-->

Friday, December 23, 2011

සාහිත්‍යයේ ඇති ඉතිහාසයේ නැති රාවණ චරිතය

0


සාහිත්‍යයේ ඇති ඉතිහාසයේ නැති රාවණ චරිතය

"ඉතිහාසයේ බැහැර කළ නොහැකි රාවණ චරිතය" යන හිසින් මිරැන්ඩෝ ඔබේසේකර මහතා විසින් ලියන ලද ලිපියක්‌ 2011.08.03 දිවයින බදාදා අතිරේකයෙන් කියවන්නට ලැබිණි. මූලාශ්‍ර 25 ක්‌ ඇසුරු කොට කරන ලද පර්යේෂණයක්‌ ලෙස ඉදිරිපත්ව තිබූ එම ලිපියේ ශාස්‌ත්‍ර්‍රSය අගය පිළිබඳ විමර්ශනයක්‌ කළයුතු යයි අප අදහස්‌ කළේ ලිපියේ මාතෘකාව අනුව රාවණ චරිතය ඉතිහාසයට බද්ධ වූවක්‌ ලෙස පාඨක සමාජයට හැඟීමක්‌ දී තිබූ නිසාත්, එම චරිතය පිළිබඳව පවත්නා ජනප්‍රියතාවය මත එහි ඓතිහාසිකත්වය තීරණය වන්නේය යන දුර්මතය ආධුනිකයන් අතට පත්කිරීමට කිසියම් උත්සාහයක්‌ දරා තිබූ නිසාත්ය.

යම් පුරාවෘත්තයක්‌ ඓතිහාසික සත්‍යයක්‌ ලෙස තහවුරු වන්නේ විද්වතුන්ට එකඟ විය හැකි සාක්‍ෂි මගින් එය සනාථ වූ අවස්‌ථාවකදීය. එසේ නොමැතිව එවැන්නක්‌ කෙතරම් දුරට ජනතාව අතර ජනප්‍රිය වුවත් එය පවතින්නේ ජනප්‍රවාදයක තත්ත්වයෙනි. උදාහරණයක්‌ වශයෙන් ඉන්දියාවේ ධර්මාශෝක අධිරාජයා පිළිබඳව බෞද්ධ හා ජෛන සාහිත්‍යයන්හි තිබූ තොරතුරු පුරාවිද්‍යාවෙන් මෙන්ම අපේ මහාවංසයෙන් ද සනාථ වීම නිසා එම රජු ඓතිහාසික වශයෙන් පිළිගැනීමට ලක්‌විය.

ජනප්‍රවාදයේ හෝ සාහිත්‍යයේ ඇතුළත් චරිතයක්‌ ඓතිහාසික ද යන වග තීරණය කිරීම බොහෝ දුරට අධිකරණයක සාක්‍ෂි විමසා ගනු ලබන තීරණයක්‌ හා සම කළ හැකිය. උසාවිය විසින් සිද්ධිය දුටු අයගේ ප්‍රකාශ, අධිකරණ වෛද්‍ය වාර්තා, අපරාධය සඳහා යොදාගත් අවි ආයුධ ආදී දෑ සාක්‍ෂි ලෙස පිළිගන්නා නමුත්, "අසවලා මට කිව්වා, අසවල් අයගෙන් මා දැනගත්තා" යනාදී වශයෙන් කෙනෙකු විසින් තව කෙනකුගෙන් අසා දැනගෙන දෙනු ලබන සාක්‍ෂි (Hearsay Evidence) පිළිගනු ලබන්නේ නැත. එසේම යම් සිද්ධියක්‌ පිළිබඳව තම මතය ප්‍රකාශ කරමින් "එය එසේ වන්නට ඇතැයි මා සිතනවා" යනුවෙන් කෙනෙකු දෙන සාක්‍ෂිය (Opinion) ද උසාවිය පිළිගන්නේ නැත. මේ බව සිත තබාගෙන ප්‍රස්‌තුත ලිපියේ, රාවණ චරිතය ඓතිහාසික වූවක්‌ බවට සාක්‍ෂි වශයෙන් දක්‌වා ඇති පහත සඳහන් ප්‍රකාශ පළමුව සලකා බලමු.

1. "මෑත ඉතිහාසයේ රාවණ රජතුමා ගැන තද විශ්වාසයෙන් සිටි විද්වතෙකි, ෂඩ්භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල හිමිපාණෝ."

2. "මෑත යුගයේ සිටි මහා ඉතිහාසඥයකු වූ මහාචාර්ය හාන්දු, පැල්පොල පුඤ්ඤරතන නාහිමිපාණෝ ද රාවණ රජු ගැන භක්‌තියක්‌ තිබුණු ඉතිහාසඥයෙකි."

