-->

Thursday, June 30, 2011

රාවණ යුගය මිථ්‍යාවක්‌ නො වේ

0

රාමායණය තුළින් රාවණා ඔප්පු කළ හැකි නම් මහා භාරතය තුළින් ක්‍රිෂ්ණ ද ඔප්පු කළ හැකි බවට අභියෝග කරමින් මේ ග්‍රන්ථයෙහි එන සාහිත්‍යමය වර්ණනා මත පමණක්‌ පිහිටා එහි ඇති සැඟවුණු ඵෙතිහාසික පුවත් ද බැහැර කරයි. මේ කෘතීන් දෙක ම වීර කාව්‍යයන් වන අතර ඒවා ඵෙතිහාසික කරුණු පෙළගැස්‌වීමට වඩා සාහිත්‍යමය පදනමක පිහිටා ලියන ලද බැවින් අතිශයෝක්‌ති, අලංකාර, මිථ්‍යා කථා බහුල වේ. එසේ වුව ද වීර කාව්‍යයක්‌ ලියවෙන්නේ මිථ්‍යා පුද්ගලයකු කේන්ද්‍ර කරගෙන නො ව ඵෙතිහාසික වූ වීර පුරුෂයකු මුල් කරගෙන ය. ඒ අනුව රාවණා රජු ඵෙතිහාසික චරිතයක්‌ වන අතර රාමායණය යනු මේ රජු හා රාම කුමරු මුල් කරගෙන ලියවුණු වීර කාව්‍යයකි. මහා භාරතයේ සඳහන් ක්‍රිෂ්ණා ද පුරාතන ඉන්දියානුවන් අතර සිටි වීරවරයකු වන අතර අටළොස්‌ පුරාණ ග්‍රන්ථයන් මඟින් ද ඒවායේ ඇති අද්භූතමය කථා බැහැර කළ විට සැබෑ ඵෙතිහාසික තොරතුරු උකහාගත හැකි ය.

කෙසේ හෝ රාමායණයෙන් ගත හැකි ඵෙතිහාසික කරුණ නම් රාවණා රජු ලංකාව කේන්ද්‍ර කරගෙන ලංකාපුරය නම් රාජධානියක්‌ ඉදි කොට පාලනය කළ අතර එයට යටත් රාජ්‍ය ගණනාවක්‌ ම පැවැති බවයි. එබැවින් එතුමා අධිරාජ්‍යයෙක්‌ ද විය. එසේ වුව ද නිරතුරුව ම දේශසීමා අරගල හා සතුරු බලවේග පැවැති අතර ඒවා උත්සන්න වීමෙන් අවසානයේ දී යුදමය වාතාවරණයක්‌ ඇති විය. එමඟින් මේ අධිරාජ්‍යය විනාශ වූවා පමණක්‌ නො ව ලංකාවේ විශාල කොටසක්‌ මුහුදුබත් වීමෙන් ලංකාපුර රාජධානිය ද විනාශ විය. ශ්‍රී ලංකාව අනාදිමත් කාලයක සිට මුහුදුබත් වීම්වලට හා මුහුද ගොඩගැලීම්වලට ලක්‌ වී ඇති බවට සාධක හමු වී ඇත.

මෙහි දී අතිශයෝක්‌තිය හා මිථ්‍යා කථා බහුල වූ ග්‍රීක වීර කාව්‍ය දෙකක්‌ ඇසුරින් පර්යේෂණ කටයුතු පුළුල් කිරීමෙන් බටහිර පුරාවිද්‍යාඥයන් විසින් පැරැණි ශිෂ්ටාචාරයක්‌ සොයාගනු ලැබීම නිදසුන් වශයෙන් දැක්‌විය යුතු ම ය. එනම් හෝමර් ගේ "ඉලියඩ් සහ ඔඩිසි" මඟින් ට්‍රොaජන් පුරය සොයා ගැනීමත් ඇරිස්‌ටෝටල් ගේ අත්ලන්තිස්‌ පුරාවෘත්තයට" අනුව අත්ලාන්තික්‌ සාගර පතුලේ පර්යේෂණ කිරීමෙන් අත්ලන්තිස්‌ දිවයින සම්බන්ධව යම්කිසි ආකාරයකට කරුණු අනාවරණය කර ගැනීමට දැනට හැකි වී තිබීමත් ය. මේ අනුව රාමායණය, මහාභාරතය වැනි ග්‍රන්ථයන් ද සම්පූර්ණ මිථ්‍යාවක්‌ වශයෙන් බැහැර නො කර තවදුරටත් පර්යේෂණ කිරීමෙන් එහි ඇති සත්‍යතාව සොයාගැනීම මෙහි දී වැදගත් වේ.

