-->

Tuesday, August 7, 2012

රාවණාගේ ගුවන් පථය මත ඉදිවූ රජ මහා විහාරස්ථානය

2

රාවණාගේ ගුවන් පථය මත ඉදිවූ රජ මහා විහාරස්ථානය

රාමා, සීතා රාවණා සහ හනුමාන් සොයා ඉතිහාසයට ගිය ගමනක් - 11
දහනව වැනි සියවසේ ජීවත්ව සිටි ලියනාඩෝ ඩා වින්චි ලෝකයේ ප්‍රථමයෙන්ම ගුවන් යානයක ආකෘතියක් හෙවත් සැලසුමක් සකස් කළ බව ද ලෝකයේ ප්‍රථම ගුවන් යානය නිෂ්පාදනය කළේ රයිට් සහෝදරයන් බව ද අපි අසා ඇත්තෙමු.

ඊට පෙර යුගයේ ගුවන් යානා භාවිත කළ බවට තොරතුරු කිසිවක්ම හමු නොවේ. එසේ තොරතුරු හමු නොවුණ ද නැතිනම් හමු වූ තොරතුරු සම්භාරය සඟවා තබා ගුවන් යානය නිපදවීමේ ගෞරවය අපරදිග රටවල් හිමිකර ගත්තා ද යන්න විමසා බැලිය යුතුය.
ඉතිහාස තොරතුරුවලට හසු නොවන දුරාතීතයේ හෙවත් ප්‍රාග් ඓතිහාසික යුගයේ පෙරදිග රටවල භාවිත වූ ගුවන්යානා වර්ග ගණනාවක් ගැනම තොරතුරු අනාවරණය වේ. ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වන්නටත් වසර 2500කට පෙර කාලයේ පෙරදිග රටවල භාවිත වූ ගුවන් යානා පැවති බවද, අපරදිග රටවල් එම ගුවන් යානා පිළිබඳ මැනවින් අධ්‍යයනය කොට ඒ අනුසාරයෙන් නූතන ගුවන් යානය නිපද වූ බව ද ඇතැමුන් ගේ මතයයි.

ප්‍රාග් ඓතිහාසික යුගයේ (තෙත්‍රා යුගයේ) විසූ යක්ෂ ගෝත්‍රික රජෙකු වූ කුවේරට ගුවනින් ගමන් යා හැකි රථයක් පැවැති අතර එය දඬු මොනර යන්ත්‍රය, පුෂ්පක රථය යනාදී නම්වලින් හැඳින් වූ බව කියනු ලැබේ.
මහා බ්‍රහ්මයාගෙන් ප්‍රබල වරය ලද රාවණා කුවේර බලයෙන් පහකොට පලවාහැර ඔහු සතු ලංකා රාජ්‍යය මෙන්ම පුෂ්පක රථය ද පැහැර ගත්තේය. කුවේර සතු ගුවන් යානය පැහැර ගත් රාවණා රජු එය ධාවනය කිරීමේ තාක්ෂණය නොදැන සිටියා නම් එම රථයෙන් ඔහුට ප්‍රයෝජනයක් අත්වන්නේ නැත. පුෂ්පක රථය ධාවනය කිරීමේ තාක්ෂණය දැන සිටි රාවණා එහි රියැදුරු ලෙස යොදා ගත්තේ වායු ය.
දඹදිව අයෝධ්‍යා පුරයේ විසූ සීතා දේවිය පැහැරගෙන ඒමට රාවණා භාවිතා කළේ ද පුෂ්පක නමැති ගුවන් යානයයි. රාම – රාවණා යුද්ධයේ බොහෝ අවස්ථාවන්හිදී ද රාවණා සිය ගුවන් යානය ඒ සඳහා උපයෝගී කර ගත්තේය. රාවණා පරාජය කළ රාම, රාවණාගේ ගුවන් යානය පැහැරගෙන සීතා, ලක්ෂ්මණ ආදීන් ද එහි නංවාගෙන දඹදිව බලා පිටත්ව ගියේය.

එතැන් සිට පුෂ්පක ගුවන්යානය භාවිත වූයේ දඹදිවය. මෙම ගුවන් යානය පිළිබඳ රාවය ලොව පුරා ප්‍රචලිත වූ අතර බටහිර ජාතීන් එහි තාක්ෂණය ඉගෙනගෙන ඒ අනුසාරයෙන් නූතන ගුවන් යානය නිපදවූ බවට ද මත පළ වේ.