3. "කතළුව අටදානවත්ත වලව්වේ රාජකීය පණ්‌ඩිත දොන් කොන්ස්‌ටන් ඔබේසේකර රාවණ රජු ගැන මෙසේ කියා ඇත. රාවණ ඇත් හා හෙළ දැයේ මී මුත්තා, දස බලය ඇත්තා ලොවේ මහ විකුමැත්තා"

4. "වි.ජ.මු. ලොකුබණ්‌ඩාර අධිනීතිඥතුමා රාවණ ගැන මෙසේ පවසා ඇත. රාවණ කියන්නේ ඉතා හොඳ පූජනීය කෙනෙක්‌..."

5."හෙළ හවුලේ නායක ගුරුදෙවි කුමාරතුංග මුනිදාස සූරීන් රාවණ චරිතය බහුමානයෙන් විමර්ශනයට ලක්‌කළ අග්‍රගණ්‍ය පඬුවෙකි."

6."අලව්ඉස සැබිහෙළයෝද, කුමරතුඟු ගෝලබාලයන් වූ මහකවි රැපියෙල් තෙන්නකෝන්, මහානාම දිසානායක, ජයන්ත වීරසේකර, අරීසෙන් අහුබුදු ආදී විද්වතුන්ගේ සම්භාවනාවට රාවණ රජතුමා ලක්‌වූ බැව් අපි දනිමු."

රාවණ චරිතය සම්බන්ධයෙන් මෙම අයගේ විශ්වාසය.

භක්‌තිය, පූජනීයත්වය, සම්භාවනාව එම අයට පෞද්ගලිකය. ඒ කිසිවක්‌ රාවණ නමින් රජ කෙනකු සිටි බව තහවුරු කෙරෙන සාධක නොවේ. එබැවින් ඒවා අප ඉහත දැක්‌වූ දෙවන වර්ගයේ සාක්‍ෂි ලෙස සලකා ඉවත දැමීමට සිදුවේ. එසේම පුවත්පත් හෝ රූපවාහිනි වෙළෙඳ දැන්වීම්වල ප්‍රසිද්ධ නළු නිළියන්, ක්‍රීඩකයන් වැනි අය යම් යම් ආහාර පාන වර්ගවල රස ගුණ ගැන කරන වර්ණනාවන් සිහිගන්වන එම ප්‍රකාශවලින් පෙනී යන තවත් කරුණක්‌ නම් ලේඛක මහතා සඳහන් කරන පර්යේෂණය රාවණයන් පිළිබඳව කෙරෙන හුදු ප්‍රශස්‌තියක්‌ පමණක්‌ බවය.

තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමියන්ගේ සැළලිහිණි සංදේශයේ සඳහන් "තුන්ලෝ" තමා නතුකළ රවුළු සොහොවුරු "නමැති කවියෙන් අනාවරණය වන්නේ රාවණයන්ගේ ඓතිහාසිකත්වය නොව කවිය ලියූ රාහුල මාහිමියන්ගේ අසීමිත දේව භක්‌තියයි. තුන්ලෝකානු, ෙත්‍රෙලෝක්‍යතිලක, තිලෝගුරු, ත්‍රිභුවනවිදත යනාදී වශයෙන් බුදුන්වහන්සේට යොදනු ලබන විශේෂණ පදවලට සමානව "තුන්ලෝ තමා නතුකළ" යනුවෙන් රාවණ රජුට යොදා රාවණ බුදුන්ට සම කිරීමෙන් ද විභීෂණ දෙවියන් තුන්කල් දන්නා බුදුන් සේ සලකා එම දෙවියන් පාමුල තුන්වරක්‌ම වැඳ වැටීමෙන් ද එම දේව භක්‌තිය අනාවරණය වෙයි.

එසේම අඹන්වැල්ලේ ශ්‍රී පඤ්ඤාශේඛර හිමිපාණන් ද තමන් කිසිදා නුදුටු රාවණගේ නොදිරන මළ සිරුර නුවරඑළියේ කඳුකරයේ ඇතැයි යන මුසාවක්‌ පුවත්පතකට ලිවීමෙන් පෙන්වා ඇත්තේ තම චරිත ස්‌වභාවය මිස රාවණ යනු ඓතිහාසික චරිතයක්‌ බව නොවේ. එය "කෙප්පයක්‌" බවට මහාචාර්ය සෙනරත් පරණවිතානයන් විසින් දක්‌වන ලද විරෝධය පිළිබඳව කිසිදු පිළිතුරක්‌ නොදීමෙන් ඔබේසේකර මහතා ද එය පිළිගෙන ඇති බව පෙනේ.

