-->

Monday, November 25, 2013

ලෝකෙ අයට රිවස්ටන් ගම්මුන් හට රිවස්-ටර්න්

0
ලෝකෙ අයට රිවස්ටන් ගම්මුන් හට රිවස්-ටර්න්

සුදු ගඟට ඇදෙන දිය කඩිත්ත ගාවදී හමුවුණු බෝධා මාමා හිටියේ හරි කේන්තියකින්. පුතා අඳේට ගත්ත හේන් කෑල්ලේ ගම්මිරිස් වැල් ඉන්දවන්න ගිහින් එන ගමන් තමයි බෝධා මාමා අපිට හමුවුණේ. උපන්තේකට රණමුරේගමින් පිට ගිහින් දවසක් ඉඳල නැති බෝධා මාමා එනසාල් වවපු ගොවියෙක්. ඒ මදිවාට අක් වැසි ගැන විශ්වාසය තියල රණමුරේට හාවුණ රිවස්ටන් රක්‍ෂිතයේ හේන් කරපු එකත් උපන් දවසේ ඉඳල බෝධා මාමගේ පරම්පරාවේ උදවිය කරල තියෙනවා. කඳු පන්තියක හේනක් කරනවා කියන එක සමතලා බිමක හේනක් කරනවා කියන එකට වඩා අසීරු කටයුත්තක්ලු!

බෝධා මාමා මුලින්ම කතා කරන්න ගත්තේ ගැමි වහරින්. ඒ මෙන්න මේ විදියට.
කුලේ නැඟල අපි කවදාවත් දිය ලණුවක්වත් බුරුල් කළේ නැහැ. ඒ මොකද අපි එහෙම කරන්න පටන් ගත්ත නම් අද වෙද්දී මේ මහ හිමේ අතුරුදන් වෙලා. අක්වැස්ස අල්ලල පහළ හීන්නේ තමයි අපි අතුල් වැටි, පෙඳ වැටි, දඬු වැටි දාල බිජු වැව්වේ. මූකලානට අත නොතියා කනක මඩවපල්ලා කියල තමයි අපේ කිරිඅත්තල, හීං අත්තල කියල දුන්නේ. අක්වැස්ස අල්ලල දාගත්තම ඉස්සරේ කඩාගෙන කවුරුත් ඉස්සර වුණේ නැහැ. ඒ හින්ද මල ඇළවල් ඔහේ ගලාගෙන ගියා. සත්තුන්ට නිදහසේ ඉන්න ඕනෑ කරන බිම් ප්‍රමාණය නිදහස් වුණා.

බෝධා මාමා එහෙම කතා කරන එක තේරුම් ගැනීම පිළිබඳ තරගයක් බවට පත්වන බව දැක්ක රණමුරේගම තරුණයෙක් දන්න විදියට කතාව සරල කරන්න කියල බෝධා මාමට යෝජනා කළා. සරලකම කියන්නේ ජනවහර අතහැර කතා කිරීම නෙවෙයි කියල දන්නව වුණත් ඒ යෝජනාවට අපට කැමැති වීමටයි සිදුවුණේ. බෝධා මාමගේ කතාවට මගේ හිත ඇදිල ගියත් එය දිගින් දිගට නඩත්තු කළ නොහැක්කක්. අතරතුරදී දරු මුනුපුරෝ එහෙම ඉන්නවද කියල මම බෝධා මාමාගෙන් ඇහැව්වා. ඒ ජනවහරින් පිට පනින්න හිතාගෙන.

