-->

Thursday, July 7, 2011

වැලිමඩ සානුවේ රාමා-සීතා පුරාවෘත්තයේ මං සලකුණු

0

වැලිමඩ සානුවේ රාමා-සීතා පුරාවෘත්තයේ මං සලකුණු

රාම - සීතා පුරාවෘත්තයට අනුව රාමකුමරු සීතා දේවිය රාවණාරජු හා හනුමාන් චරිතවලට සම්බන්ධ වැදගත් ඓතිහාසික ස්ථාන රැසක් වැලිමඩ සානුව තුළ පිහිටා ඇත.

රාවණා රජු විසින් ඉන්දියාවෙන් පැහැරගෙන එන ලදැයි කියනු ලබන සීතා දේවිය ආරක්ෂා සහිතව රඳවා තබන ලද්දේ ඌව පරණගම තිරවනාගම ප්‍රදේශයේ පිහිටි ස්ත්‍රිපුර කන්දේ ඇති බිංගෙයක බව පැවසේ. 

මෙය අඩි 9ක පමණ විශ්කම්භයකින් යුත් වංගු සහිත විශාල බිංගෙයකි. සීතා දේවිය පමණක් නොව රාවණා රජුගේ අන්තඞපුර කාන්තාවන් 700ක් මේ බිංගෙයෙහි රඳවා සිටි බව පැවැසේ.
සීතා දේවිය ස්නානය කළායි කියනු ලබන සුන්දර මනා දියඇල්ල ස්ත්‍රිපුර කන්දට කි.මී. 3 පමණ දකුණු දෙසින් ලුණුවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආසන්නයේ පිහිටා ඇත. 

එමෙන්ම සීතා දේවියගේ කොණ්ඩෙ ගසා තිබූ කූර සඟවා තැබුවායි කියනු ලබන “ කූරත්ත ‘ කන්ද ස්ත්‍රිපුර කන්දට කි.මී. 3 පමණ බටහිර දෙසින් පිහිටි අලංකාර කදුගැටයකි.

රාම-රාවණා යුද්ධය අවසන් වූ පසු සීතා දේවිය පිළිබඳ රාමකුමරුට ඇතිවූ සැකය නිසා සිතා දේවියට තමා පතිදම් සුරැකි බව තහවුරු කිරීම සඳහා ගින්නට පැන “ අග්නි පූජාවක් “ මගින් දිවුරීමට සිදුවී ඇත.
එදා සීතා දේවිය ගින්නට පැන දිවුරු ස්ථානය වර්තමාන වැලිමඩ නුගතලාව දිවුරුම්වෙල පුරාණ විහාරස්ථාන භූමියේ පිහිටා ඇත. අතීතයේ මේ ස්ථානය දිවුරුම් පොළ නම් වුවත් වර්තමානයේ දිවුරුම් වෙල වශයෙන් ප්‍රචලිත වී ඇත. 

පහුගියදා උත්තර භාරතීය රාම බැතිමතුන් 150 පමණ පිරිසක් දිවුරුමිවෙල පුරාණ විහාරස්ථානයට පැමිණ එදා සීතා දේවිය ගින්නට පැන දිවුරු ස්ථානය වැද පුදාගෙන එම ස්ථානය සංරක්ෂණය කර එහි රාම පර්යේෂණ ස්ථානයක් පිහිටුවීමට මුල්ගල් තබන ලදී. 

සීතාදේවිය හනුමාන් නැමැති වානර රාජයාගේ රැකවරණය යටතේ රඳවා සිටි ස්ථානය වර්තමානයේ සීතාඑළියේ සීතා අම්මාන් කෝවිල් භූමියේ බව පැවසේ. එම ස්ථානයේ ගල් පුවරුවක හනුමාන්ගේ පාද ලාංඡනය සලකුණු වී ඇති අතර අද එම කෝවිල් හා එම පාද ලාංඡනය සහිත ස්ථානය පුද බිමක් වී ඇත.
වාල්මීකීගේ රාමායණයට අනුව දැනට වසර 9000 පමණ ඉහත එදා හෙළදිව රජකළ රාවණා නරපතියාගේ නැගණිය වූ සුපර්ණකාට රාමාගේ සොහොයුරු ලක්ෂ්මන වෙතින් සිදු වූ හිරිහැරයකට පළිගැනීමක් වශයෙන් ඉන්දියාවේ දණ්ඩක වනයේ සිට සීතාදේවිය තම දඬුමොණර යානයෙන් ලක් බිමට පැහැරගෙන ආ බවත්, රාමා - රාවණා යුද්ධයේදී රාමකුමරුට හනුමාන් නැමැති වානර රාජයකුගේ සහාය ලැබී ඇති බවද එහි සඳහන් වේ.

සටහන හා ඡායාරූප-වැලිමඩ විශේෂ
එස්. එච් .ෆාරුක්


ස්ත්‍රිපුර කන්ද හා එහි ඇති බිංගෙයට ඇතුළුවන උමං දොරටුව
සීතා දේවිය ස්නානය කළායි කියනු ලබන මනාඇල්ල




No Response to "වැලිමඩ සානුවේ රාමා-සීතා පුරාවෘත්තයේ මං සලකුණු"

Post a Comment

අදහස් සහ උදහස්