-->

Friday, November 29, 2013

දළදා වහන්සේ සහ ශ්‍රී මහා බෝධිය වැඩ සිටි ඉසුරුමණියේ සැඟවුණු කතාව

0


දළදා වහන්සේ සහ ශ්‍රී මහා බෝධිය වැඩ සිටි ඉසුරුමණියේ සැඟවුණු කතාව

ඉසුරුමුණිය ආර්ය ශිෂ්ටාචාරය සතුව පැවැති පූර්ව ඇදහිලි හා විශ්වාසයන්ගේ කේන්ද්‍රස්ථානය බවට පත්වූයේ කිතුවසරට පෙර තෙවැනි සියවස ආරම්භයේ සිටය.

බ්‍රාහ්මණික පූජකවරුන්ගේ මෙහෙය වීමෙන් සිදුවූ මෙම ආගමික පැවැතුම් ඉන්දීය ආභාසයෙන් පෝෂණය වී පැවැතිණ. සාංක්‍රමණික ජීවිතය තුළින් දිවයිනට දයාද කරන ලද කෘෂිකාර්මික පැවැත්ම සමාජයීය සිරිත් විරිත් ඇතුළු සාරධර්ම මෙන්ම ඇදහිලි හා විශ්වාසයන්ද වෙනසකට පත්වූයේ වරින් වර සිදුවූ ආගමනිකයන් රැගෙන ආ ආකල්පයන් තුළිනි. පැරැණි ආර්ය ජනජීවිතය පිළිබඳව අනුරාධපුරයේ කරන ලද පුරාවිද්‍යාත්මක ගවේෂණයන්ගෙන්ද මේ බව සනාථ කරන තොරතුරු හෙළිදරවු කරගෙන තිබේ. ඉන්දියාවේ ගංගා නම් ගඟ බඩ නිම්නයේ ක්‍රිස්තු පූර්ව යුගයට අයත් ආර්ය ජන ජීවිතය පිළිබඳව කරන ලද ගවේෂණයන්ගෙන් ලද තොරතුරු මේ හා සැසඳෙන බව පුරාවිද්‍යා ශිරාන් දැරණියගල මහතා සඳහන් කර තිබේ.

පූර්ව ආර්ය ජන ජීවිතය තුළ මතුවූ ගැටලු සහගත වූ තැන් විස¼දා ගැනීමේ මඟ මතු වන්නේ බුද්ධිය දැනුම අත්දැකීම් හා සහජ හැකියාවන් ඇදහිලි හා විශ්වාසයන් ඔස්සේය. මේ සඳහා භෞතික පැවැත්ම හා චර්යාත්මක පැවැත්ම උපකාර විය. නියඟ ඉඩෝරය දුර්භික්‍ෂ මඟ හැරීම සඳහා සුදුසු කාලයේදී වැස්සද දූ පුතුන් ලබාදීමද ගව මහීෂාදීන් හා පලදාවන් ලබාදීම හා කෙත්වතු සරුසාර කරවා ගැනීමද මෙහිලා විශේෂිත විය. මෙම අපේක්‍ෂා සඳහා විසඳුම් මාර්ග වශයෙන් සලකනු ලැබූයේ ඇදහිලි හා විශ්වාස කරා යොමු වීමයි. වේද ආගමික පැවැතුම් මෙහිලා මූලිකත්වය දැරීය. අග්නි, සෝම, වරුණ හා සූර්ය වැනි දෙවිවරුන් පිදීම ආරම්භ වූයේ අපේක්‍ෂා ඉටුකර ගැනීමේ පරමාර්ථයෙනි. මෙම පිළිවෙත් ඉටුකිරීම බ්‍රාහ්මණික පූජකවරුන්ගේ මෙහෙය වීමෙන් සිදු කෙරුණි. ඉසුරුමුණිය පූර්වයේදී අනුරාධ ග්‍රාමයේ පොදු ජන ජීවිතය හා බැඳී පවතින්නේ මෙම පදනම තුළිනි.

