-->

Tuesday, June 28, 2011

රාවණා සොයා යන්නනි....

0

ශ්‍රී ලංකාව නම් කොදෙව්වක ජීවත් වන අපට මෑතකාලීන ඉතිහාසයේ ආඩම්බර විය හැකි අවස්‌ථා උදා වූයේ ඉතා ම කලාතුරකිනි. එක්‌ කලෙක අප අභිමානය තෘප්ත කර ගැනීමෙහි ලා කෙතරම් දිළිsඳු තත්ත්වයක පසු වී ද යත් සේපාල ඒකනායක නම් ශ්‍රී ලාංකිකයකු අලිතාලියා ගුවන් යානයක්‌ පැහැර ගත් විට ශ්‍රී ලාංකිකයන් අභිමානයට පත් වූ ආකාරය සිහිපත් කළ යුතු ය. ශ්‍රී ලංකා කොදෙව් වැසියන්ට අභිමානය තෘප්ත කර ගැනීම පිණිස එකල උදා වූයේ එවන් අහඹු සිදුවීම් පමණි. එකී ශෝචනීය කාල පරිච්ඡේදයට හැරවුම් ලක්‌ෂ්‍යයක්‌ වූයේ 1996 දී අපේ ක්‍රිකට්‌ කණ්‌ඩායම ලෝක කුසලානය දිනා ගැනීමයි. අපේ රණවිරුවන් ප්‍රභාකරන් නන්දිකඩාල්හි ගිල්වීමත් සමග ම මෑත කාල පරිච්ඡේදය අපේ අභිමානය සොයා යන වකවානුවක්‌ බවට පරිවර්තනය විය. දැන් ජාතියට අභිමානයක්‌ ලබාගත හැකි තත්ත්වයකින් සිතීමට අපට හැකි ය.

අප ජාතියට අභිමානයක්‌ සෙවූයේ මෑතක පටන් නො වේ. සුද්දා ගෙන් නිදහස ඉල්ලීම ආරම්භ වීමත් සමග ම ජාතියේ අභිමානය සෙවීමේ වර්තමාන කථාව ද ආරම්භ විය. පෙර කී පරිද්දෙන් ම අභිමානය පිළිබඳ කාරණාවන් අරභයා තත්කාලීන සමාජය ශෝකාන්විත තලයක වූ හෙයින් අපේ පිහිටට පැමිණියේ ඉතිහාසයයි. ජාතියේ අභිමානය සොයා යන්නන් ගේ පහසු විකල්පය බවට පත් වූයේ අපේ අභිමානවත් අතීතයයි. සැබැවින් ම අපට අභිමානවත් ඉතිහාසයක්‌ පැවැති හෙයින් එහි කිසිදු ගැටලුවක්‌ නො වී ය. එහෙත් අභිමානවත් ඉතිහාසය සොයා යැමේ ක්‍රමවේදය අරභයා බරපතල ගැටලුකාරී තත්ත්වයන් උද්ගත වූ බව සාධාරණව පිළිගත යුතු ය. මෙකී පරස්‌පරය ඇති වීමේ හේතුව ද පැහැදිලි ය. ජාතියට අභිමානය සොයා ඉතිහාසය දෙසට යොමු වූ පිරිසක්‌ ඒ පිළිබඳ විද්‍යාත්මක ක්‍රමවේදය අතහැර දැමූ හ. මීට ප්‍රතිලෝමව විද්‍යාත්මක ක්‍රමවේදයක්‌ අනුගමනය කරමින් ඉතිහාසය දෙසට යොමු වූ පිරිස ජාතියට අභිමානයක්‌ සොයා දීමේ අරමුණින් බැහැර වූ හ.

