-->

Sunday, September 11, 2011

ගරු ජනාධිපතිතුමනි.... ඔහුගේ කතාවටත් සවන් දෙන්න....

3


ඔහු නමින් ඩීමන් ආනන්දය. ඩීමන් ආනන්ද කී සැනින් අපේ මතකයට එන්නේ එදා රහස්‌ පරීක්‌ෂක කතා සංස්‌කෘතියෙන් සිංහල පාඨකයා අතරට ආ නව කතාකරුවාය....
ඒත් මේ ඩීමන් ආනන්ද ඔහු නම් නොවේ. ඔහුට වඩා හුඟාක්‌ වෙනස්‌ තේරුම් ගත නොහැකි විරලම ගනයේ මිනිසෙකි. උසස්‌ ගතිගුණවලින් පොහොසත් කාටවත් කරදරයක්‌ නැති අහිංසකම අහිංසක මිනිසෙකි.

කාට කරදරයක්‌ නැතත් පසුගිය සති දහයක දොළහක කාලය තුළ ඔහු දිගින් දිගටම මට නම් කරදර කළේය. ඒ මට හිරිහැරයක්‌ කිරීමට නොව, ලංකාවේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂයන්ට රහසක්‌ කීමට අවස්‌ථාවක්‌ සලසා දෙන ලෙසය..... ඉල්ලීමෙන් මවිතයට පත්වූ මම, මා එය ඉටුකර දෙන්නේ කෙලෙසදැයි ඇසුවෙමි....

මේ ඉල්ලීම ගැන පත්තරේට ලියන්න මහත්තයා. එතකොට එතුමා ඒක බලාවි. එතුමා ළඟ ඉන්න නිලධාරීන්ට කියලා වැඩක්‌ නැහැ. ළඟටවත් යන්න දෙන්නේ නැහැ. අනිත් එක මේ රහස කියන්නේ මම නොවෙයි. මගේ දුව.... එයා වැඩිවියට පත්වෙන්න පෙර මේ රහස කියා ගන්න ඕන. ඊට පස්‌සේ කියල වැඩක්‌ නැහැ. මේක විශ්වයේ ඉඳලා එන පණිවිඩයක්‌.....

පළමුව මේ කතාව ඇසූ මම අන්ද මන්ද වූයෙමි.... ටිකෙන් ටික ඔහුගේ කතාව විමසා බලන්නට මම උත්හාස කළෙමි. ඔහු එසේ මෙසේ මිනිසකුත් නොව, මානසික වියවුලක ආතතියක සිටින අයෙකුත් නොව.... යම් හරයක පිහිටා කතා කරන ක්‍රියාකරන අයෙක්‌ බව මා දැන ගත්තේ ඔහු අතීතයේ කළ කී දේ ගැන දැනගත් විටය.....

සීගිරි ගලේ සිදුරු ඇති කරමින් විවර ඇතිකරමින් ගල විද ඊට තුවාලකර කොන්ක්‍රීට්‌ තට්‌ටු හා කණු දමා ගොඩනැඟිලි සෑදීමට බලධාරීන් ගත් උත්සාහයට එරෙහිව තනිවම සීගිරි ගල උඩ මාරාන්තික උපවාසයක්‌ කළේ ඔහුය.... ඔහු කීවේ සීගිරි ගලට වින කරනවුන් ගෙන් සීගිරිගල බේරා ගත යුතු බවය.... ඊට පසු සීගිරිය බලන්නට ගිය ජනපතිතුමා ගල මුදුනේ කොන්ක්‍රීට්‌ දමා ඉදිකරමින් තිබූ වැසිකිළි පද්ධතිය ගලවා ඉවත් කරන්න යෑයි නියෝග කළේය. එය ඩීමන් අයියාගේ ජයග්‍රහණයකි.

සීගිරිගලේ ජීවත්වන බඹරුන් සමග කුමක්‌දො ආත්මීය භාෂාවකින් කතා කරමින් බඹරුන් දහස්‌ ගණනින් එක පොදියට තම දෝතට ගෙන කතා කළ හැකි යමෙක්‌ මේ මිහිපිට සිටී නම් ඒ ඔහුය.... ඔහු කියන්නේ ඔහුටත් ඔහුගේ දියණියටත් ඒ සඳහා බලයක්‌ හැකියාවක්‌ ඇති බවය. එහි ඇතුලාන්තයේ ඇති බොහෝදේ ඔහු අපට නොකියයි.....

පසුගිය ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලිය ලංකාවේ පවතිද්දී එහි තරග සංවිධායකයෝ මහත් ගැටලුවකට මුහුණ දුන්හ. ඒ එම තරග සඳහාම අභිනවයෙන් ඉදිකළ නුවර පල්ලේකැලේ ක්‍රිකට්‌ ක්‍රීඩාංගණය හා එහි ක්‍රීඩාගාර බඹර හමුදාවකින් පිරීගිය නිසාය. මේ බඹරුන් ඉවත් කිරීම මහත් ප්‍රශ්නයක්‌ විය..... මේ ගැටලුව විසඳන්නට මැදිවූ කෙනා ඩීමන් ආනන්දය. ඔහු එහි ගොස්‌ ඔහුටත් බඹරුන්ටත් පමණක්‌ හිමි ආත්මීය භාෂාවෙන් කතිකාකර බඹරුන් එක්‌

රැස්‌කර දොතට ගෙන ක්‍රීඩාංගණ පරිශ්‍රයෙන් ඉවත් කළේ කුමක්‌ හෝ සම්මුතියකට අනුව බව නිසැකය.

