන ලෙසට අයැද සිටින්නට ඇත. ඉසුරුමුණියේ පොකුණ අසල සමීප බෙයන්දහි නිර්මාණය වී ඇති හස්තින්ගේ දියකෙළියද මෙවන් වන්දනාවක් උදෙසා නිර්මාණය වූවායි සිතිය හැකිය. හින්දු ආගමික ග්‍රන්ථයන් කෙරෙන් ස්කන්ධ දෙවියන් සතුව හස්ති සේනාවක් විසූ බව සඳහන් වේ. මෙම සේනාව ගැන වර්ණනාවන් තුළින් හස්ති සේනාව වර්ෂාව ඇති කිරීමට සමත්වන බවක් පළවී තිබේ. ඔවුන් දිය කෙළිමින් කරන මඩ කිරීම තුළින් පොළොව සරුසාර වන බවත් වර්ෂාව ඇති වන බවත් විස්තර වේ.

එම අදහසින් යුතුව ඉසුරුමුණියේ මෙම නිර්මාණය සිදු කරන්නට ඇතැයි විශ්වාස කළ හැකිය. පල්ලව දේශයේ කාංචිපුරයේද දෙවොලක් අභියසද මෙවන් නිර්මාණයක් පවතින බවද සඳහන් වේ. ඉසුරුමුණියේ මෙම නිර්මාණයද වර්ෂාව පතා දෙවියනට කරන පුද පූජාවන්ගෙන් හොබවන්නට ඇතැයි අදහස් කළ හැකිය. ගැමියන් පුෂ්පයන් ජලය මත විසුරුවමින් දෙවියන් යදින්නට ඇතැයි විශ්වාස කළ හැක්කේ හින්දු හා සිංහල අවුරුද්දට කෙරෙන ළිඳ හා ගනුදෙනු කිරීම අනුව අදහස් කිරීමෙනි.

උපුටා ගැනීම - http://mawbima.lk/55-12897-news-detail.html





බුදුන්ගේ කේෂ ධාතු තැන්පත් කර මහියංගන දාගැබ සෑදූ සමන් දෙවිඳු

0

බුදුන්ගේ කේෂ ධාතු තැන්පත් කර මහියංගන දාගැබ සෑදූ සමන් දෙවිඳු

විජය කුමරු ඇතුළු මුල්ම ආර්යයන් ලංකාවට ගොඩ බසින විට උපුල්වන් දෙවිඳුට බුදු සසුන ආරක්ෂා කිරීම පැවැරුණු බව වංසකතා කියයි. මහා වංසයේ 7 පරිච්ඡේදය අනුව සක් දෙවිඳු උපුල්වන් දෙවිට ඒ වගකීම පවරන ලදුව උපුල්වන් දෙවි පරිභ්‍රාජක වෙස්ගෙන විජය ඇතුළු පිරිසගේ අතේ පිරිත් නූල් බැඳි බව සඳහන් කරයි.

උපුල්වන් දෙවි මෙන්ම සමන් දෙවියන්ද මුල සිටම ලංකාවේ ආරක්ෂාව බාරව සිටි දෙවි කෙනෙකි. බුදු හිමි බුදු බවට පත්වූ නවවැනි මාසයේ මහියංගණයේ යක්ෂ දමනයට වැඩම කළ අයුරු මහා වංසයේ පළමු පරිච්ඡේදයේ විස්තර වෙයි. මෙහිදී බුදු හිමිගෙන් බණ අසා සමන්තකූට වාසී මහ සමන් දෙවි සෝවාන් විය. සෝවාන් බවට පත් එතුමා බුදු හිමිගෙන් පූජා කිරීමට සුදුසු පූජා වස්තුවක් ඉල්ලන ලදුව බුදු හිමි හිස පිරිමැද කේශධාතු මිටක් දුන් බව සමන්ත පාසාදිකා-දීපවංසය-මහා වංසය කියයි. බුදු හිමි දුන් කේශ ධාතු තැන්පත් කොට සමන් දෙවි මහියංගණයේ මුල්ම දාගැබ රියන් හතක් උසට බැන්දවූ බව මහාවංසය පළමු පරිච්ඡේදයේ 33-37 ගාථාවල සඳහන් වෙයි.

මේ අනුව බුදු හිමිගෙන් බණ අසා සෝවාන් බවට පත් සමන් දෙවි මහියංගණ දාගැබේ මුල්ම කොටස බුද්ධ කේශධාතු තැන්පත් කොට ඉදි කළ බව පෙනෙයි. බුදු සසුන ආරක්ෂා කරන බුදු බණ අසා සෝවාන් වූ සමන් දෙවි පිළිබඳ මුල්ම තොරතුරු කිහිපයක් දැන් කෙටියෙන් බලමු.

මහාචාර්ය පරණවිතාන ආසියාතික මහායාන සමිතියේ ලංකා ශාඛාවේ 29 සඟරා කලාපයට "ප්‍රාග් බෞද්ධ ලංකාවේ ආගමික විශ්වාස" නමින් දීර්ඝ ඉංග්‍රීසි නිබන්ධනයේදී කියන පරිදි ආටානාටිය සූත්‍රයේ සඳහන් අටවිසි මහ යක්ෂ සෙනෙවියන්ගෙන් අයකු වූ සුමන යනු මේ සමන් දෙවි විය හැකි බව අදහස් කරයි. ඒ එසේ නම් ඔහු බුදුහිමි කාලයේම ලංකාවේ ජීවත් වූ යක්ෂ අධිපතියෙකි.

ආර්යයන් ලංකාවට ඒමට පෙර මහියංගණ අඩවිය යක්ෂ හෙවත් වැදි ජන කොට්ඨාස බහුල ප්‍රදේශයක් විය.

ගෛගර්ට අනුව මහා වංසයේ "පුලින්ද" යනුවෙන් හඳුන්වන්නේ වැද්දන්ය. ලංකාවේ වැදි ජනයා අවුරුදු 50,000 වඩා පැරැණි දීර්ඝ ඉතිහාසයක් ඇති බලංගොඩ මානවයාගෙන් පැවැත එයි. ඉන්දියාව හා ලංකාව එකම බිමක් ලෙස තිබුණු අඩවියේ මේ වැද්දන් ඉන්දියාවේ සිට පයින් ලංකාවට පැමිණ ඇත.

දකුණු ඉන්දියාව හා ලංකාව අවසාන වරට මුහුදින් වෙන්වූයේ දැනට අවුරුදු 7,000කට පමණ පෙරය. විජය කාලය වන විට බලංගොඩ මානවයාගෙන් පැවැත එන යක්ෂයන් හෙවත් වැද්දෝ ලංකාවේ කඳුකරය ඇතුළු බොහෝ ප්‍රදේශවල විසිරී ජීවත් වූහ. ජාතක පොතේ වලාහස්ස ජාතකය ලංකාවේ රාක්ෂයන් මෙල්ල කොට බලය ලබාගත් සීහළ නමැති වෙළෙන්දකු ගැන කියයි. විජයට බලයට ඒමට උදව් කළ කුවේණී ගැන මහාවංසය මහා මහා වංසටීකා කියයි. කු+වණ්ණා යනු අයහපත් හෙවත් කළුපාට වර්ණය ඇති කාන්තාව යන අර්ථය දෙයි. ඒ අනුව කුවේණිය යක්ෂ නායිකාවකි. එමෙන්ම විජය පැමිණෙන විට කුවේණී ප්‍රධානව මාතෘ මූලික පාලනයක් තම්බපණ්ණි අවට විය. ජනප්‍රවාද අනුව කුවේණිගේ පියා බම්බා රජුය. ගලේවෙලට නුදුරු බම්බාව ඔහු විසූ අඩවිය ලෙස සැලකෙයි. මහියංගණයේ මේ අනුව සමන් ප්‍රධාන යක්ෂ බලය පැවතුණා විය යුතුය.

පසු කාලය වනවිටත් මහියංගණ අඩවිය වැදි හෙවත් යක්ෂ නායකයන් බහුලව විසූ අඩවියක් විය. ගෝඨයිම්බර හා සටන් වැදුණු රිටිගල ජයසේන එවැනි යක්ෂ නායකයෙකි. දුටුගැමුණු රජු කල සොර බොර වැව කළ බුලතා යෝධයා උඩුදුම්බර කිරිපට්ටිය ගම අවට විසූ තවත් යක්ෂ ගෝත්‍රික නායකයකු බව පෙනෙයි.

යක්ෂ ගෝත්‍රික සමන් දෙවි බුදු හිමිගෙන් බණ අසා බෞද්ධ වී සෝවාන් වූ බව පෙනී යයි. මහියංගණයේ මුල්බිම මෙන්ම සමනල කන්ද සමන් දෙවිගේ වාසස්ථානය වූ බව මහාවංසය 1:32:33 ගාථාව කියයි. සමනල කන්දට ඒ නම ලැබුණේද සමන් දෙවිඳු නිසාය.

බුදු හිමි තුන්වැනි වර ලංකාවට වැඩියේද සමන් දෙවිඳුගේ ආරාධනාවෙන් බව වංස කතා කියයි. සොළොස්මස්ථානවලට වැඩ ඒවා පූජනීය බවට පත්කර බුදු හිමි සමන් දෙවිඳුගේ ආරාධනාවෙන් සමනල කන්ද මත
ශ්‍රී පාද ලාංඡනය පිහිට වූ බව මහා වංසය පළමු පරිච්ඡේදයේ 77 ගාථාව කියයි. මෙවර බුදු හිමි සමඟ පන්සියයක් රහත් හිමිවරු ලංකාවට වැඩම කළහ. ශ්‍රී පාදය පිහිටුවීමෙන් පසු දිවාගුහාවේ බුදු හිමි දිවා විහරණය කළ බව "පාලි සමන්තකූට වණ්ණනා" කියයි.

මහියංගණ අඩවියේ අදත් සබරගමුව මෙන්ම සමන් දෙවිඳුගේ බලය අණසක පැතිරී ඇත. සමන් දෙවිඳුගේ වැඩිමල් සහෝදරිය වූ "මහ ලොකු" අදත් යක්ෂ ස්වරූපයෙන්ම මහියංගණය අවට දේවාල කීපයක පුද ලබන්නීය. සමන් දෙවි 'මහලොකු' මෙන්ම මේ අඩවියේ යක්ෂ නායකයකු ලෙස මුලින් පෙනී සිටි බව මින් පැහැදිලි වෙයි. මහියංගණ වැද්දෝ රිටි රැගෙන අහසට දිගු කරමින් පෙරහර අන්තිම දින හඬ නඟමින් පෙරහරේ ගමන් කරති.

බුදු හිමි දෙවැනි වර ලංකාවට වඩින විට ජේතවනාරාමයේ කිරිපලු රුකකට අධිගෘහිතව විසූ 'සමිද්ධි සුමන' නම් දෙවි කෙනකු කිරිපලු රුක රැගෙන බුදු හිමි සමඟ ලංකාවට වැඩි බව මහාවංස පළමු පරිච්ඡේදයේ කියයි. මහා වංසයේ පළමු පරිච්ඡේදයේ 52-58 ගාථා අනුව මෙම 'සමිද්ධි සුමන' හිමි එයට පෙරභවයේ නාගදීපයේ මනුෂ්‍යයකු ලෙස ඉපිද පසේ බුදු හිමි නමකට උපස්ථාන කළ පිනෙන් දඹදිව ජේතවනාරාමයේ කිරිපලු රුකක අධිගෘහිත දෙවියකු ලෙස ඉපදුණු බව මහාවංසය කියයි. මේ කියන සමිද්ධි සුමන හිමි හා සමන් දෙවි දෙදෙනකු විය යුතුය. කිරිපලු නුග රැගෙන ලංකාවට වැඩි සමිද්ධි සුමන දෙවි ආපසු දඹදිව වැඩියාදැයි වංසකතා පැහැදිලිව නොකියයි.

අදත් මහියංගණ හා ඒ අවට පුද ලබන 'මහලොකු' යක්ෂ නායිකාවට කැප වූ දේවාලය මුලින්ම පිහිටා තිබුණේ සොරබොර වෑකන්දේ බව රූපවාහිනී වැඩසටහනකදී කථිකාචාර්ය අත්තනායක එම්.හේරත් පෙන්වා දෙයි. පසුව මේ දේවාලය සොරබොර වෑ කන්දේ සිට දෙහි ගොල්ලට ගෙන ගොස් ඇත.

ශ්‍රී පාද අඩවියේ සමන්දෙවි සුදු ඇත් වාහනයෙන් සැරිසරයි. ශ්‍රී පාදය යන එන අය ආරක්ෂා කරයි. පොළොන්නරු කාලයට අයත් පළමු විජයබාහු රජුගේ (1055-1111) අඹගමුව ශිලා ලිපිය අනුව මේ භද්‍ර කල්පයේ පහළ වූ කකුසඳ, කෝණාගම, කාශ්‍යප හා ගෞතම යන සිවු බුදුවරුන්ගේම සිරිපා සටහන් සමනල කඳු මත පිහිටා ඇත. දිවා ගුහාවේ දිවා විහරණයෙන් පසු බුදු හිමි දීඝවාපියට වැඩි බව මහා වංසය පළමු පරිච්ඡේදයේ 78 ගාථාව කියයි.

උඳුවප් පසළොස්වක සිට වෙසක් පසළොස්වක දක්වා ශ්‍රී පාද වාරය හය මාසයක් පවතී. ඒ හය මාසයේ ශ්‍රී පාද පද්මය මත සමන් දේවාලයේ ඉතා බලගතු රත් හඳුන් ලීයෙන් කර වූ සමන් දෙවි රුව පුද පූජා සහිතව වැඩ සිටී. අවාරය එළඹෙන විට සමන් දෙවිරුව උත්සවාකාරයෙන් රත්නපුරයේ පැල්මඬුල්ලේ ගල්පොත්තාවල රජමහා විහාරයට වැඩමවනු ලබයි. සමන් දෙවිඳුගේ නිත්‍ය වාසස්ථානය සබරගමුවය. ඒ නිසා එතුමා සබරගමුවේ ආරක්ෂිත දෙවිඳු වෙයි. රත්නපුර වන්දනාවේ යන අය වඳින පුදන ප්‍රධාන ස්ථානයක් නම් මෙම ගල්පොත්තාවල රජ මහා විහාරයයි. එහි වීදුරු පෙට්ටියක හාස්කම් ඇති ලියලන ගල් දලුවක් ඇත.