වේද යුගයේ ඇදහූ වරුණ වැනි දෙවිවරුන් පශ්චාත් වෛදික යුගයේ පසුබාමින් වරුණ දෙවියන් හින්දු ආගමික අරමුණු ඔස්සේ ඊශ්වර දෙවියන් බවට පත්වූ බව සඳහන් වේ. බ්‍රාහ්මණික පූජකවරුන්ගේ මෙහෙය වීමෙන් අර්ජුන විෂ්ණු හා ස්කන්ධ වැනි දෙවිවරුන් පෙරමුණ ගෙන තිබිණි.

ආර්යයන් ඉන්දීය දේශයට සංක්‍රමණය වීමේදී ඇතිවූ අනාර්ය සටන්කාමී උද්දාමයන් පරාජයට පත් කරන ලද මෙම යුද අධිපතීන්ට ප්‍රණාමය හිමිවූයේ මෙම පරිවර්තනයෙනි. මෙසේ ඇතිවූ ආගමික වෙනස්වීම් දිවයිනට ළඟා වූයේ බ්‍රාහ්මණික පූජකවරුන්ගේ ආගමනයන් තුළිනි.

ඉසුරුමුණිය බ්‍රාහ්මණික පූජකවරුන්ගේ මෙහෙය වීමෙන් සිද්ධස්ථානයක් බවට පත්වූයේ එහි පිහිටීම ආගමික පරිසරය සඳහා මනාව ගැළපුණු හෙයිනි. උස්වූ ශෛලමය පර්වතයන් මෙන්ම ඇතුළට නෙරාගිය ස්වාභාවික ගුහාවන්ද ජලයෙන් පිරීගිය පොකුණුද නිශ්චල පරිසරයද ඉන්දීය ආගමික ආශ්‍රමයන්ගේ හැඩරුව ගත් හෙයින් ඔවුන්ගේ සිතුම් පැතුම්වලට අනුබද්ධිත වන්නට ඇත.

පළමුවැනි සියවසේ ලියැවුණු ශිලා ලේඛනයක ඉසුරුමුණිය යන්න සඳහන්ව ඇත්තේ "ඉස්සර මණ" යන නාමයෙනි. මහා වංස කතුවරයා මෙම වදන ව්‍යක්ත පාලි භාෂාවට පෙරළුයේ "ඉස්සර සමණ" යනුවෙනි. මහාචාර්ය පරණවිතානයන් මෙම පෙරළිය මුල්වදනේ අර්ථය වියැකී යෑමට හේතුවූ බව පෙන්වාදී තිබේ. පෙර වදනේ සඳහන්ව ඇත්තේ ඉස්සරමණ යන්නයි. එයින් කියැවෙනුයේ මෙම සිද්ධස්ථානය ඊශ්වර දෙවියන්ගේ නාමයට කැපවූ බවයි.

දේවානම් පියතිස්ස රාජ්‍ය සමයේදී මිහිඳු මහ රහතන්වහන්සේ ලංකාවට වැඩම වූ බව වංස කතාවල සඳහන් වේ. එතුමන් දේශනා කළ දහමින් සිත් පහදවා ගත් රාජකීය පවුල් මෙන්ම රටවැසියන්ද සැදැහැති බෞද්ධයන් බවට පත් වූ බව මහා වංසය මෙන්ම දීපවංසයද සඳහන් කර තිබේ. අනුරාධපුරයේ වැසියන් තමන් මෙතෙක් ඇදහූ ආගමික විශ්වාසයන් කෙරෙන් බැහැර වූයේ ඉසුරුමුණියද බෞද්ධ විහාරාරාමයක් බවට පත්කර ගැනිණි. ශ්‍රී මහා බෝධීන්වහන්සේ අනුරාධපුරයට වැඩමවීමේදී ඉසුරුමුණියේ වඩා හිඳුවා පුදසත්කාර කළේ එකල පිළිගත් බෞද්ධ විහාරාය ඉසුරුමුණිය වූ හෙයිනි.

