Monday, August 23, 2010
ඉතිහාස හරහා සංචාර කරන්නකුට රාවණා හොඳ ජනශ්‍රැතික ඉතිහාස මූලයකි
0ඉතිහාස හරහා සංචාර කරන්නකුට රාවණා
හොඳ ජනශ්‍රැතික ඉතිහාස මූලයකි
18 වන කොටස
"මුලින්ම ගුවන් යානය සොයාගත්තේ කවුද?"
දිඹුලාගල ජිනාලංකාර නායක හාමුදුරුවෝ මා දෙස නොබලාම ප්‍රශ්න කරති. මීට පෙර මේ ප්‍රශ්න මගෙන් මුල්වරට අසා තිබුණේ කඳනේ හපුගොඩ ඉස්‌කෝලේ වින්සන් මාස්‌ටර් බව මගේ මතකයේ රැඳී තිබේ. එදා මම සෘජු ලෙසම "රයිට් සහෝදරවරු" යෑයි උත්තර දුන්නේ ඊට පෙරදා රාත්‍රියේ අයියාගේ කියවීම් පොත පෙරළා බලා තිබූ නිසාය. එහෙත් සීලාලංකාර හාමුදුරුවන්ගේ ප්‍රශ්නයට දුන් මගේ පිළිතුර ඊට වඩා වෙනස්‌ය.
"රාවණා!"
උන්වහන්සේ පළමුවරට මා දෙස හැරී බැලූහ. මම එක ම ඉරියව්වෙන් නායක හාමුදුරුවන්ගේ දැස් දෙස බලා සිටියෙමි. ඒ ගැඹුරු දැස් තුළ මා පිළිබඳ ප්‍රසාදයක් දැල් වී යනු මට පෙනේ.
"හුඟාක් එවුන් කියන්නේ රයිට් සහෝදරයෝ කියලනේ..."
"ඒ ඔය අද අපි දකින ගුවන් යානයේ ඉතිහාසයනේ හාමුදුරුවනේ. ඊට හුඟාක් කලින් අහස් යන්ත්‍රයක් ගැන ලෝක ඉතිහාසයේම මුල්වරට සඳහන් වෙන්නේ රාමායනේ යි මගේ හිතේ"
"බොහොම හරි"
උන්වහන්සේ මට අසුනක් පනවා දිගු අනුශාසනාවක් පැවැත්වූහ.
දිඹුලාගල ජිනාලංකාර නායකහාමුදුරුවන් සුවිශේෂී දැව කැටයම් නිර්මාණ ශිල්පියෙකි. උන්වහන්සේගේ ලී කැටයම් ශෛලියට "දිඹුලාගල ශෛලිය" යෑයි නම් තැබිය හැකි බව මම ප්‍රකාශ කෙරුවෙමි. එහි ඒ තරම්ම සුවිශේෂි බවක් ගැබ්වෙයි.වියපත්ව හෝ ස්‌වාභාවික උවදුරකින් හෝ කඩා වැටුණු පලු, වීර, කළුවර, කළුමැදිරිය ආදී අරටු සහිත තද ලී කඳන් ගස් පිටින් විහාරයට ගෙන්නා ගන්නා උන්වහන්සේ ඒ ගසේ උසටම කැටයම පවත්වා යයි. දිඹුලාගල පත්තිරිප්පුවේ තැන්පත්කොට ඇති විශාල දැව කැටයම් උන්වහන්සේගේ නිර්මාණශීලීභාවයට කදිම නිදසුන් ය.
මම දිඹුලාගල සංදාරයකොට උන්වහන්සේ බැහැ දැක්‌කෙමි. කැටයම්කරණයේ භාවනානුයෝගීව සිටි උන්වහන්සේගේ අවදානය මාවෙත දිනා ගැනීමට මා කොතෙක් උත්සාහ කළ ද එය මට කළ හැකි වූයේ නැත. මා තුළ ඇති ජනකාන්ත නළුකමේ වගක් උන්වහන්සේට නැත. පොඩි හාමුදුරුවන් විසින් මගේ ඉතිහාස මාධ්‍ය ශවේෂණ පිළිබඳ කොතෙක් උදාහරණ දක්‌වමින් මා හඳුන්වා දුන්නද නායක හාමුදුරුවන් මා හඳුනන්නේ නැත. උන්වහන්සේට ටෙලිවිෂන් එක මහ කඡ්ජක් නොවේ.