ජාතියට අභිමානයක්‌ ලබා දිය හැකි ඇතැම් ඉතිහාස තොරතුරු අතර පුරාකථාවන් හා ජනප්‍රවාද ද වෙයි. වසර ගණනක්‌ පැවැති ඕනෑ ම ශිෂ්ටාචාරයක එවැනි පුරාකථාවන් හා ප්‍රවාද දැකිය හැකි ය. එකී ප්‍රවාදවල ඉතා ඈත කාලීන වීරයකු, පාලකයකු පිළිබඳ හෝ ඉතා ම සමෘද්ධිමත් යුගයක්‌ පිළිබඳව සඳහන් වීම එවන් ඕනෑ ම ශිෂ්ටාචාරයකට පොදු ය. එකී ප්‍රවාද ඔස්‌සේ ඒවායේ මූලය සොයා යැම වර්තමාන පුරාවිද්‍යාවට පටහැනි ක්‍රියාවක්‌ නො වේ.

බයිබලයේ පැරැණි තෙස්‌තමේන්තුව පුරාවිද්‍යානුකූලව හැදෑරීමේ උත්සාහයන් පවතී. බ්‍රිතාන්‍යයේ ආතර් රජු පිළිබඳ පුරාකථා ඇතැම් පුරාවිද්‍යාත්මක කටයුතු සඳහා පාදක වෙයි. ට්‍රොaයි පුරවරය සොයා පුරාවිද්‍යාත්මක හැදෑරීමක්‌ කරනු ලැබුවේ ඉලියඩ් හා ඔඩිසි වීර කාව්‍ය පදනම් කරගනිමිනි. එබැවින් ශ්‍රී ලාංකිකයන් රාවණ පිළිබඳ පුරාකථාවන් පුරාවිද්‍යාත්මකව සොයා බැලීම හාස්‍යයට තුඩු දිය යුතු කරුණක්‌ නො වේ. එමෙන් ම ඉතිහාසය සොයා යැම වර්තමාන පුරාවිද්‍යාත්මක රාමුව තුළ සිදු විය යුතු යෑයි නියමයක්‌ ද නැත.

ශ්‍රී ලාංකිකයන් ගේ අභිමානය පිළිබඳ කාරණාවේ දී රාවණා පිළිබඳව පුරාකථාව අතිශය වැදගත් ය. අප ගේ මුතුන් මිත්තකු රයිට්‌ සහෝදරයන්ට ප්‍රථම ගුවනින් ගිය බව පිළිගැනීම අපේ අභිමානයට වැදගත් ය. හෙතෙම ඉන්දියාව පාලනය කළ බව සිහිපත් කිරීම ම අප සිටිනා තැනින් ඉහළ මට්‌ටමකින් සිතීමට පොලඹවයි. එහෙයින් රාවණා පිළිබඳව තොරතුරු හැදෑරීම කිසි ලෙසකිනිදු හාස්‍යයක්‌ නො වේ.

එහෙත් රාවණා පිළිබඳව සොයා යන්නන් ඒ සඳහා අනුගමනය කරන ක්‍රමවේදයන් නම් හාස්‍යයට වැඩි හැඟීමක්‌ ජනිත නො කරයි. මෑත කාලීන ජනමාධ්‍යවල රාවණා සොයා යන්නන් ගේ ලිපි මගින් ප්‍රකාශිත තොරතුරු කිහිපයක්‌ කෙරෙහි අවධානය යොමු කිරීම ඒ හාස්‍ය රසය සඳහා ප්‍රමාණවත් ය.