ප්‍රධාන සමන් දේවාලය රත්නපුර මහ සමන් දේවාලයයි. වරක් එය පෘතුගීසීන් කොල්ල කෑ බව එම දේවාලයේ ඇති යුද නායකයන් දෙදෙනකු සටන් වදින ගල් කැටයම හා එයට යටින් ඇති පෘතුගීසි භාෂාවෙන් ලියැවුණු කෙටි ශිලා ලිපියෙන් පෙනී යයි. මේ කැටයම රත්නපුර මහ සමන් දේවාලයට සම්බන්ධ දැයි සැක උපදියි. රත්නපුර මහ සමන් දේවාලයේ පරිවාර දේවාල හතරකි. සතුරු ආපදාවකදී සමන් දෙවිරුව හා පූජනීය පූජා වස්තු මේ පරිවාර දේවාලවලට වැඩමවීම චාරිත්‍රය විය. බොල්තුඹේ-දැරණියගල ඉන් පරිවාර සමන් දේවාල දෙකකි. ජනප්‍රවාද අනුව රාවණ කාලයට අනුව බලගතු රහස් වස්තුවක් බොල්තුඹේ සමන් දේවාලයේ තබා ඇත.

රත්නපුර මහා සමන් දේවාලයේ හා ගල්පොත්තාවල රජමහා විහාරයේ ඇති පැරැණි වටිනා සමන් දේව රූප දඹදෙණියේ දෙවැනි පරාක්‍රමබාහු (1236-1270) රජුගේ අගමැති දේව ප්‍රතිරාජ ඉදිකළ බව පෙනෙයි. ශී්‍ර පාද පද්මයට වැඩමවන රත් හඳුන් සමන්දේව රූපය දේව ප්‍රතිරාජ ඇමැති කරවූවකි.

මහායාන බුදු සමයේ සමන්ත භද්‍ර නමින් එන දෙවිගේ හැඩරුවද සමන් දෙවිඳුගේ හැඩරුවට කිට්ටුය. එහෙත් සමන්ත භද්‍ර මහායාන බෝධි සත්ත්වවරයෙකි.


මහාචාර්ය පරණවිතාන 'ද ගෝඩ් ඔෆ් ඇඩම්ස් පීක්' නමින් ලියා ඇති ඉංගී්‍රසි ග්‍රන්ථය අනුව සමන් දෙවි යනු පාතාල ලෝකයට කරුණා රසයට අධිපති යම රජුය. ධර්මරාජ යනු යම දෙවිඳුට නමකි. ශ්‍රී පාදය නඟිනවිට ධර්මරාජ ගල නමින් ගල්පොත්තක් ඇත. එමෙන්ම වන්දනාකරුවෝ "කරුණාවයි කරුණාවයි" යනුවෙන් හඬ නඟා සාදුකාර දෙති. එය ද සමන් දෙවිඳුන් බවට සාධකයක් ලෙස මහාචාර්ය පරණවිතාන හඳුන්වයි. එමෙන්ම අනුරාධපුර මුල් යුගයේ රජ කළ වළගම්බා රජු (ක්‍රි.ව.88-96) ශිලා ලිපිවල 'පිතිමහරජ' නමින් හඳුන්වා ඇත. 'පිතිමහරජ' යනු යම දෙවියාය. මේ අනුව වළගම්බා යම දෙවි මෙන් පෙනී සිට ඇත.


දඹදෙණි කල ලියැවුණු 'පූජාවලි' ග්‍රන්ථය අනුව දඹදෙණියේ දෙවැනි පරාක්‍රමබාහු රජුගේ (1236-1270) අගමැති දේව ප්‍රතිරාජ ගම්පළ නුවරට ගොස් සමන් දේව රූපයක් කරවා රන්රුවන් පලඳනාවක් එම රූපයට කළ බව පූජාවලිය කියයි. මේ දඹදෙණි කල දේව ප්‍රතිරාජ මෙම සමන්දේව ප්‍රතිමාව කරවා ඇත්තේ මහනුවර අඩවියේ ගම්පළ බව පූජාවලිය පැහැදිලිව කියයි.

ගම්පළ යුගයේ හතරවැනි බුවනෙකබාහු රජු (1341-1351) කල සේනාධිලංකාර ඇමැති කරවූ ලංකාතිලක විහාරයේ බටහිර කුඩා සමන් දේවාලයක් දැකිය හැකිය. ලංකා තිලකය කළේ ස්ථපතිරායර් නම් දකුණු ඉන්දීය ශිල්පියා බව ගඩලාදෙණි ශිලා ලිපියේ කියැවෙයි. මෙම විහාරයේ ඇත්තේ විජයනගර් ගොඩනැගිලි සම්ප්‍රදායයි. ගම්පළ හා ඒ අවට තවත් කුඩා සමන් දේවාල දෙක තුනක් ඇත. ලංකාතිලක විහාරයේ පෙරහරට පසු දිය කපනුයේ මහවැලි ගඟේ බෝතලාපිටිය තොටුපළේදීය.

සීතාවක කල අලගියවන්න මුකවැටි ලියූ සැවුල් සන්දේශය සීතාවක රාජසිංහ රජුට ((1581-1592) සුබ පතා සබරගමුවේ සමන් දෙවි වෙත යැවූ සන්දේශයකි. සැවුල් සන්දේශයේ 187-200 කවිවලින් සමන් දෙවි වර්ණනා කරයි. 205 කවියෙන් සමන් දෙවිඳුගේ බිසව බිසෝදෙවි නමින් වර්ණනා කරයි. සැවුල් සන්දේශය කුමාර දෙවි නමින් සමන් දෙවිඳුගේ පුතාද වර්ණනා කරයි. සැවුල් සන්දේශය සමන්දෙවි සමඟ පුද ලබන පරිවාර දෙවිඳකු වූ සපු කුමරු ගැනද සඳහන් කරයි.

මහනුවර මුල් යුගයේ ඉදි වූ සමන් දේවාලයක් මහනුවර සිට මාතලේ යන පාරේ අලවතුගොඩ ඇත. එය නින්දගම් සහිත පැරැණි සමන් දේවාලයකි. මහනුවර කිට්ටුව ඇති එකම සමන් දේවාලය අලවතුගොඩයි. එහි වාර්ෂික ඇසළ උත්සවයක් පැවැත්වෙයි. අලවතුගොඩ සමන් දේවාලයේ බස්නායක නිලමේ 2010 මහනුවර ඇසළ පෙරහරේ නාථ දේවාල පෙරහරේ ගමන් කළේය. 2011 ඔහු මහනුවර ඇසළ පෙරහරේ ගියේ මහනුවර කතරගම දේවාල පෙරහර සමඟයි. හේතුව මහනුවර ඇසළ පෙරහරේ සමන් දෙවි නියෝජනයක් නැති බැවිනි.

මහනුවර නගර සීමාවේ සමන් දේවාලයක් දක්නට නැත. මහනුවර අද දක්නට ඇති ප්‍රධාන දේවාල පහම කුණ්ඩසාලේ නරේන්ද්‍රසිංහ (1707-1739) හා ඉන්පසු නායක්කාර් යුගයේ ඉදිවූ ඒවාය. සමන්දෙවි බෞද්ධ ශාසනාරක්ෂක දෙවියකු වූ බැවින් හින්දු වත් පිළිවෙත් උතුම්කොට සැලැකූ නායක්කාර් යුගයේදී මහනුවර සීමාව තුළ සමන් දේවාලයක් ඉදිවූයේ නැත. කිට්ටුව සමන් දේවාල පිහිටා ඇත්තේ ගම්පොළ ලංකාතිලක විහාරය හා අලවතුගොඩයි. එහෙත් මහනුවර නගර සීමාවේ සමන් දෙවි පුද ලබන දේවාල දක්නට නැත.

ගල්පොත්තාවල සිට ගිනිගත්හේන හරහා නල්ලතන්නියට උඳුවප් පුර පසළොස්වකට සමන් දෙවිරුව වැඩමවන බැවින් අඹගමුව කෝරලේ හා ඒ අවට විහාර ආශ්‍රිතව සමන් දේවාල දැකිය හැකිය. එය මෑත කල දක්නට ඇති ලක්ෂණයකි.

එස්.කේ. ජයවර්ධන

උපුටා ගැනීම - http://mawbima.lk/55-11008-news-detail.html




Thursday, November 28, 2013

පෘතුගීසීන්ගෙන් ගැලවෙන්න අංගම් හටන් මායා රංගන කළ හැටි

0

පෘතුගීසීන්ගෙන් ගැලවෙන්න අංගම් හටන් මායා රංගන කළ හැටි



ඉපැරැණි ලාංකේය සටන් කලාවක් වන අංගම් සටන් කලාවට වර්තමානය වන විටද හිමිවී ඇත්තේ සුවිශේෂී තත්ත්වයකි. රාවණා යුගයේ පටන් පැවැත එන මෙම අපූරු සටන් කලාව ගරිල්ලා ක්‍රමයටද නෑකම් කියන අතර දේශීය උරුමයන්ගෙන් පැවත එන ප්‍රමුඛතම සටන් ක්‍රමවේදයක් බව පැවැසීම අතිශයෝක්තියක් නොවේ. සටන්කලාවන් අතරින් තමන්ටම උරුම කරගත් ආරකින් පැවත එන අංගම්පොර සටන් කලාව මඟින් අතුරු සටන් කලා රාශියක් බිහි වී තිබේ.

අංගම්පොර සටන් කලාව පිළිබඳ විවිධ සටන් ශිල්පීන් එක් එක් අදහස් පළකොට තිබෙන අතර ඒවාට හාත්පසින්ම වෙනස් අදහසක් අංගම්පොර සටන්කලාව පිළිබඳ හෙළි කරන අංගම්පොර සටන් ශිල්පියෙක් අපට අදහස් දැක්වූවේය. ඔහු නමින් සුසන්තය. සම්මානලාභී අංගම්පොර සටන් ශිල්පියකු වන පිළියන්දල ප්‍රදේශයේ පදිංචි සුසන්ත මහතා අංගම්පොර සටන් කලාව පිළිබඳ පළ කරන්නේ මෙවන් අදහසකි.


"අංගම්පොර සටන් කලාව යනුවෙන් සමාජයේ ප්‍රචලිත වුණත් මෙම සටන් කලාවට අංගම්පොර සටන් කලාව යන විරුදාවලිය මම භාවිත කරන්නේ නෑ. මොකද මෙම සටන් කලාවට පසුකාලීනව මෙම නාමය භාවිත කළේ. අංගම් යනුවෙන් හඳුන්වන්නේ අංග භාවිතය. ශරීරයේ අංග භාවිත කොට සිදුකරන සටන් ක්‍රමවේදයක් බැවින් මෙයට එම නාමය භාවිත කළා වෙන්න පුළුවන්. එහෙත් ඉපැරැණි සාම්ප්‍රදායික සටන් කලාව අංග භාවිතයෙන් පමණක් නොවේ සටනට අවතීර්ණ වුණේ. මෙම සටන් කලාව මානසික හික්මීමද ඇතිව සිදු කළ සටන් කලාවක්. එබැවින් මෙම සටන් කලාව විවිධ විරුදාවලීන්වලින් හැඳින්වීමට වඩා සාම්ප්‍රදායික සිංහල සටන් කලාව ලෙස හැඳින්වීම යෝග්‍යය යැයි මම හිතනවා."

මෙම ඉපරැණි සාම්ප්‍රදායික සටන් කලාව ප්‍රගුණ කිරීම සඳහා සටන් ශිල්පි ගුරුවරයා වෙත පැමිණෙන ශිෂ්‍යයා බොහෝ සේ මානසික හික්මීමක් ඇති අයකු විය යුතුය. සුසන්ත මහතා පවසන පරිදි ගෝලයා මුලින්ම පුහුණුවට ප්‍රථමයෙන් චාරිත්‍රානුකූලව දේව පූජාවක් පැවැත්විය යුතුය. දේව පූජාවෙන් අනතුරුව ගෝලයා ලද වාසනාව මත හෝ කැපවීමට ඇති හැකියාව මත ඔහුට අංගම්පොර සටන් කලාව මූලාරම්භයේ සිටම උගත හැකිය. එහෙත් අන් අයට පීඩා කරනු පිණිස පුහුණුව ලැබීමට පැමිණෙන්නන්ට එම පූජාවෙන් පසුව කුමන හේතුවක් මත හෝ සටන් ඉගැනීමේ වාසනාව අහිමි වන බව සුසන්ත මහතා පවසයි. පැරැණි සටන් කලාවෙහි ඇති තවත් එක් ප්‍රබල කරුණක් නම් අධික ගුරු භක්තියෙන් සටන් කලාව ප්‍රගුණ කරන තැනැත්තාට මෙම උත්තුංග සටන් කලාව මනාව ධාරණය කර ගැනීමේ හැකියාවක් ඇති වේ.

අත් සෙල්ලම්වලට අමතරව කඩු හරඹ, පොලු සටන්, වේලායුධ සටන්, හක්ගෙඩි සෙල්ලම, අතකොලු සෙල්ලම, හැරමිටි සෙල්ලම ආදී සටන් ක්‍රමවේදයන් මෙම කලාව ප්‍රගුණ කරන තැනැත්තාට ප්‍රගුණ කළ හැකිය. අවි ආයුධයෙන් සන්නද්ධව සේම නිරායුධව සිදු කරන සටන් ක්‍රමවේද 200කට අධික සිය ගෝලයන්ට පුහුණු කරන බව සුසන්ත මහතා කීය.

පිරිසක් මධ්‍යයෙහි සිටින තැනැත්තකු එම පිරිසටද නොදැනෙන ලෙස මරණයට පත් කිරීමට හෝ සිහි විසඥ කිරීමේ හැකියාවක් මෙම සටන් ක්‍රමවේදය තුළ පැවැතීමද සුවිශේෂීත්වයකි.

මෙම සටන් කලාව බහුලවම සිදුවන්නේ පුද්ගල සිරුරේ නිල හෙවත් ප්‍රධාන නහර ඉලක්ක කොටගනිමිනි. සතුරකු මුහුණට මුහුණලා හමුවූ අවස්ථාවලදී ඔහුට කිසිවක් කරගැනීමට පළමුව එම තැනැත්තාගේ බල නහරයක් වෙත පහරදී සිහිසුන් කිරීමේ හැකියාවක් මෙම සටන් කලාව සතුව පැවැතීම විශේෂත්වයකි.

