-->

Thursday, August 5, 2010

රාවණා අපේ කෙනෙ‍ක්ද?

0
පසුගිය දිනක මගේ ඉතාලි ජාතික මිතුරියක් ගෝතමාලාවේ සංචාරයක යෙදුණා. එහිදී ඇගේ මඟ පෙන්වන්නා විසින් පවසන ලද දෙයක් නිසා ඇය මවිතයට පත් වී තිබුණා. සංචාරක මඟ පෙන්වන්නා පවසා තිබුණේ එරට පැවති පැරණි මායා ශිෂ්ඨාචාරයේ ආරම්භකයන් ලංකාවෙන් පැමිණියවුන් බවයි. මගේ මිතුරිය එ‍් පිළිබඳව මගෙන් විමසා සිටි විට මට එක්වරම සිහිපත් වූයේ රාවණා පුවතයි. රාවණා අධිරාජ්‍යයට අයත් යටත්වැසි රාජ්‍යයන් ලොව පුරා පැතිර පැවති බව ප්‍රසිද්ධ මතයක්. මේ සිද්ධිය නිසා රාවණා පුවත ගැන නැවත සිතන්නට පෙළඹුනේ ප්‍රශ්න ගනණාවක්ම හිතේ ඇතිවයි.

කුඩා කල සිට රාවණා ගැන අපට කියාදුන් කතා වලත්, පසු කලක අප විසින්ම කියවන ලද රාමායනයට අනුවත්, රාවණා යනු ලංකාපුරයේ අධිපතියාය. රාමායණයට අනුව රාවණා පරාජය කිරීමෙන් පසු ඔහුගේ සොහෙ‍ායුරු විභීෂණට ලංකාව භාර කරනවා. එසේම රාවණා ගේ ජනතාව සමූල ඝාතනය කල බවට කිසිම සඳහනක් නැහැ. එය එසේ නම්, රාවණා ගේ ලංකාවේ සිටි ජනතාවගෙන් පැවතෙන්නන් සිටින්නේ කොහිද? අපගේ වංශකථා වලට අනුව විජය ලංකාවට පැමිණ පරදවන්නේ එසේ රාවණාගෙ‍් පරපුරෙන් පැවත එන ජනතාවද?

රාවණා පරපුරෙන් පැවතෙන්නන් විජයාගමනය තෙක් ලංකාවේ සිටියේ නම්, විජය සමඟ පැමිණි හත්සියයක් පිරිස පැරදවීමටවත් නොහැකි දුර්වලයන් පිරිසක් බවට පත් වී තිබිණිද? මෙහිදී අප අමතක නොකල යුතු කරුණක්ද ඇත. රාවණා රජු වර්තමානයේ පවතින ගුවන් යානා, මිසයිල වැනි අධිතාක්ෂණික මෙවලම්වලින් සන්නද්ධව යුධ වැදුනු බවයි. එතරම් දියුණු සමාජයක් විජය පැමිණෙන අවධිය වන විට ඉතා කුඩා පිරිසකගේ අණසකට යටත් වන්නට තරම් පිරිහීම සිදුවිය හැක්කක්ද?

මීළඟට ඇතිවන ප්‍රශ්නය නම්, විජය ඇතුළු පිරිසගෙන් පැරදෙන රාවණා පරපුරෙන් පැවතෙන්නන් (එය එසේ නම්) සදහටම වඳ වුනිද, නැතහොත් ඇතැම් අය පවසන පරිදි ලංකාවේ කුඩා පෙ‍ෙදසකට සීමා වූ ‍වැද්දන් බවට පත් වුනිද? රාවණා අධිරාජ්‍යය ලොව පුරා පැතිර පැවතියේ නම්, රාවණා පරපුරෙන් පැවතෙන්නන් ලංකාවේ හැර වෙනත් කලාපයක ස්ථාපනය වුනිද? අපේ රටේ පවතින ජාතිකත්ව ගැටළුව සහ ඊට සම්බන්ධ සිංහල නිජබිම් සංකල්පය අර්බුදයකට යන්නේ මෙතැනදීය. මහාවංශය නම් වීර කථාවෙන් අන්ධ වූ අපගේ ඉතිහාසඥයන්, විජයට පෙර ලංකාවේ පැවති ශිෂ්ඨාචාරය ගැන උනන්දු නොවී අපගේ ආර්ය සම්භවය තවදුරටත් රැකගැනීමේ උත්සාහයක නිරත වීමේ ප්‍රථිඵලය මෙයයි.

