-->

Monday, November 25, 2013

ලකේගල කඩන් වැටිලා තියෙන්නේ රාම රාවණාට විදපු මහා ඊතල පහර වැදිලා

0


ලකේගල කඩන් වැටිලා තියෙන්නේ රාම රාවණාට විදපු මහා ඊතල පහර වැදිලා

හූරි ගෙඩි පිළිබඳ සිත පත්ලේ ඇත්තේ අබිරහස් ආනන්දයකි. අබිරහස වූයේ ගෙඩිය තුළ පැලපදියම් වී ඇතැයි කියන විහඟ බළකායය. ආනන්දය නම් එය දෑසින් දැකීමේ හෝරාව උදාවේ යැයි යන්නය.

හූරිගෙඩි ඇතුළේ පුදුම විදියට මී මැස්සෝ ඉන්නවා. දෙබරු, බඹුරු ඉන්න හූරු ගෙඩිත් නැතුවා නොවෙයි. මී මැස්සෝ, දෙබරු, බඹරු අතරින් වඩාත් භයානක සතා තමයි බඹරා. ලකේගලට කිට්ටුව තියන හූරි ගෙඩිවල වැඩිපුරම ඉන්නේ බඹරු. අපි පහුකරපු කළුනික පොකුණේ උඩ පැත්තට වෙන්ඩ හැදිලා තියන හූරි ගෙඩිවල වැඩිපුරම ඉන්නේ බඹරු. පරණ මිනිස්සු කතාවට වගේ කියනවා බඹරු කියන්නේ රාවණා උත්තමයාගේ විහඟ සේනාව කියලා. මී මුරේ ගම්වැසියොයි, රණමුරේ ගම්වැසියොයි මීට අවුරුදු පහකට විතර කලියෙන් අවුරුද්දකට සැරයක් ලකේගල උඩට නැඟලා පිරිත් කියනවා. ඒ පිරිත ඇහෙන සීමාවේ තියෙන දෙබර කූඩවල ඉන්න දෙබරු පිරිත ඇහෙද්දී ලකේගල සීමාවට එනවා. හැබැයි ඒ එන්නේ මිනිසුන්ට කරදරයක් නොවන විදියට. දෙබර කූඩ වෙන මොනම සද්දයකටවත් ඇවිස්සෙන්නේ නැහැ. කාටවත් කරදරයක් දෙබරුන්ගෙන් වුණා කියලා සඳහනකුත් නැහැ. හැබැයි එක දෙයක් තියනවා. දෙබරු කලබල වෙනවා. ඒක තමයි ක්‍රින්..... ක්‍රින්...... ගාන සද්දේ. නිකන් හිතමු ඒක හරියට බත් කූරෙක් එහෙම නැත්නම් කුරුමිණියෙක් ඉගිල්ලෙන සද්දේ වගේ කියලා. ඒ සද්දෙට දෙබරු කලබල වෙනවා. සම්පූර්ණ හූරි ගෙඩියේ තියෙන දෙබර වදේ අත ඇරලා සද්දේ ආපු සතා පස්සෙන් පන්නවා. පන්නවා කියන්නේ වැරැදි වචනයක්. ඇත්තටම වෙන්නේ පස්සෙන් යන එක. කුරුමිණියෙක් ඒ සද්දේ කළා නම් දෙබරුන්ට ඒ සතා විනාශ කරන එක ලේසි වැඩක්. ඒත් එහෙම නැහැ. වෙන්නේ පස්සෙන් යන එක විතරයි. ඒක හරි පුදුම වැඩක්.