වගකීමෙන් ඇඟ බේරාගෙන මූලාශ්‍ර ඉදිරිපත් කිරීමේ අපූරු ක්‍රමයක්‌ ඔබේසේකර මහතා තම පර්යේෂණයේදී අනුගමනය කර ඇති සැටි ද අපගේ විමර්ශනයට ලක්‌විය.

(I) බද්දේගම විමලවංස අනුනායක හිමිපාණන් සිළුමිණ 1991 නොවැ. 17 පත්‍රයට සපයා ඇතැයි කියන ලිපියක්‌ අනුසාරයෙන් ඉදිsරිපත් කර ඇති එක්‌ සාධකයක්‌ මෙසේය. "දම්පියා අටුවා ආදී පොත් යක්‍ෂ ජනතාව හඳුන්වා දී ඇත්තේ හෙළ යන නමිනි. දම්පියා අටුවාවේ පැහැදිලිව කියන්නේ මෙරට ආදි ජනතාව හෙළයන් බවය. යක්‍ෂ නාග දෙපිරිසම කතා කළේ හෙළ බසිනි."

මේ කියන පොතේ එවැනි සඳහනක්‌ තිබේ නම් එම පොතෙන් එය කෙළින්ම උපුටා දැක්‌වීමට ඔබේසේකර මහතාට බාධාවක්‌ නැත. එහෙත් එතුමා එසේ නොකර එම සාක්‍ෂිය දෙවැනි පාර්ශ්වයකින් ලබාගත්තේ ඇයි? මේ පිළිබඳ සත්‍ය තත්ත්වය මෙසේය. දම්පියා අටුවාව නමින් පොතක්‌ නැත. දැනට ඇත්තේ "දහම්පියට කළ අටුවා සන්නසය" නමැති පොතය. එහි කොතැනකවත් යක්‍ෂයන් හෙළයන් ලෙස හඳුන්වා දී නැත. එසේම යක්‍ෂ නාග දෙපිරිස හෙළ බස කතා කළ බවක්‌ ද එහි සඳහන්ව නැත. ඒ අනුව ඔබේසේකර මහතා විසින් කර ඇත්තේ විමලවංස හිමියන් විසින් කරුණු විකෘති කර දක්‌වන ලද පුවත්පත් ලිපියක්‌ තම පර්යේෂණය සඳහා වාසියට යොදා ගනු ලැබීමය. බද්දේගම විමලවංස හිමියන් ලියූ බොරුව ඔබේසේකර මහතාට ඉතිහාස මූලාශ්‍රයක්‌ වූ සේම ඔබේසේකර මහතාගේ බොරුව ද නූතන පාසල් සිසුනට මූලාශ්‍රයක්‌ වුවහොත් එය බොරුවෙන් බොරුව තහවුරු කිරීමේ ඉතිහාස සම්ප්‍රදායක්‌ බවට පත්වනු ඇත.

(II) බළලුන් ලවා කොස්‌ඇට බාවා ගැනීමේ උපක්‍රමයට සමාන තවත් එවැනි සාක්‍ෂියක්‌ මෙසේය. "උතුරු දේශයට අධිපති වූයේ යක්‍ෂ ගෝත්‍රික වෛශ්‍රවණය. යක්‍ෂ, නාග, දේව, පිසාච් ගෝත්‍රිකයන් ලක්‌දිව විසූ බැව් මහාවංසයට සියවසකට පෙර ලියන ලද දීපවංසයේ සඳහන් වේ" යනුවෙන් පැවසෙන පාඨය උපුටා ගෙන ඇත්තේ කර්තෘවරයාගේ නම පවා සඳහන් කර නැති "ශ්‍රී ලංකාවේ ශිෂ්ටාචාරය" නමැති පොතකිනි. ලංකාවේ උතුරු දේශයට අධිපති වූයේ වෛශ්‍රවණය යනු අදහසක්‌ දීපවංසයේ තිබේ නම් එය මූලාශ්‍රයක්‌ වශයෙන් එම පොතින් කෙළින්ම උපුටා දැක්‌වීමට තිබූ බාධාව කුමක්‌ද?

