-->

Friday, November 29, 2013

බුදුන්ගේ කේෂ ධාතු තැන්පත් කර මහියංගන දාගැබ සෑදූ සමන් දෙවිඳු

0

බුදුන්ගේ කේෂ ධාතු තැන්පත් කර මහියංගන දාගැබ සෑදූ සමන් දෙවිඳු

විජය කුමරු ඇතුළු මුල්ම ආර්යයන් ලංකාවට ගොඩ බසින විට උපුල්වන් දෙවිඳුට බුදු සසුන ආරක්ෂා කිරීම පැවැරුණු බව වංසකතා කියයි. මහා වංසයේ 7 පරිච්ඡේදය අනුව සක් දෙවිඳු උපුල්වන් දෙවිට ඒ වගකීම පවරන ලදුව උපුල්වන් දෙවි පරිභ්‍රාජක වෙස්ගෙන විජය ඇතුළු පිරිසගේ අතේ පිරිත් නූල් බැඳි බව සඳහන් කරයි.

උපුල්වන් දෙවි මෙන්ම සමන් දෙවියන්ද මුල සිටම ලංකාවේ ආරක්ෂාව බාරව සිටි දෙවි කෙනෙකි. බුදු හිමි බුදු බවට පත්වූ නවවැනි මාසයේ මහියංගණයේ යක්ෂ දමනයට වැඩම කළ අයුරු මහා වංසයේ පළමු පරිච්ඡේදයේ විස්තර වෙයි. මෙහිදී බුදු හිමිගෙන් බණ අසා සමන්තකූට වාසී මහ සමන් දෙවි සෝවාන් විය. සෝවාන් බවට පත් එතුමා බුදු හිමිගෙන් පූජා කිරීමට සුදුසු පූජා වස්තුවක් ඉල්ලන ලදුව බුදු හිමි හිස පිරිමැද කේශධාතු මිටක් දුන් බව සමන්ත පාසාදිකා-දීපවංසය-මහා වංසය කියයි. බුදු හිමි දුන් කේශ ධාතු තැන්පත් කොට සමන් දෙවි මහියංගණයේ මුල්ම දාගැබ රියන් හතක් උසට බැන්දවූ බව මහාවංසය පළමු පරිච්ඡේදයේ 33-37 ගාථාවල සඳහන් වෙයි.

මේ අනුව බුදු හිමිගෙන් බණ අසා සෝවාන් බවට පත් සමන් දෙවි මහියංගණ දාගැබේ මුල්ම කොටස බුද්ධ කේශධාතු තැන්පත් කොට ඉදි කළ බව පෙනෙයි. බුදු සසුන ආරක්ෂා කරන බුදු බණ අසා සෝවාන් වූ සමන් දෙවි පිළිබඳ මුල්ම තොරතුරු කිහිපයක් දැන් කෙටියෙන් බලමු.

මහාචාර්ය පරණවිතාන ආසියාතික මහායාන සමිතියේ ලංකා ශාඛාවේ 29 සඟරා කලාපයට "ප්‍රාග් බෞද්ධ ලංකාවේ ආගමික විශ්වාස" නමින් දීර්ඝ ඉංග්‍රීසි නිබන්ධනයේදී කියන පරිදි ආටානාටිය සූත්‍රයේ සඳහන් අටවිසි මහ යක්ෂ සෙනෙවියන්ගෙන් අයකු වූ සුමන යනු මේ සමන් දෙවි විය හැකි බව අදහස් කරයි. ඒ එසේ නම් ඔහු බුදුහිමි කාලයේම ලංකාවේ ජීවත් වූ යක්ෂ අධිපතියෙකි.

ආර්යයන් ලංකාවට ඒමට පෙර මහියංගණ අඩවිය යක්ෂ හෙවත් වැදි ජන කොට්ඨාස බහුල ප්‍රදේශයක් විය.

ගෛගර්ට අනුව මහා වංසයේ "පුලින්ද" යනුවෙන් හඳුන්වන්නේ වැද්දන්ය. ලංකාවේ වැදි ජනයා අවුරුදු 50,000 වඩා පැරැණි දීර්ඝ ඉතිහාසයක් ඇති බලංගොඩ මානවයාගෙන් පැවැත එයි. ඉන්දියාව හා ලංකාව එකම බිමක් ලෙස තිබුණු අඩවියේ මේ වැද්දන් ඉන්දියාවේ සිට පයින් ලංකාවට පැමිණ ඇත.

