-->

Wednesday, November 27, 2013

ඊජිප්තු පිරමීඩවල තියෙන සංකේත ලංකාවේ රන්මසු උයනේ තියෙනවා

0

ඊජිප්තු පිරමීඩවල තියෙන සංකේත ලංකාවේ රන්මසු උයනේ තියෙනවා

නිල් අහස නිල පුරවගෙන බලා ඉන්නේ වහින්නට නොවේ. අනුරපුර ශ්‍රී විභූතිය දකින්නට නිල් ඇසින් බලා හිඳින අහස බිඳකටවත් අඳුරු නෙත් දරා මේ අග්‍රගණ්‍ය පූජනීය නගරයෙන් දෑස් ඉවතට ගැනීමට අකැමැති සෙයකි.

අපිට ඇවැසි වූවේ කවදාවත් ලියා හෝ බලා අවසන් කළ නොහෙන අතීත අභිමානයේ ජයඝෝෂාව යළිත් සවන්පත් අසලට ඇදගැනීම පමණි. මීට වසර හැට හැත්තෑවකට එපිටදී මේ ගල් කුලුනු සමඟ ඔට්ටු වූ ඉසිඹුලන ජීවිතය ඊට කදිම සෙවණක් විය. අප ඔහුව සොයා ආවේ එහෙයිනි.

නමින් ආර්. බී. එදිරිසිංහ නම් වූ ඔහුට අපි එන්නට කීවේ ජේතවනාරාම කෞතුකාගාරය අසලටය. කියූ වේලාවට පෙර ඔහු පැමිණ සිටියේය.

නටබුන් ගොඩනැඟිල්ලක ඉහළ පියගැටයක හිඳගත් එදිරිසිංහ මහතා මටද ඉඳගන්නට යැයි කීවේය. තැනින් තැන පෙනෙනා ගල් කුලුනු කැටයම් සේම අපට පසුපසින් දිස්වෙන ජේතවනාරාමය දුටු මහිතට දැනුණේ දරාගත නොහැකි පමණේ ගර්වයකි. ඔහු කියන්නේ සුරංගනා කතාවක් නොවේ. ඒත් එය එපමණටම මිහිරිය. අසන්නට ලොල් වඩවන්නකි. මේ ලියන්නේ ඒ කතාවයි. ඔහු කියූ අතීත සෙවණැල්ලේ දිස්නයයි.

අවුරුදු එක්දාස් පන්සියයක් එකම තැනක කිසිම රටක රාජධානියක් තිබිල නෑ. ක්‍රිස්තු පූර්ව 7-5 සිට ක්‍රිස්තු වර්ෂ 10 දක්වා රෝම අධිරාජ්‍යයත් අවුරුදු එක්දාස් එකසීයයි. අනුරාධපුර රාජධානිය තමයි මේ තරං කාලයක් පැවැතුණ රාජ්‍යය.

මහසෙන් රජතුමා ජේතවන දාගැබ ඉදිකරන කොට රෝම අධිරාජ්‍යය බිඳ වැටිලා ඉවරයි. දහවැනි සියවසෙන් පස්සේ ඇතිවෙන පොළොන්නරු රාජධානිය තියෙන්නෙත් අවුරුදු දෙසිය පනහක් විතරයි.

ක්‍රිස්තු පූර්ව තුනේදී බුදුදහම ආවට පස්සේ සමාජේ විශාල පෙරළියක්, දීප්තියක් ඇති වෙනවා. ඒ එක්කම විශාල සංඝාරාම තුනක් ඇති වෙනවා. විශාල පිරිසක් භික්‍ෂූන් බවට පත් වෙනවා. ඒ එක්කම මහා විහාරය පළමුවෙන්ම ඉදිවෙනවා. ඒ ක්‍රිස්තු පූර්ව 3 සහ 2 අතර කාලයෙදී දෙවැනි එක වළගම්බා රජු දවස ඉදිවුණු අභයගිරිය. ඒක ක්‍රිස්තු පූර්ව එකේදී. තුන්වැනි එක ජේතවනාරාමය. ක්‍රිස්තු වර්ෂ හතරෙදි. අක්කර පන්සියයක භූමිභාගයක මේ ජේතවනාරාමයට දහස් ගාණක් ගොඩනැඟිලි තියෙනවා.
මේ ජේතවනාරාමය තමයි ලෝකෙ විශාලම ගඩොල් ගොඩනැඟිල්ල. විශාලම දාගැබ. පුරාණ ලෝකයේ උසින් තුන්වන තැන හිමිවෙන ගොඩනැඟිල්ල. පළමු තැන ඊජිප්තුවේ පිරමීඩයකට. ඒක අඩි හාරසීය අනූවයි. දෙකත් පිරමීඩයක්. හාරසිය හැත්තෑවයි. මේ ජේතවනය තුන්වන තැන ගන්නවා.