රාවණා නම් දසිස්‌ මිහිපල් තෙම හෝ ඔහු ගේ සමීප ඥාතීන් හෝ විසින් ලියවුණු සෙල් ලිපි සොයා කියවීමට ඇතැම් විද්වතුන් සමත් වී ඇත. එකී සෙල් ලිපිවල කාල නිර්ණයන් පිළිබඳව අනුදත් මතයන් ඉදිරිපත් කිරීමෙහි ලා ඔවුන් නිහඬ ය. රාවණ හෝ එරජුන් ගේ ඥාතීන් ගේ නම් සටහන් යෑයි කියනු ලබන එකී සෙල් ලිපි ලියවී ඇත්තේ පූර්ව බ්‍රහ්මී අක්‌ෂරයන් ගෙනි. පූර්ව බ්‍රහ්මී හෝඩිය මුල් මෞර්ය යුගයෙන් බොහෝ ඈතට ගමන් නො කරයි. ඇතැම් ඉන්දීය පුරාවිද්‍යාඥයන්ට අනුව එය අශෝකට වඩා ද බොහෝ පැරැණි නැත. එසේ නම් රාවණා එකී අක්‌ෂරයන් ගෙන් සෙල් ලිපි පිහිටුවූයේ කුමන කාලවකවානුවක ද යන පැනය මතු වෙයි. මෙයට ප්‍රතිවිරුද්ධව ඉදිරිපත් කළ හැකි පිළිතුරක්‌ තිබේ. ඒ මෞර්යයන්ට ප්‍රථම ශ්‍රී ලංකාවේ රාවණ, පූර්ව බ්‍රහ්මී අක්‌ෂර භාවිත කළ බවයි. ඒ එසේ නම් අප ප්‍රථමයෙන් සිදු කළ යුත්තේ පූර්ව බ්‍රහ්මී ලෙන් ලිපි මත පදනම් ව රාවණා ඔප්පු කිරීම නො වේ. පූර්ව බ්‍රහ්මී හෝඩියේ උපත, විකාශනය, ඊට අදාළ කාල වකවානුන් සහිතව ඔප්පු කිරීමයි. මෙගලිතික සුසානයෙන්හි සඳහන් ඇතැම් ප්‍රාථමික සංකේත, ගුහා සිතුවම් ආදිය යොදා ගනිමින් ශ්‍රී ලංකාව තුළ ඉතා ඈත අතීතයේ දී පූර්ව බ්‍රහ්මී අක්‌ෂර භාවිත කළ බව විධිමත්ව පෙන්වා දිය හැකි නම් රාවණා එකී අක්‌ෂර භාවිත කළ බව පිළිගැන්විය හැකි ය. එහෙත් අවාසනාවකට මෙතෙක්‌ එවැනි සාධක නොමැති වීම නිසා පූර්ව බ්‍රහ්මී හෝඩියට ලබා දී ඇති කාලවකවානුන් පිළිගැනීමට සිදු වෙයි. තමන්ට වඩා පසුකාලීනව නිපදවනු ලැබූ අක්‌ෂර මාලාවකින් රාවණා සෙල් ලිපි පිහිටුවූවා යෑයි සිතීම අගතිගාමී සිතුවිල්ලකි.

පූර්ව බ්‍රහ්මී අක්‌ෂරයන් ගෙන් ලියවුණු සෙල් ලිපිවල රාවණා හෝ ඊට සමීප නාමයන් පැවතීම රාවණා පුරාකථාව ස්‌ඵුට කිරීම සඳහා සාධකයක්‌ සේ නො ගිණිය හැකි ය. එකල ද ජනප්‍රවාදගත ඇදහිලිවලට අදාළ නම් වෙනත් පුද්ගලයන් භාවිත කිරීම සිදු විය හැක්‌කකි. දඹදිව ජීවත් වූ සුප්‍රසිද්ධ විෂ්ණු වර්මන් රජු ගේ නමේ විෂ්ණු යන කොටස තිබූ පමණින් විෂ්ණු නම් දෙවියකු දඹදිව සිටියා යෑයි සාධනය වන්නේ නැත. එය විශ්වාසයක්‌ නිසා පහළ වූ නමකි.

එමෙන්ම රාවණා පිළිබඳ පුරාකථාව තහවුරු කර ගැනීමෙහි ලා යොදාගැනෙන තවත් ප්‍රබල සාධකයක්‌ වන්නේ විත්ති පොත් ය. මෙකී විත්ති පොත් කෝට්‌ටේ රාජධානියෙන් පසු අවධියක දී ලියවී තිබේ. ඒවා සමාජයේ එකල පැවැති යම් යම් විශ්වාසයන් මත පදනම් ව ලියවුණු ජන සාහිත්‍ය කෘතීන් සේ සැලකිය හැකි ය. රාවණා පිළිබඳව හැදෑරීම සඳහා රාවණා විත්ති පොත් යොදාගත හැකි නමුදු ඉන් රාවණා පිළිබඳව කිසිදු මතයක්‌ අමුතුවෙන් ඔප්පු වීමක්‌ සිදු නො වේ. එකී විත්ති පොත්වලට සමාන අනෙකුත් විත්ති පොත් පිළිගනු ලබන්නේ නම් ඒවා ලියවුණු සමාජ වකවානුවේ ලක්‌දිව පැවැති ප්‍රාථමික ජන ඇදහිලි පිළිබඳව කල්පිත රාශියක්‌ පිළිගැනීමට ද සිදු වනු ඇත. දේවානම්පියස්‌සී රජුට කාලතුවක්‌කු 800ක්‌ තිබුණු බව ද, ඇතැම් රජකුමරියන් මොණර බිත්තරයෙන් බිහි වූ බව ද පිළිගැනීමට සිදු වනු ඇත.

