Monday, November 25, 2013

අපි යක්‍ෂ ගෝත්‍රයේ අය කලවම් නැති හොඳම සිංහලයෝ

0

අපි යක්‍ෂ ගෝත්‍රයේ අය කලවම් නැති හොඳම සිංහලයෝ

කන්ද මුදුනට යන්න යන්න ගල් පඩි පේළිය පටු දිගැටි ස්වභාවයකට පෙරැළෙනවා. එළිමහන් බිම්වලින් පදාසක් පුරා විසිර ඇත්තේ පර්වත. පර්වත මුදුනත පමණක් පස් සේදී යෑම නිසා "උඩට ඉලිප්පී" පෙනෙන්න පටන් අරගෙන.

එළිමහන් භූමියේ වූ එක් මුල්ලක විශාල ප්‍රමාණයේ වේ තුඹසක් අසල මා ගිමන් හැරීමට සූදානම් වුණා. මගේ දෙපසින් ගන වනය අෑතට විහිද ගොස් තිබුණ අතර ඉහළින් සහ පහළින් තිබුණේ ගල් පඩි පේළිය. මා සිටි තැන සිට යාර කීපයක් ඉදිරියෙන් වූ බෑවුම් සහිත බිමක තණ පඳුරු අස්සේ කුඩා සතකු ඔබ මොබ යනවා දැක සතා ඇඳින ගැනීමට මා උත්සාහ ගත්තා. උෟ බිළාල වර්ගයට අයත් සිවුපාවකු බව පෙනෙන්නට තිබුණත් සාමාන්‍ය උසකින් වැඩී තිබූ තණපත් නිසා ඇස් මානයේදී සතා හැඳින ගන්නට බැරි වුණා.

ඉතා කලාතුරකින් පමණක් දක්නට ලැබෙන සතකු යැයි ක්‍ෂණිකව හැඟී ගියත් සතා පසුපස යෑම අවදානම් සහගත යැයි ඒ සා වේගයෙන්ම මට තේරුම් ගියා.
මා වෙත පැමිණි හේරත් බණ්ඩා, "දිවියෙක් මේ පළාතේ කරක් ගහන්න පටන් අරගෙන" යැයි පවසා සිටියා. ඔහු එලෙස පැවැසුවාට පසු මා දුටු දර්ශනය විස්තර කිරීම අනුවණ යැයි සිතූ මා හැකි ඉක්මනින් කඳු මුදුනට යෑම සඳහා පය ඉක්මන් කළා.

කඳු මුදුනේ එක් කොනක ගිරිකුළු දෙකක් මැදි කරගත් විශාල ගව ගාලක්. හරක් දෙතුන් සියයකින් සමන්විත පට්ටියක් වුව ගාල් කළ හැකි එම ගව ගාල එක් පැත්තකින් පමණක් දඬු වැටකින් ආවරණය කරලා. කඳු පාමුල හොර ගල් අහුලන්න වූ සිවුපාවා අනෙකකු නොව දිවියා බව පැහැදිලි සහගත වූයේ ගව ගාල නිසා. ගවගාල්වල අලුත උපන් වසු පැටියන් ඩැහැගෙන කැලෑ වැදීමට හුරු පුරුදු වූ දිවියකු පිළිබඳව මඟ පෙන්වන්නා වූ මුතු හෙළිදරව් කිරීම් පෙළක් සිදු කළා.

වැඩි වයස් ඇත්තකු නොවූ දිවියා යහන්ගල සීමාවේ හේන් කළ ගොවීන් විසින් පන්නා දමන ලද්දෙක්. සතා මේ සීමාවට පැමිණියාට පසු මිනිසුන්ට මුලිච්චි නොවී සිටීමට වග බලා ගත්තත් වසු පැටියන් සහ කලාතුරකින් කැලෑ වදින එළුවන් පිළිබඳ වගකීම් නිසි ලෙස ඉටු කරනවාලු. කුඩා ප්‍රමාණයේ සිවුපා සතුන් සියල්ලන්ම පාහේ මේ වන විට දිවියාගේ ගොදුරු බවට පත්ව තිබෙනවා.

"රිවස්ටන් කන්දෙ විශේෂත්වය තමයි දෙමළු නැති එක. සුද්දගේ කාලෙ එක තේ මණ්ඩියක් තිබුණා නම් මේ පළාතත් අද වෙද්දි තේ වතුවලින් වැහිලා තියෙයි. කලවම් නොවිච්චි සිංහලයෝ තමයි මේ හරියේ ඉන්නෙ." මඟ පෙන්වන්නා පමණ ඉක්මවාගත් ජාතිවාදියෙක්. සිංහලකම කරපින්නාගත් අයෙක්. "එනසාල් මණ්ඩිවල ශ්‍රමිකයන් ලෙස සේවය කරන්න ආ දෙමළ පිරිස් තලවකැලේ, හැටන් ප්‍රදේශවල පදිංචියට ගියා. දැන් මේ පළාත තනිකරම සිංහලයන්ගේ. ඇරත් අපි යක්‍ෂ ගෝත්‍රයේ අය. කලවමක් නැති හොඳම සිංහලයෝ" මුතූ එලෙස පවසන්නේ මේ වන විට රටේ අධිනිශ්චය වූ මතයන් සමඟ මාද එක්කාසු වී ඇතැයි සිතාය.