උස අඩි හාරසිය හැටයි. මීටර් නම් එකසිය පනහයි. මේකේ අත්තිවාරම් මීටර් දහයක් යට ඉඳල එන්නේ. පතුලෙ ඉඳන් උඩට යනකම් ගඩොල් තියෙන්නේ. මැද ධාතු ගර්භයට පොදු කුටීරයක් තියෙනවා. සර් එමසන් ටෙනන් කියන ඉංග්‍රීසි ජාතිකයා ගණනය කරල තියෙනවා. එයා කියනවා ලන්ඩන් නුවර ඉඳලා එඩින්බරෝවලට අඩි දහයක් උස අඩියක් පළල තාප්පයක් බඳින්න පුළුවන් මේ ගඩොල්වලින් කියල. ලංකාවේදී බැලුවොත් දෙවුන්දර තුඩුවෙ ඉඳල පේදුරුතුඩුව දක්වා අඩි දහයක් උස අඩියක් පළල තාප්පයක් හදන්න පුළුවන් කියල.

දහවැනි සියවසෙන් පස්සේ මේ සියල්ල විනාශවෙලා පස්වලින් වැහිලා යනවා. මහසෙන් රජතුමාගේ රාජ්‍ය කාලය අවුරුදු විසිහතරයි. ඒත් මේ ස්තූපය හදන්න කොච්චර කල් ගියාද දන්නේ නෑ. මේක ඔක්කොම කළේ මිනිස් බලයෙන්. මහා වැව් දාසයක් බැඳලා, ඇළවල් එකොළහක් හැදුවා. මේ ගඩොල් මිලියන අනූතුනක් තියෙනව කියල සර් එමර්සන් කියනවා. අවුරුදු එක්දාස් හත්සීයකට කලින් මේවා කොහේදි කැපුවද කොහේදි පිලිස්සුවද කියල, මිලියන ගාණක් ගල් කුලුනු, ගල් කුට්ටි තියෙන අනුරාධපුරේ ඒවා කැපූ තැනක්, කැපූ විදියක්, ගෙනා විදියක් කවුරුවත් දන්නේ නෑ. අඩුම තරමේ මේ ගල් කැපූ කොටු ගල් කොරි හඳුනාගන්න නෑ. අතීතයෙ දහවැනි සියවසෙන් පස්සේ මේක අත්හැරපු පාළු නගරයක් වෙනවා. චෝලයෝ මේක විනාශ කරනවා. ආයෙ මිනිස්සු මෙහෙට එන්නෙ දහඅටවන සියවසෙන් පස්සෙ. ඉංග්‍රීසින්ගෙ කාලෙ තමයි ආපහු අනුරාධපුරය ජනාවාස වුණේ.

මේ අනුරාධපුර නගරය ගැන හිතුවොත්, අභයගිරිය, රුවන්වැලිය, නඛාවෙහෙර, ලංකාරාමය, ථූපාරාමය, ශ්‍රී මහා බෝධිය, ජේතවනාරාමය ආදී තැන්වලට තමයි ඉස්සර මිනිස්සු වටවන්දනාවේ යන්නේ. තිසාවැවෙන් නාලා ශ්‍රී මහාබෝධියෙන් පටන් අරන් වටේම වැඳගන්නවා.
එදිරිසිංහයන් විටෙක තම අදහස් ප්‍රකාශ කරන්නේ සැලැසුම්ද අඳිමිනි. ඔහු හොඳ ඉතිහාස ගුරුවරයකු සේය. කියන අපූරු කතා ඔහුගේ දශක ගණනක ජීවිත කාලයෙන් එකතු කොටගත් දැනුම් පරාසය සමඟ ඉතිරී පැතිරී ඇත. ඔහු කියන කතා ඇසෙන විට හිතට දැනෙන්නේ මේ ගල්කණු ලියවැල් ත්‍රිමානව දෑස් ඉදිරිපිට කතා කරන සෙයකි.

