Monday, August 30, 2010
රාම රාවණා පුවතට නෑකම් කියන පුරවරය
019 වන කොටස
රාම රාවණා පුවතට නෑකම් කියන පුරවරය
"ආං ඉන්නවා රාවණා!"
මම සීතල නුවරඑළියේ පිරිසිදු වායු ගෝලය ආශ්වාස කරමින් හාත්පස නැරඹුවෙමි. ග්‍රෙගරි වෑ ඉස්‌මත්තේ සිටගත් මට හාත්පසින්ම පෙනෙන උස් කඳු මුදුන් අතර රාවණාගේ ඡායාව පෙනෙයි. පිදුරුතලාගල, කිකිළියාමාණ තොටුපළ, කිරිගල්පොත්ත ආදී කඳු මුදුන් නීල පළල යෝධයන් වී නුවරඑළිය අනාදිමත් කාලයක් රැකගෙන ඇත. මේ කඳුමුදුන් අතර ගැවසීගත් රාවණා ස්‌මෘතිය සොයා ගවේෂණයක යෙදෙන ජනශ්‍රැති සංචාරකයෙකුට ඕනෑතරම් ආරංචි මාත්‍ර දැනගන්නට තිබේ.
වර්තමාන ලංකාවේ ශාස්‌ත්‍රවන්තයන් රාවණා පිළිබඳව ගොඩනගාගෙන තිබෙන කාලීන තර්කය අශාස්‌ත්‍රීය යෑයි මට නුවරඑළියේ ඇති සුව වායුගෝලය කියා දෙයි. මේ තර්කයේ යෙදෙන දෙපාර්ශ්වයම ගෝත්‍රවාදීව කරුණු රැස් කරන්නේ යෑයි මම මේ කඳු මුදුන්වලට කියා යෑවීවෙමි. මහාවංශ කර්තෘ මහානාම හාමුදුරුවන්, මනෝ විද්‍යාර්ථි සිග්මන් ප්‍රොයිඩ් සහ පුරා විද්‍යාඥ ශ්‍රීමත් ආතර් එවන්ස් කියා දී ඇති ප්‍රායෝගික පිළිවෙත් අතහැර රාවණා ගවේෂණය කිරීම වනාහී ආචීර්ණ කල්පික ගෝත්‍ර වාදී විමර්ශනයයි. එක් පාර්ශ්වයක් විසින් රාවණා වනාහී පුර්ණ මිත්‍යාවක් යෑයි තර්ක කෙරෙන අතර අනෙක් පාර්ශ්වයක් තර්ක කරන්නේ රාවණා පුරාවෘතය පරම සත්‍යයක් සේ ගෙන ය. වර්තමාණික රාවණා තර්කයට ජාතිවාදය, ගෝත්‍රවාදය, ඉන්දීයවාදය, හනුමාන්වාදය, ඊශ්වරවාදය, රාක්‍ෂසවාදය සහ දකුණු ඉන්දීය සේතු සමුද්‍රම් විරෝධවාදය ද එකතු වී ඇත. එහෙත් 80 ට පෙර ශ්‍රී ලංකාවේ රාවණා තර්කය ඉතිහාසවාදීව සහ ජනශ්‍රැතික වාදීව පවත්වා තිබිණි. 1981 දී මහාචාර්ය විජය දිසානායකයන් විසින් රචනා කෙරුණු "රාවණා විජය මිත්‍යාවන්ද?" නමැති කෘතිය මේ සඳහා පල කෙරුණු ශේ්‍රෂ්ඨ විමර්ශනයකි. මහාචාර්ය විජය දිසානායකයන් ගෝත්‍රවාදී විද්‍යාර්ථියකු නොව සමාජ මනෝවිද්‍යාඥයකුගේ දෘෂ්ඨියෙන් යුතු මානව විද්‍යාඥයකු බව එතුමන්ගේ රාවණා කියෑවීමෙන් සනාථ වෙයි.