දකුණු ඉන්දියාව හා ලංකාව අවසාන වරට මුහුදින් වෙන්වූයේ දැනට අවුරුදු 7,000කට පමණ පෙරය. විජය කාලය වන විට බලංගොඩ මානවයාගෙන් පැවැත එන යක්ෂයන් හෙවත් වැද්දෝ ලංකාවේ කඳුකරය ඇතුළු බොහෝ ප්‍රදේශවල විසිරී ජීවත් වූහ. ජාතක පොතේ වලාහස්ස ජාතකය ලංකාවේ රාක්ෂයන් මෙල්ල කොට බලය ලබාගත් සීහළ නමැති වෙළෙන්දකු ගැන කියයි. විජයට බලයට ඒමට උදව් කළ කුවේණී ගැන මහාවංසය මහා මහා වංසටීකා කියයි. කු+වණ්ණා යනු අයහපත් හෙවත් කළුපාට වර්ණය ඇති කාන්තාව යන අර්ථය දෙයි. ඒ අනුව කුවේණිය යක්ෂ නායිකාවකි. එමෙන්ම විජය පැමිණෙන විට කුවේණී ප්‍රධානව මාතෘ මූලික පාලනයක් තම්බපණ්ණි අවට විය. ජනප්‍රවාද අනුව කුවේණිගේ පියා බම්බා රජුය. ගලේවෙලට නුදුරු බම්බාව ඔහු විසූ අඩවිය ලෙස සැලකෙයි. මහියංගණයේ මේ අනුව සමන් ප්‍රධාන යක්ෂ බලය පැවතුණා විය යුතුය.

පසු කාලය වනවිටත් මහියංගණ අඩවිය වැදි හෙවත් යක්ෂ නායකයන් බහුලව විසූ අඩවියක් විය. ගෝඨයිම්බර හා සටන් වැදුණු රිටිගල ජයසේන එවැනි යක්ෂ නායකයෙකි. දුටුගැමුණු රජු කල සොර බොර වැව කළ බුලතා යෝධයා උඩුදුම්බර කිරිපට්ටිය ගම අවට විසූ තවත් යක්ෂ ගෝත්‍රික නායකයකු බව පෙනෙයි.

යක්ෂ ගෝත්‍රික සමන් දෙවි බුදු හිමිගෙන් බණ අසා බෞද්ධ වී සෝවාන් වූ බව පෙනී යයි. මහියංගණයේ මුල්බිම මෙන්ම සමනල කන්ද සමන් දෙවිගේ වාසස්ථානය වූ බව මහාවංසය 1:32:33 ගාථාව කියයි. සමනල කන්දට ඒ නම ලැබුණේද සමන් දෙවිඳු නිසාය.

බුදු හිමි තුන්වැනි වර ලංකාවට වැඩියේද සමන් දෙවිඳුගේ ආරාධනාවෙන් බව වංස කතා කියයි. සොළොස්මස්ථානවලට වැඩ ඒවා පූජනීය බවට පත්කර බුදු හිමි සමන් දෙවිඳුගේ ආරාධනාවෙන් සමනල කන්ද මත
ශ්‍රී පාද ලාංඡනය පිහිට වූ බව මහා වංසය පළමු පරිච්ඡේදයේ 77 ගාථාව කියයි. මෙවර බුදු හිමි සමඟ පන්සියයක් රහත් හිමිවරු ලංකාවට වැඩම කළහ. ශ්‍රී පාදය පිහිටුවීමෙන් පසු දිවාගුහාවේ බුදු හිමි දිවා විහරණය කළ බව "පාලි සමන්තකූට වණ්ණනා" කියයි.

මහියංගණ අඩවියේ අදත් සබරගමුව මෙන්ම සමන් දෙවිඳුගේ බලය අණසක පැතිරී ඇත. සමන් දෙවිඳුගේ වැඩිමල් සහෝදරිය වූ "මහ ලොකු" අදත් යක්ෂ ස්වරූපයෙන්ම මහියංගණය අවට දේවාල කීපයක පුද ලබන්නීය. සමන් දෙවි 'මහලොකු' මෙන්ම මේ අඩවියේ යක්ෂ නායකයකු ලෙස මුලින් පෙනී සිටි බව මින් පැහැදිලි වෙයි. මහියංගණ වැද්දෝ රිටි රැගෙන අහසට දිගු කරමින් පෙරහර අන්තිම දින හඬ නඟමින් පෙරහරේ ගමන් කරති.