මෙම සටන් කලාවේ භාවිත කරන සටන් ක්‍රමයන් හුදෙක් අත සහ පය පමණක් භාවිත කිරීම අපහසුය. එයට මානසික නිරවුල්තාව ඉහළින්ම පැවැතිය යුතුය. අතීත සාම්ප්‍රදායික සටන් ගුරුවරුන් අතරින් සුප්‍රසිද්ධ නාමයක් දිනාගෙන සිටි සරඹ වෙද මහතා යන විරුදාවලියෙන් හැඳින්වූ අරනෝරිස් වෙත්තසිංහ සහ බෙම්පි ප්‍රනාන්දු යන සටන් ප්‍රභූවරුද මෙම සටන් කලාව බොහෝ සේ ප්‍රගුණ කළ පිරිස අතර වැජඹෙති. සටන් කලාව පුහුණු කිරීමේ කටයුතු ආරම්භ කිරීමට පෙර ඔවුන් තුනුරුවන් ගුණ සිහිකොට නවග්‍රහ මණ්ඩලය සඳහා පූජාවක් සිදුකොට සතරවරම් දෙවිවරුන් නමින් 'පාරවල් හතර' නමැති සටන් ක්‍රමයක් පූජා කිරීමෙන් අනතුරු භාවනායෝගීව හිඳ මෙම සටන් කලාව පුහුණු කිරීමට පෙලඹී ඇති බව සුසන්ත මහතා පවසයි. යථෝක්ත සටන් ශිල්පීන්ගේ මුනුබුරකු වන සුසන්ත මහතාද සිය සාම්ප්‍රදායික සටන් කලාව ඇරැඹීමට ප්‍රථම ආධ්‍යාත්මික නිරවුල් බව සකස් කොට ඉන් අනතුරුව සටන් ප්‍රගුණ කිරීමට පුරුදු වී සිටියි.

ලංකාව ආක්‍රමණය කළ පෘතුගීසීන්ට සාම්ප්‍රදායික ගමෙන් උපන් සටන් ශිල්පීන් ඉමහත් අභියෝගයක් වූ බව පැරැණි සටන් සාහිත්‍යය සාක්ෂ්‍ය දරයි. පෘතුගීසීන්ගේ ගිනි බටය සටන් ශිල්පීන්ගේ නිල සටන හමුවේ පරාජයට පත් වෙමින් පැවැති නිසා සාම්ප්‍රදායික සටන් ශිල්පීන්ට දුටු තැන වෙඩිතබා මරා දැමීමට පෘතුගීසීන් තීරණය කොට තිබේ. සටන් ශිල්පීන්ගේ නැඟී සිටීම පෘතුගීසීන් තුළ ඇති කළේ භීතියකි. එබැවින් ලංකාව ඇතුළත කිසිදු ස්ථානයක සටන් කලාව ප්‍රගුණ නොකළ යුතු බවටද පෘතුගීසීන් විසින් වාරණයක් පනවනු ලැබීය. එසේ සටන් ක්‍රමවල නිරත වන්නන් දුටු තැන වෙඩි තබා මරා දැමීමට ඔවුහු කටයුතු කළහ. සිංහල නිවෙසක කඩුවක් පවා තබා ගැනීමට තහනම් කිරීමෙන්ම පෘතුගීසීන් සාම්ප්‍රදායික සටන් කලාව කෙරෙහි කොතරම් භීතියක් දක්වා ඇතිද යන්න පසක් වේ.

කෙසේ වෙතත් මෙම සටන් කලාව විනාශවීමට ඉඩ නොතැබූ අතීත සටන් ශිල්පීහු පෘතුගීසීන්ගේ අවධානය යොමු නොවන පරිදි පැරැණි සටන් කලාවට හාස්‍යයද මුසු කරමින් මායා නමැති සටන් කලාවක් හඳුන්වා දුන්හ. සත්තකින්ම ඔවුන් එහිදී සිදු කළේ පැරැණි සටන් ශිල්පයම හාස්‍යයද මුසු කරමින් පෘතුගීසීන්ට සැක පහළ නොවන පරිදි ප්‍රගුණ කිරීමට කටයුතු කිරීමයි. විවිධ ආයිත්තම් විකට ඇඳුමෙන් සැරැසී මායා රංගනයක් ලෙස හුවා දක්වමින් ඔවුන් පැරැණි සටන් කලාව ප්‍රගුණ කොට ඇති බවට අතීත සටන් සාහිත්‍යය සාක්කි දරයි.

එවන් අපරිමිත කැපවීමක් දරා අතීත ප¾ඩිවරුන් විසින් පවත්වාගෙන එන ලද පෞරාණික සටන් කලාව විවිධ පුද්ගලයන්ගේ අදූරදර්ශී ක්‍රියා හේතුවෙන් අභාවයට යමින් පවතින බව සුසන්ත මහතා පවසයි. පැරැණි මුතුන්මිත්තන් මායා සටන් කලාව හඳුන්වා දුන්නේ සත්‍යය ඉපැරැණි සටන් කලාව අනාගත පරපුරට හඳුන්වා දීමට වුවද අනාගත බහුතරයක් පිරිස සටන් කලාව හුදෙක් රඟපෑමක් බවට පත් කරමින් ඉපැරැණි සටන් ශිල්පය පවා විකෘති කිරීමට පෙලඹී සිටින බවද සුසන්ත මහතා පවසන්නේ දැඩි කනගාටුවෙනි.

පෘතුගීසි සමයෙහි පවා විවිධ අභියෝගයන්වලට මුහුණ දෙමින් ජීවිත අවදානමද නොතකා සිය සටන් කලාව අනාගත පරපුරට දායාද කිරීමට අතීත සටන් වියතුන් කටයුතු කළා සේම වත්මන් පරපුරද එම අභියෝගය සුරතට ගනිමින් කටයුතු කරයි නම් ඉපැරැණි සටන් කලාවේ උන්නතිය වෙනුවෙන් තවත් පරපුරක් බිහි කිරීමට හැකි වෙනු නොඅනුමානය.


සමිත් මධුරංග

ඡායාරූප - නුවන් අමරවංශ

උපුටා ගැනීම
- http://mawbima.lk/55-11011-news-detail.html



සිංහලයන් පැවැතෙන්නේ විජයගෙන් නොවේ

1

සිංහලයන් පැවැතෙන්නේ විජයගෙන් නොවේ

සිංහලයන් පැවැතෙන්නේ විජයගෙන් නොවේ හෙළ වර්ගයාගේ පරම්පරා කතාව ගැන කියැවෙන වරිග පූර්ණිකාව රාමායණය සහ මහා වංසයට එහා ගිය වැදගත්කමක්, වටිනාකමක් උසුලයි. එම ග්‍රන්ථ ඉක්මවා යන තරමට ඉතිහාසගත වෙයි.වරිග පූර්ණිකාව යනු තවත් එක් සුන්දර කතා වස්තුවක් රැගත් ග්‍රන්ථයක් නොවේ. අතීත සිද්ධීන් සමුදායක් සටහන් කරනු ලැබූ කතා පොතක්ද නොවේ. එහි ඇත්තේ රාවණා පරපුර හෙවත් යක්‍ෂ ගෝත්‍රික පරපුරේ ජීවිතයයි. ජීවත්වීම සඳහා කෙනකුට ඇවැසි වනුයේ යම් දෙයක්ද එම දෙය අඩු වැඩි නැතිව වරිග පූර්ණිකාවේ සටහන්ව තිබේ. එහෙයින්ම එය යක්‍ෂ ගෝත්‍රික පරපුරේ පොදු උප්පැන්න සහතිකයද වෙයි. ශ්‍රී ලංකාවේ ආදිවාසීන් ලෙස සලකනු ලැබුවේ යක්‍ෂ, නාග, දේව ගෝත්‍රික ජනතාවයි. මෙයින් නාග ගෝත්‍රිකයන් කැලණිය, නාගදීපයෙත්, යක්‍ෂ ගෝත්‍රිකයන් මහියංගණය, සබරගමුව ප්‍රදේශවලත් ජීවත් වූ බව සඳහන් වෙයි.හෙළයා යනු වර්තමාන සිංහලයා මිස විජයගෙන් බිහිවූ ආර්යයන් නොවන බව අපට හොදාකාරවම වරිග පූර්ණිකාව කියයි. ඉන්දියාවෙන් පිටුවහල් කළ විජය ලංකාවට පැමිණ කුවේණිය සමඟ එක්වීමෙන් ආර්යයන් බිහිවූ බව බොහෝ ග්‍රන්ථ සඳහන් කරතත් විජය පැමිණීමට පෙර ආර්යයන් නොවන යක්‍ෂ ගෝත්‍රික පරම්පරාවක් එදා හෙළදිවේ සිටි බවත් හෙළයන්ගේ හෙවත් සිංහලයන්ගේ ඉතිහාසය ලියූ සහ ලියන බොහෝදෙනා එම තොරතුරු හිතාමතා සඟවා ඇති බවත් මේ වන විටත් ප්‍රසිද්ධ කරුණක් වී තිබේ. 

මෙරට තුළ ආදිවාසීන් ලෝකයේ වඩාත්ම දියුණු ජාතියක් වී සිටියා යැයි වරිග පූර්ණිකා ග්‍රන්ථය ආශ්‍රයෙන් කොතෙක් තොරතුරු ගෙනහැර දැක්වුවද රාවණාගේ ඉතිහාසය අතැඹුලක් සේ දන්නේ තමන් පමණකැයි සිතා සිටින මහා උගතුන් එම තොරතුරු පිළිනොගන්නේ තමන්ගේ තත්ත්වයට සහ ඉගෙනගත් දැනුමට මදිපුංචිකමක් වේ යැයි සිතන අනියත බිය නිසාය. සැබැවින්ම එය කනගාටුවට කරුණකි. නමුත් ඉන්දියාවේ සිට මෙරටට පැමිණි ආර්යයන්ට වඩා හෙළදිව හෙවත් ලංකාවේ සිටි යක්‍ෂ ගෝත්‍රික පරම්පරාව උසස් ජාතියක් සහ ඉහළ දැනුමක් ඇතිව සිටියවුන් බව කීමට පැහැදිලි සාක්‍ෂි වරිග පූර්ණිකාව පෙන්නුම් කරයි. වරිග පූර්ණිකා පුස්කොළ පුස්තකය රචනා කිරීමට යොදාගත් භාෂාව අන්කිසි භාෂාවකට සම කළ නොහැකිය. එහෙයින්ම එය ඉහළ ස්ථානයක් ගනී. මෙම භාෂාව පාලි, සංස්කෘත භාෂාවන්ට කිසිදු නෑකමක් නොදක්වයි. පසුව අප පාලි, සංස්කෘත ආභාසය ලැබුවත් එයට පෙර අප මුතුන්මිත්තන් භාවිත කළ මෙම භාෂාව වර්තමාන සිංහල භාෂාවේ මුල් භාෂාව ලෙස උපකල්පනය කිරීමට පුළුවන. සිංහල ගැමි වහරේ ඇති බොහෝ වචන මුල් හෙළ භාෂාවෙන් බිඳගත් වචනයි. එමෙන්ම ලෝකයේ බොහෝ භාෂාවන්ගේ උපත හෙළ භාෂාව යැයි පවසන තරමටම මෙම භාෂාව ඉතාමත් පැරැණිය. මෙරට මුල්ම වැසියා වන යක්‍ෂ ගෝත්‍රිකයාගේ භාෂාව වන මෙය මුලින් හැඳින්වූයේ රවිශෛලාෂ භාෂාව ලෙසිනි.

මහින්දාගමනයට පෙර ශ්‍රී ලාංකේය ජන ජීවිතය පිළිබඳ යමක් ප්‍රකාශ කිරීමට ශ්‍රී ලාංකේය විද්වතුන් මැළිවන්නේ ඒ සම්බන්ධව ඇති මූලාශ්‍රවල අඩුකම නිසාය. ඔවුන් පිළිගන්නා පරිදි සිංහලයාගේ පෙළපත ආරම්භ වනුයේ විජයගෙනි. විජය හෙළයේ නායකත්වයට පත්වන්නේ යුදමය ක්‍රියාදාමයකින් මෙරට පාලන තන්ත්‍රය බිඳ දැමීමකින්වත්, එවකට සිටි ගෝත්‍රික ජනයාගේ සම්මුතියෙන් විජයට රාජ්‍යත්වය ප්‍රකාශ කිරීමෙන්වත් නොව එවකට පාලනයේ යෙදී සිටි නායිකාවක වූ කුවේණිය වංචනිකව රවටා විවාහ කරගැනීමෙන් අනතුරුවය. මේ අනුව හෙළ වංස කතාවේ පටන් ගැන්මෙන්ම යක්‍ෂ ගෝත්‍රිකයන්ට හිමිවී ඇත්තේ පහත් තැනකි. ඔවුන් හඳුන්වා ඇත්තේ පහත් වැඩ කරන මායාකාරී ගෝත්‍රික කොටසක් ලෙසටය. අපගේ මානව වංස කතාව ලියූවන් කියන පරිදි යක්‍ෂ ගෝත්‍රිකයන්ට බුදුන්ගෙන් බණ අසා එය වටහා ගැනීමට තරම්වත් ශක්තියක් තිබී නැත. මේ අය වංස කතාව ලියූවන්ගේ සහ තවමත් ලියමින් ඉන්නන්ගේ පරගැති භාවයයි. නමුත් සත්‍යය එය නොවේ. විජයගේ පැමිණීමට පෙර දියුණු ජාතියක යුගයක් හෙළදිවට තිබූ බවට වන සාක්‍ෂි අද පුරාවිද්‍යාත්මකව සොයා ගැනෙමින් පවතී. වරිග පූර්ණිකාවේ විශේෂිත කරුණ වනුයේ රාවණා පරම්පරාවෙන් පැවැත එන පරම්පරාව පිළිබඳ තොරතුරු සටහන්ව තිබීමයි. එය මූලික වශයෙන් පරම්පරා දෙකක් දක්වයි. ඒ කේවේසස්ථාන සහ රවිශෛලාෂ පරම්පරා දෙකයි. ඉතා දියුණු සංස්කෘතියකට අයත් යක්‍ෂ ගෝත්‍රික රාජ පරම්පරාව ගැන නිවැරැදි අවබෝධයක් වරිග පූර්ණිකාව තුළින් අපට ලැබේ. ඒ අනුව වඩාත් තහවුරු වූ රාවණා රාජ පරම්පරාව වනුයේ රවිශෛලාෂ රාජ පරම්පරාවයි. 

රවිශෛලාෂ රාජ පරම්පරාවේ ආදිතමයා ලෙස සැලකෙනුයේ රාවණා හෙවත් යක්‍ෂ කෞරාණ මන්ඨකයි. මෙම කෞරාණ, රෞලාන ලෙසද භාවිත වනු දැකිය හැකිය. කෞරාණ (රෞලාන) කුරු යන්නට තරමක සමානතාවක් දක්නට ලැබේ. කෞරාණ යනු මෙරට සහ ලෝකයේ ව්‍යාප්තව සිටින යක්‍ෂ ගෝත්‍රික වංශිකයන්ගේ මුල් නමයි. රාවණා යන වචනයේ අර්ථය සූර්යයා යන්නයි. රකුණ යනු රාවණා යන්නට සමාන අර්ථයක් ඇති තවත් පදයකි. වික්‍රමාන්විත භාවයෙන් පරිපූර්ණ වූ ශ්‍රී ලංකාවේ යක්‍ෂ ගෝත්‍රික වංසයේ අද්විතීය ස්ථානය හිමිකරගත් රාජ්‍ය නායකයන් ගැන වරිග පූර්ණිකාව මෙසේ සඳහන් කරයි. ඒ අනුව රාවණා රජුගේ පෙර රාජ පරම්පරාව සහ රාවණා රජුගෙන් පසු රාජ පරම්පරාවත්, රාවණා රජුගේ මුනුබුරකු වූ රවිශෛලාෂ රජුගේ පරම්පරාවෙන් ඇරැඹි වත්මන් ලේ නෑයන් දක්වා දිවයන රාජකරුණා පරම්පරාවත් පිළිබඳ වරිග පූර්ණිකාව ඉතිහාසගත සාක්‍ෂි සපයයි. මේ අතර රාවණා රජුගේ සොයුරු විභීෂණ ලංකාවේ රජකම් කළ බව පැවැසෙතත්, එම රාජ්‍ය පාලනය එක දිගට සිදුවූවක් නොවන බවත් අතරින් පතර කඩඉම් සහිතව පැවැති රාජ්‍ය පාලනයක් බවත් මෙම වරිග පූර්ණිකාවම පෙන්වා දෙයි.