(III) සතර වරම් මහ දෙවිවරුන් පිළිබඳව ඔබේසේකර මහතා විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත්තේත් එවැනිම දෙවන පාර්ශ්වයේ සාක්‍ෂියකි. සතර වරම් දෙවි රජවරුන් පිළිබඳව අපට ඇති හොඳම නිරවුල් මූලාශ්‍රය පිරිත් පොතේ "මහා සමය" සූත්‍රයයි. එසේ තිබියදී කපුගම්පොත ආනන්ද මෛත්‍රය නමැති හිමිනමක්‌ විසින් ලියන ලද "දහම් එළිය" නමැති මෑතකාලීන පොතකින් උපුටාගත් පින් පැමිණවීමේ ගාථා හතරක්‌ මගින් අපට සතරවරම් මහරජවරුන් හඳුන්වා දී ඇත. මෙසේ කර ඇත්තේ එක්‌තරා හේතුවක්‌ නිසාය. මහාසමය සූත්‍රයට අනුව සතරවරම් දෙවිවරුන් පමණක්‌ නොව එම එක්‌ එක්‌ දෙවියකුගේ පාලනය යටතේ සිටි යක්‍ෂ, කුම්භාණ්‌ඩ, ගන්ධබ්බ සහ නාගයෝ මිනිස්‌ ඇසට නොපෙනෙන අමනුෂ්‍ය පිරිසක්‌ වූහ. එම සූත්‍රයේ විස්‌තර වන පරිදි බුදුරජාණන් වහන්සේ කිඹුල්වත්පුර අසල මහ වනයෙහි රහත් භික්‍ෂූන් පන්සිය නමක්‌ පිරිවරා වැඩ වාසය කරන කල්හි යට කී වරම් රජ දරුවන් ප්‍රධාන දිව්‍ය බ්‍රහ්ම සේනාව එහි පැමිණියේ බුද්ධ ප්‍රමුඛ භික්‍ෂු සංඝයා දැක ගැනීම පිණිසය. ඒ අවස්‌ථාවේ බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් අමතා එම දිව්‍ය සේනාව දැකබලා ගැනීම සඳහා දිව්‍ය ඥනය ලබාගන්නා ලෙස වදාළහ. ඒ මෙසේය.

"දේවකායා අභික්‌කන්තා

තේ විජානාථ භික්‌ඛවෝ

තේච ආතප්පමකරුං

සුත්වා බුද්ධස්‌ස සාසනං"

මහණෙනි දිව්‍ය සමූහයා රැස්‌වූවාහුය. ඒ දේව සමූහයා මනා කොට දිවැසින් දකිව්. ඒ භික්‍ෂුහුද බුදුරදුන්ගේ හස්‌න අසා වීර්ය වැඩුවාහුය.

තේසං පාතුරහු ඤාණං

අමනුස්‌සාන දස්‌සනං

අප්පේකේ සතමද්දක්‌ඛුං

සහස්‌සං අථ සන්තතිං

ඒ භික්‍ෂූන්ට අමනුෂ්‍යයන්ගේ දැකීම ඇති දිව්‍ය ඥනය පහළ විය. ඇතැම් රහත්හු අමනුෂ්‍යයන් සියයක්‌ දුටහ. ඇතැම් රහත්හු දහසක්‌ ද නැවත සැත්තෑ දහසක්‌ ද දුටහ.

සතං ඒකේ සහස්‌සානං

අමනුස්‌සාන මද්දසුං

අප්පේකේනන්ක මද්දක්‌ඛුං

දිසා සබ්බා ඵුටා අහු

ඇතැම් රහත්හු දේවාදී අමනුෂ්‍යයන් සියක්‌ දහසක්‌ දුටහ. සමහර රහත්හු අප්‍රමාණ දිව්‍ය බ්‍රහ්මයන් දුටහ. කෙසේද? සියලු දිසාවෝ දෙවි බඹුන්ගෙන් පිරී ගියහ.

මෙපරිදි සතරවරම් දෙවිවරුන් ඇතුළු කුවේරාදී යක්‍ෂයන් ද කුම්භාණ්‌ඩයන් ද, ගන්ධබ්බයන් ද ,නාගයන්ද, අමනුෂ්‍යයන්ය යන කාරණය සඟවා මනුෂ්‍යයන් ලෙස දැක්‌වීමේ අරමුණ ඇතිව ඔබේසේකර මහතා විසින් මහා සමය සූත්‍රය සිතා මතාම අමතක කර ඇති බව පෙනේ. රාවණගේ පරපුර මනුෂ්‍යයන් නොවන බවට හොඳම සාක්‍ෂිය ඔහුගේ ආදිම මුත්තා වන මහා බ්‍රහ්මයා මනුෂ්‍යයකු ලෙස සඳහන් නොවීමය.