බුදු හිමි දෙවැනි වර ලංකාවට වඩින විට ජේතවනාරාමයේ කිරිපලු රුකකට අධිගෘහිතව විසූ 'සමිද්ධි සුමන' නම් දෙවි කෙනකු කිරිපලු රුක රැගෙන බුදු හිමි සමඟ ලංකාවට වැඩි බව මහාවංස පළමු පරිච්ඡේදයේ කියයි. මහා වංසයේ පළමු පරිච්ඡේදයේ 52-58 ගාථා අනුව මෙම 'සමිද්ධි සුමන' හිමි එයට පෙරභවයේ නාගදීපයේ මනුෂ්‍යයකු ලෙස ඉපිද පසේ බුදු හිමි නමකට උපස්ථාන කළ පිනෙන් දඹදිව ජේතවනාරාමයේ කිරිපලු රුකක අධිගෘහිත දෙවියකු ලෙස ඉපදුණු බව මහාවංසය කියයි. මේ කියන සමිද්ධි සුමන හිමි හා සමන් දෙවි දෙදෙනකු විය යුතුය. කිරිපලු නුග රැගෙන ලංකාවට වැඩි සමිද්ධි සුමන දෙවි ආපසු දඹදිව වැඩියාදැයි වංසකතා පැහැදිලිව නොකියයි.

අදත් මහියංගණ හා ඒ අවට පුද ලබන 'මහලොකු' යක්ෂ නායිකාවට කැප වූ දේවාලය මුලින්ම පිහිටා තිබුණේ සොරබොර වෑකන්දේ බව රූපවාහිනී වැඩසටහනකදී කථිකාචාර්ය අත්තනායක එම්.හේරත් පෙන්වා දෙයි. පසුව මේ දේවාලය සොරබොර වෑ කන්දේ සිට දෙහි ගොල්ලට ගෙන ගොස් ඇත.

ශ්‍රී පාද අඩවියේ සමන්දෙවි සුදු ඇත් වාහනයෙන් සැරිසරයි. ශ්‍රී පාදය යන එන අය ආරක්ෂා කරයි. පොළොන්නරු කාලයට අයත් පළමු විජයබාහු රජුගේ (1055-1111) අඹගමුව ශිලා ලිපිය අනුව මේ භද්‍ර කල්පයේ පහළ වූ කකුසඳ, කෝණාගම, කාශ්‍යප හා ගෞතම යන සිවු බුදුවරුන්ගේම සිරිපා සටහන් සමනල කඳු මත පිහිටා ඇත. දිවා ගුහාවේ දිවා විහරණයෙන් පසු බුදු හිමි දීඝවාපියට වැඩි බව මහා වංසය පළමු පරිච්ඡේදයේ 78 ගාථාව කියයි.

උඳුවප් පසළොස්වක සිට වෙසක් පසළොස්වක දක්වා ශ්‍රී පාද වාරය හය මාසයක් පවතී. ඒ හය මාසයේ ශ්‍රී පාද පද්මය මත සමන් දේවාලයේ ඉතා බලගතු රත් හඳුන් ලීයෙන් කර වූ සමන් දෙවි රුව පුද පූජා සහිතව වැඩ සිටී. අවාරය එළඹෙන විට සමන් දෙවිරුව උත්සවාකාරයෙන් රත්නපුරයේ පැල්මඬුල්ලේ ගල්පොත්තාවල රජමහා විහාරයට වැඩමවනු ලබයි. සමන් දෙවිඳුගේ නිත්‍ය වාසස්ථානය සබරගමුවය. ඒ නිසා එතුමා සබරගමුවේ ආරක්ෂිත දෙවිඳු වෙයි. රත්නපුර වන්දනාවේ යන අය වඳින පුදන ප්‍රධාන ස්ථානයක් නම් මෙම ගල්පොත්තාවල රජ මහා විහාරයයි. එහි වීදුරු පෙට්ටියක හාස්කම් ඇති ලියලන ගල් දලුවක් ඇත.