මහා විහාරය ක්‍රිස්තු වර්ෂ තුනේදී ඇතිවුණේ. අභයගිරිය ක්‍රිස්තුවර්ෂ එකේදි. මහා විහාරය අක්කර හාරසීයයි. අභයගිරිය අක්කර හයසීයයි. රාජධානිය තිබුණු ඇතුළු නුවර අක්කර දෙසීයයි. විශාලම ස්ථානය මේ අභයගිරිය.

හතරවැනි සියවසේ මේ රටට ආපු පාහියන් හාමුදුරුවො කියනව අභයගිරියේ භික්‍ෂුන් පන්දාහක් හිටියයි කියල. ජේතවනාරාමේ භික්‍ෂුන් තුන්දහස් පන්සියක් හිටිය කියල. මහාවිහාරේ තුන්දාහක් හිටිය කියල. භික්සූන් වහන්සේලා එකොළොස්දාස් පන්සීයක් අනුරාධපුරේ ඉඳල තියෙනවා. දහවැනි සියවස දක්වාම දිගටම ඉඳල තියෙනව. මේ තරං භික්‍ෂුන් වහන්සේ ප්‍රමාණයක් සිවුපසයෙන් පෝෂණය කරන්න කොච්චර ජනගහනයක් ඕනෑද? පළමු සියවසේ චන්ද්‍රමුඛසීව තෑගි භෝග සමඟ නියෝජිතයන් රෝමයට යවනව. ඒ කාලේ හිටපු ප්ලිනි කියන පඩිවරයා කියල තියෙනවා, අනුරාධපුරය කියන්නේ සිංහල දේශයේ අගනුවර කියල. ඒ කාලෙ අනුරාධපුරේ මිලියන දෙකක ජනගහනයක් හිටිය කියල. රෝමයේ රජ කළේ ඒ කාලේ ක්ලෝඩියස් රජු.

ඒ තරං සෙනඟක් නැතිව මේ වැඩ කරන්න බෑ. ඒ කාලේ හැම මිනිහෙක්ම සතියට එක දවසක් රජයට වැඩ කරන්න ඕන. තමන්ගේ අස්වැන්නෙන් සියයට විස්සක් රජයට දෙන්න ඕන. නියං කාලවලදී එය විස්සෙන් එකක් දක්වා අඩුවෙලා තියෙනවා.
සෙල්ලිපිවල 'කැති අඬහැර' ලෙස දක්වනවා. සමහර ගංවතුර නියඟවලදී වගා පාළු වුණාම බදු අරන් නෑ.

මේ අනුරාධපුරේ කෘෂිකාර්මික වටරවුමක් ඇතිවෙනවා. තිසා වැව, අභය වැව, බුලන්කුලම, පෙරිමියන්කුලම, තන්නායන්කුලම, නුවර වැව යන වැව් ආශ්‍රිතව මේ වටරවුම් ඇති වෙනවා. මෙහෙම කාලය ගෙවෙද්දි මේ ජනගහන තත්ත්වයන් වැඩිවීමත් එක්ක මේවයේ භික්‍ෂුන් කැලේට යනවා. ඒ යන ගමන භාවනා කරන්න හිත එක්තැන් කරන්න හිතන් යන්නෙ. රජවරු මේ භික්‍ෂුන් වෙනුවෙන් ගොඩනැඟිලි හදනවා. මේ ටික පාංශුකූලික භික්‍ෂුන්ගේ වටරවුම වෙනවා. ඊට පස්සේ වනවාසී වුණු භික්‍ෂුන් නඩත්තු කරන්න නුවර වැසියනුත් කුඩා වැව් හදන් ඒ කිට්ටුව පදිංචි වෙනවා. සැතැපුම් හතර බැගින් හතර කොනටම මේ හැම නටබුමක්ම තියෙනවා. පශ්චිමාරාම, තොලුවිල, බටහිරාරාම ආදී ගොඩනැඟිලිත් මේවට අයිතියි. මේවා තවත් මතු කරගන්න බැරිවුණා. තාමත් අනුරාධපුරය වැළලුණු උරුමයක්.


උපුටා ගැනීම -  http://www.mawbima.lk/55-6779-news-detail.html





No Response to "ඊජිප්තු පිරමීඩවල තියෙන සංකේත ලංකාවේ රන්මසු උයනේ තියෙනවා"

Post a Comment

අදහස් සහ උදහස්