රාවණ පෙළපත ගැන කරුණු දක්‌වන ඔබේසේකර මහතා ඇතැම් තැනක එකිනෙකට පරස්‌පර සාක්‍ෂි ද ඉදිරිපත් කරයි. සතරවරම් මහරජවරුන් වන වෛශ්‍රවණ, විරූඪ, ධ්‍රතරාෂ්ට්‍ර, විරූපාක්‍ෂ යන අය පිළිවෙළින් උතුරු, දකුණු, නැගෙනහිර සහ බටහිර දිසාවන්ට අධිපති බව කපුගම්පොත ආනන්ද මෛත්‍රිය හිමියන්ගේ පොතින් උපුටා දක්‌වන එතුමා, ලිපියේ තවත් තැනක "Ravana The Great" නමැති පොතින් ගෙනහැර දක්‌වන්නේ ලෝකයේ දකුණු දෙස යම විසින් ද බස්‌නාහිර වරුණ විසින්ද ආරක්‍ෂා කරන බවය. එසේම විභීෂණ නාග ගෝත්‍රික මාලනී කුමරියගේ පුත්‍රයා යයි ආරියදාස සෙනෙවිරත්න සූරීන් විසින් කියා ඇති බවට "ලංකා රාවණ රාජධානිය" නමැති පොතපතින් ගෙනහැර දක්‌වන එතුමා තවත් තැනක සඳහන් කර ඇත්තේ විභීෂණ යනු කුවේරගේ තුන්වන බිරිඳ වූ කෙකසී ගේ පුත්‍රයකු බවය. මෙයින් පෙනී යන්නේ මෙම චරිත කලින් කලට සාහිත්‍යයට එකතුවූ ආගමික සංකල්ප පමණක්‌ බව නොවේද?

රාවණ රජතුමා සත්‍ය චරිතයක්‌ වී නම් ඔහු ජීවත් වූයේ ඉන්දියාවේ ද ලංකාවේද යන ප්‍රශ්නයට දෙපිලකට බෙදී මත ප්‍රකාශ කරන විද්වතුන්ගේ නාම ලේඛනයක්‌ මිස වෙනත් සාක්‍ෂියක්‌ ඉදිරිපත් කිරීමට ඔබේසේකර මහතාට හැකිවී නැත. රාවණ ජීවත් වූ කාලය නිශ්චය කිරීමේ දී ඒ පිළිබඳ කියා ඇත්තේ "ජාතක පොත ලිවීමට වසර දසදහස්‌ ගණනාවකට පෙර රාමායනය ලියවී ඇති" බවය.

රටක ආගමික සාහිත්‍යයේ හෝ ජනප්‍රවාදයේ එන රාජ චරිතයක්‌ ඓතිහාසික ලෙස පිළිගැනීම සඳහා එම චරිතය ජීවත්වූ කාලය හා රාජධානිය ඇතුළු අවශ්‍යතා ගණනාවක්‌ සම්පූර්ණ විය යුතුය. අප ඉහත සඳහන් කළ පරිදි ඉන්දියාවේ ධර්මාශෝක චරිතය හෝ ලංකාවේ මහා පරාක්‍රමබාහු වැනි චරිතයක්‌ ගැන සලකා බලන විට ඒවා ඉතිහාසයට බද්ධවී ඇත්තේ එම රූප රාමු ඒවාට අයත් ස්‌ථාන වලින් ගලවා ඉවත් කළ නොහැකි ආකාරයෙන් බව ඉතා පැහැදිලිය. එම රජවරුන්ට ආසන්න පූර්වයෙහි ද රජවරු සිටියහ. අනුප්‍රාප්තිකයෝද වූහ. සේනාධිපතිවරුන් සහිත හමුදාවෝ වූහ. සටන් පිළිබඳ වාර්තා මූලාශ්‍ර මගින් සනාථවී ඇත. පාලිත ජනතාවක්‌ සහ එම ජනතාවගේ සහජීවනය සඳහා රජතුමා විසින් දරන ලද ප්‍රයත්නයන් සාක්‍ෂි මගින් තහවුරු වී ඇත. එම ජනතාවගේ භාෂාව, ආගම, සංස්‌කෘතිය, නීතිය හා සාමය පිළිබඳ රජුගේ මැදිහත්වීම රාජ්‍යයේ පැවති ලේඛන කලාව එම ලේඛන කලාව උපයෝගී කරගෙන රජතුමා මහජනයා සමඟ පැවැත්වූ සංනිවේදනය, ජාත්‍යන්තර සබඳතා, වාණිජ කටයුතු ආදී සියල්ල ශිලාලේඛන ඇතුළු පිළිගත හැකි සාක්‍ෂි මගින් තහවුරු වී ඇත.