"අපි මේ කැලේ ඉන්න වැද්දෝ අපෙන් මොනවා දැනගන්නද?"
යෑයි උන්වහන්සේ මා මඟහැරීමට උත්සහ කරයි. නමුත් නායක හාමුදුරුවන්ගේ අවදානය දිනා ගැන්මට මගේ තිබූ උත්සහය මම අත් නෑරියෙමි. උන්වහන්සේ අහස්‌යානයේ ප්‍රශ්න මගෙන් අසනු ලැබුවේ අනිවාර්යයෙන් ඊට මා දෙන පිළිතුරින් මා පරාජය කළ හැකි යෑයි සිතූ නිසා විය යුතුය. එහෙත් මගේ පිළිතුරේ තිබූ රාවණාවාදී බව හේතුවෙන් සීලාලංකාර නායක හාමුදුරුවෝ මාවෙත කරුණාවන්ත වූහ.
වර්තමාන ලංකාවේ ජනගහනයෙන් සියයට සියයකම රාවණා විශ්වාසයක් නැත. අදවන විට පුවත්පත්වල රාවණා ප්‍රවාදය හොඳින් සංවාද කෙරෙයි. එහෙත් ජනකාන්ත රූපවාහිනිය සහ ගුවන්විදුලිය මේ මාතෘකාවේ ඇති යාවත්කාලීන මානවවාදය පර්යේෂණ නොකොට ඇති හෙයින් එය ජාතික සංවාද ඝණයට නොගනියි. එහෙත් මව්බිමේ ඉතිහාසය හරහා සංචාරය කරන්නකුට නම් රාවණා හොඳ ජනශ්‍රැතික ඉතිහාස මූලයකි.
"ජනශ්‍රැතියට ගෞරව කරන්න" යෑයි මට විද්වතුන් දෙපලක්‌ම උගන්වා ඇත. ඉන් පළමු ගෞරවය හිමිවන්නේ ක්‍රිස්‌තු වර්ෂ පස් වන සියවසේදී ලංකා ඉතිහාසය ග්‍රන්ථාරූඪ කළ මහා විහාරවාසී මහානාම නායක ස්‌වාමීන් වහන්සේටය. උන්වහන්සේ "සුතිගෝච උපාගතං" යෑයි මහාවංසයේ පවසා ඇත්තේ "ජනශ්‍රැතික විශ්වාසයන් ඉතිහාසයෙන් බැහැර නොකරන්න" යෑයි වර්තමාන අපට උපදෙස් දෙනු පිණිසය. දෙවැනි විද්වතා පහළ වන්නේ විසි වැනි ශතවර්ෂයේදී ජර්මනියෙන්ය. ඔහු ලෝක විද්‍යාවන්ට සමාජ මනෝවිද්‍යාව සහ ජනශ්‍රැති විද්‍යාව හඳුන්වාදුන් මනෝවිද්‍යාඥ සිග්මන් ප්‍රොයිඩ් ය. සමහර වර්තමානිකයන් මිත්‍යා කථා යෑයි සලකා යථාවෙන් බැහැර කරන උත්පත්ති කථා, පුරාණෝක්‌ති ආදියේ ගැඹුරු සමාජ විද්‍යාත්මක සහ භෞතිකමය සත්‍යයන් ඇතැයි ප්‍රොයිඩ්යානු ඉගැන්වීම්වල සඳහන්ය. ප්‍රොයිඩියානු ඉගැන්වීම් පුරාවිද්‍යාත්මකව සනාථ කළේ ක්‍රිස්‌තු වර්ෂ 1900 දී ග්‍රීසියේ ක්‍රීට් දූපතේ කැනීම් භාරව සිටි පුරාවිද්‍යාඥ ශ්‍රීමත් ආතර් එවන්ස්‌ය. 1900 ට පෙර මිත්‍යාවන් යෑයි සිතා සිටි හෝමර්ගේ ඔඩිසි ඉලියඩ් හී මිනෝටර් රජුගේ වීර කථාව ශ්‍රීමත් ආතර් එවන්ස් විසින් සත්‍ය කථාවක් බවට පුරාවිද්‍යාත්මකව ඔප්පුකොට පෙන්වීය.
එහෙයින් රාවණා පුරාවෘතයට ද දැන්ම නැවතීමේ ලකුණ තැබිය නොහැකිය. එය අනාගත පුරාවිද්‍යාවට සහ ජනශ්‍රැති විද්‍යාවට භාරදී මම සංචාරය කරමි. මම මල්වතුඔය නිම්නයේ සිට අයෝධ්‍යාව සදිසි සිතාරක්‍ෂිත පරිශ්‍ර සොයා සංචාරය කිරීම පිණිස මගේ රථයට ගොඩවුණෙමි.
