-->

Sunday, June 12, 2011

පුරාණ සිංහල සෙල්ලිපි ගී

0

ඓතිහාසික හා පුරාවිදු සාධක පදනම් කොට සිංහල ලේඛන කලාවේ ආරම්භය ක්‍රි.පූ. 5-6 සියවස තරම් ඈත කාලයට රැගෙන යා හැකිය. එහෙත් සිංහල ශිලා ලේඛන කලාවේ ආරම්භය ක්‍රි.පූ. 3 වන සියවස තරම් ඈත කාලයට දිවයයි. මුල් කාලයේ ශිලා ලේඛන ගල් ලෙනක කටාරමට පහළින් එක්‌ අක්‌ෂරයක්‌ අඟල් 3-4 තරම් විශාල ප්‍රමාණයෙන් වැකි 6-7 ට සීමා විය. එවැනි ලේඛන මිsහින්තලය, වෙස්‌සගිරිය හා සිතුල්පව්ව ආදී ස්‌ථානවලදී හමු වේ. කාලයත් සමග භාෂාවේ හා තාක්‌ෂණයේ වර්ධනයේ ප්‍රතිඵලයක්‌ වශයෙන් ශිලා ලේඛන ලිවීම සංඛ්‍යාත්මකව වර්ධනය වන්නට විය. එසේ බිහි වූ ශිලා ලේඛන ආකෘතිමය වශයෙන්,

1. ලෙන් ලිපි

2. ටැම් ලිපි

3. පර්වත ලිපි

4. පුවරු ලිපි

වශයෙන් වර්ග කළ හැකිය. තවද තඹ, රිදී, හා රන් ආදී දෑ මතද පුරාණ ලේඛනයන් ලියා ඇත. පනාකඩුව තඹ සන්නස, වල්ලිපුරම් රන් සන්නස හා

ඡේතවන රන්පත්තිරුව එවැනි ලේඛන කීපයකි. පුරාණ සිංහල ලේඛනයන් ගද්‍යය හා පද්‍යය යන දෙවර්ගයෙන් ම රචනා කොට තිබේ.

විශේෂයෙන් මෙහිදී අපගේ අවධානය පද්‍යය ශිලා ලේඛන කෙරෙහි යොමු කෙරේ. සිංහල නූතන කවිකරුවන් මෙන්ම පුරාණ කිවිඳුන් ද සිය කාව්‍යකරණයේ දී විවිධ විරිත් භාවිත කොට තිබේ. ඒ සඳහා පුරාණ කවිකරුවන් භාවිත විරිත් හා සඳැස්‌ පිළිබඳව එළු සඳැස්‌ ලකුණෙහි මෙසේ දක්‌වා ඇත.

කෙළ සුවහස්‌ විරිත්
සදැස්‌ ලකුණු දනු එලූයේ
එබදුත් හොත් කවියරන්
නොවිරිත් නමැයි කො විරිත්
ඇතහොතු දූ රුවන්
ගන අඳුරේ කොටාරේ
රිවි රසිනා සක්‌ දක්‌නේ
පළට නැත ඉරියත්

එළු සදසෙහි ඉහත ප්‍රකාශයට අනුව සිංහල කවිය තුළද සුවහසක්‌ විරිත් හා සදැස්‌ ඇත. එබැවින් එළු සදැස්‌ ලකුණෙහි දක්‌නට ලැබෙන හා නොලැබෙන විරිතින් රචිත ශිලා පද්‍යයන් ද තිබේ. ඒ අතර කුසලාන්කන්ද ලිපිය එළු සදැස්‌ ලකුණෙ නොමැති විරිතකින් රචනා කොට ඇත.

"උපරජ නග පුතෙ - රජ අබයෙ නම තශ පුතෙ
ගමිණි තිශෙ නම ලෙණෙ - කරිතෙ ශදශන ශගශ"

(නාග උපරාජගේ පුත්‍රයා අභය නම් රජුය. ඔහුගේ පුත්‍රයා ගාමින තිශ නමි. ඔහු විසින් සුදර්සන නම් ලෙන භික්‌ෂුන්ට පූජා කරන ලදී.) මෙම ලේඛනයෙහි සඳහන් උපරාජ නාග දෙවනපෑතිස්‌ රජුගේ සොයුරා බව ඉතිහාසඥයන්ගේ පිළිගැනීමකි. මෙහි ඓතිහාසික අගය එසේ වන අතර ම එළු සදැස්‌ ලකුණෙහි නොමැති විරිතකින් ලියවී ඇති මෙම ගීයේ පළමු පාදයේ මාත්‍රා 8-11 බැගින් ද දෙවැන්නේ 9-10 බැගින්ද පිහිටුවා තිබේ. මෙවැනි ගී සීගිරි ගී අතර ද දක්‌නට ලැබේ. තවද ක්‍රි.පූ. තුන්වන ශතවර්ෂයේ දී බුදු දහම ලංකාවට ලැබීමත් සමග ම පාලි ශබ්ද පද්‍ය කරණයට ලැබී ඇති බව මෙම පද්‍යය ද සාක්‌ෂි දරයි.

