-->

Monday, November 25, 2013

වස්ගමුව මහ කැලේ මැද යුදඟනා පිටියට ගිය ගමන

0

වස්ගමුව මහ කැලේ මැද යුදඟනා පිටියට ගිය ගමන

හිරු නැඟෙන්න පැයකට හමාරකට කලියෙන් අපි ලකලැහැස්ති වීමු. ජයසිරිපුරින් පිටත් වීම වේදනාබරය. ඒ මුත් අපි යා යුතු වෙමු. ඒ; බකමූණ, තලාගොල්ල හරහා හඳුන්ගමුවටය. හඳුන්ගමුව කරා යන මාර්ගය කලකදී පැවැතියේ ගිරි දුර්ගයක් ලෙසය. දඹුල්ලේ සිට මහියංගණය කරා ගොස් එතැනින් අම්පාර දක්වා දිවෙන අධිවේගී මාර්ග සැලැස්ම නිසා බකමූණ සිට හෙට්ටිපොළ දක්වා මඟ පිළිසකර වී ඇත. ජයසිරිපුර සිට බකමූණ කරා දිවෙන්නේ පටු තාර පාරකි. මැටල් ගල් ගැලවී ගිය තැනකදී වාහන දෙකකට එහා මෙහා වීමට දැඩි උත්සාහයක් ගත යුතු වේ.

රථයේ ප්‍රධාන ලාම්පුවල ආලෝක ධාරාව යෝධ ඇළේ දිය රැළි මත ගැටුණු විට මැවෙන්නේ අපූර්ව බවකි. ගඟ ගලන්නේ පහළ සිට ඉහළටය. කිලෝමීටරයකට අඟලක් වන සේ ඉස්සී උස් මුදුනක පිහිටා ඇති පරාක්‍රම සමුද්‍රය කරා ජලය රැගෙන යන ජය ගඟ හෙවත් යෝධ ඇළ හෙළ වාරි තාක්‍ෂණයේ උච්චම ස්ථානය ලකුණු කළ මාහැඟි සම්පතකි. ගංදෑල බඩවැටිවල සිටිනා හාවුන් සිය ගිනිකන වැටුණු දෑස් යොමන්නේද රථයේ ප්‍රධාන ලාම්පු කෙරෙහිය. වස්ගමුවත් දඹුලු කැලයත් සීමා මායිම් කර ගත් අඹන් ගඟ සහ යෝධ ඇළ අප සුවපහසු ලෙස නවාතැන් ගත් ඇළහැර ගොවි ජනපද ව්‍යාපාරය මැදි කරමින් ගලා යයි. ඒ අරුතින් ඇළහැර ගොවි ජනපදය දෙගම් මැදි රාජ්‍යයකි.

මීට දසක කීපයකට ඉහතදී වස්ගොමුවෙන් එන ගෝන රංචු මංකඩක් ලෙස 'ට්‍රැක් 13' ගොවි ගම්මානය භාවිත කර දඹුලු කැලයට සේන්දු වූ බව කලකට පෙර අප හැර ගිය ඇළහැර ලොකු පප්පා පැවැසූ මතකය ඇවිස්සුණේ අඩි කීපයක් උසැති සිවුපාවකු රථයේ ප්‍රධාන ලාම්පුවලට 'ඇහැ දෙන්න' ගත්තාට පසුවය. කිසි ලෙසකින් ගෝනෙක් මුවකු විය නොහැකි එම සතා 'රථයේ මාතලී' වූ පියරත්නට අනුව නාම්බ මීමින්නෙකි. රථය නැවැත්වූ අපි සතා දිවගිය මඟට කන් යොමු කළෙමු. ඔය අතරතුර සිය සගයන්ට අනතුරු ඇඟවීම සඳහා ගෝනකු නැඟූ නාදය කැලයේ අෑතින් ඇසිණි. හඳුනාගැනීමට නොහැකි වූ සිවුපාවා කැලයේ කුමන දිසාවකට ගමන් ගත්තේද යන වග ඉඳහිට වියළි ඉපලක් බිඳුණු හ¾ඩින් තේරුම් ගැනීමට හැකි විණි. සතා ගමන් කළේ ඇළ ඉවුර දිග ප්‍රධාන මාර්ගයට සමාන්තරවය. රථය පාර අද්දර නවතා දමා කුඩා මංපෙතකින් හැරී ඇළේ වතුර කුඹුරු යාය කරා රැගෙන යන කොන්ක්‍රීට් කානුවක් දිගේ අප කාල් ගෑවේ අරුණෝදය එළැඹෙමින් තිබියදීය.