තව ද රාවණා රජු පිළිබඳව ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අයත් කුමාර තන්ත්‍රය උඩ්ඩීෂ තන්ත්‍රය අර්ක ප්‍රකාශය වැනි ග්‍රන්ථ මගින් ද කරුණු අනාවරණය වේ. ඒවායේ සඳහන් වන පරිදි මේ කෘතීන් ලංකේශ්වර රාවණයන් විසින් රචනා කරන ලද ඒවා වන අතර එබැවින් එතුමා දක්‌ෂ වෛද්‍යවරයකු වශයෙන් ද සලකනු ලැබේ. මේ කෘතීන්හි දැක්‌වෙන කාලනිර්ණයන්ට අනුව රාවණා රජු ජීවත් වූයේ කලියුග වර්ෂය ආරම්භ වූ සමයේ හෙවත් ක්‍රිස්‌තු පූර්ව දෙවැනි සහස්‍රකයේ ය. එනම් අදින් වසර හාර දහස්‌ ගණනකට ප්‍රථමයෙනි.

තව ද ඉන්දික විතානගේ මහතා ප්‍රකාශ කරන පරිදි ලංකාවතාර සූත්‍රයේ සඳහන් වන්නේ රාමායණයෙහි එන රාවණා රජු බව කීමට සාධක නොමැත. විද්වත් මතයට අනුව "රාවණා" යන වචනය "සූර්යයා ගෙන් උපන්" යන තේරුම ද ගෙන දෙන බැවින් මෙමගින් සූර්ය වංශය නියෝජනය වන බවත් හෙළදිව පාලක පෙළපතේ නාමය "රාවණ" නම් වූ අතර බුද්ධ කාලීනව විසූ මෙරට රාජ්‍ය නායකයා "රාවණා" නම් වූ බවත් තහවුරු කර තිබේ.

තව ද උක්‌ත ලේඛකයා පවසන පරිදි මහායාන වූ පමණින් ලංකාවතාර සූත්‍රය මිථ්‍යාවක්‌ ලෙස බැහැර කළ නොහැකි ය. එනම් බුදුන් වහන්සේට ථෙරවාදය හා මහායාන වශයෙන් භේදයක්‌ නො තිබූ බැවින්, එය පශ්චාත් කාලීනව බිහි වූවක්‌ බව සැලකිය හැකි ය. ලංකාවතාර සූත්‍රය යෝගාචාර විඥනවාදී බෞද්ධ දර්ශන සම්ප්‍රදායට අයත් ග්‍රන්ථයක්‌ වේ. මේ සූත්‍රය පුරා විග්‍රහ වන කරුණුවල සංක්‌ෂිප්ත අර්ථය නම් "අපට ඉන්ද්‍රිය ගෝචර ව පවතින ලෝකය සත්‍ය පැවැත්මක්‌ නො ව විඥානය මගින් නිර්මාණය කරගනු ලැබූ මායාවකට හා සිහිනයකට සමාන වන බවයි". පෙළ බුදු දහමට අයත් ඇතැම් සූත්‍ර දේශනාවන් මඟින් ද මේ කරුණු අනාවරණය වේ. ඒ අනුව විඥානවාදී ඉගැන්වීම් ථෙරවාදී ආර්ථකථනයන්ට වඩා පෙළ බුදු දහමට සමීප වේ. මේ සමීපතාවට අනුව බුදු රජුන් ලක්‌දිවට වැඩම කොට එවකට විසූ "රාවණා" නමැති මෙරට පාලකයා ඇතුළු පිරිසට දේශනා කළ ධර්ම කරුණු පසු කාලීනව අභයගිරිවාසී භික්‌ෂූන් විසින් ලංකාවතාර සූත්‍රය නමින් සකස්‌ කොට ඉදිරිපත් කරන ලද බවට තර්ක කළ නොහැකි ද?

මීට අමතරව ඉන්දික විතානගේ මහතා පවසන්නේ රාවණා යුගය ඔප්පු කිරීමට නම් දඬුමොණර ස්‌ථර ලැබේ වා යි ප්‍රර්ථනා කරමින් අනුරාධපුර තිස්‌සමහාරාමය වැනි ස්‌ථානවල කැණීම් කළ යුතු බවයි. තවත් විටෙක, අප ගේ ස්‌වදේශාභිමානය සඳහා යුරෝපීයයන්ට පෙර අප ගේ මුතුන් මිත්තන් ගුවනින් ගිය බව පෙන්වීමට මේ පුවත වැදගත් වන බව දක්‌වයි. අප ගේ අනාගත කැණිම්වල දී දඬුමොණර ස්‌ථර ලැබීමට මෙන්ම නො ලැබීමට පුළුවන. අනෙක බටහිර ශිෂ්ටාචාරයට වඩා හෙළ ශිෂ්ටාචාරයේ ශේ්‍රෂ්ඨ බවක්‌ දැක්‌වීමට අප ගේ අතීත මුතුන් මිත්තන් යුරෝපීයයන්ට පෙර ගුවන්ගත කරවීම අත්‍යවශ්‍ය දෙයක්‌ නො වේ. ඒ සඳහා මෙහි පැවැති පැරැණි වාරි තාක්‌ෂණය මෙන්ම ගොඩනැඟිsලි වාස්‌තු විද්‍යාව හා සීගිරිය වැනි නිර්මාණයන් ද ප්‍රමාණවත් වේ. ඉන්දික විතානගේ මහතා නො දන්නවා යෑයි සිතෙන යමක්‌ මෙහි දී සඳහන් කළ යුතු ය. අතිපුරාණ කාලවල දී දකුණු ආසියාව තුළ "ගගන තාක්‌ෂණය දියුණු ව පැවැති බවට ප්‍රකට නිදසුනක්‌ වශයෙන් භාරද්වාජ සෘෂීන් ගේ "වෛමානික ශාස්‌ත්‍රය" නම් කෘතිය දක්‌වාලිය හැකි ය. එහි විවිධ හැඩතලවලින් යුත් විමාන නමැති ආකාශ යානා වර්ග ගණනාවක්‌ පිළිබඳ වත් ඒවායේ නිෂ්පාදන තාක්‌ෂණය ගැන පමණක්‌ නො ව ගුවන් නියමුවා ගේ ඇවතුම් පැවතුම් පිළිබඳව පවා අගනා තොරතුරු අන්තර්ගත ව ඇත.