යාපනයේ වඩමාරච්චි පළාතේ විෂ්ණු දේවාලයට අයත් ඉඩමක තිබී හමු වූ වල්ලිපුරම් රන් සන්නස සතර පෙළකින් යුතුව ගී රිතින් රචනාකොට ඇතැයි මහාචාර්ය මැන්දිස්‌ රෝහණධීර සූරින් කියයි.

"සිධ මහරජ වහයහ රජහි අමතෙ ඉසිගිරියේ නකදිව බුජමෙහි බදකර අතනහි පියගුක තිසව්හරෙ කරිතෙ"

මහාචාර්යවරයා මෙහි සිධ යන්න ඉවත් කොට
මහරජ වහයහ රජහි
අමෙතෙ ඉසිගිරියෙ නකදිව
බුජමෙහි බදකර අතනහි
පියගුක තිස විහරෙ කරිතෙ

වශයෙන් පළමු පෙළට මාත්‍රා 11 ද දෙවන පෙළ සිට සිව්වන පෙළ දක්‌වා මාත්‍රා 12 බැගින්ද යුක්‌තව ගී විරිතින් හඬ නගා කියවිය හැකි බව පෙන්වා දෙයි.

මාත්‍රා ගණනින් සම පාද ඇති එළිසමය යෙදූ කවි සිව්පද කවි වශයෙන් හඳුන්වයි. එළිසමය යෙදීම සිව්පද කවියේ ලක්‌ෂණයක්‌ වන අතර එය වඩාත් ජනප්‍රිය වීමත් සමගම ගී කාව්‍යය සඳහා ද ඇතුළත් විය. සිව්පදයේ ආරම්භය අනුරාධපුර යුගයෙ සිදු වන්නට ඇතැයි සීගිරි ගී තුළින් පෙනේ. මෙසේ ආරම්භ වූ සිව්පද ක්‍රි.ව. 12 වන සියවසේ ශිලා ලිපි කීපයකම දක්‌නට ලැබේ. නිශ්ශංකමල්ල රජුගෙ ගල්පොත ශිලා ලේඛණයෙ අවසන් සිව්පදය මෙසේය.

දහම් නමේ මේ ලො මුළු සගන්නෙ යෑ
සිතා දෙලො සැපත් අදරැති කරනෙ යෑ
මතුවන රජවිරුන් මෙසේ ඇයෑදනෙ යෑ
කළිගු ලකින්දු නිසක රජ ගුණ නන්දනෙ යෑ

මෙයින් ප්‍රකාශ වන්නේ ධර්මය මේ මුළු ලෝ වැස්‌සන්ට සංග්‍රහ කිරීම යෑයි සිතා දෙව්ලෝ සැපතට ආදරය කළ යුතුය. ගුණ නන්දනය වූ කාලිංග වංශික නිශ්ශංක ලංකාධිපති රජු මතු රජවරුන්ගෙන් මෙසේ ඉල්ලා සිටියා යන්නයි. නිශ්ශංකමල්ල රජුගෙ හැටදාගේ පළමු පදර ලිපියේ ද මෙම අදහස දක්‌වයි. මෙම කවිය එතරම් වියත් නොවූවද හඬනගා කියවන විට එයින් සමුදුරු ගොස විරිත පැහැදිලිව දැනෙන බව රෝහණ ධීරයන් කියයි. නිශ්ශංකමල්ල රජුගෙ වාන් ඇළ ශිලා ලේඛනයෙ ද සිව්පද තුනක්‌ ඇති මුත් එයින් දෙකක්‌ පමණක්‌ කියවිය හැකිය.

නවුන්ම ඇත පන්හි දයෑ යි දිය ආනා
මසුන්සෙ පරවත් ගෙනැ නොයෑදෙ පෙරරැළි කරනා
නොවැ පමා අයවැයෑ දැන ලෙකකම් සකස්‌ කරනා
අනුන් නොඑකවවු උවදෙසි කළිගු හිමි නිරින්දුනා

මිණිමුතු නිල්මරා පුස්‌රා ගොමේ ද වෙරළු විදුරා
පබළු නන් අඹරණ සළු සුවද මල බුලත් කපුරා
මෙයින් යෙදී හූනද අගර නොලද හෙ නො මන හරා
බතුපයෑ කළිගු නිරින්දු නුවනින් වින්දු ඉසුරා