අපි බකමූණට පැමිණ සිටියෙමු. බකමූණ ජනාකීර්ණ වන්නේ බදාදා දිනට පමණලු! එයට හේතුව කළු ගඟේදී සහ අඹන් ගඟේදී ගැරුම් වට්ටිවලට අහුවෙන මැණික් වෙන්දේසියේ විකිණෙන්නේ එදිනට පමණක් වීමය. මැණික් කුඩා මුදලකට මිලකර අවශ්‍ය කරන කළමනා රැගෙන යෑමට ගොවි පවුල්වල උදවිය බදාදා දින උදේ රැයින් බකමූණට පැමිණෙති. බකමූණ සිට හෙට්ටිපොළ - විල්ගමුව හරහා හඳුන්ගමුවට ගොස් වස්ගමු කැලයට නීත්‍යනුකූල ලෙස පිවිසිය හැකි වන්නේය. සිය දියණිය හඳුන්ගමුවට කරකාර බැඳ ඇති නිසා උදව්වක් පදව්වක් කිරීමට ඇහැක් වෙයි කියූ රණමුරේ හේරත් බණ්ඩා මාමාද අප වස්ගමුවට රැගෙන යෑම සඳහා විල්ගමුවට කල්වේලා ඇතිව පැමිණ සිටියේය. අවශ්‍ය දෑ විල්ගමුව සමුපකාරයෙන් මිලට ගෙන වස්ගමුව වන රක්‍ෂිත පෙදෙස පසුකර අවශ්‍ය අවසරපත් ලබා දැඩි සොබා රක්‍ෂිතයට ඇතුළු වුණෙමු. උදෑසන භාරකාර තැන කෙටි දෙසුමක් සිදුකළේය. එහි සංක්‍ෂිප්ත අදහස වූයේ වන රක්‍ෂිතය සහ හඳුන්ගමුව ගම්මානය අතර ඇති සහසම්බන්ධය ය. ගම්මු තම ඉඩකඩම් රක්‍ෂිතයට ලබා දුන්හ. රක්‍ෂිතය කළේ ගම්මුන්ගේ චර්යාවන් සීමා කිරීමය. ජීවනෝපාය අවහිර කිරීමය. ගම්මුන් සහ වන රක්‍ෂිතය යා දෙක නොරත රත සේ පවත්වාගෙන යා නොහැක. උගුල්, බඳින තුවක්කු අහවර කළ යුතුවේ. එම නිසා ගමේ තරුණයන් පරිසරවේදීන් බවට පත්කිරීමේ මානුෂීය මෙහෙයුමක අවසන් ප්‍රතිඵලය ඔවුන් රජයේ පඩි ලබන කැලෑ මහත්තුරුන් බවට පත් වීමලු! 


එය කදිම මෙන්ම පැසසිය යුතු කටයුත්තක් යැයි අප පැවැසුවේ මුළු හදින්මය. වනයේ ඉදිරියට යත් යත්ම හුදෙකලා බවත් සන්සුන් බවත් කෙමෙන් දැනෙන්ට විය. මිතුරාට මිතුරාත්, සතුරාට සතුරාත් කෙරෙහි ක්‍ෂණිකව ක්‍රියාත්මක වන ඇස් හා ඕනෑම මොහොතකම සූදානම් ගාත්‍රාත් හැරුණු විට සාවද්‍ය සිරිත්-විරිත් කැලය තුළ නැත්තේය. දෙසැතපුමක් පමණ අපි ගමන් කළෙමු. පෙර දින කුමාර කන්ද මාලිගයට අවසර නොමැතිව අප පැමිණි බව මඟ පෙන්වන්නාට හෙළි කළේ නගරයේදී වෛද්‍යවරයාට සහ නීතිඥයාට සේ කැලය තුළදී මඟ පෙන්වන්නාට මුසා පැවසීම අනුවණ ක්‍රියාවක් නිසාය. කුඩා වැවකින් පහළ පිහිටියා යැයි සිතිය හැකි පුරන් වී ගිය කුඹුරු යායකට අපි පිවිසුණෙමු. බොහෝ කාලයකට ඉහත සිටි මිනිසුන් කැලය ආක්‍රමණය කොට වැව තනා ඉන් පහළ වෙල් යායවල වී වගා කරන්නට ඇත. මිනිසුන්ට එරෙහිව සටන අත් නොහළ කැලය දැන් මිනිසා පලවා හැර දසක ගණනාවක් ගෙවී ගොසිනි. වෙල් යාය කැස්වටුවන්, කිරලුන් හා කොරවක්කන් උදෑසනට කට ගැස්මක් සොයා එන වගුරු බිමක් බවට පත්ව තිබේ. සම්පූර්ණයෙන් නොවැසෙන දිය කඩිති වැව් බැම්ම සමීපයේ වේ. මෙම කැලෑ පෙදෙස්හි පාළුවට ගිය කුඩා වැව් බොහෝ ගණනක් තැනින් තැන විසිරී තිබේ. දීර්ඝ කාලයකට පෙර මෙහි විසූ ජනතාව ප්‍රදේශය අතහැර යෑම පිළිබඳ කතාන්දරය ඒ වැව්වලින් කියැවේ.