එහෙයින් ශ්‍රී මහා බෝධීන්වහන්සේගේ අංකුරයක් ඉසුරුමුණියේ රෝපණය කිරීමට හේතු වාසනා ලැබීය. ජේතවනාරාම ශිලා ලේඛනයට අනුව පංච මහා විහාරයන්ට අයත්වූ ඉසුරුමුණිය, මහාවිහාරය, ථූපාරාමය, චේතිය විහාරය සහ වෙස්සගිරිය ථෙරවාදී බුදුදහමට අනුව ප්‍රධාන ආගමික මධ්‍යස්ථාන වශයෙන් පිළිගෙන තිබිණි. ඉසුරුමුණිය යන්න ශිලා ලේඛනයේ සඳහන්ව ඇත්තේ ඉස්සර සමණ විහාරය වශයෙනි. මහසෙන් රාජ්‍ය සමයට අයත්වුණු සේ සැලැකෙන මෙම ලේඛනය විස්තර කර ඇත්තේ පංච මහා විහාර පාලනය කළ යුතු බවයි. පැවැති මතභේදකාරී තත්ත්වය හේතු කොටගෙන සිරි දළදා සමිඳුන් අනුරාධපුරයට වැඩමවීමේදී කිත්සිරි මෙවන් රජතුමාට ප්‍රථමයෙන් ඉසුරුමුණියේ වඩා හිඳුවා පුදසත්කාර පැවැත්වූයේ පැවැති තත්ත්වය සමනය කිරීමට වන්නට පුළුවන. විශේෂයෙන්ම මේ සඳහා සුදුසුම ස්ථානය ඉසුරුමුණිය වූයේ එම සිද්ධස්ථානය අනුරාධපුරයේ පැරැණිතම බෞද්ධමය විහාරාරාමය වූ හෙයිනි.

ගුප්ත අධිරාජ්‍ය බලයට පත්වූයේ මෞර්ය අධිරාජ්‍යයේ ඇවෑමෙනි. ඉන්දීය දේශයේ එතෙක් යටපත්ව පැවැති හින්දු ආගමික පැවැතුම් ඇදහිලි හා විශ්වාසයන් යළි ජීවය ලැබුවේ, උද්දාමයට පත්වූයේ බ්‍රාහ්මණික විද්වතුන්ගේ මැදිහත් වීමෙනි. අලහබාද් ප්‍රශස්තියට අනුව ලංකාවද ගුප්ත අධිරාජ්‍යයේ ඇල්ම බැල්මට යොමුවී පැවැති බව පැහැදිලි වේ. බුද්ධගයා ශිලාලේඛනයට අනුව ගුප්ත අධිරාජ්‍යය ලංකාව කෙරේ අනුගමනය කර ඇත්තේ සහනශීලී ප්‍රතිපත්තියකි. සමුද්‍ර ගුප්ත අධිරාජ්‍යයා එම ප්‍රතිපත්තියේ පිහිටා ලක්දිවෙන් වන්දනාවේ යන වන්දනාකරුවනට බුද්ධගයාවේ විශ්‍රාම ශාලාවක් ඉදිකර දීමට කාරුණික වී තිබේ.