ඔහු සතිපතා මා හමුවන්නට ආවේය. මට කතා කළේය.....

අනේ මේ උදව්ව කරලා දෙන්න මහත්තයා. රට වෙනුවෙන් මේ උදව්ව කරන්න. ඔහු මට කියයි.... ඔහු පිළිබඳ තේරුම් ගත නොහැකි වූ නිසා මමද හිටියේ උභතෝකෝටිකයකය.... අවසානයේ මම නියෝජ්‍ය පොලිස්‌පති පූජිත ජයසුන්දර මහතාට කතාකොට ඩීමන් ආනන්ද ගැන ඇසුවෙමි...... ඒ ඔහු නිතර නිතර පූජිත ජයසුන්දර මහතාව හඳුනන බව කියූ නිසාය......

ඩීමන් ආනන්ද මම දන්නවා. ටිකක්‌ තේරුම් ගන්න අමාරුයි තමයි.... ඒත් මිනිහා නරක මිනිහෙක්‌ නොවෙයි..... අවංක මනුස්‌සයෙක්‌... රටට, ජාතියට, ආගමට මනුෂ්‍යත්වයට ආදරය කරන මිනිහෙක්‌...... ඔහු කීවේය......

ඩීමන් අයියා නිරතුරුව මා හමුවන්නට ආවේ කුමක්‌ හෝ පුදුම සහගත දෙයක්‌ ද රැගෙනය. වරෙක ඔහු යම් යම් දේ මතුපිටක අලවා අලංකාරව සකස්‌ කරන ලද රටා සහිත රූපයක්‌ මා ඉදිරියේ තැබුවේය.....

දන්නවද මේක මොකක්‌ද කියලා.... මේක තමයි රාවණා යන්ත්‍රය. මහා බල සම්පන්න යන්ත්‍රයක්‌. මම මේක හදල තියෙන්නේ ලංකාවේ තියෙන ධාන්‍යවර්ග, දුර්ලභ ඖෂධ වර්ග එකසිය ගණනක්‌ රටා සහිතව අලවලා....

රාවණා විශ්වාස කරනවාද..... මම ඇසුවෙමි....

ඔහු බිම බලා ගත්තේය.... දන්නවද රාවණා... සොහොන තියෙන්නේ කොතනද කියලා.....

මම දන්නේ නැහැ මම කීවෙමි ය.....

සීගිරිය ළඟ..... පිදුරංගල මම එතන ලොකු පහන් පූජාවක්‌ සත්‍යක්‍රියාවක්‌ කළා.... ජනාධිපතිතුමාට දිර්ඝායුෂ පතලා.... මම ඒ ගැන වැඩිය ඈතට කතා බහ කරන්නට ගියේ නැහැ.....

සීගිරිය කියන්නේ ඉතිහාසයේ අති විශාල ලොකු ලොකු රහස්‌ සැඟවිලා තියෙන තැනක්‌ මහත්තයා.... ඒ රහස්‌ එක්‌ක බලනකොට දැන් එළිපෙහෙළි කරගෙන තියෙන්නේ තොරුතුරු සොච්චමයි.... හැම රහසක්‌ම වැහිලා, වැළලිලා අතීතයට එක්‌වෙලා ගිහින්...... ඒ රහස රකින බලවේග ඒ හැමතැනම තියනවා මහත්තයා.

ඔහු ඒ ගැන කියන කතා අපේ භාෂාවෙන් නම් අපබ්‍රංශය... එහෙත් ඔහුගේ ඒ අහිංසක ඉල්ලීම පුවත්පත මගින් ජනාධිපතිතුමන්ට යොමු කරන්නට අවසානයේ මම භාරගතිමි.....

මා මෙසේ කියන්නේ ඒ නිසාය.... ගරු ජනාධිපතිතුමනි ඔබට කියන්නට ඔහුටත් රහසක්‌ ඇත.... කරුණාකර ඊටත් මදක්‌ සවන් දෙන්න.


බුලිත ප්‍රදීප් කුමාර 

උපුටා ගැනීම - http://www.divaina.com/2011/09/11/nimna04.html

3 Response to ගරු ජනාධිපතිතුමනි.... ඔහුගේ කතාවටත් සවන් දෙන්න....

January 27, 2012 at 2:10 PM

pudumai....

February 26, 2012 at 9:02 PM
This comment has been removed by the author.
August 18, 2013 at 2:46 PM

මම fan පේජ් එකක් කරනවා රාවණා රජු ගැන. මේකේ ලිපි අවසර ඇතුව ගත්තාට කමක් නැද්ද?

Post a Comment

අදහස් සහ උදහස්