එහෙත් රාවණ චරිතය ඓතිහාසික ලෙස හඳුනා ගැනීම සඳහා ඔබේසේකර මහතා ඉදිරිපත් කරන සාක්‍ෂි වල තත්ත්වය කුමක්‌ද? රාවණ රජු මහා බ්‍රහ්මයා ගෙන් පැවත එතැයි කියන නමුත් මහා බ්‍රහ්මයාගේ සිට රාවණ දක්‌වා එම පරපුරේ පිය පාර්ශ්වයේ මුතුන් මිත්තන් ජීවත්වූ ස්‌ථාන හා කාල පරාසයන් සාක්‍ෂි මගින් සනාථ කිරීමට නොහැකිව ඇත. එතුමා පවසා ඇත්තේ රාමායනය අවුරුදු දස දහස්‌ ගණනකට පෙර ලියන ලද බව පමණයි. මහා බ්‍රහ්මයාගේ පුත් පුලස්‌ති සෘෂිවරයා රාවණ පරපුරේ ආදි පුරුෂයා ලෙස රාමායනය ඇතුළු මූලාශ්‍ර රැසක සඳහන්ව ඇති බව පවසන ඔබේසේකර මහතා මෙම පිරිස යක්‍ෂ, නාග, දේව, ගන්ධබ්බ ආදී සිවුමහ හෙළයන් සම්මිශ්‍ර වූ පරපුරක්‌ ලෙස සිතිය හැකි යෑයි පවසා ඇත. එක්‌ එක්‌ අය සිතන දේ ඉතිහාසය නොවේ. සිවුමහ හෙළයන් පිළිබඳ සංකල්පය හෙළ හවුල බිහිවීමෙන් පසුව ඇතිවූවක්‌ මිස ඊට පෙර පැවැති ව්‍යවහාරයක්‌ නොවේ.

භාරතීය පුරාණ ග්‍රන්ථ සාහිත්‍යය අනුව කුවේර සහ ඔහුගේ දරු පරපුර රාක්‍ෂයෝ වෙති. රාමායනය අනුව රාවණ ද රාක්‍ෂයෙකි. නමුත් ඔහු සිංහලයකු ලෙස කුලවැද්දීම සඳහා අපේ රටට "සිංහලේ" යන නාමය යෙදී ඇත්තේ ප්‍රාග් ඓතිහාසික යුගයේ ලක්‌දිව කුරුඳු වගාව බෙහෙවින් ජනප්‍රිය වී තිබුණු නිසා බව ආචාර්ය ඇනස්‌ලි හර්මන් මිරැන්ඩෝ කියා ඇතැයි "සිංහලයන්ගේ මූලාරම්භය" නමැති පොතකින් උපුටා දක්‌වයි. ඊට සාධක වශයෙන් සංස්‌කෘත භාෂාවේ කුරුඳු හැඳින්වෙන්නේ "සිංහල" නමින් බව සරස්‌වතී නිඝණ්‌ඩුවේ සඳහන් වන බවත් "තම්බපන්නී" නාමය ද කුරුඳු දලුවලින් පැමිණි නාමයක්‌ බවත් එම පොතේම සඳහන් වන බවද පවසයි.

ඉන්දියාවේ මලබාර් වෙරළ ප්‍රදේශයේද, නැගෙනහිර ඉන්දියා දූපත් වලද කුරුඳු වැවෙන බව සිංහල විශ්ව කෝෂය කියයි. ඒ නිසා එය ලංකා දිවයිනට සීමාවූවක්‌ නොවේ. ආයුර්වේද පොත් අනුව කුරුඳුවලට සංස්‌කෘත බසින් ව්‍යවහාර වන්නේ "තවක්‌" සහ "තමාල" යන වදන්ය. ප්‍රාග් ඓතිහාසික යුගයේ ලංකා දිවයිනේ කුරුඳු වගා කළ බවක්‌ පර්යේෂණ වලින් තවම අනාවරණය වී නැත. පෘතුගීසින් පැමිණ ඉන්දියාවෙන් කුලීකරුවන් ගෙන්වා වතු වගාවක්‌ වශයෙන් කුරුඳු වවන තුරු මෙහි තිබී ඇත්තේ කැලයේ ඉබේ වැවුණු කුරුඳුය. කුරුඳු අපනයනය නිසා මේ රට කුරුඳු වලට ප්‍රසිද්ධ වී ඇත්තේ 12 වන සියවසේදී පමණ සිටය. මෙම කුරුඳු අනුව "සිංහල" නාමය කුරුඳු නිසා ඇතිවූවක්‌ බව පිළිගැනීම අපහසුය. කිසියම් රටකින් අපනයනය කරන ද්‍රව්‍ය එම රටේ හෝ ප්‍රදේශයේ නාමයෙන් හැඳින්වීම වාණිජ චාරිත්‍රයකි. කලකට ඉහත අප රටේ වෙළෙඳසල් වල බිල්පත්‍ර වල පරිප්පුවලට "මයිසූර්" කියාත් ලොකු ළුEනු වලට "බොම්බෙ" කියාත්, රතුළුEනු වලට "පොන්ඩිචෙරි" කියාත් ලියෑවුණු බව වැඩිහිටියන්ට මතක ඇත. පුරාණ පර්සියානුන් කපුරෙදි වලට "ඉන්දු" කියා කීමෙන් යුරෝපීයයන් පිඟන් බඩු වලට "චයිනා" කියා ව්‍යවහාර කළේත් ඒ අනුවය. ඒ අනුව ලංකා කුරුඳුවලට ඉන්දියාවේ දී සිංහල යනුවෙන් යෙදෙන්නට බැරි කමක්‌ නැත. "තම්මැන්නා" යන නාමය කුරුඳු දලු නිසා ඇති වූයේය යන මතය පිළිගත නොහැක්‌කේ ලංකාවේ වයඹ සහ උතුරු මැද පළාත් දෙකෙහි බහුල ලෙසත් අනෙක්‌ ප්‍රදේශවල සුළු වශයෙනුත් වැවෙන "තම්මැන්න" නමැති ගස්‌ වර්ගයක්‌ ඇති නිසාය. "Mischoden Zeylanica" යන උද්භිද නාමයෙන් හැඳින්වෙන එම ශාකයේ දලු තඹ පැහැයෙන් යුතු වන අතර දැවය දර සඳහා භාවිත කෙරේ. මෙකල එය බොහෝ දුරට වඳවීමට ලක්‌ව තිබේ. මේ පිළිබඳ විස්‌තරයක්‌ පසුගිය සියවසේ පළමු "ඥනාදර්ශය" සඟරාවේ පළවී තිබිණ.