මුල් කවියෙන් කිවෙන්නේ මාළුවන් මෙන් අනුන්ගේ වස්‌තුව ගෙන පෙරළි කිරීම යුතු නොවන බවත් අයවැය හොඳින් දැන අප්‍රමාදව ලේඛනගත කළ යුතු බවත්, භාණ්‌ඩාගාර නිලධාරීන් අන් අය සමග එක්‌ නොවිය යුතු බවත්ය. මෙය රජුගෙ නියමයකි. මැණික්‌, මුතු, නිල්මරකත, පුෂ්පරාග, ගෝමේද, වෛදූයH_, දියමන්ති, පබළු, නා නා ආභරණ, සළු, සුවඳ ආදියෙන් සැරසී හුන් නමුත් සුවඳ ආලේප නොලද හොත් හේ මනහර නොවේ. එමෙන් ම රජෙකු අවශ්‍ය පරිදි ඉටුකළ යුතු බත් ඉපදවීම නුවණින් කරවා රජු රජ සිරි වින්දේය යනු දෙවන කවියේ අදහසයි.

නිෂ්පය්‍යීය වශයෙන් ම සීගිරි ගී සෙල්ලිපි ගණයට අයත් නොවූවද සීගිරි කුරුටු ගී අතර ඇති සිව්පද ද ඉතා මනහර ය.

නො වී වහ වැටි ලී
සෙමින් සිටිමින් ගප් ලී
සී මින් මේ අත් ලී
ගිරි මෙ සිටියෑන් කෙ අස්‌වැසි ලී

මෙයින් ප්‍රකාශ වනුයේ කෝපය ඉවසනු නොහැකිව යමින් හා සිටිමින් හෙතෙම හැŽය. මේ අශ්‍රද්ධාවත් කාන්තාව පර්වතයේ සිනාසෙමින් සිටින හෙයින් කවර අස්‌වැසිල්ලක්‌ ද? 9 වන සියවසට පමණ අයත් මෙම කවිය එළු සදැස්‌ ලකුණෙහි නොදැක්‌වෙන විරිතකින් ලියවී ඇති අතර ඉහත සිව්පද ආර සිංහලේ බහුලව දක්‌නට ලැබේ.

මේ අනුව බලන කල සිංහල සිව්පද ශිලා කාව්‍යය එළු සඳසේ දැක්‌වෙන හා නොදැක්‌වෙන විරිතින් රචනා වූ අතර ම මනහර නිර්මාණ බව පෙනේ. තවද සීගිරි කවියා තම හැඟීම අගනා පද සතරකට නඟා ඇති ආකාරය නම් ඉතා අගනේය.

තවත් එක්‌ සීගිරි ගීයක
කොමුල් අමඩ් ලෙඩ් ලියන සී
එබොන්ද මියුර් යහ බැසී
ඒ කපල් දළ මන් දිගැ සී
මන ජල්වය සිත්නො මුසී

ආදී වශයෙන් ස්‌ත්‍රියක්‌ වර්ණනා කරයි. ඇය සතු කෝමල සිනහව කොමඩු ගෙඩියක බිජු පෙළ මෙන්ය. ඇගෙ මිහිරි වදන් කොමඩු මදවල පැණි මෙන්ය. ඇගෙ දිගැස්‌ කොමඩු ගෙඩියේ තීරුවක්‌ මෙන් සිහින්ය. දීප්තිමත්ය. ඈ කවියාගේ හද දල්වයි. සිත නොමුදයි. සීගිරි කවියා ස්‌ත්‍රියක කොමඩු ගෙඩියකට සමාන කොට තිබේ. ස්‌ත්‍රියක්‌ කොමඩු ගෙඩියකට සමාන නැත. එහෙත් කවියේ උපමා රූපක මගින් ස්‌ත්‍රියකගෙ බාහිර සමානතා නොව අභ්‍යන්තර සාම්‍යයතාවය දක්‌වයි. සීගිරිය, අනුරාධපුරය වැනි වියළි කලාපයෙ ගිනි කාෂ්ඨක අව්වේ පිච්චි පිච්චී සිටින විට කොමඩු කෑල්ලක්‌ කෑමට ගත් විට ගත මෙන්ම සිත ද සිසිල් කරයි. කවියා කොමඩු ගෙඩියකට සමාන කොට දක්‌වන ස්‌ත්‍රියගෙ (බිරිඳ හෝ පෙම්වතිය) දීප්තිමත් නෙත්, ප්‍රියමනාප සිනහව, කොමඩු පැණි මෙන් මිහිරි කෝමල තෙපුල් කවර නම් පිරිමියෙකුගේ සකල චිත්ත දුක්‌ඛදෝමනස්‌සයන් මොහොතකට හෝ දුරලා නොයන්නේද? ඒ මතු නොව මෙහි ඇති "ඕ මා හද ජල්වයි සිත නොමුදයි" යන්නෙහි අපෝහක සම්බන්ධතාවයක්‌ තිබේ. එනම් එක්‌ අවස්‌ථාවක සිත දල්වයි. තවත් අවස්‌ථාවක සිත සිසිල් කරයි. මෙය ප්‍රේමයේ ස්‌වභාවයයි. සීගිරි කවිකරුවා සංස්‌කෘත සාහිත්‍යයෙහි ආභාසය ලද බව නොරහසකි. සෘතු සංහාරයේ පහත ශ්ලෝකය ඒ බවට දෙස්‌ දෙයි.

