-->

Monday, November 25, 2013

රාවණාගේ මාලිගාව සොයා ලකේගලට මව්බිම ගිය ගමන

0

රාවණාගේ මාලිගාව සොයා ලකේගලට මව්බිම ගිය ගමන

ගමනාන්තය පිළිබඳ නිරවුල් අදහසක් දැන් මට ඇත. ඒ කපුකෙටූ ගල පෙනෙන්න වූ නිසාය. වෙහෙසකර ගමනක අතිමහත් වූ ප්‍රතිඵලය භෞතික ලෙස ගවේෂණයට අපි සූදානම් වූයෙමු. කපුකෙටූ ගල ලෙස ගැමියන් හඳුන්වන පර්වතය දකුණු දෙසට දළ බෑවුමක් සහිත සැතපුණ එකකි. පර්වතයේ දකුණු බිත්තියේ (ලකේගල සිට බලන කල) විශාල ගුහා දෙකක් ඇතත් එය අන්මානයට අල්ලා ගත නොහැක්කේ ගුහා කටවල් ළැහැබ්වලින් වැසී ඇති නිසාය. කපුකෙටූ ගල පිළිබඳ මධ්‍යස්ථ ප්‍රවාදය කුවේණිය සමඟ සැබැඳි එකකි. එය පිළිගත හැකි හෝ ඉන් ඔබ්බට විශ්වාස කළ නොහැක්කකි. විජය - කුවේණි කතා ප්‍රවෘත්තිය සමඟ අනෙක් පරිසර සාධක ගළපාගත හැකි තැනක නැත. විජය රජු කුවේණිය දුටු මොහොතේ ඇය කපු කටිමින් සිටි බව ඉතිහාස කතාකරු කී නිසා කපුකෙටූ ගලට විජය - කුවේණි කතා පුවත සමපාත කිරීමට යම් උත්සාහයක් පැවැතුණා විය හැකිය. පුරාතන ප්‍රවාදයේදී කපුකෙටූ ගල රාම - රාවණා කතා පුවත සමඟ එක්කාසු වේ. එය පරිසර සාධක සහ මුඛ පරම්පරා ගත කරුණු සමඟ ගළපා ගත හැක්කකි.

රණපුරේ සහ මීමුරේ අතර බිම්කඩ වන ලකේගල යහන් ගල ඇටන්වලය කපුකෙටූ ගල එක් සීමාවකි. අප දැන් වාඩිලා සිටින්නේ එකී සීමාවේය. මඟ පෙන්වන්නා වූ "මුතු" ගම්කාරයාය. ද්විතීයික අධ්‍යාපනයක් තියා හරි හැටි මුල් ළමා විය අධ්‍යාපනයක්වත් නොලද ඔහුට ඉතිහාස කතා පිළිබඳ ඇත්තේ පුදුම සහගත දැනුමකි. ඔහු අත ඇති කුඩා විදුලි පන්දම හැරෙන්නට කිසි දෙයක් නැත. පොතක් පතක් දෙඅතින් අල්ලා කිසි දිනක කියවා නැතැයි කී මුතු කරුණු කාරණා දන්නා සංචාරකයන් පැමිණි පසු ඔවුන් කතා බස් කරනා දෑ ධාරණය කර ගැනීමට තමා වඩ වඩා උත්සාහ ගන්නා බවද පවසා සිටියේය.

මුතුට අනුව ලකේගල, බැලුම්ගල, යහන් ගල සහ කපුකෙටූ ගල කඳු පන්තියේ නිල උරුමක්කාරයෝ යනු ගෝත්‍රිකයෝය. සරලව පවසා සිටියොත් මුතු, හේරත් බණ්ඩා වැනි ගම්කාරයන්.