මොකෝ නැත්තේ. එවුනුත් දැන් අනාථයි. මගේ පුතා අද වෙද්දී රජයේ රස්සාවක් කරන කෙනෙක්. ඒ හින්දා අපි ඔළුව ගහගෙන ඉන්නවා. නැත්නම් අමාරුයි. ඉස්සර අපි හේන් කරද්දී අර මහත්වරු මේ මහත්තුරු කරදර කළේ නැහැ. අපිම හේන කපල සුද්ද කළා. අලින්ට, සත්තුන්ට ඉන්න කෑල්ල වෙන් කළා. පොඩි සත්තුන්ට ඉන්න ඇරපු කෑල්ල වෙනම තනි කළා. කවුරුත් තණ්හාව මුල්කරගෙන හේන් කළේ නැහැ. හැමෝම හේන් කළේ බඩගින්දර නිවාගන්න. ඒ විදියට බඩගින්දර නිවාගන්න හේන් කරද්දී ගෙයක් දොරක් හදාගන්න කළුපහන පැත්තේ එනසාල් වවන එක කළා. ඒත් ඇත්ත කාරණය තමයි අපි වැඩිපුර මහන්සි වුණේ රිවස්ටන්වල හේන් කරන්න. හේන කියන්නේ අපේ ජාතික දායාදයක්. හේන් කිරිල්ල හින්ද මොනම විදියකවත් පරිසර විනාශයක් සිද්ධ වෙන්නේ නැහැ. හේන කොටද්දී මහ ගස් බේරෙනවා. මහ ගස් උඩ තමයි අපි පැල්කොටේ හැදුවේ. කැට මැස්ස හැදුවෙත් හයිය හත්තිය තියෙන ගස් දෙක තුනක් මැදි කරල. එතකොට දුම්මැස්ස හදන්න එක ගලක් පිටින් ගෙනාවේ නැහැ. තියෙන ගල් ගලවලා ගත්තෙත් නැහැ. දඬු වැටිය ගැහැව්වේ හින්න කෑල්ලේ කියන ගල්වලින්.

එතකොට සෝදාපාලුව අඩුවුණා. හිටෙව්වේ මිරිස්, කුරහන්, මෙනේරි, බටු වගේ දේවල්. ඒවා හිටවන්න කලියෙන් කැලේ සුද්ධ කරල ගිනි තිබ්බට පස්සේ මොනම දෙයක්වත් හිටවන්නේ නැතිව පොඩි කෑල්ලක් අතඇරල දැම්ම. ඒ කෑල්ල අතඇරියේ ගින්නට පස්සේ ඉබේ හැදෙන බෝගවලට. ඒ කියන්නේ තුඹ කරවිල, අඟුණකොළ, එක එක අල ජාතිවලට. ගින්දර එක්ක පිච්චුන පොළොවේ විතරයි ඒවා සරුවට හැදුණේ. ඊට පස්සේ ඒ කෑල්ලේ පණුවෝ, ගැඩවිල්ලු හැදෙන්න ගන්නවා. ඒ සත්තු කන්න තව පොඩි පොඩි සත්තු එද්දී ඒ කෑල්ලෙ පොඩි මානා කැලයක් හැදිල. ඒ කැලේ ඇතුළේ හාවෝ, ඉත්තෑවෝ ඇවිත් පැලපදියම් වෙනවා. ඔය විදියට තමයි හේන් කෑල්ල හැදුණේ. හේන් දෙකක් අතර අපි තව හේන් දෙක තුනක් කරන්න පුළුවන් ඉඩකඩ වෙන්කර ගත්ත. ඒ තරමක් ලොකු සත්තුන්ට ඉන්න. අපි ඉඳල හිටල විශේෂ කෑමක් ගන්නවා වගේ අලි ඇත්තු අපි වවන දේවල් කන්න ප්‍රිය කරනවා. ඒක දන්න හින්ද අපේ අය නවදැලි හේන් ටිකක් කැලේ ඉහළ තෙරවලට වෙන්න අත ඇරල දානවා. එතකොට වෙන්නේ අලි ඇත්තු එන එක ඒ සීමාවේදී බාල වෙනවා. ඒක නවදැලි හේන අතඅරින්න බලාගෙන කරන්නේ කයියට. ඒක තමයි ආරක්‍ෂක වළල්ල. එහෙම කළාම අලිය කවදාවත් ගම්වදින්නේ නැහැ. දැන් මේ අපි ඉන්න ඇළ සීමාවට අවුරුදු 30-40කින් අලි ඇවිත් නැහැ.