රාවණගේ රාජධානිය තිබූ තැන පෙන්වීමට නොහැකි නිසා කාශ්‍යප රජුගේ සීගිරියට හොර ඔප්පු ලිවීමේ වැඩසටහනක අංගයක්‌ ලෙස එහි වාස්‌තු විද්‍යාඥයා රාවණගේ මාමණ්‌ඩිය යයි කියනු ලබන දානව වාර්ගික මායා නමැත්තකු බව සඳහන් කරනු ලැබ ඇත. රාමායනය අනුව රාවණගේ රාජධානිය තිබී ඇත්තේ ත්‍රිකූට නම්වූ පර්වතයක්‌ මස්‌තකයෙහිය. මුදුන් තුනක්‌ සහිත එය අති විශාල පර්වත පංතියක්‌ විය යුතුය. ඒ නිසා එය සීගිරි විය නොහැකිය. රාවණ රජු පුෂ්පක නම් වූ යානයකින් සීතා රැගෙන අහසින් ගිය බවට රාමායනයේ ඇති වර්ණනය පදනම් කරගෙන රාවණ යුගයේ ගුවන් යානා පිළිබඳ කතිකාවක්‌ මෑතකදී ප්‍රසිද්ධියට පත්ව ඇත. එම තොරතුරු ද අබේසේකර මහතාගේ පර්යේෂණයට ඇතුළත්වී තිබේ. පක්‍ෂීන් අහසේ පියඹා යන සැටි දකින ආදි මිනිසාගේ සිටම අහසින් යාමේ සිහිනයක්‌ මිනිසුන් අතර විය. ජනප්‍රවාද සාහිත්‍යයෙහි එවැනි කතා නිර්මාණය කිරීමෙන් ඔවුහු මානසික තෘප්තියක්‌ ලැබුවෝය. පියාඹන අශ්වයන්, සිංහයන් හා ගවයන් ගැනත් ඔවුන් පිට නැගී ගිය චරිත ගැනත් විශාල පක්‍ෂීන් ගේ පාදවල එල්ලී රටින් රට ගිය පුද්ගලයන් ගැනත් විවිධ රටවල කතාන්තර ගෙතුණේ එම උපකල්පනය නිසාය. වඩුවකු විසින් තනාදෙනු ලැබූ දඬු මොනරයක නැගී ගොස්‌ විවිධ දස්‌කම් දැක්‌වූ රජකුමරකු පිළිබඳ පුවතක්‌ අපේ ජාතක කතාවකද ඇත. මේ අනුව වාල්මිකී විසින් රාමායණ කතාපුවතින් මහා කාව්‍යයක්‌ ලිවීමේදී රාවණ යනු බලසම්පන්න රජෙකු ලෙසත් පුෂ්පක නම් යානයකින් සීතා කුමරිය පැහැරගෙන අහසින් ගිය බවත් ලියන ලද්දේ කතා රසය තීව්‍ර කිරීම සඳහාය. රාවණාගේ ලංකාපුර නමැති රාජධානිය පිහිටියේ යෑයි කියන ත්‍රිකූට නමැති පර්වතයද කල්පිත ස්‌ථාන නාමයකි. එය සමුද්‍රයෙන් එපිට පිහිටා තිබුණු බව උපකල්පනය කළේ සීතා සොයා ගිය රාමගේ චාරිකාව වඩාත් දුෂ්කර එකක්‌ බවට පත්කරනු සඳහාය. එම ගමන් මාර්ගයේ පිහිටි ස්‌ථාන ලෙස වාල්මිකී සඳහන් කරන කඳු පර්වත ආදී සමහරක්‌ යොමුවී ඇත්තේ අපේ රට දෙසට නොවේ. වාල්මිකී විසින් කල්පිතව නිර්මාණය කරන ලද "ලංකාපුරය" සිංහලද්වීපය වැසියන් විසින් තමන්ගේ දිවයින ලෙස භාරගෙන ඊට ලංකා යන නාමය ව්‍යවහාරයට ගනු ඇතැයි වාල්මිකී බලාපොරොත්තු නොවීය. එසේම තමන් නිර්මාණය කළ ගුවන් ගමන පිළිබඳ ප්‍රවාදය අනුව "පුෂ්පක" යානය යනු සත්‍ය ගුවන් යානාවක්‌ ලෙස සලකා අනාගතයේ දී යම් යම් පුද්ගලයන් විසින් එහි රූ සටහන් ඇඳ පොත පත ලියනු ඇතැයි ද ඔහු බලා පොරොත්තු නොවීය.