යක් කියන්නේ යකඩ සංකේතවත් කරන නමක්. ඒ කියන්නේ යකඩ නිෂ්පාදනය කරපු නිර්මාණකරුවෝ. යක් කියන එක නමක් විදියට අයිති සංස්කෘත භාෂාවටලු. ඒකේ තේරුම යක්‍ෂ කියන එක. එතකොට රකුස්් කියලා ජන කොටසක් ගැනත් කියවෙනවා. රකුස් කියන්නේ කුස රැකීමට ගොවිතැන් කළ අයට. යක් සහ රකුස් කියන්නේ එකම මට්ටමේ කුල දෙකක්. කර්මාන්තකරණයේ සහ ගොවිතැනේ නිරත වුණ අය. ඒක පිළිගන්න හේතු ගොඩක් රණමුරේයි මීමුරේයි තියෙනවා. හිතන්න අපහසු නිර්මාණ මේ කඳු මුදුන්වල ඉදි වුණේ ඒ හින්දා. අද බැරි වුණත් අපි යහන් ගලට හරි ලකේගලට හරි නඟිමු. ඒවායේ පඩි පෙළ. රාවණා රජුගේ විමාන නතර කරපු තැන් ඇස් දෙකෙන් බලා ගන්න පුළුවන්. ඒත් ඒවා මම කියන තරම් ලේසි නැහැ. අපිත් යක්‍ෂ පරම්පරාවේ අය වුණත් අපට පාලනය කරන්න බැරි දේවල් මේ නකල්ස් කැලේ සිද්ධ වෙනවා. පොඩි පොදක් ලකේගලට වැටුණට පස්සේ මේ පැත්තට ගඟක් ගලනවා වගේ වතුර ගලාගෙන එනවා. ඒවා මොකක් හරි අමනුෂ්‍ය බලවේගයක් කරන දේවල් නෙවෙයි. හැම පර්වතයක්ම මොකක් හරි වෙනසකට ලක් කරලා වතුර අපතේ නොයවා හදලා තියෙන්නේ. දැන් කපුකෙටුව ගල වටේම වතුර ගලනවා. එතැනින්ම වතුර පාරවල් මහ පොළොවට ගිල ගන්නවා. ඒ ගිල ගන්න වතුර පාර උල්පත් විදියට කිලෝමීටර් ගාණකින් මතු වෙනවා. මේක අපට අරුම පුදුම දේවල් වුණාට ඒ කාලේ අපේ මී මුත්තෝ තාක්‍ෂණ දැනුම භාවිත කරලා කරපු දේවල්. කපුකෙටූ ගලේ ගුහාවට මම මගේ ඉසේ කෙස් ගාණට ආවා. ගුහා බිත්තිය පිළිසකර කරලා තියෙන පස් මේ පැත්ත පළාතක නැහැ. ගුහාව ඇතුළේ තාම වී තියෙනවා. උඩ ගුහාව හැම පැත්තටම අගුල් වෙලා. ඒ ගුහාව පැත්තට කවුරුවත් යන්නේ නැහැ.

අනෙක් කාරණේ තමයි මේ තරම් ඉඩකඩ තියෙද්දී ඇයි රාවණා රජ්ජුරුවෝ එයාගේ වාසස්ථාන විදියට කඳු මුදුන් පාවිච්චි කළේ කියන එක. දැන් අපි ඉන්නේ රිවස්ටන් කඳු පන්තියේ එක කොනක උසම සීමාවේ. කඳු පන්තියක උසම සීමාව තවදුරටත් උස නොවී පැතලි විදියට තියෙන්නේ ඇයි. ලකේගල උඩ පැතලි, යහන් ගල පැතලි, බැලුම්ගල පැතලි. කපුකෙටූ ගල පැතලි නැති වුණාට ගලට පල්ලමේ තියෙන මේ අපි ඉන්නා හිරගේ පැතලියි. ස්වාභාවික විදියට ගත්තම ඇත්තටම මේ උස් මුදුන් පැතලි වෙන්න බැහැ. අපේ රාවණා රජ්ජුරුවෝ කඳු පන්තියක් වාසස්ථානය කර ගත්තට පසසේ ඒක පැතලි කළා. අන්න ඒක තමයි රහස.

අපේ ගම් පළාතේ අය කියන විදියට උස් කඳු මුදුන්වල ජීවත් වෙන අයගේ මනස දියුණුලු! තැනිතලාවේදි මනස පොළොව එක්ක ගනුදෙනු කරනවාලු! ඒත් ඉහළට යනකොට මනස ගනුදෙනු කරන්නේ වායුව එක්ක. වායුව පොළොවට වඩා නිරවුල්. දියුණු ශිෂ්ටාචාරයක් හදන්න වායුවයි, පොළොවයි දෙකම ඕනෑ. දැන් මායා ශිෂ්ටාචාරය අපේ රාවණා යුගය දෙකම තියෙන්නේ උස් කඳු මුදුන්වල. අනෙක රාවණා කියන්නේ හැම දේකටම ආධ්‍යාත්මික ශක්තිය පාවිච්චි කරපු කෙනෙක්.