වරිග පූර්ණිකාව පෙන්වා දෙන පරිදි හෙළයේ ආදිතම පාලකයා වූයේ සයිබාරි ඍෂිවරයායි. මෙම ඍෂිවරයා වූ කලී ගෝත්‍රික පරම්පරාවක නායකයායි. එම ගෝත්‍රික පරම්පරාව වූයේ යක්‍ෂ ගෝත්‍රිකයනුයි. මෙම සයිබාරි ඍෂිවරයාට පෙර සිටි පාලකයන් ගැන පැහැදිලි සඳහනක් වරිග පූර්ණිකාව නොදක්වතත් එකලට පෙරද යක්‍ෂ ගෝත්‍රිකයන් සිටි බව පෙන්වා දෙනවා. මෙම සයිබාරි ඍෂිවරයාගෙන් පසු යක්‍ෂ ගෝත්‍රික පරම්පරාවේ නායකයා බවට පත්වූයේ ශෛහාරයි. ශෛහාර, සයිබාරි ඍෂිවරයාගේ පුතෙකි. ඉන්පසු ශෛහාරගේ පුතකු වූ මිථානත්, මිථානගේ පුතකු වූ මාලන්තිත්, මාලන්තිගේ පුතකු වූ සුමාලිත් යක්‍ෂ ගෝත්‍රික පරම්පරාවේ නායකත්වයට පත්වී ඇත. මෙම තාත්තාගෙන් පුතාට උරුම වූ පරපුරේ නායකත්වය අනුව සුමාලින්ති රජුගේ පුත්‍රයකු වූ රාවණ නායකත්වයට පත්වෙයි. මෙම රාවණා වූ කලී පෙර රජ පරපුරෙන් පැවැත ආ අසහාය පුද්ගලයෙකි. ඔහු හැඳින්වූයේ විශ්ව කීර්තිය ලද ශ්‍රී රාවණා නොහොත් යගු කෞරාණ මන්ඨක ලෙසිනුයි. රාවණා රජුගේ පුත්‍රයා වුණේත් උපේන්ද්‍රිමිණිකයි. රාවණාගෙන් පසු රජකමට පත් උපේන්ද්‍රමිණිකට පුත්‍රයන් දෙදෙනෙක් සිටියහ. ඒ රවිශෛලාෂ සහ කේවේසස්ථාන රජ කුමරුන් දෙදෙනායි. උපේන්ද්‍රමිණික රජුගෙන් පසු හෙළදිව රාජ්‍ය පාලනයට පත්වූයේ මෙම රවිශෛලාෂ සහ කේවේසස්ථාන කුමරුන් දෙදෙනායි. මෙම කුමරුන් දෙදෙනාගේ රාජ පරම්පරාවන් දෙක පිළිබඳ වරිග පූර්ණිකාව විස්තර දක්වතත් එහි වැඩි වශයෙන් දක්වා තිබෙනුයේ රවිශෛලාෂ රාජ පරම්පරාව පිළිබඳවයි. උතුරේ පාලනය ගෙන ගිය කේවේසස්ථාන රාජ වංසය ගැන දීර්ඝ සඳහනක් වරිග පූර්ණිකාව නොදක්වයි. 

එසේ දැක්වීමට නොහැකි වූ හේතුව ලෙස වරිග පූර්ණිකාව සටහන් කරනුයේ විජය හෙවත් ආර්යයන්ගේ පැමිණීමත් සමඟ ඇතිවූ නව ආරම්භයට මුහුණ දීගත නොහැකිවීමයි. නමුත් එයට මුහුණ දෙමින්ම රාජ පරම්පරා හතක් දක්වා කේවේසස්ථාන රාජ වංසය පවත්වාගෙන යෑමට එම පරපුර සමත් වූ බව වරිග පූර්ණිකාව කියයි. වරිග පූර්ණිකාව දක්වන එම රාජ පරම්පරා හත නම්, කේවේසස්ථාන රජු, සොලිස මන්ඨක රජු, සකුදල ගිරි රජු, පජ්ජල මුණ රජු, කේසි කෙහෙලියපුර රජු, විපුලත්තාන රජු සහ සුගලිත රජු යන රජවරුන්ය.රවිශෛලාෂ රජු හෙවත් රාවණා රජුගේ මුනුබුරා හරහා පැවැත ආ රවිශෛලාෂ රජුගේ දාරක පරම්පරාව වරිග පූර්ණිකාවට අනුව මෙසේ වෙයි. කභාගිරි රජු, දෙවලගිරි රජු, වාරසික රජු, සේතකඨ රජු, උජුපල රජු, බැබිලගිරි රජු, මන්දාරක රජු, අතිලීක රජු, කීර්තිධීර රජු, රෞලාන රජු, මෝජගිරි සෙන්පති, උරසිකාර සෙන්පති, ඉදියර සෙන්පති, කත්තුර සෙන්පති, හෝසලමාන සෙන්පති, භද්‍රගිරික සෙන්පති.මෙම රාජ පරම්පරාව අතර සිටින කිත්තිධීර රජු බුද්ධ කාලයේ පිටිගල පාලනය කළ රජුයි. බුදුන්ගෙන් බණ අසා රහත් ඵලයට පත් කවිලාශ අග්තිපාලි මෙහෙණියගේ පියා වනුයේද කිත්තිධීර රජුයි. ගිරිදේශය පාලනය භාරව සිටි ගිරිභද්‍ර සෙන්පති කවිලාශ අග්තිපාලියගේ ස්වාමියායි.

බුද්ධ කාලයට සමගාමීව පිටිගල පාලනය කළ කිත්තිධීර රජුගෙන්, ඔහුගේ වැඩිමල් පුතු උපතිස්ස කුමරු රජ බවට පත්වුණා. උපතිස්ස රජු තම රාජ්‍ය කාලය තුළ පැවිදි දිවියට (කි.ව. 409-431) පත්වූයේ බාල සොහොයුරු මහානාම රජුට රාජ්‍ය පාලනය භාර දෙමින්. මහනාම රජුගෙන් පසු වන රාජ පරම්පරාව වරිග පූර්ණිකා පුස්තකය මෙසේ දක්වයි. මහානාම රජු, ඔහුගේ පුත් ස්වර්ණ සුබෝධි කුමාරයා, ඔහුගේ පුත් මාලිම්භ කුමාරයා, ඔහුගේ පුත් සංජීව කුමාරයා, ඔහුගේ පුත් විපුල්ලම්භ කුමාරයා, ඔහුගේ පුත් පියුමල් බණ්ඩාර කුමාරයා, ඔහුගේ පුත් සිරිනාථ බණ්ඩාර කුමාරයා, ඔහුගේ පුත් චන්ද්‍රගිරි බණ්ඩාර කුමාරයා, ඔහුගේ පුත් සත්බෙර බණ්ඩාර, දියණිය පියුමලී පාලි කුමරිය, ඇගේ පුත් සුජාත කුමාරයා, ඔහුගේ පුත් සංජය බණ්ඩාර කුමාරයා, ඔහුගේ පුත් මානා බණ්ඩාර හෙවත් මුදලිහාමි රාජකරුණා මුදියන්සේ, ඔහුගේ පුතුන් තිදෙනා කිරිබණ්ඩා, හීන් බණ්ඩා සහ ටිකිරි බණ්ඩා. මේ වර්තමානය දක්වා දිවෙන රාවණ රාජ පරම්පරාවේ ලේ නෑ පරම්පරාවයි. අද වරිග පූර්ණිකා පුස්තකයත්, රාවණ රජුගේ ග්‍රන්ථය, මන්ත්‍රය, වෛද්‍ය ග්‍රන්ථය සහ තවත් අතිශය රහස් සමුදායක් මෙම පරපුරේ වත්මන් භාරකාරත්වය යටතේ පවතිනවා.

එම රහස් අතර ඉතාමත් මූලික දෙය වනුයේ යක්‍ෂ ගෝත්‍රික හෝඩිය සහ එහි සන්තාඥ භාෂාවේ අක්‍ෂරයි. මෙම අක්‍ෂර මාලාවේ උපත ගැන වරිග පූර්ණිකාව විස්තර මෙසේ දක්වනවා. පුප්ඵුශීය වායු ධාරාව නිසා ස්වරාලය තුළ ඇතිවන ස්වර කම්පනයෙන් නිපදවනු ලබන නාද රටා සියුම්ව වර්ගීකරණය කොට සංකේත මඟින් ඉදිරිපත් කිරීම තුළින් යක්‍ෂ ගෝත්‍රික රවිශෛලාෂ භාෂාවේ අක්‍ෂරයන්ගේ උපත සිදුවී ඇතැයි නිගමනය කළ හැකියි. ඒ අනුව ඔවුන් නාද රටා දහයක් හඳුන්වා දී ඇත. ඒවා ජාතිස, සිලම්බි ලෙස හඳුන්වයි. බට නළාවක් පිඹ විවිධ නාද රටා උත්පාදනය කළ හැකිවාක් මෙන්ම පුප්ඵුශීය වායු ධාරාව මඟින් ස්වරාලය තුළද විවිධ නාද රටා නිපදවිය හැකියි. ජාතිස, සිලම්බි, සංකේත මඟින් පෙන්වා දෙන්නේ එබඳු නාද රටාවනුයි.
මේ යටතේ වන උප අක්‍ෂර මාලා මෙසේ හඳුන්වා දී තිබෙනවා.

* කයිමාර සිලම්බි (බන්ධ අක්‍ෂර)
* ඒකේය අක්‍ෂර බන්ධන ක්‍රමය
* විභූෂ අක්‍ෂර
* කණ්ඨු අක්‍ෂරය
* සෝල අක්‍ෂරය
* කවිලාශ අක්‍ෂරය
* කෞරවි අක්‍ෂරය
* කුම්භණී අක්‍ෂරය
* ජංග්‍රාම අක්‍ෂරය

මෙම අක්‍ෂරවලට අමතරව සන්තාඥද්වන්ත්‍ර අක්‍ෂර නම් වන අක්‍ෂර විශේෂයක් ගැනද වරිග පූර්ණිකාව සඳහන් කර තිබෙනවා. එය මෙසේ පැහැදිලි කරදී ඇත.
බල පිහිටුවීමේ අක්‍ෂර වශයෙන්ද ද්වන්ත්‍ර අක්‍ෂර වශයෙන්ද මෙම අක්‍ෂර හඳුන්වනු ලැබෙනවා. යක්‍ෂ ගෝත්‍රික කාන්තාවන්ට පලඳින ආභරණවල බලය පිහිටුවීම සඳහා යොදාගන්නා විශේෂ සහ වංසයේ උදාරත්වය ප්‍රකාශ කරන සංකේත මේ නමින් හඳුන්වනවා. රවිශෛලාෂ (යක්‍ෂ ගෝත්‍රික, කවිලාශපාලී, මහාපාලි) වංසයේ කාන්තාවන් විසින් පලඳින උත්තරචක්‍ර මාලාභරණයේ පළමු පොට හෙවත් ඉන්ද්‍රවටයේ බලය පිහිටුවීම සඳහා කොටා ඇති සංකේත ද්වන්ත්‍ර අක්‍ෂර ගණයට අයත් වෙනවා.

* සන්තාඥ මුරාග්‍ර අක්‍ෂර
* සුවිධිමුත අක්‍ෂර
* කිලාම අක්‍ෂර
* කෘෂිකාල සන්තාඟු හෙවත් ගුපල අක්‍ෂර
* රකුන් සැර අක්‍ෂරය
* සිද්ධි සැර අක්‍ෂරය
* භද්‍ර පද අක්‍ෂර

මෙම භද්‍ර පද අක්‍ෂර යටතේ විශේෂිත වාක්‍යයක් මෙසේ දක්වා තිබෙනවා.
භද්‍ර පද අක්‍ෂර හා බැඳුණු අනෙකුත් ග්‍රහ ශක්තීන්.
මෙම භද්‍ර පද අක්‍ෂරවලින් පෙන්වා දෙනු ලබන්නේ හිරු, සඳු දෙදෙනාගේ කිරණ ශක්තීන් පොළොවට ආකර්ෂණය වන ආකාරයයි. හිරුගෙන් නිකුත්වන කිරණ ශක්තීන් චන්ද්‍රයා නිසා කිසියම් වෙනසකට ලක්වී කිරණ දෙකක් වශයෙන් සකස්වන බව හෙළ ඍෂිවරු පෙන්වා දෙනවා. එම කිරණ ශක්තීන් මුගලස්ස, ළා නිල් පැහැයක් ගන්නා අතර දෙවැන්න ධාලිස්ස කිරණය, කෙසරුවන් (සිංහයකුගේ ලොම්) පැහැය ගන්නවා. මුගලස්ස කිරණය නිසා ජලය ගහකොළ පවතින අතර ධාලිස්ස කිරණය ජීවීන් සඳහා බලපානවා. මුගලස්ස කිරණය චන්ද්‍රයාගේ බලපෑම නිසා නිල් පැහැය ගන්නා අතර එය ජලය ගහකොළ සංකේතවත් කරනවා. ධාලිස්ස කිරණ සූර්යයාගේ බලපෑම නිසා කෙසරුවන් පැහැය ගන්නා අතර මෙයින් ජීවීන් සංකේතවත් කරනවා.

