-->

Sunday, November 13, 2011

ඓතිහාසික බුත්තල

0

ඓතිහාසික බුත්තල

අතීතයේ ශ්‍රී ලංකාව පෙරදිග ධාන්‍යාගාරය බවට පත්ව තිබූ බවත්, ඒ සඳහා වෙල්යායවල් ලක්ෂයක් පිහිටි වෙල්ලස්ස ප්‍රදේශය ආහාර නිෂ්පාදනයේ කේන්ද්‍රස්ථානය වූ බවත් ඉතිහාසයේ දැක්වේ.

ශ්‍රී විජයාරාමය
පරසතුරන් පලවාහැර රට එක්සේසත් කළ දුටුගැමුණු මහ නිරිඳුන්ට නිදහස් සටනට අවශ්‍ය ආහාර නිෂ්පාදනය වුණේ ද වෙල්ලස්ස ප්‍රදේශයෙනි.

සිය සොහොයුරු සද්ධාතිස්ස කුමරුන්ට යුද්දයට අවශ්‍ය ආහාර සැපයීම සඳහා වෙල්ලස්ස ප්‍රදේශය අස්වද්දන ලෙස දුටුගැමුණු මහ රජතුමා උපදෙස් දී තිබිණි.

මාගම සිට මහා සංඝරත්නය පෙරටු කොටගෙන විජිතපුරය බලා යුදසේනාව ගමන් ගත් මාර්ගය වැටී ඇත්තේ ද වෙල්ලස්ස ප්‍රදේශය ඔස්සේ ය.

එසේ විජිතපුරය බලා යන ගමනේ දී සිව්රඟසේනාව නැවතුම්ගත් එක් ප්‍රදේශයක් දැනට බුත්තල නමින් හැඳින්වේ.
යුද සේනාවට ආහාර ගැනීමට ගුප්තශාලා රාශියක් ඒ කාලයේ සද්ධාතිස්ස කුමරුන් විසින් ඉදි කර තිබිණි. ඒ අනුව මේ ප්‍රදේශය ඒකාලයේ ගුප්තශාලා පෙදෙස යනුවෙන් හඳුන්වා තිබේ.

පළමු සටනින් පසුබැස්ස දුටුගැමුණු මහරජතුමාට දෙවැනි සටනේ දී ආශිර්වාදය පළ කිරීමට මහා සංඝරත්නය ද ඉදිරිපත් වූහ.
ඒ මහා සංඝරත්නයට දන් පිළිගන්වා ඇත්තේ ද ගුප්තශාලා පිහිටි ප්‍රදේශයේ බවත්, ඒ හේතුවෙන් එම ශාලා භුක්තශාලා බවට පත් වූ බවත් ජනප්‍රවාදයේ එයි.

පසුකාලීනව භුක්ත ශාලා යන වචනය භත්තශාලා බවට පත් වූ බවත් කාලයාගේ ඇවෑමෙන් පාලි වචනයක් වූ භුක්ත තන්බව වී බත්තල තත්සම පදයක්සේ බුත්තල ලෙසින් වර්තමානයේ භාවිතා කරන බව ප්‍රදේශයේ ඓතිහාසික පසුබිම ගැන කරුණු ඉදිරිපත් කරන පැරන්නෝ පවසති.

‘දැයට කිරුළ 2011’ ප්‍රදර්ශනය සඳහා තෝරාගෙන ඇති භූමිභාගය ආසන්නයේම පිහිටි රහතන්කන්ද ගැන ද පුරාවෘත රැසක් තිබේ.

විජිතපුර සටනට එක් වූ දස මහා යෝධයන්ගෙන් සය දෙනෙකුම වෙල්ලස්ස ප්‍රදේශයේ ජන්මලාභය ලද වීරවරයෝ වෙති.

ඒ අය අතුරින් ථෙරපුත්තාභය යෝධයා විජිතපුර ජයග්‍රහණයට එක්වන්නේ පැවිදි බවෙන් උපැවිදි වෙමිනි.
විජිත පුර විජයග්‍රහණයෙන් පසුව යළි පැවිදි බිමට පිවිසෙන ථෙරපුත්තාභය ස්වාමින්වහන්සේ තමන් සමග සසුන්ගත වූ සංඝයා වහන්සේ 500 දෙනෙකු සම¼ඟ වැඩවාසය කිරීමට තෝරාගෙන ඇත්තේ මේ රහතන් කන්ද ප්‍රදේශයයි.

ජාතියේ වර්තමාන පවතින තත්ත්වය හා අනාගත ජයග්‍රහණ පිළිබඳ කරුණු කාරනා ප්‍රදර්ශනය කෙරෙන ‘දැයට කිරුළ 2011’ ප්‍රදර්ශනය මෙවැනි ඓතිහාසික වැදගත්කමක් ඇති භූමියක පැවැත්වීම ඒ ප්‍රදර්ශනයට තව තවත් අභිමානයක් ගෙන දෙන කරුණකි.