තද පෑවිල්ලක් ඇල්ලුවොත් කඩාගෙන බිඳගෙන එන අලි රෑන වතුර බිව්වා පිටවෙලා ගියා. ආයේ රැඳෙන්නේ නැහැ. හැමදේම අපි කළේ පරිසරය එක්ක ගැළපිලා. පරිසරය වෙනස් කරගෙන කිසි දෙයක් කළේ නැහැ. රිවස්ටන් කන්දේ තමයි නිදහසේ ඉන්න අලි ඇත්තු වැඩි ගණනක් ඉන්නේ. ඒත් අලි-මිනිස් ගැටුමක් නැත්තටම නැති පළාත තමයි රිවස්ටන්. මොකද අපි පාරම්පරික විදියට හේන් කරද්දී අලින්ගේ පරම්පරාවත් අපි කරන දේවල් මොනවද කියල දැනගෙන හිටියා. මහ කැලේදී මූණට මූණ මුලිච්චි වුණොත් අලිය මනුස්සයව මඟඇරල යනවා මිස කරදර කරන්න එන්නේ නැහැ. මොකද අලි දන්නව අපෙන් ඒ අයට තර්ජනයක් නැහැ කියල. තර්ජනයක් තිබුණා නම් අලි නිකන් ඉන්නෙ නැහැ. ඒ අයගේ පැවැත්ම වෙනුවෙන් සටන් කරනවා. අලි-මිනිස් ගැටුම කියල එකක් තියෙනවා නම් කරන්න තියෙන හොඳම දේ තමයි නීතියට කොටු නොවී පාරම්පරික හේන් ගොවිතැන කරන්න ඉඩ ලබාදෙන එක. ඒක විතර උත්තරයක් ආයේ නැහැ. මේ මහ කැලේ ආරක්‍ෂා කළේ අපේ අය.

එහෙම කැලේ ආරක්‍ෂා කළේ අපේ අයගේ ජීවිත කැලේ එක්ක බැඳිල තිබුණ හින්ද. දැන් කැලේ අපෙන් උදුරාගෙන මුළු ලෝකයටම භාර දීලා. අපේ පරම්පරාව කැලේ ආරක්‍ෂා කළේ නැත්නම් අද වෙද්දී ලෝකයාට භාර දෙන්න තරම් උරුමයක් රැඳෙන්නේ නැහැ.

ඒ විදියට කතා කළේ බෝධා මාමායි තවත් ගමේ තරුණ ගැටයකුයි. කතාව අතරතුර වෙහෙස නිවාගන්නත් එක්ක බෝධා මාමා කවි පද කීපයක් කියන්න ගත්තා. කවි ටික අහල ඉවර වුණාම තමයි මට හිතුණේ බෝධා මාමා වගේ මිනිස්සු තමන්ගේ දුක, දුකට හේතුව නැතිකර ගන්න රස භාවයන් අවදිකර ගන්න උත්සාහ කරන බව.

බෝධා මාමගේ ඒ කවි පන්තිය මම ලියන්න කියල ගත්ත සම්පූර්ණ කතා ප්‍රවෘත්තියම රසමසවුලක් එක්ක ලැබුණු අවුල් පතකට සමාන කළ හැකියි. රණමුරේගම ඉඳල රිවස්ටන් සීමාව ලකුණු වන තැන තමයි ගාල්ලේ ඉඳල රණමුරේ ආපු මහින්ද අයියගෙයි, අපි රණමුරේ ගැන ලිව්ව ලිපි මීට කලියෙන් කියවල පාරිසරික ගොවිතැන ගැන පැහැදිල මෙහෙ ආව ඩයස් අයියගෙයි හේන් තියෙන්නේ. ඒ හේනේ තමයි ගම සීමාව. එතැනින් එහාට නකල්ස් අධිරක්‍ෂිතය. ගමේ අන්තිම හේනේ සාඩම්බර අයිතිකරුවා විදියට මහින්ද අයිය අපට කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.

