-->

Sunday, June 5, 2011

සොබා සිරියෙන් සිත් පිනවන රිටිගල

1

සොබා සිරියෙන් සිත් පිනවන රිටිගල 


ඓතිහාසික වශයෙනුත්, පාරිසරික වශයෙනුත් වැදගත් වන රිටිගල අප රටට අලංකාරය ගෙන එන ස්‌වභාව සෞන්දර්යයෙන් අනූන කඳු වැටියකි.

උස්‌ පහත් වෙමින් දිවෙන මෙම කඳු පෙළ උතුරු මැද පළාතේ දකුණු දෙස කැකිරාවට නුදුරින් පිහිටා ඇත. මෙහි සිට අනුරාධපුරයට ඇති දුර සැතපුම් 27 කි.


මහා වංශය ආදී අපේ පුරාතන ග්‍රන්ථයන්හි "අරිට්‌ට පබ්බත" මින් හැඳින්වෙන මෙම පර්වතය දේවානම්පියතිස්‌ස රජුගේ බෑණනුවන් වූ අරිට්‌ට ඇමැතිවරයාගේ නමින් හැඳින්වූ බැව් ජනප්‍රවාදයෙහි සඳහන් වෙයි.


ශිලා ලේඛන පිළිබඳ විශේෂඥයකු වූ ඩී. එම්. ද ඉසෙඩ් වික්‍රමසිංහ මහතා විසින් "රිටිගල" යන නම සැදී ඇති ආකාරය පිළිබඳ මත කිහිපයක්‌ පළකර තිබේ.


"අරිට්‌ට" යන පාලි වචනයේ අර්ථය, ආරක්‌ෂාව යන්නයි. එම අර්ථයෙන් "අරිට්‌ට පබ්බත" යන්නෙහි අර්ථය ආරක්‌ෂාව සලසන කන්ද හෝ "රැකවරණ කන්ද" විය හැකි බැව් ඒ මහතා පෙන්වා දී ඇත.


"අරිට්‌ට" යන පදයේ "බිහිසුණු" යන අර්ථය ද ගැබ්ව ඇති බැවින් මෙය "බිහිසුණු පර්වතය" වශයෙන් ද දැක්‌විය හැකි බැව් ඔහු තවදුරටත් සඳහන් කර තිබේ. රිටි නමැති ගස්‌ තිබූ බැවින් "රිටිගල" වූ බවට ද මතයක්‌ දක්‌වා ඇත.


වසර 1500 කට අධික කාලයක්‌ තිස්‌සේ සුවිශේෂී වැදගත්කමකින් යුතුව පැවැති මෙම කඳු අරණ 10 වැනි සියවසේ අග භාගයේදී මෙන්ම 11 වැනි සියවසේ ආරම්භයේදී ද ලංකාව ආක්‍රමණය කළ චෝල ජාතිකයන් අතින් විනාශයට පත්විය. එතැන් පටන් 19 වැනි සියවසේ අගභාගය වනතුරුම මෙය වල්බිහිවී වලස්‌, දිවි හා අලි ඇතුන්ගේ වාසභූමියක්‌ බවට පත්ව තිබිණි.


1872 වසරේදී රජයේ මිනින්දෝරුවෙකු වූ ඡේම්ස්‌ මැන්ටෙල් මහතා විසින් මෙම කඳු මුඳුනෙහි පර්යේෂණ මධ්‍යස්‌ථානයක්‌ (ගණිතය පිළිබඳ) පිහිටුවීමත් සමඟම එතෙක්‌ මෙම භූමි භාගයේ පැවැති නිහඬ බව බිඳී ගියේය.


ඊට වසර හයකට පසු ඔහුගේ සහෝදරයකු වූ ඩී. ජී. මැන්ටෙල් නමැති මිනින්දෝරු මහතා මෙම කඳු අරණ පරීක්‍ෂා කොට වාර්තාවක්‌ ඉදිරිපත් කර ඇත. මෙම භූමියේ පැවැති නටඹුන් පිළිබඳ විස්‌තරයක්‌ එයට ඇතුළත්ව තිබිණි.


අනතුරුව පුරාවිද්‍යාඥ එච්. සී. පී. බෙල් මහතා විසින්ද රිටිගල කන්ද පිළිබඳව පර්යේෂණයක්‌ කර ඇත. එම පර්යේෂණය යටතේ සොයාගත් පුරාවිද්‍යාත්මක තොරතුරු සිතියම් සහ සැලසුම් සහිතව ඔහු විසින් ඉදිරිපත් කරනු ලැබිණි. එම වාර්තාව 1893 දී නිකුත් වූ අතර එහි රිටිගල පිළිබඳ පුරාවිද්‍යාත්මක තොරතුරු ඇතුළත් විය.


අපේ ඉතිහාසයේ සඳහන් නරවිරුවන් වූ පණ්‌ඩුකාභය රජු හා දුටුගැමුණු රජුගේ නම් ද රිටිගල කන්ද හා බැඳී පවතී. පණ්‌ඩුකාභය කුමරු තමන්ට එරෙහි වූ මාමාවරුන් සමඟ යුද වැදීමේදීත්. දුටුගැමුණු රජතුමා රට ආක්‍රමණය කළ සොළීන්ට එරෙහිව යුද වැදීමේදීත් මෙම රිටිගල කන්ද රැකවරණ ස්‌ථානයක්‌ ලෙස යොදා ගත් බැව් ඉතිහාසයෙහි සඳහන් වේ.


