-->

Sunday, November 13, 2011

ලංකාවේ උමං ඉතිහාසය

0

ලංකාවේ උමං ඉතිහාසය

ප‍්‍රාග් ඓතිහාසික යුගයේ සිට ම ලංකාවේ තිබුණු උමං පිළිබඳව අසන්නට ලැබේ. මෙම උමං අතරින් කොළොන්නට නුදුරු වවුල්පාන ප‍්‍රසිද්ධය. මෙවැනි උමං භූමි අභ්‍යන්තරයේ ජල ප‍්‍රවාහයන් නිසා පාෂාණ දියවීමෙන් සෑදුණු ඒවා යැයි සිතිය හැකිය. ගල්ඔය නිම්නයේ ගෝවින්ද හෙලේ සිට පැරණි රජ මාළිගා භූමියක් යැයි අනුමානයෙන් කියනු ලබන ස්ථානයක් කරා විහිදී උමගක් ඇතැයිද කියනු ලැබේ. රාවණා ඇල්ල. බතලේගම, මහඔය ආදි ස්ථානවලද මෙවැනි උමං ඇතැයි කියති.වාරි කර්මාන්තය සඳහා පැරැන්නෝ උමං ඉදිකළ බව ලංකා ඉතිහාසයේ සඳහන් වේ. එවැනි පැරණි උමගක් ආර්. එල්. බ්‍රෝහියර් විසින් ඌව පළාතෙන් සොයාගන්නා ලදී. වීදියේබණ්ඩාර පෘතුගීසීන් විසින් කොළඹ කොටුවේ සිර කරන ලද අවස්ථාවේදී ඔහුගේ සූරියදේවී නම් වු බිසව උපායක් කල්පනා කර ගලිගමුවේ පල්ලරුන් ලවා කෝට්ටේ සිට උමගක් කණවා ඔහු රහසේ සිර ගෙයින් පිටකරගන්නා ලද බව රාජාවලියෙන් ද අලකේශ්වර යුද්ධය නම් කෘතියෙන්ද ක්වේරෝස් නම් පෘතුගීසි ඉතිහාසඥයාගේ වාර්තාවලින්ද හෙළිවේ.

යටත් විජිත සමයේදී ලංකාවේ දුම්රිය මාර්ග උදෙසා බි‍්‍රතාන්‍යයින් විසින් උමං (බිංගෙවල්) ඉදිකර තිබේ. භූ විෂමතාවන් ජයගැනීම සඳහා එසේ දුම්රිය මාර්ගවල අතීතයේදී බිං ගෙවල් නිර්මාණය කරන ලදී. විශේෂයෙන් උඩරට කඳුකරයේ වූ ගිරි දූර්ග අතරින් දුම්රිය මාර්ගයක් ඉදිකිරීමේ අභියෝගය ජයගෙන ඇත්තේ බිංගෙවල් 44 ක් කැණීමෙනි. කොළඹ සිට බදුල්ල දක්වා බිංගෙවල් 44 ක් තිබේ.ප‍්‍රධාන මාර්ගයේ කඳුකරයෙන් මෙපිට පිහිටි එකම බිංගෙය මීරිගම සහ අඹේපුස්ස අතර පිහිටා තිබේ. 

රඹුක්කන සිට කඩුගන්නාව දක්වා වූ දුර්ග මාර්ගයෙහි පිහිටි බිංගෙවල් සංඛ්‍යාව 10 කි. අලගල්ල කඳු වැටියෙහි පිහිටි අඩි 1059 ක් වූ බිංගෙය මහනුවර දක්වා වූ දිගම බිංගෙය වේ. වඩාත් විශ්මිත නිර්මාණය වන්නේ මිංගල්ල බිංගෙයයි. එහි දිග අඩි 300 ක් හා පළල අඩි 18 ක් වේ. හැටන් දුම්රිය ස්ථානයට මදක් දුරින් පිිහිටි සිංගිමලේ කන්ද හරහා වූ ර්‍ථධධත ඕචදඬ බිං ගෙය අඩි 1842 කි. ඔහිය සහ ඉදල්ගස්හින්න අතර වැඩිම බිංගෙවල් සංඛ්‍යාවක් දක්නට ලැබේ. දිගින් අඩු බිංගෙවල් 14 ක් ඒ අතර වේ. එක් බිංගෙයක් පසුකිරීමට පෙර දුම්රිය ඊළඟ බිංගෙයට පිවිසීම එහි ඇති සුවිශේෂත්වයයි.දෙමෝදර බිංගෙයද විශ්මිත නිර්මාණයකි. දුම්රිය ස්ථානය පිහිටා ඇත්තේ බිංගෙය පිහිටි කඳු බෑවුම මතය. දුම්රියපළ පසුකර කන්ද වටා ගොස් යළි දුම්රියපළ යටින් වූ බිංගෙය ඔස්සේ ගමන් මග ඉදිව තිබීම සුවිශේෂ දර්ශනයක් වේ.

උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටියට නුදුරුව වූ සැතපුම් ¾ 3/ 4 පමණ දිග බිංගෙය ලංකාවේ දුම්රිය මාර්ගයන්හි පිහිටි බිංගෙවල් අතරින් ඉතාම දිග බිංගෙයයි. ඉතාම ගැඹුරින් හාරා තිබෙන්නේ අලගල්ලේ බිංගෙයයි. මහා මාර්ග සඳහා වූ බිංගෙවල් අතරින් වඩාත් ප‍්‍රසිද්ධ මහනුවර හල්ඔළුවේ බිංගෙයයි. කාපිරි කම්කරුවන් යොදවා බි‍්‍රතාන්‍යයන් විසින් ඉදිකරනු ලැබූ මෙම බිංගෙය 1930 දී පමණ ගරා වැටිණ. 1958 දී එය ප‍්‍රතිසංස්කරණය කරන ලදී. ලංකාවේ ජල විදුලි කර්මාන්ත උදෙසා උමං කැණීම අත්‍යවශ්‍ය විය. 1950 දී නිම කරන ලද ලක්ෂපාන විදුලි බල නිෂ්පාදන කාර්යය සඳහා අඩි 8,4000 ක් දිග උමගක්ද 1958 දී නිම කරන ලද කාසල්රේහි විමලසුරේන්ද්‍ර විදුලි බලාගාරයට ජලය ගෙන ඒම සඳහා සැතපුම් 4 ක් දිග උමගක්ද 1969 දි පොල්පිටියේ ජල විදුලි බලාගාරය සඳහා සැතපුම් 4 1/4ක උමගක්ද සාදා නිම කර තිබේ.මෙම උමං සියල්ලේ වැඩි කොටස දැඩි පස් සහිත ප‍්‍රදේශ ඔස්සේ හාරා තිබේ. 

බොහෝ උමංවල ඇතුළු පැත්ත වානේ වලින් හෝ කොන්කී‍්‍රට්වලින් සවිමත් කර තිබේ.උමං කැණීමේ ශිල්ප ක‍්‍රම අනුව ඉදිකළ සොරොව් දෙකක්ද තිබේ. ඒ කන්තලේ දකුණු ඇල සොරොව්ව සහ මින්නේරි වැව් ජයන්ති සොරොව්වය. අතීතයේදීී පැරණි ක‍්‍රම අනුව අප රටේ කුඩා උමං ඉදිකළ අතර පසුකාලයේදී දියුණු ක‍්‍රම භාවිතා කර උමං ඉදිකරන ලදි.ලංකාවේ මිනිරන් පතල් කර්මාන්තයේදී දෝනා කණිනු ලබන්නේ උමං කණින ආකාරයටමය.ස්වභාවිකව සෑදුණු උමං සහ ඉපැරණි රජකාලයේදී සාදන ලද උමං වරින් වර ලංකාවේ විවිධ ප‍්‍රදේශ වලින් හමුවී තිබේ.ලුණුගලකන්ද ආසන්නයේ උමගක් ගැන 1983 දී තොරතුරු වාර්තා විය. මෙය සිංහල රජ සමයේ රහස් උමගක් ලෙස විශ්වාස කරනු ලැබේ. වාද්දුවෙන්ද පැරණි උමගක් 80 දශකයේදී හමුවිය. ඒ වාද්දුව - මහවාද්දුවේ වේරගමට නුදුරින් පිහිටි භූමි භාගයකි. 