විත්ති පොත්වලට අමතරව රාවණා පිsළිබඳ සඳහන් කෙරෙන ග්‍රන්ථයකි, ලංකාවතාර සූත්‍රය. මහායානිකයන් අතර බුද්ධ භාෂිතයක්‌ සේ පිළිගැනෙන ලංකාවතාර සූත්‍රය බුදුරජාණන් වහන්සේ සමනළ කන්දේ දී රාවණාට දේශනා කළ බව කියවෙයි. ලංකාවතාර සූත්‍රය පිළිබඳව පුරාකථාව පිළිගනු ලබන්නේ නම් රාවණා බුදුරජාණන් වහන්සේට සමකාලීනව ලංකාව පාලනය කළ රජු ය. ලංකාවතාර සූත්‍රය ලියවී ඇත්තේ දොළොස්‌වැනි-එකළොස්‌වැනි සියවස්‌වලට අයත් ශෛලියකිනි. එකී සූත්‍ර දේශනාව වඩාත් ප්‍රචලිත වූයේ ථෙරවාදීන් අතර නො ව අග්නිදිග ආසියාතික මහායානිකයන් අතර ය. එකළොස්‌වැනි සියවස ලංකාව අග්නිදිග ආසියාව තුළ යම් සංස්‌කෘතික ආධිපත්‍යයක්‌ පැතිරූ අවධියයි. එකී සංස්‌කෘතික ආධිපත්‍යය සමග ආර්ථික අරමුණු ගැබ් ව පැවැති බවට මහපැරකුම් ගේ අරමුණ යුද්ධ ව්‍යාපාර අනුව පෙනී යයි. මෙකී අවධියේ වර්තමාන බුරුම, මැලේසියා, තායිලන්ත, කාම්බෝජ, වියට්‌නාම් රටවලට අයත් ප්‍රදේශවල සීහල සංඝ නමින් ලාංකීය භික්‌ෂු ගුරුකුලයක්‌ ප්‍රමුඛස්‌ථානය ගෙන කටයුතු කළේ ය. එකී කලාපයේ ලංකාවට අවශ්‍ය පරිදි මතවාදී හැඩගැස්‌ම සිදු කරනු ලැබුවේ සීහල භික්‌ෂු පරම්පරාවයි. එම රටවල් සියල්ලක්‌ ම රාවණා හා කුවේර පුරාකථාව තදින් විශ්වාස කළ රටවල් විය. එබැවින් රාවණා හා බුදුන්වහන්සේ අදාළ ලංකාවතාර සූත්‍රය එකී කලාපයේ ජනප්‍රිය වීම ස්‌වාභාවික සංස්‌කෘතික කාරණාවකි. එහි ප්‍රතිඵලයක්‌ ලෙස ඔවුන් අතර ලංකාව පිළිබඳව දැඩි ගෞරවයක්‌ පහළ විය.

අග්නිදිග ආසියානු රජවරුන් විසින් සිංහල කුමරියන් විවාහ කර ගැනීම උසස්‌ ගෞරවයක්‌ සේ සලකන ලදී. ලංකාව අග්නිදිග ආසියාව තුළ ගෙන ගිය ආර්ථික හා සංස්‌කෘතික ආධිපත්‍යය තහවුරු කිරීමේ එක්‌ මෙවලමක්‌ ලෙස ලංකාවතාර සූත්‍රය ද එකළොස්‌ වැනි ශතවර්ෂයට අයත් ශෛලිය අනුව ගොඩ නැංවිණි. ඉන් රාවණා සිටි බවට ස්‌ථිරව ම ඔප්පු වීමක්‌ සිදු නො වන අතර රාවණා විශ්වාසය ඔප්පු වෙයි.