මෙම කිරණ ශක්තීන් දෙක ප්‍රධානව ගහකොළ ඇතුළු ජීවීන්ගේ පැවැත්ම සඳහා තවත් ග්‍රහ වස්තූන්ගෙන් බලපෑමක් තිබිය යුතු බව හෙළ ඍෂිවරුන්ගේ මතයයි. මේ අනුව ජීවලෝකයේ පැවැත්ම සඳහා ග්‍රහ මණ්ඩල සතරක් පවතී. එක ග්‍රහ මණ්ඩලයකට හිරු සඳු ඇතුළුව ග්‍රහයන් සතර දෙනකු සිටිනවා. මේ සියල්ල පෙන්නුම් කරනුයේ විජයගේ පැමිණීමට පෙර සිටම හෙළ දිවයින යක්‍ෂ ගෝත්‍රික පිරිසක් රජ කළ බවත්, ඔවුන් ඉතා උසස් මනසක් සහිත දියුණු ගෝත්‍රික ජාතියක්ව සිටී බවත්ය. මෙම කරුණු සාක්ෂාත් කරන වරිග පූර්ණිකාව වූකලී එම ගෝත්‍රිකයන් විසින්ම ලියනු ලැබූ යක්‍ෂ ගෝත්‍රික භාෂාවේ පත්ඉරු එකතු කර ලියූ පුස්කොළ පුස්තකයක්. එහෙයින් මෙහි තොරතුරු රාමායණය හා මහාවංසය ඉක්මවා යමින් පවතිනවා. මේ සම්බන්ධයෙන් ඉතා මනරම් උදාහරණ රැසක් දක්වාලීමට පුළුවන්. විශේෂයෙන්ම ආදී හෙළයාගේත්, මෑතකාලීන සිංහලයාගේත් කාන්තාවන් සම්බන්ධව පවත්නා චාරිත්‍ර වාරිත්‍ර සහ ගරුකිරීමේ නීති මාලාවන් අනුව විජය කුමරුගේ දූෂිත ලේ කවලම් වී උපන්නා යැයි කියන ආර්යයන්ගේ නොසණ්ඩාලගති පැවැතුම් ගැන අද අප සමාජය පැහැදිලිවම දන්නවා. එහෙත් එදා නොදියුණු ගෝත්‍රික ගල් යුගයක උපන්නා දැයි සමච්චල් කරන වත්මන් සිංහලයාගේ (විජයගේ දූෂිත ලේ කවලම් නොවූ) නොහොත් ආදි හෙළ යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ කාන්තාවන්ට ගරු කිරීමේ නීතිරීති මාලාවක් සහ කාන්තා ගරුත්වය ගැන වරිග පූර්ණිකාවේ සඳහන් මෙම කොටස බොහෝ ගැඹුරු කාරණා ගෙනහැර දක්වනවා. මේ ඒ අතරින් එක් උදාහරණයක් පමණයි.

බලන්න. යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ විවාහ චාරිත්‍ර යටතේ අනු කාරණා කිහිපයක් මෙසේ දක්වා තිබෙනවා.

01. ලිංගාභරණ පැලැඳීමේ චාරිත්‍ර විධි
02. උදාචක්‍ර ගිවිසුම් ආභරණ චාරිත්‍රය
03. උදාචක්‍ර මාලාභරණයෙන් පිළිබිඹු වන ආත්මික සංවර ගුණාංග
04. චතුර්භ්‍යානාභරණ පාරමිතා චාරිත්‍රය
05. මනාලියන්ට ඔටුනු පැලඳවීමේ චාරිත්‍රය
06. කන්‍යා හවඩිය පැලඳවීමේ චාරිත්‍රය
07. සත්පොට මාලය
08. යසස්ථ මංගල පෝරුව
09. බඹසර යහන
10. අනඟ යහන
11. ධවන වන්දන පිරිත් පැන් අතලය.

මේවා පිළිබඳවත්, යක්‍ෂ ගෝත්‍රික රාවණා රජු පරම්පරාවේ එළියට නොආ බොහෝ තොරතුරුත් ඉදිරි ලිපිවල ඉතා ගැඹුරින් සාකච්ඡා කිරීමට, හෙළිදරව් කිරීමට අපට හැකියාව එළැඹ තිබෙනවා. මෙම ලිපියෙන් අප පෙන්වා දීමට උත්සාහ කළේ රාවණාගෙන් පසු රාජ පරම්පරාව දිගටම රජකම් කළ බවය. ඇතැමුන් වපුරන මුසාවාද මතවාද අනුව රාවණා රජුගෙන් පසු එම පරම්පරාව වැළලී ගියේ නැත. එසේම රාවණා පරම්පරාව ශතවර්ෂ බොහෝ ගණනක් ගතවීත් වර්තමානය දක්වාම පැවැත එමින් තිබේ.

රාවණා පරම්පරාව ගැන කියැවෙන වරිගයා විසින් රචනා කරනු ලැබූ වරිග පූර්ණිකාවට අනුව රාවණා රජ පෙළපත අවසන් වී රාවණාගේ සොයුරු විභීෂණගේ රජ පෙළපතක් එක දිගට පැවැතී නැත. 

උපුටා ගැනීම - http://mawbima.lk/55-15641-news-detail.html


Wednesday, November 27, 2013

මව්බිම හෙළි කල රාවණාගේ උමඟ සාදින්නගල කන්දෙන් මතුවෙයි

0

මව්බිම හෙළි කල රාවණාගේ උමඟ සාදින්නගල කන්දෙන් මතුවෙයි

උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය යටතේ ඇල්ල වැල්ලවාය මාර්ගයේ සාදින්නාගල කන්ද හරහා කැණීම් කටයුතු සිදුකරද්දි රාවණා රජුසමයේදී භාවිත කරනු ලැබූ ඉපැරැණි උමං මාර්ගයක් මතුවී ඇත. රාවණා ඇල්ල හරහා වැටී ඇතැයි සැලකෙන මේ උමං මාර්ගය ඇල්ල - වැල්ලවාය සිට බණ්ඩාරවෙල දෝව පන්සල දක්වා විහිද ඇතැයි අනුමාන කෙරේ.

උමඟ මතුවීමත් සමඟ එම ප්‍රදේශය කිසිවකුට ළඟා විය නොහැකි පරිදි සම්පූර්ණයෙන් මාධ්‍යයට තහනම් කලාපයක් බවට පත් කිරීමට උමා ඔය ව්‍යාපෘතියේ බලධාරීන් කටයුතු කොට ඇත.
හදිසියේ මතුවූ මෙම ඉපැරැණි උමං මාර්ගය පිළිබඳ වහාම දේශපාලනයෙන් තොර අපක්ෂපාතී විධිමත් පුරාවිද්‍යා පරීක්ෂණයක් සිදු කළ යුතු බව විවිධ සංවිධාන 23ක් ඒකාබද්ධව රජයෙන් ඉල්ලා ඇත. තවද එම ස්ථානයේ ඇති පුරාවස්තු ආරක්ෂා කර ගැනීමට නොපමාවම පියවර ගන්නා ලෙසත් ප්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳ තොරතුරු රාශියක් හෙළිවීමට ඉඩ ඇති මේ සුවිශේෂි ස්ථානය සියලුම මාධ්‍ය සඳහා නිරාවරණය කරන ලෙසත් එම සංවිධාන රජයෙන් ඉල්ලා ඇත.
උමා ඔය මොරගහකන්ද වැනි සංවර්ධන යෝජනා ක්‍රම ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ ජලය ලබාදී එම පළාත්වල කෘෂිකර්මාන්තය නංවා ජන ජීවිතය සුඛිත මුදිත කරවීමටය. බත බුලතින් රට සංවර්ධනය කිරීමට ඉන් ඉමහත් පිටිවහලක් ලැබෙනු ඇත. විශාල පිරිවැයක් දරා එකී යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන ඇත්තේ ද ඒ නිසාය.

සියලු ජනතාවටත්, රටටත් වැඩදායක මෙවන් වූ යෝජනා ක්‍රම නිසා අයහපතක් සිදුවෙතැයි කිසිවකු කිසිසේත්ම නොසිතනු ඇත. එනමුදු මෙවැනි යෝජනා ක්‍රම සම්බන්ධව නැවත වරක් සිතා බලන්නට පොලඹවන පසුබිමක් දැන් උදා වී ඇත.
උමා ඔය මොරගහකන්ද වැනි යෝජනා ක්‍රම බැලූ බැල්මට සුබදායක සංවර්ධනය ක්‍රියාවලියක් ලෙස පෙනුණත් අනාගතයේදී කන්ද උඩරට බොහෝ ගම් නියම් ගම් අනාරක්ෂිත තත්ත්වයකට මුහුණ පෑම නොවැළැක්විය හැකිය.

මේ බව අනාවරණය කරන්නේ ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකරයන් ය. උමා ඔය යෝජනා ක්‍රමයේ කැණීම් කටයුතු කරද්දී ඉපැරැණි උමඟක් මතු වීම සම්බන්ධයෙන් ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකරයන් සමඟ කළ විශේෂ සාකච්ඡාවකදී හෙළිදරව් වූ කරුණු පාදක කර ගෙන මෙම විශේෂ ලිපිය සැකසී ඇත. මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල, දඹුල්ල - රත්තොට ආදී ප්‍රදේශවලද මහනුවර දිස්ත්‍රික්කයේ වත්තේගම සෙංකඩගල සහ දුම්බර බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ වැලිමඩ හා පස්සර කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිරියාල සහ ‍ෙදාඩම්ගස්ලන්ද ප්‍රදේශවලටද මෙම අනතුරු බලපානු ඇත.

උමා ඔය මොරගහතැන්න නව ජලාශයන්හි ජලය රාවණා යුගයේ උමං මාර්ගවලට සහ බිම් ගෙවල්වලට කාන්දු වීමට ඇති ඉඩකඩ වැඩි නිසා වත්මන් භූ විද්‍යාඥයන් එම ප්‍රාග් ඓතිහාසික උමං මාර්ග ගැන සැලකිල්ලක් දැක්විය යුතු බවත් එසේ නොවුණහොත් වඩාත් අනතුරුදායක තත්ත්වයක් නිර්මාණය විය හැකි බව ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර පෙන්වා දෙයි.

"ඍජු බැල්මට මෙම උමා ඔය යෝජනා ක්‍රමය, මොරගහකන්ද යෝජනා ක්‍රමය, ලාභදායී ලෙස පෙනෙන්න පුළුවන්. ඒත් වක්‍ර ලෙස එයින් ඇතිවන පාඩුව මධ්‍යම, උෟව සහ වයඹ පළාත්වලට සුවිශාලයි." ඒ ආචාර්ය ඔබේසේකරගේ අදහසය.

වත්මන් ජලාශ යෝජනා ක්‍රම ඉදිකිරීමේදී භූ විද්‍යාඥයන් ප්‍රාග් ඓතිහාසික උමං මාර්ග ගැන සැලකිල්ලක් දැක්විය යුතු බවත් එසේ නොවුණහොත් අනතුරුදායක තත්ත්වයක් නිර්මාණය විය හැකි බවත් 'රාවණ වත' ලිපි පෙළ යටතේ 2012 අප්‍රේල් 15 වැනි ඉරිදා මව්බිම සැණකෙළියට ලියූ ලිපියකින් ද අනාවරණය කර තිබිණි.
උෟවේ සිට බණ්ඩාරවෙලටත්, බණ්ඩාරවෙල සිට ලෝකාන්තයටත් එහි සිට බලංගොඩටත් ප්‍රාග් ඓතිහාසික යුගයේ දියුණු උමං මාර්ග පද්ධති තිබූ බව රාවණ කතා පුස්කොළ ග්‍රන්ථය දක්වා ඇත. එකල විශේෂ ආරක්ෂක මාර්ග පද්ධතියක් ලෙස උමං මාර්ග නිර්මාණය වී තිබූ බව එම පුස්කොළ ග්‍රන්ථය සඳහන් කරයි.


උෟව පළාතේ හපුතලේ, බදුල්ල, ඇල්ල, බණ්ඩාරවෙල, වැලිමඩ, උෟව පරණගම, පස්සර, සොරණාතොට, වියලුව සහ මහියංගණය දක්වා ගම් නියම්ගම් රැසක රාවණ ඉතිහාසයට අයත් නටබුන් අද දක්වා සුරක්ෂිතව තිබීමෙන් රාවණ ඉතිහාසයට ලැබෙන්නේ ඉමහත් ආලෝකයකි. උෟව පළාතේ සෑම කන්දකටම තවත් කන්දක සිට ගමන් කළ හැකි උමං මාර්ග පද්ධතියක් එදා නිර්මාණය වී තිබිණ.

ඇල්ල- වැල්ලවාය පාරේ පිහිටි රාවණ ගුහාවද දුටුවන් සිත් ආකර්ෂණය කරන මනරම් ස්ථානයකි. ඇල්ල පුරාණ විහාරය සමීපයේ කඳු ගැටයක තිබෙන රාවණ ගුහාව මිනිසුන් සියයකට එක්වර රැස්විය හැකි විශාල ගල්ගුහාවකි. මෙහි එක් කෙළවරක ගුහාවට අයත් උමං මාර්ගය වෙයි. මිනිසකුට දෙකට නැමී එම උමං මාර්ගය තුළට යා හැකි වුවත් සැලකිය යුතු දුර ප්‍රමාණයක් ගමන් කළ විට ඕනෑම උස මිනිසකුට ඉතා පහසුවෙන් ගමන් කළ හැකි මහ උමඟ හමුවන බවත්, ඒ උමං මඟ තුළින් මහා ගුහාවට හා නමුණුකුල මහ උමං මාර්ගයට ගමන් කළ හැකි බවත් තමා තම වැඩිහිටියන්ගෙන් අසා ඇති බව බිම්තැන්නේ ආදී වාසියකු වන 'රාවණගේ කන්ද' නමැත්තකු 1960-05-27 වැනි දින තමන්ට පැවැසූ බව ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර සඳහන් කරයි.

මෙම උමං මාර්ගයේ එක් ‍ෙදාරටුවක් බලංගොඩ පාතාලගිර කන්දේ ඇති බව ඔහු පවසා ඇත. පාතාලගිරට ගමන් කිරීම ඉතා දුෂ්කර කාර්යයකි. එදා පාතාලගිර ලෙස හඳුන්වා තිබෙන්නේ බලංගොඩ ව්ර්ණීව්ර්ථීඡ්අධ්ඹ් වත්තට අයත් භූමි ප්‍රදේශයයි. වසර 1956 දී ආදම් ජී ලුක්මන් ජී සමාගමට අයත් වූ මෙම තේ වත්ත කොළඹ සිට සැතැපුම් 85ක දුරින් පිහිටා තිබිණ. රජයේ ඉඩම් වාර්තාවනට අනුව මුහුදු මට්ටමෙන් අඩි 1,800ත් -5,000ත් අතර උස ප්‍රමාණයක පිහිටා ඇත.
හපුතලේ ඔහිය ප්‍රදේශයේ පිහිටි ලෝකාන්තය මධ්‍යයයේ පොළොව යට ඇතැයි කියන උමං මාලිගාවට ගමන් කිරීමට උපයෝගී කර ගෙන තිබෙන්නේ මෙම මාර්ගයයි. මෙම උමං මාර්ග සංකීර්ණයේ තවත් මාර්ගයක් නුවරඑළියේ මහතුඩුගල භූගත මාලිගාවට ඇති අතර එහි සිට කිකිළියාමාන කන්දටද මාර්ගයක් ඇති බව රාවණා කතා පුස්කොළ ග්‍රන්ථය කියයි.