මම මගේ හේනෙන් පිටට කැත්තක්, උදැල්ලක් අරගෙන යන්නේ නැහැ. එහෙම ගියොත් රුපියල් 10,000ක දඩයක් කන්න බලාගෙන තමයි යන්න වෙන්නේ. මොකටද අපි නිකරුණේ ආණ්ඩුව පෝසත් කරන්නේ. එහෙම වුවමනාවක් අපිට තියෙන්න ඇහැක්යැ. අනෙක අපි දන්න කාලේ ඉඳල මේ රිවස්ටන් කන්දේ මහ කැලේ ඇතුළේ හේන් කළා. කළුපහන පැත්තේ, ඇටැන්වල පැත්තේ, ඉලුක්කුඹුර පැත්තේ හේන් කළා. ආණ්ඩුව කළේ එකපාරම රිවස්ටන් අධි රක්‍ෂිතයක් කරපු එක. ඔය කොයි කවුරු දන්නේ නැති වුණත් ඇත්ත කතාව තමයි හේන කියන එක කැලේට, සත්තුන්ට, මිනිසුන්ට සම්පතක්. කළුපහන හරියේ තිබ්බ එනසාල් මණ්ඩි ඇපේට අරගෙන තමයි ආණ්ඩුව මේ අපරාදෙ කළේ. ඒ කියන්නේ කළුපහනේ එනසාල් ඒ කාලේ අපි රට පැටෙව්ව. ඉන්දියාවෙන් එනසාල් ගේන එක ලාභ වැඩක්. ඒක දැනගත්ත අපේ උදවිය කළුපහන හින්ද නකල්ස් රක්‍ෂිතයට පරිසර හානි වෙනවා කියල මේක අධිරක්‍ෂිතයක් කළා. ඒකෙන් වුණෙත් අපිට හේනක් කරගන්න බිම්කඩක් නැති වුණු එක. පාරම්පරිකව හේන් කරපු මිනිසුන්ට ඒ වගේ විපතක් වුණාම මොනව කරන්නද? ඒ මිනිස්සු දන්න එකම රස්සාව ගොවිතැන.

හැමෝටම මඩ ඉඩම් නැහැ. තිබුණත් ඒ අයත් හේන් කිරිල්ල කරනවා. මේ ප්‍රශ්නය හින්ද අපේ පළාත්වල අම්ම මුත්ත කාලෙදිවත් අහල නැති දේවල් සිද්ධ වෙනවා. ගෑනු රට රාජ්‍යවල යනවා. මිනිස්සු බීල බීල නැති වෙලා යනවා. පොඩි දරුවෝ අනාථ වෙනවා. දරුවන්ට උගන්වන්න බැරිව මවුපියන් ළත වෙනවා. ඒ දැනට වෙන දේවල්. මේ විදියට තව අවුරුදු 3-4ක් ගියොත් මුළු රණමුරේගමම අධිරක්‍ෂිතයටම භාරදීලා අපිට මාතලේට, දඹුල්ලට යන්න වෙන්නේ. මේ පැත්තේ මම විතරයි පිටින් ආපු මනුස්සයෙක්ට ඉන්නේ. අනෙක් අය ගම්කාරායෝ. ඒ මිනිස්සු ගැන මම දන්නවා. ඇත්තටම පව්. තමන්ගේ ප්‍රතිපත්ති පාවා දෙන්න බැරි නිසා ඒ මිනිස්සු පුදුම විදියට දුක් ජීවිතයක් ගෙවන්නේ. මේ පළාත අධිරක්‍ෂිතයක් කරල දැනට අවුරුදු 6-7ක් ඇති. එදා ඉඳල මිනිස්සු ඉන්නේ දුකින්.

රණමුරේ උදවිය නෑකම් කියන්නේ හෙළ යක්ක පරම්පරාවට. කුල, ගෝත්‍ර ගැන වුණත් ඒ අය සාමාන්‍ය මිනිසුන්ට වඩා උනන්දුවක් දක්වනවා. ඒ තමයි  පාරම්පරික උරුමය ගැන ඒ අයට තිබුණු අදහස. අද වන විට වුණත් මොන බාධක, දුක්කම්කටොලු මැද්දේ හේනට, කුඹුරට රසායනික පොහොර නොදාන මිනිස්සු මේ රණමුරේගම ඉන්නවා. ඒ වගේම තමයි කෙම් ක්‍රම, පහන් ක්‍රම සහ සිරිත්-විරිත් එක්ක මේ උදවිය බැඳිල ඉන්නේ.