යම් ලෙසකින් වාල්මිකී සෘෂි වරයා අද දක්‌වාත් ජීවත්ව සිටියේ නම් අපේ රටේ මෑත කාලීන උගතුන් විසින් රාවණ ගේ ගුවන් යානා ගැන කියන කියන දේ දැක බලා ඔහු මවිතයට පත්වනු නොඅනුමානය. රාවණගේ ගුවන් යානා ගැන ඔබේසේකර මහතා ලියා ඇති කිසිවක්‌ සාක්‍ෂි මගින් තහවුරු නොවන නිසා ඒ කිසිවක්‌ ඉතිහාසය ලෙස සැලකීමට නුපුළුවන.

බැබිලෝනියානු ශිෂ්ටාචාරයෙන් මතුවූ බව කියන මැටි පුවරුවල සඳහන් කිසිවක්‌ රාවණ පුරාවෘත්තියට අදාළ නොවන නිසා ඒ ගැන සාකච්ඡා කිරීම අනවශ්‍යය. එහෙත් රාවණ සෙල්ලිපි පිළිබඳ කර ඇති ප්‍රකාශ පිළිබඳ කෙටියෙන් හෝ අදහස්‌ දැක්‌විය යුතුව ඇත. රාවණගේ සෙල්ලිපි සියයක්‌ පමණ හරිහැටි කියවා නැති බවත්, රිටිගල සෙල්ලිපි රැසක්‌ කියවා නැති බවත් රාවණ සෙල්ලිපි විශාල ප්‍රමාණයක්‌ විනාශ කර ඇති බවත් ලිපියේ සඳහන්ව ඇත. හරිහැටි නොකියවූ හා කොහෙත්ම නොකියවූ ලිපි රාවණගේ යෑයි නිගමනය කළේ කෙසේද? එසේම විනාශ වූ ලිපි රාවණ විසින් ලියවන ලද ඒවා බව දැන ගන්නේ කුමන විද්‍යාවකින්ද? කිසියම් සෙල්ලිපියක රාවණා හෝ රාවණ යන නාමය තිබුණු පමණින් එය රාමායණයේ රාවණ විසින්ම ලියන ලද ලිපිය ලෙස නිගමනය කළ හැකිද?

රාවණගේ ශාස්‌ත්‍රීය සේවය ලෙස දැක්‌වෙන කරුණු උපුටා ගෙන ඇත්තේ "රාවණ කථා" නමැති පුස්‌කොල පොතකින් බව පැවසේ. මෙය මෑත කාලයේ ලියන ලද අප්‍රසිද්ධ පොතකි. රාවණගේ වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම මහා ශාස්‌ත්‍රවන්නයකු බවත්, ඔහු විසින් සාම වේදයේ එක්‌ කොටසක්‌ ලියන ලද බවත් සංස්‌කෘත වෛද්‍ය ග්‍රන්ථ ගණනාවක්‌ ලියන ලද බවත් පැවසේ. එම විස්‌තරය අනුව අප සිත් තුළ මැවෙන්නේ ඉතා ශිෂ්ට සම්පන්න, ඉවසන සුළු, බුද්ධිමත්, තැන්පත් චරිතයකි. එවන් පුද්ගලයකු කුමන හේතුවක්‌ නිසාවත් අනුන්ගේ තරුණ භාර්යාවක්‌ පැහැරගෙන විත් සඟවා තැබීමෙන් ස්‌ත්‍රී අපහරණ අපරාධයකට පෙළඹෙතැයි විශ්වාස කළ හැකිද?

විජයපාල වීරවර්ධන
  
උපුටා ගැනීම - http://www.divaina.com/2011/09/07/badada03.html



No Response to "සාහිත්‍යයේ ඇති ඉතිහාසයේ නැති රාවණ චරිතය"

Post a Comment

අදහස් සහ උදහස්