"පට දුහුල් සෑදී මිණි මෙවුල් රැඳි
විසල් වූ පුළුලුකුළු තලිනා
මුතුහරින් දිලි මුදු සදුන් දුන්
මහරූපියවුරු බරින් නදිනා
සුගන්ධිත වරලසින් සිහිලැල්
නිවන් කාමි දනන් දාහය
ලියෝ බල මැන ලදුනි මෙදිනා

ලතු දියෙනි රතු
රැදුණු නුපුර
සිඹින මිහිලිය
නගන හසරැව්
පුළුලුකුළු බර
ලිය සරන තල
සිතෙහි දල්වයි මදන දහය"

(පරි - මහාචාර්ය සුචරිත ගම්ලත්)

අපේ පැරැණි කවියා සංස්‌කෘත සාහිත්‍යය පරිශීලනය කළද කවියට උපමා උපමේය හා රූපක යෙදීමේ දී දේශීය ගැමි සංස්‌කෘතියේ අත්දැකීම් යෙදූ බව ඉහත සීගිරි ගීයෙන් පෙනේ.

සෙල්ලිපි ගීවල ඉහත දැක්‌වූ වර්ණනා පමණක්‌ නොව බුදු දහමෙහි ඉගැන්වෙන අනිත්‍යය ස්‌වභාවය ද විස්‌තර කෙරේ. අභයගිරි විහාර බිමින් 1989 දී සොයා ගන්නා ලද 4 වන මහින්ද රජුගේ රාජ්‍යය සමයට අයත් යෑයි සැලකෙන ශිලා ලිපියක අගනා කවියකි.

පියුමි පත දිය බින්දු
සෙයින් සක්‌විති ඈ සැපතුදු
සසිල් සෙ සිතා
ලැව් ගනි හමු ඉලිබු මලක්‌ සෙයින්
දිවි මරණ හමුවත
සන්ද එසෙද් සිතා
පෙන්ද් පත් සිත්වමක්‌ සෙයින්
යොවුන්වර් වුලුඹින් ලද සෙද් සිතා
මෙලොව පරලොවට ගණ මුත්
වහල් නැති සෙත් සිතා
හැලිත් මැ හැලිවත සෙයින්
ගුණ බුධ පොහොමි

කිසියම් යතිවරයකු ජීවිතයේ අනියත බව දැක පිං පුරමින් බුදු බව ප්‍රාර්ථනා කරයි. චක්‍රවර්ති ආදි සම්පත් නෙළුම් පත්‍රයේ දිය බිඳු මෙන් චංචල යෑයි සිතා, ලැව් ගිනි හමු වේ ඉලුබු (ඉලුක්‌) මලක්‌ විනාශ වන්නා සේ ජීවිතයට මරණය හමුවේ. ඒ ගැනද සිතා, පෙද පාසියෙන් සැදි සිතුවමක්‌ සේ යෞවනය විලෝපන කරන ලද ආකාරය ද සිතා, මෙලොව හා පරලොව දී සිදු කරගත් පිං පමණක්‌ පිටුවහල් වන බවද සිතා, ඇල්වී වලින්ම ඇල්වී ඇතිවන හෙයින් බුද්ධ භාවය පෝෂණය කරමි යනු එහි අදහසයි.

දක්‌ෂ කවියන් විසින් නව්‍ය අනුභූතීන් කාව්‍යයට නැගීමේ දී උපයෝගී කරගන්නා උපක්‍රම රාශියකි. ඒවා අතර ආකෘතිය, අන්තර්ගතය හා උපමා උපමේය ආදිය වේ. මේ සියල්ල යොදනුයේ පාඨකයාගේ රසවින්දනය සඳහා ය. අපගේ පුරාණ සෙල්ලිපි ගීවලද මෙම ලක්‌ෂණ අඩු වැඩි වශයෙන් දක්‌නට ලැබේ.

රංජිත් ගොඩකුඹුර
Divaina 29-05-2011

No Response to "පුරාණ සිංහල සෙල්ලිපි ගී"

Post a Comment

අදහස් සහ උදහස්