-->

Wednesday, December 14, 2011

රාවණ රජුගේ මව උණු දිය ස්‌නානය කළ රාජ කන්‍යා (කින්නියා) උණු දිය උල්පත

1



රාවණ මහ රජතුමාණන්ගේ පියා විශ්‍රවස්‌මුණි රජතුමා රජකමට වඩා නිදහස්‌ නිවහල් දිවියකට දැඩි කැමැත්තක්‌ තිබුණ බුද්ධිමතෙකි. පුලස්‌ති මහ රිෂි තුමාණන්ගේ දෙටු පුත්‍රයාව විශ්‍රවස්‌ මුණි රජතුමා සිය පළමු බිරිඳ වූ ඉලවිලා රැජිණගෙන් අවසර ලබාගෙන වනගත භාවනාවට ගියේ සිය රාජ්‍යයම වැඩිමල් පුත් කුවේරට භාරදීමෙනි.

එවකට මැදිවියේ පැසුණු බුද්ධියකින් යුතු විශ්‍රවස්‌ මුණි රජතුමා නැගෙනහිර පළාතේ සුදුසු ස්‌ථානයක්‌ සොයාගෙන භාවනාවට ගිය පුවත දකුණු පළාතේ ගිරුවාපත්තුවේ අප්‍රසිද්ධ ජීවිතයක්‌ ගත කරමින් සිටි සුමාලින් රජුට සිය චරපුරුෂයින්ගේ මාර්ගයෙන් දැනගන්නට ලැබුණි. පුලස්‌ති පරපුර ලක්‌ රජයේ ස්‌ථාපිත වීමට පෙර ලක්‌දිව පාලකයා වූවේ සුමාලින් නමැති යක්‍ෂ ගෝත්‍රිකයාය. සුමාලින් බලයෙන් පහ කළේ පුලතිසි පරපුරේ කුමරුන් සත් දෙනෙක්‌ විසිනි. පහතරට හෙවත් එදා පාලනයට ගිය සුමාලින් රජු කෙසේ හෝ ලක්‌ රජය සිය පරපුරට ලබා ගැනීමට දින ගනිමින් සිටියේය. කේසිණි යනුවෙන් සංස්‌කෘත පොත් පත්වලද කෛකයි යනුවෙන් හෙළ තල්පත්වලද, ආනකථා යනුවෙන් යක්‍ෂ ගෝත්‍රික මූලාශ්‍රවලද සඳහන් රාවණ මාතාව එවකට නව යොවුන් කන්‍යාවක්‌ වූවාය. ඇනා-ඈන් නාමය ගී්‍රසියට ගියේ ලංකාවෙන් ගී්‍රසියට සංක්‍රමණය වූ යක්‍ෂ ගෝත්‍රිකයින්ගෙන් යයි ඒ. පී. රාසන් කියය්. (පිටු 72 රෙදප Easඑ එද උesඑ) රාවණ මාතාව වූ කේසීනිගේ සොහොන් ස්‌මාරකය එදා පිහිටුවා තිබෙන්නේද දඹුල්ලේ ආනකටාව ග්‍රාමයේය.

ලංකාපුර රාජධානිය කෙසේ හෝ සිය ඥතීන්ට ලබාගත යුතු යෑයි සිය දියණිය වූ කේසිනීට උපදෙස්‌ දුන් සුමාලින් රජු එය කළ හැක්‌කේ ඇයට බවත් අනාගතයේදී ඇය ලබන දෙටු පුත්‍රයාට ලංකාපුර රාජධානිය හිමිවන බවත්, පැවසූ සුමාලින් රජු සිය දියණිය වූ රූමත් කේසිනි විශ්‍රවස්‌ මුණි රජු තපස්‌ රකින ස්‌ථානයකට පිටත් කළේ පරිවාර ස්‌ත්‍රීන් කිහිප දෙනෙක්‌ සමගය.

සහජයෙන්ම උපායශීලි යක්‍ෂ ගෝත්‍රික කන්‍යාවක්‌ වූ කේසිනි ගිරුවාපත්තුවේ සිට නැගෙනහිර පළාතට පැමුණුනේ අස්‌ගිරියක සිටියහ. ඇය අස්‌රියෙන් ගමන් කළේ ගංතලාව (කන්තලෙට්‌)ට පමණි. එතැන් සිට විශ්‍රවස්‌ මුණි තපස්‌ රකින ස්‌ථානයට ගිය ඇය තපස්‌ රකින විශ්‍රවස්‌ මුණි හමුවට ගොස්‌ කතා කළාය. ඇය ප්‍රශ්න කළ කිසිවකට ඔහු පිළිතුරු දුන්නේ නැත. ඔහු මුණිවත රැක්‌කේය.