අවසර ආයුබෝ වේවා! මේ කප පවතින තේකට ඉරු දෙවියෝ, සඳු දෙවියෝ වැඩ සිටින සේක්වා. දඹුලුගල පවතින තේකට වරම් ලබා ශ්‍රී  විෂ්ණු උන්නාන්සේගේ ශ්‍රී  හස්තයෙන් මේ කපට පහළවී වදාළ වැව් බැදි රාජ්ජයට බැල්ම හෙළන අපේ අයියනායක හාමුදුරුවනේ ඔබ වහන්සේගේ අණසකට පවතින ලන්ද, වැවට, වෙලට, ගම් මණ්ඩියට....... යන ලෙස දෙවියන්ගෙන් අවසර ගෙන ආරක්‍ෂා කරන ගොවිතැන දෙවියන් උදෙසා භාර වීම්, පඬුරු බැදීම්, පොල්ගොබ බැඳීම්, කෙසෙල් පට්ට බැඳීම් ආදිය අනුගමනය කිරීම මඟින් දුරදිග යනවා. මීට අමතරව හේන ගිනි තැබීමේදීත් ඔවුන් අනුගමනය කරන්නේ අපූර්ව චාරිත්‍රයක්. ඔවුන් පණ නැති වස්තු දෙස බැලුවේ අපූර්ව අදහසකින්. මෙවැනි මිනිසුන් රටකට අවාසනාවක් නොවන බව දැන දැනම කුමන හෝ අදිසි හස්තයක් අද වන විට රිවස්ටන් කඳු පන්තියේ පාලනය භාර ගෙන ඇතැයි කිව යුතුයි. කෙසේ වෙතත් රාවණ මහ රජු බණ්ඩාර දෙවියන් ලෙස තමන් ආරක්‍ෂා කරන බවත්, වරදට දඬුවම් දීමට බණ්ඩාර දෙවි පසුබට නොවන බවත් ඔවුන්ගේ හෘද සාක්‍ෂියේ කොටසක තැම්පත්ව ඇති සිතිවිල්ලක්.

රාවණ රජු මියැදුණේ නැතැයි බොහෝ දෙනා පවසා සිටියද රණමුරේගම බණ්ඩාර දේවාලයේ මරණයෙන්  පසු මනු ලොව විමානගතව දේවත්වයට  පත්ව තම පරම්පරාවේ ඇත්තන්ගේ ආරක්ෂාව පතා බැලුම් හෙළන බව ගම්මුන් අතර පොදු විශ්වාසයක් පවතියි.
 

රණමුරේදී  බණ්ඩාර දෙවියන් ලෙස  නම් ලබන රාවණා රජු, ගඟේ බණ්ඩාර  බ්‍රාහ්මණ බණ්ඩාර, සෙල්ලම් බණ්ඩාර ආදි නම්  හතකින් පෙනී සිටිමින් තම යක්ක රැහේ ඇත්තන්ගේ දුකට පිහිට වන බව,  හේන කුඹුර සරු කරන බව ගම්මුන්ගේ විශ්වාසයයි. එහෙව් රාවණ රජුට  තවදුරටත් තමන්ව ආරක්ෂා කරන්න යැයි පැවැසීම හේන කුඹුර සරු කර දෙන්න යැයි පැවැසීම මෙම යක්කමේ ප්‍රමුඛ කටයුත්ත වේ.

අලුත් අවුරුදු  චාරිත්‍ර ඉටු කිරීමෙන් අනතුරුව ගමේ දේවාලයේ කපු මහතා හමුවන ගැමියෝ යක්කම සඳහා ඔහුට ආරාධනා කළහ. දෝලාව සැකසීම, යක්ගෙය සැකසීම, තුන්බලේ ඇදීම (දඩයම සාර්ථක කර ගැනීම සඳහා කරන ඉල්ලීම) මැස්ස  (විවිධ දෙවිවරුන් හට අයත් ආයුධ තැබීම සඳහා) හා තොරණ (සමයං දීම මෙහි සිදු කරයි) සාදන අතර පසුව නියම කරගත් පරිදි බණ්ඩාර දෙවියන් උදෙසා යක්කම පැවැත්වේ.

