-->

Wednesday, November 27, 2013

මව්බිම හෙළි කල රාවණාගේ උමඟ සාදින්නගල කන්දෙන් මතුවෙයි

0

මව්බිම හෙළි කල රාවණාගේ උමඟ සාදින්නගල කන්දෙන් මතුවෙයි

උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය යටතේ ඇල්ල වැල්ලවාය මාර්ගයේ සාදින්නාගල කන්ද හරහා කැණීම් කටයුතු සිදුකරද්දි රාවණා රජුසමයේදී භාවිත කරනු ලැබූ ඉපැරැණි උමං මාර්ගයක් මතුවී ඇත. රාවණා ඇල්ල හරහා වැටී ඇතැයි සැලකෙන මේ උමං මාර්ගය ඇල්ල - වැල්ලවාය සිට බණ්ඩාරවෙල දෝව පන්සල දක්වා විහිද ඇතැයි අනුමාන කෙරේ.

උමඟ මතුවීමත් සමඟ එම ප්‍රදේශය කිසිවකුට ළඟා විය නොහැකි පරිදි සම්පූර්ණයෙන් මාධ්‍යයට තහනම් කලාපයක් බවට පත් කිරීමට උමා ඔය ව්‍යාපෘතියේ බලධාරීන් කටයුතු කොට ඇත.
හදිසියේ මතුවූ මෙම ඉපැරැණි උමං මාර්ගය පිළිබඳ වහාම දේශපාලනයෙන් තොර අපක්ෂපාතී විධිමත් පුරාවිද්‍යා පරීක්ෂණයක් සිදු කළ යුතු බව විවිධ සංවිධාන 23ක් ඒකාබද්ධව රජයෙන් ඉල්ලා ඇත. තවද එම ස්ථානයේ ඇති පුරාවස්තු ආරක්ෂා කර ගැනීමට නොපමාවම පියවර ගන්නා ලෙසත් ප්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳ තොරතුරු රාශියක් හෙළිවීමට ඉඩ ඇති මේ සුවිශේෂි ස්ථානය සියලුම මාධ්‍ය සඳහා නිරාවරණය කරන ලෙසත් එම සංවිධාන රජයෙන් ඉල්ලා ඇත.
උමා ඔය මොරගහකන්ද වැනි සංවර්ධන යෝජනා ක්‍රම ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ ජලය ලබාදී එම පළාත්වල කෘෂිකර්මාන්තය නංවා ජන ජීවිතය සුඛිත මුදිත කරවීමටය. බත බුලතින් රට සංවර්ධනය කිරීමට ඉන් ඉමහත් පිටිවහලක් ලැබෙනු ඇත. විශාල පිරිවැයක් දරා එකී යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන ඇත්තේ ද ඒ නිසාය.

සියලු ජනතාවටත්, රටටත් වැඩදායක මෙවන් වූ යෝජනා ක්‍රම නිසා අයහපතක් සිදුවෙතැයි කිසිවකු කිසිසේත්ම නොසිතනු ඇත. එනමුදු මෙවැනි යෝජනා ක්‍රම සම්බන්ධව නැවත වරක් සිතා බලන්නට පොලඹවන පසුබිමක් දැන් උදා වී ඇත.
උමා ඔය මොරගහකන්ද වැනි යෝජනා ක්‍රම බැලූ බැල්මට සුබදායක සංවර්ධනය ක්‍රියාවලියක් ලෙස පෙනුණත් අනාගතයේදී කන්ද උඩරට බොහෝ ගම් නියම් ගම් අනාරක්ෂිත තත්ත්වයකට මුහුණ පෑම නොවැළැක්විය හැකිය.

මේ බව අනාවරණය කරන්නේ ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකරයන් ය. උමා ඔය යෝජනා ක්‍රමයේ කැණීම් කටයුතු කරද්දී ඉපැරැණි උමඟක් මතු වීම සම්බන්ධයෙන් ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකරයන් සමඟ කළ විශේෂ සාකච්ඡාවකදී හෙළිදරව් වූ කරුණු පාදක කර ගෙන මෙම විශේෂ ලිපිය සැකසී ඇත. මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල, දඹුල්ල - රත්තොට ආදී ප්‍රදේශවලද මහනුවර දිස්ත්‍රික්කයේ වත්තේගම සෙංකඩගල සහ දුම්බර බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ වැලිමඩ හා පස්සර කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිරියාල සහ ‍ෙදාඩම්ගස්ලන්ද ප්‍රදේශවලටද මෙම අනතුරු බලපානු ඇත.

