Monday, November 25, 2013
රාම - රාවණා යුද්ධයේදීත් රසායනික අවි භාවිත කළාද?
0රාම - රාවණා යුද්ධයේදීත් රසායනික අවි භාවිත කළාද?
ප්‍රථමයෙන් ඔබව නැවත වරක් ලකේගල වටා රැගෙන යෑම මගේ අරමුණයි. එයට බලපෑ සහේතුක කරුණ දැන් පවසමි. ලකේගල යනු ඇස් මානයේදී එකිනෙකට වෙනස් ස්වරූප ගන්නා ගල් පර්වතයකි. පර්වතය පිටතදී බලන කල දිස්වන රූප අඩි කිහිපයක් ගොස් බලන කලදී දිස්වන්නේ නැත. දුරින් සිට ලකේගල නිරීක්ෂණය කරන විට එහි මුදුනත මිනිසුන්ගෙන් පිරවිය හැකි බව පෙනී යනවා වුවද කෙටි පියවර ගණනකදී එම තත්ත්වය වෙනස් ස්වරූපයක් ගනී. එවිට ගලේ උල්හොට වැනි ස්වභාවය නිසා ලකේගලේ තනි පුද්ගලයකුට දෙපයින් නොව තනි පයින් පවා සිටගෙන සිටිය නොහැකි යැයි හැඟී යයි. ඒ පිළිබඳ උපකල්පන දෙකක් වේ. ඒවා හෙළ ඉතිහාසයටද සම්බන්ධ කළ හැකිය. පරිසර වැනුමකට යෑමට කලියෙන් ලියුම්කරුගේ වෑයම ලකේගලේ සුවිශේෂී රූපමය වෙනස්වීම හෙළ ඉතිහාසය සමඟ ගළපා ගැනීමය. ඒ සඳහා පැරැණි පුස්කොළ පොත් රැසක් පරිශීලනය කර ඇති හේරත් බණ්ඩා සහ ඔහුගේ බෑනා වන අධිකාරි සංකාරත් වූහ.
"දඬු මොනරය කියන්නේ එකෝමත් එක කාලෙක කුමාරියක් කුමාරයෙක් පැහැරගෙන එන්න යොදාගත්ත අහස් යාත්‍රාවක් කියන එක ඇත්තක් නෙවෙයි. ඒක විශාල දියුණු තාක්ෂණයක්. මම හිතන විදියට ඒ තාක්ෂණයේ මූලික ප්‍රභේදය රසදිය. මොකද රාවණා වෙද පරපුර නොයෙකුත් නිර්මාණවලට රසදිය භාවිත කළා. රසදිය ඉන්ධනයක් විදියට පාවිච්චි කරලා 1998දී අමෙරිකාව නොවාඩා කාන්තාරයේදී සාර්ථක විදියට ගුවන් ගමනක් සිදු කරල තියෙනවා. හෙළ ඉතිහාසය තුළ තමයි මුලින්ම ගුවන් යානා හමුවන්නේ. ඒ සඳහා තියෙන මූලික සාක්ෂිය දඬුමොනර යන්ත්‍රය පමණක් නොවෙයි. දැන් බලන්න අපි සාමාන්‍යයෙන් භාවිත කරන වචනයක් තමයි ගමන් බිමන් කියන එක. ගමනක් යන්නේ මාර්ගයේ නැත්නම් මහ පොළොවේ. බිමන් කියන්නේ බිම මතින් බැහැරවීම. ඒ කියන්නේ පොළොවෙන් උඩ ගමනක් නැත්නම් අභ්‍යවකාශයේ ගමනක් කියන එක. අහසින් ගිය යානය තමයි විමන නැතිනම් විමානය. දැන් සාමාන්‍ය භාවිතයේ කියන වචනයක් තමයි යකාගේ හැටියට විමානේ කියන එක. ඒ කියන්නේ යක්කු නැතිනම් යක්ෂ ගෝත්‍රිකයෝ පාවිච්චි කරපු විමන් නැත්නම් විමාන ඒ අයගේ තාක්ෂණය මත පදනම් වුණා කියන එක. හේරත් බණ්ඩා එලෙස පවසා සිටියදී රාවණා ඉතිහාසය කාලීන විදුලොව සමඟ සංකලනය කරන අධිකාරි මේ ආකාරයට කතාවට සම්බන්ධ වුණා.
ඇමෙරිකාව ඒ අයගේ පරීක්ෂණ එක්ක ලෝකයේ මූලින්ම ගුවන් යානා වර්ග 3ක් තිබ්බ කියලා කියනවා. ඒ තුන තමයි විමාන, ඇස්ට්‍රා සහ වෛලික්සි. හෙළබසින් විමන කියන්නේ අර කියන විමානවලට. ඇස්ට්‍රා කියන්නේ ආස්තර නැත්නම් අහස් + තර කියන එක. වෙලික්ස් (ඍඥඪතඥයඪ) කියන්නේ ගී්‍රක භාෂාවේ හැඩයට සමාන කියන එක ගළපා ගන්න විදිය.