මෞර්ය පාලන සමයේ බුදුසමය කෙරෙන් සිදුවූ ආගමික සිතුම් පැතුම්වල වෙනස්වීම හින්දු ආගමික බ්‍රාහ්මණ විද්වතුන්ගේ මනස මහත් වෙනසකට ලක් කෙරේ. ගුප්ත යුගයේදී මෙම හැඟුම් උද්දාමයට පත්වූයේ නව සංකල්පනාවන්ගෙන් පෝෂණය වීමෙනි. මෙම වෙනස ඉස්මතුකර දැක්වූයේ හින්දු ආගමික සංස්කෘතියට අයත් සිද්ධස්ථාන හා වන්දනා මානවලිනි. දෙවියන්ගේ රූ නිර්මිත වූයේ බහු ශිර්ෂ හා බහු හස්ත දරමින් කමනීය විලාසයෙන් දෙවොල තුළ වැඩවසනා ආකාරයෙනි. ඉන් නිරූපිත වූයේ දෙවියන් ජීවමානව වැඩහිඳිනා බවයි. ස්කන්ධ පුරාණය කුමාර සම්භවය, රාමායණ වැනි ග්‍රන්ථ පහළ වූයේ දේව භක්තිය වැඩි කරවන අන්දමිනි. පර්වතය තුළට කාවදින සේ ගුහාවක් නිර්මාණය කොට ඒ තුළින් බුදුන්වහන්සේ මෙන්ම දේව විශ්වාසයන්ද ඇතුළත් ප්‍රතිමා, විචිත්‍ර චිත්‍රවලින් අලංකරණය වූයේ සිත් පහන් කරවන අන්දමිනි. මේ අනුව යමින් ඇල්ලෝරා, අජන්තා, කාර්ලේ වැනි සිද්ධස්ථාන බිහිවීම ගුප්ත යුගයේ විශේෂත්වය විය.

ගුප්ත අධිරාජ්‍යයේ බලපෑම දිවයින කෙරේ යොමුවුවද බෞද්ධාගමික ප්‍රතිපත්තීන්වල පැවැත්මට ඉන් කිසිදු බාධාවක් ඇති නොවිණි. එහෙත් පූර්වයේ පැවැති ඇදහිලි හා විශ්වාසයන් අනුව හින්දු ආගමික පැවැතුම්ද යළි අවදි වී තිබිණි. ඒ සඳහා හේතුදායක වන්නට ඇත්තේ බ්‍රාහ්මණික ආගමනයන් වන්නට පුළුවන. ව්‍යාප්තව පැවැති බෞද්ධාගමික සංවරශීලී සමාජයීය පැවැත්මට එය බාධාවක් නොවිණි. ඇතිවූ මතභේදකාරී තත්ත්වය මෙන්ම ජන ජීවිතයේ පැවැත්මට අදාළවූ ගැටලු සහගතවූ උග්‍ර ජීවන ප්‍රශ්නවලට සහනදායක පිළිතුරු සෘජුවම ලබා ගැනීම අපහසු විය. එහෙයින් පෙර පැවැති ඇදහිලි හා විශ්වාස ඔස්සේ සහනදායක තත්ත්වය අපේක්‍ෂා කෙරිණි. ගුප්ත යුගයේ පැවැති හින්දු ආගමික පැවැතුම් ගලා ආයේ එම හිඩැස පිරවීම සඳහායි සිතිය හැකිය. සමාජයීය පැවැත්ම වෙනසකට පත්වූයේ දේව ඇදහිලි හා දේවබලය කෙරේ විශ්වාසය දැඩිවීමෙනි. හින්දු ආගමික පැවැතුම් මේ අනුව ක්‍රමයෙන් සමාජගත විය.

ඉසුරුමුණිය වෙතද මෙම පැවැත්මේ සලකුණු ළඟා වී තිබුණද බෞද්ධාගමික පරිසරය ස්ථාවරව පැවැතියේ ථෙරවාදී මහා සංඝයා වහන්සේ ඒ සඳහා පහසුකම් ලබාදීම වළකාලූ හෙයිනි. ඉසුරුමුණිය තුළ දේව ඇදහිලි හා විශ්වාසයන්ට ඉඩපහසු සලසාලූයේ විහාරාරාම පරිසරයෙන් බාහිර ප්‍රදේශය ඇසුරෙනි. පර්වත ප්‍රාන්තයේ එළිමහන් භූමිය මේ සඳහා විශේෂිත විය. ඉසුරුමුණියේ පවත්නා යුගල රූපය දේව ඇදහිලි හා විශ්වාසයන් පිළිබඳව ශේෂවී පවත්නා කෞතුක වටිනාකමින් හෙබි ආගමික නිර්මාණයකි. ගුප්ත කාලීන යුගයට අයත් හතර වැනි හෝ පස්වැනි සියවසට අයත්වූ කෘතියකි.