තුන්ලොව ජයගත් සක්විති රජෙකු වූ රාවණා ගුවන් යානය පිළිබඳ තාක්ෂණය මැනවින් දැන සිටි අතර ඔහුගේ කාලයේ දී වායුවෙන්, හිරු එළියෙන් මෙන්ම සඳ එළියෙන් ද ධාවනය කර වූ ගුවන්යානා භාවිත කළ අතර ගුවන් යානා හසුරුවීම, ගුවන්ගතකිරීම, ගුවනේ සිට බිමට බෑම ආදිය සඳහා ගුවන් තොටුපොළ භාවිත කළ බව ද කියනු ලැබේ. රාවණාගේ එවන් ගුවන් තොටුපොළ විසි හතරකට වැඩි ප්‍රමාණයක් ලක්දිව පුරා පැවැති බව ද කියනු ලැබේ.

සීගිරිය ගල් පව්ව මුදුනේ වූ මාලිගා නිර්මාණය කළේ යක්ෂ ගෝත්‍රික කුවේර බව ද කුවේරගේ රාජධානිය පැවතියේ සීගිරියේ බවට ද මත පළවේ. එවන් උස් වූ, පුළුල් වූ ගල් පව්වක් මුදුනේ සිය මාලිගා සංකීර්ණය සාදන්නට හේතුව ඔහු ගමන් – බිමන් සඳහා පුෂ්පක රථය භාවිත කිරීමම විය හැකිය.

නමින් කුවේර වුවද ලංකාධිපති වූ කුවේර සියලු සැප සම්පත් විඳිද්දී, රටවැසියා අන්ත දිළිඳු තත්ත්වයට පත්වූ බවද හෙවත් මහජන සුබසෙත නොසැලසූ බව ද ඊට එරෙහි වූ රාවණා ලංකා රාජ්‍යය තමන් සතු කර ගත් බව ද කියනු ලැබේ. අනතුරුව රට සමෘද්ධිමත් කරවූ රාවණා රජු රට සත් රුවනින් බැබළවූ බව ද කියනු ලැබේ. ලංකාවාසී ජනතාව ආහාර අනුභව කළේ ද රත්තරන් භාජනවල බව ද කියනු ලැබේ.

රාවණාගේ එක් ගුවන් තොටුපොළක් වලපනේ ප්‍රදේශයේ පවතින බිංගන්තලාව ලෙසින් හඳුනා ගනිමු. එය හරස්බැද්ද ගමට ඉහළින් පිහිටි දරපනාහෙළ කන්දේ එහා පැත්තයි. පුළුල් තැනිතලාවක් සහිත වේදිකාවක් වන් භූ®මිභාගයක තැනිතලාවේ සිට භූමිය කෙමෙන් උස්වන අතර ගුවන්යානය තැනිතලාවේ සිට ධාවනය කරගෙන විත් කඳු මුදුනෙන් ගුවනට නංවන්නට ඇතැයි ගැමියෝ පවසති. දැනට බිංගන්තලාව ජනාවාසයකි.

කුරණෑගල පුත්තලම මාර්ගයේ වාරියපොළ නගරයට නුදුරින් පිහිටි වාරියපොළ ශ්‍රී සුමංගල පිරිවෙන සහිත රජ මහා විහාරස්ථානය පිහිටි භූමි භාගය ද රාවණා ගේ ගුවන් පථයකට කදිම සාක්ෂියක් සපයයි. මෙම විහාරස්ථානය සම්පූර්ණයෙන්ම පාහේ සෑදී ඇත්තේ ඉතා විශාලව පැතිරී පවතින ගල්තලාවක් මතය. ගල්තලාව සමතලාවට පිහිටා ඇත.
මෙම ගල්තලාව මත අනෙකුත් විහාරාංග අතරට දැනට සක්මන් ඉරියව්වෙන් පවතින ලොව විශාලතම හිටි බුදු පිළිමය ඉදිවෙමින් පවතී. මෙහි ඉදිකිරීම් කටයුතු දැනට ද සිදුවෙමින් පවතී.