ප්‍රධාන සමන් දේවාලය රත්නපුර මහ සමන් දේවාලයයි. වරක් එය පෘතුගීසීන් කොල්ල කෑ බව එම දේවාලයේ ඇති යුද නායකයන් දෙදෙනකු සටන් වදින ගල් කැටයම හා එයට යටින් ඇති පෘතුගීසි භාෂාවෙන් ලියැවුණු කෙටි ශිලා ලිපියෙන් පෙනී යයි. මේ කැටයම රත්නපුර මහ සමන් දේවාලයට සම්බන්ධ දැයි සැක උපදියි. රත්නපුර මහ සමන් දේවාලයේ පරිවාර දේවාල හතරකි. සතුරු ආපදාවකදී සමන් දෙවිරුව හා පූජනීය පූජා වස්තු මේ පරිවාර දේවාලවලට වැඩමවීම චාරිත්‍රය විය. බොල්තුඹේ-දැරණියගල ඉන් පරිවාර සමන් දේවාල දෙකකි. ජනප්‍රවාද අනුව රාවණ කාලයට අනුව බලගතු රහස් වස්තුවක් බොල්තුඹේ සමන් දේවාලයේ තබා ඇත.

රත්නපුර මහා සමන් දේවාලයේ හා ගල්පොත්තාවල රජමහා විහාරයේ ඇති පැරැණි වටිනා සමන් දේව රූප දඹදෙණියේ දෙවැනි පරාක්‍රමබාහු (1236-1270) රජුගේ අගමැති දේව ප්‍රතිරාජ ඉදිකළ බව පෙනෙයි. ශී්‍ර පාද පද්මයට වැඩමවන රත් හඳුන් සමන්දේව රූපය දේව ප්‍රතිරාජ ඇමැති කරවූවකි.

මහායාන බුදු සමයේ සමන්ත භද්‍ර නමින් එන දෙවිගේ හැඩරුවද සමන් දෙවිඳුගේ හැඩරුවට කිට්ටුය. එහෙත් සමන්ත භද්‍ර මහායාන බෝධි සත්ත්වවරයෙකි.


මහාචාර්ය පරණවිතාන 'ද ගෝඩ් ඔෆ් ඇඩම්ස් පීක්' නමින් ලියා ඇති ඉංගී්‍රසි ග්‍රන්ථය අනුව සමන් දෙවි යනු පාතාල ලෝකයට කරුණා රසයට අධිපති යම රජුය. ධර්මරාජ යනු යම දෙවිඳුට නමකි. ශ්‍රී පාදය නඟිනවිට ධර්මරාජ ගල නමින් ගල්පොත්තක් ඇත. එමෙන්ම වන්දනාකරුවෝ "කරුණාවයි කරුණාවයි" යනුවෙන් හඬ නඟා සාදුකාර දෙති. එය ද සමන් දෙවිඳුන් බවට සාධකයක් ලෙස මහාචාර්ය පරණවිතාන හඳුන්වයි. එමෙන්ම අනුරාධපුර මුල් යුගයේ රජ කළ වළගම්බා රජු (ක්‍රි.ව.88-96) ශිලා ලිපිවල 'පිතිමහරජ' නමින් හඳුන්වා ඇත. 'පිතිමහරජ' යනු යම දෙවියාය. මේ අනුව වළගම්බා යම දෙවි මෙන් පෙනී සිට ඇත.


දඹදෙණි කල ලියැවුණු 'පූජාවලි' ග්‍රන්ථය අනුව දඹදෙණියේ දෙවැනි පරාක්‍රමබාහු රජුගේ (1236-1270) අගමැති දේව ප්‍රතිරාජ ගම්පළ නුවරට ගොස් සමන් දේව රූපයක් කරවා රන්රුවන් පලඳනාවක් එම රූපයට කළ බව පූජාවලිය කියයි. මේ දඹදෙණි කල දේව ප්‍රතිරාජ මෙම සමන්දේව ප්‍රතිමාව කරවා ඇත්තේ මහනුවර අඩවියේ ගම්පළ බව පූජාවලිය පැහැදිලිව කියයි.