රාවණා සොයා යන මට මුලින් හමුවන්නේ ග්‍රෙගරිවය. සර් විලියම් හෙන්ඩි්‍ර ග්‍රෙගරි 1872 සිට 1877 දක්‌වා ලංකාව පාලනය කළ සුදු ආණ්‌ඩුකාර වරයාය. හෙතෙම නුවරඑළියේ නානුඔය දිය උල්පත ග්‍රෙගරි වැව බවට පත් කළේය. මුහුදු මට්‌ටමේ සිට අඩි 6216 ක උසකින් යුතු ග්‍රෙගරි වැව වසරේ හැම කාලයකම ජලයෙන් පිරී පවතින අතර ඇඟිලි පෙවිය නොහැකි තරම්ම ඝණ සීතලකින් ද යුක්‌ත නිසා මානව ක්‍රියාවන්ගෙන් කිළිටි වී නොමැත. ලංකාවේ උසම ජලාශය වන කන්දෙ ඇළ ජල ව්‍යාපෘතිය ග්‍රෙගරි වැවට වඩා උසින් (අඩි 6350) නුවරඑළියේ සිට හෝර්ටන් යන පාරෙදි හමුවෙයි. එයද අයිස් කැටය මෙන් සීතලය. එය අතිශයින්ම පිරිසිදු වූ පානීය අවශ්‍යතා සඳහා ජලය රැස් කරගත් ව්‍යාපෘතියකි.
නමුත් මට යුරෝපයේ මිලානෝහි ඇල්ප්ස් කඳු පන්තියේදී හමු වූ මොන්තෙගී්‍රS්‍රනෝ නම් ගමෙහි ගිර්ලා වැව මුළුමනින්ම අයිස් කැටයක් වී තිබුණි. ඒ විශාල අයිස් වැව් පිට්‌ටනිය මත පාපන්දු තරගාවලියක් ද පවත්වන්නේය.
ගැඹුරු වැව මුළුමනින්ම ඝණ අයිස් කැටයක් වී මිදී ඇති අතර වැව් තාවුල්ලේ තැන තැන ඇතුළතින් මිදී නැති වතුරේ පීනා යන මාලුන් ඊට උඩින් මිදී ඇති අයිස් තලය හරහා වීදුරුවකින් බලා ඉන්නා සේ අපට නැරඹිය හැකිව තිබිණි. එහෙත් ග්‍රෙගරි වැවවත්, කන්දෙ ඇලවත් මොන්තෙගී්‍රනෝහි තිබූ ගිර්ලා වැව ලෙසින් අයිස් වන්නේ නැත.
මම ග්‍රෙගරි වැව් ඉස්‌මත්තේ ඇති ඉඩ්මන්ගේ ස්‌ට්‍රොaබෙරි සල්පිළෙන් රිසි සේ ස්‌ට්‍රොබෙරි රස කැවිලි කා කුළියට ගත් පෝනියෙකුගේ පිටේ නැගී නගර සංචාරයක යෙදුණෙමි. "කමෝන් බ්ලැකී, ගෝ" යෑයි කියා පෝනියාගේ පස්‌සා ගාතයට කුඩා කෙවිටි පාරක් දුන් කල ඌ මා ග්‍රෑන්ඩ් හෝටලය දිසාවට රැගෙන ගියේය.
අද ග්‍රෑන්ඩ් හෝටලය යෑයි නම් ලද මේ ගොඩනැඟිල්ල වනාහී නුවරඑළියේ ඉදිකරන ලද පළමු වැනි සුවපහසු නිවහනයි. සර් එඩ්වඩ් බාන්ස් නම් ලංකාවේ තුන්වැනි ඉංගී්‍රසි ආණ්‌ඩුකාරවරයා තම පෞද්ගලික ධනයෙන් රත්‍රන් පවුම් 8000 ක් වියදම් කොට 1830 දී "බාන්ස් හෝල්" නමින් නුවරඑළියේ සීත මාළිගාවක් ඉදි කළේය. ඒ ගොඩනැඟිල්ල ක්‍රමයෙන් දියුණු වී අවුත් අද වනවිට ග්‍රෑන්ඩ් හෝටලය බවට පත්වී තිබේ.