උමා ඔය මොරගහතැන්න නව ජලාශයන්හි ජලය රාවණා යුගයේ උමං මාර්ගවලට සහ බිම් ගෙවල්වලට කාන්දු වීමට ඇති ඉඩකඩ වැඩි නිසා වත්මන් භූ විද්‍යාඥයන් එම ප්‍රාග් ඓතිහාසික උමං මාර්ග ගැන සැලකිල්ලක් දැක්විය යුතු බවත් එසේ නොවුණහොත් වඩාත් අනතුරුදායක තත්ත්වයක් නිර්මාණය විය හැකි බව ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර පෙන්වා දෙයි.

"ඍජු බැල්මට මෙම උමා ඔය යෝජනා ක්‍රමය, මොරගහකන්ද යෝජනා ක්‍රමය, ලාභදායී ලෙස පෙනෙන්න පුළුවන්. ඒත් වක්‍ර ලෙස එයින් ඇතිවන පාඩුව මධ්‍යම, උෟව සහ වයඹ පළාත්වලට සුවිශාලයි." ඒ ආචාර්ය ඔබේසේකරගේ අදහසය.

වත්මන් ජලාශ යෝජනා ක්‍රම ඉදිකිරීමේදී භූ විද්‍යාඥයන් ප්‍රාග් ඓතිහාසික උමං මාර්ග ගැන සැලකිල්ලක් දැක්විය යුතු බවත් එසේ නොවුණහොත් අනතුරුදායක තත්ත්වයක් නිර්මාණය විය හැකි බවත් 'රාවණ වත' ලිපි පෙළ යටතේ 2012 අප්‍රේල් 15 වැනි ඉරිදා මව්බිම සැණකෙළියට ලියූ ලිපියකින් ද අනාවරණය කර තිබිණි.
උෟවේ සිට බණ්ඩාරවෙලටත්, බණ්ඩාරවෙල සිට ලෝකාන්තයටත් එහි සිට බලංගොඩටත් ප්‍රාග් ඓතිහාසික යුගයේ දියුණු උමං මාර්ග පද්ධති තිබූ බව රාවණ කතා පුස්කොළ ග්‍රන්ථය දක්වා ඇත. එකල විශේෂ ආරක්ෂක මාර්ග පද්ධතියක් ලෙස උමං මාර්ග නිර්මාණය වී තිබූ බව එම පුස්කොළ ග්‍රන්ථය සඳහන් කරයි.


උෟව පළාතේ හපුතලේ, බදුල්ල, ඇල්ල, බණ්ඩාරවෙල, වැලිමඩ, උෟව පරණගම, පස්සර, සොරණාතොට, වියලුව සහ මහියංගණය දක්වා ගම් නියම්ගම් රැසක රාවණ ඉතිහාසයට අයත් නටබුන් අද දක්වා සුරක්ෂිතව තිබීමෙන් රාවණ ඉතිහාසයට ලැබෙන්නේ ඉමහත් ආලෝකයකි. උෟව පළාතේ සෑම කන්දකටම තවත් කන්දක සිට ගමන් කළ හැකි උමං මාර්ග පද්ධතියක් එදා නිර්මාණය වී තිබිණ.