රාමායණය මත පිහිටා රාවණා ඔප්පු කළ හැකි වනු ඇතැයි ඇතැම් පිරිස්‌ විශ්වාස කරති. රාමායනය වීර කාව්‍යයකි. හින්දුවරුන් ගේ විශ්වාසයන් හා ඇදහිලි අතර සදාකාලික වීරවරයන් වීරකාව්‍ය මගින් නිරූපණය කෙරිණි. රාමායනය මත පිහිටා රාවණා ඔප්පු කළ හැකි නම් මහා භාරතය මත පිහිටා ක්‍රිෂ්ණා ඔප්පු කළ හැකි වනු ඇත. කල්පිත වීර කාව්‍යවලින් චරිතයන් ඔප්පු කිරීම කළ නොහැක්‌කකි. රාමායනයේ සඳහන් ලංකාව පවා ශ්‍රී ලංකාව නො විය හැකි යෑයි මතවාද ඉදිරිපත්ව පැවතීම ද සලකා බලනු වටී. මුල් මෞර්ය යුගයේ ඔනාක්‍රිටස්‌ ද, අශෝක සෙල් ලිපිවල ද ශ්‍රී ලංකාව ලංකා නාමයෙන් හඳුන්වා නැත. ඔවුන් ශ්‍රී ලංකාව හඳුන්වා ඇත්තේ තම්බපන්නී නැත හොත් තාම්‍රපන්නී නමිනි. කෞටිල්‍ය අර්ථශාස්‌ත්‍රයේ දී ශ්‍රී ලංකාව පාරසමුද්‍ර ලෙස හඳුන්වයි. මාල්කිම් සඳහන් කරන ලංකාව පාරසමුද්‍ර හෝ තම්බපන්නිය නො වීමේ ඉඩකඩ සුළු කොට තැකිය යුතු නැත.

රාවණා සොයා යන්නෝ ඉහත ක්‍රමවේදවලින් බැහැර විකල්ප ක්‍රමද ඉඳහිට ඉදිරිපත් කරති. එවැනි විකල්ප ක්‍රමයන් ඇසූ විට පැරැණි ක්‍රම වඩා උචිත යෑයි කෙනකුට හැඟී යනු ඇත. සති අන්ත එක්‌ පුවත්පතක පළ වූ ලිපියකින් කියවුණේ රාවණා යුගයේ හනුමන්තා අතින් ඇදවැටුණු උණවටුන කන්ද කැණීම් කර ඉවත් කළ හොත් එම යුගයට අයත් ගම්මාන මතු කරගත හැකි වනු ඇති බවයි. උණවටුන කන්ද පමණක්‌ කැණීම් නො කොට කාල අක්‌ෂය ඔස්‌සේ සිරසට කැණීම් කළ වෙනත් ස්‌ථානයකින් රාවණා යුගය සොයාගත හැකි නම් ඊට වඩා පහසු විය යුතු ය. අනුරාධපුරයේ ද, තිස්‌සමහාරාමයේ ද එලෙසින් ක්‍රි.පූ. 1000 දක්‌වා ස්‌ථර කැණීම් කර තිබේ. මුල් ස්‌ථරවල ගල් ආයුධ භාවිත කළ ප්‍රාථමික මානවයා නාගරික තත්ත්වයට ළඟා වූ අයුරු සංස්‌කෘතික අදියරයන් හා ඊට අදාළ කාල ආවලීන් මගින් එකී ස්‌ථානවල ගොඩනඟා ඇත. එවැනි සංස්‌කෘතික අදියරක්‌ තුළ රාවණාට අයත් දියුණු ශිෂ්ටාචාරයේ ලක්‌ෂණ සොයා යැම ඊට වඩා පහසු වෙයි. තිස්‌සමහාරාමයේත් අනුරාධපුරයේත් දැකිය නොහැකි වුව ද වෙනත් ස්‌ථානයකින් හෝ අනුපිළිවෙළිsන් ගල් ආයුධ සහිත ස්‌ථරයක්‌, අතින් නිමවූ හිරු එළියෙන් පිළිස්‌සූ වළං සහිත ප්‍රාථමික ජනතාවකට අයත් ස්‌ථරයක්‌, දඬු මොණර කොටස්‌ සහිත ස්‌ථරයක්‌, කාලරක්‌ත මැටි බඳුන් සහිත ස්‌ථරයක්‌, ක්‍රි.පූ. යුගයට අයත් කාසි සහිත ස්‌ථරයක්‌ වශයෙන් ස්‌ථර හමු වේ යෑයි ප්‍රාර්ථනා කිරීම හැර කළ හැක්‌කක්‌ නොමැත.