වාරියපොළ ශ්‍රී සුමංගල රජමහා විහාරස්ථානය අප රටේ ස්වාධීනත්වය දිනා ගැනීමෙහිලා ද අනගි මෙහෙයක් ඉටු කළ බව අපි දනිමු.
1815 මාර්තු මස 02 දින අස්සන් කරන්නට යෙදුණ උඩරට ගිවිසුමට අදාළව ඉංග්‍රීසින් මහනුවර මගුල් මඩුවේ දී ඉංග්‍රීසි ධජය ඔසොවද්දී අභීතව ඉදිරිපත් වූ ශ්‍රී සුමංගල හිමියන් ඉංග්‍රීසි ධජය පහත හෙළා පයින් පාගා සිංහල දේශයේ කොඩිය එසවීමට තරම් එඩිතර වූ බව අපි දනිමු.

වාරියපොළ ග්‍රාම නාමය වා, රිය, පොළ යනුවෙන් වචන තුනකට කඩා විග්‍රහ කළ හැකිව තිබේ. ‘වා’ යනුවෙන් හැඳින්වෙන්නේ වාතයයි. හෙවත් සුළඟයි. ‘රිය’ යනු රථයයි. ‘පොළ යන්නෙන් වාතය මඟින් ධාවනය කරවීමට සකස් කර තිබූ ගුවන්යානය වෙනුවෙන් සකස් කළ ගුවන් රථ ධාවන පථය අදහස් වෙයි. මින් තවදුරටත් සනාථ වන්නේ ගුවන් රථ ගුවනට නැග්ගවීමටත් ගුවනේ සිට බැස්සවීමටත් භාවිත වූ ගුවන් තොටුපොළක් මෙම ස්ථානයෙහි පැවති බවයි.

එසේම ඉංග්‍රීසි පාලන යුගයේ දී තිබූ සිතියම්වල වාරියපොළ හඳුන්වා දී තිබුණේ ගුවන් තොටුපොළක් (Air Port)  ලෙසිනි.
සිය නැගණිය වූ සුර්පණකාට රාමගෙන් සිදු වූ හිරිහැරය ගැන අසා කෝප වූ රාවණා රජු රාමගෙන් පළිගැනීම සඳහා ලංකාපුරයේ වූ සිය බලකොටුවේ සිට දඹදිව අයෝධ්‍යාව බලා පිටත්ව ගියේ පුෂ්පක නමැති ගුවන් රථයෙනි. එසේ යාමේදී ගුවන් රථය මඳකට වාරියපොළ ගුවන් තොටුපොළට බැස්සවූ බව පුරාවෘත්තවල සඳහන් වේ.

පිරිත් පොතේ විහාර අස්නේ සඳහන් මඩබටවිට හා දොරවක යන රජ මහා විහාරස්ථාන පිහිටි භූමි භාග දෙක ද රාවණා රජුගේ ගුවන් තොටුපොළ දෙකක් ලෙසින් පැවැති බව පුරාවිද්‍යා ගවේෂක ජයරත්න පතිරආරච්චි මහතා සිය ග්‍රන්ථයක සඳහන් කොට ඇත. දන්ඕවිට අසල පිහිටි මඩබඩවිට දහට ගල්ලෙන් සහිත රජමහා විහාරස්ථානයකි. එහි පැවති ගුවන් තොටුපොළ සැතපුම් තුනක් පමණ දිග් වූ බව ද සඳහන් ව ඇත. වරකාපොළ ප්‍රදේශයේ දොරවක යනු ද මීට වසර 7500කට පෙර පැවති පැරණි ගුවන් තොටුපොළක් බව ජයරත්න පතිරආරච්චි මහතා සඳහන් කොට ඇත.

තවදුරටත් මේ පිළිබඳ විස්තර සඳහන් කරන ඔහු රාවණා රජුගේ ගුවන් රථ රියැදුරු අගිනිදූත නම් වූ බව ද සඳහන් කරයි.
 
තව කොටසක් ලබන සතියේ

2 Response to රාවණාගේ ගුවන් පථය මත ඉදිවූ රජ මහා විහාරස්ථානය

August 7, 2012 at 8:42 PM

රාම පුෂ්පක යානය හසුරුවන හැටි ගැන දන ගත්තේ කොහොමද ? කරුණාකරලා එක ගැන පොඩි විස්තරයක් කරන්න .

August 9, 2012 at 12:33 PM

වටින විස්තරයක්....

Post a Comment

අදහස් සහ උදහස්