ඇල්ල- වැල්ලවාය පාරේ පිහිටි රාවණ ගුහාවද දුටුවන් සිත් ආකර්ෂණය කරන මනරම් ස්ථානයකි. ඇල්ල පුරාණ විහාරය සමීපයේ කඳු ගැටයක තිබෙන රාවණ ගුහාව මිනිසුන් සියයකට එක්වර රැස්විය හැකි විශාල ගල්ගුහාවකි. මෙහි එක් කෙළවරක ගුහාවට අයත් උමං මාර්ගය වෙයි. මිනිසකුට දෙකට නැමී එම උමං මාර්ගය තුළට යා හැකි වුවත් සැලකිය යුතු දුර ප්‍රමාණයක් ගමන් කළ විට ඕනෑම උස මිනිසකුට ඉතා පහසුවෙන් ගමන් කළ හැකි මහ උමඟ හමුවන බවත්, ඒ උමං මඟ තුළින් මහා ගුහාවට හා නමුණුකුල මහ උමං මාර්ගයට ගමන් කළ හැකි බවත් තමා තම වැඩිහිටියන්ගෙන් අසා ඇති බව බිම්තැන්නේ ආදී වාසියකු වන 'රාවණගේ කන්ද' නමැත්තකු 1960-05-27 වැනි දින තමන්ට පැවැසූ බව ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර සඳහන් කරයි.

මෙම උමං මාර්ගයේ එක් ‍ෙදාරටුවක් බලංගොඩ පාතාලගිර කන්දේ ඇති බව ඔහු පවසා ඇත. පාතාලගිරට ගමන් කිරීම ඉතා දුෂ්කර කාර්යයකි. එදා පාතාලගිර ලෙස හඳුන්වා තිබෙන්නේ බලංගොඩ ව්ර්ණීව්ර්ථීඡ්අධ්ඹ් වත්තට අයත් භූමි ප්‍රදේශයයි. වසර 1956 දී ආදම් ජී ලුක්මන් ජී සමාගමට අයත් වූ මෙම තේ වත්ත කොළඹ සිට සැතැපුම් 85ක දුරින් පිහිටා තිබිණ. රජයේ ඉඩම් වාර්තාවනට අනුව මුහුදු මට්ටමෙන් අඩි 1,800ත් -5,000ත් අතර උස ප්‍රමාණයක පිහිටා ඇත.
හපුතලේ ඔහිය ප්‍රදේශයේ පිහිටි ලෝකාන්තය මධ්‍යයයේ පොළොව යට ඇතැයි කියන උමං මාලිගාවට ගමන් කිරීමට උපයෝගී කර ගෙන තිබෙන්නේ මෙම මාර්ගයයි. මෙම උමං මාර්ග සංකීර්ණයේ තවත් මාර්ගයක් නුවරඑළියේ මහතුඩුගල භූගත මාලිගාවට ඇති අතර එහි සිට කිකිළියාමාන කන්දටද මාර්ගයක් ඇති බව රාවණා කතා පුස්කොළ ග්‍රන්ථය කියයි.

රාවණා රජු වන්දනා කළ උමං දෙවොල තිබෙන්නේ ද ස්ත්‍රීපුර කන්දේ එක් පෙදෙසක පොළොව යටය. ස්ත්‍රීපුර කන්දේ අප්‍රසිද්ධ ජීවිතයක් ගත කළ කොළඹ තිඹිරිගස්යායේ විජේසූරියගේ ‍ෙදාන් චාල්ස් මහතා 1960 මාර්තු 21 වැනි දා තමාට හමුවූ බව ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මා සමඟ පැවැසීය. තමා ස්ත්‍රීපුර කන්දේ උමං මාර්ගයේ ගමන් කළ බවත් එම උමං මඟේ තුන්මංසලක් හමුවෙන බවත් ඒ සැණින් එහාට ගමන් කළොත් මංමුළා වීමට ඉඩ ඇති නිසා තමා නොකළ බවත් චාල්ස් මහතා ආචාර්ය ඔබේසේකරට පවසා ඇත.