මෙම රුව පිළිබඳව බොහෝ අදහස් ගෙනහැර පෑ විද්වතුන් පූජනීය ස්ථානයක් බව අමතක කරමින් තම හිත අයාලේ හැරියේ වංස කතාවේ එන ප්‍රේම පුරාණයන් ගෙන හැර පාමිනි. මෙම යුගල රූපය වන්දනීය තත්ත්වයට පත්වූයේ ස්කන්ධ දෙවියන්ගේ හා තේවානි දෙවිදුවගේ රූ වශයෙනි. ඉන්දීය දේශයේ ආර්ය ජනාවාස පිහිටුවා ගැනීමේදී අනාර්යයන් හා හමුවූ සටන්කාමී විරෝධතා මැඬලමින් ජය අත්පත් කර දීමට ස්කන්ධයන් සමත්විණ. ලංකාවේද ආර්ය ජනාවාස පිහිටුවා ගැනීමට හැකියාව ලැබී ඇත්තේ ස්කන්ධයන් යක්‍ෂ රාක්‍ෂ ගෝත්‍රයන් හා සටනේ යෙදීමෙනි.

මෙම ස්වදේශික පිරිස් අසුරයන් වශයෙන්ද සඳහන්වේ. පුරාවෘත්තයකට අනුව දිවයිනේ මෙම සටන් මෙහෙයවා ඇත්තේ තාරක නම් අසුරයෙකි. මෙම සටන කෙළවරවී ඇත්තේ කළුතරෙන් මුහුදට ගලා බස්නා කළු ගංගා මුව‍ෙදාර සමීපයේදී බව පුරාවෘත්තයේ සඳහන් වේ. පුරාවෘත්තයට අනුව කළු ගඟින් උතුරු පෙදෙස දේ ශාස්ත්‍ර නමින් හඳුන්වා තිබූ බව පැහැදිලි වේ. රාම - රාවණ පුවත අනුවද මෙම ප්‍රදේශය විභීෂණයන් සතුවිය. අදද කැලණියේ සිදු කරන විභීෂණ දේව වන්දනය ඒහා බැඳී තිබේ. කළු ගඟෙන් දකුණු ප්‍රදේශය හඳුන්වා ඇත්තේ වේලාපුර නමිනි. එම පෙදෙස ස්කන්ධයන්ගේ සේනාවන්ගේ කඳවුරු භූමිය විය. වේල්යනු ස්කන්ධයන්ගේ සුරතෙහි රැඳි හෙල්ලය හඳුන්වන නාමයයි. හින්දු කතාවන්ට අනුව වේල් යනුවෙන් ස්කන්ධ දේවයන් හඳුන්වා තිබේ.

ස්කන්ධයන් යුද්ධ අධිපති දෙවියෙකි. හේ කඩවසම් සිරුරකින් පිරිපුන් බව පැහැදිලි කරනු ලැබ ඇත්තේ තාරුණ්‍යය විදහා පාමිනි. පැලඳි ආභරණ දිව්‍යමය අධිපතියකුගේ ස්වරූපය මවාපායි. කංචුකය අසිපත දරන බව නිරූපණය කර තිබේ. මුහුණේ පළවන සෞම්‍ය ගුණය යුක්තිය හා සාධාරණත්වය අපේක්‍ෂිත බවට සලකුණකි. පසුපසින් දිස්වන ගිනිසිළු සහිත චක්‍රාවලිය දෙවිඳුන් සතු ආධ්‍යත්මික බලය නිර්මාණ ශිල්පියා දුටු අන්දම පැහැදිලි කර තිබේ. එය ඉසුරුමුණියේ යුගල රූපයෙහි පුරුෂ රුව ස්කන්ධ දෙවියන්ගේ බව පැහැදිලි කරන ස්ථාවර දැක්මකි. ස්කන්ධ පුරාණය කුමාර සම්භවය යන හින්දු ආගමික ග්‍රන්ථවල දැක්වෙන ආධ්‍යාත්මික බලය මනාව නිරූපණය කිරීමකි.