මෙය ද රජකාලයේ ඉපැරණි උමගක් ලෙස සලකනු ලැබේ.උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ලට ආසන්නව පිහිටි ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයට යටින් කිලෝමීටර් ගණනාවක් දුරට විහිදුණු රජකාලයට අයත් උමගක් හමුවී තිබේ.අත්තනගල්ලේ නිට්ටඹුව ඇතාඋඩකන්ද පාරේ උමගක් සහිත ගල්කුළක් හමුවී තිබේ. මෙය අලවල සිට රත්නපුර පොත්ගුල් විහාරය තෙක් විහිදී යයි. මෙයද සිංහල රජකාලයේ උමගකි.අඟුළුගහකන්ද සර්වෝදකන්දේ අඩි තිහක් පමණ පොළොව යට උමගක් මතුවී තිබේ. එය ස්වභාවිකව භූමියේ ඇතිවූ තත්ත්වයක් මත සෑදුනකි.

ලංකාව ලන්දේසීන්ගේ යටත් විජිතයක් ලෙස පැවති සමයේදී ලන්දේසීන් විසින් කල්පිටියේ ඉදිකළ බලකොටුවේ වාහල්කඩ ඉදිරිපසින් ආරම්භ වන උමං මාර්ග දෙකක් දක්නට ලැබේ. ඉන් එක් උමගක් කොටුවට සැතපුම් 1/4ක් පමණ දුරින් පිහිටි දේවස්ථානය වෙත රහසින් යාම සඳහා සාදා තිබේ. හදිසි සතුරු ප‍්‍රහාරයකදී පරාජය වීමට සිදුවූවොත් තම ජීවිත බේරාගෙන පලායාමට මෙම උමග තනන්නට ඇති බව කියනු ලැබේ. ලන්දේසීන් සෑදූ අනෙක් උමං මාර්ගය යාපනයට සහ මන්නාරමට යාම සඳහා භාවිතා කරන ලදී. යාපනය දෙසට යන උමග අතර මගදී දෙපසට විහිදී එක් මාර්ගයක් යාපනයටත් අනෙක් මාර්ගය මන්නාරමටත් වන ලෙස සාදා ඇතැයි විශ්වාස කරයි.

කොත්මලා ඔය ජලාශය ඉස්මත්තේ නුවරඑළිය මහා මාර්ගයේ ඉදිකිරීම් කටයුතු කරගෙන යද්දී උමගක් මතුවී තිබේ. හරංගල ගමෙන් මතුවී ඇති මේ උමග පිහිටි පොළොවෙන් අඩි තිහක් පමණ යටින් පිහිටා තිබේ. මෙම උමග පිළිබඳව විවිධ මත තිබේ. පුරාණයේදී කොත්මලේ ගිනිකඳු පුපුරා ඇතැයි ද ඒ ගිනිකඳුවලින් ගලාගිය ලාවා තට්ටුවක් කල්යාමේදි භූ විපර්යාසයන්ට ලක්වී තල්ලුවී ගොස් මෙසේ උමගක බවට පත්වි ඇතැයි එක් මතයකි. 

රන්, තඹ සහ යකඩ වැඩ සඳහා කැපූ ඉල්ලමක් ලෙසද එය සලකයි.ශ‍්‍රී දළදා මාළිගා භූමියේ පිහිටි මහනුවර වැව යටින් ද රහස් උමගක් පිහිටා තිබෙන බවත් එය හඟුරන්කෙත දක්වා පොළොව යටින් විහිදී ඇති බවත් විශ්වාස කරනු ලැබේ.ඇඹිලිපිටියේ හබ්බෙලිආර ගමේ අරුමපුදුම උමගක් පෑදුණු බව 1999 වසරේදී වාර්තා විය. පනාමුරේ සිට කටුවන දක්වා අතීතයේ උමං මාර්ගයක් තිබුණු බවට ජනප‍්‍රවාදයේ සඳහන් වේ.ජනාකීර්ණ නගර තුළ එහා මෙහා පයින් යන්නන් සඳහා වර්තමානයේ ප‍්‍රධාන උමං මාර්ග 2 ක් නිර්මාණය කර තිබේ. ඉන් එක් උමං මාර්ගයක් කොළඹ බොරැල්ල නගරය ආශ‍්‍රිතවද අනෙක් උමං මාර්ගය මහනුවර නගරය ආශ‍්‍රිතවද සකස් කර තිබේ.

No Response to "ලංකාවේ උමං ඉතිහාසය"

Post a Comment

අදහස් සහ උදහස්