මේ කෘතියේ ඉංග්‍රීසි පරිවර්තන ගණනාවක්‌ ම 19 වැනි සියවසේ අගභාගයේ දී පටන් 1970 දශකය දක්‌වා ම යුරෝපීය උගතුන් විසින් ඉදිරිපත් කරනු ලැබ තිබේ. අන්තර්ජාලය ඔස්‌සේ වුව ද මේ පිළිබඳව තොරතුරු ඔබට ලබාගත හැකි ය. මේ අනුව රාවණා රජු ගේ දඬුමොණර යන්ත්‍රයේ හෙවත් පුෂ්පක විමානයේ අවශේෂ පුරාවිද්‍යා කැණීමක්‌ මගින් හමු වන තුරු බලා සිටීම අනවශ්‍ය වන අතර දඬුමොණරය මිථ්‍යාවක්‌ නො ව සත්‍යයක්‌ බවත් යුරෝපීයයන්ට පෙර අප ගේ මුතුන් මිත්තත් ගුවනින් ගියා පමණක්‌ නො ව මෑත කාලීනව බටහිර රටවල දියුණු වූ අභ්‍යවකාශ තාක්‌ෂණය සඳහා පූර්වාදර්ශයන් ද ලබා දුන් බවත්, මතක තබා ගත යුතු ව ඇත.

ශ්‍රී ලංකාව තුළ මෑතකාලීනව සිදු කරනු ලැබූ පුරාවිද්‍යා පර්යේෂණයන් තුළින් හෙළි කොට ඇති පරිදි අදින් වසර 13000කට එපිට දී මෙහි දියුණු කෘෂිකර්මාන්තයක්‌ පැවැති බවටත්, මීට වසර 3500-4000 අතර සමයේ දියුණු ගොඩනැඟිලි තාක්‌ෂණයක්‌ තිබූ බවටත් කරුණු අනාවරණය වෙමින් පවතී, මේ පර්යේෂණ තවදුරටත් පුළුල් කිරීමෙන් රාවණා අවධිය සම්බන්ධ තොරතුරු ද ලබාගත හැකි ව ඇත. එපමණක්‌ නො ව සයුරේ ගිලී ගියේ යෑයි සැලකෙන ලංකාපුර රාජධානිය පිළිබඳව පර්යේෂණ කිරීමට තරම් මෙරට සමුද්‍රික පුරාවිද්‍යා ක්‌ෂේත්‍රය තවම දියුණු වී නොමැත. එබැවින් ඉහත කී කථා පුවත් ඉඳුරා ම මිථ්‍යාවකැයි බැහැර කළ නොහැකි ය.

එබැවින් අප කළ යුත්තේ සාහිත්‍යමය මූලාශ්‍රයන් ගෙන් ලැබෙන ඵෙතිහාසික තොරතුරු මෙන්ම "වෛමානික ශාස්‌ත්‍ර" වැනි ග්‍රන්ථයන් ද තුලනාත්මකව අධ්‍යයනය කිරීමත් පුරාවිද්‍යා පර්යේෂණයන් පාදක කරගෙන මහාවංශයෙහි දැක්‌වෙන විජයාගමනයට සියවස්‌ ගණනාවකට පෙර අප රට තුළ පැවතුණේ යෑයි කියවෙන අති දියුණු සභ්‍යත්වයත් කරා අවතීර්ණ වීමයි.

එච්. ඒ. කේ. නයනා කුමාරි ආරියරත්න,
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව,
කොළඹ 7.


උපුටා ගැනීම - http://www.vidusara.com/2011/06/22/readers2.html

No Response to "රාවණ යුගය මිථ්‍යාවක්‌ නො වේ"

Post a Comment

අදහස් සහ උදහස්