අද ලංකාව සංචාරකයන් ආකර්ශනය කරන මුල් පෙළේ රටක් යෑයි ලෝක ප්‍රකට ආයතන විසින් ප්‍රතිඥ දෙමින් සිටී. තිස් අවුරුදු යුද්ධය හමාර වූ සැණින් ලංකාව ලෝකයේ ඇති සංචාරකයන් ආකර්ශනය කරගන්නා රටවල් 32 න් පළමුවැනි රට බවට පත්ව ඇතැයි ,භැඅහදරන ඔදාaහ, සඟරාව දැනුම් දුන් අතර ,භ්එසදබ්ක ඨැදටර්චයසජ, ආයතන ප්‍රකාශ කළේ ලංකාව ලෝකයෙන් ම දෙවැනි තැන ලබා ඇති බවයි.
දැන් ලංකාවට සංචාරක ඉල්ලම පහළ වී තිබේ. නිධානය හමු වන්නේ ඉල්ලම හොඳින් කළමනාකරණය කළ විටදීය. ඉල්ලම වැරදි ලෙස පරිපාලනය කළහොත් හෝ කළමනාකරණය නොකළහොත් හෝ සිදුවන්නේ නිධානය නාස්‌ති වී පුසුවී යැමයි. විදේශ විනිමය උපයාගත හැකි විවිධ කර්මාන්ත අතරින් ලොව ඇති හොඳම කර්මාන්තය වනාහී සංචාරක කර්මාන්තය යි. සෙසු කර්මාන්තවලට සාපේක්‍ෂව සංචාරක කර්මාන්ත සඳහා වැය වන මූල ධනය අඩුය. එනිසා අඩු වියදමකින් වැඩි ආදායමක් ලබාගතහැකි ලාභදායී ජාතික කර්මාන්තයක් ලෙස ලාංකීය සංචාරක කර්මාන්තය අනාගතයේදී දියුණු වීමට නම් මනා ශික්‍ෂණයකින් සහ සිද්ධාන්ත දැනුමකින් යුතු පරිපාලන ක්‍රමවේදයක් අවශ්‍ය වන්නේය. නොඑසේනම් සිදුවන්නේ වරද්දාගත් ඉල්ලමක් බවට සංචාරක කර්මාන්තය පත්වී එයින් අනාදිමත් ලාංකීය සංස්‌කෘතියට හානි පැමිණීමයි.
සංචාරකයන් ආකර්ශනය කිරීම සඳහා රාවණා පුරාවෘතය භාවිතා කිරීමට දේශීය සංචාරක පරිපාලනය තීරණය කොට ඇතැයි ප්‍රවෘත්ති පලවිය. බුරුමය, සියමය, තායිලන්තය වැනි රටවල් මේ වනවිටත් රාවණා පුරාවෘත්තය සංචාරක ආකර්ශනයක් බවට පත් කරගෙන ඇති රටවල්ය.ලංකාවේ දළදා පෙරහැර සංචාරකයන් ආකර්ශනය කර ගන්නා සංස්‌කෘතිකාංගයක් වී ඇති ලෙසින්ම අග්නිදිග ආසියාතික රටවල ඇති සාම්ප්‍රදායික සහ විචිත්‍රවත් රාවණා උත්සව සංචාරකයන් ආකර්ශනයකරන සංස්‌කෘතිකාංගයන් වී ඇත. ඊසානදිග ඉන්දියාවේ ඇති දුසේරා උත්සවය ද දකුණු ඉන්දියාවේ ඇති හනුමාන් උත්සව ද රාවණා පුරාවෘතය ඔස්‌සේ ගොඩනැගෙන විචිත්‍ර සහ සංචාර ප්‍රිය සංස්‌කෘතිකාංගයන්ය. එහෙත් ලංකාවට රාවණා වන්දනාවක් හෝ රාවණා උත්සවයක් හෝ නැත. එහෙත් රාවණාගේ උප්පැන්නය ලියාගන්නට උත්සහ කරන අග්නිදිග ආසියාවේ සහ දකුණු ඉන්දියාවේ බොහෝ රටවලට නැති රාවණා භූගෝල කලාපයන් ලංකාවට ඇත. මම නැමති දේශීය සංචාරකයා මේ භූගෝලීය කලාප හරහා සංචාරය කිරීමට නිමිත්තක් සොයා ගතිමි. මගේ ඉතිහාස සංචාරයේ රාවණා පුරාවෘත්තය වනාහී අතුරු පරිච්ඡේදයකි. එහෙත් කවුරුන් හෝ ලාංකීය සංචාරයකුට රාවණා ප්‍රධාන