-->

Sunday, August 15, 2010

රාවණා - සීතා සොයා හෝර්ටන්තැන්න ගිනිබත් කළ හනුමන්තා

0
රාවණා - සීතා සොයා හෝර්ටන්තැන්න
ගිනිබත් කළ හනුමන්තා

තොටුපළ සහ කිරිගල්පොත්ත කඳු හිස් සිප සනහමින් පල්ලම් බැසි මිහිඳුම් සේල හෝර්ටන් තැනිතලාව පුරාවටම විසිර ගොසිනි. එබැවින් දෝ හිරු ගේ සැර බාල වී ඇත. හාත්පසම දිස් වනුයේ හිමිදිරි උදෑසනක සිරිය. වනවාසීහූ ජල බිඳිති වත තවරා ගෙනම ඔබ - මොබ සරති. හැමතැනම දක්නට ඇත්තේ ගනැති මිහිඳුම් පටල පමණකී. ඉඳින් බලාපොරොත්තු බිඳ ගත යුතු ද? නැත. මෙකී මිහිඳුම් සේල අප නොසිතනා අයුරින් පැමිණියාක් මෙන්ම නොකියාම පිටව යන්නේය.

හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ ඔහිය උද්‍යාන පිවිසුමෙහි 31 වැනි කිලෝමීටර කණුව අභියසැති කුඩා දිය කඩිත්ත ද මඩ ගොහොරුවක් බඳුය. උදා සහ සවස් සමයන්හීදි ඒ කරා පැමිණි සා, මී, ගෝන, වඳුරු ආදී හෝර්ටන්තැන්නේ වැසියෝ ස්වකීය ග්‍රහණයට ඈ නතු කර ගෙන සිටිති. ඒ බවට අවට විසිරී ඇති වසුරු සහ පා සටහන් සාක්‍ෂි දරයි. සියල්ලන්ගේ ම පයට පෑගී, නේක විද වසුරු පිඩිවලින් පිරි දිය කඩිත්ත අවසන දිස් වනුයේ සූපයක් මෙනැ’යි සඳහන් කළද වරදක් නැත.

දිනය පුරාවටම වනාත පුරා සරා වෙහෙසට පත් වන වන-දරුවෝ එකී සූපය තොල ගාතී. ඉනිදු නොනැවතෙන සූකරයෙක්, දෙන්නෙක් එහිම ලැග සූපයට මදි පාඩුවක් වෙතොත් එකී අඩු පාඩුවද සම්පූර්ණ කරති. සිත් සේ දිය කෙම මඩ කොට, එහිම වසුරු හෙළා පාඩුවේ නික්ම යති. මෙකී සියලු ම වනරැඟුම් නිසල වන පෙත ජීවයෙන් පුරවාලීමේලා මහෝපකාරී වෙයි.

හෝර්ටන්තැන්න ගුවනත සිට ‘සිළු සරපකුස්සෙක්’ තම දිවා සැරිය අරඹා ඇති බවට ඌ නඟනා නාදය දෙස් දෙයි. මිනිසෙක් සියුරුහම් බාන්නා හා සමැව ‘විසල්’ නදක් නගමින් ඉහළ අහස් කුස මත රැඳි හේ අහරට යමක් සොයනවා විය යුතු ය. පවත්නා ශීතල දේශගුණික තත්වය හමුවේත් සියලුම වන වැසියෝ වහන්වීමට නොතනන ති. පාරිසරික වශයෙන් එල්ලවන සෑම, සියලු බාධකයකටම නොබියව මුහුණ දෙමින් ජීවත් වීම උදෙසා සටන් වදිති.

වියළි කලාපයීය වනපෙත් තුළදී සිළුසරපකුස්සෙකු ගේ දිවා සංචාරයත්, ඒ හා බැඳුණු ‘විසල්’ නදත් වනවාසී ගැමියන් හට ගෙනෙනුයේ සොම්නසකී.
”හ්ම්..., වරුසාවක් අත ළඟම එන හැඩයි.” ගැමි මුවඟට සිනාවක් හා සමඟම වර නැගෙනුයේ නිතැතිනි. පරිසරය හා සමඟ අතිනත ගත් ඔවුන්ගේ ජනප්‍රවාදිත ආකල්ප එබඳුය. එකී ආකල්ප ප්‍රායෝගික සත්‍යයක් බවද නොකියා බැරිය.

එනමුදු හෝර්ටන්තැන්නට නම් එහි ඇති කිසිදු අරුමයක් නැත. මන්ද යත් හඬන්නට ආසන්නව බලා හිඳිනා ‘කඳුළු බිඳු’ බරැති වලාකුළු ගොන්නක් එහි නිබඳව අහස් කුස සරයි. එබැවින් සිළු සරපකුස්සාගේ මේ පියාසැරිය යනු තම පි‍්‍රයතම ආහාරය වන සර්පයින් සොයා වන ගවේෂණ චාරිකාවක් විය යුතුය. 

නමුත් ඔහුට තම ගවේෂණයේ සාර්ථක ප්‍රතිඵල අත් කර ගත හැකි වේද යන්න නම් අවිනිශ්චිත ය. හෝර්ටන්තැන්න යනු ‘ලේ මැඩිල්ලා’ යන සර්ප විශේෂය විනා අන් සර්පයන්ගෙන් (ගැරඬියා හැර) තොර වන ප්‍රදේශයක් බැවිනි.