රාවණ රජතුමා ලියපු එකම එක ග්‍රන්ථයක්වත් වෙනත් භාෂාවලට මුල් අරුතින් පරිවර්තනය වුණේ නැහැ. ඒවා පරිවර්තනය කළේ සංස්කෘතික භාෂාවට විතරයි. විමාන ගැන එතුමා ලිව්ව කෘති බොහොමයක් සංස්කෘතික භාෂාවට පරිවර්තනය වුණේ ගොඩාක් අඩුපාඩු එක්ක. උච්චිය තන්ත්‍රය, කුමාර චිකිත්සා, වටීකා ප්‍රකරණය, රසරත්නකාරය වගේ ග්‍රන්ථවල විමාන තාක්ෂණය පැහැදිලිවම පෙන්නලා දීලා තියෙනවා.
කතාවේ ඉතිරි කොටස ලකේගල තරණයෙන් පසුව පවසා සිටීමට අවසර ලබා දෙන්න. මන්ද යත් ඔවුන් පැවැසූ ඉතිරි කොටසේ අඩංගු අතිශය සුවිශේෂී කරුණ වන ලකේගලේ වෙනස්වන ස්වභාවය අදාළ වන්නේ එහිදී වන නිසාය. ලකේගල කරා අප පා තැබුවේ මීමුරේ දෙසිනි. අප ගල තරණය කළේ කපුකොටුගල තරණයේදී විඳි අනේක කටුක පාරිසරික කරුණ එලෙසින්ම අත්විඳිමිනි. උස් පර්වතයක් තරණයේදී තරණය කරන්නවුන් ඇසේ මායිමේ පැටලීම අනිවාර්යයෙන් සිදුවන්නකි. තරණයේදී අප ඇලී-ගැලී ගියේද එම කරුණේය. ලකේගලට නැඟගත් පසු හාත්පස කඳු පන්තිය සහ එහි උස් මුදුන් දැකගත හැකිය. හමා එන මඳ සුළඟ විටකදී චණ්ඩ මාරුතයක් බවට පත් වුවද එය ගල මත රැඳී සිටීම සඳහා කිසි ලෙසකින්වත් බාධාවක් නොවේ. ලකේගල මතුපිට පැතලිය. ගලේ බෑවුම ඇති කොටස එක් කාලයකදී ගලට සම්බන්ධ කොටසක් කැඩී යෑමෙන් ඇති වූවායැයිද සිතිය හැකිය. සමතලා මතුපිටේ පුද්ගලයන් දෙතුන් සියයකට රැඳී සිටීමට හැකියාව ඇත. අෑත සිට ගල දෙස බලන්නන් හට එවැනි වපසරියක් ගල මුදුනේ ඇතැයි කිසි ලෙසකින් සිතාගත හැකි නොවේ. ලකේගලේ සිට ඔහුගේ කුඩා සහෝදරයන් වන බැලුම්ගල සහ යහන්ගල මනාවට දිස්වේ. ඔවුන් බලා සිටින්නේද තම ලොකු සහෝදරයා වන ලකේගල දෙසය.
"දැන් බලන්න ලකේගලේ ඇත්ත හැටිය. කවුද හිතන්නේ මෙහෙම මතුපිටක් ගලට තියෙනවා කියලා. කාටවත් හිතන්න බෑ. එතන තමයි තැන. රාවණා රජුගේ විමාන ගොඩාක් නතර කරල තිබ්බ තැන තමයි මේ. එකක් නෙවෙයි සමහර විට 10ක් 15ක් විතර. යහන් ගල, බැලුම් ගල එක්ක සම්බන්ධයක් තියාගත්තේ මෙතැන ඉඳල. දැන් බැලුම්ගල කියන්නේ ආරක්ෂක මුර කපොල්ල. එතැන ඉඳලා තමයි සෑම නිරීක්ෂණයක්ම කළේ. මොකද එතැනට ත්‍රිකුණාමලය, ඇනික් පැත්තෙන් මන්නාරම පැත්ත පවා ලස්සනට පේනවා. මාතලේ, වාරියපොළ, බදුල්ල, මොනරාගල, මාතර, රත්නපුර, කළුතර, කුරුණෑගල, ත්‍රිකුණාමලය මේ වගේ තැන්වල උස විමාන තොටුපොළවල් තිබිලා තියෙනවා. හැබැයි ප්‍රධාන මධ්‍යස්ථානය ලකේගල.
