Wednesday, December 14, 2011

මහ වන මැදින් රාවණා ගුහාවට

0
රාම, සීතා පේ‍්‍රමය හා රාවණා රජු ඊට ද්‍රෝහීව ක්‍රියා කිරීම පදනම් කරගෙන පේ‍්‍රමවන්තයා, පේ‍්‍රමවන්තිය හා දුෂ්ඨයා යන චරිත පසුකාලීනව නිෂ්පාදනය වූ චිත්‍රපටවලට මෙන් ම ලියැවුණු නවකතා ආදියට ද ඇතුත් වී ද යන්න ප්‍රශ්නයකි.

රාම - සීතා පේ‍්‍රම පුරාණයට අදාළ රාවණා නමැති යක්‍ෂ ගෝත්‍රික රජු මෙරට පාලනය කළ අවදිය තෙත්‍රා යුගයට අයත් වන්නේ යැයි ද, තෙත්‍රා යුගයට අදාළ කාලසීමා වූ නිශ්චිතව පැවසිය නොහැකි යැයි ද, එය ඇතැම්විට ක්‍රිස්තු වර්ෂයෙන් වසර පන්දහසකටත් වඩා අතීත කාලයක් විය හැකි යැයි ද විවිධ විද්වත්හු පවසති. කාල වකවානු කෙසේ වුවත් රාම – රාවණා අතර බිහිසුණු යුද්ධය සිදුවූයේ මෙරට දි යැයි ද, එබැවින් රාවණා පැහැරගෙන ආ සීතා සඟවා තැබුවේ මෙරට වූ අශෝක මල් උයනක යැයි ද සනාථ කිරීමට තරම් විවිධ සාක්‍ෂි දැනටමත් හමුවී ඇත.

පෞරාණික රාවණා ඇල්ල රජමහා විහාරය
එය සනාථ කිරීමට ඇති ප්‍රධාන සාධකයක් ලෙස දැනට ද මෙරට අඩි 5000ට වඩා උස්වූ භූමි ප්‍රදේශවල තැනින් තැන දක්නට හැකි මලින් පිරි අශෝක ගස් පැවතීම දැක්විය හැකි ය. තවදුරටත් රාවණා සහ සීතා ගේ නම් සඳහන් ග්‍රාම නාම සහ ස්ථාන නාම රැසක්ම කඳුකරයේ පැවතීම ද කදිම සාධකයකි.
මේ කතා පුවතේ ලා අතිශය වැදගත් ම සිද්ධිය වනුයේ රාම ගේ රූමත් බිරිඳ වූ සීතා පැහැරගෙන ඒමෙන් වීර ක්‍රියාවක් සිදු කළ රාවණා රජු, කොයි මොහොතේ හෝ රාම, සීතා සොයා පැමිණිය හැකි බවත්, එවිට සිය නැගණිය ගේ නාසය කපා දැමීමෙන් ඇයට සිදු කළ අවමානයට පළිය ගත හැකි බවත් සිතා රාවණා රජු සැඟ වී සිටීමයි. සැඟවී සිටිමින් රාම පැමිණෙන්නේ කුමන මොහොතේ දැයි ඔත්තු බැලීමට ඔත්තුකරුවන් රැසක් ද සීරුවෙන් තැබීමට ඔහු අමතක නොකළේ ය.
 
මෙසේ රාවණා සැඟවී සිටි ස්ථාන කීපයක් පිළිබඳ ව මෙරටින් තොරතුරු අනාවරණය වේ. කොත්මලේ ප්‍රදේශයේ රාවණාගොඩ නමැති ග්‍රාමය එනම ලද්දේ රාවණා සැඟවී සිටි හෙයිනැයි ජනප්‍රවාදයේ සඳහන් වේ. තවත් විටෙක ඔහු හෝර්ටන් තැන්නේ දකුණු කෙළවර වූ ලෝකාන්තයේ උස් වූ ගල් පර්වත අතර ද සැඟවී සිටියා යැයි කියනු ලැබේ. 

බුදු ගෙය
වැල්ලවාය නගරයේ සිට බදුල්ල, බණ්ඩාරවෙල ආදී නගර කරා විහිදී ඇති ඇල්ල – වැල්ලවාය පාරේ 26 වැනි කිලෝමීටරයේ අංක 5 දරන බෝක්කුව ළඟින් රාවණා ගුහාව තෙක් තරමක දුෂ්කර මාර්ගයක් විහිදෙයි.
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ ගමන් ගන්නාවිට හමුවන සුප්‍රසිද්ධ එමෙන් ම ස්වභාව අලංකාරයෙන් පොහොසත් වූ රාවණා ඇල්ල ද, රාවණා පුවත පිළිබඳ කදිම සාක්‍ෂියකි. රාවණා දිය ඇල්ල පසුකොට කිලෝමීටර කීපයක් කඳුකර, දුෂ්කර එහෙත් නෙත් - සිත් වශීකරන, මරනම් පරිසරයෙන් සුසැදි කඳු බිමේ නැඟයත් ම විසිහයවැනි කිලෝමීටරයේ පස් වැනි බෝක්කුව හමු වෙයි.

එම ස්ථානයේ වම් අත පැත්තට වන්නට පෞරාණික රාවණා ඇල්ල රජ මහ විහාරයට යන මාවත දක්වන නාම පුවරුව සවිකොට තිබෙනු දැක ගත හැකි ය. එය ඉතා දුෂ්කර මාර්ගයකි. මෝටර් රථ, වෑන් රථ ආදියට ගමන් කිරීමට තරමක් උචිත මාර්ගයකි. පෞරාණික රාවණාඇල්ල රජමහා විහාරය තෙක් ම එම මඟ විහිදෙයි. මහ මඟ සිට විහාරස්ථානයට දුර කිලෝමීටරයක් පමණ වේ. තැනින් තැන නිවෙස් දක්නට ලැබුණත් සමස්තයක් ලෙස ගත් කල පරිසරය පාලු ස්වරූපයක් උසුලයි. ගැමි පරිසරයකි.