රාවණා රජු වන්දනා කළ උමං දෙවොල තිබෙන්නේ ද ස්ත්‍රීපුර කන්දේ එක් පෙදෙසක පොළොව යටය. ස්ත්‍රීපුර කන්දේ අප්‍රසිද්ධ ජීවිතයක් ගත කළ කොළඹ තිඹිරිගස්යායේ විජේසූරියගේ ‍ෙදාන් චාල්ස් මහතා 1960 මාර්තු 21 වැනි දා තමාට හමුවූ බව ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මා සමඟ පැවැසීය. තමා ස්ත්‍රීපුර කන්දේ උමං මාර්ගයේ ගමන් කළ බවත් එම උමං මඟේ තුන්මංසලක් හමුවෙන බවත් ඒ සැණින් එහාට ගමන් කළොත් මංමුළා වීමට ඉඩ ඇති නිසා තමා නොකළ බවත් චාල්ස් මහතා ආචාර්ය ඔබේසේකරට පවසා ඇත.

ස්ත්‍රීපුර කන්දේ එක් පෙදෙසක පිහිටි උමා දෙවොලේ අඩි 14ක් උසැති උමං දෙවඟනගේ රන් පිළිමයක් ඇති බවත් එම පිළිමයට රාවණ රජු පුද පූජා පැවැත්වූ බවත් පැරැණි පුස්කොළ ග්‍රන්ථයක සඳහන් වී ඇත.
මෙම ස්ත්‍රීපුර කන්දේ උමං පද්ධතියේ සිට බණ්ඩාරවෙල නමුණුකුල කන්දටත් එහි සිට ඔහිය ලෝකාන්තයේ බිම් මාලිගයටත් එහි සිට බලංගොඩටත් උමං මාර්ගය ඇති බව රාවණ කතා පුස්කොළ ග්‍රන්ථයේ සඳහන් වේ. ලෝකාන්තයේ රාවණාගේ භූගත මාලිගයට බලංගොඩින් ඇතුළුවන උමං දොරටුව වසා ඇත.
මාතලේ දිස්ත්‍රික්කයේ සීගිරියද උමං මාර්ග මධ්‍යස්ථානයක් ලෙස ‘රාවණ කතා’ ග්‍රන්ථය හඳුන්වයි. හුළංගමුවේ ඇඹිල්ල විහාරකන්දේ සිට සීගිරිය දක්වා තිබෙන උමං මාර්ගයද දැනට ගරා ැවටී ඇති ප්‍රධාන උමං මඟකි. මෙම උමං මඟ හුළංගමුවේ එක් පැරැණි වලව්වක ඉඩමෙන් මතුවූ අතර එම ඉඩමේ අයිතිකරුවන් විසින් එය වසා දමන ලදැයි ආචාර්ය ඔබේසේකර පවසයි.

විශ්‍රවස්මුනි, කුවේර සහ රාවණ ආදී රජවරුන් කලින් කල ජීවත්වූ සීගිරිය රාවණ යුගයේ මුළු මහත් ලක්දිවම පාලන මධ්‍යස්ථානය විය. මෙම උමං පද්ධතියේ කේන්ද්‍රස්ථානය සීගිරිය වූයේ එබැවිනි. මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ සිට උෟව- වෙල්ලස්ස හරහා කතරගම වැඩහිටි කන්දටත්, හිනිදුම දෙනියාය ප්‍රදේශයේ කඳුවලටත් යා කර තිබුණු ඇතැම් මාර්ග නාග ගෝත්‍රිකයන් විසින්ද නඩත්තු කරනු ලැබූ බව රාවණ කතා මූලාශ්‍ර දක්වයි.

ඔෟෂධ බලයෙන් කළුගල් උණු කිරීමේ තාක්ෂණය අෑත අතීතයේ යක්ෂ ගෝත්‍රිකයන් සතු ඒකාධිකාරයක් විය. කළු ගලක් පාන් ගෙඩියක් මෙන් මෘදු මොළොක් බවට පත්කරවන බෙහෙත් වර්ග රාවණ යුගයේ යක්ෂ ගෝත්‍රිකයන්ට තිබිණි. විශාල ගල් කඳුවල කුහර සාදමින් දර්ශනීය, මටසිලිටු ලෙස උමං මාර්ග කැණීමට එදා යක්ෂ ගෝත්‍රිකයෝ සමත් වූහ.

ඉතා කෙටි මාර්ගවලින් මුළු මහත් ශ්‍රී  ලංකාවේම ගමන් කිරීමට හා සතුරු කරදරවලදී ආරක්ෂා වීමටත් සුවිශේෂ උමං මං පද්ධතියක් එදා භාවිත කර තිබිණ. මෙම උමං මාර්ග පද්ධතිය කොතරම් සූක්ෂ්ම ලෙස ගොඩ නඟා ඇද්ද යන්න වත්මන් භූ විද්‍යාඥයන්ගේ අවධානයට ලක්නොවීම ජාතියේ අවාසනාවක් ලෙස සිතිය හැකිය. (‘රාවණ වත’ සැණකෙළිය 2012-04-15 වැනිදා ඉරිදා ‘මව්බිම’)
නිසි භූ විද්‍යා පරීක්ෂණයකින් තොරව නව ජලාශ යෝජනා ඉදිකිරීම සම්බන්ධයෙන් මතුවිය හැකි අවදානම ‘මව්බිම’ රාවණ වත ලිපියේ කරුණු දක්වා තිබුණේ ඒ අන්දමටය.

නන්දන තෙන්නකෝන්

උපුටා ගැනීම
- http://www.mawbima.lk/55-7442-news-detail.html



ඊජිප්තු පිරමීඩවල තියෙන සංකේත ලංකාවේ රන්මසු උයනේ තියෙනවා

0

ඊජිප්තු පිරමීඩවල තියෙන සංකේත ලංකාවේ රන්මසු උයනේ තියෙනවා

නිල් අහස නිල පුරවගෙන බලා ඉන්නේ වහින්නට නොවේ. අනුරපුර ශ්‍රී විභූතිය දකින්නට නිල් ඇසින් බලා හිඳින අහස බිඳකටවත් අඳුරු නෙත් දරා මේ අග්‍රගණ්‍ය පූජනීය නගරයෙන් දෑස් ඉවතට ගැනීමට අකැමැති සෙයකි.

අපිට ඇවැසි වූවේ කවදාවත් ලියා හෝ බලා අවසන් කළ නොහෙන අතීත අභිමානයේ ජයඝෝෂාව යළිත් සවන්පත් අසලට ඇදගැනීම පමණි. මීට වසර හැට හැත්තෑවකට එපිටදී මේ ගල් කුලුනු සමඟ ඔට්ටු වූ ඉසිඹුලන ජීවිතය ඊට කදිම සෙවණක් විය. අප ඔහුව සොයා ආවේ එහෙයිනි.

නමින් ආර්. බී. එදිරිසිංහ නම් වූ ඔහුට අපි එන්නට කීවේ ජේතවනාරාම කෞතුකාගාරය අසලටය. කියූ වේලාවට පෙර ඔහු පැමිණ සිටියේය.

නටබුන් ගොඩනැඟිල්ලක ඉහළ පියගැටයක හිඳගත් එදිරිසිංහ මහතා මටද ඉඳගන්නට යැයි කීවේය. තැනින් තැන පෙනෙනා ගල් කුලුනු කැටයම් සේම අපට පසුපසින් දිස්වෙන ජේතවනාරාමය දුටු මහිතට දැනුණේ දරාගත නොහැකි පමණේ ගර්වයකි. ඔහු කියන්නේ සුරංගනා කතාවක් නොවේ. ඒත් එය එපමණටම මිහිරිය. අසන්නට ලොල් වඩවන්නකි. මේ ලියන්නේ ඒ කතාවයි. ඔහු කියූ අතීත සෙවණැල්ලේ දිස්නයයි.

අවුරුදු එක්දාස් පන්සියයක් එකම තැනක කිසිම රටක රාජධානියක් තිබිල නෑ. ක්‍රිස්තු පූර්ව 7-5 සිට ක්‍රිස්තු වර්ෂ 10 දක්වා රෝම අධිරාජ්‍යයත් අවුරුදු එක්දාස් එකසීයයි. අනුරාධපුර රාජධානිය තමයි මේ තරං කාලයක් පැවැතුණ රාජ්‍යය.

මහසෙන් රජතුමා ජේතවන දාගැබ ඉදිකරන කොට රෝම අධිරාජ්‍යය බිඳ වැටිලා ඉවරයි. දහවැනි සියවසෙන් පස්සේ ඇතිවෙන පොළොන්නරු රාජධානිය තියෙන්නෙත් අවුරුදු දෙසිය පනහක් විතරයි.

ක්‍රිස්තු පූර්ව තුනේදී බුදුදහම ආවට පස්සේ සමාජේ විශාල පෙරළියක්, දීප්තියක් ඇති වෙනවා. ඒ එක්කම විශාල සංඝාරාම තුනක් ඇති වෙනවා. විශාල පිරිසක් භික්‍ෂූන් බවට පත් වෙනවා. ඒ එක්කම මහා විහාරය පළමුවෙන්ම ඉදිවෙනවා. ඒ ක්‍රිස්තු පූර්ව 3 සහ 2 අතර කාලයෙදී දෙවැනි එක වළගම්බා රජු දවස ඉදිවුණු අභයගිරිය. ඒක ක්‍රිස්තු පූර්ව එකේදී. තුන්වැනි එක ජේතවනාරාමය. ක්‍රිස්තු වර්ෂ හතරෙදි. අක්කර පන්සියයක භූමිභාගයක මේ ජේතවනාරාමයට දහස් ගාණක් ගොඩනැඟිලි තියෙනවා.
මේ ජේතවනාරාමය තමයි ලෝකෙ විශාලම ගඩොල් ගොඩනැඟිල්ල. විශාලම දාගැබ. පුරාණ ලෝකයේ උසින් තුන්වන තැන හිමිවෙන ගොඩනැඟිල්ල. පළමු තැන ඊජිප්තුවේ පිරමීඩයකට. ඒක අඩි හාරසීය අනූවයි. දෙකත් පිරමීඩයක්. හාරසිය හැත්තෑවයි. මේ ජේතවනය තුන්වන තැන ගන්නවා.


උස අඩි හාරසිය හැටයි. මීටර් නම් එකසිය පනහයි. මේකේ අත්තිවාරම් මීටර් දහයක් යට ඉඳල එන්නේ. පතුලෙ ඉඳන් උඩට යනකම් ගඩොල් තියෙන්නේ. මැද ධාතු ගර්භයට පොදු කුටීරයක් තියෙනවා. සර් එමසන් ටෙනන් කියන ඉංග්‍රීසි ජාතිකයා ගණනය කරල තියෙනවා. එයා කියනවා ලන්ඩන් නුවර ඉඳලා එඩින්බරෝවලට අඩි දහයක් උස අඩියක් පළල තාප්පයක් බඳින්න පුළුවන් මේ ගඩොල්වලින් කියල. ලංකාවේදී බැලුවොත් දෙවුන්දර තුඩුවෙ ඉඳල පේදුරුතුඩුව දක්වා අඩි දහයක් උස අඩියක් පළල තාප්පයක් හදන්න පුළුවන් කියල.

දහවැනි සියවසෙන් පස්සේ මේ සියල්ල විනාශවෙලා පස්වලින් වැහිලා යනවා. මහසෙන් රජතුමාගේ රාජ්‍ය කාලය අවුරුදු විසිහතරයි. ඒත් මේ ස්තූපය හදන්න කොච්චර කල් ගියාද දන්නේ නෑ. මේක ඔක්කොම කළේ මිනිස් බලයෙන්. මහා වැව් දාසයක් බැඳලා, ඇළවල් එකොළහක් හැදුවා. මේ ගඩොල් මිලියන අනූතුනක් තියෙනව කියල සර් එමර්සන් කියනවා. අවුරුදු එක්දාස් හත්සීයකට කලින් මේවා කොහේදි කැපුවද කොහේදි පිලිස්සුවද කියල, මිලියන ගාණක් ගල් කුලුනු, ගල් කුට්ටි තියෙන අනුරාධපුරේ ඒවා කැපූ තැනක්, කැපූ විදියක්, ගෙනා විදියක් කවුරුවත් දන්නේ නෑ. අඩුම තරමේ මේ ගල් කැපූ කොටු ගල් කොරි හඳුනාගන්න නෑ. අතීතයෙ දහවැනි සියවසෙන් පස්සේ මේක අත්හැරපු පාළු නගරයක් වෙනවා. චෝලයෝ මේක විනාශ කරනවා. ආයෙ මිනිස්සු මෙහෙට එන්නෙ දහඅටවන සියවසෙන් පස්සෙ. ඉංග්‍රීසින්ගෙ කාලෙ තමයි ආපහු අනුරාධපුරය ජනාවාස වුණේ.

මේ අනුරාධපුර නගරය ගැන හිතුවොත්, අභයගිරිය, රුවන්වැලිය, නඛාවෙහෙර, ලංකාරාමය, ථූපාරාමය, ශ්‍රී මහා බෝධිය, ජේතවනාරාමය ආදී තැන්වලට තමයි ඉස්සර මිනිස්සු වටවන්දනාවේ යන්නේ. තිසාවැවෙන් නාලා ශ්‍රී මහාබෝධියෙන් පටන් අරන් වටේම වැඳගන්නවා.
එදිරිසිංහයන් විටෙක තම අදහස් ප්‍රකාශ කරන්නේ සැලැසුම්ද අඳිමිනි. ඔහු හොඳ ඉතිහාස ගුරුවරයකු සේය. කියන අපූරු කතා ඔහුගේ දශක ගණනක ජීවිත කාලයෙන් එකතු කොටගත් දැනුම් පරාසය සමඟ ඉතිරී පැතිරී ඇත. ඔහු කියන කතා ඇසෙන විට හිතට දැනෙන්නේ මේ ගල්කණු ලියවැල් ත්‍රිමානව දෑස් ඉදිරිපිට කතා කරන සෙයකි.

මහා විහාරය ක්‍රිස්තු වර්ෂ තුනේදී ඇතිවුණේ. අභයගිරිය ක්‍රිස්තුවර්ෂ එකේදි. මහා විහාරය අක්කර හාරසීයයි. අභයගිරිය අක්කර හයසීයයි. රාජධානිය තිබුණු ඇතුළු නුවර අක්කර දෙසීයයි. විශාලම ස්ථානය මේ අභයගිරිය.