අප රාවණා ඉතිහාසය පැත්තකට දමන අතර, බොහෝ ඉන්දියානු ඉතිහාසඥයන් ඒ පිළිබඳව වැඩිදුර අධ්‍යයනය කරමින් පවතිනවා. ඔවුන්ගේ සොයා ගැනීම් සහ නිගමන සිංහල නිජබිම් සංකල්පයට පහරක් වෙමින් තිබෙනවා. ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශ වල විශේෂයෙන්ම දකුණු ඉන්දියානු කලාපයේ රාවණා රජු සැමරීමේ උත්සව පවා පැවැත්වෙනවා. ඇතැම් ද්‍රවිඩ ජාතිකයන් (දෙමළ පමණක් නොවේ) ඔවුන් රාවණා පරපුරට අයත් බව කියා සිටින්නේ සාධකද ඇතිවයි.

රාවණා රජුට සහෝදරයන් සය දෙනෙක් සහ සහෝදරියන් දෙදෙනෙක් සිටි බවත් ඉන් තිදෙනෙකු හැර අනෙක් අය ජීවත් වූයේ ඉන්දියාවේ බවත් කථා පුවතේ සඳහන් වෙනවා. එය එසේ නම්, රාවණා පරපුරෙන් පැවතෙන්නන් අදටත් ඉන්දියාවේ විසිය යුතුයි. බරපතලම ප්‍රශ්නය පැන නගින්නේ එවිටය. දකුණු ඉන්දියානු ද්‍රවිඩයන් රාවණා පරපුරට අයත් නම් ලංකාවේ මුල් පදිංචිකරුවන් වන්නේද ඔවුන්ගේ පරපුරය. එවිට “සිංහලයන් යනු පසු කලක ලංකාව ආක්‍රමණය කරන ආර්ය සම්භවයක් ඇති ආක්‍රමණිකයන්ගෙන් පැවතෙන්නන්ය”. එය එසේ නම් අපගේ සිංහල නිජබිම් සංකල්පයට සිදු වන්නේ කුමක්ද?

රාමායණය යනු ‍ෙඑතිහාසික සාධක නොමැති කථා පුවතක් පමණක් බව යමෙකුට පැවසිය හැක. මහා වංශයද එවන්ම කථා පුවතක් බව අප අමතක නොකල යුතුය. මහාවංශ‍ෙය් සඳහන් බොහෝ සිද්ධි සඳහා පුරාවිද්‍යාත්මක සාධක පැවතියද, එසේ නොවන අවස්ථාද එමටය. විජය පුවතද ඇතුළුව මුල් අවධි සඳහා පුරාවිද්‍යාත්මක සාධක නොමැති බව අප පිළිගත යුතුය.

සිංහලයන්ගේ ආර්ය සම්භවය පිළිබඳව හුවා දක්වන වංශ කථා වලට සීමා නොවී, රාවණා පුවත පිළිබඳව සැබෑ අධ්‍යයන ඇරඹීමේ කාලය පැමිණ තිබේ. එය සිංහලයන්ගේ නිජබිම් අයිතිය තහවුරු කර ගැනීමටත්, අපගේ සැබෑ අතීතය සොයා ගැනීමවත් උදව් වෙනු ඇත. සිංහලයන් පැවත එන්නේ අතිවිශිෂ්ඨ යුද්ධයක් මෙහෙය වූ රාවණා පරපුරෙන්ද නැතහොත් තම ජනතාවට හිරිහැර කිරීම නිසා රටින් පිටුවහල් කරනු ලැබූ දඩබ්බර රජ කුමරකුගෙන්ද යන්න තීරණය කිරීම සිංහලයන්ගේ අභිමානය නංවන්නක් වෙනු ඇත.
උපුටා ගැනීම - http://www.facebook.com/topic.php?uid=132543113437600&topic=138

No Response to "රාවණා අපේ කෙනෙ‍ක්ද?"

Post a Comment

අදහස් සහ උදහස්