-->

Monday, November 25, 2013

රාවණ රජුගේ දඬු මොනර අහසට නැග්ගෙව්වේ රිවස්ටර්න් කඳු මුදුනේ සුළං ධාරාවලින්

0
රාවණ රජුගේ දඬු මොනර අහසට නැග්ගෙව්වේ රිවස්ටර්න් කඳු මුදුනේ සුළං ධාරාවලින්

 

රිවස්ටන් කඳු පන්තියේ ලොකු සහෝදරයා විදියට අපිට ලකේගල හඳුන්වන්න පුළුවන්. ලකේගල සීමාව මූලිකව හිගත්ගල, බැලුම්ගල කියන අනෙක් කුඩා සහෝදරයන් දෙදෙනා සමඟ බැඳිල තියෙනවා. හැබැයි ඒ කිව්ව පර්වත දෙක තියෙන්නේ රිවස්ටර්න්වලින් බාහිරව. දැන් අපි ඉන්න මේ ගල උඩ ගෙදර තමයි මේ කියන පර්වත 3ට මධ්‍යය වෙලා තියෙන්නේ. මෙතැන ඉඳලා බලද්දි රිවස්ටන් කඳු වළල්ලයි ඒ කඳු වළල්ලට නෑකම් කියන අනෙක් අවශේෂ කඳු පන්තියි පැහැදිලි විදියට දර්ශනය වෙනවා.

හැදිලි විදියට දර්ශනය වෙනවා කියන වචනය තමයි අතිශයින්ම වැදගත්. මොකද හෙළ ඉතිහාසය; එහෙම නැත්නම් ඒ ඉතිහාසයේ මහා පුරුෂ රාවණ උත්තමයා ගැන අපිට කතා කරන්න බැහැ යම් පැහැදිලි කිරීමක් ඉතිහාසයෙන් හොයා ගත්තේ නැත්නම්. ඒ සොයා ගැනීම න්‍යායාත්මකව හා ප්‍රායෝගිකව එකවර කළ යුතුයි. ඒකයි පැහැදිලිව දර්ශනය වන පරිසර පද්ධතියන් අවශ්‍ය වෙන්නේ. ලකේගල කඳු මුදුනේ හත් අටසියයකට ඉන්න පුළුවන්. බැලුම්ගල සීමාවේදී ලංකාවේ හතරදිග් භාගයම පැහැදිලිව නරඹන්න පුළුවන්. හරියට මම ගල උඩ හදාපු මේ ගෙදර ඉඳගෙන රිවස්ටර්න් කඳු වළල්ල නරඹනවා වගේ. අදටත් ලකේගල පාමුලදී එකපාර දිය පාරවල් අතුරුදන් වෙනවා. කිසිම හේතුවක් සොයාගන්න බැරිව ආයෙත් නව මං උපද්දවා ගන්නවා. මේවා එකක්වත් අහම්බ නෙවෙයි. නොසිදුවීම් නෙවෙයි. ඒවා හැම දෙයක්ම නිශ්චිත සිදුවීම්. රාවණ ගැන හොයන කෙනෙක් තම ශක්ති ප්‍රමාණයෙන් රාවණව පරාද කරපු ජීවිතයක් තුළ ඉන්න ඕනෑ. අන්න එතකොට තමයි ඒ පුද්ගලයාට නිවැරැදි රාවණ හමු වන්නේ. ඉතිහාසය පුරා ඉන්න රාවණා නෙවෙයි ඇත්ත රාවණ. ඒ රාවණ ඉන්දීය දේශපාලනික කුමන්ත්‍රණකරුවන්ගේ ඩමියක්.

වාල්මිකී කියන්නේ සීතා දේවියගේ පතිවත සිඳූ කෙනා. සීතා දේවියව කොටුකරගෙන අවුරුදු ගණනාවක් තිස්සේ වාල්මිකී රාමායණය ලියනවා. ඒ ලියන්නේ තමන් එක්ක නිදිවදින අනුන්ගේ ගෑනියෙක්ගේ පතිවත ගැන මහා කාරණා ගොඩක් කියන්න. එහෙම කරුණු අපිට ඉතිහාසයේ පැහැදිලිව දර්ශනය නොවුණොත් සොයාගත නොහැකියි.