ඔහු පවසන ලද දෑ සමඟ ගළපා ගත හැකි කරුණු කීපයක් මා සතුය. එයද උස් කඳු මුදුන් පිළිබඳවය. ගෞතම සිද්ධාර්ථයන් බුද්ධත්වය ලැබුවේ කඳු මුදුනකදී නොවේ. එතුමා බවුන් වැඩුවේ තැනිතලාවකය. නිර්වාණවාබෝධයෙන් පසු පිරිනිවන් පෑම යනු පැවත්ම නැති නම් ඉපදීම අවසන් කිරීමය. එහි ප්‍රතිවිරුද්ධ භාෂය නම් නිර්වාණය නැතහොත් පැවැත්ම නම් මහා ශක්තිය තුළට ගමන් කර නැවැත්ම ඉටුකර ගෙන මරණය ළඟා කර නොගෙන එම ශක්තිය තුළ ගාල් වී සිටීමය. එවිට දියුණු මනසේ ශක්තිය ප්‍රයෝජනයට ගෙන තම අරමුණු ඉටුකර ගත හැකි අතර පැවැත්ම තුළද රැඳී සිටිය හැකිය. එය දර්ශනයක් ලෙස සමපාත වන්නේ හින්දු දහමටය. ඒ අරුතින් රාවණා එවැන්නෙකු විය හැකිය. රාවණා නොමළ බවත් සිදු වූයේ සිහිමූර්ඡා වීම බවත් කියවෙන අතරතුර හිමාලයේ සහ ටිබෙටයේ උස් කඳු මුදුන්වල අද දින වන විටද භාවනායෝගීව වසර ගණනාවක් තිස්සේ බවුන් වඩනා යෝගීන් සිටින බවද කියවේ.

රාවණා රජු පිළිබඳ තවදුරටත් භෞතික සාක්‍ෂි සොයා යන මේ ගමනේදී අප පසු කළ කුමාර කන්ද මාලිගාව, යුදඟනා පිටිය සහ කපුකෙටූ ගල එම කතාවට දිරි දුන් සාක්‍ෂි බොහෝ එක් රැස් කර දුනි. කපුකෙටූ ගල පාමුල සිටි අප අපට ප්‍රථම මෙහි ආ පිරිස් පර්වතය තරණය සඳහා යොදා ගත් කැලෑ වැල් පොට සවි ශක්තිමත් දැයි පිරික්්සුවේ ගල ලිස්සනසුලු නිසා නැවැත කඹයක් හෝ තේඩාවක් යොදා ගැනීමට කිසිදු උපකාරයක් නැතිව ප්‍රථමව අයෙකු ගල තරණය කළ යුතු නිසාය.

ගමන් මඟ පෙන්වන්නා කිසිවක් නොකියා කැලෑ වැල්පොට පිරික්සුවේය. එහි සවිය හීන වී ගොස් ඇති නිසා රැගෙන ආ තේ්ඩාව රැගෙන තමා ප්‍රථමව ගල් ගේ කරා ගොස් කඹය බිමට එවූ පසු දෙවනුව පැමිණෙන්න යැයි ඔහු උපදෙස් ලබා දුන්නේය. එය සැබෑ ලෙසම අභියෝගයක් බාර ගැනීමකි. අභියෝගය තුළ අනතුරක සේයාවක්්ද රැඳී ඇත. මුතු ගල් පොතු, පට්ටා සහ කුස්තූර අල්ලමින් ගලේ ඉහළට නැඟ සකසුරුවම් ලෙස තේඩාව භාවිත කළ හැටි මේ මොහොත වන විටද මා හට මැවී පෙනේ.

අප කපුකෙටූ ගල තරණය කළ අයුරු ලබන සතියේ...

ප්‍රභාත් අත්තනායක


උපුටා ගැනීම - http://www.mawbima.lk/55-30994-news-detail.html






No Response to "රාවණාගේ මාලිගාව සොයා ලකේගලට මව්බිම ගිය ගමන"

Post a Comment

අදහස් සහ උදහස්