ස්ත්‍රීපුර කන්දේ එක් පෙදෙසක පිහිටි උමා දෙවොලේ අඩි 14ක් උසැති උමං දෙවඟනගේ රන් පිළිමයක් ඇති බවත් එම පිළිමයට රාවණ රජු පුද පූජා පැවැත්වූ බවත් පැරැණි පුස්කොළ ග්‍රන්ථයක සඳහන් වී ඇත.
මෙම ස්ත්‍රීපුර කන්දේ උමං පද්ධතියේ සිට බණ්ඩාරවෙල නමුණුකුල කන්දටත් එහි සිට ඔහිය ලෝකාන්තයේ බිම් මාලිගයටත් එහි සිට බලංගොඩටත් උමං මාර්ගය ඇති බව රාවණ කතා පුස්කොළ ග්‍රන්ථයේ සඳහන් වේ. ලෝකාන්තයේ රාවණාගේ භූගත මාලිගයට බලංගොඩින් ඇතුළුවන උමං දොරටුව වසා ඇත.
මාතලේ දිස්ත්‍රික්කයේ සීගිරියද උමං මාර්ග මධ්‍යස්ථානයක් ලෙස ‘රාවණ කතා’ ග්‍රන්ථය හඳුන්වයි. හුළංගමුවේ ඇඹිල්ල විහාරකන්දේ සිට සීගිරිය දක්වා තිබෙන උමං මාර්ගයද දැනට ගරා ැවටී ඇති ප්‍රධාන උමං මඟකි. මෙම උමං මඟ හුළංගමුවේ එක් පැරැණි වලව්වක ඉඩමෙන් මතුවූ අතර එම ඉඩමේ අයිතිකරුවන් විසින් එය වසා දමන ලදැයි ආචාර්ය ඔබේසේකර පවසයි.

විශ්‍රවස්මුනි, කුවේර සහ රාවණ ආදී රජවරුන් කලින් කල ජීවත්වූ සීගිරිය රාවණ යුගයේ මුළු මහත් ලක්දිවම පාලන මධ්‍යස්ථානය විය. මෙම උමං පද්ධතියේ කේන්ද්‍රස්ථානය සීගිරිය වූයේ එබැවිනි. මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ සිට උෟව- වෙල්ලස්ස හරහා කතරගම වැඩහිටි කන්දටත්, හිනිදුම දෙනියාය ප්‍රදේශයේ කඳුවලටත් යා කර තිබුණු ඇතැම් මාර්ග නාග ගෝත්‍රිකයන් විසින්ද නඩත්තු කරනු ලැබූ බව රාවණ කතා මූලාශ්‍ර දක්වයි.

ඔෟෂධ බලයෙන් කළුගල් උණු කිරීමේ තාක්ෂණය අෑත අතීතයේ යක්ෂ ගෝත්‍රිකයන් සතු ඒකාධිකාරයක් විය. කළු ගලක් පාන් ගෙඩියක් මෙන් මෘදු මොළොක් බවට පත්කරවන බෙහෙත් වර්ග රාවණ යුගයේ යක්ෂ ගෝත්‍රිකයන්ට තිබිණි. විශාල ගල් කඳුවල කුහර සාදමින් දර්ශනීය, මටසිලිටු ලෙස උමං මාර්ග කැණීමට එදා යක්ෂ ගෝත්‍රිකයෝ සමත් වූහ.

ඉතා කෙටි මාර්ගවලින් මුළු මහත් ශ්‍රී  ලංකාවේම ගමන් කිරීමට හා සතුරු කරදරවලදී ආරක්ෂා වීමටත් සුවිශේෂ උමං මං පද්ධතියක් එදා භාවිත කර තිබිණ. මෙම උමං මාර්ග පද්ධතිය කොතරම් සූක්ෂ්ම ලෙස ගොඩ නඟා ඇද්ද යන්න වත්මන් භූ විද්‍යාඥයන්ගේ අවධානයට ලක්නොවීම ජාතියේ අවාසනාවක් ලෙස සිතිය හැකිය. (‘රාවණ වත’ සැණකෙළිය 2012-04-15 වැනිදා ඉරිදා ‘මව්බිම’)
නිසි භූ විද්‍යා පරීක්ෂණයකින් තොරව නව ජලාශ යෝජනා ඉදිකිරීම සම්බන්ධයෙන් මතුවිය හැකි අවදානම ‘මව්බිම’ රාවණ වත ලිපියේ කරුණු දක්වා තිබුණේ ඒ අන්දමටය.

නන්දන තෙන්නකෝන්

උපුටා ගැනීම
- http://www.mawbima.lk/55-7442-news-detail.html



No Response to "මව්බිම හෙළි කල රාවණාගේ උමඟ සාදින්නගල කන්දෙන් මතුවෙයි"

Post a Comment

අදහස් සහ උදහස්