-->

Thursday, September 8, 2011

සුර අසුර යුද්ධය

2

සුර අසුර යුද්ධය

පෙරදිග ඉතිහාසයේ සිදුවුණ මහා යුද්ධ අතරින් මහාභාරතය, රාම රාවන යුද්ධය හැරුණු කොට, නිරතුරුව කතා බහට ලක්වෙන තවත් යුද්ධයක් වන්නේ සුර අසුර යුද්ධයයි (රාම රාවන යුද්ධයත් සුර අසුර යුද්ධයක් ලෙස විටෙක හැඳින්වේ). හින්දූන් පවසන අන්දමට මෙය දෙවි වරුන් හා අසුරයන් අතර සිදුවූවකි. මෙහිදී අසුරයන්ට එරෙහිව පෙළගැසුණු ප්‍රධානම සුරයන් වන්නේ ඊශ්වර හෙවත් ශිව දෙවියන් සහ විෂ්ණුය. විෂ්ණු විසින් මහ සයුර කළඹවා අමෘතය පවා සොයාගෙන සුරයන් අතර බෙදා හරින්නේ මෙම සුර අසුර යුද්ධය අතරදීය. කෙසේ හෝ අවසානයේ යුද්ධයෙන් සුරයන් ජයගෙන, අසුරයන් පාතාලයට පන්නා දමයි. මේ අපට අසා පුරුදු සුර අසුර යුද්ධයයි. අතිශ්‍යෝක්තියෙන් පිරි මෙම කතාන්දරය, හුදෙක් මිත්‍යාවක් ලෙස බැහැර කිරීම ඉතාම පහසුය. විෂ්ණු දෙවියන් විසින් අනන්ත නාග රාජයාගේ වලිගයෙන් අල්ලා මහ සයුර කළඹන ආකාරය, ත්‍රිමාණ සජීවීකරණ ලෝකයේදී මිස හැබැහින් දැක බලා ගත හැකි දසුනක් නොවන බව කාටත් ලෙහෙසියෙන්ම වටහා ගත හැක. නමුත් මෙම යුද්ධය සැබෑවටම සිදුවූවක් බවට අනුමාන කල හැකි සාධක හමුවෙමින් පවතී.

කතරගම මහසෙන් යුගයේදී, කතරගම මහසෙන් සහ කළුතර තාරක පද්ම රජු අතර වේලාපුරයේදී හටගත් මහා සටන, සුර අසුර යුද්ධය බවට අනුමාන කළ හැක. පැවසෙන අන්දමට සුර අසුර යුද්ධයේදී සුරයන් වෙනුවෙන් මුල් තැන ගන්නේ ඊශ්වර හෙවත් ශිව දෙවිඳුය. අප කවුරුත් දන්නා පරිදි ශිව හෙවත් මහා සිව යනු මහසෙන් රජුගේ පියාය. එමෙන්ම, තාරක පද්ම නම් කළුතර කේන්ද්‍ර කොටගත් පාලකයා සහ එම පරපුර, අසුරයන් ලෙස සඳහන් වෙයි. මේ අයුරින් සුර අසුර ලෙස දෙපිල බෙදුණු හෙළයන්ගේ සටන අවසන, තාරක රජු පරාජයට පත්වීම නිසා, සුර අසුර යුද්ධයෙන් සුරයන් ජයගත් කතාව සත්‍යයක් බව පෙනීයයි.

මහනුවර මඟුල් මඩුවේදී (මහනුවර යුගය) රචනා වුණැයි සැළකෙන, උඩරට නර්තන සම්ප්‍රදායට අයත් සැවුළා වන්නමෙන් කියවෙන්නේද අසුරයන් පරාජය කළ යුද්ධයක් ගැනයි. එහිදී කඳ කුමරුන් අසුරයන් පරාජය කළ බව මෙම වන්නමේ කවි වලින් පැහැදිලිව දක්වා ඇත. මෙලෙසින් ඉතිහාසයේ සඳහන් වන සුර අසුර යුද්ධය, මහසෙන් තාරක යුද්ධය බවට අනුමාන කළ හැකි තවත් සාධකයක් ලෙස සැවුලා වන්නම ගෙනහැර දැක්විය හැක.

            සු රි ඳු න් පෙර සිටන් - බලයුත් සැට නිඳුන්
            සහ ගොස් කල යුදෙන් - අසුරන් ජය නොලදින්

            බර අත් ගෙණ කගින් -  ඇන කොන්තවි වලින්
            අසුරන් කළ යුදෙන් - ජය ගෙන කඳ කුමරුන්

ඒ අනුව මෙම යුද්ධය, හින්දූන් පවසන අන්දමේ දෙවිවරුන් හා අසුරයන් අතර සිදුවුණු සටනක් නොව, ලංකාවේ ප්‍රාදේශීය පාලක දෙකොට්ඨාසයක් අතර හටගත් යුද්ධයක් බව පැහැදිළිය. මේ අතරම විෂ්ණු දෙවියන් පැමිණ මහ සයුර කැළඹීමේ කතාවද, මහසෙන් යුගය ඇසුරෙන් යම්තාක් දුරට පැහැදිළි කරන්නට හැකියාවක් ඇත. එනම්, කතරගම මහසෙන් යුගයේදී පැමිණියා යැයි සැලකෙන සුනාමියයි. (මහසෙන් යුගයේ මෙන්ම රාම රාවන සටනින් අනතුරුවද මහා ජල ගැල්මකින් ලංකාද්වීපය යටවූ බව පැවසේ. මහා යුද්ධ වලදී සිදුවන මෙවන් සයුරු කැළඹීම් වලට, එකළ භාවිත වුණු විනාශකාරී ප්‍රබල ආයුධ බලපෑවා විය හැකිද?) මුහුද ගොඩගැලීමක් එකල සිදුවූ බවට තොරතුරු පවතින අතර, විෂ්ණු නැතිව මොනවත් කරගන්නට බැරි හින්දූන්, එම සුනාමියත් විෂ්ණුගේ ගිණුමට බැර කළ හැඩයි. සමහරවිට මුහුදට අධිපති වරුණ දෙවියන් සමඟ විෂ්ණුව පටලවාගත්තා වෙන්නටත් පුළුවන.

අතිශ්‍යෝක්තිය හා අභව්‍ය සිදුවීම් බැහැර කොට විමසන කල්හි, සුර අසුර යුද්ධය යනු හුදෙක් මිත්‍යාවක් නොවන බවත්, එය මහසෙන් තාරක යුද්ධය බවත් සැකහැර අනාවරණය කරගැනීමට තව තවත් මං පෑදේවි.

උපුටා ගැනීම -  RavanaBrothers ඇසුරෙන්

2 Response to සුර අසුර යුද්ධය

September 14, 2020 at 12:51 AM

😂😂😂😂

September 14, 2020 at 12:53 AM

😂😂😂😂😂

Post a Comment

අදහස් සහ උදහස්