-->

Monday, November 25, 2013

වස්ගමුව මහ කැලේ සැඟවුණු හිටි පිළිමයක් !

0

වස්ගමුව මහ කැලේ සැඟවුණු හිටි පිළිමයක් !

උදේ රැයින් ගියේ නැත්නම් හවස් වෙද්දි ආපහු එනවා බොරු. දැන්ම පිටත් වෙමු. රැවුලා අණ දුනි. අඹන් ගඟ තරණය කිරීම සඳහා ඇවැසි කඹය මිලදී ගැනීමට ගිය මා හට කඩ හිමියන් කීපදෙනකු කූද්දවා කඹ ඇත්දැයි විමසා සිටින්න සිදුවිණි. ප්‍රමාදය පිළිබඳව රැවුලා සිටියේ නොරිස්සුම් සහගතවය. "මරුම මනුස්සයව අල්ලගෙන තියෙන්නේ කැලේ අස්සක් මුල්ලක් නෑර පෙන්වයි." හරියට හනුමා වගේ රැවුලා පිළිබඳ සහතිකපත් නිකුත් කරමින් ත්‍රීවීල් 'මාතලී' පවසා සිටියේය. අඹන් ගඟ සැම විටදීම මත් වී ගලනා ගඟකි. ඒ නිසා සුන්දරත්වය පිළිබඳ අටුවා ටීකා ටිප්පනි නොගැළපේ යැයි සිතේ. ගඟක් මත් වී ගලන තැන කෙතරම් සුන්දරද?

සුන්දරත්වය ඇතුළාන්තයේ වූ ආරක්ෂාකාරී බව නිසා මත් වී ගඟ ගලනා ස්ථානය හරහා කඹයක් ඇද ගෙන තරණය කළ යුතු යැයි රැවුලා තීරණය කර තිබිණි. ගං ඉවුරු යා කිරීම සඳහා කඹය එගොඩට රැගෙන යෑම බාර ගත්තේද රැවුලාය. ගඟ දෙගොඩතළා ගිය දිනකට පසු දිනක් වූයේ නම් කඹයක් මඟින් ගඟ තරණය නොකළ යුතු බව සිහි තබා ගන්න යැයි කියූ රැවුලා ගඟ දිය අතරින් නොපෙනී ගොස් නා ගස් මුල් ගොන්නක් අසලින් මතු වුණේය. වස්ගොමුව සහ ජයසිරිපුර ඉම් යා කරන ලද කඹය උපයෝගී කරගත් අපි නඩය ජයසිරිපුරට සමු දුන්නෙමු. කඹයේ එල්ලී ගඟ තරණය අතුරේ යනවාට වඩා අසීරුය. අතුරේ යන විට ආධාරක දෙකකි. ගඟේ යන විට ඇත්තේ දෑත් මත ඇති කඹය පමණි. මහත - දෙහෙත පුද්ගලයකු වුවහොත් කඹය ආන්බාන් කිරීම අසීරු කටයුත්තකි. ඒ මදිවාට කැමරා ආම්පන්නවලට ජලය කාන්දු වීමට ඉඩදිය නොහැකිය. දෙකකුල් ගං පතුලේ වදින විට ලබා ගන්නා වාරුව නොමැති වූවා නම් ගඟ දිය ගැඹුරු කඩඉම පසු කිරීම අපහසු වීමට බොහෝ ඉඩ තිබිණි. එකෙක් පසු පස එකෙක් සේ ගඟ තරණය කරන අප දෙස එගොඩට වී රැවුලා බලා සිටියේ අනපේක්ෂිත කරදරයක් සිදුවුවහොත් මැදිහත් වීම සඳහාය විය යුතුය. කණ්ඩායමේ සියල්ලන් ගඟ තරණය කළේ අපහසුතා රැසක් පරදා යැයි කීම යුක්ති යුක්තය.