නුවරඑළිය අතීතයේ වැරදිකරුවන් පිටුවහල් කළ එළිමහන් සිරගත ප්‍රදේශයක් බවට පත්ව තිබූ බවට සාධක ඇත. 1628 දී කන්ද උඩරට රජ කළ විමලධර්මසූරිය රජු මහා පරංගි යුද්ධයෙන් පසු දෝන කත්‍රිනා හෙවත් කුසුමාසන දේවිය සමග සැඟවී සිටින්නට පැමිණ ඇත්තේ ද නුවරඑළිය ප්‍රදේශයට බව ඉතිහාස වාර්තා දක්‌වයි. 1681 රොබට් නොක්‌ස් රචනා කළ කෘතියෙහි ඇති ලංකා සිතියමේ ද නුවරඑළිය ලකුණු කර තිබේ. නොක්‌ස් හතුරෙකු ලෙස නම් කළ පරිසර හිතකාමියෙකු වූ දෙවෙනි රාජසිංහ රජු මහඑළියේ තිබූ ස්‌වාභාවික වනාන්තර ආරක්‍ෂා කර ගැනීම සඳහා වන ආරක්‍ෂණ නිලධාරින්ව ද පත්කළ බවට සාධක තිබේ.
නුවරඑළිය ජනාවාස වන්නේ 1819 පසු යුගයක වූවාට ශිරාන් දැරණියගල විද්වතාණන් හෝර්ටන් තැන්නේ සිදු කළ ප්‍රාග් පුරාවිද්‍යා කැනීම් වලින් හෙළිවී ඇත්තේ ප්‍රාථමික මානවයා ශිලා යුගයේ සිට එෙŒර යුගය දක්‌වා ම මෙහි වාසභූමි තනාගෙන තිබූ බවයි. ක්‍රිස්‌තු වර්ෂ 10 වැනි සියවසේදී පිදුරුතලාගල කඳු පාමුල ලෙන් විහාරවල වනවාසී භික්‍ෂූන් වහන්සේලා වැඩ විසූ බවට 890 හමුවූ සෙල්ලිපි සාධකවල සටහන්ව තිබුණැයි එච්. සී. බී. බෙල් මහතා දක්‌වා ඇත.
1815 ඉංගී්‍රසීන් ලංකාවේ ප්‍රභූ නිළමේවරුන් සමග ඇති කරගත් ගිවිසුම වසර දෙකක් ඇතුළත උල්ලංඝනය කළ හේතුවෙන් 1818 දී වෙල්ලස්‌සේ මහා විමුක්‌ති අරගලය සිදුවුණි. ඉතා අමානුෂික මාර්ෂල් ලෝ නිමයෙන් කැරැල්ල මැඩපැවැත් වූ ඉංගී්‍රසි ආණ්‌ඩුව 1819 දී ම කන්ද උඩරට හරහා නුවරඑළියට දොස්‌තර ජෝන් ඩේව් ව පිටත් කර හරින ලදී. රම්බොඩපාස් ධුර්ගය හරහා වැටී තිබූ අඩි පාරක් දිගේ අසු මෙහෙය වූ දොස්‌තරවරයා කිකිළියාමාණ තරණය කර සුන්දර නුවරඑළියට සේන්දු විය. දොස්‌තර ඩේව් 1819 දී නුවරඑළියට එනවිට මේ ප්‍රදේශ මුළුමණින් ම ඝන කැලෑවන්ය.