හතරවැනි සියවසේ මේ රටට ආපු පාහියන් හාමුදුරුවො කියනව අභයගිරියේ භික්‍ෂුන් පන්දාහක් හිටියයි කියල. ජේතවනාරාමේ භික්‍ෂුන් තුන්දහස් පන්සියක් හිටිය කියල. මහාවිහාරේ තුන්දාහක් හිටිය කියල. භික්සූන් වහන්සේලා එකොළොස්දාස් පන්සීයක් අනුරාධපුරේ ඉඳල තියෙනවා. දහවැනි සියවස දක්වාම දිගටම ඉඳල තියෙනව. මේ තරං භික්‍ෂුන් වහන්සේ ප්‍රමාණයක් සිවුපසයෙන් පෝෂණය කරන්න කොච්චර ජනගහනයක් ඕනෑද? පළමු සියවසේ චන්ද්‍රමුඛසීව තෑගි භෝග සමඟ නියෝජිතයන් රෝමයට යවනව. ඒ කාලේ හිටපු ප්ලිනි කියන පඩිවරයා කියල තියෙනවා, අනුරාධපුරය කියන්නේ සිංහල දේශයේ අගනුවර කියල. ඒ කාලෙ අනුරාධපුරේ මිලියන දෙකක ජනගහනයක් හිටිය කියල. රෝමයේ රජ කළේ ඒ කාලේ ක්ලෝඩියස් රජු.

ඒ තරං සෙනඟක් නැතිව මේ වැඩ කරන්න බෑ. ඒ කාලේ හැම මිනිහෙක්ම සතියට එක දවසක් රජයට වැඩ කරන්න ඕන. තමන්ගේ අස්වැන්නෙන් සියයට විස්සක් රජයට දෙන්න ඕන. නියං කාලවලදී එය විස්සෙන් එකක් දක්වා අඩුවෙලා තියෙනවා.
සෙල්ලිපිවල 'කැති අඬහැර' ලෙස දක්වනවා. සමහර ගංවතුර නියඟවලදී වගා පාළු වුණාම බදු අරන් නෑ.

මේ අනුරාධපුරේ කෘෂිකාර්මික වටරවුමක් ඇතිවෙනවා. තිසා වැව, අභය වැව, බුලන්කුලම, පෙරිමියන්කුලම, තන්නායන්කුලම, නුවර වැව යන වැව් ආශ්‍රිතව මේ වටරවුම් ඇති වෙනවා. මෙහෙම කාලය ගෙවෙද්දි මේ ජනගහන තත්ත්වයන් වැඩිවීමත් එක්ක මේවයේ භික්‍ෂුන් කැලේට යනවා. ඒ යන ගමන භාවනා කරන්න හිත එක්තැන් කරන්න හිතන් යන්නෙ. රජවරු මේ භික්‍ෂුන් වෙනුවෙන් ගොඩනැඟිලි හදනවා. මේ ටික පාංශුකූලික භික්‍ෂුන්ගේ වටරවුම වෙනවා. ඊට පස්සේ වනවාසී වුණු භික්‍ෂුන් නඩත්තු කරන්න නුවර වැසියනුත් කුඩා වැව් හදන් ඒ කිට්ටුව පදිංචි වෙනවා. සැතැපුම් හතර බැගින් හතර කොනටම මේ හැම නටබුමක්ම තියෙනවා. පශ්චිමාරාම, තොලුවිල, බටහිරාරාම ආදී ගොඩනැඟිලිත් මේවට අයිතියි. මේවා තවත් මතු කරගන්න බැරිවුණා. තාමත් අනුරාධපුරය වැළලුණු උරුමයක්.


උපුටා ගැනීම -  http://www.mawbima.lk/55-6779-news-detail.html





Tuesday, November 26, 2013

හෙළවංශය නමවන වැඩසටහන

0


හෙළවංශය නමවන වැඩසටහන






දෙරණ නාලිකාවෙන් ප්‍රචාරය කරනු ලබන හෙළ වංශය වැඩසටනේ නමවන වැඩසටහන

"Helawanshaya" "හෙළවංශය"
ඔබෙන් වසන්ව ගිය එසේත් නැත්නම් ඔබෙන් හිතා මතා වසන් කළ ඒ මහා හෙළ ශිෂ්ඨාචාරය, ඓතිහාසික කාරනය යලිත් මතු කරන්නට අපට අවසරයි.....







Monday, November 25, 2013

වස්ගමුව මහ කැලේ සැඟවුණු හිටි පිළිමයක් !

0

වස්ගමුව මහ කැලේ සැඟවුණු හිටි පිළිමයක් !

උදේ රැයින් ගියේ නැත්නම් හවස් වෙද්දි ආපහු එනවා බොරු. දැන්ම පිටත් වෙමු. රැවුලා අණ දුනි. අඹන් ගඟ තරණය කිරීම සඳහා ඇවැසි කඹය මිලදී ගැනීමට ගිය මා හට කඩ හිමියන් කීපදෙනකු කූද්දවා කඹ ඇත්දැයි විමසා සිටින්න සිදුවිණි. ප්‍රමාදය පිළිබඳව රැවුලා සිටියේ නොරිස්සුම් සහගතවය. "මරුම මනුස්සයව අල්ලගෙන තියෙන්නේ කැලේ අස්සක් මුල්ලක් නෑර පෙන්වයි." හරියට හනුමා වගේ රැවුලා පිළිබඳ සහතිකපත් නිකුත් කරමින් ත්‍රීවීල් 'මාතලී' පවසා සිටියේය. අඹන් ගඟ සැම විටදීම මත් වී ගලනා ගඟකි. ඒ නිසා සුන්දරත්වය පිළිබඳ අටුවා ටීකා ටිප්පනි නොගැළපේ යැයි සිතේ. ගඟක් මත් වී ගලන තැන කෙතරම් සුන්දරද?

සුන්දරත්වය ඇතුළාන්තයේ වූ ආරක්ෂාකාරී බව නිසා මත් වී ගඟ ගලනා ස්ථානය හරහා කඹයක් ඇද ගෙන තරණය කළ යුතු යැයි රැවුලා තීරණය කර තිබිණි. ගං ඉවුරු යා කිරීම සඳහා කඹය එගොඩට රැගෙන යෑම බාර ගත්තේද රැවුලාය. ගඟ දෙගොඩතළා ගිය දිනකට පසු දිනක් වූයේ නම් කඹයක් මඟින් ගඟ තරණය නොකළ යුතු බව සිහි තබා ගන්න යැයි කියූ රැවුලා ගඟ දිය අතරින් නොපෙනී ගොස් නා ගස් මුල් ගොන්නක් අසලින් මතු වුණේය. වස්ගොමුව සහ ජයසිරිපුර ඉම් යා කරන ලද කඹය උපයෝගී කරගත් අපි නඩය ජයසිරිපුරට සමු දුන්නෙමු. කඹයේ එල්ලී ගඟ තරණය අතුරේ යනවාට වඩා අසීරුය. අතුරේ යන විට ආධාරක දෙකකි. ගඟේ යන විට ඇත්තේ දෑත් මත ඇති කඹය පමණි. මහත - දෙහෙත පුද්ගලයකු වුවහොත් කඹය ආන්බාන් කිරීම අසීරු කටයුත්තකි. ඒ මදිවාට කැමරා ආම්පන්නවලට ජලය කාන්දු වීමට ඉඩදිය නොහැකිය. දෙකකුල් ගං පතුලේ වදින විට ලබා ගන්නා වාරුව නොමැති වූවා නම් ගඟ දිය ගැඹුරු කඩඉම පසු කිරීම අපහසු වීමට බොහෝ ඉඩ තිබිණි. එකෙක් පසු පස එකෙක් සේ ගඟ තරණය කරන අප දෙස එගොඩට වී රැවුලා බලා සිටියේ අනපේක්ෂිත කරදරයක් සිදුවුවහොත් මැදිහත් වීම සඳහාය විය යුතුය. කණ්ඩායමේ සියල්ලන් ගඟ තරණය කළේ අපහසුතා රැසක් පරදා යැයි කීම යුක්ති යුක්තය.

මෙතැන් සිට රජයන්නේ සොබා දහමේ නීතියයි. නීතිය මායිම් නොකර වස්ගමුවට පැමිණ සිටින අප සොබාදහමේ නීතියට අනුගත නොවී ක්‍රියා කරන්නේ නම් අනිටු පල විපාකවලටද මුහුණ දීමට හිත හදා ගත යුතු යැයි රැවුලා ඔහුගේ ගම්බද වහරින් පවසා සිටියේය. කුමාරකන්ද මාලිගයට යා හැකි පහසුම මාර්ගය මඩ ඇළට සමාන්තරව ඉහළට යෑම යැයි මා දැන සිටියද ඒ බවක් නොකියා සිටීමට වග බලාගත්තේ කණ්ඩායමේ සිටිය යුත්තේ එක් නායකයකු පමණක් වන නිසාය. එලෙස පැවැසීමට අවශ්‍යතාවක් නොවන බව පසක් කරමින් රැවුලා කටු පඳුරු සහිත යටි රෝපණයක් තිබූ මෙහි කැලෑ මණ්ඩියක් පසුකර මඩ ඇළ කරා කණ්ඩායම රැගෙන විත් තිබිණි. මඩ ඇළ ලෙස හැඳින්වුවද ඇළ සිනිඳු වැලි තලයක් පතුල කරගෙන ගලා යන්නකි. කැලයේ ඉහළ සීමාවට තද වැසි ඇදහැලී ඇති බව පෙන්වා දීමට සේ මඩ ඇළ නව මං උපද්දවාගෙන පහළට ගලා යෑමට යත්න දරයි.

ඒ කාලේ මේ ඇළට මඩ ඇළ කියල කියන්න අරගෙන තියෙන්නේ මාලිගාවේ උදවිය පාවිච්චි කරපු වතුර ගලාගෙන ආපු නිසා කියල තියෙනවා. අපිරිසුදුයි කියන්න 'මඩ' උපයෝගී කර ගත්තා වෙන්ඩ පුළුවන්. කොහොමත් ඒ කාලේ කුමාර කන්ද මාලිගාව අවට විශාල ජනාවාසයක් තිබිල තියෙනවා. ජනප්‍රවාදයේ කියැවෙන කතාවක් හැටියට කුමාර කන්ද මාලිගාව ආසන්නයේ තියෙනවාලු. හිටි පිළිමයක්. ඒ පිළිමේ නේත්‍ර ධාතු විහාරයේ සැතපෙන පිළිමේ දෙසට එල්ල වෙලා තියෙනවලු. මම අවුරුදු ගාණක් කැලේ තියෙන ඔය හිටි පිළිමෙ හෙව්ව. ඒත් හම්බවුණේ නැහැ. හැබැයි ඒ පිළිමේ පිහිටි කළු ගලක කෙටූ එකක් වෙන්න බෑ. මොකද කැලෑවේ ඉඳල සැතපෙන පිළිමේ තියෙන හරිය පේන සීමාවේ පිහිටි කළු ගල් නැහැ. වස්ගමුව තමයි ඒ කාලේ ජනාවාස තිබුණේ. අඹන් ගඟයි පරාක්‍රම සමුද්‍රයට වතුර අරගෙන යන ඇළයි අතර ඇළහැර ගොවි ගම්මාන හැදුවාට ඒ කාලේ ගඟේ වතුරත් එක්ක බලපුවාම ඒ හරිය තමයි ගඟයි ඇළයි අතර ගං දිය පිට දාන සීමාව. එතකොට ජනාවාස තිබිල තියෙන්නේ දැන් අපි ඉන්න හරියේ. ඒත් වස්ගමුව සීමාවේ දැන් අපි ඉන්න හරියේ ඉඳල තියෙන්නේ මුක්කරුවෝ. මුක්කරුවෝ කියන්නේ මැණික් ගරන්න පිටරට ඉඳල සංක්‍රමණය වුණ ජන කොටසක්." මඩ ඇළ දිගේ ඉහළට යෑමේදී එලෙස ඉතිහාසය හාරා ඇවිස්සුවේ රැවුලාය.

ඇළ දිගේ ඉහළට යෑම එක සීරුවට කළ නොහැක්කකි. ඇළ ප්‍රයෝජනයට ගත් අලි රංචු ඇළ දෙපස ඇති ගස්වල අතු කඩා දමා ඇත්තේ වනාන්තරය තුළ මාර්ග තැනීමේ ප්‍රයෝගකාරයන් තමන් යැයි ඒත්තු ගන්වා දීමට මෙනි. ඇළ හරස් කර විශාල ප්‍රමාණයේ අතු තිබූ නිසා කෙටි දුරකට පමණක් අපි දෙපතුල් සිනිඳු වැලි තලයෙන් පිටතට ගත්තෙමු.

"කුමාර කන්දට කිට්ටුයි. අපි එනවා දැනිල වන කුමාරයෝ ටික ඇවිත් ඉඳීද?" රැවුලා එලෙස වන කුමාරයන්ට උපමා කළේ වස්ගමුව ජාතික වනෝද්‍යානයේ වන ආරක්ෂක නිලධාරීන්වය. මාලිගා බිමට ආසන්නවත්ම විශාල නාගස් වැටි දෙකක් මැදින් සමාන්තරව යන ගමන් ලතාවකට අනුගත විය යුතුය. කඳ මහත නා ගස අතු රිකිලි දමන්නේ ඉර එළිය හොඳින් උරා ගැනීමට හැකියාව ඇති උසකින් නිසා ඉරඑළිය පොළොවට පතිත වීමක් සිදුවන්නේම නැත. මාලිගා භූමිය පිළිබඳ නා වැටිය සමඟ මැවෙන්නේ ආශ්‍රම ආකාරයේ මනෝ චිත්‍රයකි. ලංකාවේ භූ විසමතාව අනුව ප්‍රභූ නිවාස සහ නා ගස් අතර ඇත්තේ සම සබැඳියාවකි. මේ වනවිටත් ගරු ගාම්භීර ලෙස නැඟී සිටින වලව් සම්ප්‍රදායට අයත් සෑම ප්‍රභූ නිවාසයක් ආසන්නයේම නා වැටියක් වේ. පස්යාල, අත්තනගලු පාර අද්දර සිට නා ගස් එකසිය අසූ තුනක් පසුකර සබරගමු දිසාවේ පිහිටා ඇති නා වැටිය වලව්ව මසිතට නැඟිණි.


නා වැටිය කෝමළ වූයේ ගල් පාදමකිනි. පාදමක් ලෙස භෞතිකව දැක ගත හැකි වුවද එය මතුකර ගැනීම සඳහා මනස් චිත්‍රයක් මවා ගත යුතුවේ. මනස් චිත්‍රය කෙතරම් දුරකට නිවැරැදි වේ දැයි නොදන්නාමුත්, කුමාර කන්ද මාලිගාව ප්‍රවේශ මාර්ග ලෙස සකසන ලද ගල් පඩි පෙළ 3කින්ද විශාල ප්‍රමාණයේ ගැල් කරත්ත ගමන් කළ හැකි මාර්ගයකින්ද සමන්විත වී යැයි උපකල්පනය කළ හැකිය. මාර්ගය වනය විසින් ගිල ගනු ලැබුවද දෙපස ඇති කළුගල් ගල් පඩි මත වැවී ඇත්තේ කටු පඳුරු විශේෂයකි. මාලිගාව පහළින් දිය අගල් කීපයක් වේ. එම දිය අගල් දෙපස සිට බෑවුමේ වේගයට සමානව වතුර ඉහළට රැගෙන යෑමට සකස් කරනා ලදැයි සිතිය හැකි ගල් දිය වැලක් වේ.