"ඒ කාලේ වස්ගමුව දැඩි සොබා රක්‍ෂිතයට මේ මාතලේ කෑල්ල අෑදාගද්දී; ඒ කියන්නේ 1978න් පස්සේ මේ හරියේ තිබිල තියෙන්නේ හේන්, කුඹුරු. ඒ මිනිසුන්ට අනුරාධපුර, පොළොන්නරුව වගේ පැතිවල මහවැලි ඉඩම් දුන්නා. ගොඩින් අක්කරයයි, මඩින් අක්කර දෙකයි. ඒ මිනිස්සු මහවැලි ඉඩම්වලට යද්දී හරකා බාන අරගෙන ගියේ නෑ. ඒ අයගේ එළ හරක් රෑනයි, මීහරක් රෑනයි දැන් ලොකු හරක් පට්ටියක් වෙලා. කැලේ මේ හරියට වෙන්න කුළු මීහරක් රංචු ඉන්නේ ඒකයි. ඒ කුළු මීහරක් රංචු වස්ගමුවට විතරක් සීමා වුණු දෙයක්. වෙන ජාතික වනෝද්‍යානවල ඒ වගේ කුළු මීහරක් රංචු නැහැ. අපි මේ කුළු මීහරක් රංචුව ගොඩක් පරෙස්සමට බලා ගන්නේ. කිසිම කෙනෙක්ට මේ රංචුවේ ඉන්න සතුන්ට අයිතිවාසිකම් කියන්න දෙන්නේ නෑ. ගමේ හරකෙක් හදිස්සියේ රක්‍ෂිතයට පැන්නොත් ඒ හරකා හොයන්න එන අය අනිවාර්යයෙන් කාර්යාලයට ඇවිත් අපේ කෙනෙක්ගේ උදව් ගන්න ඕනෑ. එහෙම නැතුව කිසිම කෙනෙක්ට තනියම ඇවිත් හරක් හොයන්න අපි ඉඩ දෙන්නේ නැහැ. මොකද එහෙම කළොත් රක්‍ෂිතයේ ඉන්න හරක් ටික ඒ අයගේ හරක් කියල අරගෙන යන්න ඉඩ තියෙනවා. දැනට අපි ගණන් බලලා තියෙන විදියට හරක් 400-500ක් විතර රක්‍ෂිතය ඇතුළේ ඉන්නවා." එලෙස පවසා සිටියේ මඟ පෙන්වන්නාය.

වනය ගැහැනියක මෙනි. නිති වෙනස් වේ. ආදරයේ විවිධ ප්‍රභේද ගණනාවක් යටතේ වනය සමඟ එක්කාසු විය හැකිය. වනයට ආදරය කිරීම නෙලුමකට ආලය කොට අඩස්සි වීමට සමානය.

පැරැණි රජ කතාවක් සිහියට නැඟේ. කුමාර ධාතුසේන නම් වියත් රජු (ක්‍රි.ව. 513-522) පරිසර ලෝලියකු සේම ස්ත්‍රී ගැන පිළිබඳ කෙළ පැමිණියෙකි. රජු දිනක් වෙසඟනක් කරා ගියේය. ඇය බොහෝ රජුගේ සිත් දිනා ගත්තාය. නෙලුමක අඩස්සි වුණ බඹරා සහ වෙසඟනගේ තුරුලේ සිටිනා තමාත් සංසන්දනය කර රජු මෙසේ ගැයුවේය. සිය තඹරා සිය තඹරා පියැස වැනි

පියැස පුරා නිදි නොලබා උන් සුවෙනි

රසාලිප්ත බව නිසා පැදි පෙළ අවසන් කර ගැනීමට නොහැකි වුණු රජු මෙසේ කීය. 'ඉතිරි දෙපද සම්පූර්ණ කරන අයකු ඉල්ලන දෙයක් දෙමි.' රජුගේ කල්‍යාණ මිත්‍ර කාලිදාස ප¾ඩිවරයා දිනක් ඒ වෙසඟන කරා ගොස් සිටියදී ඇය රජුගේ පැදි දෙපදය ප¾ඩිවරයාට ගැයුවේය. කාලිදාස කවිය සම්පූර්ණ කළේය.

වන බඹරා මල නොතළා රොනට වනී

මල දෙදරා පණ ගලවා ගිය සුවෙනී

අහස්කුස සහ මහ පොළොව උරෙන් උර ගැටෙන සීමාවන් දකිද්දී අප යුදඟනා පිටියට පැමිණ ඇතැයි මඟපෙන්වන්නා කීය.

(ඉතිරිය ලබන සතියට...)

ප්‍රභාත් අත්තනායක


උපුටා ගැනීම - http://www.mawbima.lk/55-26003-news-detail.html






No Response to "වස්ගමුව මහ කැලේ මැද යුදඟනා පිටියට ගිය ගමන"

Post a Comment

අදහස් සහ උදහස්