ප්‍රවෘත්තිය ලෙස ගෙනද විචිත්‍ර සංචාරයක නියෑලිය හැක. මම ආරම්භයක් ලෙස මහවැලි "ගඟ දිගේ" සංචාරය කළේ එය පූර්වාදර්ශ කරගෙන තව තවත් මාධ්‍ය සංචාරකයන් ලංකාවේ ඇති සෙසු බොහෝ විචිත්‍ර ගංගාවන් හරහා ඇවිද යතැයි සිතාගෙනයි. එහෙත් කවුරුන් හෝ මේ විචිත්‍ර පර්යේෂණයට එන පාටක් නැත. එහෙයින් මම මේ දිනවල කළු ගං කොමලියට ප්‍රේමකරමින් ඇය ගැන අපූරු තොරතුරු රැස් කරමින් සිටිමි. ළඟදිම දවසක කළු "ගඟ දිගේ" සංචාරය කිරීමට සිදු වන්නේ ද මටම විය යුතුය.
කවුරුන් හෝ "රාවණා සොයා" සංචාරය නිර්මාණය නොකොට තිබූ හෙයින් ඉතිහාසය හරහා ඇවිදයන මහා සංචාරය මම දැන් රාවණා දෙසට හරවා ඇත. එහෙත් එය අතුරු කථාවක් වන නිසා මම සැකැවින් රාවණා සංචාරය කරමි.
මා වයඹ කලාපයේ සිට කෙළින්ම ප්‍රවිෂ්ඨ වූයේ ශීතල නුවරඑළියටයි. ලෝක සිතියමේ ලංකාව නමැති ඉතා කුඩා දිවයින විශ්ම දිවයින (ඵසර්ජමකදමි ෂික්‌බා) ලෙස විරුදාවලි ලැබුවේ එහි ඇති පුදුම ඵලවන සුළු භූගෝලීය පිහිටීම නිසාය. අරාබි කාන්තාරයේ සිට ස්‌විට්‌සර්ලන්තය සංචාරය කරන්නට දේශාඨන ප්‍රඟුලෙකුට දින බොහෝ ගණනක් සහ විශාල ධනයක්‌ද වීසා බලපත්‍ර සහ අවසර ගමන් බලපත්‍ර ද බොහෝ සංකීර්ණව අවශ්‍ය වෙයි. එහෙත් අරිප්පුවේ සිට නුවරඑළි යන්නට අවශ්‍ය කරන්නේ පැය පහක පමණ උපරිම කාලයක් පමණි.
මම මීට පෙර මේ අත්දැකීම විඳ තිබුණේ ලෙබනන්හීදීය. ලෙබනන්හී බීරූට් නගරය වනාහී මධ්‍යධරණී මූහුදට විවර වූ ශුෂ්ක කාන්තාර ලක්‍ෂණ දරණ වෙරළ තීරයකි. එතැන් සිට පැය දෙකකට ආසන්න කාලයක් ගෙවා බෘම්මානා කන්ද තරණය කළ විට හිම පතනයට ලක්‌වීමේ භාග්‍ය උදාවෙයි. බෘම්මානා කඳු මුදුනේ ඇති සිඩාර් වනාන්තරයේ බිම පතිතව තිබූ හිම මත සිටගත් කළ ඈතකාන්තාරයේ බීරූට් නගරයත් ඉන් ඔබ්බෙහි තද අව් රශ්මියට ජිවලිතව පවතින මධ්‍යධරණී මුහුදත් හොඳින් පෙනේ. බීරූට් වෙරළ කලාපය කාන්තාර ලක්‍ෂණ දැරුවාට එහි සිටින්නකුට දැනෙන වියළි බවට ශීත දේශගුණය එකතු වී තිබේ. කර්කටක නිවර්තනයට ආසන්න උතුරු අර්ධගෝලයේ බීරූට් නගරය පිහිටන නිසා ඝර්ම කලාපයේ ඇති අරිප්පුව තරම් දහදිය දමන වියළි උෂ්ණයක් එහි නැත. බීරූට් නගරයේ ඇත්තේ ශීත වියළි උත්තරාර්ද දේශගුණයකි. ලංකාවේ වයඹ කලාපය වනාහී උෂ්ණ වියළි ශුෂ්ක ලක්‍ෂණවලින් යුතු දේශගුණික වටපිටාවකි. එහෙයින් ශීත වියළි බීරූට් සිට පැය දෙකකින් බෘම්මානා සංචාරය කරනවාට වඩා උෂ්ණ වියළි වයඹ කලාපයේ සිට ශීත තෙත් නුවරඑළියට පැය හතරකින් ළඟාවීම ආශ්වර්යවත්ය.