අවසන් කළ යුතු තැනින් නැවත ආරම්භය ලකුණු කළොත් මීට පෙර පැවැසූ ආකාරයට ලකේගලේ ඇස් මානය වැදගත් වේ. ඇස් මානයේදී ගල විවිධ හැඩතල මතු කරයි. රාම-රාවණා යුද්ධය සැබෑවට සිදු වූවක් ලෙස අප උපකල්පනය කළහොත් පිළිගැනීමට ඇති කරුණු අතරින් එකක් වන්නේ රාවණාට නැතිනම් යක්ෂ පරපුරට තිබූ ගුවන් යානා ශිල්පීය දැනුම රාම කුමරුගේ පරපුරට නොතිබුණ බවය. ඒ සඳහා තවත් නිදසුනක් වන්නේ හනුමන්තා නම් චරපුරුෂයා ගොඩබිම මුල්කරගෙන මෙහි පැමිණීමය. එවිට රාම කුමරු තම සේනාව සමඟ ගොඩබිම ඔස්සේ මෙහි පැමිණියා යන තර්කය අසත්‍යයෙන් තොර විය යුතය. එකී උපකල්පනයන් නිවැරැදිනම් රාම-රාවණ අවසන් සටන සිදුව ඇත්තේ වස්ගමුව ලකේගල සීමාවේදීය. වස්ගමුවේ ඇති යුදඟනාපිටිය හා මාතලේ දිස්ත්‍රික්කය තදාසන්න ලකේගල, බැලුම්ගල සහ යහන්ගල ඒ සඳහා සාක්ෂි දරයි.
රාම කුමාරයා ආවේ ඇත්තටම මන්නාරමෙන් ගොඩබැහැල, හනුමා කියන සෙන්පතියා හදාපු කෙටිම මාර්ගය දිගේ. ඒ අයගේ පැමිණීම නිරීක්ෂණය කළේ බැලුම්ගලේ ඉඳල. රාමට රාවණ පරදවන්න යුද රහස් දුන්නේ විභීෂණ. ඒක දේශපාලනික කරුණක්. විභීෂණ දුන්න රහස තමයි රාවණාගේ ගුවන් බලය අඩපණ කරල දාන්න කියන එක. ප්‍රධාන ගුවන් කේන්ද්‍රය වුණ ලකේගලට පහර දෙන්න අසීරු වුණේ මේ ස්වාභාවික වනාන්තරය තරණය අපහසු නිසා. ඒත් රාම කුමාරයා යුදඟනාපිටියේ කඳවුරු බැඳල ඉද්දි රාවණා රජු විමානවලින් පහර දුන්නා. උස්සන්ගොඩ හිටිය රාමගේ සෙබළ මුළටත් ඒ එක්කම පහර දුන්නා. ඒ විදියට පහර දෙන්න යොදා ගත්ත තාක්ෂණය රසායනික අවිවලට සමීපයි. ඒ නිසා තමයි උස්සන්ගොඩයි, යුදඟනාපිටියෙයි පස් එක සමාන කාබනික සාන්ද්‍රණයකින් යුක්ත. ඇස් මානයේදී වෙනස් වන හැඩය එක්ක ලකේගල රාවණ රජුට හොඳ බලකොටුවක් වුණා. මොකද යක්ෂ සේනාව ගොඩ බිමෙන් පහර දුන්නේ නැහැ. ඒ අය පහර දුන්නේ අහසේ විමානවල ඉඳල. රාම තමයි ගොඩබිම ඉඳල පහර දුන්නේ. එතැනදි ලකේගල විනාශ කරන්න රාම කුමාරයා මහ ඊතලයක් විද්ද කියනවා. සමහර විට විභීෂණගෙන් තාක්ෂණික දැනුම අරගෙන නිෂ්පාදනය කරපු රසායනික අවියක් විදියට මහ ඊතලය හඳුන්වන්න පුළුවන්. එතැනදි තමයි රාවණාගේ ගුවන් ශක්තිය පිරිහෙන්න ගත්ත තැන. නැත්නම් රාම කුමාරයා දිනන්න හදන තැන.
පරිසරය සමඟ සමෝධානගතව එවැනි උපකල්පනයකට පැමිණීමට ඇති හැකියාව අපි අවතක්සේරු නොකළ යුත්තේ එලෙස සිදුකිරීම සඳහා විද්‍යාත්මක ක්‍රමවේදයන් අප ඉදිරියේ නොමැති නිසාය.
ලබන සතියේ..
ප්‍රභාත් අත්තනායක
උපුටා ගැනීම - www.mawbima.lk/55-11-news-list.html
වර්ගකිරීම් :
ජනශ්රැතිය,
රාවණ ඉතිහාසය,
සුර අසුර
Subscribe to:
Post Comments (Atom)
No Response to "රාම - රාවණා යුද්ධයේදීත් රසායනික අවි භාවිත කළාද?"
Post a Comment
අදහස් සහ උදහස්