සකල විධ මායම්වලින් ප්‍රවීණ කන්‍යාවක්‌ වූ කේසිනි, මෙසේ දින හයක්‌ම ඔහු හමුවට පැමිණ සිය අදිටන අසාර්ථකව සිටි අතර සත්වන දිනයේද විශ්‍රවස්‌මුණි තාපසයා ඉදිරියට පැමිණියාය. මනස්‌කාන්ත සිනාවක්‌ පා නුගගසේ පහළට එල්ලා වැටුණ නුග මුලක්‌ තරයේ අල්වාගත් ඇය එය සෙලවීමට පටන්ගත් අතර ඇය ඇඳ සිටි දුහුල් සළුව කඩා වැටුණි. හය දවසක්‌ මුණිවත රැකී විශ්‍රාවස්‌ මුණි හත්වැනි දින කේසිනිගේ උපායට පරාජය වුණි.

"ඔබ කවුද?

"මම රාජ කුමාරිකාවක්‌"

"ඔබේ නම"

"කේසිනී"

"ඔබ මෙතැනට පැමුණුනේ ඇයි"

"ඔබතුමාට සේවය කරන්න"

දැහැන බිඳ දැමූ විශ්‍රවස්‌ මුණි ඇයගේ අතින් ඇල්ලීමට පියවර කිහිපයක්‌ පෙරට තැබුවා පමණි.

"මට ස්‌නානය කරන්න ඕනෑ" ඊට පෙර මගේ සිරුරට අත තබන්න එපා ඇය කීවාය.

"ඔබට ඕනෑ උණු දියද? ඇල් දියද?" මම දින කීපයකින් දිය ස්‌නානය කළේ නැහැ. මට උණු දිය නාන්න ඕනෑ"

විශ්‍රාවස්‌ මුණි නැවතත් දිව්සම මත වාඩි වුණි. අඩ හෝරාවක්‌ පමණ වේලාවක්‌ ඔහු ඉතා සෙමින් මන්ත්‍රයක්‌ ජප කළේය.

"ළිඳ කපන්න ඕනෑ කොතැනද?" කේසිනිගෙන් ප්‍රශ්න කළේය.

"ඔබට රිසි තැනක" ඇයගේ පිළිතුර විය.

එවකට හිස නිකට පැසී මැදිවියේ සිටි විශ්‍රාවස්‌ මුණි තරුණයෙකුට වඩා සවිමත් පුද්ගලයෙක්‌ බැව් කේසිනිට සිතුනි.

සිය රන් කඩුව සුරතින් ගත් විශ්‍රාවස්‌මුණි පළමුවෙන්ම කළේ කේසිනිය විසින් අල්වා සොලවන ලද නුගමුල කපා දැමීමය. එතැන සිට පියවර 21 ක්‌ දකුණ දෙසට ගමන් කළ ඔහු සිය රන් කඩුවෙන් කුඩා වළක්‌ කැපුවේය. පුදුමයකි. සුවිසල් දිය උල්පතක්‌ එතැනින් මතුවිය. ඉන් අනතුරුව උණු දිය ස්‌නානය කළ කේසිනිය සමන් පිච්ච මල් මාලයක්‌ ගෙළ පැළඳ විශ්‍රවස්‌ මුණි වෙත ගොස්‌ දෙපා නමැද්දාය. රාවණ, කුම්භකර්ණ, සුපර්නිකා සහ අකුල්‍යා ඇයගේ දූ පුතුන් වූහ. යක්‍ෂ කන්‍යාව ස්‌නානය කළතැන කන්‍යාව වී පසු කලෙක කින්නියාව විය.


ආචාර්ය
මිරැන්ඩෝ ඔබේසේකර

උපුටා ගැනීම  - http://www.divaina.com/2011/02/20/siya06.html 





1 Response to රාවණ රජුගේ මව උණු දිය ස්‌නානය කළ රාජ කන්‍යා (කින්නියා) උණු දිය උල්පත

June 3, 2012 at 7:18 PM

I THINK this is real.Thanks for all

Post a Comment

අදහස් සහ උදහස්