යුගල රූපය තුළින් නිර්මාණය වී ඇති තේවානි දෙව්දුව බෙහෙවින් අජන්තා ගුහා නිර්මාණයන් තුළ අන්තර්ගත කාන්තා දේවරූපයන් හා සමානුරූප වේ. හැඳි පැලඳි ආභරණද එම සම්ප්‍රදායටම අනුකූල වේ. ගුප්ත යුගයේ දේවතා රූ නිර්මාණය වී ඇත්තේ තම ප්‍රියාම්බිකාවන්ද සමීප සිටින බව පැහැදිලි කරමිනි. සම්ප්‍රදායානුකූලව එකල පැතැලි තලයන්හි රූ නිරූපණය කිරීම නිර්මාණශීලී ක්‍රමවේදයකි. ගුප්ත කාලීන පැවැත්ම අනුව එම යුගයේදී ස්කන්ධ දෙවියන් පිදීමද අනුගතව පැවතිණ.
උතුරු ඉන්දියාවෙන් බිහිවූ අධිරාජ්‍ය සංකල්පය ගිලිහීයත්ම සමස්ත ඉන්දියාව තුළ කුඩා කුඩා රාජ්‍යයන් බිහිවූයේ ප්‍රදේශයන් මායිම් කර ගනිමිනි. මෙම පැවැත්ම අනුව දකුණු ඉන්දියාව තුළද ක්‍රියාත්මක වූයේ ඒ හා සමරූපී වූ ප්‍රතිපත්තියකි.

දකුණු ඉන්දියාවේ පල්ලව රාජ්‍ය මෙම ප්‍රතිපත්තියේ ප්‍රමුඛස්ථානය ගෙන තිබිණි. අවට පිහිටි සෙසු ප්‍රදේශ තම අණසකට යටපත් කරගත් පල්ලව රාජ්‍යය ආර්ථිකමය අතින් මෙන්ම ආගමික සංස්කෘතික පැවැත්ම අතින්ද සෙස්සන් අභිභවාලීය. මෙහි අපූර්වත්වය පිළිබිඹු වූයේ ශෛලමය නිර්මාණයන් තුළිනි. කාංචිපුරය වැනි නගරවල ඉදිවූ දේවාලය මෙම නිර්මාණ ක්‍රමයේ විශිෂ්ටත්වය හෙබවීය. නරසිංහවර්මන් රජුගේ අනුග්‍රහයෙන් බිහිවූ මෙම නිර්මාණ පල්ලවයන්ගේ විශිෂ්ටත්වය කියාපාන නිර්මාණයන් බවට පත්ව තිබේ.