ථෙරපුත්තාභය යෝධයා පැවිදිවී වැඩසිටි ප්‍රදේශය පිහිටා තිබෙන්නේ බුත්තල ආසන්නයේය. අන්දායම් පබ්බත නම් වූ ඒ ප්‍රදේශයේ ජීවත් වූ ථෙරපුත්තාභය උපැවිදි වී මහ සටනට එක් වී තිබේ.
මේ අන්දායම් පබ්බතයට අද ව්‍යවහාර කරන්නේ රහතන් කන්ද කියාය. ථෙරපුත්තාභය හිමි සමග පැවිදි වූ පිරිසක් පසු කාලීනව රහත්භාවයට පත්වීමෙන් අනතුරුව රහතුන් වැඩ සිටි කන්ද රහතන්කන්ද බවට පත්ව ඇතැයි ජනප්‍රවාදයේ සඳහන්වේ. රහතන්වහන්සේ වැඩ සිටි ඉපැරණි කුටි මේ කන්දේ තවමත් දක්නට ලැබෙනවා.

වෙල්ලස්සේ ඓතිහාසික පසුබිම සලකා බැලීමේ දී ප්‍රාග් ඓතිහාසික යුගයේ පවා මේ ප්‍රදේශය සමෘද්ධිමත්ව හා සදාචාර සම්පන්න ජනයාගෙන් සපිරුණු ප්‍රදේශයක් ලෙස පැවැති බවට සාක්ෂි දක්නට තිබේ.

අවුරුදු 5000කට එපිට රාවණා යුගයේ රාවණාගේ සොහොයුරු කුම්භකර්ණ ජීවත්වී ඇත්තේ ද මේ ප්‍රදේශයේ ය. රාවණා මහරජුගේ රජයේ කෘෂිකර්ම ඇමතිවරයා කුම්භකර්ණ වේ. ඔහු ඉදිකළ මහා වාරිමාර්ග ඇළ කුඹුක්කන් ඔය වශයෙන් හැඳින්වේ.

රාම – රාවණා යුද්දය ඇතිවුණේ ද බුත්තල ආසන්නයේ පිහිටා තිබෙන යුදගනාව ප්‍රදේශයේ බවට සාධක තිබෙන බව ජනප්‍රවාදයේ කියැවේ.

යුදගනාව ආසන්නයේ පිහිටි ගිනිකටුහෙළ සහ උල්හිටි කන්ද යන කඳු දෙකේ සිට රාම රාවණා යුද්දය ඇති වූ බව සඳහන් වේ.

ඒ කාලයේ ඔවුන් භාවිතා කර ඇත්තේ පාෂාණමය ආයුද බවට එම කඳු දෙකේ තිබෙන ආයුද කොටස්වලින් සනාථවේ.

කඳු දෙකේ සිට දෙපාර්ශ්වය එල්ල කරන අවි උඩු ගුවනේදී ගැටුණු ස්ථානය කෑලි වැස්ස හෙවත් කැලි වැස්ස ලෙස හැඳින්වේ.

බුත්තල පිහිටි ගැරඩිබතිණ විහාරස්ථානය දක්වා රනුගල්ලේ සිට ජලය ගෙන ආ උමගක් රාවණා යුගයේ තිබූ බවට ද සාධක ඇත.

රනුගල්ල පිහිටා ඇත්තේ පැල්වත්ත පස්සර මාර්ගයේය. ඒ ප්‍රධාන මාර්ගය අසල එම උමගේ ආරම්භක ස්ථානය තවමත් දක්නට තිබේ.

රනුගල්ලේ සිට උමගකින් ගෙන ආ ජලයෙන් වෙල්ලස්ස අස්වද්දා ඇති බවට සාධක තිබේ. හොරබොක්ක ප්‍රදේශයෙන් එම උමගේ ජලය ගොවිබිම්වලට මුදාහැර ඇති බව කියැවේ.

මවුබිමේත්, සම්බුද්ධ ශාසනයේත් ආරක්ෂාව වෙනුවෙන් සැමදා සටන් වැදුණු ජනතාවක් වෙසෙන වෙල්ලස්ස ප්‍රදේශය ඇතමුන් හඳුන්වන්නේ විමුක්ති සටන් ආකරයක් ලෙසටයි. අතීතයේ සිට සශ්‍රීක ප්‍රදේශයක්ව පැවැති ඌව වෙල්ලස්ස මෑත කාලයේ ඉංග්‍රීසින් විසින් ගිනිබත් කර දැමූ ආකාරය ඉතාමත් අනුවේදනීය වේ.


උපුටා ගැනීම - http://www.dinamina.lk/2011/02/01/_art.asp?fn=f1102014

No Response to "ඓතිහාසික බුත්තල"

Post a Comment

අදහස් සහ උදහස්