1818 විමුක්‌ති අරගලය නිමවී වසරක් ඇතුළත ම සුදු ආණ්‌ඩුවට සැපවත් නුවරඑළිය හමු වූයේ 18 කැරැල්ලේ දෝංකාරය නුවරඑළියට ම වැටී තිබූ නිසා ද විය හැක. වෙල්ලස්‌සේදී මහා වීරවරයෙක් බවට පත්වූ මොණරවිල කැප්පෙටිපොලගේ ඉංග්‍රීසි විරෝධී සේනා මෙහෙයුම්හි එක් ප්‍රබල මර්මස්‌ථානයක් නුවරඑළිය මහ කැලෑවේ සකස් වී තිබිණි. 1819 දී ජොන් ඩේව් දොස්‌තර මහත්තයාට නුවරඑළියට එන්න පාර කීවේ කැප්පෙට්‌ටිපොලගේ සේනා සංවිධානය පිළිබඳ වූ ඉංග්‍රීසි බුද්ධි අංශයේ තොරතුරු ගවේෂණ විය හැකි යෑයි මට සිතේ. දොස්‌තර ජෝන් ඩේව්ගේ වාර්තාව කියවනු ලබන්නේ සර් එඩ්වඩ් බාන්ස් විසිනි. ඔහු වහාම මේජර් තෝමස් ස්‌කිනර්ව ඩේවිගේ වාර්තාව වෙත යොමු කරන්නේ නුවරඑළියට වැටී තිබූ අඩි පාර තාර පාරක් බවට පත් කිරීම සඳහාය. මේජර් ස්‌කිනර්ව අපට මන්නාරමේදී ද හමු වී තිබිණි. 1820 දී මන්නාරම සිට අනුරාධපුරයට විල්පත්තු මහ කැලය හරහා වැටී තිබූ අඩි පාර විධිමත්ව සකස් කරන ලද්දේ ද මේජර් ස්‌කිනර් විaසිනි.
කන්ද උඩරට රාජධානියේ සිට කොත්මලේ හරහා ඌව පළාතට වැටී තිබූ අඩි පාරේ මිනී ඇටකටු තිබූ බවට ඩේව් වාර්තා කරයි. එවකට ලංකාවේ වැඩිම අලි ගහනයක් ජීවත් වූ කඳුකර කැලෑව වූ නුවරඑළිය වන සතුන් ගහන දුෂ්කර මාර්ගයක් වී තිබෙන්නට ඇත. එදා වැඩිම අලි ගහනයක් ජීවත්වූ නුවරඑළිය, මහඑළිය කලාපයේ අද කොට අදින හීලෑ අලියෙකු පවා සොයා ගැනීම අසීරුය. අප්‍රිකාවේ කඳුකර ශීත දේශගුණික ප්‍රදේශවල සෙසු අලින්ට වඩා ප්‍රමාණයෙන් ලොකු සහ ලොම් වලින් ගැවසීගත් අලින් ජීවත් වී ඇත. අද හෝර්ටන් තැන්නේ අලින් ජීවත් වෙන්නේ නැත. විශාල වශයෙන් අලින් ඝාතනය කළ සුදු ජාතිකයකුගේ සොහොනක් මහනුවර දළදා මාළිගාවට පිටුපසින් පිහිටුවා තිබේ. එම සොහොන් වලට දැනුදු ඉඳහිට අකුණු ගසන බව ප්‍රකට කාරණයකි. හෝර්ටන් තැන්නේ අලි ඇතුන් ඝාතනය කොට උන් වඳකොට දැමීම "හෙණ ගහන අපරාධයක්" බවට ඒ ප්‍රවාදය හොඳ උදාහරණයකි.