ඉන්දියානු සංස්‌කෘත මහා කාව්‍ය ග්‍රන්ථයක්‌ වූ රාමායණයෙහිද රිටිගල ගැන සඳහන් වේ. එහි සඳහන් වන අන්දමට ලංකාවේ රාවණා රජු සමඟ යුද වැදුණු ඉන්දියාවේ රාම රජුගේ සොහොයුරු ලක්‌ෂ්මන් කුමාරයාට යුද්ධයේදී තුවාල සිදුවී ඇත. එවිට ඉන්දියාවේ හිමාල වනයට ගොස්‌ ඖෂධ පැළෑටි රැගෙන එන ලෙස හනුමන් නමැති වානරයාට නියම කර තිබේ. එහි යන අතරතුර හනුමන්ට ඖෂධ පැළෑටිවල නම් අමතක වූ බැවින් ඔහු හිමාලයේ ඖෂධ උයනෙන් කොටසක්‌ම උදුරාගෙන ලංකාවට ගෙනැවිත් රිටිගල කන්දට අත හැරියේලු. අදත් රිටිගල කන්ද අගනා ඖෂධ පැළෑටිවලින් ගහන ස්‌ථානයකි.


රිටිගල වනපෙතට නායකයකු වූ යක්‌ෂ ගෝත්‍රික ජයසේන, මහසෝනා බවට පත්වී ඇත්තේද මෙම ස්‌ථානයේදී බව ජනප්‍රවාදවල සඳහන් වේ.


දුටුගැමුණු රජුගේ දස මහ යෝධයන්ගෙන් කෙනෙකු වූ ගෝඨයිම්බර - ජයසේන සමඟ පැවැති සටනේදී ගෝඨයිම්බරගේ අසිපත් පහරින් ජයසේනගේ හිස කඳින් වෙන්වී විසිවී ගිය බවත්, ජයසේනගේ මිතුරෙකු වූ සෙනසුරු තම මිත්‍රයාට සිදුවූ විපත අසා එතැනට දිව ආ බවත්, ජයසේනගේ හිස ඔහුට සොයා ගැනීමට නොහැකි වූ නිසා ඔහු වලසෙකු මරා එම හිස ජයසේනගේ කඳට බද්ධ කළ බවත් ජනප්‍රවාදයෙහි එයි.


මෙම සොඳුරු වන පියස පාරිසරික සුන්දරත්වයෙන්ද අතිශ්‍ය අගනේය. මෙම කන්ද නැඟීම ආරම්භ වනුයේ පුරාවිද්‍යා කාර්යාලය අසල පිහිටි බන්දා පොකුණ ඔස්‌සේය.


අතිවිශාල පොකුණක්‌ වූ මෙම ශෛලමය පොකුණ එහි පෙර පැවැති ශ්‍රී විභූතිය කියාපාන්නකි. ගලින් ගල ළං කොට බැඳ සකසා ඇති බැවින් එය "බන්දා පොකුණ" නම් වූ බැව් කියෑවේ. මෙම පොකුණ දැනට පරිසර අමාත්‍යාංශය මගින් "හරිත ගම්මාන" වැඩසටහන යටතේ පිළිසකර කෙරෙමින් පවතී.


එම පොකුණ පසුකොට සැතපුම් එකහමාරක්‌ පමණ කඳු මුදුන කරා යැමට ඇත්තේ ගල් පඩි පෙළකි. මෙය අතිශයින්ම විශ්මයජනක නිර්මාණයකි. කඳු මුදුනට යැම වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව මගින් තහනම් කර තිබේ. එම පෙදෙස "දැඩි රක්‌ෂිතයක්‌" ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. එකී ගල් පඩිපෙළ දිගේ ඉහළට යනවිට සුවිසල් ගොඩනැඟිලි රැසක නටබුන් දැකගත හැකිය. ඒ අතර එදා තිබුණු රෝහලක නටබුන් ද තිබේ. එහෙත් එකී කිසිදු ස්‌ථානයක ඒ පිළිබඳ හැඳින්වීමක්‌ සඳහන් කර නොතිබීම බලවත් අඩුපාඩුවකි.


මග දෙපස වනය පුරා "වෙම්බඩංගා" නමැති වැල් විශේෂයක්‌ දැකගත හැකිය. ඒවා දැවැන්ත නයින්, පිඹුරන් මෙන් රූස්‌ස ගස්‌ වෙලාගෙන තිබෙන අයුරු දකින විට බියක්‌ මෙන්ම සුන්දරත්වයක්‌ද අප සිත් තුළ ජනිත වෙයි. එහා මෙහා පැද යා හැකි ඔංචිල්ලා සේ වැඩුණු වැල් ද දක්‌නට ඇත.


රිටිගල කඳු ශිඛරය මතට නැඟ අවට නරඹන්නන්ට මිහින්තලය, රුවන්වැලිසෑය, ආදී අනුරාධපුර පුද බිමෙහි පූජනීය ස්‌ථානද, මින්නේරිය, ගිරිතලේ වැව්ද දිස්‌වෙයි.


සුන්දර ශ්‍රී ලංකාවේ අසිරිමත් වන පියෙස්‌ අතර සුවිශේෂී ස්‌ථානයක්‌ හිමිකර ගන්නා රිටිගල කඳු අරණ සෑම අයෙකු විසින්ම නැරඹිය යුතු ස්‌ථානයකි.



රණවීර මනුකුලසූරිය


උපුටා ගැනීම - http://www.divaina.com/2011/06/05/nimna04.html

1 Response to සොබා සිරියෙන් සිත් පිනවන රිටිගල

August 12, 2012 at 11:13 PM

හැම දිස්සෙම මේ වගේ තැන හංගන්න හදන්නේ ඇයි . බලන්න යන්න ඕනේ සොබා සිරිය විතරක් නෙමෙයි .අපෙන් හංගන්න හදන දේ එලියට අරගෙන එක ගැන පර්යේෂණ කරන්නයි ඕනේ .

Post a Comment

අදහස් සහ උදහස්