(ඉතිරිය ලබන සතියේ)

ප්‍රභාත් අත්තනායක

උපුටා ගැනීම
- http://www.mawbima.lk/55-23988-news-detail.html



වස්ගමුව මහ කැලේ මැද යුදඟනා පිටියට ගිය ගමන

0

වස්ගමුව මහ කැලේ මැද යුදඟනා පිටියට ගිය ගමන

හිරු නැඟෙන්න පැයකට හමාරකට කලියෙන් අපි ලකලැහැස්ති වීමු. ජයසිරිපුරින් පිටත් වීම වේදනාබරය. ඒ මුත් අපි යා යුතු වෙමු. ඒ; බකමූණ, තලාගොල්ල හරහා හඳුන්ගමුවටය. හඳුන්ගමුව කරා යන මාර්ගය කලකදී පැවැතියේ ගිරි දුර්ගයක් ලෙසය. දඹුල්ලේ සිට මහියංගණය කරා ගොස් එතැනින් අම්පාර දක්වා දිවෙන අධිවේගී මාර්ග සැලැස්ම නිසා බකමූණ සිට හෙට්ටිපොළ දක්වා මඟ පිළිසකර වී ඇත. ජයසිරිපුර සිට බකමූණ කරා දිවෙන්නේ පටු තාර පාරකි. මැටල් ගල් ගැලවී ගිය තැනකදී වාහන දෙකකට එහා මෙහා වීමට දැඩි උත්සාහයක් ගත යුතු වේ.

රථයේ ප්‍රධාන ලාම්පුවල ආලෝක ධාරාව යෝධ ඇළේ දිය රැළි මත ගැටුණු විට මැවෙන්නේ අපූර්ව බවකි. ගඟ ගලන්නේ පහළ සිට ඉහළටය. කිලෝමීටරයකට අඟලක් වන සේ ඉස්සී උස් මුදුනක පිහිටා ඇති පරාක්‍රම සමුද්‍රය කරා ජලය රැගෙන යන ජය ගඟ හෙවත් යෝධ ඇළ හෙළ වාරි තාක්‍ෂණයේ උච්චම ස්ථානය ලකුණු කළ මාහැඟි සම්පතකි. ගංදෑල බඩවැටිවල සිටිනා හාවුන් සිය ගිනිකන වැටුණු දෑස් යොමන්නේද රථයේ ප්‍රධාන ලාම්පු කෙරෙහිය. වස්ගමුවත් දඹුලු කැලයත් සීමා මායිම් කර ගත් අඹන් ගඟ සහ යෝධ ඇළ අප සුවපහසු ලෙස නවාතැන් ගත් ඇළහැර ගොවි ජනපද ව්‍යාපාරය මැදි කරමින් ගලා යයි. ඒ අරුතින් ඇළහැර ගොවි ජනපදය දෙගම් මැදි රාජ්‍යයකි.

මීට දසක කීපයකට ඉහතදී වස්ගොමුවෙන් එන ගෝන රංචු මංකඩක් ලෙස 'ට්‍රැක් 13' ගොවි ගම්මානය භාවිත කර දඹුලු කැලයට සේන්දු වූ බව කලකට පෙර අප හැර ගිය ඇළහැර ලොකු පප්පා පැවැසූ මතකය ඇවිස්සුණේ අඩි කීපයක් උසැති සිවුපාවකු රථයේ ප්‍රධාන ලාම්පුවලට 'ඇහැ දෙන්න' ගත්තාට පසුවය. කිසි ලෙසකින් ගෝනෙක් මුවකු විය නොහැකි එම සතා 'රථයේ මාතලී' වූ පියරත්නට අනුව නාම්බ මීමින්නෙකි. රථය නැවැත්වූ අපි සතා දිවගිය මඟට කන් යොමු කළෙමු. ඔය අතරතුර සිය සගයන්ට අනතුරු ඇඟවීම සඳහා ගෝනකු නැඟූ නාදය කැලයේ අෑතින් ඇසිණි. හඳුනාගැනීමට නොහැකි වූ සිවුපාවා කැලයේ කුමන දිසාවකට ගමන් ගත්තේද යන වග ඉඳහිට වියළි ඉපලක් බිඳුණු හ¾ඩින් තේරුම් ගැනීමට හැකි විණි. සතා ගමන් කළේ ඇළ ඉවුර දිග ප්‍රධාන මාර්ගයට සමාන්තරවය. රථය පාර අද්දර නවතා දමා කුඩා මංපෙතකින් හැරී ඇළේ වතුර කුඹුරු යාය කරා රැගෙන යන කොන්ක්‍රීට් කානුවක් දිගේ අප කාල් ගෑවේ අරුණෝදය එළැඹෙමින් තිබියදීය.

අපි බකමූණට පැමිණ සිටියෙමු. බකමූණ ජනාකීර්ණ වන්නේ බදාදා දිනට පමණලු! එයට හේතුව කළු ගඟේදී සහ අඹන් ගඟේදී ගැරුම් වට්ටිවලට අහුවෙන මැණික් වෙන්දේසියේ විකිණෙන්නේ එදිනට පමණක් වීමය. මැණික් කුඩා මුදලකට මිලකර අවශ්‍ය කරන කළමනා රැගෙන යෑමට ගොවි පවුල්වල උදවිය බදාදා දින උදේ රැයින් බකමූණට පැමිණෙති. බකමූණ සිට හෙට්ටිපොළ - විල්ගමුව හරහා හඳුන්ගමුවට ගොස් වස්ගමු කැලයට නීත්‍යනුකූල ලෙස පිවිසිය හැකි වන්නේය. සිය දියණිය හඳුන්ගමුවට කරකාර බැඳ ඇති නිසා උදව්වක් පදව්වක් කිරීමට ඇහැක් වෙයි කියූ රණමුරේ හේරත් බණ්ඩා මාමාද අප වස්ගමුවට රැගෙන යෑම සඳහා විල්ගමුවට කල්වේලා ඇතිව පැමිණ සිටියේය. අවශ්‍ය දෑ විල්ගමුව සමුපකාරයෙන් මිලට ගෙන වස්ගමුව වන රක්‍ෂිත පෙදෙස පසුකර අවශ්‍ය අවසරපත් ලබා දැඩි සොබා රක්‍ෂිතයට ඇතුළු වුණෙමු. උදෑසන භාරකාර තැන කෙටි දෙසුමක් සිදුකළේය. එහි සංක්‍ෂිප්ත අදහස වූයේ වන රක්‍ෂිතය සහ හඳුන්ගමුව ගම්මානය අතර ඇති සහසම්බන්ධය ය. ගම්මු තම ඉඩකඩම් රක්‍ෂිතයට ලබා දුන්හ. රක්‍ෂිතය කළේ ගම්මුන්ගේ චර්යාවන් සීමා කිරීමය. ජීවනෝපාය අවහිර කිරීමය. ගම්මුන් සහ වන රක්‍ෂිතය යා දෙක නොරත රත සේ පවත්වාගෙන යා නොහැක. උගුල්, බඳින තුවක්කු අහවර කළ යුතුවේ. එම නිසා ගමේ තරුණයන් පරිසරවේදීන් බවට පත්කිරීමේ මානුෂීය මෙහෙයුමක අවසන් ප්‍රතිඵලය ඔවුන් රජයේ පඩි ලබන කැලෑ මහත්තුරුන් බවට පත් වීමලු! 


එය කදිම මෙන්ම පැසසිය යුතු කටයුත්තක් යැයි අප පැවැසුවේ මුළු හදින්මය. වනයේ ඉදිරියට යත් යත්ම හුදෙකලා බවත් සන්සුන් බවත් කෙමෙන් දැනෙන්ට විය. මිතුරාට මිතුරාත්, සතුරාට සතුරාත් කෙරෙහි ක්‍ෂණිකව ක්‍රියාත්මක වන ඇස් හා ඕනෑම මොහොතකම සූදානම් ගාත්‍රාත් හැරුණු විට සාවද්‍ය සිරිත්-විරිත් කැලය තුළ නැත්තේය. දෙසැතපුමක් පමණ අපි ගමන් කළෙමු. පෙර දින කුමාර කන්ද මාලිගයට අවසර නොමැතිව අප පැමිණි බව මඟ පෙන්වන්නාට හෙළි කළේ නගරයේදී වෛද්‍යවරයාට සහ නීතිඥයාට සේ කැලය තුළදී මඟ පෙන්වන්නාට මුසා පැවසීම අනුවණ ක්‍රියාවක් නිසාය. කුඩා වැවකින් පහළ පිහිටියා යැයි සිතිය හැකි පුරන් වී ගිය කුඹුරු යායකට අපි පිවිසුණෙමු. බොහෝ කාලයකට ඉහත සිටි මිනිසුන් කැලය ආක්‍රමණය කොට වැව තනා ඉන් පහළ වෙල් යායවල වී වගා කරන්නට ඇත. මිනිසුන්ට එරෙහිව සටන අත් නොහළ කැලය දැන් මිනිසා පලවා හැර දසක ගණනාවක් ගෙවී ගොසිනි. වෙල් යාය කැස්වටුවන්, කිරලුන් හා කොරවක්කන් උදෑසනට කට ගැස්මක් සොයා එන වගුරු බිමක් බවට පත්ව තිබේ. සම්පූර්ණයෙන් නොවැසෙන දිය කඩිති වැව් බැම්ම සමීපයේ වේ. මෙම කැලෑ පෙදෙස්හි පාළුවට ගිය කුඩා වැව් බොහෝ ගණනක් තැනින් තැන විසිරී තිබේ. දීර්ඝ කාලයකට පෙර මෙහි විසූ ජනතාව ප්‍රදේශය අතහැර යෑම පිළිබඳ කතාන්දරය ඒ වැව්වලින් කියැවේ.

"ඒ කාලේ වස්ගමුව දැඩි සොබා රක්‍ෂිතයට මේ මාතලේ කෑල්ල අෑදාගද්දී; ඒ කියන්නේ 1978න් පස්සේ මේ හරියේ තිබිල තියෙන්නේ හේන්, කුඹුරු. ඒ මිනිසුන්ට අනුරාධපුර, පොළොන්නරුව වගේ පැතිවල මහවැලි ඉඩම් දුන්නා. ගොඩින් අක්කරයයි, මඩින් අක්කර දෙකයි. ඒ මිනිස්සු මහවැලි ඉඩම්වලට යද්දී හරකා බාන අරගෙන ගියේ නෑ. ඒ අයගේ එළ හරක් රෑනයි, මීහරක් රෑනයි දැන් ලොකු හරක් පට්ටියක් වෙලා. කැලේ මේ හරියට වෙන්න කුළු මීහරක් රංචු ඉන්නේ ඒකයි. ඒ කුළු මීහරක් රංචු වස්ගමුවට විතරක් සීමා වුණු දෙයක්. වෙන ජාතික වනෝද්‍යානවල ඒ වගේ කුළු මීහරක් රංචු නැහැ. අපි මේ කුළු මීහරක් රංචුව ගොඩක් පරෙස්සමට බලා ගන්නේ. කිසිම කෙනෙක්ට මේ රංචුවේ ඉන්න සතුන්ට අයිතිවාසිකම් කියන්න දෙන්නේ නෑ. ගමේ හරකෙක් හදිස්සියේ රක්‍ෂිතයට පැන්නොත් ඒ හරකා හොයන්න එන අය අනිවාර්යයෙන් කාර්යාලයට ඇවිත් අපේ කෙනෙක්ගේ උදව් ගන්න ඕනෑ. එහෙම නැතුව කිසිම කෙනෙක්ට තනියම ඇවිත් හරක් හොයන්න අපි ඉඩ දෙන්නේ නැහැ. මොකද එහෙම කළොත් රක්‍ෂිතයේ ඉන්න හරක් ටික ඒ අයගේ හරක් කියල අරගෙන යන්න ඉඩ තියෙනවා. දැනට අපි ගණන් බලලා තියෙන විදියට හරක් 400-500ක් විතර රක්‍ෂිතය ඇතුළේ ඉන්නවා." එලෙස පවසා සිටියේ මඟ පෙන්වන්නාය.

වනය ගැහැනියක මෙනි. නිති වෙනස් වේ. ආදරයේ විවිධ ප්‍රභේද ගණනාවක් යටතේ වනය සමඟ එක්කාසු විය හැකිය. වනයට ආදරය කිරීම නෙලුමකට ආලය කොට අඩස්සි වීමට සමානය.

පැරැණි රජ කතාවක් සිහියට නැඟේ. කුමාර ධාතුසේන නම් වියත් රජු (ක්‍රි.ව. 513-522) පරිසර ලෝලියකු සේම ස්ත්‍රී ගැන පිළිබඳ කෙළ පැමිණියෙකි. රජු දිනක් වෙසඟනක් කරා ගියේය. ඇය බොහෝ රජුගේ සිත් දිනා ගත්තාය. නෙලුමක අඩස්සි වුණ බඹරා සහ වෙසඟනගේ තුරුලේ සිටිනා තමාත් සංසන්දනය කර රජු මෙසේ ගැයුවේය. සිය තඹරා සිය තඹරා පියැස වැනි

පියැස පුරා නිදි නොලබා උන් සුවෙනි

රසාලිප්ත බව නිසා පැදි පෙළ අවසන් කර ගැනීමට නොහැකි වුණු රජු මෙසේ කීය. 'ඉතිරි දෙපද සම්පූර්ණ කරන අයකු ඉල්ලන දෙයක් දෙමි.' රජුගේ කල්‍යාණ මිත්‍ර කාලිදාස ප¾ඩිවරයා දිනක් ඒ වෙසඟන කරා ගොස් සිටියදී ඇය රජුගේ පැදි දෙපදය ප¾ඩිවරයාට ගැයුවේය. කාලිදාස කවිය සම්පූර්ණ කළේය.

වන බඹරා මල නොතළා රොනට වනී

මල දෙදරා පණ ගලවා ගිය සුවෙනී

අහස්කුස සහ මහ පොළොව උරෙන් උර ගැටෙන සීමාවන් දකිද්දී අප යුදඟනා පිටියට පැමිණ ඇතැයි මඟපෙන්වන්නා කීය.

(ඉතිරිය ලබන සතියට...)

ප්‍රභාත් අත්තනායක


උපුටා ගැනීම - http://www.mawbima.lk/55-26003-news-detail.html