දෙබරුන් රොනට වඩින සමනලයන් මල් පසු පස යන්නා සේ ක්‍රින්.... ක්‍රින්... ශබ්දය පසු පස යෑම පිළිබඳ මුතූට, හේරත් බණ්ඩාට සේම මා හටද වූයේ එකම අදහසකි. එය සමපාත වන්නේ රාවණා රජුටය. රා මදින්නා පෙර දින රාත්‍රියේ පවසා සිටි ලෙස දෙබරුන් යනු එකලදී රාවණා රජුගේ විහඟ බළකායය. ක්‍රින්.... යන ශබ්දයට අනුගත දෙබරුන් ශබ්දය පසු පස හඹා යෑම තම රාජකාරිය ලෙස ගෙන ඇතැයි උපකල්පනය කළ හොත් එම ක්‍රින්... ශබ්දය යනු විධානයකි.

දෙබරුන්, බඹරුන් සහ මී මැස්සන් සත්ත්ව විශේෂ අතරින් සුවිශේෂ වන්නේ තම ජාන පද්ධතියට අඩු හානි පමුණවමින් ඉදිරි පරම්පරාව ශක්තිමත් කරන නිසාය. ඒ අරුතින් ලකේගල සීමාවේ දෙබරුන් නොඉඳුල් ජාන පරම්පරාවක සාඩම්බර උරුමක්කාරයන්ය. ඔවුන් දෙවැනි වන්නේ සීගිරියේ සිටින දෙබරුන්ට පමණි. සීගිරියේ සිටින දෙබරුන් බෙර හඬ තම විධානය ලෙස සලකනවා සේ ක්‍රින්.... ක්‍රින්.... හඬ ලකේගල සීමාවේ දෙබරුන්ගේ විධානය වී ඇති සෙයකි.

අපි දෙබර කූඩ තැනූ හූරි ගෙඩි විශාල ප්‍රමාණයක් පසු කළෙමු. දැන් ලකේගල පෙනෙන සීමාවය. ලකේගලේ හැඩේ අප දැක ඇති ලෙසින් දැකීමට නම් පැමිණිය යුත්තේ මීමුරේ සිටය. අපගේ පැමිණීම රණමුරේ දෙසින් සිදු වූ නිසා ලකේගල දිස් වූයේ කවාකාර දිගැති හැඩයකටය.

"මේ හරියේ තමයි ලකේගලින් කඩා වැටුණා කියන ගල් තියෙන්නේ. තව ටික දුරයි. හරියටම ගත්තොත් මෙතැන තියෙන ගල් ලකේගලින් කඩා වැටිලා ගිය කෑලිවලට සමානයි. ඒ කාලේ මෙතැන තිබිලා තියෙන්නේ විශාල වැවක්. වැව පිරෙන්ඩම ලකේගල කඩා වැටුණා කියලා තමයි ඉතිහාසය කියන්නේ. ඒක වෙලා තියෙන්නේ රාම - රාවණා යුද්දේ වෙලාවේ. බැලුම්ගල සීමාවේ ඉඳලා ඔත්තු බලපු රාම කුමාරයා ලකේගල උඩ කඳවුරු බැඳලා හිටිය රාවණා රජතුමාගේ සේනාවට මහ ඊතලයකින් පහර දුන්නලු! ඒ පහර දීමට තමයි ලකේගලේ කෑල්ලක් කඩා වැටිලා තියෙන්නේ. ඒ ඊතලයේ මහ තලය වැටුණ තැන තමයි මාතලේ කියන්නේ"


අප පසුකරමින් සිටි විශාල පර්වත සහිත භූමි භාගය පිළිබඳ මුතූගේ හඳුන්වා දීම එලෙසය. රිවස්ටන් කඳු පන්තියේ මෙවැනි පිහිටීමක් අතිශයින්ම දුර්ලභය. එලෙස පවසන්නේ කිසිසේත් භූමිය නෑකමක් නොදක්වන ලෙස විශාල පර්වත ගණනාවක් තනි තනිව එකා පිට එක සිටින ලෙස සැකසී ඇති නිසාය. මෙම පර්වත අතහැර දමන ලද වෙඬරු දඬුසේය. මහ පොළොව සමඟ කිසිදු ඇයි හොඳයි කමක් නැති පර්වත ලකේගල දෙස ඇස යොමා සිටින දුවා දරුවන් වැනිය. ලකේගල කැඩී යෑම නිසා මෙම පර්වත පහළ වූවායැයි යන්න ප්‍රවාදයක් වුවත් එය නිසි ලෙස අධ්‍යයනයක් කළ යුතු වන්නේ හෙළ ඉතිහාසයේ විශාල වපසරියක් මෙම පර්වත වසාගෙන සිටිනා හෙයිනි.