හරක් ගාල් බලා කියාගෙන කන්දේ නතර වී සිටින පුද්ගලයන් මාස කීපයකට සැරයක් ගම්මානය කරා එන අය. කිතුල් මැද හකුරු සෑදීම, හරක් ගාල් තදාසන්නයේ ඔවුන් සිදු කරන්නේ රාජකාරි දෙකක් එකවර ඉටුකරගත හැකි නිසා.

මස් මාංස හිඟ නැති නිසා ගම්මානය කරා ඔවුන් පැමිණෙන්නේ ලුණු ඇඹුල් සොයා ගන්නට යැයි හේරත් බණ්ඩා පවසා සිටියා. "කෑම බීම තිබුණත් ලෑම නැතිකම ගම්මානයට එන්න එක හේතුවක්" එලෙස පවසා සිටියේ පිරිසේ එක් අයෙක්.

අප හරක් ගාල් අතහැර නැවැතත් ගමන ආරම්භ කළා. නිශ්චිතව අප කඳු මුදුනත වූ පැතලි බිම් කඩකට පැමිණෙමින් සිටින බව තේරුම් ගත හැකි වුණේ් ඉර බැසගෙන යන යුරු දිස් වූ නිසා. කඳු මුදුන් පැතැලි ස්වභාවයක් ගැනීම මෙම ප්‍රදේශයේ භූ විසමතාවේ ප්‍රධාන ලක්‍ෂණයක්. උදාහරණයක් ලෙස අපගේ අවසන් ගමනාන්ත දෙකෙන් එකක් වන ලකේගල ගතහොත් එහි මුදුනත හිස් පිට්ටනියකට සමයි. දෙවැන්න වූ යහන් ගලත් එලෙසයි. පැතලි බිම් කඩ මත මිනිස් පා සටහන් දක්නට නෑ. ඉතිහාසය පුරා මෙම වනාන්තරය තවත් වනාන්තරයක් විසින් ගිලගනු ලැබූ බවට වූ ලකුණු පමණයි එහි දක්නට ලැබෙන්නේ.

"වතුර පාරවල් එක පාරටම ගලාගෙන එන්න ගන්නවා. එහා මෙහා වෙන්න බැරි ගානටත් වතුර එනවා. ලකේගල පැත්තට කොහොමත් වහිනවනෙ. ඒ වතුර පාර තමයි කැලේ මැදින් ගලාගෙන එන්නෙ. මේ කඳු පන්තියෙන් එක කන්දකට දෙකකට හැමදාම වහිනවා. මේ කතාවේ ඇත්ත නැත්ත කපුකෙටූ ගල ළඟදී එකපාර ගල් අතරින් වැටෙන වතුර පාරවලින් ඔයාලටම දැකගන්න පුළුවන්. අනික මේ බිම රාවණාගේ කාලේ වැවක්ලු.

වැවේ නම පතහන් වැව. වැව ඉස්මත්තෙ තිබ්බ ගුහාවේ තමයි රාවණා සීතාව හංගගෙන හිටියා කියන්නෙ. සීතා ඒ ගල් ගුහාවේ ඉඳලා කපු කැටුවාලු. ඒ හින්දලුනෙ මේ ගලට කපුකෙටූ ගල කියන්නෙ. වැව ගොඩවෙලා තියෙන්නෙ රාම කුමාරයා ලකේගලට පහර දෙද්දි කඩාගෙන වැටුණ මහ ගල් කඳන් නිසා. අපි පොඩි කාලෙත් මේ කැලේට ඇවිත් තියෙනවා.

පරිසරය එදා මෙදාතුර කිසිම වෙනසක් වෙලා නෑ. රාවණාට පින් සිද්ධ වෙන්න අපේ තාත්තලා දැක්ක පරිසරය අපිත් දැකලා අපේ දරුවොත් අද දකිනවා" එලෙස පවසා සිටියේ හේරත් බණ්ඩාගේ බෑනා විසින්. දස අත සීතල ගතියක් සහ අඳුරු මූසල ස්වභාවයක් රජයන්ට අරගෙන. ගෝන්නු කෑ ගසන හඬ මිස වෙනත් සතකුගේ හඬක් ඇසෙන්නේවත් නෑ. මේ වන විට සුළඟට එහා මෙහා වෙන තුරු ලතා අතරින් කපුකෙටූ ගල පෙනෙන මානයට අපේ කණ්ඩායම පිවිසෙමින් සිටියා.


ප්‍රභාත් අත්තනායක


උපුටා ගැනීම - http://www.mawbima.lk/55-28830-news-detail.html




No Response to "අපි යක්‍ෂ ගෝත්‍රයේ අය කලවම් නැති හොඳම සිංහලයෝ"

Post a Comment

අදහස් සහ උදහස්

..