ගමනාන්තයෙ හි පහළින් ආවාස ගෙය ද, ඉදිරියෙන් විහාරස්ථානය ද පිහිටියා ය. අපි විහාරස්ථානය වෙත පියමන් කළෙමු. අවට පරිසරය පුරා ම දක්නට ලැබෙන්නේ ස්ථානයේ පෞරාණිකත්වය පිළිබඳ සලකුණු ය.
උමං දොර
ගල්ලෙනක් පාදක කරගෙන තනා තිබූ විහාරස්ථානය දැකුම්කළු ය. පරිසරය ඉතාමත් නිහඬ ය. ශාන්ත ය. අතුපතර දසත විහිදෙමින් වැවී ඇති බෝධිය තේජස්වී විලාශයෙන් නැඟී සිටී.
ඉදිරිපසින් බිත්තිය බැඳ පිළිසකර කර තිබූ මුත් විහාරගෙය ඉදි වී ඇත්තේ ගල්ලෙන තුළ ය. පියස්සේ පෞරාණික චිත්‍ර අභාවයට යමින් පවතී. පැරැණි මකර තොරණ පාදක කරගෙන හිඳි බුදු පිළිමයක් ද, පසෙකින් සැතපෙන බුදු පිළිමයක් ද වෙයි. මෙම බුදු පිළිමවල මෙන් ම අනෙකුත් චිත්‍රවල ද පැහැය අවපැහැ ගැන්වෙමින් පවතී.
සැතපෙන බුදු පිළිමයේ පාද පිහිටි ස්ථානයේ ගල් බිත්තියේ කුඩා උළුවස්සක් ඇත. 

කෙනෙකුට දෙකට නැමී මේ උළුවස්ස තුළින් ගමන් කළ හැකි ය. උළුවස්සෙන් ඇතුළත උමඟක් පවතින බව පෙනෙයි. අපි රාවණා ගුහාව නැරඹීමට යාම සඳහා මාර්ගයට අවතීර්ණ වීමු. මාර්ගය කීවාට එය පඩිපෙළක් දිගේ නැඟ යා යුතු ගමනක් විය. එක එල්ලේ කඳු මුදුනක් කරා විහිදුණ පඩිපෙලේ පඩියෙන් පඩිය ඉහළට නැඟ යාම දැඩි සේ දුෂ්කර ය. 

එහෙත් කිලෝ මීටරයක් පුරාවට විහිදී පඩිපෙළ දිගේ කඳුකරය තරණය කළ යුත්තේ ඓතිහාසික රාවණා ගුහාව නැරඹිය යුතු නිසා ම ය. හාත්පස ගණ කැලෑවෙන් වැසී ඇත. පඩිපෙළ දෙපැත්ත කැළයෙන් වැසී ඇත. මැදින් කෙනෙකුට රිංගා යා හැකි තරමට පමණක් ඉඩ ඉතිරිව ඇත.
රාවණා ගුහාව පිටත පෙනෙන අයුරු
ඉලුක් ගාලක් මැද්දෙන්, ගල්පර අතරින්, ඇතැම්විට ශ්‍රීපාදස්ථානයේ මහගිරිදඹ නඟින්නාක් මෙන්අත් ඇඳිවල එල්ලී යා යුතු ගමන වෙහෙසකර වුවත් අතිශය සුන්දර ය. සිරුර දහඩියෙන් නෑවී ඇත. ඉලුක් තැවරීම නිසා අත් – පා කසයි.


රාවණා ගුහාව පිහිටා ඇත්තේ ගල් ඇන්ඳේ පාමුලමත් නොවේ. ගල් ඇන්ද මැදකට නඟින තෙක් ම ගුහා කට නොපෙනේ. මානව ඉඩකඩ ඇති, නිදහසේ හැසිරිය හැකි ආකාරයට මෙන්ම දහ පහළොස්දෙනකුට වුව ද ඇතුළත ගැවසිය හැකි ආකාරයට ගල් ගුහාව ඉදි වී ඇත. රාවණා රජතුමා සිය රාජපුරුෂයන් සමඟින් මෙහි සැඟවී සිට රාම ගේ හමුදා එන්නේදැයි මැනවින් ඔත්තු බලන්නට ඇත. කඳු මුදුනේ ගල් ගුහාව තුළ සිට අවට හාත්පස බලන විට විශාල ප්‍රදේශයක් එකවර පැහැදිලිව නෙත් මානයට හසු වේ.

රාම, ලක්‍ෂ්මණ හා හනුමන්තා පෙරටු කොට ගත් රාමගේ යුද ශක්තිය ඉදිරියේ රාවණා මැරී වැටුණ ද, යුද්ධයේ එක් බිහිසුණු අවස්ථාවක දී රාම මෙන් ම ලක්‍ෂ්මණ ද රාවණාගේ හී පහරින් මිය ගිය බව අප අමතක නොකළ යුතු ය. එබැවින් රාවණා යනු ‘දසිස්’ නම් ලද අයෝමය පුරුෂයෙකි. රාම සහ ලක්‍ෂමණ නැවත ජීවිතය ලද්දේ හනුමන්තා සොයාගෙන ආ බලගතු ඔසු නිසාවෙනි.



No Response to "මහ වන මැදින් රාවණා ගුහාවට"

Post a Comment

අදහස් සහ උදහස්

..