සර් එඩ්වඩ් බාන්ස්‌ගේ යුගයේ ලංකා රයිෆල් හමුදාවේ සිටි කාපිරි සෙබලුන් 70 ක් යොදා නගරය වෙනුවෙන් ගස් කපා නුවරඑළිය සකස් කිරීම සිදුකෙරිණි. බාන්ස්‌ට පසු ආණ්‌ඩු කළේ සර් රොබට් විල්මට් හෝර්ටන්ය. නුවරඑළියේ සිට තොටුපල කන්ද සහ කිරිගල්පොත්ත කන්ද තරණය කළ විට හෝර්ටන් ආණ්‌ඩුකාරවරයාට "මහ එළිය" හමුවුණි. මහ එළියේ ජෛව විවිධත්වයෙන් මෝහනය වූ ආණ්‌ඩුකාරවරයා ඒ සුර සුන්දර ශීත කලාපය තම ආර්යාවගේ නමින් නම් කළේය. එතැන් සිට මහඑළිය හෝර්ටන් තැන්න බවට පත් වී දෙස් විදෙස් සංචාරකයන්ගේ අති සුවිශේෂී කැමැත්තට පාත්‍ර වූවාය.
මම පෝනි අශ්වයාගේ පිටෙන් බැස අයිතිකරුට කුළිය ගෙවා මගේ වාහනයේ නැගී ග්‍රෙගරි වැව පසු කර සීතාඑළිය, හග්ගල පැත්තෙන් හෝර්ටන් තැන්න ලෙස නම් ලැබූ මහඑළිය කරා ගමන් ඇරඹුවෙමි.
සීතාඑළියේ සීතා කෝවිල ඉදිවී තිබේ. එහි සීතා, රාම, ලක්‍ෂ්මන සහ හනුමාන් යන ආරH දෙවිවරු වන්දනා ලබති. එහෙත් සීතාව ලක්‌දිවට රැගෙන ආ රාවණා වෙනුවෙන් දේවාලයක් මේ රාවණා අඩවියේ තබා මුලු තුන් සිංහලයේම ඉදිවී නැත. 1819 වර්ෂයේ සිට ඇරැඹි ඉංගී්‍රසි නගර සැළසුම් මත නුවරඑළිය ජනාවාස වූයේ නම් ක්‍රිස්‌තු පූර්ව 7 වන සියවසේදී පමණ සිදුවුණා යෑයි අනුමාන කෙරෙන රාම රාවණ කථාවේ සීතා එළිය දේවිය නමින් කෝවිලක් නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයේ ඉදිවන්නේ කෙළෙසද?
1830 ගණන් වන විට ඉංග්‍රීසින් තම යටත් විජිතයේ වතු වැවිල්ල ආරම්භ කොට තිබිණි. එහෙත් වතු වැවිල්ල නමැති කර්මාන්තයට අත්‍යවශ්‍ය මූල සාධකය වූ මිනස් ශ්‍රමය ලංකා සමාජයෙන් සොයා ගැනීමට ඔවුන් අපොහොසත් විය. රාජකාරි ක්‍රමයේ කෘෂි ආර්ථිකයකට පුරුදුවී සිටි අපි "කුලී කුරක්‌කම" පහත් සේ සැලකුවෙමු. එහෙයින් "ඉන්දීය කුලී කම්කරුවා" සිංහල ශබ්දකෝෂයට ඇතුළත් වුණි.
1848 සර් සැමුවෙල් බේකර්ස් නම් දඩයක්‌කරුවා, සංචාරකයා සහ පුද්ගලික වැවිලිsකාර ධනවත් තරුණයා ලංකාවට පැමිණියේය. කන්ද උඩරට වැසි වනානතර සංචාරය කරන්නට ගොසින් කැලෑ උණ ගැණුනු සැමුවෙල් බේකර්ස් සුව වායුගෝලයක් හිමි සුඛෝපභෝගී නුවරඑළිය වෙත යොමු කරන ලදී. නුවරඑළියේ සරුසාර කළු පස ඇස ගැසුණු මේ ශූර වැවිලිකරුවා වහාම පෙරළා සිය රට වූ එංගලන්තයට ගොස් තම වැවිලි ව්‍යාපාරික සහෝදරවරු සහිත වතු වගාවේ යන්ත්‍ර සූත්‍ර ද සහිත නව්කා තුනකින් ලංකාවට පැමිණියේය. සිලිං 20 බැගින් නුවරඑළියෙන් අක්‌කර 1000 ක් මිලට ගත් බේකර්ස් සහෝදරවරු එංගලන්තයේ සිට නැව් නංන්වා ගෙන ආ යෝධ වැවිලි යන්ත්‍ර නුවරඑළියට ගෙනාවේ හීලෑ අලි ලව්වා කන්ද තල්ලු කරමිනි.