"රණමුරේ මුත්තා ගාව ලකේගල කඩා වැටිලා රාවණා උත්තමයාගේ කළුනික පොකුණ වැහිලා ගියා කියලා කියන කවියක් තියෙනවා. කළුනික පොකුණේ තිබ්බ ඔෟෂධවලින්ලු ඒ වෙලාවේ යුද්ධ කරපු සේනාව බෙහෙත් හදාගෙන තියෙන්නේ. පොකුණ වැහිලා ගිය එක රාම - රාවණ යුද්ධය පරදින්න ගොඩක් දුරට බලපෑවලු" මුතූ එලෙස පවසා සිටියේය.

මෙවැනි පහදා ගත යුතු තැන් පහදා ගැනීම සඳහා ඉතිහාසයේ එක් වකවානුවක ලියැවුණු මහා භාරතය, සෘග් වේදය. යජුර් වේදය වැනි වේද ග්‍රන්ථ පරිශීලනය කිරීමට පෙලැඹුණ ඉතිහාසඥයන්ට එම අත්භූත කතා ප්‍රවෘත්ති තව දුරටත් මිථ්‍යාවක් නොවන බව දැන ගැනීමට ලැබුණු අවස්ථාවන්ද එමටය. ප්‍රාග් ඓතිහාසික යුගයන්හිදී න්‍යෂ්ටික යුද්ධයක් ඇති වූයේ නම් එය කළ හැකි අධිවේගී ගුවන් යානා සහ න්‍යෂ්ටික අවි තිබිය යුතුවේ.

රාමායණයද එලෙසය. මහා භාරතය සහ රාමායණයේ ඇති සමාන සිදුවීම් ඉසිඹු ඥානයකින් පරිශීලනය කරන විට ගුවනින් යන පුෂ්පිත රථ, රාවණා රජුගේ පුත් ඉන්ද්‍රජිත් හඳට ගොස් එතැන සිට ආලෝක ධාරා ප්‍රහාර එල්ල කිරීම, රාවණාගේ අවි ගබඩාවේ තිබී විභීෂණ ලබාදුන් රහස් අවියකින් රාවණාට පහර දීම වැනි කතා පුවත් හිතලුවකින් එහා ඉමකට ගිය ඒවා බව පෙනී යන්නේය.

මෑත ඉතිහාසයේදී හිට්ලර් දෙවැනි ලෝක යුද්ධයේදී භාවිත කළ රොකට් සහිත ජෙට් යානාවල තාක්‍ෂණය ලබාගෙන ඇත්තේ කාශ්මීරයේ ලනාන් ප්‍රදේශයේ යැයි කියැවේ. මහා භාරතයේ සඳහන් ආකාරයට රාවණාගේ ගුවන් කේන්ද්‍රයන් ලවාන්වල පිහිටියේලු! මෙම කතා පුවත් එලෙස පවසා සිටියේ හේරත් බණ්ඩාය.

ලබන සතියේදී

ලකේගල කඳු මුදුනේදී හමුවෙමු

ප්‍රභාත් අත්තනායක

උපුටා ගැනීම
- http://www.mawbima.lk/55-37152-news-detail.html



No Response to "ලකේගල කඩන් වැටිලා තියෙන්නේ රාම රාවණාට විදපු මහා ඊතල පහර වැදිලා"

Post a Comment

අදහස් සහ උදහස්