මෙතැන් සිට රජයන්නේ සොබා දහමේ නීතියයි. නීතිය මායිම් නොකර වස්ගමුවට පැමිණ සිටින අප සොබාදහමේ නීතියට අනුගත නොවී ක්‍රියා කරන්නේ නම් අනිටු පල විපාකවලටද මුහුණ දීමට හිත හදා ගත යුතු යැයි රැවුලා ඔහුගේ ගම්බද වහරින් පවසා සිටියේය. කුමාරකන්ද මාලිගයට යා හැකි පහසුම මාර්ගය මඩ ඇළට සමාන්තරව ඉහළට යෑම යැයි මා දැන සිටියද ඒ බවක් නොකියා සිටීමට වග බලාගත්තේ කණ්ඩායමේ සිටිය යුත්තේ එක් නායකයකු පමණක් වන නිසාය. එලෙස පැවැසීමට අවශ්‍යතාවක් නොවන බව පසක් කරමින් රැවුලා කටු පඳුරු සහිත යටි රෝපණයක් තිබූ මෙහි කැලෑ මණ්ඩියක් පසුකර මඩ ඇළ කරා කණ්ඩායම රැගෙන විත් තිබිණි. මඩ ඇළ ලෙස හැඳින්වුවද ඇළ සිනිඳු වැලි තලයක් පතුල කරගෙන ගලා යන්නකි. කැලයේ ඉහළ සීමාවට තද වැසි ඇදහැලී ඇති බව පෙන්වා දීමට සේ මඩ ඇළ නව මං උපද්දවාගෙන පහළට ගලා යෑමට යත්න දරයි.

ඒ කාලේ මේ ඇළට මඩ ඇළ කියල කියන්න අරගෙන තියෙන්නේ මාලිගාවේ උදවිය පාවිච්චි කරපු වතුර ගලාගෙන ආපු නිසා කියල තියෙනවා. අපිරිසුදුයි කියන්න 'මඩ' උපයෝගී කර ගත්තා වෙන්ඩ පුළුවන්. කොහොමත් ඒ කාලේ කුමාර කන්ද මාලිගාව අවට විශාල ජනාවාසයක් තිබිල තියෙනවා. ජනප්‍රවාදයේ කියැවෙන කතාවක් හැටියට කුමාර කන්ද මාලිගාව ආසන්නයේ තියෙනවාලු. හිටි පිළිමයක්. ඒ පිළිමේ නේත්‍ර ධාතු විහාරයේ සැතපෙන පිළිමේ දෙසට එල්ල වෙලා තියෙනවලු. මම අවුරුදු ගාණක් කැලේ තියෙන ඔය හිටි පිළිමෙ හෙව්ව. ඒත් හම්බවුණේ නැහැ. හැබැයි ඒ පිළිමේ පිහිටි කළු ගලක කෙටූ එකක් වෙන්න බෑ. මොකද කැලෑවේ ඉඳල සැතපෙන පිළිමේ තියෙන හරිය පේන සීමාවේ පිහිටි කළු ගල් නැහැ. වස්ගමුව තමයි ඒ කාලේ ජනාවාස තිබුණේ. අඹන් ගඟයි පරාක්‍රම සමුද්‍රයට වතුර අරගෙන යන ඇළයි අතර ඇළහැර ගොවි ගම්මාන හැදුවාට ඒ කාලේ ගඟේ වතුරත් එක්ක බලපුවාම ඒ හරිය තමයි ගඟයි ඇළයි අතර ගං දිය පිට දාන සීමාව. එතකොට ජනාවාස තිබිල තියෙන්නේ දැන් අපි ඉන්න හරියේ. ඒත් වස්ගමුව සීමාවේ දැන් අපි ඉන්න හරියේ ඉඳල තියෙන්නේ මුක්කරුවෝ. මුක්කරුවෝ කියන්නේ මැණික් ගරන්න පිටරට ඉඳල සංක්‍රමණය වුණ ජන කොටසක්." මඩ ඇළ දිගේ ඉහළට යෑමේදී එලෙස ඉතිහාසය හාරා ඇවිස්සුවේ රැවුලාය.