ගම්පළ යුගයේ හතරවැනි බුවනෙකබාහු රජු (1341-1351) කල සේනාධිලංකාර ඇමැති කරවූ ලංකාතිලක විහාරයේ බටහිර කුඩා සමන් දේවාලයක් දැකිය හැකිය. ලංකා තිලකය කළේ ස්ථපතිරායර් නම් දකුණු ඉන්දීය ශිල්පියා බව ගඩලාදෙණි ශිලා ලිපියේ කියැවෙයි. මෙම විහාරයේ ඇත්තේ විජයනගර් ගොඩනැගිලි සම්ප්‍රදායයි. ගම්පළ හා ඒ අවට තවත් කුඩා සමන් දේවාල දෙක තුනක් ඇත. ලංකාතිලක විහාරයේ පෙරහරට පසු දිය කපනුයේ මහවැලි ගඟේ බෝතලාපිටිය තොටුපළේදීය.

සීතාවක කල අලගියවන්න මුකවැටි ලියූ සැවුල් සන්දේශය සීතාවක රාජසිංහ රජුට ((1581-1592) සුබ පතා සබරගමුවේ සමන් දෙවි වෙත යැවූ සන්දේශයකි. සැවුල් සන්දේශයේ 187-200 කවිවලින් සමන් දෙවි වර්ණනා කරයි. 205 කවියෙන් සමන් දෙවිඳුගේ බිසව බිසෝදෙවි නමින් වර්ණනා කරයි. සැවුල් සන්දේශය කුමාර දෙවි නමින් සමන් දෙවිඳුගේ පුතාද වර්ණනා කරයි. සැවුල් සන්දේශය සමන්දෙවි සමඟ පුද ලබන පරිවාර දෙවිඳකු වූ සපු කුමරු ගැනද සඳහන් කරයි.

මහනුවර මුල් යුගයේ ඉදි වූ සමන් දේවාලයක් මහනුවර සිට මාතලේ යන පාරේ අලවතුගොඩ ඇත. එය නින්දගම් සහිත පැරැණි සමන් දේවාලයකි. මහනුවර කිට්ටුව ඇති එකම සමන් දේවාලය අලවතුගොඩයි. එහි වාර්ෂික ඇසළ උත්සවයක් පැවැත්වෙයි. අලවතුගොඩ සමන් දේවාලයේ බස්නායක නිලමේ 2010 මහනුවර ඇසළ පෙරහරේ නාථ දේවාල පෙරහරේ ගමන් කළේය. 2011 ඔහු මහනුවර ඇසළ පෙරහරේ ගියේ මහනුවර කතරගම දේවාල පෙරහර සමඟයි. හේතුව මහනුවර ඇසළ පෙරහරේ සමන් දෙවි නියෝජනයක් නැති බැවිනි.

මහනුවර නගර සීමාවේ සමන් දේවාලයක් දක්නට නැත. මහනුවර අද දක්නට ඇති ප්‍රධාන දේවාල පහම කුණ්ඩසාලේ නරේන්ද්‍රසිංහ (1707-1739) හා ඉන්පසු නායක්කාර් යුගයේ ඉදිවූ ඒවාය. සමන්දෙවි බෞද්ධ ශාසනාරක්ෂක දෙවියකු වූ බැවින් හින්දු වත් පිළිවෙත් උතුම්කොට සැලැකූ නායක්කාර් යුගයේදී මහනුවර සීමාව තුළ සමන් දේවාලයක් ඉදිවූයේ නැත. කිට්ටුව සමන් දේවාල පිහිටා ඇත්තේ ගම්පොළ ලංකාතිලක විහාරය හා අලවතුගොඩයි. එහෙත් මහනුවර නගර සීමාවේ සමන් දෙවි පුද ලබන දේවාල දක්නට නැත.

ගල්පොත්තාවල සිට ගිනිගත්හේන හරහා නල්ලතන්නියට උඳුවප් පුර පසළොස්වකට සමන් දෙවිරුව වැඩමවන බැවින් අඹගමුව කෝරලේ හා ඒ අවට විහාර ආශ්‍රිතව සමන් දේවාල දැකිය හැකිය. එය මෑත කල දක්නට ඇති ලක්ෂණයකි.

එස්.කේ. ජයවර්ධන

උපුටා ගැනීම - http://mawbima.lk/55-11008-news-detail.html




No Response to "බුදුන්ගේ කේෂ ධාතු තැන්පත් කර මහියංගන දාගැබ සෑදූ සමන් දෙවිඳු"

Post a Comment

අදහස් සහ උදහස්