ගල උඩ නිවාසේ දේශන අංක දෙකෙහි එන නිවෙසක් සනිටුහන් කිරීමට අප උත්සාහ ගත්තා. ඒ වෙන කිසිදු කරුණක් නිසා නෙවෙයි අඳුර පරාජය කිරීම සඳහා ලකලැහැස්ති විය යුතු නිසා. අඳුර බිඳින්ට අවශ්‍ය ආලෝකය ගින්දර මඟින් ලබාගත හැකියි. නමුත් ගල උඩ නිවෙසේ හිමිකරු ලී කොට දහනය කිරීම පිළිබඳ රුචිකත්වයක් දක්වන්නේ අල්ප වශයෙන්. එම අල්පය ප්‍රායෝගිකව ගත් අප ගල දිගේ සිහින් උණුසුමක් නිවෙසට ලැබෙන ආකාරයේ ගිනිමැලයක් සකසා ගත්තා. ගිනිමැලය සැකසුණේ සුළං දිසා දර්ශකයට සමගාමීව. රිවස්ටර්න් කඳු පන්තියේ සුළං හැමීම නිවැරැදිව එකම දිශාවකට පමණක් සිදු වෙන්නේ. කඳු මුදුනේ සහ මුවාවත් නිසා යම් පක්‍ෂියෙක් සුළං ආධාරයෙන් පියඹා යන්නේද ඔහු ස්වභාවිකවම එහි සුළං ධාරාවක් අනුකරණය කිරීම ස්වභාව ධර්මයාට පටහැනි නොවන්නක්. අත්තටු විහිද යන්න උකුස්සෙක් තමන්ගේ ජවයෙන් අංශුමාත්‍රයක් වැය නොකර මුළු රිවස්ටර්න් කඳු පන්තියේම පියාඹන්නේ ඒ සුළං ධාරා නිසා. එසේ නම් එය විමානවලට බල නොපාන කරුණක් විය නොහැකියි. රාවණ රජුගේ විමාන එහෙම නැත්නම් දඬුමොනර යන්ත්‍ර අඩු ජවයකින් අහසට නඟින්නේ මේ රිවස්ටර්න් කඳු පන්තියේ ස්වභාවික ශක්තිය උපයෝගි කරගෙන. ස්වභාවික ශක්තිය තව තවත් දියුණු කර ගන්න අවශ්‍ය අවම සාධක කීපයක් පමණයි තාක්‍ෂණය ලෙස විමානවල පැවැතුණේ. අහසේ කොච්චර ඉඩ තිබුණත් නවීන තාක්‍ෂණයෙන් නිර්මාණය කළ ගුවන් යානා අදත් පියාසර කරන්නේ එකම මාර්ග සිතියමක. කෘත්‍රිම දේ ස්වභාවික බවින් පරාජය කළ රාවණ උත්තමයා එයාගේ විමාන සියල්ලම වගේ ස්වභාවිකත්වය සමඟ ගළපා ගත්තා. ඒ වගේ අදහසකදී හෙළ ගුවන් යානා නැත්නම් විමාන කියන්නේ ප්‍රබන්ධයක් නෙවෙයි.

ඇස් දෙක අඩවන් කර ගල උඩ හිසේ සිට මෙම හාත්පස පරිසරය නරඹන්න වූයේ අතරින් පතර පළවූ අදහස්වල එකතුවක් එලෙස මනසින් සකසා ගනිමින්. අෑතින් පෙනෙන්නෙ ලකේගලයි. මෑතින් තව තවත් හුදෙකලා වූ කඳු පන්තිය. ඒ මැදින් හිස් අවකාශයයි. අෑතින් දිදුලන කඳු පන්තිය හිස් අවකාශයේදී දිදුලන්නේ නැහැ. එයට හේතුව උණුසුම් ගැහැනියකගේ මුදු මොළොක් හදවත වැනි වලාකුළු සුළඟ නම් පරපුරුෂයන් නිති එහා මෙහා කිරීම. සැබෑ ලෙසම මට එම මොහොතේදී අවශ්‍ය වූයේ සියල්ලන්ගෙන් මිදීමට. පරිසරය සමඟ තනිවීමටය. ‍ෙදාළොස් වසරක් තිස්සේ සීතා මෙලෙස මෙකී පරිසරයේ තනිව වාසය කළා නම් එය රාවණ රජුගේ දියුණු මනස් ස්වභාවයට පිංසිදුවන්නට වූ සිදුවීමක් මිස අන් කිසිවක් නොවිය යුතුයි. සැබෑ ලෙසම මෙම පරිසර පද්ධතිය නව මානයක් පහළ කර දෙන්නක්.

ගල උඩ නිවෙසේ හිමිකරු නැවත වරක් ගිනි මැලයේ පිහිටෙන් දැක ගැනීමට හැකිව තිබෙනවා. ඔහුගේ සූදානම නැවත නැවත කතා කිරීම. මගේ අගනා සිතිවිලිවලට එය බාධාවක් ගෙන දුන්නද ඉන් බැහැරව ගෙවෙන හෝරාව වචනයට ගොනු කිරීමේදී එය නිර්බාධාවක්.

ප්‍රභාත් අත්තනායක


උපුටා ගැනීම - http://www.mawbima.lk/55-41959-news-detail.html










No Response to "රාවණ රජුගේ දඬු මොනර අහසට නැග්ගෙව්වේ රිවස්ටර්න් කඳු මුදුනේ සුළං ධාරාවලින්"

Post a Comment

අදහස් සහ උදහස්