ඇළ දිගේ ඉහළට යෑම එක සීරුවට කළ නොහැක්කකි. ඇළ ප්‍රයෝජනයට ගත් අලි රංචු ඇළ දෙපස ඇති ගස්වල අතු කඩා දමා ඇත්තේ වනාන්තරය තුළ මාර්ග තැනීමේ ප්‍රයෝගකාරයන් තමන් යැයි ඒත්තු ගන්වා දීමට මෙනි. ඇළ හරස් කර විශාල ප්‍රමාණයේ අතු තිබූ නිසා කෙටි දුරකට පමණක් අපි දෙපතුල් සිනිඳු වැලි තලයෙන් පිටතට ගත්තෙමු.

"කුමාර කන්දට කිට්ටුයි. අපි එනවා දැනිල වන කුමාරයෝ ටික ඇවිත් ඉඳීද?" රැවුලා එලෙස වන කුමාරයන්ට උපමා කළේ වස්ගමුව ජාතික වනෝද්‍යානයේ වන ආරක්ෂක නිලධාරීන්වය. මාලිගා බිමට ආසන්නවත්ම විශාල නාගස් වැටි දෙකක් මැදින් සමාන්තරව යන ගමන් ලතාවකට අනුගත විය යුතුය. කඳ මහත නා ගස අතු රිකිලි දමන්නේ ඉර එළිය හොඳින් උරා ගැනීමට හැකියාව ඇති උසකින් නිසා ඉරඑළිය පොළොවට පතිත වීමක් සිදුවන්නේම නැත. මාලිගා භූමිය පිළිබඳ නා වැටිය සමඟ මැවෙන්නේ ආශ්‍රම ආකාරයේ මනෝ චිත්‍රයකි. ලංකාවේ භූ විසමතාව අනුව ප්‍රභූ නිවාස සහ නා ගස් අතර ඇත්තේ සම සබැඳියාවකි. මේ වනවිටත් ගරු ගාම්භීර ලෙස නැඟී සිටින වලව් සම්ප්‍රදායට අයත් සෑම ප්‍රභූ නිවාසයක් ආසන්නයේම නා වැටියක් වේ. පස්යාල, අත්තනගලු පාර අද්දර සිට නා ගස් එකසිය අසූ තුනක් පසුකර සබරගමු දිසාවේ පිහිටා ඇති නා වැටිය වලව්ව මසිතට නැඟිණි.


නා වැටිය කෝමළ වූයේ ගල් පාදමකිනි. පාදමක් ලෙස භෞතිකව දැක ගත හැකි වුවද එය මතුකර ගැනීම සඳහා මනස් චිත්‍රයක් මවා ගත යුතුවේ. මනස් චිත්‍රය කෙතරම් දුරකට නිවැරැදි වේ දැයි නොදන්නාමුත්, කුමාර කන්ද මාලිගාව ප්‍රවේශ මාර්ග ලෙස සකසන ලද ගල් පඩි පෙළ 3කින්ද විශාල ප්‍රමාණයේ ගැල් කරත්ත ගමන් කළ හැකි මාර්ගයකින්ද සමන්විත වී යැයි උපකල්පනය කළ හැකිය. මාර්ගය වනය විසින් ගිල ගනු ලැබුවද දෙපස ඇති කළුගල් ගල් පඩි මත වැවී ඇත්තේ කටු පඳුරු විශේෂයකි. මාලිගාව පහළින් දිය අගල් කීපයක් වේ. එම දිය අගල් දෙපස සිට බෑවුමේ වේගයට සමානව වතුර ඉහළට රැගෙන යෑමට සකස් කරනා ලදැයි සිතිය හැකි ගල් දිය වැලක් වේ.

(ඉතිරිය ලබන සතියේ)

ප්‍රභාත් අත්තනායක

උපුටා ගැනීම
- http://www.mawbima.lk/55-23988-news-detail.html



No Response to "වස්ගමුව මහ කැලේ සැඟවුණු හිටි පිළිමයක් !"

Post a Comment

අදහස් සහ උදහස්