හාත්පසින්ම දිස් වනුයේ නෙක නෙක අයුරින් මිහිඳුම් සේල පොරවා ගෙන හමන සුළඟින් රැඟුªම් රඟනා නේක විද ශාක විශේෂයෝය. සිරිලක භූ පිහිටීම අධ්‍යයනයේදී හෝර්ටන් සානුවට හිමිවනුයේ වෙසෙස් තැනකි.
හෝර්ටන් – පට්ටිපොළ සානුවට අයත් මෙකී තැනි බිම මත පිහිටා ඇති ශාක වැස්ම, හමා යන සුළඟට ඔරොත්තු දෙන සේ ස්වකීය අත – පය සැමත විහිදුවමින් සහ අඹරවමින් ‘බොන්සායි’ ශාක සැකැස්මක් හා සමැව හැඩ වී ඇත. බේසමක් මුණින් අතට නැමූ කල දිස් වෙන උස් වූ වේදිකාවක් හා සමැව පිහිටි භූ සැකැස්ම, සැබැවින්ම සිතෙහි ජනිත කරනුයේ විස්මයකී.

’මහඑළිය’ හා සබැඳි ප්‍රකට ප්‍රේම පුරාවෘතාන්තය වනුයේ රාවණා - සීතා කතාන්තරයය. ඉඳින් හෝර්ටන්තැන්නේ අභිමානයට දෙස් දෙන එකී වෘතාන්තයම ‘මහඑළිය’ - සැබැවින්ම එළි - පෙහෙළි කිරීමේ කතාන්තරයට ද මුල් පසුබිම සකස් කළාද?, යන ප්‍රශ්නාර්ථය ද ඉතිරි කර ඇත්තේ ඊට රිසි පිළිතුරක් ගවේෂණය කර සොයා ගනු රිසියෙනි.
රාවණ රජු තම දඩු මොනර යන්ත්‍රයෙන් අහසට නැඟ, ඉන්දීය සයුර තරණය කර සීතා දේවිය හොර රහසේම පැහැර ගෙන, සිරිලකට පෙරළාවිත් සඟවා තැබුවේලු. 

ඉඳින් රාවණ රජු ගේ දඬු මොණර යන්ත්‍රයට තොටුපළ බවට පත් වී ඇත්තේ ‘මහඑළියේ’ තොටුපළ කන්ද ප්‍රදේශයය. භූ පිහිටීම පරීක්‍ෂා කිරීමේදීත් මීටර 2357 ක් වූ උච්චත්වයක් සහිතව සිරිලක උසින් වැඩි තෙවැනි කඳු ගැටය සේ වැජඹෙන එකී කඳු ශිඛරය සැබැවින්ම නමට සරිලන අයුරින්ම තොටුපොළකි. එසේම සීතා කුමරිය සඟවා තබා ඇත්තේද තොටුපළ කන්දට යාබදව පිහිටා ඇති සීතා එළිය නමැති ප්‍රදේශයේය.

හෝර්ටන්තැන්න සුන්දරත්වයෙන් පුරවන ‘සීතා පේර’ නමැති සීතා දේවිය ගේ නම හා සබැදුණ පඳුරු ශාකයත් එදවස සිදු වූ පුරාවෘතයේ නිහඬ සාක්‍ෂි නොවන්නේ ද? නිබඳවම සුළඟින් ලෙළ දෙන එකී ශාකය, ‘යම් රහසක් පැවසීමට නොහැකිව ළතැවෙන එකියක” මෙන් ශෝකාකූලව වැලපෙනු සුලභ දසුනකි. ඇගේ වැලපීමේ ඵලය සේ කොළ කිණිති මත්තෙහි ඵල දරනුයේ ද ‘කඳුළු - බිඳු’ හා සමැ වූ ඵලයකි.

රාවණා රජු සීතා දේවිය පැහැර ගත් බැව් දත් රාම කුමරු සීතා සොයා ‘හනුමන්තා’ නමැති වානර රජු සිරිලක බලා පිටත් කර එවා ඇත.
පළිගැනීමේ අටියෙන් සිරිලකට බට ‘හනුමන්තා’ රාවණ රජු ගේ විජිතය ගිනිබත් කරන අටියෙන් තම වල්ගයට ගිනි තබා ගෙන වන පෙත පුරා දිව යමින් ගස් කොළන්දවා අළු කර ඇත. එලෙස දවා අළු කළ වන පෙත, එහි ඵලයක් වශයෙන් විවෘත තණ බිමක් බවට පත් ව ඇත.

මේ ආකාර වූ අහිංසක කතන්තර අපමණ සංඛ්‍යාවක් ශ්‍රී ලාංකේය ජනප්‍රවාද අතරට එක්ව පවතී. නිහඬ, අඳුරු යටගියාවම පි‍්‍රය කරනා එකී කතාන්තර හැකි සෑම විටෙකම ලොවෙන්ම සැඟවීමට යත්න දරයි. නමුදු එකී කතාන්තරයන් හී සත්‍ය - අසත්‍යතාවයන් කෙබඳුදැ’යි දන්නේ නිහඬ වන පෙත පමණි. එබැවින් එකී කතාන්තර උත්පත්තියට අවැසි පසුබිම සපයයි.
 
සඳමල් රශ්මී. ශ්‍රී. බුද්ධික
වන ජීවී නියාමක හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය 


No Response to "රාවණා - සීතා සොයා හෝර්ටන්තැන්න ගිනිබත් කළ හනුමන්තා"

Post a Comment

අදහස් සහ උදහස්