මේ මෑත දී පුවත්පතක ශාස්‌ත්‍රීය සංවාදයක්‌ පළ විය. එම සංවාදය සති කිහිපයක්‌ පක්‌ෂ විපක්‌ෂ මත පළ වූ ශාස්‌ත්‍රීය සංවාදයක්‌ ලෙසින් පුවත්පත් පිටු ගණනින් වෙන් කර ගත් එකක්‌ විය. එහි දී එක්‌ පාර්ශ්වයක්‌ පුන පුනා ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර කැණීම්වල දී අඩි 40කට යටින් දුටුගැමුණු යුගයේ නෂ්ටාවශේෂ හමු වේ නම් අඩි 50කට වඩා කැණීම් කළ විට රාවණා යුගයේ නටබුන් හමු විය යුතු බවයි. අනුරධපුර ඇතුළුනුවර කැණීමේ දී ආරම්භක සංස්‌කෘතික සාධක අයත් ස්‌ථරය දක්‌වා කැණීම් කරනු ලැබූ බවත්, මෙසොලිතික අවධිය (ක්‍රි.පූ. 1800), පූර්ව යකඩ භාවිත අවධිය (ක්‍රි.පූ. 900-600), මුලික පූර්ව ඵෙතිහාසික අවධිය (ක්‍රි.පූ. 600-500), පහළ පූර්ව ඵෙතිහාසික යුගය (ක්‍රි.පූ. 500-250), මධ්‍ය පූර්ව ඵෙතිහාසික අවධිය ්‍ර(ක්‍රි.පූ. 250-ක්‍රි.පූ 100) ලෙස ආවලියක්‌ සකස්‌ කර ඇති බවත් එකී ශාස්‌ත්‍රීය ලේඛකයා නො දනී. රාවණා සොයා යැම මෙවැනි සැහැල්ලු දැනුමකින් කළ හැකි සරල කාරියක්‌ නො වේ.

දැනට සකස්‌ කර ඇති සංස්‌කෘතික කාල ආවලීන්, වසර 18000-12000කට පෙර කාල වකවානුවේ කෘෂිකර්මය පිළිබඳව හෝර්ටන් තැන්නේ පර්යේෂණ, රංචාමඩම-හල්දුම්මුල්ල මානවයන් යකඩ හඳුනාගත් ආකාරය, පූර්ව බ්‍රහ්මී හෝඩියට පෙර ශ්‍රී ලංකාවේ චිත්‍රාක්‌ෂර භාවිතය වැනි මාතෘකා යටතේ පුළුල් අධ්‍යයනයකින් ලත් දැනුමකින් පෝෂිතව මිස රාවණා සොයා යා හැකි මගකට ප්‍රවිෂ්ට විය නොහැකි ය. එබැවින් රාවණා සොයා යන්නනි, ඉලක්‌කය පැහැදිලි ය. මාවත පැහැදිලි කර ගනිමු.

ඉන්දික විතානගේ

උපුටා ගැනීම - http://www.vidusara.com/2011/05/18/readers.html

No Response to "රාවණා සොයා යන්නනි...."

Post a Comment

අදහස් සහ උදහස්