-->

Sunday, November 13, 2011

මං කුවේණිට ආදරෙයි!

0

මං කුවේණිට ආදරෙයි!

සුගත් සමරකෝන් පවසයි

වේදිකාව දේශපාලන භාවිතයක් සඳහා යොමු කළ නාට්‍යකරුවන් අතරින් 80 දශකයේ අග වඩාත්ම ඉස්මතු වූ නාට්‍යකරුවා සුගත් සමරකෝන්ය. ඔහු නිර්මාණය කළ අමල් බිසෝ, උතුරේ රාහුල හිමි, කමන්ඩෝ දියසේන හා දේශපාලුවා වඩාත් ගැඹුරින් සටහන්ව ඇත්තේ ඒ යුගයේ සිදුවූ සමාජ දේශපාලන වෙනස්වීම්වලට ප්‍රතිචාර දැක්වූ නාට්‍යය ලෙසය. සුගත් සමරකෝන් දීර්ඝ කාලයකට පසු නැවත වරක් සිනමා නිර්මාණයක් අධ්‍යක්ෂණය කරමින් කලා ක්ෂේත්‍රයට පිවිස සිටී.

* ඔබ බොහෝ දෙනෙක් හඳුනන්නේ දේශපාලන නාට්‍යකරුවෙකු ලෙසයි. එතැන ඉඳලා ඓතිහාසික සිනමාකරුවෙකු බවට හැරවුමක් ගත්තේ ඇයි?

නාට්‍ය කලාවෙ කරපු දේශපාලනයම තමයි මම සිනමාවෙත් කරන්නේ. ඓතිහාසික චිත්‍රපට කිරීම තුළත් දේශපාලනයක් තිබෙනවා. සමකාලීන මාතෘකාවලට පමණක් දේශපාලනය සීමා කරන්න බැහැ. සදාතනික දේශපාලනය තිබෙන්නේ ඉතිහාසය තුළයි.

* මෑත කාලයේ ඓතිහාසික කතා තේමා රැගත් චිත්‍රපට නිෂ්පාදනය වීමේ රැල්ලක් දකින්න ලැබෙනවා. ඒවා ආදායම් අතින්ද සාර්ථකයි. මේ පසුබිම ඔබට “විජය කුවේණි” නිර්මාණයට බලපෑවද?


 
ඓතිහාසික කතා තේමා කියලා විශේෂයක් නැහැ. නිර්මාණකරුවන්ට විවිධ අරමුණු තිබෙනවා. අපිට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. පසුගිය කාලයේදී ඒක අමතක කර බටහිරට වන්දනා කරන පසුබිමක් හැදුණා. ඒක නිවැරැදි විය යුතුයි. භෞතික සංවර්ධනය වැදගත්. නමුත් අපි එයට වහල්වෙලා ඉතිහාසය අමතක කරන්න නරකයි.

අපිට සදා ජීවමාන වන ඉතිහාසයක් තිබෙනවා. නමුත් එය තුළ සිදුවුණු අත්වැරදීම්ද නැතිවා නොවෙයි. ඒවා නිවැරැදි විය යුතුයි.

* “විජය කුවේණි” කතා ප්‍රවෘත්තියට ඔබ ආකර්ෂනය වුණේ කුමන හේතුවක් නිසා ද?


අපේ ජාතියේ ආරම්භකයන්ට පසුකාලීන ඉතිහාස රචනා තුළ අසාධාරණයක් වෙලා තිබෙනවා. මේක මහා රාවණා වංශ කතාව දක්වා දිවයන එකක්. අදටත් භාරතය රාවණා දකින්නේ දුෂ්ට පාලකයෙක් ලෙසයි. එහි වාර්ෂිකව පැවැත්වෙන විජයරාජ් උත්සවයේදී ඔහුගේ ආකෘතියක් පරිභව කර පාකර හරිනවා. රාමායනය තුළ වූවත් රාවණාට සාධාරණයක් ඉටුවෙලා නැහැ. මේ ගැටලු වටහාගෙන ඒවා නිවැරැදි කිරීම ඉතිහාසඥයන්ට පමණක් භාර දෙන්න බැහැ. ඒ සඳහා කලාකරුවන්ටත් කාර්යයක් තිබෙනවා.