මම සුන්දර නුවරඑළිය නගරය හරහා ඇවිද ගියෙමි. සියොලඟ හිවුඩු පිපෙන තෙක් ශීතලෙන් මිදීම සඳහා මගේ ශුෂ්ක ඇඟලුම් මට වෙනස් කිරීමට සිදු වී ඇත. ශුෂ්ක කලාපයෙන් වියළි කලාපයටත් එතැනින් උෂ්ණ තෙත් කලාපය හරහා ශීත තෙත් කලාපය තෙක්‌ම සංචාරය කළ මගේ මාවත වැටී තිබුණේ අරිප්පුවේ සිට මන්නාරමටත්, එතැන්සිට ඒ 14 මාවතේ අනුරාධපුරයටත්, ඒ 9 මාවතේ දඹුල්ල, මාතලේ, කටුගස්‌තොට හරහා මහනුවරටත්ය. මහනුවර සිට ගම්පොළ පාරේ පැමිණ මම මහවැලි ගඟ ගම්පොළ පාලමින් තරණය කොට රම්බොඩ පාස් නම් වූ නවමු කඳුකර බිම්ගෙය හරහා නුවරඑළියට පැමිණියෙමි. දැන් මගේ පිළිවෙත් යූරෝපීය බවක් දරයි. ඉංග්‍රීසි ජාතිකයන් මාතලේ රත්තොට හරහා නකල්ස් කඳු තරණය කර මණිගල කන්ද අසල පතන්බිම දුටු කළ පුදුමයට පත් වී ඔවුන් යළි බටහිර රටකට ගියා සේ සිතූ නිසා ඒ පතන රිවෙස්‌ටන් යෑයි නම් කළෝය. රිවෙස්‌ටන් යනු ,Ree Western, හෙවත් "යළිත් බටහිර" යන අර්ථය ඇති යෙදුමකි.
සුදු ජාතිකයන් නුවරඑළිය සොයා ගත්තේ ද එහි තිබූ ශීත තෙත් දේශගුණය තම මව් රටේ දේශගුණයට බොහෝ සෙයින් සමාන වූ නිසාය. රාවණා පුරාවෘතයේ නුවරඑළියට ඇති නෑදැකමත් භූගෝලීය සහ දේශගුණික සම්බන්ධතාවකි. මා රවණා සංචාරය කිරීමට නුවරඑළිය තෝරාගත්තේ වාල්මිකී විසින් රචනා කළ රාමායනයේ සඳහන් සීතා සිරකොට තැබූ ස්‌ථානය වනාහී නුවරඑළිය ආසන්නයේ පිහිටි කඳුකර භූමිභාගයක් යෑයි වර්තමාන විද්වතුන් දරණ මතය ඔස්‌සේ යමිනි.