ලක්දිවද මෙම පල්ලව ආභාසයේ වරම ලද්දේ මානවම්ම රාජ සමයේ ඇතිවූ දේශපාලන සහසබඳතාවන් තුළිනි. ඉසුරුමුණියේ පවත්නා මේ යුගයට අයත් නිර්මාණ මෙම සබඳතාවන් වඩාත් තහවුරු කෙරේ. ක්‍රිස්තු පූර්ව යුගයේ සිට පැවැති හින්දු ආගමික පැවැතුම් ඔස්සේ මෙම පල්ලව ආභාසය ඉසුරුමුණියේ ජනිත වූවායි සිතිය හැකිය. හත්වැනි සියවස පාදක කොට පැවැති මෙම පැවැත්ම ජනතාවගේ අවශ්‍යතාවයන් අනුව ඉසුරුමුණියේ පවතින්නට ඇත. අශ්ව හිස සහිත ප්‍රතාපවත් පුරුෂයාගේ රුව පල්ලව සම්ප්‍රදායට අයත් නිර්මාණයක් ලෙස මහාචාර්ය පරණවිතානයන් හඳුනා ගෙන තිබේ. මහාචාර්යතුමා පර්ජන්‍ය දෙවියන් බවට අදහස් කරන මෙම රුව තවත් විටෙක කපිල මුනිවරයාගේ බවට අදහස් කරයි. හේ අශ්ව හිසින් නිර්මාණය වී ඇත්තේ අග්නි දෙවියන් බවට මතයක් ගෙන හැර පාමිනි. කෙසේ වුවද මෙම රූ ඉසුරුමුණියේ පැවැති ආර්යයන්ගේ පූර්ව ඇදහිලි හා සබඳතා දක්වන බව පැහැදිලි වේ.

අනුරාධපුර යුගයේ විසූ ජනතාව මුහුණ පෑ දැඩි දුෂ්කරතාවක් වී ඇත්තේ වර්ෂාව හිඟකමයි. මේ සඳහා ඉතා දැඩි විශ්වාසයක් තබා ගනිමින් වර්ෂාව පතා දෙවියන්ට කන්නලව් කරන්නට බාර හාර වන්නට ඇත.

මේ අතර අනුරාධපුර වැසියන් පාරම්පරික පැවැතුම් ඔස්සේ ස්කන්ධ දෙවියන්ටද උපහාර දක්වා වැස්ස ලබාදෙන ලෙසට අයැද සිටින්නට ඇත. ඉසුරුමුණියේ පොකුණ අසල සමීප බෙයන්දහි නිර්මාණය වී ඇති හස්තින්ගේ දියකෙළියද මෙවන් වන්දනාවක් උදෙසා නිර්මාණය වූවායි සිතිය හැකිය. හින්දු ආගමික ග්‍රන්ථයන් කෙරෙන් ස්කන්ධ දෙවියන් සතුව හස්ති සේනාවක් විසූ බව සඳහන් වේ. මෙම සේනාව ගැන වර්ණනාවන් තුළින් හස්ති සේනාව වර්ෂාව ඇති කිරීමට සමත්වන බවක් පළවී තිබේ. ඔවුන් දිය කෙළිමින් කරන මඩ කිරීම තුළින් පොළොව සරුසාර වන බවත් වර්ෂාව ඇති වන බවත් විස්තර වේ.

එම අදහසින් යුතුව ඉසුරුමුණියේ මෙම නිර්මාණය සිදු කරන්නට ඇතැයි විශ්වාස කළ හැකිය. පල්ලව දේශයේ කාංචිපුරයේද දෙවොලක් අභියසද මෙවන් නිර්මාණයක් පවතින බවද සඳහන් වේ. ඉසුරුමුණියේ මෙම නිර්මාණයද වර්ෂාව පතා දෙවියනට කරන පුද පූජාවන්ගෙන් හොබවන්නට ඇතැයි අදහස් කළ හැකිය. ගැමියන් පුෂ්පයන් ජලය මත විසුරුවමින් දෙවියන් යදින්නට ඇතැයි විශ්වාස කළ හැක්කේ හින්දු හා සිංහල අවුරුද්දට කෙරෙන ළිඳ හා ගනුදෙනු කිරීම අනුව අදහස් කිරීමෙනි.

උපුටා ගැනීම - http://mawbima.lk/55-12897-news-detail.html





No Response to "දළදා වහන්සේ සහ ශ්‍රී මහා බෝධිය වැඩ සිටි ඉසුරුමණියේ සැඟවුණු කතාව"

Post a Comment

අදහස් සහ උදහස්