* බටහිර හා ඉන්දියානු සිනමාව තුළ වෙනම ධාරාවක් ලෙස “වීර කාව්‍ය” මතුව තිබෙනවා. මෑතක් වනතුරාම අපේ සිනමාවට එය විෂය නොවන්නේ ඇයි?


සිනමා කර්මාන්තය පිළිබඳ හෝ ඒ සඳහා නිර්මාණය වන තිර රචනා තෝරා ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් නැහැ. අපේ රටේ චිත්‍රපට හැදෙන්නේ හුදෙකලා උත්සාහයන් විදිහට. ඒ නිසා මේක ඇතුළෙන් ජාතික අවශ්‍යතාවයක් මතුවෙන්න විදිහක් නැහැ. එහෙම කෙරුණත් ඒවත් හුදෙකලා මතුවීම් පමණයි. ඒ කොහොම වුණත් වෙන විදිහක රැලි එනවට වැඩිය ඓතිහාසික චිත්‍රපට රැල්ලක් හැදෙන එක හොඳයි.

නමුත් ඓතිහාසික චිත්‍රපට නිර්මාණයේදී විශාලම අවදානම ගන්නේ නිෂ්පාදකයායි. වෙනත් චිත්‍රපටයකට වැඩිය වියදමක් ඒ සඳහා වැය වෙනවා. අපි ජාතික අවශ්‍යතාවයක් ඉටුකළාට අපිට වෙනම පහසුකමක් කර්මාන්තය පැත්තෙන් හෝ රජය පැත්තෙන් ලැබෙන්නේ නැහැ.

ඉන්දියාව හා චීනය වගේ රටවල මේ වර්ගයේ චිත්‍රපට සඳහා විශේෂ දිරිදීම් රජය පැත්තෙන් කෙරෙනවා. ජනාධිපතිතුමා රාජ්‍ය නායකයා එවැනි නිර්මාණ සඳහා පහසුකම් සලසා තිබෙනවා. නමුත් එය චිත්‍රපට සංස්ථාවේ ස්ථාවර වැඩපිළිවෙළක් බවට පත්විය යුතුයි.

* ඔබ චරිතයක් සඳහා රංගන ශිල්පීන් තෝරා ගැනීමේදී ඔවුන්ගේ අතීත රංග කාර්යයන් ගැන සැලකිලිමත් වෙනවාද?

මම චිත්‍රපටයකට නළුවන් තෝරා ගැනීමේදී ඔවුන් මෙයට කලින් ප්‍රධාන භූමිකා රඟපා තිබෙනවාද කියලා බලන්නේ නෑ. ඔවුන් සුළු චරිතයක් රඟපා තිබුණත් ඒ තුළ සෑහීමකට පත්විය හැකි යමක් කර තිබෙනවා නම් එවැනි පිරිසක් යොදාගෙන නිර්මාණාත්මක යමක් කළ හැකිය යන මතයේ මම ඉන්නවා.

“කුවේණි” චරිතය සඳහා දුලානි අනුරාධා තෝරාගත්තෙත් ඒ අනුවයි. මේ චරිතය සඳහා වඩාත් සුදුසු ඇය බව දුලානි උපරිම අයුරින් නිරූපණය කළා. රොජර් සෙනෙවිරත්නගේ “විජය” භූමිකාව කාලයකට අමතක නොවන ආකාරයේ රංගනයක්. ප්‍රධාන නළු නිළියන් පමණක් නෙවෙයි දීර්ඝ වශයෙන් ධාවනය නොවන චරිත පවා මේ චිත්‍රපටයේ ප්‍රබල ආකාරයෙන් නිරූපණය කර තිබෙනවා. ක්ලිටස් මෙන්ඩිස්, සඳුන් විජේසිරි, තිලක් කුමාර රත්නායක, විල්සන් කරු, ආචාර්ය මර්වින් සිල්වා වැනි අය විශිෂ්ට අයුරින් ආරාධිත චරිත රඟපා තිබෙනවා.