නැකැත පෙර කපුමහතාට පංචතූර්ය නාද මැද පෙරහරින් පත්තිනි සලඹ හා ආයුධ නානුමුර මංගල්‍යයට ගලා යන  පිරිසුදු දිය කඩක් වෙත ගෙන යයි. පසුව නැවැත පැමිණ යක්ගෙය තුළ  ආයුධ තැන්පත් කරනු ලබයි. ඉන්පසුව  ඇරුඹෙන්නේ් කඩ වැසුම් කවි ගායනය. කපුමහත්වරු  බණ්ඩාර දෙවියන්ට ආරාධනා කර  ලෙඩ දුක්, රෝග බිය ආදී අනේක විධ උපද්‍රවවලින්  ආරක්ෂා කර දෙන ලෙස කන්නලව් කරයි. ඉන්පසුව  බණ්ඩාර දෙවියන්  ප්‍රධානව තවත් දෙවිවරුන් මායම් කරයි. ඉන්පසුව එළැඹෙන්නේ යකුන් මායම්  කිරීමය. සිරි යකුන්, කඩවර, මංගර, මල්වඩම් උන්නැහේ, කන්දේකුමාරි කිරි අම්මා, හදුන්කිරි අම්මා, කුකුළාපොළ කිරි අම්මා, වලානේ ලොකු ආදී යක්ෂ යක්ෂණියෝ 17ක් මෙලෙස මායම් කෙරේ.
 

ඉන්පසු සමයං අරී. සමයං  ඇරීම යනු එක් එක් අරමුණුවල  පැවැති ජනී ජනයාගේ අදහස් මුදුන් පැමිණෙන බවට හා එසේ  වන ලෙසට දෙවියන් වෙත භාර කිරීමය. යක්කම සමාප්ත වන්නේ තොරණ හා තුන්බලේ කඩා දැමීමෙනි.

රාවණා රැහේ පරපුර රට ගොඩ     නැව්ව
තුන් සිංහලේ දිව අදටත් රස     පෙව්ව
යුග යුග ගණනකදී දන දන කුස     නිව්ව
කුරහං මලක්වත් නෑ දැන් ගම්     සතුව

අක්වැහි වහින කොට ඇට ඇටි හිටු     වාන
මහවැහි වහින කොට කුරහං වපු     රාන
අඹු දරු රැකෙන මගේ දඬු පැල අහු     රාන
සීතල දුරුතු මහ පැල් කවි මිහි     රාන

සා මුව ගෝන දළ ඇත්දද කෑ     හේන
මා පමණක්ද ගිරවුන්ටත් දුන්     දාන
ඇරුණම හේන වන සතුනගෙ රජ     දාන
පාලුයි ස්වාමිනි වනයක් නැති     හේන

කුරහන් සාටකේ පලඳින     මැතිඳුන්ට
අවනඩුවක්ය මෙය කවිකර     පවසන්ට
නැණ සිත් බලා හැකිනම් මෙය     විසඳන්ට
මහා පාරමිතාවක් වෙයි මතු බුදු     වෙන්ට

අගනුවරට වෙලා විදුවන්     සැතපිච්ච
තුන්කල් දුටුව ගැමි ඥානෙට     හිනැහිච්ච
පරිසර වරදකට ලෝකෙම ණය     වෙච්ච
සාපය මෙයයි මගෙ හේනට වින     වෙච්ච

කතාව - පින්තූර
ප්‍රභාත් අත්තනායක


උපුටා ගැනීම - http://www.mawbima.lk/56-42294-news-detail.html





No Response to "ලෝකෙ අයට රිවස්ටන් ගම්මුන් හට රිවස්-ටර්න්"

Post a Comment

අදහස් සහ උදහස්