යුරෝපීයයන්ට නුවරඑළිය බටහිර දේශගුණික තත්ත්වයෙන් යුතු ප්‍රදේශයක් වූවා සේම සීතාවන්ට මේ කඳුකරය තම මව් බිම වූ හිමාල මූලයේ අයෝධ්‍යාව සිහිගන්වන ප්‍රදේශයක් වන්නට ඇතැයි පුරාවෘතය දක්‌වයි. අයෝද්‍යාවේ අශෝක වනය ඇති සිසිල් මාරුතය වාල්මිකීගේ වර්ණනා මුඛය අවුස්‌සා ඇත. රාවණාගේ ලංකාපුරය යනු වර්තමාන ශ්‍රී ලංකාව නම් ජනක දුහිතෘ සීතාව විවාහ කරගත් දශරථ පුත්‍ර රාමගේ අයෝධ්‍යාව වන්නේ ඉන්දියාවේ කවරනම් ප්‍රදේශයක් දැයි ද සොයා බැලිය යුතුය. සීතාවන්ට කියන තවත් නමකි ජානකී. අපේ රටේ කුමරදාස නම් රජ කෙනකුන් "ජානකී හරණය" (සීතා පැහැරගැනීම) නම් සංස්‌කෘත භාෂිත ප්‍රේම කාව්‍ය රචනා කළේද ඒ නිසාය. ජනක රජුගේ විදේහ නගරය යනු වර්මාන නේපාලය අසල වූ ජනකපුර යෑයි කනිංහැම් වාර්තා කරයි. අයෝධ්‍යාවේ වර්තමාන පිහිටීම වනාහී පයිසාබාද් අසල වූ අවුද් නගරය යෑයි සැක කෙරේ. නේපාලයත්, පයිසාබාද් ප්‍රදේශයත් වර්තමාන නුවරඑළියත් අතර මනා දේශගුණික සාම්‍යයක් ඇත. රාවණා සීතාව පැහැරගෙන අවුදින් ඇගේ සැප පහසුකම් පිළිබඳ අවදානගෙන විදේහ නුවරට, අයෝධ්‍යාවට සමාන දේශගුණයක් ඇති නුවරඑළියේ හග්ගල කඳු අරණේ වර්තමාන සීතාඑළිය ප්‍රදේශයේ රඳවාගෙන සිටින්නට ඇතැයි පුරාවෘත විශේෂඥයෝ සැක කරති.
එය නොහන සමහරක් ජනයා පවසන්නේ සීතාඑළියට ඒ නම වැටුණේ රාමායනයේ සීතාවන් නිසා නොව එම එළිමහන් ප්‍රදේශය අධික ශීතලෙන් යුක්‌ත වූ නිසා එය "සීත එළිය" ලෙස හඳින්වූ බවයි. පසුකාලීන රාමාවාදීන් නුවරඑළියේ පදංචි වූ පසු සීතා වන්දනාව ලංකාවට ගෙන ඒමට පහසුවනු පණිස සීත එළිය සීතා එළිය බවට පත්කර ගත් බව ඔවුහු විශ්වාස කරති.
ඊට විරුද්ධව සීතාව පැහැරගෙන ආවේ ලංකාවට ම යෑයි විශ්වාස කරන පිරිස් සීතා එළිය පමණක් නොව ලංකාවේ ප්‍රදේශ නාම බෙහොමයක් මේ පුරාවෘතය සමග සම්බන්ධකම් පවත්වන බව පෙන්නුම් කරයි. සීතාඑළිය, සීතාවක, රාවණා ඇල්ල, රාවණා කන්ද, රාවණා ගුහාව, රාවණාගොඩ, මහාරාවණා කොටුව, කුඩාරාවණා කොටුව, තොටුපල කන්ද, වාරියපොළ පමණක් නොව ලග්ගල, ලකේගල, රූමස්‌සල, සීගිරිය, කොත්මලේ, ත්‍රීකුණාමලේ, පස්‌සර, බදුල්ල, හෝර්ටන්තැන්න සහ මන්නාරමේ හනුමන්තා පාලම ආදී තැන් ලංකාව භූගෝලය තුළ රාවණා ප්‍රවෘත්තියට යාවජීව ව ඇතැයි බොහෝ දෙනා අදහති.
මේ නම් ලයිස්‌තුව සංචාරකයකුට හොඳ නිමිත්තකි. වරණය යනු ඇවිදීමයි. සංචරණය යනු වඩා හොඳින් ඇවිදීමයි. ඉබාගතේ යැම, ඔළුව හැරුණු අත යැම වනාහී සංචාරය නොවන්නේය. සංචාරකයකු ඇවිදීම සඳහා තේමාවක් තිබිය යුතුමය. මා වාල්මිකී මුණිවරයාගෙන් ගත් "රාමායණයත්" කුමාරදාස රජුගෙන් ගත් "ජානකී හරණයත්" කිහිළි ගන්වාගෙන ග්‍රෙගරි වැව හරහා හග්ගල මල්වත්ත දෙසට හැරුනේ සීතා කෝවිල බලා සංචාරය කිරීමටය.
මතු සම්බන්ධයි
උපුටා ගැනීම -http://www.divaina.com/2010/08/22/feature10.html
වර්ගකිරීම් :
ඓතිහාසික සාධක
Subscribe to:
Post Comments (Atom)
No Response to "ඉතිහාස හරහා සංචාර කරන්නකුට රාවණා හොඳ ජනශ්‍රැතික ඉතිහාස මූලයකි"
Post a Comment
අදහස් සහ උදහස්