නුවරඑළිය සරුසාර භූමියේ "බේකර්ස් ෆාම්" ආරම්භ විය. කැරට්, ගෝවා, බීට්‌රූට් ආදී යුරෝපීය මිල අධික එළවළු ලංකාවේ වගා කරන ලදී. පොළොවේ ඇපල් (අර්ත් + ඇපල් = අර්තාපල්) යන තේරුම ඇති අර්තාපල් වගාව ඇරඹුණි. බේකර්ස් ෆාම් වලින් ආරම්භ වූ කඳුරට වතු වැවිල්ල සඳහා කුලී කම්කරුවන් දකුණු ඉන්දියාවෙන් ගෙන්වූහ. මේ දුප්පත් කම්කරුවන්ගේ ආගමික විශ්වාස තුළ රාමා, සීතා, ලක්‍ෂ්මන් සහ හනුමාන් සිටියේය. රාමායනය ඔවුන්ගේ කෝවිල්වල ගායනා වන්නට විය. සීතාව පැහැරගෙන ආ රටට ඔවුන් පැමිණ ඇතැයි මව් රට දමා ආ මේ දුප්පත් මිනිසුන් සිතන්නට ගත්තේ රාමායනයේ සඳහන් අයෝධ්‍යාවේ ඇති භූගෝලීය සහ දේශගුණය මේ රටේ තිබූ නිසාය. එහෙයින් "සීතාඑළිය" ඔවුන්ට ඇසුණේ "සීතා එළිය" කියාය. හග්ගල කන්ද රාවණාගේ ඖෂධ උයන ලෙස ඇදහූ මේ දුප්පත් වන්දනා කරුවෝ හග්ගල කඳු පාමුල තිබූ සුන්දර දිය දහර අද්දරින් සීතා කෝවිල බිහි කර ගත්හ.
මම සීතා කෝවිල පසු කර හග්ගල මල්වත්ත අසළින් අඹේවෙල දක්‌වා ගමන් කළ හැකි දුර්ග මාර්ගයට පිවිසුණෙමි. සුන්දර තේ වතු මැදින් වැටී ඇති මේ මාවතේ යනෙන සංචාරකයන්ට වතු කම්කරු ලයිම් පේලි හමුවෙයි. ඒවා අසල පිහිටුවා ඇති කුඩා කෝවිල්වල ඇති හනුමාන් රූප මට දීර්ඝ කථාවක් කියා දෙයි. මම මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ව සිහි කෙරුවෙමි. එතුමෝ දැන් වසර කිහිපයක සිට ම හනුමාන් පර්යේෂණයකට අවතීර්ණව සිටී. "දෙමළ බෞද්ධයා" පර්යේෂණය එළිදැක් වූ සැණින් මෙරට ගෝත්‍ර වාදියෝ එතුමන්ට ප්‍රහාර එල්ල කළහ. මහාචාර්ය තුමෝ ශක්‌තිමත් ශාස්‌ත්‍රීය සන්නාහයකින් සන්නද්ධ වී ඇත්තාහ. හනුමාන් පර්යේෂණය එළිදක්‌වන තුරු ද ගෝත්‍ර වාදීහු ආවුද මුවහත් තබමින් බලා සිටිති.
මතු සම්බන්ධයි.
උපුටා ගැනීම - http://www.divaina.com/2010/08/29/feature03.html
වර්ගකිරීම් :
ඓතිහාසික සාධක,
ජනශ්රැතිය
Subscribe to:
Post Comments (Atom)
No Response to "රාම රාවණා පුවතට නෑකම් කියන පුරවරය"
Post a Comment
අදහස් සහ උදහස්