* මෙම නිර්මාණය ඓතිහාසික කතාවක සිට පවුල් සංස්ථාව ගැන කෙරෙන විවරණයක් බවට පත්කර ගැනීමට හේතුව කුමක්ද?


අපේ පවුල් සංස්ථාව තුළ බොහෝවිට අසරණ වන්නේ ස්ත්‍රියයි. පේ‍්‍රමය සෑම ගැහැනියකටම පොදුයි. මවක්, බිරිඳක් හා දියණියක් ලෙස පේ‍්‍රමයේ වියෝගය දැඩිව දරා සිටින්නේ ස්ත්‍රියයි. මේ සියල්ලේ පොදු සංකේතය කුවේණියයි. ඒ නිසා මම කුවේණියගෙන් දකින්නේ ස්ත්‍රීත්වයයි.

පෙරදිග ස්ත්‍රියට සදාකාලයටම උරුම වූ විඳවීමක් තිබෙනවා. මම හිතන්නේ එය එන්නේ කුවේණියගෙන් කියලයි. පුරුෂාධිපත්‍යයෙන් බැටකන සදාකාලික ප්‍රතිමුර්තිය කුවේණියයි.

* මේ අදහස ඔබ ප්‍රතික්ෂේප කරන බටහිර සංකල්ප තුළ ස්ත්‍රීවාදය ලෙස දැක්වී තිබෙනවා නොවේද?


කොහෙන් ආවත් මේ තත්ත්වයට අපේ කාන්තාවන්ට මුහුණ දෙන්න සිදුවෙනවා නම් ඒක අපි ප්‍රතික්ෂේප කරන්නේ කොහොහමද?

අපි කාන්තාවන්ට සමතැන් ලැබෙනවයි කතාවට කිව්වට කොයිතරම් බැඳීම්වලින් ඒක වැහිලා තිබෙනවාද? මම කියන්නේ නෛතික සීමා ගැන නෙවෙයි. නීතිය ඇතුළෙ හැමෝටම සම තැන තිබෙනවා. නමුත් සංස්කෘතිය ඇතුළේ ඇය තවමත් සිරකාරියක්. පිරිමියෙක්ට ගෑනු දහදෙනෙක් ගන්න පුළුවන් වුණාට ගෑනියෙක් එහෙම කළොත් මොනව නොකියයිද?

ගැහැනියක් කවුරු හෝ පිරිමියෙක් සමඟ විවාහයකට ඇතුල් වූ පසු ඔහු කුමන දුෂ් චරිතයේ යෙදුණත් ඒ මත්තෙම තැවෙන්න ඕන. ඇයට ගැලවීමක් නැහැ. මේක වෙනස් කරන්න නම් අපි කල්පනා කරන විදිහ වෙනස්විය යුතුයි. ඒක කලාවට කරන්න පුළුවන්.

* ඔබ ඇතුළු පිරිස 80 දශකයේ අග නිර්මාණය කළ කලා නිර්මාණ සමහරු හඳුන්වන්නේ ප්‍රචාරකවාදී නිර්මාණ හැටියටයි.


එහෙම කියන අය ඔය කියන කාලේ මොනවද කළේ. අපි විශාල තර්ජනයක් මැද්දෙයි නාට්‍ය කළේ. අපේ සමහර මිනිස්සු කතා කරන්නේ සාර්ථක වූ උත්සාහයන් ගැන නෙවෙයි වැරදුණු දේවල් ගැනයි. අපිට ඉදිරියට යන්න අමාරු ඒකයි.


 උපුටා ගැනීම -  http://www.dinamina.lk/2011/10/21/_art.asp?fn=f1110213&p=1

No Response to "මං කුවේණිට ආදරෙයි!"

Post a Comment

අදහස් සහ උදහස්